හිටපු සෞඛ්‍ය ඇමති සහ ඉන් පසුව බන්ධනාගාර ගත කරන තෙක් තවත් ඇමති තනතුරක් දැරූ කෙහෙලිය රඹුක්වැල්ල අධිකරණ අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම ශ්‍රී ලංකාවේ හැත්තෑහය වැනි නිදහස සමරුවට සමගාමීව සිදුවීම නීතියේ ආධිපත්‍යය සහ යුක්තිය ගරු කරන බොහෝ දෙනකුගේ පැසසුමට ලක් විය. මූලික අයිතිවාසිකම් කඩ කිරීම පිළිබඳ ව අධිකරණයෙන් වැරදිකරු වූ අයෙකුට අධිකරණයෙන්ම නියම කළ ආකාරයට විනය පරීක්ෂණයක් පැවැත්වීම වෙනුවට ඔහුට පොලිස් සේවයේ ඉහළම තනතුර ට පත් කළ රටක මෙවැනි අධිකරණමය පියවරක් ගැනීම පැසසීමට ලක් විය යුතු වුවද ඉන් යුක්තිය ඉටු වන්නේ ද යන්න සැක සහිතය.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමයක් යටතේ ඉමියුනොග්ලොබියුලින් ඖෂධය ගෙන්වීමෙන් සිදු කර ඇති මුදල් වංචාව ආණ්ඩුවේ බලධාරීන්ට තවමත් අලුත් දෙයක් වුවද සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හරින තොරතුරු පරිශීලනය කරන සුවහසක් ජනතාවට අලුත් දෙයක් නොවේ. මෙම වංචාව සම්බන්ධයෙන් අමාත්‍යංශයේ ලේකම් ඇතුළු නිලධාරීන් අත් අඩංගුවට ගත් විට සිද්ධියේ මහ මොළකරුයැයි හැඳින්වෙන් කෙහෙලිය රඹුක්වැල්ල අත් අඩංගුවට ගත් යුතුයැයි ජනතාවට සී අයි ඩිය ඉදිරියේ පවා උද්ඝෝෂණ කිරීමට සිදු විය. සිදු කළ පරීක්ෂණ අනුව කෙහෙලිය අඩුම වශයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත් සාක්ෂි තිබුණ ද පොලීසිය අධිකරණ නියෝගයක් ලැබෙන තෙක් නිහඬව සිටීම රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය අනුවම සිදු වුවකි. අත් අඩංගුවට පත් වූ පසුව හෝ ඔහුගේ ඇමතිකම ඉවත් කිරීමට අනුප්‍රාප්තික ජනාධිපති උනන්දු වූයේ නැත. සමහර විට ඒ සඳහාත් අධිකරණ තීන්දුවක් අපේක්ෂාවෙන් සිටිනු විය හැකිය.
කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙකු අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම පැසසුමට ලක් විය යුතු වුවද සෑහීමට පත් විය හැකි දෙයක් නොවේ. කලින් සඳහන් කළ ආකාරයට මූලික අයිතිවාසිකම් කඩ කළ අයෙකුට උසස්වීම් ලබා දීම, අධිකරණයේ මාර්ගෝපදේශ නොතකා ප්‍රාදේශීය ඡන්ද විමසීම් අහෝසි කිරීම, අධිකරණයේ හෝ උත්තරීතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොසලකා විධායකයේ කැමැත්ත අනුව කටයුතු කිරීම මෑතකදී ගත් හිතුවක්කාර විධායක පියවර කිපයකි. මේ අනුව ජනතාව මහත් උනන්දුවෙන් අපේක්ෂා කරන ජනාධිපතිවරණය නොපැවැත්වීමට රනිල් රාජපක්ෂ ආණ්ඩුව කිසියම් උප්පරවැට්ටියක් ගතහොත් පුදුමයට කරුණක් නොවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කුමක් සඳහන් වුවත් තමන්ට අවශ්‍ය ආකාරයට කටයුතු කිරීමට එය බාධාවක් නොවන බව මෙම ආණ්ඩුව නැවත නැවතත් පෙන්වා දි ඇත. ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරා පත් කර ගන්නා ජනාධිපති විසින් ක්‍රියාත්මක කළ යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිවම සඳහන් වුවත් දැනට එම තනතුර හොබවන්නේ ජනතාව විසින් පාර්ලිමේන්තුවට හෝ තෝරා පත් කර නොගත් පුද්ගලයෙකු විසිනි. ඔහුට පාර්ලිමේන්තුවට පැමිණීමට හැකි වූයේ වෙන් කරන ලද අසුනක් සඳහා ඔහුගේ නම ඉදිරිපත් කිරීමට පක්ෂයේ බලධාරීන් තිරණය කළ නිසාය. ඔහුට කිසිදු ආකාරයේ ජනවරමක් ලැබුණේ නැත.
එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ම ඇති වෙනත් ප්‍රතිපාදන අනුව ඔහුට නිත්‍යානුකූල භාවයක් හිමි වේ. ඔහුගේ පත්වීම නිත්‍යානුකූල වුවද ඊට සුජාත භාවයක් ලැබෙන්නේ නැත. සුජාත භාවය ලබා ගත හැක්කේ ජනවරමකින් පමණි. සුජාත භාවයක් ලබා ගැනීමටනම් ඔහු කළ යුතුව තිබුණේ ජනවරමකින් තනතුරට පත් පුද්ගලයා ජනතා විරෝධය නිසා ඉල්ලා අස්වීමෙන් පසුව ඇති වූ රික්තය පුරවා වහාම ජනවරමක් ලබා ගැනීමට ජනාධිපතිවරණයකට යෑම ය. ඔහු එසේ කෙළේ නැත.
ඉන් පැහැදිලි වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තමන්ට අවශ්‍ය ආකාරයට හැඩ ගසා, අර්ථ ගන්වා යුක්තිය සහ සාධාරණත්වය නොසලකා කටයුතු කිරීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බවට පත්ව ඇති බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාව විධායකය විසින් පත් කරන නිසා එය විධායකයට යටත්විය යුතුයැයි තර්ක කරන්නේ ඒ අනුව ය. අධිකරණයේ අගවිනිසුරු ඇතුළත් ඉහළ තනතුරුවලට පත්වීම් ලබා දෙන්නේ විධායකයා විසින් නිසා ඒවා ද ඔහුට අවනත විය යුතුයැයි තර්ක කිරීමට ආත්මලාභය අන් සියල්ලට වඩා වැදගත්යැයි සිතන මෙවැනි පුද්ගලයන් තර්ක කළ හොත් පුදුම විය යුතු නොවේ.
අධිකරණය මෑතක දී ජනතා පරමාධිපත්‍යය තහවුරු වන ආකාරයේ විනිශ්චයන් කීපයක්ම ලබා දීම ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමකි. රාජපක්ෂ නඩයේ ආර්ථික ඝාතන ගැන මෑතකදී ලබා දුන් තීන්දුව මරණයට නියම වුවන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හිතුවක්කාර ලෙස ලබා දුන් සමාව ඉවත් කිරීම, පාස්කු ප්‍රහාරය වැළැක්වීමට පියවර නොගැනීම නිසා එවකට ජනාධිපති වූ මෛත්‍රිපාල සිරිසේනට දඩ මුදලක් නියම කිරීම වැනි අධිකරණ පියවර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන සාධනීය ලෙස අර්ථ ගැන්වීමකි. එහෙත් අධිකරණ විනිශ්චය නිෂේධනය කිරීමේ විධායක බලයක් ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවෙන් ම උකහා ගත හැකි බව තහවුරු වන්නේ වැඩබලන පොලිස්පති පත් කිරීම වැනි සිද්ධීන්වලිනි. අධිකරණයේ විනිශ්චයට ඉදිරි පත් නොවු නමුත් රටේ ආර්ථිකයටත් දේශපාලන පැවැත්මටත් හානි කර පියවර මෙම රජයෙන් නිරන්තරයෙන්ම ගන්නා බවද අමතක නොකළ යුතුය.
මෙවැනි තත්වයක් පවතින විට ජනතාවට ගත හැකි පියවර කුමක් ද?
එක් පියවරක් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කුමක් සඳහන් වුවද අදූරදර්ශී, අමන නායකයන් බලහත්කාරයෙන් පන්නා දැමීම ය. ගෝඨාභය රාපක්ෂ පලවා හැරියේ ජනතා අරගලයෙනි. අදූරදර්ශී අමන නායකයන් පලවා හැරීමෙන් ජනතා අභිලාෂයන් ඉටු නොවන බව ඔහුගේ අනුප්‍රාප්තිකයා හොඳින් පෙන්වා දුන්නේය.
ඉන් ඉගෙන ගත හැකි එකම පාඩම ක්‍රමයේ වෙනසක් සිදු නොවී පුද්ගලයන් වෙනස්වීමෙන් දූෂිත පාලනය වෙනස් වන්නේ නැති බවයි. ඉදිරියේ පැවැත්වීමට ජනාධිපතිවරණයෙන් හෝ පාර්ලිමේන්තු මැතිවරණයෙන් කුමන පක්ෂයක් හෝ සභාගයක් බලයට පත් වුවත් ක්‍රියාත්මක වන්නේ 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආවරණයක් වශයෙන් යොදා ගන්නා දේශපාලන නායකත්වයක් විසිනි. පක්ෂය වර්ණය කුමක් වුවත් පළමුවෙන්ම ඔවුන් කරන්නේ ඊට අනුගත වීම ය. අනුගතවීම හැල හැප්පීමක් නැතිව සිදු කිරීමට ජාතික සහ ජාත්‍යන්තර බලවේග දැනටමත් ක්‍රියාත්මක වන බව දැකිය ඇසිය හැකිය. සමහර නායකයන්ට දැනටමත් විදේශ රටවලින් සංචාර සඳහා ආරාධනය කර ඇතැයි ජනමාධ්‍ය වාර්තා කරයි. මෙම දේශපාලනයේ ගතිකත්වය එයයි.
මෙම ගතිකත්වය වෙනස් කළ හැකි වන්නේ දේශපාලන බල ව්‍යුහයේ සැබෑ වෙනසක් තුළින් පමණි. ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමක් හෝ අලුතින් ව්‍යවස්ථාවක් සකස් කර ගැනීම ප්‍රමාණවත් නොවේ. යුක්තිය සහ සාධාරණත්වය සුරක්ෂිත කිරීමට නම් ජනතාවට පාලන ව්‍යුහය ට මැදිහත්වීමට සාජු අවස්ථා විවර විය යුතුය. යුක්තිය සහ සාධාරණත්වය ඉටු කිරීමේ දී ව්‍යවස්ථාපිත නීති සහ ක්‍රියාවලීන් පමණක් නොසෑහෙන බව කෙහෙලිය කතා වස්තුවෙන් පැහැදිලි ය. කෙහෙලිය ට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් යුක්තිය හෝ සාධාරණත්වය ඉටු වූයේ නැත. පාර්ලිමේන්තුව කතා සාප්පුවක්යැයි හැඳින් වූයේ එම නිසාය. එම යෙදුම අදට ගලපා ගැනීමට නම් අවලන් යන විශේෂණ පදය ද එකතු කළ යුතුය.
ඖෂධ මගඩිය එළි වූයේ මහජන විමසිලිමත් භාවය සහ උද්ඝෝෂණ නිසා ය. උද්ඝෝෂකයන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට බලපෑම් කිරීමට සිදු වූයේ නීතිය සහ සාමය රැකීමට මහජනයාගෙන් අය කර ගන්නා බදු මුදලෙක් නඩත්තු වන පොලීසියේ මර්දනය හමුවේය. හොරුන්ට මහජන මුදලින් ආරක්ෂාව සපයන ආරක්ෂක අංශ ජනතාවගේ ආරක්ෂාවට ඉදිරිපත් වන්නේ නැත. එහි සරල අදහස යුක්තිය සහ සාධාරණත්වය තහවුරු කිරීම පාලකයන් ගේ වුවමනාව නොවන්නේය යන්නයි. කෙහෙලිය රක්ෂිත බන්ධනාගාරයට යැවීමට අධිකරණ තීන්දුව හේතු වුවද ජනතාවගේ උවමනාව ආරක්ෂා කිරීමට ඇති ආයතන හෝ බලධාරීන් ඒ ගැන උනන්දු වූයේ නැත. මහජන අවශ්‍යතාවය වෙනුවෙන් කැප වූ සංවිධාන අධිකරණය මැදිහත්මක් ඉල්ලා නොසිටියේ නම් කෙහෙලිය කතා වස්තුව ‘බාල බෙහෙත් නැත’ යන්නෙන් අවසන් වීමට ඉඩ තිබිණ.
එමනිසා ඉදිරියේ දීත් කවර දේශපාලන පක්ෂයක් හෝ සන්ධානයක් බලය පත් වුවත් ජනතා අභිලාෂයන් ඉටු කර ගත හැකි වන්නේ ජනතා සංවිධාන වලට පමණි. සැබෑ ජනතා සංවිධාන වන්නේ දේශපාලන අරමුණු වෙනුවෙන් ගොඩ නගන පෙරමුණු හෝ බලවේග නොවේ. එවැනි පෙරමුණු සහ බලවේග දේශපාලන බලය අත් කර ගැනීමත් සමග අකර්මණ්‍ය වන හෝ අකර්මණ්‍ය කරන ආකාරය මෑත ඉතිහාසයෙන් අපි දැක ඇත්තෙමු. අප එසේ නොවන්නේයැයි කිසියම් දේශපාලන කණ්ඩායමකට සහතික විය හැකි වුවද එසේ නොවන බව තහවුරු කර ගැනීමට ජනතාවට ඇති බලය කුමක් ද? පවතින ක්‍රමය යටතේ ජනතාවට ඇති එකම බලය ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය පමණි. ඉන් ඔබ්බට ජනතාවට බලය පැවරීමේ කිසිම සූදානමක් මෙතෙක් දක්නට නැත. මෙතෙක් පැවතියේ පක්ෂයේ වුවමනාවට ගොඩ නගන බලවේග පක්ෂයේ වුවමනාව ඉටු වූ පසුව ස්වභාවික මරණයට පත්වීම ය.
පක්ෂයක් හෝ සන්ධානයක් බලයට පත් කිරීමටත් බලයට පත් පක්ෂය හෝ සන්ධානය ජනතා අභිලාෂයට යටත් කිරීමටත් කැපවීමක් ඇති නායකත්වයක් සහ සංවිධාන අවශ්‍ය ය. රටට අනාගතයක් ඇත්තේ එවැනි තත්වයක් යටතේ පමණි. එහි අරමුණ විය යුත්තේ බලය ලබා ගැනීම නොව බලය බලහත්කාරය බවට පත්වීම වැළැක්වීම ය.
- නෙතන්යාහු අත් අඩංගුවට ගැනීමේ නියෝගය තවත් පුස් වෙඩිල්ලක්? - November 25, 2024
- රටේ අනාගතය තීරණය වන දේශපාලන හැරවුම් ලක්ෂ්‍යය කොතැන ද? - November 19, 2024
- සමාජ පෙරළිය හිසරදයට කොට්ට මාරු කිරීමක් නොවිය යුතුය.. - November 4, 2024