You are currently viewing නීතියේ පාලනය ද පාලකයාගේ නිතිය ද?

නීතියේ පාලනය ද පාලකයාගේ නිතිය ද?

ජනතා විරෝධය හමුවේ ජනාධිපති මන්දිරයේ පසුපස දොරින් පැන ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ නියෝගයක් අනුව පියවර නොගත් ප්‍රාදේශිය ලේකම්වරයෙකුට තමා කියන දේ නීතිය ලෙස පිළිගන්නැයි තරවටු කෙළේය. ඔහු කින දේ ලිඛිිතව තිබුණත් නැතත් සියලු පරිපාලන නීතිරීති නොසලකා එය ක්‍රියාත්මක කළ යුතු බව අවධාරණය කළ ඔහු එසේ නොමැතිනම් ප්‍රතිවිපාක විඳ දරා ගැනීමට සිදුවන බවද පෙන්වා දුන්නේය. තවත් වරක ගෝඨාභය රාජපක්ෂ ‘සමෘද්ධිය’ කරා යන ගමනේ දි ව්‍යවස්ථාදායකය හෝ අධිකරණයට බලපෑම් කළ නොහැකි බව ද අවධාරණය කෙළේය. ඔහු සමෘද්ධිය කරා ගිය ගමන් මග අවසන් වු ආකාරය නැවත සඳහන් කළ යුතු නැත.

අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද කාන්තාවන් බලපැන්වීම සඳහා වු පනතක් පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දුන් තින්දුවක් ගැන පාර්ලිමේන්තුවේ දී කළ කතාව ද ගෝඨාභයගේ තරවටුවට බෙහෙවින් සමානය. පනතේ ව්‍යවස්ථානුකූල භාවය ගැන ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තින්දුව ගැන තම අප්‍රසාදය පළ කරමින් කතා කළ ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට (රට) පාලනය කළ නොහැකි බවත් ඔවුන්ට කළ හැක්කේ අපට (ජනාධිපතිට) උපදෙස්දීම පමණක් බවත් පෙන්වා දුන්නේය.

“..නීති ප්‍රකාශයට පත් කරන්නේ අපි යි. කිසිවෙකුට මෙම බලය ප්‍රශ්න කළ නොහැකියි. අධිකරණයට කළ හැක්වන්නේ උපදෙස් දිම පමණි… අධිකරණයේ බලය ලැබෙන්නේ පාර්ලිමේන්තුවෙනි..”

එම විවාදයේ දීම අධිකරණය විෂය භාර ඇමති විජේදාස රාජපක්ෂ ද අධිකරණය විවේචනය කරමින් විෂයට කිසිසේත් අදාලත්වයක් නැතිව දිස්ත්‍රික් විනිශ්චයකරුවන් දෙදෙනෙකු කර ඇතැයි කියන විෂමාචාර ගැන ද සඳහන් කෙළේය. ඔහුගේ සැබෑ දුක් ගැනවිල්ල වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති තනතුරට තම පත්වීම ගැන අධිකරණයෙන් පනවා ඇති වාරණයැයි කෙනෙකුට සිතෙනු ඇත. දේශපාලන පක්ෂවල පාලනය ද අධිකරණයට භාර දිම වඩාත් සුදුසු බව ඔහු සඳහන් කෙළේ එබැවිනි.

මෙය වැදගත් වන්නේ අධිකරණයේ බලය පාර්ලිමේන්තුවෙන් ලැබෙන්නේයැයි වර්තමාන විධායකයා තර්ක කරන නිසාය. ඇත්තෙන්ම මෙම විධායකයාට ජනවරමකින් බලය ලැබුනේ ද නැත. ඔහු විධායක බලය දරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම ඇති සිදුරක් තුළිනි. ජනතාවගේ පරමාධිපත්‍යය සැබැවින්ම ආරක්ෂා වීමට නම් කළ යුතුව තිබුනේ ජනවරම ලැබු ජනාධිපති තනතුරෙන් ඉවත්වීමෙන් පසුව නැවත වරක් ජනවරමක් ලබා ගැනීමට ඡන්ද විමසීමක් පැවැත්වීම ය. එවැනි තත්වයක් යටතේ පාර්ලිමේන්තුවටත් තේරී පත්වීමට නොහැකි වූ පුද්ගලයෙකු අධිකරණයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ලබා දී ඇති බලතල ලුහු කොට සැලකීමටත් වඩා එය ප්‍රතික්ෂේප කිරීම දෛවයේ සරදමක් වැනි ය. කුමන තත්වයක් යටතේ වුවද අධිකරණයේ බලතල ලැබෙන්නේ පාර්ලිමේන්තුවෙන්යැයි ප්‍රකාශ කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන නොදැන හෝ වංචනික ලෙස අමතක කිරීමේ උත්සාහයකි.

කෙසේ වුවත් අධිකරණය ගැන විධායක ජනාධිපති සහ ඔහුගේ කැබිනට් මණ්ඩලයේ අධිකරණ විෂය භාර ඇමති පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශ අධිකරණයේ ඇතැයි කියන අඩු ලුහුඬුකම නිවැරදි කිරීමේ උත්සාහයකට වඩා තමන්ගේ පුද්ගලික කොන්තර පිරිමසා ගැනිමේ උත්සාහයක් බව පැහැදිලි ය. විනිශ්චයකරුවෙකුගේ විෂමාචාරයක් සම්බන්ධයෙක් පියවර ගත යුතු ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මෙන්ම අධිකණ සේවා කොමිසමෙන් ද දක්වා ඇත. ඒවා නොසලකා පාර්ලිමේන්තු වරප්‍රසාද මුවාවෙන් කරන චෝදනා නීතියේ සිදුව ඇති වරදක් නිවැරදි කිරීමේ උත්සාහයකට වඩා ද්වේෂයෙන් කරන වෛරී ප්‍රකාශ සේ සැලකිය හැකිය. අධිකරණය ට කළ හැකි වන්නේ උපදෙස් දීම පමණක්යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසන්නේ යෝජිත පනතක ව්‍යවස්ථානුක්‍රල භාවය විමසීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නැතැයි කිමට සමාන අර්ථයෙනි. තත්වය එසේ නම් යෝජිත ව්‍යවස්ථාවක ව්‍යවස්ථානුකූල භාවය භාවය පිළිබඳව විනිශ්චයක් ලබා ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිපාදනය අර්ථ විරහිත පියවරකි.

අනිත් අතට අධිකරණයෙන් කෙරෙන්නේ නියෝගයක් නොව නිර්දේශයක් පමණි. යෝජිත පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වන්නේ ද යන්න සහ එසේ නොවන්නේ නම් අනුකූලවීමට ගත යුතු පියවර මොනවාද යන්න පැහැදිලි කිරීමකි. ශිෂ්ට සමාජයක එම උපදෙස් සහ නිර්දේශ පිළිපැදිම ප්‍රජාතන්ත්‍රවාදී පියවරකි. වෙනත් වචනයකින් නිතියේ ආධිපත්‍යයට ගරු කිරීමකි. නීතියේ ආධිපත්‍යය නොරැකෙන රටක වෙනත් අයිතිවාසිකම් රැකෙන බවට කිසිදු සහතිකයක් නැත.

දැන් අප නැවත පැමිණ සිටින්නේ පාලකයාගේ කැමැත්තට විරුද්ධව විනිශ්චය ලබා දෙන විනිසුරුවන්ගේ නිවෙස්වලට ගල් ගසන අයට රැකවරණය සපයන පාර්ලිමේන්තුවේ බලය යොදා ගනිමින් විනිසුරුවන් ඉවත් කරන යුගයකටය. එහෙත් ජනතාව දැන් පෙරට වඩා දැනුවත්යැයි කිව හැකිය. ජන අරගලයකින් ගැහැනියක් පිරිමියෙකු කිරීම හැර වෙනත් ඕනෑම දෙයක් කළ හැකි ජනාධිපතියෙකු පස්සා දොරෙන් ගෙදර යැවීමට ජනතාව සමත් වූහ. ඉන් පසුව නැවතත් එවැනිම හෝ ඊටත් වඩා නරක ජනාධිපතියෙකු පත් වුවද ඔහුට ජනතාව හීලෑ කර ගැනීමට හැකියැයි සිතීම මුළාවකි.

පාලකයා වෙනස් වුවද පැවති දූෂිත ජරා ජීර්ණ ක්‍රමය නොවෙනස්ව පවතී. රට ආර්ථික හා දේශපාලන වශයෙන් අගාධයට පත් කළ පුද්ගලයන් සහ ක්‍රමය එසේම පවතී. එහි දුෂ්විපාක ජනතාව මත එසේම පැටවී ඇත. පාලකයන්ගේ විෂමාචාර නිසා ආර්ථිකයටත් දේශපාලනයටත් පැවරී ඇති බර එසේම පවතී. එම බර පැටවීමට ප්‍රතිව්‍යුහගත කිරීම ආර්ථික පරිවර්තනය වැනි නිසරු වචන යොදා ගෙන ඇති නමුත් සාමාන්‍ය ජනතාවගේ ජීවන බර සැහැල්ලු වී නැත. දරිද්‍රතාවය මන්ද පෝෂණය පෙරටත් වඩා ‘සංවර්ධනය’ වී ඇත. අස්වැසුමක් ඇත්තේ පාලකයන්ට සහ ඔවුන්ගේ අනුගාමිකයන්ට පමණි. පාර්ලිමේන්තුවේ දී අධිකරණ විනිශ්චයන් නිර්ලජ්ජී ලෙස විවේචනය කිරීමෙන් පැහැදිලි වන්නේ නීතියත් ව්‍යවස්ථාවත් පාලකයන් සතු කර ගැනීමේ වුවමනාවය.

අද අප මුහුණ දී ඇති දැවැන්ත සමාජ ආර්ථික සහ දේශපාලන අභියෝග ජය ගැනීමට සියලු ජන කොටස්වල දායකත්වය සහ සහභාගිත්වය අනිවාර්යෙන් ලබා ගත යුතුය. එවැනි අවශ්‍යතා වචනවලට සීමා නොකර ප්‍රතිපත්ති වැඩ පිළිවෙළකට පෙළ ගසා ගැනිමට සූදානම් විය යුතුය. වෙනසක් අපේක්ෂා කරන අයට එවැනි පිළිගැනීමක් සහ එකඟතාවයක් ලබා ගැනීමට නොහැකිනම් ජනතාවට නැවත වරක් හිමි වන්නේ සුන්ව යන බලාපොරොත්තු පමණි.

Leave a Reply