You are currently viewing කාල් මාක්ස් විශ්වයේ විවිධත්වය තුළ සමස්ථය හඳුනාගත්තා..

කාල් මාක්ස් විශ්වයේ විවිධත්වය තුළ සමස්ථය හඳුනාගත්තා..

ආසන්න වශයෙන් මීට වසර 182ට පෙර එනම් වර්ෂ 1841දී පමණ ජර්මන් භාෂාවෙන් ලියා අවසන් කරන ලද 1842 වර්ෂයේ දී මුද්‍රණයෙන් එළි දැක්වුන කාල් මාක්ස්ගේ ආචාර්ය උපාධි නිබන්ධය වූයේ ‘ඩිමොක්‍රිටස්ගේ ස්වාභාවික දර්ශනය සහ එපිකියුරස්ගේ ස්වාභාවික දර්ශනය අතර වෙනස’ යන්න ය. එය ලොව පුරා විශාල ප්‍රමාණයක් විද්වතුන්ගේ සහ විචාරකයින්ගේ අවධානය දිනාගත් සුවිශේෂ කෘතියක් ලෙසින් ද සැලකෙයි. භාෂා ගණනාවකට පරිවර්තනය වී ඇති මෙම ඓතිහාසික නිබන්ධය මුල්වතාවට සිංහල භාෂාවට පරිවර්තනය කර එළි දැක්වීමක් පසුගිය පෙබරවාරි 22 දින සිදුව ඇත. දක්ෂ ලේඛකයෙකු මෙන්ම වාමාංශික දේශපාලන ක්‍රියාකාරීකයෙකු වන චමිල් ජයනෙත්ති මහතා විසින් එම සුවිශේෂ කාර්ය සිදුකර ඇත. ජයනෙත්ති මහතා කාල් මාක්ස්ගේ අචාර්ය උපාධි නිබන්ධය සිංහල භාෂාවට පරිවර්තනය කිරීම මගින් ඓතිහාසික කාර්යභාරයක් ඉටු කර ඇති බව පළමුවෙන් ම ප්‍රකාශ කළ යුතු ය. ශ්‍රී ලාංකේය සන්දර්භය තුළ මාක්ස්වාදී චින්තනය විවිධ පරිමාණයන්ගෙන් ක්‍රියාත්මක වන බව ද අර්ථකතනය වන බව ද පැහැදිලි ය. එක් පැත්තකින් ජනප්‍රිය කතිකාව තුළ සමහර දේශපාලන පක්‍ෂ තම පදනම්වාදය ලෙස මාක්ස්වාදී මූලධර්ම පවත්වාගෙන යන අතර මාක්ස්වාදයට විරුද්ධ ව්‍යාපාර තුළ මාක්ස්වාදයේ ඇති නිෂේධනීය අංශ ගැන දෘඨ විවේචන ඉදිරිපත් කෙරේ. එපමණක් නොව විද්වත් කතිකාව තුළ මාක්ස්වාදී චින්තනයේ හරයාත්මක බව, සමකාලීන වැදගත්කම, මානවීය බව හා ක්‍රමවේදීය අගය වැනි අංශ පිළිබඳ ව ඉහළ පෙළේ සාකච්ඡා සිදුවුන බව මෙන්ම දැනටත් එය සිදුවෙමින් පවතින බව කිව හැකියි. එසේම මාක්ස් දාර්ශනිකයකු ලෙස හඳුනාගෙන සිදුකරන ශාස්ත්‍රීය විවරණ ද විරල නොවේ. එමෙන්ම සමාජීය විද්‍යා ක්ෂේත්‍රය තුළ මාක්ස් සම්භාව්‍ය න්‍යායවාදියෙකු ලෙස සැලකේ. ධනවාදී අර්ථ ක්‍රමය ප්‍රබල විචාරකයෙකු ලෙස මාක්ස්ගේ සමාජවාදය විසින් වරින්වර ඉදිරිපත් කරන ලද අදහස් සහ මතවාද ඒ සඳහා පදනම් කරගෙන ඇති බව කිව හැකි ය.

මේ සියලු කරුණු සලකා බලන විට ‘කාල් මාක්ස්’ නැමති චින්තකයාගේ, මානවවාදියාගේ, සමාජ විද්‍යාඥයාගේ, දාර්ශනිකයාගේ ප්‍රභවය ගැන අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය ය. සැබවින්ම මාක්ස්වාදය උපත ලබන්නේ කාල් මාක්ස් විසින් වයස අවුරුදු විසිතුනේදී පමණ ලියා අවසන් කරන ලද ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධයෙන් බව කීම අවිවාදාත්මක ය. ග්‍රීක දාර්ශනිකයින් දෙදෙනෙකු වූ  ඩිමොක්‍රිටස්ගේ හා එපිකියුරස් යන දෙදෙනා ඉදිරිපත් කළ ස්වාභාවික දර්ශනය පිළිබඳ ව වෙනස සාකච්ඡා කරන මෙම නිබන්ධය මාක්ස්වාදයේ බීජය රෝපනය කරන ලද අවස්ථාවයි. මෙම නිබන්ධය ඉදිරිපත් කොට වසර 182ට ආසන්න කාලයක් ඉක්මවා පැවතිය ද මෑතක් වන තුරු එය සිංහල භාෂාවට පරිවර්තනය වීමක් සිදුවී නොතිබුණ බවද කිව යුතු ය. ඉහත සඳහන් කළ පරිදි මාක්ස්වාදය විවිධ පරිමාණයෙන් ලංකාව තුළ භාවිත වුව ද ශාස්ත්‍රීය වශයෙන් මෙම කෘතිය පරිවර්තනය නොවීම අඩුවකි. එම අඩුව පිරිමසමින් චමිල් ජයනෙත්ති මහතා එම සුවිශේෂ කෘතියෙහි අන්තර්ගතයට කිසිදු හානියක් නොවන ලෙසින් ඉතාමත් සාර්ථකව සිංහල භාෂාවට පරිවර්තනය කොට ප්‍රකාශයට පත් කිරීම ඉදිරි පියවරකි. මාක්ස් ගැන අවධානය යොමු කරන ඕනෑම අයෙකු පළමුව ‘මාක්ස්’ බිහි වූ නිබන්ධයට අවධානය යොමු කළ යුතු ය. මාක්ස්වාදය හැදෑරීමේදී භාවිත කළ පළමු ප්‍රාථමික මුලාශ්‍රය ලෙස ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධය සැලකිය හැකි ය. මාක්ස් නැමැති ජෛවීය පුද්ගලයා භෞතිකවාදියෙකු වූයේ මන් ද යන ප්‍රශ්නයට පිළිතුරු මෙන්ම භෞතිකවාදය සමාජගත කිරීම සඳහා මාක්ස්වාදයෙන් සිදුවුන අසහාය බලපෑම ද ජයනෙත්ති මහතාගේ පරිවර්තනය ඇසුරින් හඳුනාගත හැකි ය. එමෙන්ම කාල් මාක්ස් විශ්වයේ විවිධත්වය තුළ සමස්ථය හඳුනා ගත් ආකාරය මෙන්ම මෙම මහා විශ්වයේ දරන තැන සොයා යාම පැහැදිලි කළ හැකි වන්නේ ස්වාභාවික භෞතිකවාදී දෘෂ්ටියෙන් පමණක් යයි ද වටහා දීමට මෙහිදී උත්සාහ කර ඇත. එබැවින් විශ්වවිද්‍යාලයීය මට්ටමින් දර්ශනය හදාරණ විද්‍යාර්ථින්ට ද මෙම පරිවර්තනය මහත් පිටුවහලක් වන බව මෙහිදී ප්‍රකාශ කළ යුතු ය. කාල්  මාක්ස්ගේ ආචාර්ය උපාධි නිබන්ධය වැනි සුවිශේෂ කෘතියක පරිවර්තනයක් පිළිබඳව විවිධ මට්ටමින් අදහස් මෙන්ම විවේචනද ඉදිරිපත් කළ හැකි වුවද අගය කළ යුතු ශාස්ත්‍රීය ව්‍යායාමයක් බැවින් චමිල් ජයනෙත්ති මහතාට සුබ පතන අතර ඉදිරියේදීත් මෙවන් ශාස්ත්‍රීය කටයුතු සිදුකිරීමට අවකාශය ලැබෙනු ඇතැයි මම උදක්ම අපේක්‍ෂා කරමි.

මාක්ස්වාදය සම්බන්ධයෙන් මෑත කාලීනව ප්‍රකාශයට පත් වූ ඉහළ මට්ටමේ කෘතියක් ලෙස චමිල් ජයනෙත්ති මහතා විසින් රචිත ‘කාලය, අවකාශය තුළ මාක්ස්වාදය’ නැමැති ශාස්ත්‍රීය ග්‍රන්ථය මූලික වශයෙන් ම හඳුනාගත හැකි ය. මාක්ස්ගේ අදහස් මෙතරම් සෘජු බලපෑමක් නූතන සමාජ, දේශපාලනික හා ආර්ථිකමය වශයෙන් සිදුවූයේ මන්දැයි විමසා බලන අයෙකුට මෙම කෘතිය මනා පිටුවහලක් ලබාදෙයි. මෙහි විශේෂත්වය වන්නේ මාක්ස්වාදය බිහිවීමට අදාළ ඓතිහාසික පසුබිම පිළිබඳ ව දක්වා ඇති අවධානයයි. භෞතිකවාදී චින්තනය මත පදනම් වූ දර්ශනයක් ලෙස මාක්ස්වාදය බිහිවන්නේ අහම්බයකින් නොවන බව මෙහිදී පෙන්වා දී තිබීම වැදගත් ය. තවද මානවීය චින්තනය වර්ධනය වූ ආකාරය පිළිබඳ විග්‍රහය ද මෙහි ඉදිරිපත් කොට ඇත.

බොහෝ විට මාක්ස්වාදය ගැන ලිය වී ඇති ලිපි ලේඛනවල පවතින අඩුපාඩුවක් මෙහි දී මගහරවාගෙන ඇත. එනම්, හුදෙක් මාක්ස්වාදී මූලධර්ම කෙරෙහි පමණක් අවධානය යොමු කිරීමට අමතරව මාක්ස්වාදයට ප්‍රතිවිරුද්ධ එහෙත් මාක්ස්ගේ අදහස් පෝෂණය කිරීමෙහිලා අභාසය ලත් මානව පරිණාමයේ චින්තන අවධි ගැන ද මෙහිදී අවධානය යොමු වී තිබේ, ඕනෑම ආර්ථික, දේශපාලන ක්‍රමයක් පවතින්නේ කිසියම් මූලධාර්මික පදනමක් මතය යන්න මෙහිදී ඔප්පු කොට ඇත. ඒ අනුව වහල් හෝ වැඩවසම් ක්‍රමය තුළ ද කිසියම් චින්තන පදනමක් පවත්නා බව මෙහිදී පෙන්වා දී තිබීම උදාහරණයකි. මාක්ස් සිය දර්ශනය සකස් කර ගැනීමේදී මෙම චින්තන ඉතිහාසය පිළිබඳ හැදෑරූ බව ඓතිහාසික භෞතිකවාදය මගින් ඔප්පු කෙරේ.

එමෙන් ම මාක්ස්ගේ සමාජවාදී අදහස් කෙරෙහි බලපෑ පූර්වතර සමාජවාදී මූල බීජයක් ගැන ද මෙහිදී කතුවරයා සිය අවධානය යොමු කර ඇති බව පැහැදිලි ය. තවද දාර්ශනික ඉතිහාසය තුළ බිහි වූ විවිධ දාර්ශනික ගුරුකුල මාක්ස්ගේ චින්තනය පෝෂණය කිරීමෙහිලා උපයුක්ත වී ඇත. එබැවින් මාක්ස්වාදයට පසුබිම් වූ හේතු පිළිබඳ සිදුකරන විහ්‍රහයක දී පවා මෙම කෘතියෙන් බොහෝ දේ උකහාගත හැකි බව පෙන්වා දීය හැකි ය. මිනිසා යනු සොබාදහමේ කොටසකි යැයි මාක්ස් තදින් විශ්වාස කළ කරුණකි. ඒ නිසා සොබාදහම පිළිබඳ දර්ශනයක් ද මාක්ස් අපෝහක භෞතිකවාදය තුළත් සොබාදහම තුළත් භෞතිකයේ ක්‍රියාකාරීත්වය තේරුම් ගත් මාක්ස් භෞතිකවාදියෙකු වූයේ ය. එමෙන්ම භෞතිකය මත පදනම් ව මිනිසා නිර්මාණශීලී බුද්ධිමත් සමාජය වෙනස් කරන අලුත් සංකල්ප ගොඩනගන අයෙකු බවට පරිවර්තනය වූ ආකාරය ද මෙහි දී කතුවරයා ඉතාමත් ක්‍රමවත් ව පැහැදිලි කර තිබීම අතිශයින් ම වැදගත් ය.

මාක්ස්වාදයේ උපතින් පසු එය වෙනස්වන සමාජ තත්වයක් හමුවේ පරිණාමය වූ බව පැහැදිලි කර තිබීම ද මෙම කෘතියෙහි මා දක්නා තවත් විශේෂත්වයකි. ලෝකය විවරණය කිරීමට වඩා වෙනස් කිරීම දාර්ශනික කර්තව්‍යයක් ලෙස දුටු මාක්ස් ඒ පිළිබඳ ව අවධාරණය කිරීමේ ප්‍රතිපලයක් ලෙස ලෙනින් සිය විප්ලවය දියත් කළේ ය. ඒ අනුව මතවාදයක් හෝ චින්තන ධාරාවක් පමණක් වූ දර්ශනයට ප්‍රායෝගිකව ක්‍රියාකාරී වන දර්ශනය ආදේශ වූයේ එහි ප්‍රතිපලයක් වශයෙනි. තවද මාක්ස්වාදී ඉගැන්වීම් අධ්‍යාපනික වශයෙන් ව්‍යාප්ත කිරීමේ අවශ්‍යතාව මත ජාත්‍යන්තර ව සිදු වූ ක්‍රියාකාරීත්වයක් මාක්ස්වාදය ගෝලීය දැනුම් පද්ධතියක් ලෙස ව්‍යාප්ත වූ ආකාරය ද චමිල් ජයනෙත්ති මහතා මෙහිදී ඉතාමත් තර්කානුකූලව විස්තර කොට ඇත. එමෙන්ම පශ්චාත් මාක්ස්වාදය තුළ සිදු වූ වෙනස්කම් පිළිබඳ ව ද මෙම කෘතියෙහි පැහැදිළි කොට ඇත. මාක්ස්වාදය විද්‍යාත්මකය යන අදහසට පෙපරියානු විවේචනයක් ඉදිපත් වුව ද පශ්චාත් කාලීන මාක්ස්වාදීන් පවා එහි විද්‍යාත්මක බව ආරක්‍ෂා කිරීමට පෙනී සිටි අයුරු මෙහිදී පෙන්වා දී ඇත. එමෙන් ම නව ගෝලීය ප්‍රවනතා හමුවේ උද්ගත වන ගැටලු තේරුම් ගැනීමට පවා මාක්ස්වාදය උපයෝගී කරගත හැකි බව කතුවරයා අවසාන වශයෙන් පෙන්වා දී තිබේ. සමකාලීන චින්තන ධාරාව තුළ ඉතා පුළුල් බලපෑමක් කළ මාක්ස්වාදය ඕනෑම කාල අවකාශ රාමුවක් තුළ අදාල වන බව පෙන්වා දීමට මෙම කෘතිය සමත් වී ඇති බව පෙන්වා දිය හැකි ය. මාක්ස්වාදයේ ඇති දේශපාලනය, ආර්ථිකය, සමාජය, ඉතිහාසය, සොබාදහම වැනි අංග පිළිබඳ විවරණ ගැන තවදුරටත් ඉගෙන ගැනීමට රුචි කරන විද්‍යාර්ථීන් වෙනුවෙන් මෙම කෘතිය මහත් සේ උපයෝගී වන බව අවසාන වශයෙන්

Leave a Reply