You are currently viewing දකුණු අප්‍රිකාවෙන් අපට තවත් පාඩමක්

දකුණු අප්‍රිකාවෙන් අපට තවත් පාඩමක්

දකුණු අප්‍රිකාවේ වසර නමයක් ජනාධිපති තනතුරේ සිටි ජාකොබ් සූමා ගේ පාලන සමයේ සිදු වූ අයථා ගනුදෙනු සහ වංචා පිළිබඳ ව විමර්ශනය කර වාර්තා කිරීමට විනිසුරු රේමන්ඩ් සොන්ඩා ගේ සභාපතිත්වයෙන් පත් කරන ලද කොමිසමේ වාර්තාව (ලංකාවේ ජනාධිපති පත් කරන කොමිසම් සභා මෙන් නොව) පසුගිය ද ප්‍රකාශයට පත් කෙරිණ. මෙම කොමිසම වසර තුනක් තිස්සේ දින 400කට අධික කාලයක් විමර්ශන කටයුතු කරන ලද අතර සාක්ෂිකරුවන් 300ක් කැඳවන ලදී. පිටු 374කින් යුත් වාර්තාවට සාක්ෂි සටහන් වශයෙන් පිටු දශ ලක්ෂ 1.7ක් අමුණා ඇත. කොමිසමට දඬුවම් කිරීමේ බලයක් නොමැති නිසා එම වාර්තාව ඉදිරිපත් වූ වහාම දකුණු අප්‍රිකාවේ නීතිපති දෙපාර්තමේන්තුව ( නැවතත් ලංකාවේ මෙන් නොව) දැනටමත් නීතිමය පියවර ගැනීමට සූදානම් බව ද වාර්තාවල දැක්වේ.

ජාකොබ් සූමා යනු නිදහස් අරගලයේ වීරයෙකි. වර්ග භේදවාදි ආණ්ඩුවට එරෙහිව ජනතාව සංවිධානය කිරීම සහ අරගල කිරීම වෙනුවෙන් ඔහු 1963 දී වසර 10ක සිර දඬුවමකට ද යටත් වූයේ ය. නිදහස් වීමෙන් පසු 1975 දී රටින් පිටව ගොස් ඔහු අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ ජාත්‍යන්තර සම්බන්ධතා අංශය ගොඩනැගීමට දායක වූයේ ය. තමාට එරෙහිව නගා ඇති චෝදනා සම්බන්ධයෙන් ඇති නිර්දෝෂී භාවය පෙන්වීමට ඔහු මෙම අතීතය යොදා ගැනීමට උත්සාහ ගත් නමුත් සාර්ථක වූයේ නැත.

ජාකොබ් සූමා ආධාරකරුවන්ගේ කණ්ඩායමක් දකුණු අප්රිකාවේ නක්කන්ලා හි 2021 ජූලි 01 වන දින සුමා නිවාසයට ඇවිදිමින්.
ජාකොබ් සූමා [Jacob Zuma]

අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ නායකත්වයෙන් සහ ජනාධිපති තනතුරෙන් ඉවත් කිරීමෙන් පසුව ඔහුට එරෙහි නැගි තිබුණු චෝදනා ගැන පරීක්ෂණ කටයුතු ආරම්භ වුවත් ඔහු ඒ කිසිවකට සහාය දුන්නේ නැත. එම නිසා කොමිසම ඉදිරියට කැඳවූ විට කොමිසම පක්ෂපාත ව හා දේශපාලන වශයෙන් පලි ගැනීමට කටයුතු කරන්නේ යැයි පවසමින් එය ප්‍රතික්ෂේප කෙළේය. එම ක්‍රියාව උසාවියට කරන ලද අපහාසයක් සේ සලකා ඔහුට 2021 ජුලි මස, මාස 15ක සිර දඬුවමක් නියම විය. අධිකරණ තීරණයට විරුද්ධව සිය ආධාරකරුවන් මෙහෙයවීම නිසා රට පුරාම කැරලි කෝලාහල තත්වයක් හට ගත්තේ ය. ඉන් විශාල දේපොළ හානි සිදු වූ අතර 300කට අධික සංඛ්‍යාවක් මරණයට පත් වූහ. එහෙත් අධිකරණ තීන්දුව වෙනස් වූයේ නැත. පසුව වෛද්‍ය හේතු මත තාවකාලිකව සිරෙන් නිදහස් කළ ද පසුගිය දෙසැම්බරයේ සිට නැවතත් සිර ගත කිරීමට අධිකරණයෙන් නියෝග කර ඇත. 

ශත වර්ෂාධික කාලයක් තිස්සේ වර්ග භේදවාදී පාලනයෙන් පීඩාවට පත්ව දරිද්‍රතාවයේ ගිලී සිටි දකුණු අප්‍රිකානුවන්ට දේශපාලන නිදහස සහ ආර්ථික විමුක්තිය ලබා දීමට මැන්ඩෙලා ප්‍රමුඛ නායකයන් ස්ථාපනය කළ පාලනය ඉක්මණින්ම දූෂණයට සහ රාජ්‍ය දේපොළ වංචා සහගත ව අත්පත් කර ගැනීමට යොමු විය. නිදහස් සටනේ වීරයෙකු වූ සූමා යටතේ එය වඩාත් උත්සන්න විය. එහි ප්‍රතිඵලය වූයේ කළු ජාතිකයන්ගේ සහ දුප්පත් සෙසු ජන කොටස්වල ජීවන තත්වය පෙර තිබුණාටත් වඩා පහත වැටීම ය.

ජාකොබ් සූමා යටතේ රාජ්‍ය සම්පත් තම හිතවතුන්ට සහ පවුලේ ඥාතීන්ට ලබා ගැනීමට පහසුවන ආකාරයට එතෙක් පැවති නීති රීති සහ සම්ප‍්‍රදායන් ද වෙනස් කෙළේය. රාජ්‍යය ග්‍රහණය කර ගැනීම (State Capture ) නමින් ප්‍රකට වූ මෙම ක්‍රියාවලියෙන් අදහස් වූයේ රාජ්‍ය පරිපාලනය දුර්වල කිරීම ය. පරිපාලන ක්‍රියා පටිපාටිය දේශපාලකයන්ට අවශ්‍ය ආකාරයට වෙනස් කෙරිණ. එහිදී පළමුවෙන්ම ඉලක්කය වූයේ දකුණු අප්‍රිකාවේ ආදායම් බදු දෙපාර්තමේන්තුවේ උසස් තනතුරුවලට හිතවතුන් පත් කිරීම සහ එතෙක් පැවති ක්‍රියා පටිපාටි වෙනස් කිරීම ය. ඒ සඳහා දෙපාර්තමේන්තුවේ වසර ගණනාවක් සේවය කළ ප්‍රවීණ සේවකයන් 2000කට අධික සංඛ්‍යාවක් ඉවත් කරන ලදී.

ඊළඟ පියවර වූයේ රාජ්‍ය සමාගම්වල ප‍්‍රධාන තනතුරුවලට හිතවතුන් සහ පවුලේ ඥාතීන් පත් කිරීම ය. ඒ අනුව වරක් අප්‍රිකාවේ වඩාත් ලාභදායි ව්‍යාපාරයක් වූ දකුණු අප්‍රිකානු ගුවන් සේවය වංචා දූෂණවලින් පිරුණු තැනක් බවට පත් විය. එම ව්‍යාපාරික ආයතන තවදුරටත් වාණිජ වශයෙන් ලාභ උපයන තත්වයක නොතිබූ නිසා මහා භාණ්ඩාගාරයට බරක් විය. නැතිනම් වසා දැමිණ. ඉන් විරැකියාවත්, දරිද්‍රතාවයත් වඩාත් උත්සන්න විය.

ජාකොබ් සූමාගේ මෙම අකටයුතුවලට සහාය වී ඇත්තේ 1993 වසරේදී දකුණු අප්‍රිකාවට ඉන්දියාවෙන් සංක්‍රමණය වූ ගුප්තා නම් සහෝදර පිරිසකි. දකුණු අප්‍රිකාවේ නව රජය යටතේ කළු ජාතිකයන්ට  ව්‍යාපාරික කටයුතුවල යෙදීමට බාධා පැමිණ වූ වර්ග භේදවාදී පාලනයේ නීතිරීති ඉවත් කිරීමෙන් උපරිම ප්‍රයෝජන ගත් මෙම සමාගමේ ප්‍රධාන තනතුරුවලට සූමාගේ ඥාතීන්ද පත් කර ගෙන තිබිණ. ඒ සියල්ලෙන් සිදු වූයේ රාජ්‍යය ග්‍රහණයට ගැනීමය. රජයේ සම්පත් හොරා කෑම ය. ගුප්තා පවුල ජාකොබ් සූමා ජනාධිපති තනතුරෙන් ඉවත්වීමත් සමග රටින් පි‍ටව ගියහ.

අපේ රටේ පවතින තත්වයට බෙහෙවින් සමාන වූ මෙම සංසිද්ධිය සම්බන්ධයෙන් දකුණු අප්‍රිකාවේ ජනමතය ක්‍රියාත්මක වූ ආකාරය බෙහෙවින් වැදගත් ය. සූමා නායකත්වය දැරූ අප්‍රිකානු ජාතික කොංග‍්‍රසයට එම සමාජය තුළ තිබු පිළිගැනීම සහ ගෞරවය නිසා සූමාට එරෙහිව ජනමතයක් ගොඩ නැගීම පහසු කටයුත්තක් වූයේ නැත. විරෝධතා ව්‍යාපාරයේ නායකත්වය ගැනීමට ප්‍රබල විපක්ෂයක් තිබුණේ ද නැත. එහෙත් දූෂණ හා වංචාවලට එරෙහිව රට තුළ පැවති විරෝධය ක්‍රම ක්‍රමයෙන් සූමාගේ පාලනයට එරෙහි දැවැන්ත ව්‍යාපාරයක් බවට පත්විය. අප්‍රිකානු ජාතික කොංග‍්‍රසය තුළින් ද එම විරෝධය මතු වූ නිසා සූමාට පක්ෂ නායකත්වයෙන් සහ ජනාධිපති තනතුරෙන් ඉවත් විමටත් සිදු විය. දූෂණයට එරෙහිව නැගි හඬට නිදහස් අරගලයේ දී කළ පරිත්‍යාග කඩතුරාවක් කර ගැනීමට ගත් උත්සාහය ද ව්‍යර්ථ විය.

දෙවැනිව අධිකරණ ක්‍රියා මාර්ග වැළැක්වීමට සූමා උත්සාහ ගත්තේ ඔහුගේ දේශපාලන පදනම මෙහෙයවීමෙනි. උසාවියට අපහාස කිරීමේ චෝදනාව යටතේ සිර දඬුවමක් නියම කළ විට ඔහුගේ අනුගාමිකයන් රට තුළ ඇති කළ අවුල් වියවුල් පාලනය කිරීමට අපහසු වූ තරම් විය. ජීවිත 340ක් බිලි ගත් එම ව්‍යාපාරයට අධිකරණ ක්‍රියා මාර්ගය වෙනස් කිරීමට හැකි වූයේ නැත. සිර දඬුවමෙන් සහනයක් ලබා ගැනීමට හැකි වූයේ වෛද්‍ය හේතු මතය. රෝගි තත්වය පහවීමත් සමග නැවතත් සිර භාරයට පත්වීමට අධිකරණයෙන් නියෝග කෙරිණ.

අනිත් වැදගත් කාරණය වන්නේ කොමිසමේ වාර්තාව  ප්‍රසිද්ධ කිරීම ය. මහජනයාට එම වාර්තාව කියවීමටත් ඒ ගැන හඬක් නැගීමටත් අවස්ථාවක් ලැබිණ. කොමිසම් වාර්තා හමස් පෙට්ටියට දැමීමේ ඉතිහාසයක් ඇති අපේ රටේ මෙන් නොව දකුණු අප්‍රිකාවේ නීතිපති දෙපාර්තමේන්තුව ද කොමිසමේ වාර්තාව පදනම් කර ගෙන අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට සූදානම් ය. 

මේ සියල්ලෙන් කියවෙන වැදගත් ම කාරණය වන්නේ රටක අධිකරණ පද්ධතිය ස්වාධීන වන්නේ නම් සහ බලපෑම්වලට යටත් නොවී නීතිය ක්‍රියාත්මක කරන්නේ නම් දූෂිත පාලකයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට ඇති අවකාශයයි. වර්ග භේදවාදී පාලනය යටතේ වුවද දකුණු අප්‍රිකාවේ අධිකරණය බොහෝ විට පාලකයන්ගේ වුවමනාවන්ට හරස් ව ගිය අවස්ථා තිබිණ. රිවොනියා නඩුව නමින් ප‍්‍රකට නෙල්සන් මැන්ඩෙලා ඇතුළු අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ නායකයන්ට එරහෙිව පැවති නඩු විභාගයේ දී වර්ග භේදවාදී පාලනය යටතේ වුවද අධිකරණය ස්වාධීනව ක්‍රියා කළ ආකාරය දැකිය හැකිය.

දූෂණ සහ වංචාවලින් පිරුණු සාගරයක් මැද අධිකරණයට පමණක් යුක්තියේ සහ සාධාරණත්වයේ පහන් ටැඹක් සේ නැගි සිටිය නොහැකි වුවද ස්වාධීන සහ අපක්ෂපාතී අධිකරණයක් ස්ථාපිත වන තෙක් අන් කිසිම අයිතියක් තහවුරු වන්නේ නැත. දකුණු අප්‍රිකාව බොහෝ කරුණු අතින් අසමත් රාජ්‍යයක් වුවද අනාගතය ගැන ඇති එකම බලාපොරොත්තුව අධිකරණයේ ස්වාධීනත්වය යි. ඊට ස්වාධීනව පැවතීමට අතීතයේ සිට පැවත එන සම්ප‍්‍රදායන්ද පිටිවහලක් විය.

අපේ රටේ අධිකරණයේ ස්වාධීනත්වය සඳහා පැවති ප්‍රතිපාදන සහ සම්ප‍්‍රදායන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හඳුන්වා දීමේ දී විනාශ කළ ආකාරය රාජන් හූල් පාස්කු ඛේදවාචකය නම් කෘතියේ මැනැවින් පෙන්වා ඇත. දැනට රාජ්‍ය ප‍්‍රතිපත්තිය බවට පත්ව ඇති මහජන සම්පත් මංකොල්ලය නතර කොට ජනතාවාදී පාලනයක් බිහි කිරීමට ගන්නා ප්‍රයත්නයේ දී පළමුවෙන්ම ජය ගත යුතු අභියෝගය වන්නේ අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතිය බලාත්මක කරන ආයතන තහවුරු කිරීමය. පාලකයන්ට කැමති ආකාරයට විමර්ශන කටයුතුවලට සහ නීති ක්‍රියාදාමයට මැදිහත් වීමට ඇති හැකියාව තුරන් කළ යුතුය.

අනෙක් සියලු අයිතීන් දිනා ගත හැකි වන්නේ ස්වාධීන අපක්ෂපාත සහ පාරද්‍රශ්‍ය අධිකරණයක් සහ ඊට සහාය වන විමර්ශන සහ ක්‍රියා පටිපාටි පවතින සමාජ පද්ධතියක පමණි.

Leave a Reply