ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය දා අලුතින් තනා නිම කළ මහා මාර්ග එක්දහස් පන්සියයක් ජනතාවට පැවරීමට වීරකැටියේ පැවති උත්සවයක ප්‍රධාන අමුත්තා විය. පළමුවෙන්ම (බොහෝ විට කොමිස් ගෙවීම් ද ඇතුළත් ව) මහජන මුදලින් තනන මහා මාර්ග නැවත මහජනයාට පැවරීමට උත්සවයක් අවශ්‍ය නැත. මහාමාර්ග ඉදිකරන්නේ මහජන මුදල්වලින් ජනතාව වෙනුවෙන් නිසා ඒවා සමහර ජනමාධ්‍ය පැවසූ ආකාරයට ජනසතු කිරීමක් අවශ්‍ය නැත. කෙසේ වුවත් අපට වැදගත් වන්නේ එම උත්සවය නොව එහි දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තරමක කෝපයෙන් කළ දේශනයයි. මෑතක දී ඔහු කළ පත්වීම් දෙකක් ගැන සමාජයේ පවතින විවේචනවලට පිළිතුරු දුන් ඒ මහතා ඒවා තමාගේ දැක්ම අනුව හේතු යුක්ති කෙළේය.
එක රටක් එක නීතියක් පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ලෙස ගලගොඩඅත්තේ ඥනසාර හිමි පත් කිරීම ගැන පිළිතුරු දුන් ඔහු පසුගිය වසර පහක කාලය තුළ එක රටක් එක නීතියත් ගැන කතා කළ එකම පුද්ගලයා ඥනසාර හිමි බව පෙන්වා දුන්නේ ය. එම නිසා ඒ පිළිබඳ ව නීති කෙටුම් පත් කිරීමට උපදෙස් ලබා ගැනීමට සුදුසු ම පුද්ගලයා ඔහු ය. නීති කෙටුම්පත් කිරීමට හෝ නීති සම්පාදනය කිරීමට උපදෙස් දීමට ඥානසාර හිමිට ඇති සුදුසුකම් ගැන අප මීට පෙර ලිපියක සඳහන් කළ නිසා ඒ ගැන නැවත සිහිපත් කිරීම අනවශ්‍ය ය. කෙසේ වුවත් දශකයක පමණ කාලයක් තුළ ඥානසාර හිමි එක රටක් එක නීතියක් යන සටන් පාඨය සංකල්ප ගත කළ ආකාරය නැවත විමසා බැලීමෙන් ජනාධිපති කාර්ය සාධක බලකායෙන් ජනාධිපති අදහස් කරන්නේ කුමක් ද යන්න වටහා ගැනීමට පහසු ය.
බීමත්ව, බලපත්‍රයක් නොමැතිව වාහනයක් පදවා රිය අනතුරක් කිරීම පිළිබඳ ව අධිකරණයේ දී වරද පිළිගත් ඥානසාර හිමි පළමුවෙන්ම ප්‍රකට වූයේ දැඩි මුස්ලිම් විරෝධියෙකු ලෙසිනි. වර්ගවාදි යුද්ධය නිම වීමෙන් පසුව දිවයිනේ විවිධ ප්‍රදේශවල ඉස්මතු වූ මුස්ලිම් විරෝධය බොහෝ දෙනාගේ අවධානයට ලක් වූ කරුණකි. 2012 දී විවිධ ප්‍රදේශවල මුස්ලිම් ආගමිකයන්ට අයත් කඩ සාප්පුවලට ප්‍රහාර එල්ල වුවද එවකට ආරක්ෂක ලේකම් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා එම සිද්ධීන් ගැන නීතිය ක්‍රියාත්මක කිරීමට උනන්දු වූයේ නැත. එම නිසා මුස්ලිම් ආගමික විරෝධය කර පින්නා ගත් බොදුබල සේනාව සහ ආරක්ෂක ලේකම් අතර සම්බන්ධතායවක් ඇතැයි චෝදනාවක් තිබුණ ද, ඔහු එය තරයේ ප්‍රතික්ෂේප කොට, කිසිවෙකු එම චෝදනාව ඔප්පු කරන්නේ නම් තමා වහාම තනතුරෙන් ඉල්ලා අස්වන බව පැවසුවේය.
ඥානසාර හිමිගේ භූමිකාව වඩාත් අවධානයට ලක් වූයේ 2014 ජුනි මාසයේ අලුත්ගම බේරුවල ප්‍රදේශයේ හටගත් මුස්ලිම් විරෝධී ප්රචණ්ඩ ක්‍රියා නිසාය. ඊට පෙර අලුත්ගම කන්දේ විහාරය අසළ භික්ෂූන් වහන්සේ නමක් ගමන් කළ ත්‍රිරෝද රථයකට මුස්ලිම් තරුණයන් පිරිසක් පහර දීමේ සිද්ධියක් පිළිබඳ ව ප්‍රදේශය පුරාම දැඩි උණුසුම් තත්වයක් වර්ධනය වී තිබිණ. මෙය සාමාන්‍ය සිද්ධියක් නොව ආගමික ප්‍රජාවන් දෙකක් අතර ගැටුමක් බවට පත්වීමේ පැහැදිලි අනතුරක් පැවතුණ ද, කිසියම් අදිසි බලවේගයක් විසින් නිතිය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමෙන් තත්වය පාලනය කිරීමට නිසි පියවරක් ගත්තේ නැත.
මේ වාතාවරණය තුළ ඥානසාර හිමිගේ ප්‍රධානත්වයෙන් බොදුබල සේනාවේ ප්‍රසිද්ධ රැස්වීමක් අලූත්ගම නගරය් දී පැවැත්වින. ප්‍රදේශයේ පැවති තත්වය අනුව මෙවැනි රැස්වීමක් පැවැත්වීම සාමය පවත්වා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් විය හැකි නිසා එය තහනම් කරන මෙන් ප්‍රදේශයේ ප්රභූත් කීප දෙනකුම පොලීසියෙන් ඉල්ලීම් කළ ද, පොලීසිය ඒ ගැන තැකීමක් කෙළේ නැත. හත් දහසක් පමණ පිරිසක් සහභාගි වූ එම රැස්වීමේ දී ප්‍රධාන කතිකයා වු ඥානසාර හිමි, එක රටක් එක නීතියක් පිළිබඳ තම සංකල්පය කාටත් තේරුම් ගත හැකි සරල භාෂාවෙන් ඉදිරිපත් කෙළේය. සංකල්පය තේරුම් ගත් පිරිසක් (එම පිරිසට බොදුබල සේනාව නායකත්වය දුන් බවක් සඳහන් වන්නේ නැත.) දර්ගා නගරය දෙසට මුස්ලිම් විරෝධි සටන් පාඨ කියමින් ගමන් ගත්හ. ගැටුම් ඇති වූයේ ඉන් පසුවය. සේදවත්ත ප්‍රදේශයෙන් ඇරඹි ගැටුම් දර්ගා නගරය, වැලිපිටිය, කොටපිටිය වැනි ප්‍රදේශවලට පැතිරිණ. ගැටුම් අවසන් වන විට මුස්ලිම් ආගමිකයන් තිදෙනෙකු මිය ගිය අතර 90කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ. විපතට පත් මුස්ලිම් පිරිසක් ගලවා ගැනීමට පැමිණි එවකට කළුතර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මංත්රීවරයෙකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ රියකට ද අලාභ හානි සිදු විය. ප්‍රදේශයේ මුස්ලිම් ආගමිකයන් සතු කඩ සාප්පු 30කට අධික සංඛ්‍යාවක් ගිනිබත් කෙරිණ. නිවාස 300ක් සම්පුර්ණයෙන්ම හෝ අඩ වශයෙන් විනාශ විය. භීතියට පත් මුස්ලිම් ආගමිකයන් පල්ලිවල රැකවරණය ලබා ගත් අතර සමහර පල්ලිවලට ද ප්‍රහාර එල්ල කෙරිණ.
මෙම කැරලි කෝලාහල සම්බන්ධයෙන් එවකට පැවති නීතිය අනුව පුද්ගලයින් 13ක් අලුත්ගම පොලිසියෙන් අත් අඩංගුවට ගත් නමුත් ඔවුන් වහාම නිදහස් නොකරන්නේ නම් තමා පොලිසිය ඉදිරිපිටම ගිනි තබා ගන්නා බවට ඥානසාර හිමි තර්ජනය කළ නිසා, ඔවුන්ට නිදහස ලැබිණ. කෙසේ වුවත් වැදගත්ම කාරණය වූයේ මෙම ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් කිසිවෙකුට විරුද්ධට නීතිය ක්‍රියාත්මක නොවීම ය. එවකට ආරක්ෂක ලේකම් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ ගැන හොඳින් දන්නවා ඇත.
අපට වැදගත් වන්නේ ඥානසාර හිමි 2014 ජුනි 14 අලුත්ගම පැවැත් වූ රැස්වීමේ දී ප්‍රකාශයට පත් කළ සංකල්පය යි. ඔහු මෙසේ පැවසුවේය:
‘‘..මේ රටේ තියෙන්නේ සිංහල පොලිසියක්. මේ රටේ තියෙන්නේ සිංහල හමුදාවක්. එක සිංහලයෙකුට විරුද්ධව කවුරු හරි ඇඟිල්ලක් හරි ඉස්සුවොත් ඒ උන් එක්කෝගෙම අවසානෙ..’’
උන් වහන්සේ දෙසා වැදෑරු ආකාරයට එක රටක් යනුවෙන් හැඳින්වෙන්නේ සිංහල හමුදාවක් සහ සිංහල පොලිසියක් ඇති රටකි. එහි සියලු අයිතිවාසිකම් ඇත්තේ සිංහලයන්ට පමණි. වඩාත් නිවැරදිව සිංහල බෞද්ධයන්ට පමණි. ඔහු එම සංකල්පය තවදුරටත් පැහැදිලි කෙළේ මෙසේය:
‘‘..මහින්ද මහත්තයා දැනගන්න ඕන සුළු ජාතීන් සිංහලුන් යට කර ගෙන ඉන්න විත්තිය.. ජාතිය වෙනුවෙන් කතා කරන විට මට ජාතිවාදියා කියන්න පුළුවන්. ඒකට කමක් නැහැ..’’
මේ අවධියේ දී ජනාධිපති වූයේ මහින්ද රාජපක්ෂ මහතා බව සිහිපත් කළ යුතුය.
අලුත්ගම සිද්ධියෙන් පසු ජාත්‍යන්තර අවධානයට ලක් වූ ඥානසාර හිමි බිබීසී ගුවන් විදුලිය සමග සාකච්ඡාවක් ද පැවැත් වූයේය. එහි දී බීබීසි වාර්තාකරු ඥානසාර හිමිගෙන් ඇසූ ප්‍රශ්නයක් වූයේ ඔහු අලුත්ගම පැවැත් වූ රැස්වීමෙන් බෞද්ධ ජනතාව ප්‍රකෝප කළා නේද යන්නයි. තමා කෙළේ ප්‍රකෝප කිරීමක් නොව ජනතාව තුළ තිබූ කෝපය පහ කිරීමට ඔවුන් තුළ උද්යෝගයක් ඇතිවන අකාරයට කතා කිරීමයැ යි කීවේය. ‘‘විසෙන් විස නසනවා වැනි වැඩක්’’ යනුවෙන් වැඩි දුරටත් පැහැදිලි කෙළේය. ඥානසාර හිමිගේ හැසිරීම බෞද්ධ ඉගැන්වීමට පටහැනි නොවන්නේද යනුවෙන් ඇසු ප්‍රශ්නයට පිළිතුර වූයේ
‘‘..අමතක කරන්න එපා. බෞද්ධ දර්ශනය වෙනස්. සිංහල බුද්ධාගම වෙනස්..’’ යන්නයි. (2014 ජුනි 17 බීබීසී)
එම පැහැදිලි කිරීම අනුව ගෞතම බුදුන් වහන්සේගේ ඉගැන්වීම් සමග සිංහල බුද්ධාගම පටලවා ගත යුතු නැත. ඒ දෙක පැහැදිලිවම දෙකකි. එහෙත් ඔහු සිංහල බුද්ධාගම බෞද්ධ දර්ශනයෙන් වෙනස් වන ආකාරය එම සාකච්ඡාවේ දී පැහැදිලි කර නැත. එක රටක් එක නිතියක් සංකල්පය නිති කෙටුම්පතක ආකාරයෙන් ඉදිරිපත් කරන විට එම වෙනස පැහැදිලි කරනු ඇතැයි සිතිය හැකිය.
මීට අමතරව ‘‘අබ සරණ’’ සංකල්පය ද ඥානසාර හිමිගේ තවත් ඉදිරිපත් කිරීමකි. අබ සරණ සංකල්පයෙන් අදහස් කරන්නේ කුමක් ද යන්න ලේඛන ගත වී නැති නමුත් සිංහල බුද්ධාගමට වෙනස් ව යන කිසිවෙකුට ගැලවීමක් නො ලැබෙන බව සිතා ගත හැකිය.
මේ අනුව එක රටක් එක නිතියක් යනුවෙන් ඥානසාර හිමි අදහස් කරන්නේ සිංහල බුද්ධාගමට එරෙහි වන කිසිවෙකුට ලංකාවේ ඉඩක් නැත යන්න බව පැහැදිලි ය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඥනසාර හිමි කාර්ය සාධක බලකායේ සභාපති ලෙස පත් කෙළේ එම සංකල්පය ව්‍යවස්ථාපිත නීතිය බවට පත් කිරීමට ය. ඒ බව මෙම කාර්ය සාධක බලකාය පත් කිරීමේ ගැසට් නිවේදනයෙන් ද පැහැදිලිය. පළමු අති විශේෂ ගැසට් නිවේදනය අනුව එක රටක් එක නීතියක් සංකල්පය නීති ගත කළ යුත්තේ කිසිම පුරවැසියෙකුට නීතියේ ඇසින් ( ගැසට් නිවේදනයේ සඳහන් වචනයයි.) වෙනස් කොට සැලකීමක් නැතිව සියලු දෙනාට ම සාධාරණයක් වන ආකාරයට ය. එම ක්‍රමවේදය තුළ පිළිගත් මානුෂීය අගයන්ද පිළිබිඹු විය යුතු යැයි දක්වා ඇත.
ගැටලුව වන්නේ සිංහල බෞද්ධයන්ට එරෙහිව ඇඟිල්ලක් ඔසවන්න එපා යැයි ද, සැක පිට පොලීසියෙන් අත් අඩංගුවට ගත් අය නිදහස් නොකරන්නේ නම් ගිනි තියා ගන්නවා යැයි ද තර්ජනය කිරීම මානුෂීය නීතිය පිළිබිඹු වන ආකාරයේ ක්‍රමවේදයක් බවට සකස් කරන ආකාරයයි. දෙමළ ජාතිකයන් දෙදෙනෙකු ද එම කාර්ය සාධක බලකායට පත් කරමින් නිකුත් කළ දෙවන ගැසට් නිවේදනයේ අවධාරණය කරන්නේ මෙම සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සියලු පාර්ශ්වයන් දරන අදහස් සැලකිල්ලට ගෙන යෝජනා සකස් කළ යුතු ය යන්නයි. මානුෂීය අගයන් ගැන එහි සඳහන් වන්නේ නැත.
වඩාත් සරල ආකාරයෙන් බලන විට ඥානසාර හිමි ගේ සංකල්පයෙන් අදහස් වන්නේ මේ රටේ සිංහල බෞද්ධයන්ට (ඉන් සැබැවින් ම අදහස් වන්නේ ඔවුන්ගේ මතය දරන සිංහල බෞද්ධයන් පමණි.) හැර අනෙක් ජාතීන්ට හෝ ආගමික කොටස්වලට ඉඩක් නැත යන්නයි. ඊට මානුෂීය අගයක් ලබා දිය හැකි ආකාරය පෙන්වා දිය හැකි වන්නේ ද ඥානසාර හිමිට පමණය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වීරකැටියේ දෙසුමෙන් ද පැහැදිලි වන්නේ ද එයයි. එම කාර්ය සාධක බලකායට දෙමළ ජාතිකයන් තිදෙනෙකු පත් කිරීමෙන් අරමුණේ වෙනසක් වන්නේ ද යන්න සැක සහිත ය.
රටේ සාමය සහයෝගිතාවය සහ සාධාරණත්වය පතන ජනතාවට ඇති එකම සැනසීම වන්නේ මෙම රජය මෙතෙක් පත් කර ඇති කාර්ය සාධක බලකා මෙන් මෙම බලකායේ නිර්දේශ ද හමස් පෙට්ටියට සීමා වනු ඇතයි යක බලාපොරොත්තුව පමණි. නැතිනම් අප හැමට සිදු වන්නේ ඥානසාර හිමිගේ අබ සරණ පැතිම ය.
- සමාජ පෙරළිය හිසරදයට කොට්ට මාරු කිරීමක් නොවිය යුතුය.. - November 4, 2024
- කැනඩා ඉන්දියානු තානාපති අර්බූදය ලෝක ආධිපත්‍යය සඳහා කරන අරගලයේම කොටසක්.. - October 24, 2024
- වෘකයා පොරවා ගත් බැටළු හම ඉවත් කිරීමට පෙර සිතා බැලිය යුතුය.. - October 14, 2024