ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ ක්‍රියාමාර්ගයන් ගැන නිරීක්ෂණය කළ කෙනෙකුට පෙනී යන එක් පැහැදිලි කරුණක් දැකිය හැකි වේ. ඒ මුලින් ගාම්භීර ටෆ් පොර ටෝක් දමා, ජන විරෝධය එන විට නගුට දෙකකුල් අස්සේ රුවාගත් බල්ලෙකු මෙන් පරාජය පිළිගැන්ම ය. නැඟෙනහිර පර්යන්තය පිළිබඳ ප්‍රශ්නයේ දී ඒ හැසිරීම අපි දුටුවෙමු. රසායනික පොහොර ආනයන ප්‍රශ්නයේ දීත් එයම අපි දැක ගත්තෙමු. ආණ්ඩුවේ ප්‍රකාශකයන් මෙය හැදින්වූයේ “සංවේදී ආණ්ඩුවක ආදර්ශමත් චර්යාව” ලෙස ය.
මෙවරත් ජනාධිපති තැත් කරන්නේ එයම ය. ජනාධිපති ඇතුළු ආණ්ඩුවට නිසි පරිදි හසුරුවා ගැන්මට නොහැකිවූ නිසා දිග්ඇදුන විදේශ විනිමය අර්බුදය හේතු කොට ගෙන ජනයාට විඳින්න වූ අපමණ දුක් ගැහැට හමුවේ ඉවසීමේ රතු කට්ට පැන ඇති විටෙක ජන උද්ඝෝෂණ ඇතිවීම ස්වාභාවික ය. ගත යුතු ප්‍රතිසංස්කරණ නො ගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවේ ඇද වැටුන, වැඳ වැටුන ආණ්ඩුව, පාරේ තගෙකු ලෙස ඇඳිරි නීතිය හා හදිසි නීතිය පනවා ඇත. කඩන්නන්ට එරෙහි දැඩි ක්‍රියාමාර්ග ගන්නවා ලු.
සැකයක් නැත. මෙවරත් ජනාධිපති සහ ආණ්ඩුව ජන නැගිටීම සහ විරෝධය මැද පසු බසිනු ඇත.
මෙම පසුබැසීම සිදුවනු ඇත්තේ කෙසේ ද? සියලු හැඩතල සහිත ව මේ ගැන යමක් නිශ්චිතව ම අපට කිව නොහැකි ය. එහෙත්, සමාජ ඉහළ මාලය විසින් තෝරා ගැන්මට ඉඩ ඇති විකල්ප කිහිපයක් සටහන් කිරීම අපහසු නොවේ.
1. දැවැන්ත මර්දනකාරී හමුදා තන්ත්‍රයක් මගින් පාලනය:
මෙය ගෝඨාභය රාජපක්ෂ ඇතිව හෝ නැතිව ඇතිවිය හැක. කෙසේ වුවද ආණ්ඩුකරණයට මේ වනවිටත් සම්බන්ධකර ගෙන ඇති හමුදා නිලධාරින්ගේ අකාර්යක්ෂමතාවය පෙන්වන්නේ මීට ඇති විභවයේ අඩුව ය.
2. රට විකුණා ඩොලර් ප්‍රමාණයක් හොයා ගෙන ඉන්ධන, ගෑස්, පොහොර ගෙන්වා ගෙන මේ පාලනය ඇදගෙන යාම:
බැසිල් රාජපක්ෂ පවුල මේ විකල්පය යෝජනා කරනු ඇත. ත්‍රිකුණාමල වරාය ඩොලර් බිලියන පහකට මැද පෙරදිග රටකට විකිණීමට පිඹුරු පත් සැකසෙමින් පවතී. මේ පිටුපස සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදය ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තවත් ඩොලර් බිලියන දෙකක් දෙකහමාරක් මීට එකතු කරනු ඇත. වොෂින්ටන්- නව දිල්ලිය Quad රාමුව යටතේ මෙසේ ක්‍රියා කිරීමට එකඟ වනු ඇත.
3. ගෝඨාභය රාජපක්ෂ යටතේ තාවකාලික / පරිවාස ආණ්ඩුවක්:
මෙය පක්ෂ 11 කැමති යෝජනාව ය. එක්සත් ජාතික පක්ෂය මෙන්ම සමගි ජන බලවේගයේ කොටස් ද මීට හවුල් වනු ඇත. වර්තමාන කැබිනෙට්ටුවේ ලොකුගේ, පවිත්‍රා, බැසිල්, සරත් වීරසේකර, චමල් වැන්නවුන් හළා අනෙක් පක්ෂ වලින් අමුණා ගත් පිරිස් තාවකාලික ආණ්ඩුවේ කොටස් කරුවන් වීමට ඉඩ ඇත. කෙසේ වුවද මේ ආණ්ඩුවට දැවෙන සමාජ ආර්ථික ප්‍රශ්න විසඳීමට නොහැකිවනු ඇත. විවිධ බලවේග විවිධ දිසාවනට අදිනු ඇත. නවලිබරල්වාදය දිගටම ගෙනයනු ඇත.
4. ඉහත දෙක සහ තුන මිශ්‍රණයක්.
මේ විකල්ප එකක් වත් සමාජ පහළ මාලයට හෝ පොදුවේ රටට වාසිදායක ඒවා නොවේ. ඒවා ජාතික ස්වාධීනත්වය සහමුලින්ම විනාශයකට ගෙන යන්නේ ය.
වමට විසඳුමක් නැද්ද?
සත්තකින්ම තිබේ. ඒ මගින් ක්ෂණික අර්බුදයෙන් රට බේරාගෙන සමාජ පහළ මාලයට ස්ථාවරත්වයක්, සාධාරණ ආර්ථිකයක්, සහ ජනතා පරමාධිපත්‍යයක් පිහිටවන වැඩ පිළිවෙලක් ක්‍රියාවට නැගිය හැක.
අපි සිල්ලර ඉලක්කම් සැසඳීමක් කරමු..
මෙන්න අපේ විදේශ ගෙවීම්:
ආනයන ඩොලර් බිලියන 22 + විදේශ ණය සේවා වියදම් ඩොලර් බිලියන 6.9 = ඩොලර් බිලියන 28.9
අපේ විදේශ ලැබීම්:
අපනයන ඩොලර් බිලියන 12 + සංචාරක ආදායම ඩොලර් බිලියන 2 + ප්‍රේශණ ඩොලර් බිලියන 2 + විදේශ ආයෝජන ඩොලර් බිලියන 1 = ඩොලර් බිලියන 17
හිඟය:
ඩොලර් බිලියන 28.9 – ඩොලර් බිලියන 17 = ඩොලර් බිලියන 11.9
1977 තමා අවසන් වරට ශ්‍රී ලංකාවේ අතිරික්තයක් තිබිල තියෙන්නෙ. පසුගිය වසර 44 ම තිස්සේ හිඟයක් තමයි තිබිල තියෙන්නෙ.
මුලින් රට මේක ගැටගහ ගත්තෙ විදේශ ප්‍රදාන මගින්. 2005 න් පස්සෙ ණය මගින්. මේ ණය කන්ද අද ඩොලර් බිලියන 35 ක් විතර උසයි. මීළඟ අවුරුදු පහේ (2022- 2026) ණය සේවා ලෙස ඩොලර් බිලියන 27 ක් විතර ගෙවන්න වෙනව.
මේ ආණ්ඩු දෙක රට බංකොලොත් කරල ඉවරයි. ලැජ්ජා වෙන්න ඕන නෑ මෙය කිව යුතුයි. 1977 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගෙනා සැලැස්ම ක්‍රියාවට දාන කොට කීවේ ඒ මගින් රටේ ආර්ථික අර්බුදය නැති කොට රට සිංගප්පූරුවක් කරනව කියල. 2022 දි අපිට ආයෙමත් කියනව රට අර්බුදයෙන් බේරාගන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල උපදෙස් ඕන කියල. මොන විහිළුවක් ද?
ජාතික ජන බලවේගයට තියෙන්නෙත් පටලැවිලි උත්තරයක්!
මේ රටේ ධනේශ්වර පක්ෂවලට යි උන්ගේ අන්තේවාසික පක්ෂ වලටයි මේකට විසඳුමක් නෑ. මේකට ජාතික ජන බලවේගයට තියෙන්නෙත් පටලැවිලි උත්තරයක්. දූෂණ නවත්වන එක හොඳයි. ඒත් ඒකෙන් රටක් ගොඩ ගන්න බෑ. තමන්ගෙ යාළුවන්ගෙන් ඩොලර් 500 බැගින් ගෙන්නගෙන විසඳන්න පුළුවන් ගැටලුවක නෙවෙයි ශ්‍රිලංකාව ඉන්නෙ.
මොකක්ද එහෙනම් විසඳුම? ආණ්ඩුව සමග නැති සහ ආණ්ඩුව සමග සිටින වමේ පක්ෂ
මේ මොහොතේ සටන් කළ යුත්තේ කුමකටද?
රට පවතින්නේ නිදහසෙන් පසු මුහුණ දුන් විශාල ම අර්බුදයෙහි ය. මෙම අර්බුදයේ පැතිකඩ ගණනාවක් දැකිය හැක. කෝවිඩ්-19 වසංගතය අර්බුදයේ බරපතළකම වැඩිකර ඇත. අර්බුදයක් සියලු ම දේශපාලන ධාරාවන් සම්පරීක්ෂණයකට ලක් කරන්නේ ය. දකුණ, වම සහ මැද කියා ඊට භේදයක් නැත. මෙතෙක් මෙම අර්බුදයෙන් ගැලවීමට හරි හෝ වැරදි හෝ පිළියමක් සංයුක්ත ව ඉදිරිපත් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂය පමණි. එය මුල සිටම යෝජනා කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට පැතිය යුතු බවය. පස්ස ගහමින් සිටි වැඩ පිළිවෙලක් නැති ආණ්ඩුව බැසිල් රාජපක්ෂ යටතේ තල්ලු වෙන්නට යන්නේ එතැනට බව පෙනේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අර්බුදයට පිළියමක් නොවේ.
සමගි ජන බලවේගයට හෝ ජාතික ජන බලයට හෝ තවමත් නිශ්චිත සංයුක්ත යෝජනාවන් ඉදිරිපත් කිරීමට නො හැකි වී ඇත. තමන්ට බලය ලැබුනොත් කරලා පෙන්නන්නම් කීමෙන් රට අර්බුදයෙන් ගොඩගත නොහැක. අකිල විරාජ් කාරියවසම් නිවැරදිව කියූ පරිදි බලය ගත්තාට වැඩක් නැත. තම ප්‍රතිපත්ති කට්ටලය නොවලහා ඉක්මනින් ඉදිරිපත් කළ යුතු වේ. සමගි ජන බලවේගයට හෝ ජාතික ජන බලයට රටට ඉදිරිපත් කරන්නට වැඩ පිළිවෙලක් නැත. ඇත්තේ ඒ රනිල්ගේ වැඩ පිළිවෙල පමණි.
ඒ විසඳුමෙන් කියන්නේ අර්බුදයේ බර පොදුවේ හැමෝම විද දරාගත යුතු බව ය. ඔක්කෝම එක්ව විසඳා ගතයුතු බව ය. මේ අදහස සහමුලින්ම ප්‍රතික්ෂේප කළ යුතු වේ. මේ අර්බුදය ධනේශ්වර ක්‍රමය සහ පංතිය නිර්මාණය කළ එකකි. එහි බර ඔවුන් දැරිය යුතු වේ.
මේ අවස්ථාවේ මේ අර්බුදය වමට නව අවස්ථාවක් කර ගත හැකි වේ. හැකි වූ පළියට විභවයක් තිබූ පමණින් යමක් සිදුවන්නේ නැත. එසේ වීමට නම් අර්බුදයට සංයුක්ත සහ නිශ්චිත පිළිතුරු තිබිය යුතු ය. දෙවැන්න එය ක්‍රියාවට දැමිය හැකි සමාජ බලවේග දැනුවත් කොට ඒකරාශි කළ යුතු ය. බලය ඉල්ලා සිටිය යුත්තේ ඒ බලවේගයන්ට මිස කොන්ත්‍රාත්කරුවන්ට නොවේ.
විරෝධතා බිම් වලින් නියෝජිතයන් මගින් පත් කර තාවකාලික ජන පාර්ලිමේන්තුවක් හදා ගනිමු.
පාර්ලිමේන්තුව නිරීක්ෂණය කරන්නෙකුට පෙනී යන්නේ, මේ අර්බුදය ජන විරෝධය නියෝජනයවන පරිදි විසඳීමට එය ලෑස්ති නැති බවයි. ප්‍රශ්න වලට නිශ්චිත විසඳුමක් තිබේ නම් ඒ කොටස් වලට ජන හයියෙන් තාවකාලික ආණ්ඩුවක් බාරගත හැකිව තිබිණ. එයට පාර්ලිමේන්තුව තුළ බහුතරය නැති වුව ද ජන බලයෙන් නිශ්චිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ හැක.
එසේ නොවීම නැවත පෙන්වන්නේ මේ 225 ට කිසි දෙයක් නො කළ හැකි බවයි. දිනකට විරෝධතා 300 ක් පමණ පවතින බව වාර්තා වේ. මම මෙසේ යෝජනා කරමි. ප්‍රාදේශීය මට්ටමින් සහ වෘත්තීය මට්ටමින් පවත්නා විරෝධයන් හිදී එක් නියෝජිතයා බැගින් තෝරා ඒ අයගෙන් ජන පාර්ලිමේන්තුවක් ගොඩ නඟා බලය ක්‍රියාවට දමමු. නෙළුම් පොකුනේදී ඒ ජන පාර්ලිමේන්තුව රැස්වී, දියවන්නාවෙන් බලය විතැන් කරමු.
මේ කෙටි සහ මැදි කාලීන විසඳුම
- ණය කරුවන් හා එකඟත්වයක් ඇතිව හෝ නැතිව 2022- 2026 ශ්‍රී ලංකාව ගෙවිය යුතු විදේශ ණය නො ගෙවා හැරීම. පස් වසර අවසන ණය ආපසු ගෙවීමට හැකි ද, ඒ කුමන කොන්දේසි මත ද යන්න අවශ්‍ය නම් සලකා බැලිය හැක.
- ආනයන පාරිභෝගික භාණ්ඩ කපා හැර අවම වශයෙන් ආනයන වියදම ඩොලර් බිලියනයකින් කපා හැරීම සහ වෙළඳ ශේෂය සමතුලනයකට ගෙන ඒම.
- තල පහක අනුක්‍රම ආදායම් බදු ක්‍රමයක් හඳුන්වා දී ක්‍රියාත්මක කිරීම මගින් ආණ්ඩුවේ ආදායම් වැඩි කර ගැනීම.
- විදේශයන්හි සේවය කරන ශ්‍රමික ආදායම සඳහා නිල විනිමය අනුපාතිකයට සියයට 25 ක අතිරේකයක් ගෙවන පරිදි ද්විත්ව විනිමය අනුපාතිකය හඳුන්වා දීම.
- රටේ ඉතිරුම් ප්‍රවර්ධනය කිරීමට පොලී අනුපාතිකය හේතු සහගත මට්ටමකට ඉහළ දැමීම.
- ජාතික සංවර්ධන බැංකුවක් හෝ දෙකක් පිහිටුවීමෙන් ප්‍රාග්ධන සංචලනය හැසිරවීමට එය යොදා ගැන්ම සහ ආනයන අපනයන බැංකුවක් පිහිටුවීම.
- කාර්මික නිෂ්පාදන ආයතනයන්හි ලාභ බද්ද එක්කෝ අහෝසි කිරීම නැත්නම් සියයට පහක වැනි අවමයකට අඩු කිරීම.
- මාසික පවුලේ ආදායම රුපියල් 60000 අඩු හැම පවුලකට ම ආදායම් හිඟයට හිලව් වන පරිදි රුපියල් 10000 හෝ ඊට වැඩි පෝෂණ ද්‍රව්‍ය මල්ලක් ලබා දීම.
- මිල සහ වැටුප් පවත්නා මට්ටමේ තබාගැන්ම (Wage- Price Freeze): මාසික ගෙදර ගෙන යන වැටුප අනුව හතර දෙනෙකුගේ පවුලක මාසික ආදායම රුපියල් 50000 ට අඩු වැටුප් කාණ්ඩයන්ට මෙය වලංගු නොවේ.
- ඉන්ධන බෙදාහැරීම සඳහා සලාක ක්‍රමයක් මගින් ද්විත්ව මිලක් හඳුන්වා දීම.
ජනයාගේ පහළ මාලයට තවත් බර නො පටවන, IMF නො ගිහින්, නැවතත් ණය නො ගෙන ආර්ථික අර්බුදය විසඳිය හැකි ආණ්ඩුවක් වම එකතුවී ගොඩනඟමු!
- බැරි නැත! දිනිය හැක!! ජනයාට අතට අහුවෙන වාම විකල්පයක්! - February 12, 2024
- වර්තමානය ගෝලීය ධනේශ්වරයේ හතරවෙනි අදියර, නවලිබරල්වාදයේ ගොම්මන් යාමය! - January 10, 2024
- ලතින් ඇමරිකාවේ වාමවාදී ආණ්ඩු හරහා හමාගිය “රෝස කෝඩය” අලුත් අවුරුද්දේ මෙහෙටත් ඒවිද? - January 1, 2024