You are currently viewing බංකොලොත් රට ගොඩ නැගීමට දේශපාලන බංකොලොත් භාවය ද තුරන් කළ යුතුයි.

බංකොලොත් රට ගොඩ නැගීමට දේශපාලන බංකොලොත් භාවය ද තුරන් කළ යුතුයි.

දේශපාලන වේදිකාවේ දැන් නැවත වරක් විකට නාට්‍ය ඉදිරිපත් කිරීම් සුපුරුදු කාර්යක් වී ඇත. ලංකාවේ පාර්ලිමේන්තු වේදිකාවේ ප්‍රධාන චරිතයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සැබෑ නායකයා කව්ද යන්න විසඳා ගත නොහැකි උභතෝකෝටිකයකි. එම නිසා දැනට සිටින්නේ වැඩ බලන නායකත්වයකි. අනුප්‍රාප්තික ජනාධිපතිට අර්බූද මතු වන්නට තරම් පක්ෂයක් නැති නිසා ගැටලුව වී ඇත්තේ ඔහු එතරම් ලස්සන වී ඇත්තේ කෙසේද යන්නයි. තවමත් විකසිත වී නැති පොහොට්ටුවේ මතු පිටින් කිසිම හැල හොල්මනක් නැති බව පෙනෙන්නේ සියලු තීරණ ගැනීමේ ඒකාධිකාරි බලය ප්‍රජාතන්ත්‍රවාදීව එහි වයස් ගත නායකයාට පවරා ඇති නිසාය.

පක්ෂ අතර වාද භේද උත්සන්නවෙමින් පවතින තත්වයක් යටතේ ඔවුන්ට තමන්ගේම අභ්‍යන්තර ප්‍රශ්න විසඳා ගැනීමට කාලය ධනය හා ශ්‍රමය වැය කිරීමට සිදුව ඇති නිසා ඡන්ද විමසීමක දී තීරණාත්මක වන ජනතාවගේ ප්‍රශ්න ගැන අවධානයක් යෙදවීමට ඉස්පාසුවක් නැත. කුමන වර්ගයේ ඡන්ද විමසීමක් ප්‍රකාශයට පත් වුවද මැතිවරණ පෙරොන්දු ප්‍රකාශයක් සකස් කර ගැනීමට වැඩි අපහසුවක් ද නැත. එම ප්‍රකාශන ඡන්ද විමසීම අවසන් වීමත් සමග කුණු කූඩයට යන නිසා ඒ ගැන වැඩි උනන්දුවක් දැක්වීම අවශ්‍ය නැත. වැදගත් වන්නේ ජනමාධ්‍ය භාවිතය හසුරුවා ගන්නා ආකාරය සහ කන් බිහිරි කරවන හඬින් වේදිකාවේ කෑ ගසන කතිකයන් ප්‍රමාණවත් සංඛ්‍යාවක් එක් රැස්කර ගැනීම ය. රැස්වීම්වලට පිරිස් ගෙන්වා ගැනීම, වඩාත් නිවැරදිව ප්‍රවාහනය කිරීම සුපුරුදු ආකාරයට කළ හැකිය.

එහෙත් ඡන්ද දායකයන්ට නම් ඉදිරියේ එළඹෙන කවර හෝ ඡන්ද විමසීමක් බෙහෙවින් තීරණාත්මක ය. ඒ මහ බැංකුව පවසන ආකාරයට ආර්ථිකය වර්ධනය වෙමින් පැවතිය ද දිවි ගැට ගසා ගැනීමේ අරගලය පෙර කිසි දා නොවු විරු ආකාරයට උත්සන්නව ඇති නිසාය. එක අතකින් ලැබෙන වැටුපෙන් දිවි රැක ගැනීම උත්තර නැති ප්‍රායෝගික ගණිතමය ගැටලුවක් වීම සහ ව්‍යපාර සහ සුළු කර්මාන්ත කඩා වැටීමෙන්  කරන රැකියාව හෝ ආරක්ෂා කර ගැනීම අභියෝගයක් ව ඇති නිසාය. ස්වාධීන වූ මහ බැංකුවේ සංඛ්‍යා ලේඛන අනුව ජීවන වියදම නොකඩවාම පහත වැටෙන නමුත් කුසට අහරක් නැතිව නිදි වැටෙන දින ගණන ද උද්ධමන වේගයෙන් වැඩි වේ.

ජාතික සහ ජාත්‍යන්තර ආයතන ප්‍රකාශයට පත් කරන දත්ත සංඛ්‍යාලේඛන අනුව දළ වශයෙන් රටේ ජන සංඛ්‍යාවෙන් අඩක්ම ජීවත් වන්නේ ප්‍රමාණවත් ආහාර හෝ ජීවිතය පවත්වා ගැනීමට අවශ්‍ය සෞඛ්‍ය අධ්‍යාපන නිවාස සහ ඇඳුම් අවම මට්ටමෙන් හෝ නැති තත්වයක් යටතේය. පෝෂ්‍යදායක ආහාර වෙනුවට කුමක් හෝ කා කුස පුරවා ගැනීමට සිදුව ඇති නිසා ළමා පරපුරම අඟුටු මිට්ටන් වනු ඇත. මේ පිළිබඳව සංඛ්‍යා ලේඛන නැවත ඉදිරිපත් කිරීම පුනරුච්චාරණයකි.

මෙම ඛේදනීය තත්වය නිසා බලය අපේක්ෂාවෙන් සිටින දේශපාලන පක්ෂ සහ හවුල්වලින් ඉදිරිපත් කරන පොරොන්දු සහ වැඩ සටහන්වලින් තමන්ගේ අවශ්‍යතා ඉටු වන්නේ ද නැතිනම් ඒවා හුදු ප්‍රකාශන පමණක් ද යන්න විමසීම සහ පැහැදිලි කර ගැනීම් ජනතාවට අතිශයෙන් වැදගත් ය. මැතිවරණ ප්‍රකාශන සහ පොරොන්දු හුදු කඩදාසියකට සීමා නොකර සජීවී ක්‍රියාකාරිත්වයක් බවට පත් කර ගත යුතු නිසාය.

ආර්ථිකයත් රටත් ගොඩ නැගීමට පොහොට්ටුවේ ආධාරයෙන් බලයේ සිටින අනුප්‍රාප්තික ජනාධිපති රනිල් ජාත්‍යන්තර මූල්‍ය සංවිධානයේ උපදෙස් අනුව ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙළ නිසා දරිද්‍රතාවය සහ අසරණභාවය එන්න එන්න වැඩි වෙමින් පවතී. සරලව ඔහු අනුගමනය කරන වැඩ පිළිවෙළ නිසා ධනපතියන් වඩාත් ධනවත් වන අතර දුප්පතුන්ගේ ගොඩ එන්න එන්න වැඩි වේ. එමනිසා ඉදිරි ඡන්ද විමසීම්වලදී මෙම අදූරදර්ශී අවමන් සහගත වැඩ පිළිවෙළ සැබැවින්ම වෙනස් කරන ආකාරය ජනතාවට ඉදිරිපත් කළ යුතුය. තරග බිමේ ඉදිරියෙන් සිටින සියලුම දේශපාලන පක්ෂ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය නැතිව ආණ්ඩු කළ නොහැකිය යන මතයේ සිටින නිසා මෙම පැහැදිලි කර ගැනීම තීරණාත්මක ය.

එහෙත් මෙසේ අය කර ගන්නා බදු ආණ්ඩුව වැය කරන්නේ කුමක් සඳහා ද? ජනතාවගේ ජීවන තත්වය නගා සිටුවීමට ද? 2023 වසරේ දී රාජ්‍ය බදු ආදායමෙන් සියයට 77ක්ම වැය කර ඇත්තේ ණය සහ පොලී ගෙවීම සඳහාය. එය ලෝකයේ කිසිම රටක දක්නට නැති ඉහළ අනුපාතයකි. ඊළඟට ආණ්ඩුව ණය ලබා ගෙන ඇත්තේ ඉහළ ආදායම් ලබන මුදල් අතිරික්තයක් ඇති අයගෙනි. මේ අයට පොලී ගෙවන්නේ පහළ ආදායම් ලබන අයගෙන් අය කර ගන්නා බදු මුදලෙනි. නැතිනම් දුප්පතාගෙන් අරගෙන පොහොසතාට ලබා දීම ය. මෙම බදු මුදල්වලට සේවක අර්ථ සාධක අරමුදල ද යටත් වන නිසා සාමාන්‍ය සේවකයා විශ්‍රාම යන විට ලබා ගැනීමට ඉතිරි කරන මුදල ද ඉහළ ආදායම් ලබන අයට වක්‍ර ආකාරයෙන් ලබා දීමකි. සාමාන්‍ය ජනතාවගේ ජීවන බර සැහැල්ලු කිරීමට නම් මෙම ක්‍රමය වෙනස් විය යුතුය.

මීට අමතරව රට බංකොලොත්වීමට හේතු වී ඇති විදේශ ණය ද ජනතාව මත තවත් බර පටවන ක්‍රමයකි. සංවර්ධනය සඳහ මෙම ණය මුදල් ලබා ගන්නා බව කියන නමුත් විගණකාධිපති වාර්තා කරන ආකාරයට මෙම මුදල් භාණ්ඩාගාරයට ලැබී ඇති ආකාරය පැහැදිලි නැත. විගණකාධිපති ගේ 2021 වාර්ෂික වාර්තාවේ සඳහන් වන ආකාරයට 2006 සිට 2021 දක්වා කාලය තුළ විදේශ ණය වශයෙන් ලබා ගෙන ඇති රු. බිලියන 5500ක් නැතිනම් ඩොලර් බිලියන 41.1 ක් පිළිබඳ තොරතුරු සොයා ගත නොහැකිය. මෙම ණය වශයෙන් ලබා ගෙන ඇති මෙම මුදල් විදෙස් බැංකු හොර ගිණුම්වල තැන්පත් කර ඇතැයි අනුමාන කළ හැකිය.

මෙහි ඉදිරිපත් කර ඇත්තේ මෙතෙක් පැවති සියලු ආණ්ඩු යටතේ සිදුව ඇති වංචා සහ දූෂණවලින් හෙළිවී ඇති කරුණුවලින් ස්වල්පයකි. පැනමා පේපර්ස් සහ පැන්ඩෝරා ගනුදෙනු වාර්තා වන්නේ මීට අමතරව ය. අපට ඇත්තෙන්ම වැදගත් වන්නේ ජනතාවට හිමි විය යුතු මෙම ධනය ආපසු ලබා ගැනීමට සහ එවැනි දූෂණ සහ වංචා නැවත සිදුවීම වැළක්වීමට වේදිකා මත නැගී ඒවා විවේචනය කරන අය ඉදිරිපත් කරන වැඩ පිළිවෙළ කුමක් ද යන්නයි. මෙවැනි දූෂණ විමර්ශනය කිරීමට ජනාධිපති කොමිසම් පත් කිරීමෙන් සිදු වන්නේ ජනතාව මත තවත් බරක් පැටවීම පමණි. 1994 දී චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපති තනතුරට පත්වීමත් සමග ජනාධිපති කොමිසම් දුසිම් ගණනාවක් පත් කළ ද වැරදි නිවැරදි වීමක් හෝ අයථා ලෙස උපයා ගත්  ධනය ආපසු ලබා ගැනීමක් සිදු වූයේ නැත. චෝදනා එල්ල වූ අය තවමත් නිරුපද්‍රිතව දේශපාලනයේ යෙදි සිටිති.

එමනිසා රෑ වැටුනු වළේ දවල් නොවැටීමට නම් ජනතාව බලය අපේක්ෂා කරන අයගෙන් වැරදි නිවැරදි කිරීමටත් මංකොල්ල කෑ ධනය අත්පත් කර ගැනීමටත් වැඩ පිළිවෙළක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිය යුතුය. ඒ සඳහා බලපෑම් කළ යුතුය. වෘත්තීය සමිති, ජනතා සංවිධාන සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් මෙම මුලපිරුම අතට ගෙන ජනතාවගේ ඉල්ලීමක් බවට පත් නොකරන්නේ නම් ඉදිරියේ ආණ්ඩු වෙනසක් ඇති වුවද එය මෙතෙක් සිදු වූ වෙනස්වීම්වලට වඩා වෙනස් වන්නේ නැත.

Leave a Reply