කෙබඳු හෝ ප්‍රශ්නයක් විසඳීමේ මුල්ම පියවර විය යුත්තේ එය නිවැරදිව හඳුනා ගැනීමයි. එසේ නොමැතිව ආවේගශීලීව හෝ වෙනත් බලපෑම් මත ප්‍රතිචාර දැක්වීමෙන් සිදු වන්නේ ප්‍රශ්නය වඩාත් තීව්‍රවී මහත් අවුල් තත්වයකට පත්විමය.
මෑත ඉතිහාසයේ ලංකාව මුහුණ පූ බරපතළම ව්‍යසනය වූ දිට්වා කුණාටුවට ආණ්ඩුවත් විපක්ෂයත් ප්‍රතිචාර දැක් වූ ආකාරයෙන් පැහැදිලි වන්නේ මෙම දෙපාර්ශ්වයටම සිදුව ඇති ඛේදවාචකයේ ස්වභාවය සහ ඊට මුහුණ දිය යුතු ආකාරය ගැන පැහැදිලි අවබෝධයක් නැතිකමය. පළමුවෙන්ම ව්‍යසනයට විපක්ෂය ප්‍රතිචාර දැක් වූයේ සුපුරුදු ආකාරයට පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත් විය යුතුය යනුවෙනි. එය රාත්‍රි දොළහ වන තෙක් හෝ පැවැත්විමට විපක්ෂය එකඟවන්නේ යැයි විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ මංත්‍රීවරයෙකු වු කබීර් හෂීම් පැවසුවේ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන කිසිම විවාදයකින් අර්ථවත් කිසිවක් නොවන බව අමතක කරමිනි. ඊට අමතරව විපක්ෂයේ ඉල්ලිමක් වූයේ හදිසි තත්වයක් ප්‍රකාශ කළ යුතුය යන්නයි. කෙසේ හෝ ජනාධිපති මුළු දිවයිනටම බලපාන හදිසි තත්වයක් ප්‍රකාශ කෙළේය.

හදිසි තත්වයක් ප්‍රකාශ කළ යුතු වන්නේ සාමාන්‍ය පටිපාටිය අනුව විසදා ගත නොහැකි නීතිය සහ සාමය පිළිබද තත්වයක් පවතින්නේ නම් ය. සුළිකුණාටුව රට තුළ හදිසි තත්වයක් ඇති කළද එය නීතිය හා සාමය පිළිබද ප්‍රශ්නයක් නොවේ. කවුරුත් පිළිගන්නා ආකාරයට සුළි කුණාටුව ස්වභාවින ව්‍යසනයකි. කලින් අනතුරු හැඟවීම් තිබුණ ද හානිය අවම කිරීමට පියවර ගැනීම හැර සම්පූර්ණයෙන් වළක්වා ගත හැකි තත්වයක් නොවේ. එම අනතුරු හැඟවීම් වලට නිසි ප්‍රතිචාර දැක් වූයේ ද යන්න සාකච්ඡා කළ යුතු වුවද එම තත්වය ගැන නොසැලකිල්ල කිසිසේත් නිතිය හා සාමය පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. එසේ නම් හදිසි තත්වයක් ප්‍රකාශ කෙළේ ඇයි? හදිසි නිතිය සාමාන්‍යයෙන් යොදා ගන්නේ ජනතා අයිතිය සීමා කිරීමට සහ මර්දනකාරී පියවර ගැනිමට බව අපගේ අත්දැකිම ය.
එසේ නම් හදිසි නිතිය ප්‍රකාශ කිරීමෙන් අදහස් කරන්නේ සාමාන්‍ය නීතිය අභිබවා යන මර්දනකාරී පියවර ගැනීම විය හැකිය. ඒ ගැන කිසියම් හැඟීමක් ඇති නිසාදෝ ජනාධිපති අනුර කුමාර තමා ප්‍රකාශයට පත් කළ හදිසි නිතිය යටතේ එවැනි මර්දනකාරී පියවර නොගන්නා බවට සහතික වූයේය. එය එසේම වනු ඇතැයි අපි ද බලාපොරොත්තු වෙමු.
එහෙත් ඉන් පැහැදිලි වන්නේ රට මුහුණ දී ඇති වෙනත් ආර්ථික, සමාජයීය සහ දේශපාලන ප්‍රශ්න ගැන මෙන්ම ස්වභාවික ව්‍යසනවලට මුහුණ දෙන ආකාරය ගැන පාලකයන්ට නිසි අවබෝධයක් හෝ දැක්මක් නැති කමය. හදිසි නීති සම්පාදනයටත් ඒ යටතේ විවිධ අණපනත් පැනවීමටත් සිදුව ඇත්තේ ජනතාව තම අයිතිවාසිකම් දිනා ගැනීම සදහා වැඩ වර්ජන, උද්ඝෝෂණ වැනි පියවර මෙන්ම වාර්ගික අයිතිවාසිකම් ලබා ගැනීම වැනි දේශපාලන ඉල්ලිම් යටපත් කොට රජයේ විධානය පවත්වා ගැනීමටය. මෙවැනි පියවර රජයේ ආරක්ෂාවට තර්ජනයක් සේ පාලකයෝ සලකති. ස්වභාවික ව්‍යසනයක් සම්බන්ධයෙන් හදිසි නිතිය යොදා ගැනීමෙන් අදහස් වන්නේ කිසියම් ආකාරයකින් ජනතාව නතු කර තැබීම විය හැකිය. ජනතාවට සහන සැලසීමට හෝ විනාශ වූ පහසුකම් යළි ඉදි කිරීමට හදිසි නීති අවශ්‍ය නොවේ. ඒ සියල්ල රටේ පවතින සාමාන්‍ය යටතේ සිදු කළ හැකිය. අවශ්‍ය වන්නේ නිසි සම්පත් ලබා දීම සහ නායකත්වයයි.
එහෙත් ගැඹුරින් සලකා බැලීමේ දී ස්වභාවික ව්‍යසන නිතර නිතර වඩාත් විනාශකාරී ලෙස සිදු වන්නේ රටේ පවතින සාමාන්‍ය නීති පවා නිසි ආකාරයට ක්‍රියාත්මක නොවිම නිසා බව පෙනේ. මීට හොදම නිදසුනක් මෑත කාලයේ වැඩිම ජීවිත හානියක් සහ විශාලතම දේපොළ විනාශයක් සිදු වු සුනාමි ව්‍යසනයෙන් දැක් විය හැකිය. ජීවිත 35000කට වඩා බිලිගත් මෙම ව්‍යසනයෙන් පසුව පැන වූ නීති සමුදාය අතර එක් රෙගුලාසියක් වූයේ වෙරළේ සිට මීටර් 200ක් ඇතුළත කිසිම ඉදි කිරීමක් නොකළ යුතුය යන්නයි. ඒ නැවත කිසි දිනක සුනාමියක් පැමිණිය හොත් සිදු විය හැකි ජීවිත සහ දේපොළ හානි අවම කිරීමටය. එහෙත් එය වදන්වලට පමණක් සීමා වූ රෙගුලාසියකි. එය නොසලකා හැරීම පැහැදිලිවම සංචාරක කර්මාන්තයේ යෙදී සිටින ව්‍යාපාරිකයන්ගේ බලපෑම යටතේ ගත් දේශපාලන තීරණයකි. මීටර් 200 සීමාව ක්‍රියාත්මක කිරීම තවත් සුනාමියක් පැමිණෙන තෙක් කල් දමා ඇත.
නිතිය දේශපාලන අවශ්‍යතා මත නොසලකා හැරීමට තවත් අලුත්ම උදාහරණයක් දැක් විය හැකිය.

මෑතක පැවති කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමක දී නාරහේන්පිට ප්‍රදේශයේ ඉදි කොට ඇති අනවසර ඉදි කිරීම් ඉවත් කිරීමට අධිකරණයෙන් ලබා දී ඇති තින්දුවක් ක්‍රියාත්මක නොකිරීම ගැන ප්‍රශ්නයක් මතුවිය. එම සභාව නියෝජනය කළ ආණ්ඩු පක්ෂයේ මංත්‍රීවරියක ගේ බලපෑම නිසා අධිකරණ නියෝගය නොසලකා සිටීමට තීරණය කළ බව පළ විය. මෙම ප්‍රශ්නය පාර්ලිමේන්තුවේ දි මතු වූ විට උගත් අධිකරණ ඇමතිගේ පිළිතුර වූයේ කොළඹ නගරයේ ඇති අනවසර ඉදි කිරීම් ඉවත් කළ හොත් කොළඹ වැසියන්ගෙන් අඩකටත් වඩා නිවාස අහිමි තත්වයට පත් වන්නේය යන්නයි.
මීට වසර කීපයකට පෙර කොළඹ නගරයේ තොටළඟ ප්‍රදේශයේ පැල්පත්වල හටගත් ගින්නක් හට ගත් විට ඒ සියලු නිවාස ගිනිබත්ව අවසන් වන තෙක් ගිනි නිවන හමුදාවට කිසිත් කර නොහැකිව බලා සිටීමට සිදු වූයේ ගින්න පැවති ස්ථානයට ළගා වීමට ප්‍රවේශ මාර්ගයක් නොතිබීමය. එම ගින්නෙන් ජීවිත හානි සිදු නොවු නමුත් අනවසර ඉදි කිරීම් ජීවිත සහ දේපොළවලට හානිකරය යන්න නැවතත් තහවුරු විය. එම අනවසර ඉදි කිරීම්වලට දේශපාලන අනුග්‍රහය ලැබී තිබුණ බවද පැහැදිලිය.
මින් කියවෙන සරල සත්‍යය දේශපාලන අවශ්‍යතාවය අනුව නීති කඩ කිරීමත් නොසලකා සිටීමත් සංස්කෘතියක් බවට පත්ව තිබීම ය. ඊට පක්ෂ බේදයක් නැත. ඉදි කිරීම් පිළිබදව පවතින නීති සහ රෙගුලාසි ක්‍රියාත්මක වූයේ නම් දිට්වා සුළි සුළග වැළැක්විය නොහැකි වුවත් ජීවිත සහ දේපොළ විශාල ප්‍රමාණයක් රැක ගතව හැකිව තිබිණ. අඩුම වශයෙන් සුළි කුණාටුවට දින කීපයකට පෙර කඩුගන්නාවේ කඳු බෑවුමේ අනවසර ඉදි කිරීමක් වූ ආපන ශාලාවකට ගලක් පෙරළීමෙන් වූ හානිය එළඹෙන අනතුරක සංඥාවක් විය හැකිව තිබිණ.
එහෙත් අපගේ දේශපාලන සංස්කෘතිය අනුව දුර දක්නා නුවනින් තිරණ ගත නොහැකිය. ඡන්දය දිනා ගැනීමට හැකි නම් කුඩුකාරයෙකුට වුවද නාමයෝජනා ලබා දීමේ වරදක් නැත. එවැනි අය මහජන නියෝජිතයෙකු වු පසුව නීතිය වන්නේ ඔහුය.
ස්වභාවික ආපදාවලට මිනිස් ක්‍රියාකාරකම් ද සැලකිය යුතු ආකාරයෙන් බලපාන බව අද පිළිගත් විද්‍යාත්මක සත්‍යයකි. සංවර්ධනයේ නාමයෙන් ඉවක් බවක් නැතිව පරිසරය විනාශ කිරීම නිසා ස්වභාවික ආපදා නිරන්තරයෙන් සිදු වන අතර සිදුවන හානිද පරිමාණයෙන් වඩාත් වැඩිය. මහා ජලාශ ඉදි කිරීම වැසි ජලය බැස යෑමට ඇති තෙත්බිම් ගොඩ කිරීම වනාන්තර හෙළි කොට වගා බිම් සැකසීම වැනි මිනිස් ක්‍රියාකාරකම් නිසා ගංවතුරු නාය යෑම් මෙන්ම නියඟය අද සාමාන්‍ය දෙයකි. මේ තත්වය නිසා ලොව වැඩියෙන්ම ස්වභාවික ආපදාවන්ට ලක් වන රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුනා ගෙන ඇත. දැනට ගණන් බලා ඇති ආකාරයට පසුගිය දා ඇති වු සුළි සුළං කුණාටුවෙන් ශ්‍රී ලංකව ඇතුළුව මැලේසියාව, තායිලන්තය සහ ඉන්දුනිසියාව යන රටවල සිදු වු ජීවිත හානි දහස ඉක්මවා යයි. ඛේදය වන්නේ ඉන් වැඩිම ජීවිත හානියක් ශ්‍රී ලංකාවෙන් වාර්තා විම ය. ජන සංඛ්‍යාව අනුව බලන්නේ නම් ප්‍රතිශතයක් වශයෙන් වැඩිම ජීවිත හානි සිදුව ඇත්තේ ශ්‍රී ලංකාවේය.

ඉන් පැහැදිලි වන්නේ ලංකාවේ ආපදා කළමනාකරණය මෙන්ම පරිසර කළමනාකරණය ද ඉතාම දුර්වල තත්වයක පැවතිමය. මෙම රටවල් අතුරෙන් වැඩිම කාලයක් හදිසි නිතිය ක්‍රියාත්මක වූ රට ද ලංකාවයි. එහෙත් ආපදා වැළැක්වීමට හෝ කළමනාකරණයට හදිසි නීතිය පවත්වා ගැනීම කිසිසේත් ඉවහල්ව නැත.
අපේ රටේ පාලකයන් ආර්ථික කළමනාකරණයට මෙන්ම පරිසර කළමනාකරණයට ද අසමත් බව පැහැදිලිය. රට බංකොළොත් තත්වයට පත්විමට හේතුව දුර්වල ආර්ථික කළමනාකරණය බව තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු පාලකයන් සහ උසස් නිලධාරීන් වගකිව යුතු බවත් ඒ නිසා ඔවුන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනයකර ඇති බවත් ප්‍රකාශ කෙළේය. ජනතාව පසුගිය ජනාධිපතිවරණයෙන් සහ අනතුරුව පැවති මහා මැතිවරණයෙන් එම පාලකයන් ඉවත් කොට නව දේශපාලන කණ්ඩායමක් බලයට පත් කෙළේ සැබැවින්ම මෙම ක්රමයේ වෙනසක් අපේක්ෂාවෙනි. එහෙත් නැවත වරක් එය හිස් බලාපොරොත්තුවක් බවට පත්වීමේ ලකුණු දැකිය හැකිය. ස්වභාවික ආපදාවකට මුහුණ දිමට ජනතාව මර්දනය සඳහා යොදා ගත් හදිසි නීතියේ පිහිට පැතීම එවැනි අවස්ථාවකි. සිදුව ඇත්තේ පැරණි ආප්තයක් අනුව පරණ වයින් අලුත් බෝතලයකට දැමිමකි.
අද අප මුහුණ දී ඇති ආර්ථික සමාජයීය සහ පාරිසරික ප්‍රශ්නවලට මුහුණ දීමට වෙනස් දේශපාලන දැක්මක් අවශ්‍ය ය. එම දේශපාලන දැක්ම ගොඩ නගා ගත හැක්කේ වෙනස්ව සිතීමට හැකියාව වර්ධනය කර ගැනීමෙනි. ලාභය ඉපයීම එකම අරමුණ කර ගත් දැවැන්ත ව්‍යාපාරිකයන්ගෙන් එම දැනුම ලබා ගත නොහැකිය. ඔවුන් දන්නේ පොහොසත් රටක් තැනීමට නොව ලාභය එක්රොක් කරන මහා ව්‍යාපාර ගොඩ නැගීමට ය. අසල් වැසි ඉන්දියාවේ ලෝක පරිමාණයෙන් ධනය රැස් කර ගත් ව්‍යපාරිකයන් සිටින නමුත් එහි දරිද්‍රතාවය හා අසරණ බව තුරන්ව නැත. ධනයේ ‘‘වර්ධනය“ කෙතරම් ද යත් අද ඉන්දියාවේ ප්‍රධාන නගරවල හුස්ම ගැනීමට හෝ නොහැකි තරමට වාතය අපවිත්‍රව ඇත. ලංකාවේ ‘‘සංවර්ධනයත්“ සමග එවැනි තත්වයක් වැඩි ඈතක් නොවන දිනක අත්දැකීමට හැකි වනු ඇත..
එමනිසා සිදුවිය යුත්තේ පැරණි විනාශකාරී තත්වය නැවත ගොඩ නැගිම නොව මිනිසාටත් පරිසරයටත් හිතකාමී නව මාවතක් හෙළිපෙහෙළි කිරීමය. ඒ සඳහා තීරණාත්මක වන්නේ ධනය ඒකරාශි කිරීමේ ව්‍යාපාරික දැනුම නොව සියලුම මිනිස් ජීවිත එක සේ අගය කරන මානවවාදී දැක්මක් සහ ක්‍රියා පිළිවෙතකි. එසේ නොවන්නේ නම් නැවතත් සුනාමියක් හෝ දිට්වා කුළි කුණාටුවක් පැමිණෙන තෙක් කකුළුවන් සේ සැළියේ දිය කෙළිමු.
- මංකොල්ලකාරී අධිරාජ්‍යවාදය නැවතත් ලෝක සමය බවට පත්වේ.. - March 4, 2026
- යළි උපන් අවතාර පැරණි හොල්මන්වලින් වෙනස්වන්නේ නැත.. - February 25, 2026
- දේශපාලනයේ දරිද්‍රතාවයට විසඳුම් අවශ්‍යයි.. - February 9, 2026