පළමුවෙන් ආවේ කිකිළිය ද බිත්තරය ද මෙන් පළමුවෙන් පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය ද මහා මැතිවරණය ද යන්න අද වැඩියෙන්ම කතා බහ වෙන කාරණයකි. මේ දෙකින් කුමන එක පැවැත් වුවද ජනතාවට ගත හැකි තීරණ දෙකක් ඇත. ඒ ඡන්දය දෙනවාද නැද්ද සහ ඡන්දය දෙන්නේ නම් ඒ කුමන පක්ෂයට ද නැතිනම් කවර පුද්ගලයාට ද යන්න තීරණය කිරීම ය. සාමාන්‍යයෙන් ලංකාවේ 87/-88 භීෂණ සමයේ පැවති ඡන්ද විමසීම්වලදී හැර අනෙක් සෑම අවස්ථාවකම ලියා පදිංචි ඡන්ද දායකයන්ගෙන් සියයට 70ත් 80ත් අතර ප්‍රමාණයක් ඡන්දය ප්‍රකාශ කිරීමේ ඉතිහාසයක් පවතී. එමනිසා ඡන්ද දෙනවාද යන්න තීරණාත්මක ප්‍රශ්නයක් නොවනු ඇත. ජන අරගලයේ මතක තවමත් අවදියෙන් පවතින නිසා මෙවර කුමන ඡන්ද විමසීම පැවැත් වුවත් ඡන්දදායකයන්ගේ උනන්දුවේ කිසිම අඩුවක් විය නොහැකිය. මෙතෙක් පැවති සෑම ඡන්ද විමසීමකදී ම පක්ෂයක් සහ පුද්ගලයන් තේරීමේ දී දක්වා ඇති උනන්දුව සහ විචක්ෂණ භාවය ද මෙවරත් නොවෙනස්වනු ඇතැයි අනුමානය කළ හැකිය.
එමනිසා වැදගත්ම කාරණය වන්නේ ජනතා අපේක්ෂාව ඉටු කර ගත හැකි වටපිටාවක් ගොඩ නැගී ඇත්තේ ද යන්න යි. ඡන්දය ලබා ගැනීමට ඉදිරිපත් වන පක්ෂ සහ පුද්ගලයන් විචිත්‍රවත් ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරන නමුත් ජනතාව ඒවා ප්‍රමාණවත් ආකාරයෙන් විශ්ලේෂණය කිරීමක් හෝ සංවාදයට ලක් කිරීමක් කර ඇත්ද යන්නත් සැකයකි. බොහෝ විට සිදු වන්නේ බලයේ සිටින පක්ෂය හෝ පුද්ගලයා ප්‍රතික්ෂේප කර තරග බිමේ ඉදිරියෙන්ම සිටින අනෙකා ට ඡන්ද ප්‍රකාශ කිරීමකි. පසුගිය කාල සීමාවේ සිදුව ඇත්තේ විරෝධය ප්‍රකාශ කිරීම ය. බලය ලබා ගැනීමට දෙන පොරොන්දු ඉටු කළ හැකි ඒවාද ඒ සඳහා කැපවීමක් තිබේද යන්න ගැන ගැඹුරු හැදෑරීමක් බොහෝ විට සිදු වන්නේ නැත. මැතිවරණ පොරොන්දු බොහෝ විට ඡන්ද විමසීමත් සමග හිස් ආකාශයේ පාව යනු ඇත. එම අත්දැකීම පෙර කවදාටත් වඩා අද වැදගත් වන්නේ ජනතා ප්‍රශ්න වෙන කවදාටත් වඩා තීව්ර වී ඇති නිසාය. 69 ලක්ෂයක ජනවරමක් ලත් පුද්ගලයා රජගෙදර පිටුපස්සා දොරින් පැන ගියේ පොරොන්දු කඩ කිරීමේ වරද නිසා ය. ඒ කුමන්ත්‍රණයක් නිසාද නැත්ද යන්නට වඩා වැදගත් වන්නේ ජනවරම ලබා ගත් පුද්ගලයා ජන ජීවිතය යහපත් කිරීමට කිසිදු පියවරක් ගැනිමට අපොහොසත්වීම ය. එම අසාර්ථක භාවය ලෝකයටම දිස් වූයේ රටේ බංකොළොත් භාවය ප්‍රකාශ කොට හිඟමනට පත් වීමෙනි.
ඇත්තෙන්ම ජනතාව මුලා කර ඇත්තේ දේශපාලන බලය ඉල්ලා ඡන්ද සටනට ඉදිරිපත් වන අය පමණක් නොවේ. මැතිවරණ ක්‍රමය පවා පද්ධතියක් වශයෙන් දුෂණය වී ඇත. මැතිවරණයක් පැවැත්වීම ජනතාව මත තවත් බරක් පැටවීමේ අවස්ථාවකි. විශේෂයෙන්ම මැතිවරණයක් පැවැත්වීම සඳහා දරන පිරිවැය එහි ප්රතිලාභ නැත්නම් ප්‍රතිඵලය සමග ගැලපීමක් නැත. 2020 පැවති පාර්ලිමේන්තු ඡන්ද විමසීම සඳහා වැය කර ඇති මුදල් කන්දරාව දෙස බැලීමෙන් ඡන්දය විමසීමේ ක්‍රමය කිසිසේත්ම එහි ප්‍රතිඵලයට නොගැලපෙන බව දැකිය හැකිය. එම ඡන්ද විමසීම පිළිබඳව මැතිවරණ කොමිසම නිකුත් කර ඇති වාර්තා අනුව මැතිවරණය සඳහා ලියා පදිංචි ඡන්ද සංඛ්‍යාව 16,263,885 කි. මෙම සංඛ්‍යාවට ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දීම සඳහා මැතිවරණ කොමිසම වැය කර ඇති මුදල රු. බිලියන දහයකි. එනම් එක් ඡන්දදායකයෙකු වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් 61,400 කි. ඒ අනුව මංත්‍රි කෙනෙකු තෝරා ගැනීම සඳහා වැය කර ඇති මුදල රුපියල් දශලක්ෂ 44 කි.
ඉන් පසුව මෙම නියෝජිතයන්ගේ පාර්ලිමේන්තු රැස්වීම් සඳහා දරන වැය ද සුළුපටු නොවේ. පසුගිය දා පාර්ලිමේන්තුවේ කතානායකට විරුද්ධව ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාව සඳහා දින තුනක් තිස්සේ පැවති විවාදයේ දී පාර්ලිමේන්තුවට දැරීමට සිදු වූ වැය රුපියල් දශ ලක්ෂ 45 කි. මෙම සංඛ්‍යාව ප්‍රකාශයට පත් කෙළේ පොහොට්ටු ආණ්ඩුවේම මංත්‍රිවරයෙකු විසිනි. ඔහුගේ තර්කය වූයේ අනවහ්‍ය කාරණයක් සඳහා පැවති විවාදයේ දී දැරීමට සිදු වූ වියදම එම යෝජනාව ඉදිරිපත් කළ අයගෙන් අය කර ගත යුතුය යන්නයි.
එම තර්කයේ සාධාරණකම හෝ අසාධාරණකම පසෙක දැමුවත් පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීම ජනතාව මත පැටවෙන තවත් බරක් යන්න පැහැදිලි කර ගැනීමට ප්‍රමාණවත් ය.
ඡන්ද විමසීම් සඳහා පැවැත්වෙන වියදම සාධාරණ ද යුක්ති සහගත ද යන්න විමසා බැලීමට අපට අසල්වැසි රටවලින් ද තොරතුරු ලබා ගත හැකිය. පසුගිය දා පාකිස්ථානයේ පැවති මහා මැතිවරණයේ සිදු වූයේයැයි කියන වංචා දූෂණ සියල්ල අමතක කර දැමුව ද අපට වැදගත් වන්නේ ඒ සඳහා දරන ලද වියදමයි. පාකිස්ථානයේ මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කර ඇති සංඛ්‍යා ලේඛන අනුව ඒ සඳහා වැය කර ඇති මුළු මුදල රුපියල් දශලක්ෂ 44කි. එනම් ඡන්දදායකයෙකු සඳහා වැය වූ මුදල රුපියල් 329.51 කි. පාකිස්ථානු රුපියල සහ ලංකාවේ රුපියල අතර විනිමය අනුපාතය පාකිස්ථානු රුපියල අපේ රුපියල් 1.07කි ඒ අනුව ලංකාව රු. 61,400 වැය කරන කාර්ය කිරීමට පාකිස්ථානයට වැය වී ඇත්තේ රු. 329.51 ක් පමණි.
මෙම සැසඳීමේ දී පසුගිය දා පැවති පාකිස්ථානු මහා මැතිවරණයේ සිදුව ඇතැයි කියන වංචා සහ දූෂණ සැලකිල්ලට ගත යුතු නැත. පාකිස්ථානයේ මැතිවරණ ක්‍රියා වලියේ කෙතරම් අඩුපාඩු තිබුණත් මුදල් නාස්තිය සිදුව ඇත්තේ අඩුවෙන් බව සැලකිල්ලට ගැනීම ප්‍රමාණවත් ය. එහි ඡන්ද විමසීමේ පැවැත් වූයේ පිරිහීගිය ආරක්ෂක තත්වයක් යටතේ වුවද එහි වියදම ඉතාමත් අඩු මට්ටමක තිබී ඇත.
ලංකාවේ මැතිවරණ පැවැත්වීම සඳහා මෙතරම් විශාල මුදලක් වැය වන්නේ ඇයි? අපගේ ඡන්ද විමසීම්වලින් තේරී පත්වන නියෝජිතයන් ගේ ගුණාත්මක භාවය පාකිස්ථානයේ අයට වඩා වැඩි නම් අධික පිරිවැයක් දැරීම බරපතළ ප්‍රශ්නයක් නොවේයැයි බැහැර කළ හැකිය. එහෙත් අපේ මහජන නියෝජිතයන්ගේ හැසිරීම පාකිස්ථානයේත් අසල්වැසි සෙසු රටවල අයටත් වඩා වෙනස් වන්නේ නැත. කෙටියෙන් සියල්ලන්ම එක වල්ලේ පොල් ය.
මැතිවරණ වියදම් ගැන කතා කිරීමේ දී තවත් ප්‍රසිද්ධ කාරණයක් නැවත සිහිපත් කළ යුතුය. ඒ 2014 වසර අවසානයේ පැවති ජනාධිපතිවරණයේදි අපේක්ෂකයන්ට ලැබුණු දේශීය සහ විදේශීය මුදල් පරිත්‍යාගයයි. අපේ රටේ මැතිවරණ නීතිය අනුව අපේක්ෂකයෙකුට හෝ අපේක්ෂිකාවකට මැතිවරණ වියදම් සඳහා ලබා දෙන පරිත්‍යාග හෙළි කිරීමේ අවශ්‍යතාවයක් නැත. අඩුම වශයෙන් ආදායම් බදු දෙපාර්තමේන්තුව හෝ එම මුදල් ලැබුණු ආකාරය හෝ වියදම් කළ ආකාරය විමසන්නේ නැත.
2014 ජනාධිපතිවරණයේ දී පොදුජන එක්සත් පෙරමුණෙන් තරග කළ මහින්ද රාජපක්ෂට චයිනා හාබර් ඉන්ජියරින් කෝර්පරේෂන් නම් චින සමාගමෙන් රුපියල් දශලක්ෂ 800 ක් ලැබුණ බව 2018 දි නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පත වාර්තා කර තිබිණ. එම මුදල කොළඹ ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව හරහා ගෙවා තිබු අතර මුදල් ගෙවු චෙක් පතේ අංකය පවා සඳහන් කර තිබිණ. වාර්තාව පළ වූ වහාම අපහාස කිරීම පිළිබඳ මහා ශබ්දයන් නැගුන අතර අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමේ සූදානම් ගැන ද වාර්තා විය. එහෙත් මේ වන තෙක් එවැනි අධිකරණ ක්‍රියා මාර්ගයක් ගෙන ඇත් ද එහි ප්‍රගතිය කුමක් ද යන්න ලංකාවේ ඡන්දදායකයන් දන්නේ නැත. එය සුපුරුදු ආකාරයට අමතක කර ඇත.
මෙම කරුණුවලින් පැහැදිලි වන්නේ මැතිවරණ පැවැත්වීමත් ඊට තරග කිරීමත් මහා ධන කොල්ලයක් බවට පත්ව තිබීම ය. අබ වපුරා තල අස්වැන්නක් බලාපොරොත්තු විය නොහැකි ආකාරයෙන්ම මෙවැනි ඡන්දවලින් මහජන අභිලාෂයන් ඉටු වන්නේ නැත. පසුගිය වසර හැත්තෑපහකට අධික මැතිවරණ ඉතිහාසයෙන් පෙන්නුම් කරන්නේ එයයි.
අද ලාංකික ජනතාව ඉදිරියේ ඇති අභියෝගය වන්නේ අලුත් ජනාධිපතිවරයෙකු සහ පාර්ලිමේන්තුවක් පත් කර ගැනීමට අමතරව මෙම ක්‍රියාවලියේ ඇති බරපතළ අඩුපාඩු නිවැරදි කර ගැනීම ය. ඒ සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීමට ප්‍රමාණවත් කාලයක් නැති බව සැබවි. නීති තිබුණත් ඒවා ක්‍රියාත්මක කිරීමට උනන්දුවක් නැති තත්වයක් යටතේ නව නීති හඳුන්වාදීමෙන් පමණක් ප්‍රශ්නයට විසඳුම් ලැබෙන්නේ නැත. කළ යුත්තේ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් මෙම ක්‍රියාවලියේ පාරද්‍රශ්‍ය භාවය ඉල්ලා සිටීම ය. මැතිවරණ දින ප්රචණ්ඩ ක්‍රියා සිදු වන්නේ ද යන්න නිරීක්ෂණය කිරීම වැදගත් වුවත් සම්පූර්ණ ක්‍රියාවලියම දූෂණය වී ඇති තත්වයක් යටතේ නිරීක්ෂණයෙන් පමණක් ප්‍රශ්නයට විසඳුම් ලැබෙන්නේ නැත.
එමනිසා ඡන්ද විමසීම් පැවැත්වෙන කාල සීමාව තුළ අපේක්ෂකයන් සහ තරගයට ඉදිරිපත්ව සිටින දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වැය කරන මුදල් සහ ඒවා ලැබුණ ආකාරය ගැන ජනතාව දැනුවත් කිරීම ඡන්දය ලබා ගැනීමේ කොන්දේසියක් බවට පත් කළ යුතුය. එවැනි තොරතුරු ලබා දීමට අපොහොසත් වන අපේක්ෂකයන් සහ දේශපාලන පක්ෂ හෙළිදරව් කිරීම මහජන යහපත අපේක්ෂා කරන සියලු දෙනාගේ වගකීම විය යුතුය. ප්‍රතිපත්ති ප්‍රකාශන මෙන්ම ඡන්දය සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල ද ජනතාවට දැනුම් දිය යුතුය. තේරීම් කිරීමේ දී ජනතාවට ඒ කරුණු දෙකම එකසේ වැදගත් ය.
මෙය අත්‍යවශ්‍ය වන්නේ මැතිවරණ වියදම් දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයන් ආයෝජනයක් සේ සලකන නිසාය. සමාගමක කොටස් මිලදී ගැනීමේ දී අවශ්‍ය සියලු විස්තර හෙළි කළ යුතු ආකාරයෙන්ම ඡන්දය ඉල්ලා සිටීමේ දී පොරොන්දුවලට අමතරව විමර්ශනය කළ හැකි ආකාරයන් තමන්ගේ සද්භාවය ද ප්‍රකාශයට පත් කළ යුතුය. එවැන්නක් නොමැතිව පැවැත්වීමට නියමිත ඡන්ද විමසීම් පෙර පැවති ඒවායින් වෙනස් වන්නේ නැත.
- හසරක් නැතිව අඳුරේ අත පත ගාන ජාතික ජන බලවේගය.. - December 18, 2024
- කබරගොයා තලගොයා කර ගන්නා ඇමරිකානු නීතිය පදනම් ජාත්‍යන්තර සමය.. - December 13, 2024
- නව පාලනයේ අභියෝගය ප්‍රතිකාර කිරීමට පෙර ලෙඩේ හඳුනා ගැනීමයි.. - December 4, 2024