You are currently viewing ගෝලීය සන්දර්භය තුළ අධිකාරිවාදී ආර්ථික ප්‍රතිපත්ති..

ගෝලීය සන්දර්භය තුළ අධිකාරිවාදී ආර්ථික ප්‍රතිපත්ති..

ආචාර්ය අහිලන් කදිරගාමර්

ආර්ථිකය හැඩ ගැසෙන්නේ දේශපාලනයෙනි. සංවර්ධනය නෛසර්ගිකවම ප්‍රජාතන්ත්‍රවාදය හා බැඳී පවතී. ගෝලීය දකුණේ රටවල් පනහකට අධික සංඛ්‍යාවක් උග්‍ර ණය අර්බූදයකට මුහුණ ඇති සමයක ප්‍රජාතන්ත්‍රවාදයේ අනාගතය කෙබඳු ද? මෙම රටවල සංවර්ධනය කෙබඳු විය හැකි ද?

මෙය අන්තර්ජාතික සංවර්ධන ආර්ථික සංගම් (IDEAs ) ජාලය සහ තායිලන්තයේ චූලලොන්ග්කෝර්න් විශ්ව විද්‍යාලය සංවිධානය කළ ‘අඩු ආර්ථික සංවර්ධනයෙන් යුත් රටවල ප්‍රජාතන්ත්‍රවාදය සහ සංවර්ධනය’ යන වැඩ මුළුවේ තේමාවයි. ආසියා සහ අප්‍රිකානු රටවල ආර්ථික විද්‍යඥයන් ගණනාවක් සහභාගි වූ මෙම වැඩ මුළුවේ අවධානයට ලක් වූයේ සමානාත්මතා ප්‍රතිපත්ති සමග වාස්තවික ප්‍රජාතන්ත්‍රවාදයට ඇති ඉඩකඩ ගැන සැලකිල්ල යොමු කිරීමය.  

මෙම ලිපියෙන් මාගේ උත්සාහය එම වැඩ මුළුවට මා ඉදිරිපත් කළ කරුණු ඉදිරිපත් කිරීමට ය. මා ඉදිරිපත් කෙළේ රාජපක්ෂ පාලනයේ ජනප්‍රියවාදී අධිකාරිවාදයේ සිට වික්‍රමසිංහ රාජපක්ෂ පාලනයේ ගති ලක්ෂණය වූ අධිකාරී සීමා කිරීම් දක්වා ශ්‍රී ලංකාවේ දේශපාලනය මාරු වූ ආකාරය යි. මහින්ද සහ ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩු තම සමාජ පදනමට සන්තෝෂම් ලබා දීම ඇතුළත් ජනප්‍රිය පෙනුම සහ ප්‍රදානයන් සමග අධිකාරිවාදය මුසු කරන ලදී. එහෙත් දැනට පවතින ආණ්ඩුව යටතේ සිදු වන්නේ වැටුප් සීමා කිරීම සහ කම්කරුවන් කෙරේ පුළුල් ප්‍රහාර එල්ල කරමින් ධනපති පංතියට වඩාත් ප්‍රතිලාභ ලබා දීමේ පොරොන්දුව සමග අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සුපරික්ෂාව යටතේ සීමා කිරීම් දැඩි කිරීම ය.

ශ්‍රී ලංකාවේ ආර්ථික ව්‍යුහය දිගු කලක් තිස්සේම තිරණය වූයේ යටත් විජිතවාදය සහ නිදහසින් පසුව නව යටත්විජිත ගෝලීය සමාජ ක්‍රමයෙනි. කෙසේ වුවත් සමහර ජාතික පාලනයන්හි දේශපාලනය සහ ප්‍රතිපත්තිවලින් වැඩ කරන ජනතාවට සූරාකෑම, අහිමි කිරීම සහ ආර්ථික අර්බුදවලට මුහුණ දීමට සමාජ සුභසාධන වැඩ සටහන් සහ (ධනය) නැවත බෙදාහැරීමේ මුලපිරුම් ඉල්ලා සිටීමටත් ආරක්ෂා කිරීමටත් අවකාශයක් ලැබිණ. වත්මන් නව ලිබරල් ප්‍රහාරයට අභියෝග කිරීමට වාමවාදී ආර්ථික විද්‍යඥයන් යොදා ගත යුත්තේ කුමන ආර්ථික කතිකාවක් ද? වත්මන් අර්බුදය විසඳීමට ඔවුන් ගොඩනැගිය යුත්තේ කවර විකල්පයක් ද?

එම වැඩ මුළුවේ සංකල්ප පත්‍රිකාව ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය පිළිබිඹු කරයි.

ඇත්තෙන්ම ශ්‍රී ලංකාව මීට වෙනස් වන්නේ නැත. 2022 ජුලි මස දැවැන්ත විරෝධතාවලින් අධිකාරිවාදී ජනාධිපතිවරයෙකු පලවා හැරිය නමුත් සති කීපයක් ඇතුළත හිටපු ජනාධිපති ගේ පාර්ලිමේන්තු සගයින් ඔවුන්ගේ පැවැත්ම සහතික කර ගැනීමටත් නව ලිබරල්වාදී ගමන් මග නැවත ප්‍රතිස්ථාපනය කිරීමටත් වෙනත් අධිකාරිවාදී ජනාධිපතිවරයෙකු පත් කරන ලදී.  මෙම අනීතික ආණ්ඩුව විරෝධතා මර්දනය කිරීමට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගන්නා අතර පළාත් පාලන ඡන්ද විමසීම දින නියමයක් නැතිව කල් දමා, විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ගසමින් අයිතිවාසිකම් සහ නිදහස සීමා කිරීමට වඩාත් දර දඬු නීති පනවන බවටත් තර්ජනය කරයි.

ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන සහ ආර්ථික පාලනයේ උත්ප්‍රාසය වන්නේ බලයේ සිටින ආණ්ඩුවට සුජාත භාවයක් නැති වුවද අන්තර්ජාතික මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව පාලනයේ ගැටලු විසඳීමට සහ දූෂණය තුරන් කිරීමේ ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යෑම සම්බන්ධයෙන් ආණ්ඩුවට සුභ පැතීම ය. එකිනෙකට පරස්පර වුවද පාලනයේ සහ දූෂණයේ යථාර්ථය වන්නේ පාලක පංතියේ උවමනාවන් සමග ගැට ගැසී ඇති විශේෂඥයන්ගේ පාලනයත් තම අනාගතය තීරණය කිරීමේ දී වැඩ කරන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය සහභාගිත්වයට හානිකර ආකාරයෙන් වැඩ කිරීමත් සුජාත කිරීමය.

මෙම නීති රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීම ප්‍රජාතන්ත්‍රීය සීමාවන් තුළ නොවිය යුතුය යන මතවාදී ප්‍රහාරය පිළිබිඹු කරයි. ඒවායින් ප්‍රජාවන්, සමාජයීය ආයතන, සහ පුරවැසියන්ගේ සාමුහික වුවමනාවන් නොසලකා හරින විශේෂඥයන් සහ ඊනියා පුද්ගල ක්‍රමවේදය තහවුරු කරයි. එහිදී සැලකිල්ලට ගන්නේ වෙළඳ පොළට නැඹුරු වූ පුද්ගලික ආයතන සහ පාරිභෝගිකයන් වූ පුද්ගලයන් පමණි. ඇත්තෙන්ම මෙය 2023 මාර්තු අන්තර්ජාතික මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සමග ඇති කර ගත් 2023 ජුනි හවුල්කාරී ආකෘති රාමුවේ දැක්මට ඇතුළත් කරුනු ය. එය ඉදිරි වසර හතරේ පැහැදිලි කඩඉම් සහිත වැඩ සටහන් සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති රාමුවයි.

ආර්ථික අර්බූදයෙන් සහ ගෝලීය බල කේන්ද්‍ර ඇතුළත් පැහැදිලිවම වර්ගවාදී පාලනයන් මතුවීමෙන් පෙන්නුම් කරන ආකාරයට නව ලිබරල් වාදය ම අර්බූදයට පත්ව ඇත. වානිජ ණය ගැනිම් සහ මිථ්‍යා ආර්ථික වර්ධනයක් ඇති කිරීමේ අදහසින් යටිතල පහසුකම් සහ නාගරික ගොඩනැගිලි ඉදි කිරීමට ආයෝජනය කළ 2010 සිට 2019 දක්වා වූ ආර්ථික ගමන් මාර්ගයට ආපසු යෑම ශ්‍රී ලංකාවට කිසිසේත් කළ නොහැකිය.

මෙම විකල්ප අපගේ දේශීය තත්වයන් ආමන්ත්‍රණය කළ යුතු අතර අපට වැඩ කිරීමට සිදුව ඇති  අවකාශය අන්තර්ජාතික තත්වයන්ට ද බෙහෙවින් සම්බන්ධ ය. කෙසේ වුවත් අන්තර්ජාතික මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ නව ලිබරල් විශේෂඥයන්ගේ සහාය ලබන අධිකාරිවාදී ගෝලීය මූල්‍ය ප්‍රාග්ධනය යටතේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රමයන් සමග ගෝලීය අසමානතා සංවර්ධනය දිගටම පවතිනු ඇත. විරෝධය දැක්වීමේ දී පෙර යුගයක පැවති නොබැඳි ව්‍යාපරයට හේතු වූ දේශපාලන නායකත්වයක සලකුණු දැකීමට අසිරු ය. අපට දැන් අවශ්‍ය වන්නේ නිදහස සහ සමානාත්මතාවයේ වඩාත්ම පුළුල් ගැටලුව අන්තර්ජාතික න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීම සඳහා ගෝලීය දකුණේ ප්‍රගතිශීලී බුද්ධිමතුන්, වෘත්තීය සමිති සහ සමාජ ව්‍යාපාර වඩාත් වෙහෙසවී වැඩ කිරීම, සම්බන්ධවීම සහ සහයෝගිතාව තර කිරීමය.

Leave a Reply