ජනාධිපතිවරණ සටන අවසාන අදියරට ළඟා වෙමින් පවතී. ජයග්‍රාහකයා කවුද යන්න නිශ්චිතවම දැනට කිව නොහැකි නමුත් ප්‍රධාන සටන පවතින්නේ තරගකරුවන් දෙදෙනෙකු අතර බව පැහැදිලිය. ජනාධිපතිවරණය නොව පළාත් පාලන ආයතනයක හෝ බලය ලබා ගත නොහැකි රොත්තක් සටනට පිවිස ඇති නමුත් ජනතාව ඔවුන් ගැන සැලකිල්ලක් දක්වනු ඇතැයි සිතිය නොහැකිය. සමහරෙකුට ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම අභිමානයට කරුණක් වී ඇති බව පෙනේ. ඒ කෙසේ වුවත් ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීමේ අවස්ථාව වර්තමානයටත් අනාගතයටත් ගැඹුරින්ම බලපාන කරුණකි. නිදහස ලබා වසර හැත්තෑහයක් පසුවන විට බංකෙළොත් භාවයට පත්ව සිටින රට ගොඩ නැගීමට මෙම ජනාධිපතිවරණය තීරණාත්මක සාධකයකි. ජනාධිපති තනතුරට තේරී පත්වන පුද්ගලයාට එම තනතුරට හිමි වරප්‍රසාදවලින් විරාජමානව සිටීමට වඩා බරපතළ කාර්යකට මුහුණ දීමට අනිවාර්යෙන්ම සිදු වනු ඇත.
එමනිසා ජනාධිපතිවරණයෙන් පසුව නිසැකයෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත් වෙනු ඇත. අලුතින් තේරී පත්වන ඕනෑම කෙනෙකු ට පාර්ලිමේන්තුවේ බහුතරයක් සමහර විට තුනෙන් දෙකේ බහුතරයක් ලබා ගැනීම තම ඡන්ද පොරොන්දු ඉටු කිරීමට මෙන්ම බලය සුරක්ෂිත කර ගැනීමට අවශ්‍ය ය. ජනාධිපති රනිල් වික්‍රමසිංහට දැනට පවතින පාර්ලිමේන්තුවේ පොහොට්ටු මංත්‍රීන් බහුතරයකගේ සහාය ලැබුණත් දිගටම බලයේ රැඳී සිටීමට නම් ඔහුගේම බහුතරයක් ගොඩනගා ගත යුතුය. ඒ අනුව සැප්තැම්බර් ජනාධිපතිවරණයෙන් පසුව සමහර විට ඔක්තෝබර් අග හෝ නොවැම්බර් මස තුළ නැවත වරක් ජනතාවට තම පරමාධිපති බලය පෙන්වීමට අවස්ථාවක් ලැබෙනු ඇත.
තමන් සහාය දක්වන අපේක්ෂකනා ජයග්‍රහණය කිරීමෙන් පසුව පුද්ගලිකව හිමිවන වරප්‍රසාද සහ වරදාන ගැන උනන්දු නොවන සාමාන්‍ය ඡන්දදායකයාට නැගෙන ප්රශ්නය වන්නේ ජයග්‍රාහී අපේක්ෂකයා ලවා ඔහු ගේ මැතිවරණ ප්‍රකාශන තුළින් ලබා දුන් පොරොන්දු සහ දිව්රුම් ක්‍රියාත්මක කරවා ගන්නේ කෙසේද යන්නයි. ඡන්දදායකයන්ගෙන් අති බහුතරය සිය කැමැත්ත ප්‍රකාශ කරන්නේ මූල්‍යමය දිරිගැන්වීම් හෝ වෙනත් වරප්‍රසාදවලට වඩා ලබා දුන් පොරොන්දු නිසායැයි සැලකීම කිසිවෙකුට අභියෝග කළ නොහැකි සත්යයති. ජයග්‍රාහී අපේක්ෂකයා පවා තම ජයග්‍රහණය ලබා දුන් දිරිගැන්වීම්වල ප්‍රතිඵලයක් යැයි කියන්නේ නැත. එසේ වන්නේ නම් එය සමාජ ගිවිසුමක් නොව හුදු වානිජමය ගනුදෙනුවක් විය හැකිය. ඡන්දය දිනා ගැනීම සඳහා කෝටි ප්‍රකෝටි ගණන් මුදල් වැය කළත් පාලකයා සහ පාලිතයා වන ඡන්දදායකයා අතර නිතැතින්ම ඇති වන්නේ සමාජ ගිවිසුමකි. පාලකයාගේ සුජාත භාවය තහවුරු වන්නේ ඒ මතය. දේශපාලන සුජාත භාවයක් දිනා නොගත් පාලකයෙකුට දිගු කලක් බලයේ රැඳී සිටිය නොහැකිය. ගෝඨාභය රාජපක්ෂට විධායක බලය අතහැර පස්සා දොරින් පලායෑමට සිදු වූයේත් බංග්ලාදේශයේ ෂික් හසිනාට සියල්ල අතහැර අසල්වැසි ඉන්දියාවට පලා යෑමට සිදු වූයේත් එමනිසාය.
එවැනි වාතාවරණයක් තුළ මැතිවරණයක් කෙසේ හෝ දිනා ගැනීම වසර පහක් බලයේ සිටීමට ලැබුණ බලපත්‍රයක් නොවන බව ජයග්‍රාහකයා අනිවාර්යෙන්ම තේරුම් ගත යුතුය. විසිඑක්වැනි සියවසේ පුරවැසියා කලින් සිටි පුරවැසියාම නොවේ.
ඔහුගේ මෙම වෙනස්විමට ප්‍රධාන හේතුව වන්නේ තොරතුරු සන්නිවේදනයේ ඇති වූ සහ ඇති වෙමින් පවතින විප්ලවයයි. කාර්මික විප්ලවයෙන් වැඩවසම් සමාජය දිය කර හැර ධනවාදය ගොඩ නැගු ආකාරයටම තොරතුරු සන්නිවේදන විප්ලවය ජනතාව දේශපාලන වහල් භාවයෙන් මුදා ගනිමින් සිටී. තොරතුරු සන්නිවේදන විප්ලවය ධනවාදයේ ගර්භාෂයෙන් බිහි ව දැවැන්ත බලවේගයක් බවට පත්ව සමාජ සංස්ථා හසුරුවන නමුත් පුරවැසියා ඒ තුළ වඩාත් දැනුවත්වෙමින් තම භූමිකාව දෙස වඩාත් විප්ලවකාරී ලෙසින් බැලීමට පුරුදු වෙමින් සිටී. ධනවාදයේ ගර්ශාෂය තුළ බිහි වූ කම්කරුවා තම සංවිධාන ශක්තියෙන් ධනවාදයට අභියෝග කරන ආකාරය සිහිපත් කර ගැනිම වැදගත් ය. ධනවාදයේ ගාමක බලවේගය වන කම්කරුවා නොසලකා පැවැත්මක් නැති සේම තොරතුරු සන්නිවේදනයෙන් සන්නද්ධ වූ පුරවැසියා අමතක කොට පාලකයාට ඉදිරි ගමනක් නැත.
මෙම නව ප්රවනතාවය ගැන ගැඹුරින් සාකච්ඡා කිරීමට වඩා දැනට වැදගත් වන්නේ මහජන ඡන්දයෙන් තේරීපත් වන පාලකයා වගවීමට හසු කර ගන්නේ කෙසේද යන්නයි. මීට පෙර පැවති ඡන්ද විමසීම්වලින් පසුව පුරවැසියා අමතක කොට තමන්ගේම වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පාලකයාට හැකි වුවද දැන් ඔහුට එවැනි ස්වෛරී බලයක් හිමි නොවන බවට ඉහතින් දැක් වූ නිදසුන් ප්‍රමාණවත් ය. ඒවා ඉතිහාසයේ අහම්බෙන් සිදු වූ දේ නොව වර්ධනය වෙමින් පවතින ක්‍රියාවලියක ප්‍රකාශන බව තේරුම් ගත යුතුය. වර්ධනය වෙමින් පවතින මෙම ක්‍රියාවලියේ පදනම තොරතුරු තාක්ෂණයේ සුවිශේෂී විකාශනයයි. එම තත්වය පාලනය කිරීමට මාර්ගගත සන්නිවේදනය සීමා කිරීමට හෝ පාලනය කිරීමට නීති රීති පැන වුවද එය හිල් කූඩයකින් හුළාං බැඳීමට ගන්නා උත්සාහයකි.
අද පාලකයා විරාජමාන වන්නේ තමාගෙන් මිරිකා ගන්නා බදු මුදලෙන් බව පුරවැසියා දනී. ඔහුගේ වරප්‍රසාද සහ බලපුළුවන්කමට ශක්තිය ලැබෙන්නේ තම ජනවරමින් බව පුරවැසියා දනී. කලින් ඇඳිවතට වැඩි යමක් නොතිබු අය මහජන නියෝජනයක් ලැබු විගස කෝටිපතීන් බවට පත්වන්නේ ඔහුගේ හෝ ඇයගේ ව්‍යවසායකත්වය නිසා නොව මහජන මුදල් අවභාවිතයෙන් බව පුරවැසියා දනී. මෙම තොරතුරු වසන් කර ගැනීමට කලින් හැකි වුවද අද සමාජ මාධ්‍යයෙන් පාලකයන් නිර්දය ලෙස නිරුවත් කෙරේ. ප්‍රධාන ප්රවාහයේ ජන මාධ්‍යයට විකල්පයක් වු සමාජ මාධ්‍යය ජනතාව පන ගන්වන ප්‍රබල අවියකි.
එහෙත් තොරතුරු දැන ගැනීම පමණක් පාලකයා හීලෑ කිරීමට ප්‍රමාණවත් නැත. බලයත් කැටුව එන වරප්‍රසාද සහ සමාජ පිළිගැනීමෙන් ඇතිවන පෙළඹවීම් නිසා ඡන්ද පොරොන්දු උඩු සුළඟේ පා කර හැරීමේ භාවිතයට සීමා තහංචි දැමිය හැක්කේ ජනතාවට පමණි. පාලනයත් පාලකයන් ගැනත් නොකඩවා ගලා එන තොරතුරු සන්නිවේදනය සහ ඒ ගැන දැනුවත්වීම සහ දැනුවත් කිරීම ජනතා ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීමේ එකම මාර්ගයයි. ඡන්දය ප්‍රකාශ කිරීමෙන් සිදු වන්නේ පාලකයෙකු නොව නියෝජිතයෙකු තෝරා ගැනීම බව තහවුරු කළ හැකි වන්නේ පුරවැසියා තම පරමාධිපති බලය හසුරුවන්නේ නම් පමණි. එනම් දේශපාලන මුල පිරුම ජනතාව සතු කර ගැනීමෙනි.
2022 ගාළු මුවදොර අරගලය, උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වීම වීදි බැස විරෝධය පළ කිරීම පුරවැසි බලය ප්‍රදර්ශනය කිරීමේ සහ බලපෑම් කිරීමේ අවි වුවද ඒ මත යැපීම පමණක් ප්‍රමාණවත් නැත. පාලකයාට පාලිතයන් පාලනය කිරීමට කඳුළු ගෑස් සහ ජලප්රහාර එල්ල කිරීමට අමතරව තවත් මර්දනකාරී උපාය උපක්‍රම පවතින බව අමතක කළ යුතු නැත. ඒවා ක්‍රියාත්මක කිරීමට මර්දනය සඳහාම පුරුදු පුහුණු තළ යාන්ත්‍රණයක් ද පාලකයා සතුය. කෙටියෙන් ජනතාව මර්දනය කිරීමට ප්රචණ්ඩත්වය මුදා හැරීමට පාලකයාට හැකිය. අරගලයෙන් දූෂිත පාලකයෙකු පලවා හැරිය ද එම පාලන ක්‍රමය දිගටම පවත්වා ගැනීමට හැකි වූයේ මර්දනකාරී යාන්ත්‍රණයේ ප්රචණ්ඩත්වය නිසාය. වෛරයෙන් වෛරය නොසන්සිඳෙන ආකාරයටම ප්රචණ්ඩත්වය ප්‍රචණ්ඩත්වයෙන් පරාජය කළ නොහැකිය. එවැනි ක්‍රියා මාර්ගයකින් සිදු වන්නේ ප්රචණ්ඩත්වයේ තැන් මාරුවීමක් පමණි.
පාලකයා හික්ම විය හැක්කේ දැනුවත් සමාජ සංවිධාන තුළිනි. තොරතුරු තාක්ෂණයෙන් ගලා එන දැනුම පුරවැසියා අතට පත් කොට ඔවුන් සංවිධාන ගත කිරීමේ ප්රජාතන්ත්රීය වැඩ පිළිවෙළක් ගොඩ නගා ගත යුතුය. එය සැබැවින්ම නව ගමන් මගක් විය යුතුය.
පැහැදිලිවම බලය අත් කර ගැනීමේ ව්‍යාපාරයක් නොව ජනතාව බලගැන්වීමේ ව්‍යාපාරයකි. ජනතාව දේශපාලන වශයෙන් බලගැන්වීමකි.
සීමාවක් නැති බලය සීමාවක් නැතිව දූෂණයට මග පෙන්වන බව මානව ඉතිහාසය පුරාම දක්නට ලැබෙන කතාවකි. බලය සීමා කිරීමට සම්මත වශයෙන් යොදා ගන්නා නීති රීති ප්‍රමාණවත් නැති බවද අප ඉතිහාසයෙන් උගත් පාඩමකි.
ඉන්දියාවේ ශ්‍රේෂ්ඨතම නායකයෙකු වන ආචාර්ය අම්බෙඩ්කාර් වරක් පැවසු ආකාරයට දූෂණය, වංචාව සහ අයථා ක්‍රියා මාර්ග නැවැත්වීමට නීතියෙන් පමණක් කළ නොහැකිය. ඉතාමත් නරක නීති වුවද හොඳ පාලනයක් යටතේ හොඳ නීති විය හැකිය. එමෙන්ම ඉතාමත් හොඳ නීතියක් පවා නරක පාලනයක් යටතේ නරක නීතියක් විය හැකිය. ඔහු සරලව පෙන්වා දෙන්නේ නීතියෙන් පමණක් ජනතාවාදී පාලනයක් ඇති කළ නොහැකිය යන්නයි. අද දේශපාලන වේදිකාවෙන් ඇසෙන හොරකම වංචාව දූෂණය වැළැක්වීමට නව නීති ගෙන ඒමේ පොරොන්දුත් වඩාත් ඔබ්බට ගොස් විධායක ජනාධිපති ක්‍රමය අවසන් කොට පාර්ලිමේන්තුවට බලය පැවරීමේ යෝජනා ගැනත් බැලිය යුත්තේ මෙවැනි දෘෂ්ටි කෝණයෙනි. වත්මන් පාලන ක්‍රමය පවතින්නේ බොහෝ විට අසීමිත ලෙස බලය යොදා ගන්නේ විධායකයාය. එම විධායක බලය තැන් මාරු වීමෙන් නියෝජිත ප්රජාතන්ත්රවාදයේ මූලික ගැටලුව වන ජනතාවගෙන් වියෝ වූ දේශපාලන බලය පිළිබඳ ප්රශ්නය විසඳෙන්නේ නැත.
ජනතාවාදී පාලනයක් සඳහා අත්‍යාවශ්‍ය සාධකය වන්නේ දේශපාලන මුලපිරුම ජනතාව අත පවත්වා ගැනීමය. ඒ සඳහා ජනතා සංවිධාන බිහි විය යුතුය. අද එය ඉතිහාසයේ පෙර කවදාටත් වඩා පහසු වන්නේ ජනතාව වෙත තොරතුරු ගලා ඒමේ විවිධ මාර්ග පැවතීම නිසාය.
සැප්තැම්බර් 21 ඡන්දය ප්‍රකාශ කරන පුරවැසියාගේ සැබෑ අභියෝගය වන්නේ තමාගෙන් ගිලිහී යන දේශපාලන මුලපිරුම නැවත තමා සතු කර ගන්නේ කෙසේද යන්නයි.
- සමාජ පෙරළිය හිසරදයට කොට්ට මාරු කිරීමක් නොවිය යුතුය.. - November 4, 2024
- කැනඩා ඉන්දියානු තානාපති අර්බූදය ලෝක ආධිපත්‍යය සඳහා කරන අරගලයේම කොටසක්.. - October 24, 2024
- වෘකයා පොරවා ගත් බැටළු හම ඉවත් කිරීමට පෙර සිතා බැලිය යුතුය.. - October 14, 2024