You are currently viewing පරමාධිපත්‍යයට පයින් ගසන මහජන නියෝජිතයන් හීලෑ කරන්නේ කෙසේද?

පරමාධිපත්‍යයට පයින් ගසන මහජන නියෝජිතයන් හීලෑ කරන්නේ කෙසේද?

රනිල්ට එකතුවී ඇමතිකම් භාර ගන්නවාද, නැතිනම් විපක්ෂයේම ඉන්නවාද, යනවානම් කිදෙනෙක්ද වැනි ප‍්‍රශ්න අද විපක්ෂයේ විශේෂයෙන්ම සමගි ජන බලවේගයේ ප්‍රධාන දේශපාලන මාතෘකා වී ඇත. රනිල්ට එකතුවීමට විස්සක් හතළිහක් වැනි ප්‍රමාණයක් සූදානමෙන් සිටින බව සජබ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත‍්‍රී රාජිත සේනාරත්න පසු ගිය දා පුවත් සාකච්ඡාවක් පවත්වා රටටම ඇහෙන සේ කීවේය. ඉන් පසුව සජබ නායක සජිත ප්‍රේමදාස එවැන්නක් සිදු නොවන බව තවත් නිවේදනයක් නිකුත් කරමින් කීවේය. කෙසේ වුවත් යනවාද නැද්ද යන්න ස්ථිර වශයෙන්ම තීරණය වන්නේ අන් කිසිවකටත් වඩා ඇමතිකම් සහ වෙනත් වෙනත් වරප‍්‍රසාද අනුව ය. මේ අය ආවත් නැතත් රනිල්ගේ ජනාධිපතිකම පවත්වා ගැනීමට පාර්ලිමේන්තුවේ බහුතරය සුරක්ෂිත බැවින් තීරණාත්මක සාධකය වන්නේ රනිල් ඔවුන්ට ‘හොඳින් සලකන්නේද’ නැද්ද යන්න පමණි.

මේ අතර රනිල් වික‍්‍රමසිංහ ද කැළඹුණ දියේ බිලී බෑමට මෙන් පාර්ලිමේන්තුවේ සියලූම මංත‍්‍රීන් එකතු කර ආණ්ඩුව පවත්වා ගැනීමේ තවත් උත්සාහයක් ගැනීමට සූදානම් ය. ඔහු දැනටමත් සියලු මංත‍්‍රීන්ට (එක්සත්) ජාතික රජයක් පිහිටුවීමට තමාට එක් වන මෙන් ආරාධනය කර ඇත. සමහර විට එවැනි ලිපියක් යැවීමට සුදුසු වාතාවරණයක් පවතින බව ඔහුගේ තක්සේරුව විය හැකිය.

ඇත්තෙන්ම මෙම පාර්ලිමේන්තුවේ සිටින මංත‍්‍රීන්ගේ ස්වභාවය සහ චර්යාව අනුව ආණ්ඩුවට නැතිනම් බලය ඇති තැනට එක්වීම නුහුරු නුපුරුදු කාර්යක් නෙවේ. හරීන් ප‍්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර වැනි අය සජබ සමග අසුන් ගෙන සිටිය දී ජනාධිපති ගෝඨාභය ‘පට්ටා’ ගැසු ආකාරය අපට තවමත් සිහි කළ හැකිය. පේල් වූ සර්ගෙන් ඇමතිකම් ලබා ගැනීමට එම විවේචනය සහ හෙළා දැකීම කිසිම බාධාවක් වූයේ නැත. එය අප්‍රියාසයක් වූයේ මතකය විකල් නොවු ජනතාවට පමණි. ආණ්ඩුවට එක් වූ පසුව සර්ගේ පේල්වීම ගැටලුවක් වන්නේ නැත. පාස්කු ඉරිදා ප‍්‍රහාරය ගැන දෙවියන් වහන්සේ ඉදිරියේ බැගෑපත්වීමට හේතුවක් වන්නේ නැත. වඩාත් සරලව පවතින දේශපාලන සදාචාරය අනුව කොයි පැත්තට පැන්නත් වරදක් නැත. අවශ්‍ය වන්නේ ඊළඟ මැතිවරණය තෙක් හැළියේ දිය කෙළීම පමණි. වතුර රත්වීමට පෙර ඉන් පැන යාමට කකුළුවන් මෙන් නොව මේ අය හොඳින් දනිති.

විපක්ෂයේ අයට ආණ්ඩුවට එක් විමටත් ආණ්ඩුවේ සිටින අයට ඉන් ස්වාධීනව විපක්ෂයේ අසුන් ගැනිමටත් හැකි වන්නේ හෘද සාක්ෂියක් නැතිකම නිසාම නොවේ. ඔවුන්ට තමාගේත් ආසන්නතමයින් ගේත් වුවමනාවන් ඉටු කර ගැනීමට ප‍්‍රමාණවත් හෘද සාක්ෂියක් පවතී. එය හේතු යුක්ති කරන්නේ දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ සතුරන් නැති බව කියන ප‍්‍රලාපයකිනි. ඇත්තෙන්ම නැත්තේ සතුරන් හෝ මිතුරන් නොව දේශපාලනයයි.

දේශපාලකයන්යැයි හඳුන්වා ගන්නා නමුත් මේ අයට කවර කෝණයකින් බැලූවද දේශපාලනයක් නැත. ඒ නිසා ඒ පැත්තටත් මේ පැත්තටක් පැනීමට කිසිදු හිරිකිතයක් නැත. ඒ පැත්තේ සිටියත් මේ පැත්තේ සිටියත් කරන්නේ එකම දෙයකි. කළ යුතු වන්නේ පැති මාරුවත් සමග නිතර පාවිච්චි කරන වචන ‘සෙට්’ එක මාරු කිරීම පමණි. අන් සියල්ල නොවෙනස්ව පවතී. එමනිසා පැතිමාරු කිරීම නතර කිරීමට කළ යුතු එකම කාර්ය වන්නේ දේශපාලනය හඳුන්වා දීමයි. දේශපාලන ප‍්‍රතිපත්ති ක්‍රියාමාර්ග පැහැදිලිනම් පැති මාරු කිරීම පහසු වන්නේ නැත. පැති මාරු කරන්නේ නම් එතෙක් පෙනී සිටි දේශපාලන මතවාදය ද මාරු කළ යුතුය. දේශපාලනයක් නැති නිසා කොයි පැත්තේ සිටියත් වෙනසක් නැත. පවතින්නේ වරප්‍රසාදවල වෙනසක් පමණි. ඇමතිවරයෙකුට නව බදු ක‍්‍රමය යටතේ වැටුප ඇතුළු දීමනාවෙන් සියයට තිහක් වන රු. 241,000ක් ගෙවීමට සිදු වන අතර මංත‍්‍රීන්ගේ බදු ප‍්‍රමාණය ඊට මදක් අඩු වනු ඇත. ඒ අනුව ඇමතිකමක් භාර ගැනීම යන්න මූල්‍යමට ප‍්‍රකාශන අනුව රු. 241,000ක බදු මුදලක් භාණ්ඩාගාරයට තමාගේ නමින් බැර කිරීම පමණි.

ගත් ණය ගෙවා ගත නොහැකිව බංකොළොත්වී ඇති මෙම රට ගොඩ නැගීමට අත්‍යවශ්‍ය සාධකයක් වන්නේ නිවැරදි දේශපාලනයයි. එනම් රට ගොඩ නැගීමට අනුගමනය කරන ආර්ථික සහ පරිපාලනමය වැඩ පිළිවෙළක් ගැන පැහැදිලි නිරවුල් දැක්මකි. එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙක් ණය ගන්නවාද රාජ්‍ය ව්‍යවසායන් දේශීය හෝ විදේශීය ගැනුම්කරුවන්ට විකුණා දමන්නේ ද, ඇමතිකම් සීමා කරන්නේ ද, ස්වාධීක කොමිසන් සභාවලට පත් කරන්නේ කෙසේද යන කරුණුවලට වඩා ගැඹුරට විහිදෙන ප‍්‍රතිපත්ති ක්‍රියා මාර්ගයකි.

පළමුවෙන්ම වැදගත් වන්නේ සියලු පුරවැසියන්ට සමානව සලකන නීති පද්ධතියක් පවත්වා ගැනීමට මෙම දේශපාලකයන් සූදානම් ද යන්නයි. වෙනත් වචනයකින් නීතියේ ආධිපත්‍යය පවත්වා ගැනීම තහවුරු කරන, සුරක්ෂිත කරන ප‍්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට දේශපාලන කැපවීමක් තිබෙන්නේ ද යන්නයි. අධිකරණයේ ස්වාධීනත්වය පවතින්නේ විනිශ්චයකරුවන් පත් කිරීම අපක්ෂපාතීව පාරද්‍රශ්‍ය ආකාරයෙන් සිදු කිරීමෙන් පමණක් නොවේ. අධිකරණය ඉදිරියේ සියලූ දෙනා සමාන නමුත් අධිකරණය ඉදිරියට යෑමට පෙර පවතින පරිපාලන ව්‍යුහයන් සහ භාවිතාවන් ස්වාධීන හා අපක්ෂපාත නොවන්නේ නම් අධිකරණය ඉදිරියට පැමිණෙන්නේ යුක්තියේ සහ සාධාරණත්වයේ හෙවනැල්ලක් පමණි.

නීතියේ ආධිපත්‍යය නැතිනම් නීතියක් අනුව පාලනය කිරීම රටක ජන ජීවිතයේ කොඳු නාරටියයි. අපක්ෂපාතීව සහ සාධාරණව නීතිය යොදා නොගන්නේ නම් කෙතරම් හොඳ නිති සහ අධිකරණ පද්ධතියක් තිබුණත් ජනතාවට සෙතක් නැත. අන්සතු දේ හොරා ගැනීම ආගමික ඉගැන්වීම අනුවත් රටේ පවතින නීතිය අනුවත් වැරැද්දකි. වැරැද්දක් වන්නේ ඉන් ජන ජීවිතය පිරිහීමට පත්ව රටම බංකොළොත් වීම නිසාය. කෙසෙල් කැණක් හොරා ගැනීමේ සිට මහ බැංකුවේ බැඳුම්කර දක්වාම හොරකම නිසා සිදු වන්නේ සම්පත් අවභාවිතයකි. සම්පත් හිමියාගේන් අයථා ලෙස උදුරා ගැනීමකි. එහෙත් අපේ රටේ කෙසෙල් කැණක් හොරකම් කිරීමට නීතිය ක්‍රියාත්මක වුවත් මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් නීතිය බලරහිතය. දේශපාලන පිල් මාරු කිරීම ආර්ථික වාසියක් වන්නේ මෙවැනි තත්වයක් යටතේය. විපක්ෂයේ සිටින විට උගුර ලේ රහ වනතුරු දූෂණ වංචා ගැන කෑ ගසා ඇමතිකමක් හෝ ඊටත් වැඩි දෙයක් ලැබුණ විට නිහඬව සිටිය හැකි වන්නේ රටේ නීතියක් නැති නිසාය. එමනිසා පිල්මාරු කිරීම ආර්ථික වශයෙන් ඵල ප‍්‍රයෝජනයක් නොවන තැනට පත් කළ හැකි වන්නේ නීතිය අකුරට ක්‍රියාත්මක කිරීමේ සංස්කෘතික භාවිතාවකි.

හොරකම් සහ දූෂණ වැළැක්වීම සහ ඒවාට දඬුවම් ලබා දීම යහපත් සමාජයක් ගොඩ නැගීමේ පදනමයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් අනුව දකුණු ආසියාවේ හොඳම දූෂණ විරෝධී පනතක් ගෙන ඒමෙන් නීතිය ක්‍රියාත්මක වන්නේ නැත ඒ සඳහා දේශපාලන කැපවීමක් තිබේනම් පවතින නීති හොඳටම ප‍්‍රමාණවත් ය.

දෙවැනිව රටේ පවතින පරිපාලන ව්‍යුහය කාලීන සමාජයීය අවශ්‍යතා අනුව වෙනස් කිරීම ද අද දේශපාලනයේ මූලික අවශ්‍යතාවයකි. බ්‍රිතාන්‍යයන් දායාද කළ පරිපාලන ව්‍යුහයේ සිවිල් සේවය පරිපාලන සේවයක් සේ වෙනස් කිරීමත් ලිපිකරු සේවය කළමනාකරණ සේවයක් සේ නම් මාරු කිරීමත් හැර පරිපාලනය ජනතාවට වගකියන තත්වයකට පත් කිරීමට කිසිම සූදානමක් නැත. තනතුරු නාම වෙනස්වීමෙන් පමණක් ආණ්ඩුව ජනතාවට වගකියන තත්වයකට පත් කළ නොහැකිය. දේශපාලන බලය බෙදා හැරීම නොව විමධ්‍යගත් කිරීම පරිපාලනය ජනතාවට වගකියන තත්වයට පත් කිරීමේ මුලික අවශ්‍යතාවයකි. බලය විමධ්‍යගත කිරීමන් පමණක් ජනතාවට වගකියන පරිපාලනයක් ඇති වන්නේ නැත. ඒ සඳහා ජනතාවට තීරණ ගැනීමේ සහ ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියට සෘජුවම සහ වක‍්‍රව සහභාගිවීමට ක්‍රියා මාර්ග සැකසිය යුතුය.

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක‍්‍රමයක් යටතේ ජනතාව වෙනුවෙන් සියලු තීරණ ගන්නේ මහජන නියෝජිතයන්යැයි හැඳින්වෙන පිරිසක් විසිනි. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය වශයෙන් බෙදී ඇත්තේ මෙම නියෝජිතයන් ය. එහෙත් පාර්ලිමේන්තුවට මහජන ඡන්දයෙන් තේරී පත්ව, ඒ ආකාරයෙන්ම තේරී පත් වූ තවත් නියෝජිතයෙකු වන කතානායක ඉදිරියේ දිවුරුම් දීමත් සමග මහජන නියෝජිතයන් මහජනයාට වග කියන්නේ නැත. තමන් තෝරා පත් කළ නියෝජිතයා තමන්ගේ අවශ්‍යතාවය නියෝජනය කරන්නේ නැතිනම් ඔහුට බලපෑම් කිරීමට ජනතාවට වසර පහක් යන තෙක් බලා සිටීමට සිදු වේ. එම කාලය ඇතුළත ඔවුන් මහජනයාගෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වේ. දැනට කල් දමා ඇති ත‍්‍රස්ත විරෝධී පනතකින් මහජන නියෝජිතයන්ට බලපෑම් කිරීම ත‍්‍රස්තවාදයක් බවට පත් කිරීමේ සූදානමක් පවතී. එවැනි තත්වයක් යටතේ මහජනයා තවත් අසරණ වනු ඇත.

මහජන නියෝජිතයන්ගේ ක්‍රියා මාර්ග විවේචනය කිරමට හෝ නිවැරදි කිරීමට අධිකරණයටත් බලයක් නැත. මෑතක දී පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අයවැයෙන් ප‍්‍රතිපාදනය කර ඇති මුදල් ලබා නොදීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දී ඇති තීන්දුවක් පාර්ලිමේන්තු වරප‍්‍රසාද කඩකිරීමක් සේ හැඳින්වීමේ උත්සාහයක් ද තිබිණ. ඉන් පෙනී යන්නේ මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුවට පැමිණි විට තවදුරටත් මහජනයාට හෝ වෙනත් ව්‍යුහයකට වග නොකියන මකරෙක් බවට පත්ව ඇති බවය.

පාර්ලිමේන්තු මංත‍්‍රීන් පිල් මාරු කිරීම වැළැක්විය හැකි වන්නේ නිවේදන නිකුත් කිරීමෙන් හෝ වෙනත් විනය ක‍්‍රියා මාර්ගයකින් නොව ඔවුන් සැබැවින්ම මහජන නියෝජිතයන් බවට පත් කිරීමෙන් පමණි. පක්ෂයට නොව ජනතාවට ඔවුන්ට බලපෑම් කිරීමේ ව්‍යවස්ථාමය අයිතියක් ලබා දීමෙනි. සජබ හෝ වෙනත් දේශපාලන එකතුවකට මහජන ඡන්දයෙන් තේරී පත්වන නියෝජිතයන්, නියෝජිත තත්වයෙන්ම පවත්වා ගැනීමට අවශ්‍ය ක‍්‍රියා මාර්ග හඳුන්වා දීමට සූදානම් නම් පිල්මාරු කිරීම ගැන බිය විය යුතු නොවේ. ඒ ඉන් ජනතාවට තිරණයක් ගැනීමේ අවස්ථාවක් එළඹෙන නිසාය.    

Leave a Reply