ආහාර, නිවාස, සෞඛ්‍යය සහ අධ්‍යාපනය ශිෂ්ට සමාජයක පැවැත්ම සඳහා වෙනස් කිරීමකින් තොරව සියලු දෙනාට පහසුවෙන් ලබා ගැනීමට හැකි ආකාරයෙන් සැපයිය යුතු මහජන අවශ්‍යතා ය. මේවා මූලික අයිතිවාසිකම් සේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ වෙනත් අණ පනත්වල සඳහන් නොවන නමුත් ඒවා සැපයීම සුරක්ෂිත කිරීම සෑම රජයකම වගකීමකි. ඇත්තෙන්ම රජයක් අවශ්‍ය වන්නේත් ආණ්ඩුවකින් කළ යුතු වන්නේත් මෙම මූලික අවශ්‍යතා ජනතාවට සැපයීමය. සංවර්ධනයේ මිනුම් දණ්ඩක් වන්නේ එම මූලික අවශ්‍යතා ජනතාව භුක්ති විඳින ප්‍රමාණය යි.
බංකොළොත් වී ඇති ලංකාවේ ආහාර සැපයුම සහ සෞඛ්‍ය ආරක්ෂාව අද වෙන කවදාවටත් වඩා පිරිහී පහත වැටී ඇති බව දිනපතාම සමාජ මාධ්‍යයේ සහ ජන මාධ්‍යයේ පළ වන පුවත් වාර්තාවලින් නිතර දැක්වේ. අක්ෂි ආබාධයකට ලබා දෙන ප්රතිකාරවලින් ඇස් අන්ධවීම, නිර්වින්දනය කරන රෝගීන් සිහි නොලබාම මිය යෑම, ළමා මරණ සංඛ්‍යාව ඉහළ යෑම දැන් සාමාන්‍ය දේ බවට පත්ව ඇත. ජාතික පිළිකා මර්දන ඒකකයේ වාර්තා අනුව (2020) දිනකට පිළිකා රෝගීන් 46ක් මිය යන රටක නිර්වින්දනය හෝ වෙනත් වෛද්‍ය ආපදාවක් නිසා රෝගීන් එක් කෙනෙකු දෙන්නෙකු මිය යෑම කලබලවීමට හේතුවක් නොවන්නේයැයි සෞඛ්‍ය බලධාරියෙකුට තර්ක කළ හැකිය. එහෙත් සෑම මිනිස් ජීවිතයක්ම ධනය. අධ්‍යාපනය, සමාජ බලපුළුවන්කාරකම නොසලකා රැක ගැනීම බුද්ධාගම රාජ්‍ය ආගම බවට පත් කර ඇති රටක ආණ්ඩුවේ යුතුකමකි. ඉන් ගැලවීමට නොහැකිය.
මේ තත්වය උදා වී ඇත්තේ මුදල් නොමැතිකම, කොරෝනා වසංගතය. සැපයුම් අවහිරතා වැනි සාධකවලට වඩා කළමනාකරණයේ දුර්වලතා මෙන්ම හිතාමතාම ඇති කරන බාධක නිසා බව එම ක්ෂේත්රයේම විවිධ මට්ටමේ නිලධාරීන් සහ ප්‍රතිපත්ති සැලසුම්කරුවෝ පෙන්වා දෙති. සෞඛ්‍ය සේවාවේ ඉහළම වෛද්‍යවරයෙකු පුවත් පත් සාකච්ඡාවකදී ප්‍රකාශ කළ ආකාරයට මෙම තත්වයට හේතු දෙකක් දැක් වූයේය.
එකක් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්ට වැදගත් වන්නේ එහි ඇති ප්‍රශ්න නොව විදේශ සංචාරයන් ය. සෑම මාසයකම ඔහු නිල කටයුතු සඳහා විදෙස් රටවල සංචාරය කරන බවත් සමහර විට උදේට කොළඹට පැමිණ සවසට තවත් ගුවන් යානයකින් පිටව යන බවත් එම ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයා පැවසුවේය. එම නිසා එම නිලධාරියාට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න ගැන සිත් යොමු කිරීමට කාලයක් නැත.
දෙවැනිව ඔහු දැක්වූ කාරණයක් වූයේ සෞඛ්‍ය ඇමති වෙන කිසිවකටත් වඩා තමන්ට ලැබෙන කොමිස් මුදල ගැන සැලකිළිමත් වන්නේය යන්නයි. මෙම වාර්තාව පළවීමෙන් පසුව ප්‍රකාශය කළ නිලධාරියාට එරෙහිව ගත් පියවරක් නොමැතිවීමෙන් එහි කිසියම් සත්‍යයක් ඇතැයි කිව හැකිය. කෙසේ වුවත් සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල රජයේ මුදල් අතපය දිග හැර වියදම් කරන පුද්ගලයෙකු ලෙස වාර්තා පිහිටුවා ඇති කෙනෙකි. පසුගිය විගණන වාර්තාවක සඳහන් වන ආකාරයට මෙම ඇමති රාජ්‍ය මුද්‍රණ සංස්ථාව භාරව සිටි සමයේ 2012 මාර්තු 15 සිට 2012 අප්‍රේල් 14 දක්වා ලිත් මාසයක කාලය තුළ ඔහුගේ දුරකතන බිල වශයෙන් රු. 230,984ක් සංස්ථාවෙන් ගෙවා ඇත. එමනිසා ඔහුගේ විය හියදම් කිරීමේ රටාව ගැන පුදුමයට පත් විය යුතු නැත.
වෙනත් රාජ්‍ය ආයතනවල මෙන්ම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මෙම පිරිහීමට හේතු රුපියල් ශතවලින් දැක්විය හැකි වංචා දූෂණ පමණක් නොවේ. ආකාර්යක්ෂමතාවය, නොසැලකිල්ල, නොහැකියාව යන සියල්ලද මෙම කණගාටුදායක තත්වයට හේතූන් ය. සෞඛ්‍ය ක්ෂේත්රයේ විවිධ වෘත්තීය සමිති මෙන්ම වෙනත් වගකිව යුතු පුද්ගලයන් පෙන්වා දෙන ආකාරයට ඖෂධ ආනයනය කිරීම හා තත්ව පාලනය පිළිබඳව පවතින නීති රීති නොසලකා හැරීම ද රෝගී ජීවිත අනතුරට හෙළීමට හේතුවකි. පළමුවෙන්ම ඖෂධ ආනයනය කිරීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය වුවමනාවෙන්ම මගහැරීමේ පුරුද්දක් කලක සිටම පවතී. කිසියම් ඖෂධයක් ආනයනය කිරීමේ දී ගත යුතු ක්‍රියා පටිපාටිය නොසලකා හැරීමට යොදා ගෙන ඇති ක්‍රියා මාර්ගයක් වන්නේ හදිසි අවශ්‍යතා අනුව මිලදී ගැනීමයි. සාමාන්‍යයෙන් ඖෂධ නියාමන අධිකාරියේ ක්‍රියා පටිපාටිය අනුව ඖෂධයක් ආනයනය කිරීම සඳහා විධිමත් රසායනාගාර ක්‍රියාවලියක් අනුගමනය කිරීමට කලක් ගත වන නිසා හදිසි අවශ්‍යතා ප්‍රතිපාදන යටතේ එය නොසලකා කටයුතු කිරීමට බලධාරීන්ට හැකියාවක් පවතී. දැනට විවාදයට ලක්ව ඇති ඖෂධ බොහොමයක් ආනයනය කර ඇත්තේ එවැනි හදිසි අවශ්‍යතා ප්‍රතිපාදන යටතේ බව ද සඳහන් වේ.
ක්ෂේත්රයේ අය පවසන ආකාරයට රසායනාගාර කටයුතු ප්‍රමාද වන්නේ ඖෂධවේදීන් ඇතුළත් කාර්ය මණ්ඩල ඌනතාවය නිසාය. ඌනතාවය ද නිකම්ම ඇති වූවක් නොවේ. එයට හේතුව එම ආයතනයට අනුයුක්ත කර සිටි නිලධාරීන් මුදා හැරීම ය. නිලධාරීන්ගේ හිඟයෙන් විධිමත් ක්‍රියා පටිපාටිය ප්‍රමාද වන නිසා රෝගී ජීවිත බේරා ගැනීමට කළ යුතු වන්නේ හදිසි අවශ්‍යතා යටතේ ඖෂධ ආනයනය කිරීම ය. ගැටලුව මතු වූයේ එසේ හදිසියේ ගෙන්වන ලද ඖෂධවලින් සිදුව ඇත්තේ රෝගි ජීවිත ආරක්ෂා කිරීමට වඩා රෝගී ජීවිත විනාශ වීමේ අනතුර වඩා වැඩි වීම ය. බාල නිසි ප්‍රමිතියට නැති ඖෂධ ගෙන්වීමෙන් සිදුව ඇත්තේ මෙතෙක් ප්‍රකාශයට පත්ව නැති බලධාරීන්ට විදේශ විනිමය රිසි සේ වියදම් කිරීමට අවස්ථාවක් ලබා දීම පමණි.
රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගින් මුහුණ දෙන අවාසනාවන්ත තත්වය නිසා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පරිපාලනය ගැන විශේෂයෙන් කතාබහට ලක් වුවද සමස්ත පරිපාලන යන්ත්රයම වසා ඇත්තේ මෙවැනිම ව්යාධියෙකිනි. මහජන මුදල් පරිහරණය ගැන පරික්ෂා කොට වාර්තා කිරීමේ වගකීම පැවරී ඇති විගණකාධිපතිගේ වාර්ෂික වාර්තා උඩින් පල්ලෙන් හෝ බලන කෙනෙකුට මහජන මුදල් අපතේ යවන පරිමාණය ගැන අදහසක් ඇති කර ගත හැකිය. ඊට අමතරව ස්වාධීන ආයතන මගින් කරන නිල නොවන සමීක්ෂණවලින් ද ආණ්ඩුවේ වැඩ කටයුතුවල විනිවිද භාවයක් නැති බව තහවුරු වේ. නිදසුනක් වශයෙන් 2022 ඔක්තෝබර් 25 ෆයිනැන්ෂල් ටයිම්ස් පුවත් පතේ පළ වූ වෙරිටේ රිසර්ච් ආයතයෙන් නිකුත් කළ වාර්තාවක් අනුව 2021 වසරේ අයවැය වාර්තාවෙන් යෝජනා කර ඇති වියදම්වලින් සියයට 48ක්ම වියදම් වූ ආකාරය ගැන හෙළිකර නැත.
හෙළි කර ඇති වියදම් ද හෙළි නොකළ ඒවා තරම්ම අවුල් සහගතය. 2022 සැප්තැම්බර් 6 දි අයිලන්ඩ් පුවත් පතේ වාර්තාවක් අනුව මහත් ආන්දෝලනයට තුඩු දුන් බ්ලැක්රොක් ඇන්ඩ් කොමොඩිටිස් නම් ඇමරිකානු සමාගම සමග ලංකා කෝල් සමාගම අත්සන් කර ඇති ගිවිසුමක් අනුව ලංකාව වසර දෙකක කාලයක් සඳහා ගල් අඟරු ටොන් දශ ලක්ෂ 4.5ක් මිලදී ගැනීමේ දී ඩොලර් දශ ලක්ෂ 500ක් වෙළඳ පොළ මිලට වඩා වැඩියෙන් ගෙවීමට ගිවිස ඇත.
එමනිසා ප්‍රතිකාර නියම කිරීමට පෙර රෝගය නිවැරදිව හඳුනා ගත යුතුය. පැහැදිලිවම වැරැද්ද ඇත්තේ සෞඛ්‍ය සැපයුම් අංශයේ පමණක් නොව සමස්ත ජාතික දේහයම වසා ඇති පිළිකාවේය. පිළිකා රෝහලට යන රෝගීන් දැන් ඖෂධ නොමැති කමට වඩා නිතර අත්දකින දෙයක් වන්නේ එහි යන්ත්‍ර සූත්‍ර අක්‍රිීය වීම ය. මුළු රටේම එක යන්ත්‍රයක් හැර අන් සියලු යන්ත්‍ර සූත්‍ර අක්‍රීය වී හෝ අක්‍රීය වෙමින් පවතී. (හොඳින් ක්‍රියාත්මක වන්නේ මර්දන යන්ත්‍රය පමණි) එය පළාත් පාලන ආයතන සඳහා ඡන්ද විමසීමේ සිට පාසලක වාර විභාග පැවැත්විම දක්වා විහිද ඇති ව්‍යාධියකි. ඒවාට විසඳුම් වශයෙන් මෙතෙක් සිදු වන්නේ පාර්ලිමේන්තුවේ ඇතැම්විට නොසරුප් වදන්වලින් බැණ වැදීම පමණකි. මේ නිසාම විපක්ෂයේ මංත්රීවරයෙකු සෞඛ්‍ය ගැටලුව ලෝක සෞඛ්‍ය සංවිධානයටත් ජිනීවා මානව අයිතිවාසිකම් කොමිසමටත් පැමිණිලි කිරීමට සූදානම්යැයි පැවසුවේය. එසේ පැමිණිලි කිරීමේ වරදක් නැති වුවත් ඉන් අපේ ප්‍රශ්නයට විසඳුමක් ලැබේ ද යන්න සැක සහිතය. පැහැදිලි එකම කාරණය මෙම ව්‍යවස්ථා සම්පාදකයන් ට සෞඛ්‍ය ගැටලුවටත් රටේ ඇති අනෙකුත් ප්‍රශ්න වලටත් තමන්ගේම විසඳුම් නැති කමය. ඒ නිසා ප්රශ්නය තවත් කෙනෙකුට භාර දීම ඇඟ බේරා ගැනීමේ එකම මාර්ගයයි.
මෙම ඇඟ බේරා ගැනීමේ න්‍යාය පසුගිය සතියේ පාර්ලිමේන්තුවෙන් අල්ලස් හෝ දූෂණ පිළිබඳ නව පනත සම්මත කර ගත් ආකාරයෙන් පැහැදිලිය. ඇත්තෙන්ම රටම වසා ගෙන ඇති වංචාව අල්ලස සහ දූෂණය වැළැක්වීම සමාජ අවශ්‍යතාවයක් වුවද ඒ සඳහා දේශපාලන කැපවීමක් නැති බව එහි දී දක්නට ලැබුණු කැපී පෙනෙන කරුණකි. ඇත්තෙන්ම එවැනි පනතක් සම්මත වී නිති ගත වුවද ක්‍රියාත්මක වන්නේ පවතින පරිපාලන තත්ත්රය සහ දේශපාලන නායකත්වය නිසා යහපතක් සිදුවේයැයි සිතීම අපහසුය. විය හැකි එකම දේ පැරණි වයින් අලුත් බෝතලයකට දැමීමේ අවශ්‍යතාවය පමණි.
ඇත්තෙන්ම කළ යුතු වන්නේත් සමාජ අවශ්‍යතාවය වන්නේත් රෝහල්වල දිනපතාම අක්‍රීය වන යන්ත්‍ර සේ අක්‍රීයව ඇති මෙම පරිපාලන තන්ත්රය සහ දේශපාලනය වෙනස් කිරීමය, අලුත් කිරීම ය. ලංකාව තවත් දශක තුනකින් සංවර්ධිත ලෝකයේ තත්වයට පත් කිරීමට ඇති එකම මාර්ගය එයයි.
- හසරක් නැතිව අඳුරේ අත පත ගාන ජාතික ජන බලවේගය.. - December 18, 2024
- කබරගොයා තලගොයා කර ගන්නා ඇමරිකානු නීතිය පදනම් ජාත්‍යන්තර සමය.. - December 13, 2024
- නව පාලනයේ අභියෝගය ප්‍රතිකාර කිරීමට පෙර ලෙඩේ හඳුනා ගැනීමයි.. - December 4, 2024