ජනතා විරෝධය හමුවේ තනතුර අතහැර රටින් පලා ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නම් කිරීමෙන් අනුප්‍රාප්තික ජනාධිපති තනතුරට පත් රනිල් වික්‍රමසිංහ රට ‘‘යථාතත්වයට’’ පත් කිරීමට වැඩ පටන් ගෙන ඇත. පාර්ලිමේන්තුවේ තනි අලියා ව සිටි සමයේ ගාලු මුවදොර විරෝධතාකරුවන්ට ආශීර්වාද කළ ඔහු නව තනතුරට පත්වීමත් සමග ගාලු මුවදොරත් රටේ වෙනත් තැන්වලත් විරෝධතා දැක් වූ පිරිස් දඩයම් කිරීමට පොලිසියත් ආරක්ෂක හමුදාත් යොදවා ගනී. විරෝධතාකරුවන් හඳුනා ගැනීමට ජනාධිපති මන්දිරයේත්, අරලියගහ මන්දිරයේත් ඇති ඇඟිලි සලකුණු රැස් කර සැකකරුවන් හඳුනා ගැනීමට උපදෙස් දුන්නේය. 80 දශකයේ බටලන්ද සිහිපත් කරමින් ‘‘නීතිය සහ සාමය’’ තහවුරු කිරීමේ පැරණි ක්‍රියා මාර්ග ගැනීමට ඔහු සූදානම් ය.
අසූවේ දශකයේ වැඩ වර්ජනය කිරීම වැනි ප්රජාතන්ත්රීය අයිතිවාසිකම් මර්දනය කිරීමට යොදා ගත්තේ උතුරේ ‘ත්‍රස්තවාදය’’ මැඩලීමට කෙටි කලකට පමණක් යොදා ගැනීම සඳහා පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගත් ‘‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත’’යි. දැන් විසි එක්වැනි සියවසේ තෙවැනි දශකයේ දී විරෝධතා වැඩලීමට එය ප්‍රමාණවත් නැත. එමනිසා පසුගිය දා ( ජුලි 31) සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කළ ආකාරයට නව නීතියක් ගෙන ඒමට ඔහු සූදානම් ය. ‘ආණ්ඩුවේ ගොඩනැගිලි හෝ පරිපාලන මධ්‍යස්ථාන අත්පත් කර ගැනීම සහ මහජන දේපොළවලට හානි සිදු කිරීම ට උත්සාහ කිරීම’ සාපරාධි ක්‍රියාවක් බවට පත් කිරීමේ ප්‍රතිපාදන ඊට ඇතුළත් වනු ඇත. එම වාර්තාවේ සඳහන් වන ආකාරයට මෙම නීති ප්‍රතිපාදන පැහැදිලිව ම ගාලු මුවදොර විරෝධතාකරුවන් ඉලක්ක කර ගෙන ඇති බව පෙනේ. එම නීතිය පාර්ලිමේන්තුවෙන් සම්මත කළහොත් එය දැනට ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් විරෝධතා එල්ල වී ඇති පනතට අමතරව තවත් ‘‘ත්‍රස්තවාදී’’ පනතක් වන බව නිසැක ය. මාමා මෙන් බෑණා ද විරුද්ධතාවය මර්දනය කිරීමට නව අණ පනත් සම්මත කර ගැනීමට සහ විවිධ ආකාරයෙන් බලහත්කාරය යොදා ගැනීමට පසුබට වන්නේ නැත.
පැහැර ගෙන යෑම්, අත් අඩංගුවට ගැනීම්, පශ්චාත් මරණ පරීක්ෂණවලින් දියේ ගිලී මිය ගිය බව තහවුරු කරන මළ සිරුරු වෙරළට ගොඩ ගැසීම් වාර්තා වුවද අප ජීවත් වන්නේ මුහුණු පොත්වලින් ලොව පුරා ඒක්ෂණයකින් තොරතුරු බෙදා හරින ලෝකයක බව ද අමතක කළ යුතු නොවේ. එම නිසා පීඩකයන්ට සහ ඔවුන්ගේ අනුගාමිකයන්ට සිදු වන්නේ පැස්බරුන් මෙන් වැල්ලේ සැඟවීමට ය. සත්‍යය යටපත් කිරීම කිසි දා නොවු ආකාරයෙන් අද අසීරු ය.
රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ අනුගාමික ජනමාධ්‍ය අද උත්සාහ කරන්නේ ගාලු මුවදොර අරගලයට සම්බන්ධ වූ පිරිස් කලහකාරි ත්ර්රස්තවාදයට නැඹුරු අය සේ හුවා දැක්වීමටය. ජනාධිපති මන්දිරයට කඩා වැදුණු ඔවුහු එහි කෞතුක භාණ්ඩ සොරකම් කළහ. ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂාවට මේසය යට සඟවා තිබූ මුදල් සොයා ගත්හ. ඊට අමතරව ගෝඨාභය රාජපක්ෂ සහ පවුලේ උදවිය දිය කෙළියේ යෙදුන පිහිනුම් තටාකයේ දිය නෑමට පවා සාහසික වූහ. අලූත්ම තොරතුරු අනුව තරු පහේ හෝටල්වල බලහත්කාරයෙන් රැඳී සිටියහ. කෙටියෙන් අරගලකරුවන් ගේ සාපරාධී ක්‍රියා අනන්ත ය. අප්‍රමාණ ය.
එහෙත් ගෝඨාභය රාජපක්ෂ ගේ මේසය යට තිබී රුපියල් එක්කෝටි හැත්තෑපන් ලක්ෂයක් සොයා ගෙන එය ගණන් කරන ස්ථානයේ සිටි ක්‍රියාකාරීන් අත් අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමට පියවර ගත් පොලීසියට මෙතරම් විශාල මුදලක් එම මේසයට ගියේ කෙසේ දැයි සොයා ගැනීමට ඕනෑකමක් හෝ උනන්දුවක් නැත. මෙතරම් විශාල මුදලක් ළඟ තබා ගත්තේ ඇයි, කුමක් සඳහා ද, එය උපයා ගත් මුදලක් ද, නැතිනම් ප්‍රසන්න රණතුංග ඇමති මෙන් කිසියම් පුද්ගලයෙකුගෙන් ලබා ගත් කප්පම් මුදලක් ද යන්න පුරවැසියන්ට වැදගත් වුවත් අනුප්‍රාප්තිකයාට හෝ ආණ්ඩුවට සැලකිල්ලට ගත යුතු තරම් දෙයක් නොවේ. අරගලකරුවන් පොලිසියට භාර දුන් මුදල උසාවි නියෝගයක් ලැබෙන තෙක් උසාවියට හෝ ඉදිරිපත් කිරීමට පොලිසියට හෝ ආරක්ෂක අංශවලට වුවමනාවක් නැත. නැතිනම් එය යටපත් කිරීමේ උත්සාහයට ඔවුන්ගේ ද සහාය ලැබී ඇත.
මෙම සිද්ධියට අදාළ තවත් පුවතක් පසුගිය අගෝස්තු 1 වැනි දා ලංකාදීප පුවත් පතේ පළ විය. එම වාර්තාව අනුව ජනාධිපති මන්දිරයේ තිබී අතුරුදහන් කළ හෝ සොරකම් කළ කෞතුක භාණ්ඩ ගැන පරීක්ෂණයක් කළ නොහැකිය. හේතුව එහි තිබූ භාණ්ඩ කිසිවක් ලේඛන ගත කර නැති නිසා ය. රජයට අයත් පිඟන් කෝප්ප ඇතුළත් සියලු භාණ්ඩ බඩු වට්ටෝරුවකට ඇතුළත් කිරීම සරල කාර්යාලීය ක්‍රියා පටිපාටියකි. ඒවා වාර්ෂිකව සමීක්ෂණය කර වාර්තා ඉදිරිපත් කිරීම සෑම දෙපාර්තමේන්තුවකම සිදු වන දෙයකි. එහෙත් රජ ගෙදරට එම නීති රීති කිසිවක් අදාළ වන්නේ නැති බව කෞතුකාගාර දෙපාර්තමේන්තුවෙන් කළ ප්‍රකාශයෙන් පෙනේ. මෙවැනි වැරදි පමණක් නොව සමහර විට අපරාධ සේ සැලකිය හැකි සිද්ධීන් ගැන ඇඟිලි සලකුණු ලබා ගෙන පරීක්ෂණ නොකරන්නේ ඇයි?
ඇත්තෙන්ම මහජන මුදල් සහ සම්පත් කොල්ල කෑම මෙතෙක් පැවති සෑම රජයකින් ම නොසලකා හැරි අපරාධයකි. ගාලු මුවදොරට තරුණ තරුණියන් සහ ඔවුන්ට සහාය පළ කළ වෘත්තිකයන් සහ සමාජයේ වෙනත් අය සිය දහස් ගණනින් පැමිණියේ ඊට එරෙහිව ය. කොල්ල කා පිටරට බැංකුවල තැන්පත් කර ඇති මුදල් ආපසු රට ගෙන ඒමත් කොල්ලකරුවන්ට දඬුවම් පැමිණවීමත් ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම් විය. ඔවුන් ඉල්ලා සිටියේ ක්රමයේ වෙනසකි. ගෝඨාභය රාජපක්ෂ ඇතුළත් කණ්ඩායමෙන් නියෝජනය කළ දූෂිත ක්‍රමය ඉවත් කිරීම ය. ‘ගෝඨා ගෝ හෝම්’ කීවේ එම අරමුණෙනි.
රාජපක්ෂ පාලනයේ තවත් දූෂිත ක්‍රියාවක් යාපනයේ ප්‍රාදේශීය ජනමාධ්‍යකරුවෙකු විසින් තොරතුරු දැන ගැනීමේ කොමිසමට කළ ඉල්ලීමක් අනුව ප්‍රකාශයට පත් විය. මෙම ඉල්ලීම මුලින් කරන ලද අවස්ථාවේ එය ආරක්ෂාව පිළිබඳ කරුණක් වන නිසා තොරතුරු ලබා දීමට අගමැති කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබිණ. ඉන් පසුව තොරතුරු දැන ගැනීමේ කොමිසමෙන් කළ නියෝගයක් අනුව විස්තර ලබා දී ඇත.
ඉල්ලීම කර තිබුණේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ ඇතුළු කාර්ය මණ්ඩලය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ ඉතාලියේ රාජ්‍ය නොවන සංවිධානයක් විසින් පවත්වන ලද සමුළුවකට සහභාගි වීමට ගිය ගමනේ වියදම් පිළිබඳ ව ය. පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු යටපත් කිරීමේ උත්සාහයක් පවතින බවට රට තුළ ආන්දෝලනාත්මක විවාදයක් පැවැත්වෙන අතරතුර මෙම ගමන පාප්තුමා හමුව කරුණු පැහැදිලි කිරීමේ දූත මෙහෙවරක් සේ ද හඳුන්වා දී තිබිණ. එහෙත් එවැන්නක් සිදු වූ බවට වාර්තා වී නැත. ඔහුට සහ දූත පිරිසට රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීමක් ලැබුණ බවක් ද දක්නට නැත. එසේ වුවත් මෙම ගමනට රුපියල් දශලක්ෂ 26.6ක වියදමක් රජයෙන් දරා ඇත. රට උග්‍ර විනිමය අර්බුදයකට ලක්ව ළදරුවන්ට කිරි පිටි හෝ ආනයනය කිරීමට විදේශ විනිමය නැතිව තිබිය දී මෙතරම් මුදලක් මුදලක් නිස්කාරණයේ වැය කිරීම විමර්ශනය කළ යුතු කරුණක් සේ ආණ්ඩුව දකින්නේ නැත. ඔවුන්ට අවශ්‍ය ජනපති මන්දිරයේ පිහිනුම් තටාකයේ දිය කෙළි පිරිස් අත් අඩංගුවට ගෙන දඬුවම් දීම ය.
රාජපක්ෂ පාලනය මහජන මුදල් කොල්ල කෑ ආකාරය පැහැදිලි කිරීමට තවත් උදාහරණයක් දැක්විය හැකිය. රට තුළ ගෑස් සිලින්ඩරයක් සොයා ගැනීම කළුනික සොයා ගැනීමටත් වඩා දුෂ්කර තත්වයක් පැවතිය දී එහි පාලකයන් සම්පත් කොල්ල කා ඇති ආකාරය අලුතින් ලිට්ට්‍රෝ ආයතනයේ සභාපති තනතුරට පත් මුදිත පීරිස් ඩේලි මිරර් පත්‍රයේ ජනමාධ්‍යවේදියෙකු සමග පැවැත් වූ සාකච්ඡාවක දී හෙළි කෙළේය. තමා 2015 සිට 2020 දක්වා එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියාව සිටි සමයේ එය ලාභ ලබන ආයතනයක් වූ බවත් එම ලාභයෙන් රුපියල් බිලියන 21ක් ස්ථාවර තැන්පතුවල ආයෝජන කර තිබූ බවත් පැවසුවේය. එහෙත් ඔහු එම ආයතනයට 2022 වසරේ නැවත පත්වන විට පැවතියේ ස්ථාවර තැන්පතු සියල්ල අවසන් ව රුපියල් දශ ලක්ෂ 8ක බැංකු අයිරා ලබා ගෙන ඇති තත්වයකි. ඉන් පැහැදිලි වන්නේ වසර දෙකක් ඇතුළත මෙම ආයතනයේ ස්ථිර තැන්පතුවලින් පමණක් බිලියන 21ක් කාබාසිනියා කර තිබීමය. ඇත්තෙන්ම එම ආයතනයක් පමණක් නොව මුළු රටම කාබාසිනියා කර හමාරය. ඉන්ධන හා ගෑස් පමණක් නොව අත්‍යාවශ්‍ය ඖෂධ හෝ ආනයනය කිරීමට නොහැකිව ලොව පුරා සිඟා කෑමට සිදුව ඇත්තේ එම නිසාය. ඉන්දියාවේ සිඟන්නෙකු සිඟා කා උපයා ගත් මුදල ශ්‍රී ලංකාවට පරිත්‍යාග කෙළේ ද පවතින දුක්ඛිත තත්වය නිසා ය.
මෙවැනි කොල්ල කෑම් සමහරක් විගණන වාර්තාවෙන් පෙන්වා දීමෙන් පසුව රාජ්‍ය ගිණුම් කාරක සභාවෙන් ප්‍රශ්න කරමින් තිබිණ. ඇත්තෙක්ම සිදු විය යුත්තේ අදාළ නිලධාරීන් කැඳවා ප්‍රශ්න කිරීම නොව ඔවුන්ට දඬුවම් නොකිරීම ගැන විමසීම සහ කොල්ල කෑ මුදල් ආපසු භාණ්ඩාගාරයට ලබා ගැනීමය. එසේ කොල්ල කෑ ධනය ජනාධිපති මන්දිරයේ වයිෆයි භාවිතා කිරීමෙන් සිදුව ඇතැයි කියන පාඩුව මෙන් නොව රටම අගාධයට පත් කළ හානියකි. ඒ ගැන සොයා බැලීමට අරගල කරුවන් කළ හානිය සෙවීමට ඇති උනන්දුව නැත්තේ ඇයි? අරගලකරුවන්ට එම ස්ථාන අත්පත් කර ගැනීමට සිදු වූයේ දූෂිත පාලකයන් නීතිය කුණු බාල්දියට විසිකර තිබු නිසාය.
අනුප්‍රාප්තික ජනාධිපති පාර්ලිමේන්තුව කල් තැබීමෙන් සිදු කර ඇත්තේ රාජ්‍ය ගිණුම් කාරක සභාවෙන් කළ බලපෑමක් නැති විමර්ශනය පවා අහෝසි කිරීම ය. දූෂිතයන් ආරක්ෂා කිරීමේ ඉතිහාසයක් රනිල් වික්‍රමසිංහට ඇති බව ඔහුගේ අගමැති දිනේෂ් ගුණවර්ධන පාර්ල්මේන්තුවේ දීම ප්‍රකාශ කෙළේය.
එමනිසා අරගලකරුවන් දඩයම් කරන්නේ නීතිය හෝ සාමය පවත්වා ගැනීමට නොව පවතින දූෂිත පාලනයට එරෙහිව නැගෙන හඬ නිහඬ කිරීමට බව පැහැදිලි ය.
- හසරක් නැතිව වෙනසක් සොයා යන ගමනක්.. - January 8, 2025
- හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ.. - December 30, 2024
- හසරක් නැතිව අඳුරේ අත පත ගාන ජාතික ජන බලවේගය.. - December 18, 2024