You are currently viewing පැරකුම් යුගයක් නැවත ඇති කළ යුතුද ? [ 1 කොටස]

පැරකුම් යුගයක් නැවත ඇති කළ යුතුද ? [ 1 කොටස]

මම වෘත්තියන් වෛද්‍ය විශේෂඥයෙකු වෙමි. එනමුත් මේ ලිපිය ලංකාවේ ගොවිතැන ගැනයි. මෙයට පෙර මා වැනි වෛද්‍ය විශේෂඥවරුන් ගොවිතැන ගැන විශේෂඥ මත පලකර රටත්, කෘෂිකර්මයත්, ගොවි ජනතාවත් අනතුරේ හෙලා කළ විපැත්තිය මතකයේ තිබෙන තුරු කිසිම ශ්‍රී ලාංකිකයෙකු වෛද්‍යවරයෙකු ගෙන් ගොවිතැන ගැන උපදෙස් නොගන්නා බව මම දනිමි. මා, එදින මෙන්ම අද ද විශ්වාස කරන්නේ  මෑත යුගයේ රාජ්‍ය නායකයෙකු විසින් ගනු ලැබූ මුග්ධම තීරණය ලෙස, එක් රැයින් කාබනික ගොවිතැන හඳුන්වාදීම, ලක් ඉතිහාසයේ කළු අකුරින් ලියැවෙනු ඇති බවයි. කෙසේ වෙතත් ලංකාවේ ගොවිතැන ගැන, විශේෂයෙන්ම වී ගොවිතැන ගැන විමසීමක් කිරීමට මා පෙළඹුවේ කාබනික පොහොර භාවිතය ගැන එදා ඇතිවූ සාකච්ඡාවයි. ලංකාවේ ගොවිතැන ගැන ඇති විද්‍යාත්මක දත්ත පිරික්සීමේදී මට වැටහී ගිය කරුණු වලින් මම කම්පාවට පත්වුවෙමි. ලංකාවේ ගොවියන්, කපටි දේශපාලඥයන් විසින් සදාකාළික දුගීබවේ තබා තම ඡන්ද පදනම පළල් කරගැනීමට පවත්වාගෙන යනු ලබන දේශපාලන මෙවලමක් බව මට වැටහී ගියේය. මේ පිළිබඳව ඇති විද්‍යාත්මක දත්ත මත පදනම්ව ලියූ මේ ලිපියෙන් උත්සාහ කරන්නේ ලංකාවේ ගොවිතැන ගොඩගත යුතු අකාරය ගැන මතයක් ප්‍රකාශ කිරීම නොවේ. මෙයින් කෙරෙන්නේ ලංකාවේ කෘෂිකර්මාන්තය ගැන ගැන මෙතෙක් නොදුටු මානයක් පෙන්වා, ප්‍රශ්න රැසක් මතුකොට, ඒ ප්‍රශ්න වලට විසඳුම් සෙවීම කියවන්නන්ට හා වගකිවයුත්තන්ට භාර කිරීමයි.  

ගොවිතැනේ අතීතකාමී ආශ්වාදය

මහින්ද රාජපක්ෂ මැතිතුමා පළමුවරට ජනපතිවරණයට තරඟ කරනවිට රුපවාහිනියේ පුන පුනා පෙන්වූ දැන්වීමක් වුයේ එතුමා නියරක් උඩින් ඇවිද ගොස් කුඹුරක් හරහා ගමන් කරන අයුරුයි. එමගින් වී ගොවිතැන කරන්නේ යැයි විශ්වාස කරන පවුලකින් ජනපති පුටුවට තරඟ කිරීමේ වාසිය එතුමා අත්කර ගත්තේය. ඇත්ත වශයෙන්ම එතුමාගේ මුල්ගම පිහිටි ගිරුවා පත්තුවේ ප්‍රධාන ආහාරය වුයේ බත් නොව, රාජපක්ෂ පවුලේ කුරහන් සාටකයට එම පාට ලබාදුන් කුරක්කන්ය. එතුමාට විරුද්ධව තරඟ කල, ගොවි තරුණයන්ට බෙල්බොටම් ඇන්දවීමට යෝජනා කල රනිල් වික්‍රමසිංහ මහතා, ගොවියන් බහුල දිස්ත්‍රික්ක වලින් පමණක් නොව, සමස්ත ඡන්දයෙන්ද පරාජය විය. මේ “ගොවි උපක්‍රමය”ම මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා තම මැතිවරණ වේදිකාවේදී පාවිච්චි කලේය. ජනපති අපේක්ෂකයෙකු ලෙස එතුමා මුල්වරට හඳුන්වා දුන් චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිතුමිය පැවසුවේ “මේ ඉන්නේ ගොවියකුගේ පුතෙක්” යනුවෙනි. එම ජනපතිවරණයේදී එතුමා ගොවියෙකුගේ පුතෙකු වීම, මහින්ද පැරදවීමට බලපෑ එක් සාධකයක් විය. රනිල් වික්‍රමසිංහට වඩා ශුර දක්ෂිණාංශික දේශපාලඥයෙකු වූ ජේ. ආර්. ජයවර්ධන ජාතික වප් මගුලක් පවත්වා, එක්සත් ජාතික පක්ෂයට ජාතික මුහුණුවරක් ලබා දුන්නේය. 

මෙලෙසින් ලංකාවේ ගොවිතැන, විශේෂයෙන්ම වී ගොවිතැන දේශපාලනය සමඟ තදබල ලෙස බද්ධ වී තිබේ. මහා පරාක්‍රමබාහු රජු  “අහසින් වැටෙන එක් දිය බිඳුවකුදු ප්‍රයෝජනයට නොගෙන නිකරුණු මුහුදට යන්නට නොදෙන්නෙමි” යැයි පැවසූ කියුම ලංකාවේ දේශපාලන වේදිකාවල විටින් විට ඇසේ. “මඩ සෝදගත්කල ගොවියා රජකමට සුදුසුය” කියා රොබට් නොක්ස් ලියු බව සැමට මතකය. මඩ සෝදා ගොවියන් රජුන් කරන බවට දේශපාලඥයන් වේදිකාවල මොරදෙයි. ලංකාවේ ප්‍රථම අගමැති ඩී. එස්. සේනානායක මැතිතුමා වැව් දහස් ගණනක් පිළිසකර කොට, නව වැව් තනා, ගොවි ජනපද ඇතිකළ නිසා, ඔහු පැරකුම් රජුගේ පුනරුත්පත්තියක් බව ලියු ලිපි මා කියවා ඇත. අද තිබෙන අයුරින්ම වී ගොවිතැන රකින බවට පොරොන්දු වන, “දහසක් මහා වැව්” තනන, දේශපාලන ව්‍යපෘති වී ගොවියන් අතර පමණක් නොව, හදිසි ශාරීරික කෘත්‍යයකට හෝ කුඹුරකට නොබැසූ නාගරික සිංහලයන් අතරද අතිශයින් ජනප්‍රිය වේ. මෙයට හේතුව අපේ මුතුන් මිත්තන් බතින් රට අස්වද්දා, ලොවෙහි ප්‍රබලම රටක් බවට ලංකාව පත්කළ බවට ලංකාවේ අති බහුතරයක් වන සිංහල බෞධයයන් තුල ඇති විශ්වාසයයි. එදා දවස මෙන්ම අද දිනද වී ගොවිතැන සරුකර, බතින් රට ස්වයංපෝෂිත කොට, පිටරටටද සහල් අපනයනය කළහොත්, ලංකාව ලොවේ මුල්පෙළේ රටක් බවට පත්කළ හැකි බව මාද අයත්වන සිංහල බෞද්ධ මහා කුලකය තදින් විශ්වාස කරයි. වැවයි- දාගැබයි, ගමයි-පන්සලයි සංකල්පය අනුව යම් රජයක කාර්යක්ෂමතාවය මනින වැදගත් මිනුම් දණ්ඩක් වී ඇත්තේ තැනු වැව් සංඛ්‍යාවයි. පැවති එක් රජයක් “වැවක් තියා මාළු ටැංකියක්වත්  හැදුවේ නෑ” කීම එක් මැතිවරණයක ප්‍රබල සටන් පාඨයක් විය.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කාබනික පොහොර වියරුව මේ අතීතකාමයේ මස්තක්ප්‍රාප්ත වීමක් මිස, අහම්බයක් නොවේ. මෙයට ආවැඩුවේ රාවණාවාදයෙන්, නාථ දේවවාදයෙන්, නලින්වාදයෙන්, අමරසේකරවාදයෙන්, මෙරට බුදුන්වාදයෙන්, ජාත්‍යන්තර කුමන්ත්‍රණවාදයෙන්  හිස් කුරුවල් කරගත් මධ්‍යම පංතික උගතුන් හා යතිවරුන් පිරිසක් මිසක්, කෘෂි විද්‍යාඥයන් හෝ ගොවියන් නොවේ. ලොවෙහි වැඩිම  ජන ඝනත්වයක් ඇති, අඩුම වගාකළ හැකි බිම් ප්‍රමාණක් ඇති, අඩුම ඵලදාවක් ඇති රටක, හිඟනුන්ව සිටින ගොවියන්ගේ පාත්තරයට හෙනහුරා  පාත්කලේ (අ)වියත්මග නියෝජනය කල නාගරික උගතුන්ය. අපේ ගොවිතැන අපේ මුතුන් මිත්තන් කළ අන්දමටම ගොම පොහොර, කොළ අතු යොදා කලහොත් ලංකාවේ ආර්ථිකය ලොවෙහි මුල්තැනට පත්වී, වසවිස නැති ආහාර කෑම නිසා මිනිසුන් අඩුවෙන් මැරී, ලාංකිකයන්ගේ ආයු කාලය වැඩිවේ යැයි මේ මුග්ධයන් රැළ තවමත් විශ්වාස කරයි. මේ රැළට කුඹුරු වටේ මී ගස් වැවීමට යෝජනා කරන යතිවරුන්, ඌවේ ගස්වල හැදෙන මීපැණි, හෙරලි විකුණා දේශීය ආර්ථිකය ගොඩගැනීමට යෝජනා කරන ප්‍රගතිශීලි දේශපාලකයන්ද එක්වේ.  කිසිඳු විද්‍යාත්මක සාක්ෂියකින් තොරව මොර ගසන මේ “ගොවි බලකායේ” මත වෙනස් කිරීමට උත්සාහ ගැනීම නිෂ්ඵලය. 

අනෙක් පසින් අද පවතින ගොවිතැන වෙනස් කිරීමට කථා කරන්නන් ගොවියාට බෙල්බොටම් ඇන්දවීමට හෝ කුඹුරුවල රෝස මල් වැවීමට පවසා අන් අයගේ විහිළුවට ලක්වේ. ඒ ඔවුන් තුළ ඇත්තේ දුක් විඳින ගොවියන් ගැන අනුකම්පාවක් නොව අවඥා සහගත සිතිවිලි නිසාය. මේ අන්තවාදීන් දෙපිරිස ගැන අමතක කර,අප දැන් කලයුත්තේ ලංකාවේ කෘෂිකර්මය ගැන දැනට ඇති විද්‍යාත්මක තොරතුරු විමසා, විවෘත මනසකින් මධ්‍යස්ථව විමසා බලා, අලුතින් ගමනක් ගැන සිතීමය. අද ලංකාවේ ගොවියා හා ගොවිතැන ගැන ආර්ථික, සමාජ විද්‍යාත්මක,දේශපාලන සමස්ත විග්‍රහයක් සිදුකොට අද ගොවිතැන නිසා අද හිඟමනට වැටී ඇති අපේ ගොවියන් මේ වැටී ඇති  ඇති නරාවලින් ගොඩගත හැකි ක්‍රමයක් සොයාගැනීමය.    

වී ගොවීන් දේශපාලන මෙවලමක්ද?

2017 කෘෂිකාර්මික ගෘහ සංගණනය අනුව මිලියන 22ක් වන ලංකාවේ මුළු ජනගහණයෙන් තුනෙන් පංගුවකට වඩා එනම් මිලියන 8.1 ක් අයිති වෙන්නේ කෘෂිකර්මාන්තය මත යැපෙන පවුල්වලටය. කෘෂිකර්මයෙන් යැපෙන පවුල් වල ඡන්දදායකයන් අවම වශයෙන් මිලියන 5.8 කි. මෙයින් අදහස් වන්නේ මුළු ලංකාවේ ඡන්දදායකයන් ගෙන් තුනෙන් පංගුවක් පමණ කෘෂිකාර්මික පවුල්වල සාමාජිකයන් බවයි. ලංකාවේ කපටි දේශපාලඥයන් සදා දුගී බවේ, අඳුරේ තබාගෙන තම ඡන්ද මල්ල තරකර ගන්නේ මොවුන්ගෙනි. ලංකාවේ ගොවිතැනේ නියැලෙන පවුල් මිලියන 2.1 කි.ගොවියන් මිලියන 2.2කි. මෙයින් 36% එනම් ලක්ෂ 6.1 ක් වී ගොවිතැනේ යෙදී සිටියි. එළවලු වවන පිරිස 460,000 ක් පමණවේ. පලතුරු වවන්නන් උපරිම වශයෙන් සිටියේ 66,000 කි. තේ වතුවල  නියැලෙන පිරිස 365,000 ක්ද , රබර්  වතුවල නියැලෙන 55,000ක්ද,   පොල් වවන්නන් 167.000 ක්ද සිටී. ඉතිරි ගොවිපවුල් යැයි හඳුන්වන පිරිස වවන්නේ කුමක්දැයි පැහැදිලි නැත.

2022Sep26[1]_famous_protest

මේ පිරිස් අතුරින් සදා දිළින්දන්ව සිටින්නේ වී ගොවියන්ය. ඔවුන් තම අතට විටින් විට ලැබෙන සරු අස්වැන්නේ ආදායමද විවිධ හේතු නිසා කෙටි කලකින් නැතිකර ගනී. දුෂිත දේශපාලනඥයන්, මේ අසරණ මිනිසුන් සදා අසරණ බවේ තබා, මඩ සෝදා ඔවුන් රජුන් කරන බවට පොරොන්දු වෙයි. හිඟන්නාගේ පාත්තරයට පාන් කැබැලි විසි කරන්නාසේ පොහොර සහනාධාරය, නියං සහනාධාරය, ගංවතුර සහනාධාරය, වල් අලි පාළු සහනාධාරය වැනි දේ මොවුන් වෙත විසිකර තම ඡන්ද පදනම පෝෂණය කිරීම මේ කපටින්ගේ දේශපාලන උපක්‍රමයයි.  දුගීන් බවට පත්වුණු ගොවීයන් සියදිවි නසා ගැනීම, වල් අලි පහර නිසා මියයෑම, විෂ සහිත වතුර බී වකුගඩු නරක් කරගැනීම, දේශපාලන හයිය ගත් වී මුදලාලිලා ගොවීන්ගේ අස්වැන්න සූරා කෑම නිසා ඔවුන් දුප්පතුන් බවට පත්වීම නාගරික මධ්‍යම පංතියේ හිත් කම්පා කරවන සිදුවීම්ය. ගොවියන් ගැන සැබෑ කැක්කුමක් ඇති යැයි කියමින්, ඇතුම් සිංහල බෞධයන්ගේ උරුමයක් වන වී ගොවිතැන රැකීමට පොරොන්දු වන ඕනෑම කපටි, දුෂිත දේශපානඥයෙකුට ඡන්දය දීමට මේ මෝඩ නාගරික උගතුන්ද මැලි නොවෙයි. මේ මෝඩකමින් උපරිම ප්‍රයෝජන ගන්නේ කපටි දේශපාලනඥයින්ය. ගොවිතැන රැකීමට හැකි යැයි සිතන කපටින්ට ඡන්දය දීම හැරුණු කොට ගොවියන් දුගියන්ද, එසේ නම් ඔවුන් දුගියන් වුයේ වීමට හේතු කවරේද,මේ දුගී බව නැතිකළ හැක්කේ කෙසේද යන්න ගැන අපේ උගතුන් නම් නොසොයයි. ගැන කපටි දේශපාලඥයන් උනන්දු නොවන්නේ ගොවියන් දුගියන්ව සිටීම තම  පැවැත්ම තහවුරු කරන හෙයිනි.

ගොවිතැන ලංකාවේ ආර්ථිකයට කරන දායකත්වය කුමක්ද?

2017 කෘෂිකාර්මික ගෘහ සංගණනය අනුව ලංකාවේ  මුළු ශ්‍රම බලකාය වන මිලියන 8න්  26% එසේත් නැත්නම් මිලියන 2.2 ගොවිතැනේ යෙදෙන්නන් වෙයි. ලංකාව කෘෂිකාර්මික රටක් කියන්නේ මේ අර්ථයෙන් විය යුතුය. 2019  මහ බැංකු අර්ථික හා සමාජ දත්ත වාර්තාව අනුව මේ සුවිශාල ශ්‍රමිකයන් පිරිස ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතයට කරන දායකත්වය 7% ක් පමණි. ඒ වී, තේ, පොල්, රබර්, එළවලු, කුළුබඩු ඇතුළු සියළු වගා වලිනි. ඉන්දියාවේ මෙය 17.7% ක්ද පකිස්ථානයේ 25% ක්ද බංගලාදේශයේ 15%ක්ද වේ. දළ දේශීය නිෂ්පාදිතයට(GDP ) කෘෂිකර්මාන්තය දායකවන ප්‍රතිශතය 1950 වසරේ  47% ක සිට 2019 වසර දක්වා 7% කට අඩුවී ඇත.මේ කරුණ සත්‍යයක්ව පැවතියදී ලංකාව කෘෂිකාර්මික රටක් යැයි තවමත් හදුන්වෙන්නේ ඇයිදැයි තේරුම් ගත නොහැක.

එම මහ බැංකු වාර්තාවටම අනුව මිලියන රුපියල් 698,000 ක් වූ මුළු කෘෂිකර්මාන්ත නිෂ්පාදිත ආදායමෙන් (GNI)  වී ගොවිතැනෙන් ලැබුණු ආදායම රුපියල් රුපියල් මිලියන 70,000 කි. එනම් ලංකාවේ මුළු ශ්‍රම බලකායෙන් 9%ක් නියුතු වන වී ගොවිතැනෙන් ලංකාවේ මුළු ජාතික නිෂ්පාදිතයට ලැබෙන දායකත්වය 0.7% කි. අන් අයුරකින් කිවහොත් ලංකාවේ වැඩකරන මිනිසුන්ගෙන් 9%ක් දඟලන්නේ ලංකාවේ ජාතික ආදායමෙන් 0.9% ක් ලබාගැනීමටය. මෙය මොනතරම් මිනිස් ශ්‍රමය අපතේ හැරීමක්ද? වී ගොවිතැන තරම් ශ්‍රම ඵලදායිතාව අඩු තවත් රැකියාවක් ලංකාවේ තිබේදැයි සැක සහිතය.

වර්ග කිලෝ මීටරයකට මිනිසුන් 342 ක් සිටින ශ්‍රී ලංකාව ලෝකයේ ජන ඝනත්වයෙන් ලෝකයේ රටවල් 235 ක් අතුරින් අප සිටින්නේ  40  වෙනි තැනය. මේ ලැයිස්තුවේ අප අසල සිටින යම් රටක් කෘෂිකර්මාන්තයෙන් තම රට දියුණු කිරීමට උත්සාහ කරන්නේ නම් එය දිළිඳු බවේ ගිලී පවතී. මුළු ලංකාවේම වගාකර ඇති බිම් ප්‍රමාණය අක්කර මිලියන 3.6 (හෙක්ටෙයාර් මිලියන 1.45) කි. ලෝක ආහාර සංවිධානයේ දත්ත අනුව ලංකාවේ මුළු බිම් ප්‍රමාණයෙන් 22.2% ක් වගාකළ හැකි බිම් වන අතර මෙම මුළු බිම් ප්‍රමාණයම පාහේ දැන් වගාකොට ඇත. මෙයින් හෙක්ටෙයාර් මිලියන 1.07 ක වී වගා කර ඇත. මේ කුඹුරු  වලින් හෙක්ටෙයාර් 826,0000 ක්ම වාරිමාර් ග ක්‍රම මගින් වගා කරන බිම්ය. තේ හෙක්ටෙයාර් 200,000 කි. රබර් හෙක්ටෙයාර් 138,000කි. පොල් වගාව ගැන එවැනි දත්ත නැත. කුළුබඩු වගා කර ඇත්තේ හෙක්ටෙයාර් 80,000 ක පමණි. එළවලු වගා කර ඇත්තේ හෙක්ටෙයාර් 150,000 කට අඩු ප්‍රමාණයකය. 

ලංකාවේ ඉතා අඩු ඉඩම් ප්‍රමාණයක වවන කුළුබඩු (කුරුඳු, ගම්මිරිස්, එන්සල්, කරාබුනැටි වැනි) සහ ඖෂධ පැළෑටි වලින් වී වගාවට ආසන්න ආදායමක් (රුපියල් මිලියන 66.000ක්) ලැබෙයි. පළතුරුද, එළවළුද එසේමය. (පිළිවෙලින් රුපියල් මිලියන 60,000ක් හා 58,000ක්).  අප සදා අගය කරන “සිලෝන් ටී” වලින් දැන් ලැබෙන්නේ රුපියල් මිලියන 66,000 කි. රබර් වලින් එය රුපියල් මිලියන 160,00 කි.පොල් වලින් එය රුපියල් මිලියන 68,000 කි. ඉතා අඩු ඉඩම් ප්‍රමාණයක වගාකොට වැඩි ආදායමක් ලබාගත හැකි වගාවන් තිබියදී තවමත් වී, තේ, පොල්, රබර් ගැන කතාකරමින් සිටින මෝඩ කමකි.  

වී ගොවියන් සදා දුගියන් වන්නේ ඇයි?

සංගණනයන්ට අනුව ලංකාවේ එක් ගොවි නිවසකට අයිති සාමන්‍ය ඉඩම් ප්‍රමාණය අක්කර 2ක්  වූ අතර, මෙය වැඩිම වූ කිලිනොච්චි දිස්ත්‍රිකයේද එම ප්‍රමාණය අක්කර 5.3ක් විය. සාමාන්‍යයෙන් ගොවි පවුල් ඒකකයක සාමාජිකයන්  3.4ක් සිටින රටක පවුලක යැපීමට මෙවන් අඩු බිම් ප්‍රමාණයක් ඇත්දැයි යන්න විමසිය යුතු කරුණකි.

පෙරකී 2020 මහ බැංකු වාර්තාව අනුව ලංකාවේ වාරිමාර්ග ක්‍රමවලින් වවන කුඹුරු හෙක්ටෙයාරයකට (හෙක්ටෙයාර් එකක් අක්කර 2.4 කි)  වසරකට ලැබෙන ශුද්ධ ආදායම රුපියල් 123,000 කි. මෙවන් අඩු ආදායමක් ලැබ කුඹුරක් වගාකර පවුලක් රකින්නේ කෙසේද? ගොවියන් සදා ණයකරුවන් වී සිටීම අරුමයක් නොවේ. වැසි දියෙන් වගා කරන කුඹුරු බිම් වල ශුද්ධ අදායම ඍණ රුපියල් 9000 ක් පමණවේ. එසේනම් වැසි දියෙන් කෙරෙන කුඹුරු වවා පලක් නැත. නගරාසන්නව ඇති “කුඹුරු ගොඩ කරනවෝ” කියමින් කෑමොර ගසන විද්වතුන් ඒවා වගාකොට පලක් නැති නිසා බව නොදන්නවා විය යුතුය. අනෙක් අතට  මයියොක්කා වගා කළහොත් හෙක්ටෙයාර් එකකට රුපියල් 510,000 ක්ද, රතුළුණු වගා කලහොත් රුපියල් මිලියන 2.95 ක්ද, මිරිස් වගා කලහොත් රුපියල් මිලයන 2.65ක්ද ,කරවිල වගා කළහොත්  මිලියන මිලියන 1.1ක්ද, වම්බොටු වගා කලහොත් මිලියන 1.2ක්ද ආදායම ලෙස ලබාගත හැක. මුතුන් මිත්තන් කළ නිසා වී වගා කිරීමට බලකොට ඇති ගොවියන් දිළිඳුන් බවට පත්වීම හද කම්පාකරවන සුළුය.

වී ගොවියන් දුගියන් වීමට හේතු බොහෝය. ලෝක දත්ත අනුව ශ්‍රී ලංකාවේ වී ඵලදාව හෙක්ටෙයාර් එකකට කිලෝ 3016කි. ඇමරිකාවේ එය 8112කි. චීනයේ 6932කි ඉන්දියාවේ 3695කි. බංගලිදේශයේ පවා එය 4912 කි. මෙයින් අදහස් වන්නේ අප තවමත් නොදියුණු ගොවිතැන් ක්‍රම මගින් වී වවන බවයි. සහල් නිෂ්පාදනයේ නිෂ්පාදන වියදම ලංකාවේ ඉතා ඉහළය. ඒ කෙසේ වෙතත් ලංකාවේ වී නිෂ්පාදනය ඇමරිකාවේ ප්‍රමාණයට සමාන වනසේ තුන් ගුණයකින් වැඩි කලත් අප‍ගේ වී ගොවිතැනෙන් අපට ලැබෙනු ඇත්තේ  මුළු දල ජාතික ආදායමින් අද ලැබෙන ප්‍රමාණය මෙන් තුන් ගුණයකි. එනම් 2% ක් පමණි. මුළු ශ්‍රම බලකායෙන් 9%ක් යොදවා මෙය සිදුකල යුතුද, එසේත් නැතිනම් වෙනත් බෝග සඳහා අප යොමු විය යුතුද යන්න දැන් විමසිය යුතු කරුණකි.

තවමත් මුළු ගොවි පවුල් වලින් 52%ක් නියඟය නිසා හෝ අධික වැස්ස නිසා පීඩා විඳියි. ගොවියන්ගේ ආදායම අඩු වූයේ ඔවුන්ට හිමි ඉඩම් නැති නිසාම නොවේ. මුළු ගොවි පවුල් මිලියන 2.1 කින් 99% කට තමන්ට අයිති ඉඩමක් තිබුණි. මේ සංගණනයේ 52%ක් ගොවියන්ට උරුමයෙන් ලැබුණු ගොවිබිමක් තිබුණු අතර, 16%කට රජයෙන් ලැබුණු ගොවිබිමක් තිබුණි. මිලදී ගෙන වගාකළ බිම් 10%කට අඩු ප්‍රමාණයකි. 6%ක් අනවසරයෙන් වගාකළ ඉඩම් විය. ගොවිතැන දියුණු රටවල ගොවියන් අමතර ආදායමක් ලබා ගන්නේ සත්ව පාලනයෙනි. ලංකාවේ ගොවි පවුල් වලින් අමතර අදායමක් ලබාගත හැකි ගවයන්, එළුවන්, කුකුලන් වැනි කුමන අකාරයේ හෝ සත්වයෙක් සිටින්නේ පවුල් ලක්ෂ 260,000 එනම් 12% ක පමණි.

Leave a Reply