You are currently viewing ඉම්රාන් ඛාන් ගේ දේශපාලන ඉනිම අවසන් ද?

ඉම්රාන් ඛාන් ගේ දේශපාලන ඉනිම අවසන් ද?

පකිස්ථානය බිහි වීමේ සිට අද දක්වා ගත වූ වර්ෂ 75ක ඉතිහාසය තුළ අගමැති ධූරයට පත් කිසිදු නායකයෙකු සිය ධූර කාලය අවසන් වන තෙක් අගමැති ධූරයේ රැඳී සිටීමට සමත් වී නැත. අවසන් වරට පකිස්ථානයේ අගමැති ධූරය, ධූර කාලයට පෙර අහිමි වූයේ පකිස්ථානයේ 19 වන අගමැතිවරයා ලෙස පත්වූ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ ඉම්රාන් ඛාන්ට ය. ඉම්රාන් ඛාන්ගේ පාලනය කෙරෙහි කලාපයේ රටවල් මෙන් ම ලෝකයේ ද යම් බලාපොරොත්තුවක් ඇති වී තිබුණි. ජාත්‍යන්තර ප්‍රජාව අපේක්ෂා කළේ ඉම්රාන් ඛාන්ට ශක්තිමත් පාකිස්ථානයන් නිර්මාණය කළ හැකි වනවා පමණක් නොව සාර්ථක අගමැතිවරයෙකු ලෙස සිය ධූර කාලය අවසානය තෙක් රැඳී සිටිය හැකි වනු ඇති බව ය.

ඉම්රාන් ඛාන් දූෂණ විරෝධි නානයකයෙකු ලෙස බලයට පැමිණ දූෂිතයන්ට දඬුවම් කිරීමත් ඍජු තීරණ ගැනීමත් කෙරේ බලාපොරොත්තු වැඩි වීමට හේතු විය. කෙසේ නමුත් ඔහුට පාර්ලිමේන්තුවේ හිමිව තිබූ බහුතර බලය ඉකුත් දා ගිලිහී යමත් සමඟ අගමැති ඉනිම නිම වූයේ බලාපොරොත්තු නොවූ අන්දමකිනි. ඉම්රාන් ඛාන් චෝදනා කළේ ඔහුට එරෙහිව ක්‍රියාත්මක වූ ඇමරිකානු හා බටහිර බලවේගයන්හි කුමන්ත්‍රණ හේතුවෙන් දේශපාල අභියෝගයකට මුහුණ පෑමට සිදු වූ බව ය.

2018 වර්ෂයේ දකුණු ආසියාවේ දූෂිත ම දේශපාලනය සහිත රට ලෙස සලකනු ලැබූ පකිස්ථාන දේශපාලන ඉතිහාසය අලුත් කරමින් ඉම්රාන් ඛාන් බලයට පැමිණියේ ය. 80 සහ 90 දශකයේ ලොව ප්‍රබල තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස නම් දැරූ ඉම්රාන්ගේ නායකත්වය යටතේ පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම 1992 වර්ෂයේ ලෝක කුසලාන දිනා ගැනීමට සමත් විය. ක්‍රිකට් ලොවේ ඉම්රාන් දිනා සිටි ජනප්‍රියත්වය නිසා ම දේශාපලනයට පිවිසෙන ලෙස ඔහුට ආරාධනා රැසක් එවක සිටි ප්‍රබල පකිස්තානු නායකයන්ගෙන් ලැබුණි. එහෙත් ඒ ආරධනා සියල්ල ප්‍රතික්ෂේප කළ ඔහු 1996 වර්ෂයේ තමාගේ ම පක්ෂයක් ආරම්භ කළේ ය. පාකිස්ථාන් ටෙහ්රීක් ඉන්ෂාෆ් (PTI) නම් එම පක්ෂය 1997 වර්ෂයේ මුහුණ දුන් පළමු මහමැතිවරණයෙන් අන්ත පරාජයක් අත්විය. ඉම්රාන්ගේ පක්ෂය ජය මාවතට පිවිසියේ 2002 වර්ෂයේ පැවැති මහමැතිවරණයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ඉම්රාන් තේරී පත්වීමත් සමඟ ය.

2007 වර්ෂයේ ඉම්රාන් ඛාන්ව නිවාස අඩස්සියේ තැබීමට එවක අගමැති මුෂර්රෆ් කටයුතු කළේ ය. ඉම්රාන්ගේ දේශපාලන කටයුතුවලට පවා නොයෙක් බාධා එල්ල කරනු ලැබී ය. ඒ සියලු බාධක ජයගත් ඉම්රාන් ඛාන්ගේ පීටීඅයි පක්ෂය 2013 වසරේ මහමැතිවරණයේ දී එරට දෙවන ප්‍රධාන පක්ෂය බවට විය. එකල පටන්  ඉම්රාන්ගේ ප්‍රතිරූපය බිඳ දැමීමට ඉම්රාන්ට එරෙහිව විවිධ චෝදනා එල්ල කරනු ලැබීය. ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන් ඉදිරිපත් කළ ප්‍රධාන චෝදනාවක් වූයේ ඉම්රාන් ඔහුගේ ආගමික ගුරුවරිය තමාගේ තෙවන බිරිය ලෙස සරණ පාවාගත්තේ ය යන චෝදනාවයි. එම චෝදනාව ඉම්රාන්ගේ දේශපාලන ගමනට සැලකිය යුතු හානියක් ඇති කළේ ය.

කෙසේ වෙතත් ඒවනවිට බලයේ සිටි අගමැති නවාස් ෂෙරීෆ් දූෂණ චෝදනාවන්ට වරදකරු වී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉදිරියේ අගමැති ධූරයෙන් නෙරපනු ලැබීය. එමෙන් ම ෂරීෆ්ගේ පක්ෂයට ද ෂෙරීෆ්ගේ ක්‍රියා කලාප කැළෑලක් ඇති කළේ ය. ඒත් සමඟ දූෂණයෙන් තොර පකිස්ථානයක් නිර්මාණය කිරීම හා ශක්තිමත් ආර්ථීකයක් ගොඩනැගීමේ පොරොන්දුවෙන් මැතිවරණ පිටියට පිවිසි ඉම්රාන්ට එරට පාර්ලිමේන්තු ආසන 155ක් හිමි විය. ඉම්රාන් ඛාන් කියා සිටියේ සුනාමියක් සේ නැගෙන පකිස්ථාන තරුණ රැල්ලෙන් පකිස්තානයේ ඔඩුදුවා ති‍බෙන දූෂණය මුලුමනින් ම ගසාගෙන යනු ඇති බවයි.

2022april29[1]_PML_MOM

ආසන 342කින් යුත් පකිස්ථාන පාර්ලිමේන්තුවේ නියෝජිතයන් 172කගේ සහාය බලය පිහිටුවීමට අවශ්‍ය විය. නමුත් ඉම්රාන්ගේ පීටීඅයි පක්ෂයට හිමිව තිබුණේ ආසන 155ක් පමණි. ඒ අනුව ඉම්රාන් මුස්ලිම් ලීග් කුවාඉද් ඊ අසාම් (PML-Q) පක්ෂය සහ මුත්තහිදා කුවාමි සංවිධානය (MQM) සමඟ සන්ධානගතව පාර්ලිමේන්තුවේ ආසන 177ක බහුතරය හිමි කරගෙන බලය පිහිටුවීය.

ඉම්රාන් ඛාන් පකිස්ථානය බාරගන්නා විට එරට ආර්ථිකය කඩා වැටීමට ආසන්න තත්වයක තිබුණි. පකිස්ථානයට, චීනය, සෞදි අරාබිය සහ  IMF වැඩසටහන යටතේ ණය ආධාර නොලැබුණේ නම් මුළු පකිස්ථාන ආර්ථිකය ම සති කිහිපයකින් කඩා වැටීමේ අවධානම් තත්වයක් ඒවන විටත් පැවතියේ ය. කෙසේ වෙතත්, එම ණය වැඩසටහන්වලට යාම හේතුවෙන් ඉහළ පොලී අනුපාතවලට අමතරව දැඩි කොන්දේසි ද පකිස්ථානයට පනවනු ලැබුණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැනවූ එක් කොන්දේසියක් වූයේ, පකිස්තානය ජාතික මූල්‍ය ඒකකය වන පකිස්තාන රුපියල නිදහසේ පාවීමට ඉඩ හැරීම සහ එහි විනිමය අනුපාතිකය විවෘත වෙළඳපොල බලවේග විසින් තීරණය කිරීමට ඉඩ දිය යුතු ය යන්නයි. ඒ අනුව එතෙක් එරට මහ බැංකුව මැදිහත්වීමෙන් කෘත්‍රිම ලෙස මූල්‍යය හසුරුවා, විනිමය අනුපාතය අඩු මට්ටමක තබා ගැනීමට කටයුතු කළද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිය හේතුවෙන් මහබැංකුවේ මූල්‍ය පාලනය ඉවත් කිරීමත් සමග රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව රුපියල් 120 සිට 180 දක්වා සීඝ්‍රයෙන් පහත වැටුණි. මෙම තත්වය එරට උද්ධමනය වැඩි වීමට හේතු විය. එමෙන් ම එම තත්වය බැරෑරුම් වූයේ පකිස්ථානය විශාල  ආනයනය මත රැදෙන රටක් වන බැවින් සහ එරටට අවශ්‍ය ඉන්ධන මුලුමනින් ම ආනයන කළ යුතු බැවිනි.

දශක තුනක් තිස්සේ පකිස්ථානය පාලනය කළ ආණ්ඩු ගෙනගිය වැරදි ආර්ථික කළමනාකරණ නිසා උත්ගතව තිබූ ආර්ථික දුෂ්කරතා සමඟ පොරබැඳීමට සිදුවූ ඉම්රාන් ඛාන්ගේ නව රජයට අමතර අභියෝගයක් ගෙන දෙමින්, ඉන්දියානු ගුවන් හමුදා ජෙට් යානා 2019 පෙබරවාරි මස පකිස්ථාන ගුවන් සීමාවට ඇතුළු වී කාශ්මීරයට ප්‍රහාර එල්ල කළේ ය. ඊට ප්‍රතිචාරයක් ලෙස පකිස්තාන ගුවන් හමුදාව ප්‍රතිප්‍රහාර එල්ල කළ අතර ඉන් ඉන්දීය ගුවන් හමුදා ප්‍රහාරකයින් දෙදෙනෙකු තුවල ලබා, එක් නියමුවෙකු ජීවිතක්ෂයට පත්විය. තවත් එක් ඉන්දීය ප්‍රහාරකයෙකු අත්අඩංගුවට ගන්නා ලදී. කෙසේ නමුත් අල්ලාගත් ගුවන් නියමුවා දින කිහිපයකින් සුහදතාවය වර්ධනය කරගැනීමේ අරමුනින් පකිස්ථානය නිදහස් කළේ ය. ඉම්රාන් ඛාන් රාජතාන්ත්‍රික ලෙස ගැටුමට ප්‍රතිචාර දැක්වුව ද ඉන්දියානු ප්‍රහාර සහ ඉන්දියාවෙන් පකිස්තානයට එල්ල වන අභියෝගයන්හි අඩුවක් දක්නට නොලැබුණි. පකිස්ථානයේ  රැකියා කරමින් සිටි ප්‍රියන්ත කුමාර නැමැති ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය වීමත් සමඟ ඝාතකයන්ට එරෙහිව වහා ක්‍රියාත්මක වීමත් ප්‍රියත්න කුමාරගේ පවුලට අරමුදලක් පිහිටුවීමත් ඉම්රාන් ඛාන්ගේ උසස් රාජ්‍යතාන්ත්‍රිකත්වය මතුවූ අවස්ථාවකි.

2019 වසර අවසානයේ පකිස්ථානයට ද කොවිඩ් වසංගතයට මුහුණ පෑමට සිදු වූවත් වසංගත මධ්‍යයේ එරට ආර්ථිකය ශක්තිමත් කිරීමට ඉම්රාන්ට හැකි විය. වසංගත සමයේ පකිස්ථානයේ වෙළඳසැල් වසා දැමීමට නියෝග කර තිබුණේ දිනකට පැය කිහිපයක් පමණි. නමුත් ඉන්දියාව සහ බංගලාදේශයේ කර්මාන්ත ශාලා වසා දැමූ නිසා එම රටවලට ඇඟලුම් ක්ෂේත්‍රයේ තිබූ ඇනවුම් පකිස්ථානයට ගලා ආවේ ය. මීට අමතරව ඉම්රාන්ගේ නව රජය යටතේ විනිවිදභාවය සහ රටේ ආරක්ෂාව කෙරේ විශ්වාසය ජාත්‍යන්තර වශයෙන් වර්ධනය වූ බැවින් විදේශ ආයෝජන ද පකිස්ථනයට ගලා ආවේ. එමෙන් ම පකිස්ථාන පරිපාලනයට ඉතාමත් අසීරු කාර්යයක් වන බදු එකතු කිරීමේ ඉම්රාන්ගේ නව පරිපාලනය යටතේ ඉහළ ගිය අතර එරට ආදායම් පිළිබඳ ෆෙඩරල් මණ්ඩලය Federal Board of Revenue (FBR) පෙන්වා දෙන්නේ ඉකුත් ජුලි සිට පෙබරවාරි දක්වා පෙර වසරට සාපෙක්ෂව බදු ආදායම 30%කින් ඉහළ ගොස් ඇති බවයි.

ඉකුත් දශක කිහිපයේ පකිස්තාන ජාත්‍යන්තර සම්බන්ධතාවය බටහිර හා ඇමරිකානු ගැති ස්වභාවයක් ගත්තේ ය. පකිස්ථානයේ සිටි අගමැතිවරු දැඩි ඇමරිකන් සහ බටහිර හිතවාදි ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් තීන්දු තීරණ ගත්හ. ඊට හාත්පසින් වෙනස් විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ඉම්රාන් ඛාන් ස්වාධීන විදේශ ප්‍රතිපත්තියකට අවතීරණ වූවේ ය. ඇමරිකාව ගෙනයනවා යැයි පවසන ත්‍රස්තවාදය එරෙහි ඊනියා යුද්ධය ඉම්රාන් ඛාන් දැඩි ලෙස දෝෂදර්ශනයට ලක් කළේ ය. එනිසා වොෂින්ටනය ද දිගින් දිගට ම ඉම්රාන් ඛාන් මගහරමින් කටයුතු කළේ ය. ඉකුත් අප්‍රේල් මස පැවැති දේශගුණය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවට පවා ඇමරිකාව ඉම්රාන් ඛාන්ට ආරාධනා නොකළේ ය.

එමෙන් ම ඉකුත් අගෝස්තු මස ඇමරිකා එක්සත් ජනපදය ඇෆ්ගනිස්ථානයෙන් පිටවා යාමට තීරණය කළ අවස්ථාවේ දී පකිස්තානය ක්‍රියා කළේ ඇමරිකාවට විරුද්ධව ය. ඇෆ්ගනිස්ථාන බලය තලේබාන් සංවිධානය අතට පත්වීමත් සමඟ තලේබාන් රජය පිළිගත් මුල් ම රට වූයේ ද පකිස්ථානයයි. ඉන්පසු පකිස්ථානය විසින් ඇෆ්ගන් හමුදා පරාජය කිරීමට තලේබාන් සංවිධානයට සහාය දුන් බවට බටහිර සහ ඇමරිකාව පකිස්ථානය විවේචනයට කළේ ය. එම චෝදනා කිසිවක් පකිස්තානය පිළිනොගත්තේ ය. ඉන් අනතුරුව ඇමරික එක්සත් ජනපදය අවසර ඉල්ලා සිටියේ පකිස්ථානයේ සිට තලේබාන් සංවිධානයට එරෙහිව ඇමරිකානු ඔත්තු සේවා සහ හමුදා කඳවුරක් ක්‍රියාත්මක කිරීමට ඉඩ දෙන ලෙස ය. නමුත් ඉම්රාන් ඛාන් “අත්‍යන්තයෙන් ම ඉඩ දෙන්නේ නැත” යනුවෙන් ප්‍රකාශ කරමින් එම ඉල්ලීම එකහෙළා ප්‍රතික්ෂේප කළේ ය.

ඇමරිකාව සහ බටහිර රටවල් විරසක කරගත් ඉම්රාන් ඛාන් රුසියාව සහ චීනය සමඟ ආර්ථික හා දේශපාලන සබඳතා තරකර ගත්තේ ය.  රුසියානු හා යුක්රේන යුද්ධ අතරවාරයේ යුරෝපා සංගමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 11 දෙනෙකු ඉම්රාන් ඛාන්ට ඉල්ලීමක් යොමු කරමින් පුටින් හෙළා දකිමින් සංදේශයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියහ. නමුත් එය ප්‍රතික්ෂේප කළ ඉම්රාන්ගේ ප්‍රතිචාර වූයේ බටහිරය දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බවත් ජම්මු කාශ්මීරය බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින ඉන්දියානු රජයේ පීඩාකාරී ක්‍රියාවන්ට හෙළා නොදකින බව කියමින් යුරෝපා සංගමය ප්‍රසිද්ධියේ විවේචනය කළේ ය.

නවාස් ෂෙරීෆ්

ඉම්රාන් පිළිබඳ වඩාත් කතා බහට ලක්වූයේ ඔහු බලයට පැමිණි පසු පැවැති ආණ්ඩුවේ දූෂණ වංචා සොයා දඬුවම් කිරීම සිය ප්‍රමුඛ කාර්යයක් කරගැනීම පිළිබඳව ය. නවාස් ෂෙරීෆ් ඇතුළු නායකයන් රැසක් දූෂණ චෝදනාවන්ට අධිකරණයට ඉදිරිපත් කරනු ලැබී ය. කෙසේ වෙතත් නවාස් ෂෙරීෆ් පකිස්ථානයෙන් පළා යාමට සමත් වූ අතර ඔහු එංගලන්තයේ සිට ඉම්රාන් ඛාන්ට විරුද්ධව පකිස්ථාන දේශපාලනය මෙහෙයවමින් සිටියි. පකිස්ථානයේ සිටිමින් විරුද්ධ පක්ෂයට නායකත්වය දෙමින් සිටියේ නවාස් ෂෙරීෆ්ගේ දියණිය වන මර්යම් ය. අද වන විට පකිස්ථානයේ අගමැති ධූරයට පත්ව සිටින්නේ නවාස් ෂෙරීෆ්ගේ සහෝදරයා ය.

ඉම්රාන්ගේ ඇමරිකානු හා බටහිර විරෝධය එරට තරුණයන්ගේ ආකර්ෂණය ඉම්රාන්ට ලැබීමට හේතු වී ඇත. එඩිතර තීන්දු තීරණ ගනිමින් පකිස්ථානය ස්ථාවර නායකත්වයක් ගොඩනැගීමට උත්සහ කළ ඉම්රාන්ට පාලන කාලය පුරා අභියෝග රැසක් එල්ල විය. 2018 අගෝස්තු මස බලය පිහිටුවා ගැනීමට ඉම්රාන් එරට හමුදාවේ සහාය ලබන පක්ෂයක පිහිට ලබා ගැනීමට සිදු විය. එසේ වුවද ඉකුත් ඔක්තෝම්බර් මස අයි.එස්.අයි පකිස්තාන බුද්ධි අංශයේ ඉහළ තනතුරකට අදාළ පත් කිරීමකට අත්සන් කිරීම ඉම්රාන් ප්‍රතික්ෂේප කළේ ය. ඒ හේතුව නිසා හමුදාවේ සහායත්, සන්ධානයේ සෙසු පක්ෂවලත් සහාය ඉම්රාන්ගෙන් ගිලිහීමට පටන් ගත්තේ ය. ඉම්රාන්ට ඇති වී තිබෙන අවාසිදායක දේශපාලන තත්වය අවස්ථාවක් කරගත් විරුද්ධ පක්ෂ සියල්ල ඒකාබද්ධ වී ඉම්රාන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළහ.  ඔවුන් කියා සිටියේ ඉම්රාන්ගේ වැරදි ආර්ථික කලමනාකරණය නිසා රට තුළ දරුණු ආර්ථික කඩා වැටීමක් සිදුව ඇති බවයි. වැඩිදුරටත් විපක්ෂය චෝදනා කර සිටියේ ඉම්රාන් සහ ඔහුගේ බිරිඳ ඩොලර් බිලියන හයක් වංචා කර ඇති බවත්, ඉම්රාන්ගේ රජයට විදේශ සම්භවයක් සහිත 88 දෙනෙකු ආධාර සැපයීම සැක උපදවන බවත් දොස් නැගූහ.

හිටපු අගමැති ඉම්රාන් ඛාන් ගේ ආධාරකරුවන් , ඉස්ලාමබාද් හි පැවති විරෝධතාවයක දී ..

විපක්ෂයේ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කළ ඉම්රාන් පෙන්වා දුන්නේ ඔහුට එරෙහිව ගෙන එන ලද විශ්වාසභංගය පිටුපස සිටින්නේ ඇමරිකාව සහ බටහිර රටවල් බවයි. ඇමරිකානු තානාපතිවරිය ඉම්රාන්ගේ චෝදනා ප්‍රතික්ෂේප කළා ය. අප්‍රේල් 04 වන දා දැවැන්ත රැළියක් අමතමින් ඉම්රාන් රහසිගත ලේඛණයක් සිය ආධාරකරුවන්ට පෙන්වමින් තමාට එරෙහිව බලවත් රාජ්‍යයන් ක්‍රියාත්මක කරන කුමන්ත්‍රණයට අදාළ ලේඛණයක් පෙන්වූයේ ය. කෙසේ නමුත් ඉම්රාන්ට එරෙහිව ඉදිරිපත් කරනු ලැබූ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්ද 174ක් ලැබුණි. ඉම්රාන්ගේ අගමැති ධූරය අහිමි වූයේ තවත් අවුරුද්දක කාලයක් ඉතිරිව තිබිය දී ය. කෙසේ නමුත් ඉම්රාන්ගේ ආධාරකරුවන් දවස් කිහිපයක් ම වීදි බැස උද්ඝොෂණයන්හි නිරත වෙමින් සිටිති.

ක්‍රමානුකූලව මුස්ලිම් ලෝකයේ නායකත්වය ඉම්රාන් ඛාන්ගේ යටතේ පකිස්ථානය වෙත හිමිවෙමින් තිබුණි. අවසන් වරට පැවති ඉස්ලාමීය රටවල්වල නායකයන්ගේ සමුළුවේ එතෙක් මහතීර් මොහොමඩ්ට හිමිව තිබූ භූමිකාව ඉම්රාන් ඛාන් ඉටු කිරීමට සමත් විය. පලස්තීනය ආරක්ෂා කිරීමට අසමත් වීම පිළිබඳව ඉම්රාන් ඛාන් ඉස්ලාමීය ලෝක නායකයන් දෝෂදර්ශයට ලක්කළේ ය. එමෙන් ම ඉම්රාන් ඛාන් බලයට පැමිණෙන මොහොතේ පෙන්වා දුන්නේ තුර්කියේ ඔටෝමොන් කලීෆතය කළ කාර්යභාරය දක්වා පකිස්තානය රැගෙන යන බවයි. ඔටොමෝන් කලීෆතය පැවැති සමය තුළ ලොව පුරා විසිරී ජීවත් වූ සුළු ජාතික මුස්ලිම්වරුන්ට පවා ආරක්ෂිත හැඟීමක් ඔටෝමෝන් කලිෆතය ලබා දීමට සමත් විය.

ඒ අනුව මෙරට කොරෝනා වසංගතය හේතුවෙන් මරණයට පත්වන මුස්ලිම්වරුන්ගේ දේහ අනිවාර්ය ආදාහනය රජය නවත්වනු ලැබුවේ ද ඉම්රාන් ඛාන්ගේ ඉල්ලීම නිසා ය. මෙලෙස ලොවපුරා මුස්ලිම්වරුන් තුළ පකිස්තානය පිළිබඳව ඇති වෙමින් තිබූ විශ්වාසය ඉම්රාන් ඛාන්ගේ ධූරය අහිමි වීමෙන් සුන්වී ගියේ ය. ඒ සුන්වී ගියේ පළමු ලෝක සංග්‍රාමයෙන් තුර්කි ඔටෝමෝන් කලිෆතය පරාජය වීමෙන් පසු ලෝක මුස්ලිම්වරුන්ට අහිමි වූ ආරක්ෂාව නැවත පකිස්තානයෙන් ලැබෙනු ඇතැයි යන බලාපොරොත්තුව ය.

Leave a Reply