You are currently viewing දේශපාලනයේ උසස් පෙළ උත්තර ඇගයීමක් නො කරන දේශපාලකයෝ..

දේශපාලනයේ උසස් පෙළ උත්තර ඇගයීමක් නො කරන දේශපාලකයෝ..

උසස් පෙළ උත්තර පත‍්‍ර ඇගයීමේ කටයුතුවලින් විශ්ව විද්‍යාල ආචාර්යවරයන් ඉවත්ව සිටීම පිටුපස කුමන්ත්‍රණයක් පවතින බව බුද්ධි අංශ තමා වෙත දැනුම් දී ඇතැයි අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේ‍ම්ජයන්ත් මහතා පසුගිය දා ප්‍රකාශ කර තිබිණ. ඊට දින කීපයකට පසු ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ අධ්‍යාපනය අත්‍යාවශ්‍ය සේවයක් බවට ප්‍රකාශ කොට විශ්ව විද්‍යාල ආචාර්යවරුන් මට්ටු කිරීමට ඔවුන්ගේ දේපොළ රාජසන්තක කර ගැනීමට පියවර ගන්නා බවට තර්ජනය කෙළේය. උසස් පෙළ විභාගයට පෙනි සිටි සිසුන්ගේ දෙමාපියන් පිරිසක් උත්තර පත‍්‍ර ඇගයීම වර්ජනය කිරීම ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළ බව ද ජනමාධ්‍යයෙන් වාර්තා විය.

උසස් පෙළ හෝ වෙනත් විභාගයකට හෝ පෙනි සිටි ශිෂ්‍යයන්ට එහි ප්‍රතිඵල දැන ගැනීමේ බලවත් අවශ්‍යතාවයක් පවතින බව  ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකිය. දෙමාපියන්ට ඒ ගැන පවතින උනන්දුව ද එසේමය. එහෙත් රටේ පාලකයන් ඒ ගැන හදිසියේ ම දක්වන උනන්දුව සහ ඉන් ඇතිවිය හැකි ජාතික ආපදාව ගැන කියන කතා පටලැවිලි සහගතය. පළමුවෙන්ම අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේ‍ම්ජයන්ත් කියන ආකාරයේ කුමන්ත්‍රණයක් පවතී නම් එය හෙළි කර ගැනීම බෙහෙවින් වැදගත්ය. එහෙත් ලංකාවේ දේශපාලකයන් කුමන්ත්‍රණ ගැන කියන කතා තාරබර හැර සැලකිල්ලට ගැනීම ද වැදගත්ය. මීට පෙර යහපාලන රජය සමයේ එවකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බවට කළ හෙළිදරව්ව ද අපට සිහි පත්වේ. ජනාධිපති කාර්යාලයේ එක්තරා අංශයක සේවය කළ පුද්ගලයෙකු කළ මෙම හෙළිදරව්වේ අවසාන ප්‍රතිඵලය වූයේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් ගැන කලින් ලැබී තිබුණු තොරතුරු විමර්ශනය කළ පොලිසියේ ඉහළ නිලධාරීන් කීප දෙනෙකු ගේ වැඩ තහනම් කිරීමය. එය පාස්කු ප්‍රහාරයට අවස්ථාවක් සැලසීමක් මෙන්ම ගෝඨාභය රාජපක්ෂට ජනාධිපතිවරණයෙන් ජය ගැනීමට ද ඉණිමගක් විය.

සුසිල් ප්‍රේ‍ම්ජයන්ත් ගේ කුමන්ත්‍රණයේ අවසාන ප්‍රතිඵලය ගැන පුරෝකථනයක් කිරීමට තවම කල් වැඩි වුවද එය දුෂ්ට අරමුණකින් කළ බව සාමාන්‍ය පුද්ගලයෙකුට පවා සිතා ගත හැකිය. එය දුෂ්ට අරමුණක් වන්නේ මෙම පුද්ගලයන් අවංකවම අධ්‍යාපනය ගැනත් සිසු පරපුර ගැනත් උනන්දු වන්නේනම් ගත යුතු පියවර රැසක්ම හිතාමතාම අමතක කර ඇති නිසාය. මෙම උසස් පෙළ සිසුන් විභාගයට පෙනි සිටි දිනවල අධ්‍යයන කටයුතු පහසු කිරීම සඳහා ඒ දිනවල ඉවක් බවක් නැතිව සිදු කළ විදුලි කප්පාදුව අත්හිටුවීමට කළ ඉල්ලීම පාලකයන්ට ඇසුණේ නැත. විභාගය පැවති දිනවල අධ්‍යාපන කටයුතුවල බාධාවකින් තොරව නිරත වීමට අවස්ථා සැලසීම උත්තර පත‍්‍ර ඇගයීමටත් වඩා වැඩි අවශ්‍යතාවයකි. එය අධ්‍යාපන ඇමතිට බුද්ධි අංශවලින් දැනුම් නොදුන්නාට ළමයින් කීප දෙනකු හෝ විභාගයෙන් අසමත් කිරීමට ගත් උත්සාහයකි. නැතිනම් කුමන්ත්‍රණයකි.

එවැනි නිගමනයකට එළඹිය හැකි වන්නේ විදුලි කප්පාදුව විදුලිය ජනනය කිරීමේ ඌන තාවයක් නිසාම කරන ලද්දක් නොවන බව පසුව තහවුරු වීමෙනි. මහත් ආන්දෝලනයට ලක්ව තිබු විදුලි බිල ඉහළ දැමීමත් සමග අඛණ්ඩ විදුලි සැපයුම කළ හැකි විය. එවිට ඉන්ධන ප්‍රශ්නයක් මතු වූයේ නැත. විදේශ විනිමය හිඟය නිසා ඉන්ධන සැපයුමට බාධා පැමිණුනේ ද නැත. කෙසේ වුවත් අධ්‍යාපන ඇමතිට සහ ජනාධිපතිට සැබැවටම සිසුන් ගැන කැක්කුමක් තිබුණේ නම් දැන් පැනවීමට යන අත්‍යවශ්‍ය සේවා යටතේ විදුලිය ලබා දීමට පියවර ගැනීමට ඉඩ තිබිණ. අත්‍යවශ්‍ය සේවයක් නොවු නිසා නොසලකා හරින ලදී.

අධ්‍යාපනයට වඩා උත්තර පත්‍ර ඇගයීම අත්‍යවශ්‍ය සේවයක් කිරීමට උත්සාහ ගන්නේ සිසු පරපුර වෙනුවෙන් ඇති කැක්කුම නිසා නොවන බවට තවත් සාක්ෂි ගුරුවරුන් විසින් ම ඉදිරිපත් කර තිබිණ. ගුරු සංගමයක ලේකම්වරයෙකු පුවත් පත් සාකච්ඡාවක් පවත්වා සිසුන් ගැන කිඹුල් කඳුළු සලන මෙම බලධාරීන් පෙළ පොත් සහ නිල ඇඳුම් නිසි කලට ලබා දිමට අපොහොසත් ව ඇතැයි පෙන්වා දුන්නේය. අධ්‍යාපනය කරන සිසුන්ට පෙළ පොත්වල වටිනාකම ගැන පාසල් නොගිය කෙනෙකුට පවා සිතා ගත හැකිය. නිසි අධ්‍යාපනයක් නැති දෙමාපියන් පවා තම දරුවන්ට කිසියම් මට්ටමක හෝ අධ්‍යාපනයක් ලබා දීමට ගන්නා උත්සාහය පැහැදිලි කිරීමට අටුවා ටීකා අවශ්‍ය නොවේ. ගුරු සංගමය මෙම ප‍්‍රකාශය කිරීමෙන් පසුව නිවේදනයක් නිකුත් කළ අධ්‍යාපන අමාත්‍යංශය මේ වන විට පෙළ පොත් බෙදා හැරීමෙන් සියයට අසූවක් සම්පූර්ණ කර ඇතැයි පැවසුවේය. පෙළ පොත් සිසුන්ට ලබා දීම ප‍්‍රතිශතයක් අනුව කළ යුත්තක් නොව සෑම සිසුවෙකුටම අනිවාර්යයෙන් පාසල් වාරය ආරම්භ වීමට පෙර කළ යුත්තක් බව මෙම බලධාරීන්ට තේරුම් ගත නොහැකිය. නොඑසේනම් සියයට ගණන් කියා ජනතාව මුළා කිරීම පහසු යැයි සිතන නිසා එවැනි ප්‍රකාශයක් කරන්නට ඇත. කෙසේ වුවත් පාසල්වලත් අධ්‍යාපන ක්‍රමයේත් පවතින දහසකුත් එකක් වන අඩුපාඩු ගැන පාලකයන්ට කිසිම හැඟීමක් නැති බවට වෙනත් විස්තර අනවශ්‍ය ය.

පුළුල් අර්ථයෙන් ගත් විට අධ්‍යාපනය පමණක් නොව සෞඛ්‍යය ආහාර සුලභතාවය අත්‍යාවශ්‍ය කරුණුය. එහෙත් පාලකයන් ඒවා අත්‍යවශ්‍ය සේවා යැයි නම් කරන්නේ එම සේවාවල නිරත පුද්ගලයන් සහ ඔවුන් වෙනුවෙන් පෙනි සිටින අය මර්දනය කිරීම සඳහා මිස සේවයේ ගුණාත්මක වර්ධනයක් ඇති කිරීමට නොවේ. ජාතික අයවැයෙන් සියයට හයක් අධ්‍යාපනය සඳහා වෙන් කළ යුතු යැයි විශ්ව විද්‍යාල ආචාර්යවරුන් මෙන්ම වෙනත් ජන කොටස් කළ උද්ඝෝෂණය එදා සිටි පාලකයන්ට මෙන්ම දැන් සිටින පාලකයන්ට ද ඇසෙන්නේ නැත. ඔවුන්ට අවශ්‍ය වන්නේත් ප‍්‍රමුඛතාවය වන්නේත් තම දේශපාලන පැවැත්මේ අත්‍යාවශ්‍ය භාවයයි. යුද්ධය නතර වී දශකයකට වැඩි කාලයක් ගත වුවද ආරක්ෂාව සඳහා වෙන් කළ මුදලේ කිසිම අඩුවක් නැත්තේ පාලකයන්ගේ ආරක්ෂාවට ආරක්ෂක හමුදා අවශ්‍ය නිසාය. අත්‍යවශ්‍ය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක හමුදාවල අවශ්‍යතාවය නිසාය.

පරිකල්පනයේ අන්තයට පැමිණ සිටින මෙම පාලකයන්ට ජනතා ප්‍රශ්න විසඳීමට ඇති එකම පහසු මාර්ගය කිසියම් විෂයක් අත්‍යවශ්‍ය සේවා වශයෙන් නම් කොට මර්දනය දියත් කිරීම ය. ජේ ආර් ජයවර්ධන සිය පාලන බලය තහවුරු කර ගත්තේ ද විවිධ ආකාරයෙන් මර්දනය මුදා හැරීමෙනි. සමහරවිට අනුපානු වශයෙන් ජාතිවාදය ද යොදා ගන්නා ලදී. එවැනි කූඨ දුෂ්ට සැලසුම්වල ප්‍රතිඵල අප නැවත සිහිපත් කර ගත යුතු ය. දෙමළ භාෂාවෙන් ඇති උත්තර පත‍්‍ර ඇගයීම ආරම්භ වූ බව පැවසීම ද එවැනි උත්සාහයකි.

නිදහසින් පසුවත් ඊට පෙර සිටත් අපේ රටේ දේශපාලකයන් විවිධ කූඨෝපායන් යොදමින් උත්සාහ කෙළේ තමන්ගේ බලය තහවුරු කර ගැනීම විනා රටේ සාමය සමෘද්ධිය සඳහා නොවේ. බලයේ රැඳී සිටීමට ජාතිවාදය, භාෂාව පමණක් නොව ආගම ද යොදා ගත් අයුරු දැන් සියවසකට ආසන්න වෙමින් පවතින අතීතය දෙස බැලීමෙන් පෙනේ. මනුෂ්‍යත්වය හා රටේ ආර්ථිකයට වඩා තම දේශපාලන පැවැත්ම වැදගත් වූ ආකාරය පුරවැසියා කවුද ඡන්ද අයිතිය හිමි වන්නේ කෙසේද යන්න තීරණය කළ ආකාරයෙන් පෙනේ. මනුෂ්‍යත්වය නොසලකන පුද්ගලයෙකුගෙන් සහ දේශපාලනයෙන් රටක සාමය සහ සමෘද්ධිය ගැන බලාපොරොත්තු රැඳවිය නොහැකිය.

උසස් පෙළ සිසුන් ගැන පමණක් නොව රටේ කිසිම පුද්ගලයෙකු ගැන මෙම පාලකයන්ට සැබෑ උවමනාවක් නැති බව දැනට පාර්ලිමේන්තුව දෙස බැලීමෙන් පවා තහවුරු වන්නකි. ඊට හොඳම නිදර්ශනය ජාතියම කම්පාවට පත් පාස්කු ඉරිදා ත්‍රස්තවාදි ප්‍රහාරය ගැන මෙම ආණ්ඩුවත් ඊට කලින් පැවති ආණ්ඩුත් ක්‍රියා කළ ආකාරයයි. ආරක්ෂක අංශවල ද සහාය ඇතිව සිදු කළ මෙම ප‍්‍රහාරයේ සුලමුල සොයා වැරදිකරුවන්ට දඬුවම් දීමේ අවශ්‍යතාවයක් දක්නට නැත. සිද්ධිය පිටුපස පුළුල් කුමන්ත්‍රණයක් පවතින බව කලින් සිටි නිතිපති දප්පුල ලිවේරා 2021 දී කළ ප්‍රකාශය ගැන අධිකරණ ඇමති ගේ සහ අනෙකුත් අංශවල ඇහැ ඇරුණේ වසර ගණනාවක් ගිය පසුව ඊයේ පෙරේදා ය. මෙවැනි ප‍්‍රකාශයක් කිරීමට තුඩු දුන්නේ එතෙක් කර තිබු විමර්ශන වාර්තා බව විශ‍්‍රාම යන නීතිපති ප‍්‍රකාශ කළත් එම වාර්තා මෙම බලධාරීන්ගේ අවධානයට යොමුව නැත. කළ හැකි පහසු කාර්ය වූයේ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම පමණි. මෙම පියවරත් විශ්ව විද්‍යාල ආචාර්යවරයන්ගේ දේපොළ රාජසන්තක කිරීමේ තර්ජනයත් අතර කිසිදු වෙනසක් නැත.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන් මෙවැනි පියවරක් ගත්තේ ඇයි ද ඒවාට විසඳුම් නැත්ද යන්න සෙවිමට වඩා කුමන්ත්‍රණ භීතිකාවක් වැපිරීම බලධාරීන්ට ප‍්‍රයෝජනවත්ය. එවැනි පියවරෙන් ජනතාව නොමග යැවීමේ උපක‍්‍රම පාලකයෝ හොඳින් දනී.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම් නොසලකා මර්දනය යොදා ගැනීමට පාලකයන් උත්සාහ කරන්නේ ඊට මහජන මතය දිනා ගැනීමට හැකිය යන එක්තරා ආකාරයක අන්ධ විශ්වාසය නිසාය. එහෙත් ජන විඥානය අද වඩාත් ඉදිරියට ගොස් ඇති බව පාලකයන් තේරුම් ගත යුතුය. ඒ අන් කිසිවක් නිසා නොව පාලකයන්ගේ නිරුවත් බව දේශපාලනයෙන් මෙන්ම ආර්ථිකයෙන් පෙන්නුම් කර ඇති නිසාය. දේශපාලනයේ නිරුවත් භාවය රනිල් වික‍්‍රමසිංහ වැනි ජනතාව ප‍්‍රතික්ෂේප කළ පුද්ගලයෙකු සර්ව බලධාරි විධායකයෙකු කිරීමෙන්ද ආර්ථිකයේ නිරුවත ජනතාව සිඟමනට වැටීමෙන් ද පැහැදිලිය.

එමනිසා අනාගතය ගමන් මග පැහැදිලි කර ගැනීම සඳහා උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීමටත් වඩා ගැඹුරට යන දේශපාලන සහ ආර්ථික ඇගයීමක් අවශ්‍ය ය.       

Leave a Reply