ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් අගෝස්තු මස 31 වන විට ඇෆ්ගනිස්ථානයේ රඳවා සිටින සියලූම ඇමරිකානු හමුදා භටයන් ආපසු ගෙන්වා ගන්නා බව ප්‍රකාශ කළේ එම කාර්ය 1975 දී ඇමරිකානු තානාපති ඇතුළු කාර්ය මණ්ඩලය සයිගොන් නගරයේ වියට්කොං භටයන් වටලා සිටි තානාපති කාර්යාලයෙන් ගලවා ගත් ආකාරයට සම්පූර්ණයෙන්ම වෙනස් ගෞරවාන්විත ඉවත් කර ගැනීමක් බව තහවුරු කිරීමට ය. එදා සයිගොන් නගරයේ ඇමරිකානු තානාපති කාර්යාලයේ වහල මත සිටි තානාපති නිලධාරීන් ඉවත් කර ගත් ආකාරය ඇමරිකානු ආධිපත්‍යයට නො මැකෙන කළු පල්ලමකි. ඉන් පසුවත් විදේශ රටවල හමුදා මැදිහත්වීම් සිදු කළ ද නැවතත් එවැනි තත්වයක් ඇති නො වීමට වගබලා ගැනීම ඇමරිකානු ජනාධිපතිවරුන්ගේ එකම අපේක්ෂාව විය.
එහෙත් ඉතිහාසය නැවත සිදු වූයේ වඩාත් ඛේදජනක ආකාරයෙනි. නැතිනම් හාස්‍යජනක සිද්ධියක් මෙනි. දශක දෙකකට වැඩි කාලයක් ඇෆ්ගනිස්ථානයේ ඇමරිකානු සහ නේටෝ රටවල හමුදා බලයේ මූලස්ථානය වූ බග්රාම් ගුවන් කඳවුරෙන් ඇමරිකානු හමුදා භටයින් ඉවත්ව ගියේ පැදුරටත් නොකියා ය. ඇමරිකානුවන්ගෙන් ගුවන් කඳවුර භාර ගැනීමට නියමිත ව සිටි ඇෆගන් හමුදා නිලධාරීන්, ඇමරිකානුවන් ඉවත්ව ගිය බව දැන ගත්තේ ඔවුන් පිටත්ව ගොස් පැය දෙකකට පසුවය. නිල භාර දීමකට හෝ ඉස්පාසුවක් තිබුණේ නැත. ඇමරිකානු මුදල් සහ හමුදා බලයෙන් ජනාධිපති තනතුරේ සිටි අෂ්රාප් ගානි ද රටින් පිටව ගියේ ඒ ආකාරයෙනි. අවසානයේ දී දින හතරක් වැනි කාලයක් ඇතුළත තලෙබාන් සටන් කරුවන්ට අභියෝගයක් නැතිව ම කාබුල් නගරයේ ජනාධිපති මන්දිරයට පිවිසිය හැකි විය.
නිව්යෝර්ක් නගරයේ ජගත් වෙළඳ මධ්‍යස්ථානයට 2001 සැප්තැම්බර් මස 11 ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසුව ඊට වගකිව යුතු සංවිධානය ලෙස ඇමරිකාව නම් කළ අල් කයිඩා සහ එහි නායකත්වය විනාශ කිරීමට ඔක්තෝබර් මස ඇෆ්ගනිස්ථානයට ගුවන් ප්‍රහාර එල්ල කළේ ත්රස්තවාදයට එරෙහි යුද්ධයක් දියත් කිරීමට ය. පසුව එය නිදහස තහවුරු කිරීමේ මෙහෙයුමක් සේ නම් කෙරිණ. 2011 මැයි මස 02 දින අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් ඇමරිකානු විශේෂ භට කණ්ඩායමක් විසින් පාකිස්ථානයේ ඇබොටාබාද් හමුදා කඳවුර අසල ස්ථානයක දී මරාදැමු බව ප්‍රකාශ කළත් යුද්ධය අවසන් වුයේ නැත. ඉන් පසුව තවත් දශකයක කාලයක් ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්ථානයේ කඳවුරු බැඳ සිටියේ ප්රජාතන්ත්රවාදය සහ කාන්තා අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා යැයි ප්‍රකාශ විය. එහෙත් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස හංවඩු ගසා සිටින තලෙබාන් සමග ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් කටාර්හි දී සාකච්ඡා ඇරඹුවේ නිමාවක් දැකිය නොහැකි යුද්ධය කෙසේ හෝ අවසන් කිරීමේ අරමුණෙනි.
ඇමරිකානු දේශපාලන විචාරකයන් විසින් ම පෙන්වා දෙන ආකාරයට ජනාධිපතිවරුන් හතර දෙනකුගේ නිල කාල සීමා තිස්සේ දිග්ගැසුණු මෙම යුද්ධයෙන් ඇමරිකාවට අභාග්‍ය සම්පන්න ලෙස ඉවත්වීමට සිදු වූයේ පැහැදිලි උපාය මාර්ගයක් නොතිබිම නිසා ය. ත්රස්තවාදයට එරෙහි යුද්ධය නිදහස තහවුරු කිරීමේ මෙහෙයුමක් සේ නම් කළ ද සැබෑ අවශ්‍යතාවය වූයේ මධ්‍යම ආසියාවේ නාභිය මෙන් වූ ඇෆ්ගනිස්ථානයේ තමන්ට හිතවත් පාලනයන් ස්ථාපිත කිරීම ය. ඇමරිකා එක්සත් ජනපදය ඇෆ්ගනිස්ථානයේ දේශපාලනයට වඩාත් උනන්දුවෙන් මැදිහත් වූයේ 1978 දී ජිමි කාටර් පාලන සමයේ ය. ඇෆ්ගනිස්ථානයේ පැවති රාජාණ්ඩුව පෙරළා දමා බලය අත් කර ගත් නජිබුල්ලාගේ සහායට සෝවියට් හමුදාව පිවිසීමත් සමග ඇමරිකානු මැදිහත් වීම සීතල යුද්ධයේ ම කොටසක් විය. සෝවියට් දේශයේ අභ්‍යන්තරයේ හටගත් දේශපාලන සහ ආර්ථික අර්බුද නිසා 1989 දී සෝවියට් හමුදාව ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් කර ගන්නා ලදී. එහෙත් නජිබුල්ලාගේ පාලනය බිඳවැටුණේ 1996 දී රුසියානු ආධාර නතරවීමත් සමග ය.
ඇමරිකා එක්සත් ජනපදයේ සී අයි ඒ සංවිධානයේ මග පෙන්වීම සහ ආධාර ඇතිව පිහිටුවන ලද මූලධර්මවාදී තලෙබාන් පාලනය ඇමරිකානු උපාය මාර්ගික අවශ්‍යතාවයන්ට ගැළපෙන නමුත් ඒ සමගම තවත් ඇමරිකානු හිතවතෙකු වූ බින් ලාඩන් ගේ අන්තවාදි වැඩ සටහන සමග ගැටුම් මතු විය. 9/11 යනුවෙන් හැඳින්වෙන නිව්යෝර්ක් ජගත් වෙළඳ මධ්‍යස්ථානයට ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් ඇමරිකාවට අවශ්‍ය කරන පුද්ගලයෙකු වූ බින් ලාඩන්ට රැකවරණය දීම තලෙබාන් සහ ඇමරිකාව අතර පැවති සම්බන්ධතාවය පුපුරා යෑමට තවත් හේතුවක් විය. ඉස්ලාම් මූලධර්මවාදය ශක්තිමත්වීම මැද පෙරදිග තම වුවමනාවන්ට හානිකර බව ඇමරිකාවට පැහැදිලි විය. තමන්ගේම සහාය ඇතිව කාබුල් නගරයේ බලය අත්පත් කර ගත් තලෙබාන් සංවිධානය විනාශ කොට තමන්ට හිතවත් වෙනත් පාලනයක් ස්ථාපිත කිරීම ඇමරිකාවේ දීර්ඝ කාලීන ආර්ථික සහ හමුදාමය වුවමනාවන්ට ගැලපෙන්නකි. තලෙබාන් පාලනය පෙරළා දමා බින් ලාඩන් මරා දැමීමෙන් පසුව ද ඇමරිකාව ඇෆ්ගනිස්ථානයේ කඳවුරු බැඳ රැුඳී සිටියේ ඒ අරමුණ උදෙසාය. ඇමරිකාව ඇෆ්ගනිස්ථානයෙන් පසුබැසීම සන්දර්භ ගත කළ යුත්තේ මෙවැනි පදනමක ය.
තලෙබාන් කණ්ඩායම 1996 සිට 2001 දී ඇමරිකානු ප්‍රහාරවලින් පසු බසින තෙක් කාබුල් නගරයේ පාලනය හිමි කර ගෙන සිටිය නමුත් ඔවුන්ගේ පදනම වූයේ පෂ්ටුන් වාර්ගික ප්‍රදේශ පමණි. තජික් සහ උස්බෙක් ජන කොටස් අඩු වැඩි වශයෙන් පාලනය වූයේ ප්‍රාදේශීය හමුදා කණ්ඩායම් යටතේය. අවසානයේ දී මෙම හමුදා නායකයෝ තලෙබාන් පාලනයට එරෙහිව උතුරු සන්ධානයක් පිහිටුවා ගත්හ. ඇමරිකානු ආක්රමණයේ දී ඔවුන්ගේ සහාය ආක්රමණික හමුදාවට ලැබිණ.
තලෙබාන් කණ්ඩායම කාබුල් නගරයෙන් සහ සෙසු ප්‍රදේශවලින් පලවා හැර බලය තහවුරු කර ගත් නමුත් ශක්තිමත් මධ්‍යගත පාලනයක් ඇති කිරීමට ප්‍රාදේශීය හමුදා නායකයන් දුර්වල කොට ශක්තිමත් ජාතික නායකත්වයක් බිහි කිරීම සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුළින් මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීමට ඇමරිකාව මුල් වූයේය. නමුත් තලෙබාන් මතවාදය මෙන්ම ප්‍රදේශීය හමුදා නායකයන් දුර්වල කිරීමට එය ප්‍රමාණවත් වූයේ නැත. ව්‍යවස්ථාදායකයක් සහිත ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් හඳුන්වා දුන් නමුත් ප්‍රාදේශීය හමුදා නායකයන්ගේ බලය දුර්වල වූයේ නැත. එමනිසා ඇමරිකාවට තමන් හඳුන්වා දුන් පාලනය පවත්වා ගැනීමට හමුදා ශක්තිය පවත්වා ගනිමින් ආර්ථික ආධාර දිගටම ලබා දීමට සිදු විය. එක අවස්ථාවක ලක්ෂයකට අධික ඇමරිකානු භට පිරිසක් ඇෆ්ගනිස්තානයට යවා ඇත. තලෙබාන් ප්‍රහාරවලින් 2001-2021 අතර කාලය තුළ මිය ගිය ඇමරිකානු භටයන්ගේ සංඛ්‍යාව 2300කි.
ඇමරිකානු සහ මිත්‍ර රටවල හමුදා රට පුරා ස්ථාන ගත කිරීම නිසා ඔවුහු තලෙබාන් සටන්කරුවන් සැඟව සිට එල්ල කරන ප්‍රහාරවලට ඉලක්ක වූහ. ප්‍රහාරවලින් මිය යන හමුදා භටයන්ගේ සිරුරු සහ තුවාලකරුවන් ආපසු ඇමරිකාවට ගෙන යෑම ප්‍රබල මහජන මතයකට හේතු වන නිසා යුද්ධයෙන් සිදු වන ජීවිත හානි අවම කර ගැනීමේ අවශ්‍යතාවයක් ද තිබිණ. මේ නිසා හමුදා භටයන්ගේ ආරක්ෂාව සඳහා විශාල වියදමක් දැරීමට සිදු විය. එක් වාර්තාවක සඳහන් වන ආකාරයට 2013 වසරේ දී ඇෆ්ගනිස්ථානයේ රඳවා සිටින එක ඇමරිකානු හමුදා භටයෙකු වෙනුවෙන් දළ වශයෙන් ඩොලර් දශ ලක්ෂ දෙකකට ආසන්න මුදලක් වැය කිරීමට සිදු විය. ජනාධිපති බයිඩන් සඳහන් කළ ආකාරයට දශක දෙකක් කාලය සඳහා ඇමරිකාව ඇෆ්ගනිස්ථානයේ යුද්ධය වෙනුවෙන් ඩොලර් ට්‍රිලියනයක් වැය කර ඇත.
ඇමරිකානු විචාරකයන් සඳහන් කරන ආකාරයට ඇමරිකාව ඇෆ්ගනිස්ථානයේ නව පාලනය ස්ථාපිත කොට යටිතල පහසුකම් නගා සිටුවීමට දෙවන ලෝක යුද්ධයෙන් පසුව විනාශ වී ගිය යුරෝපය ප්‍රතිස්ථාපනය කිරීමට මාර්ෂල් සැලැස්ම යටතේ වියදම් කළ මුදලටත් වඩා ඩොලර් බිලියන 143ක් වැය කෙළේය. ඇමරිකාවේ සහ මිත්‍ර රටවල හමුදා ඉවත් කර ගැනීමෙන් පසු රටේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ලක්ෂ තුනක හමුදාවක් පුහුණු කිරීම ද මෙම වැඩ සටහනට අයත් ය. පුහුණුවට අමතරව නවීන තම අවි ආයුධ ද ඔවුන්ට ලබා දුන්නේය. එහෙත් ගණන් බලා ඇති ආකාරයට 50,000ක් පමණ වන තලෙබාන් සටන්කරුවන්ට මුහුණ දීමට ඔවුන්ට හැකියාවක් තිබුණේ නැත. ඇත්තෙන්ම හැකියාවට වඩා ඕනෑ කමක් තිබුණේ නැත. කාබුල් නගරය ආරක්ෂා කිරීමට කිසිම උත්සාහයක් නොගත් අතර ප්‍රාදේශීය නගර බොහොමයක් තලෙබාන් සටන්කරුවන් අත්පත් කර ගත්තේ සටනකින් තොරවය. ප්‍රහාරය ආරම්භයේ දී තලෙබාන් සටන්කරුවන් සමග සටන් කිරීම වෙනුව ඇප්ගන් හමුදා කණ්ඩායමක් සිය ගිනි අවි සමග තජිකිස්ථානයට පලා ගියහ. ඇමරිකානුවන් පුරුදු පුහුණු කළ හමුදාවෙන් තමාට ආරක්ෂාවක් නැති බව දැන ගත ජනාධිපති අෂ්රොප් ගානි ද හෙලිකොප්ටරයකින් උස්බෙකිස්ථානයට පලා ගියේ කිසිවෙකුටත් නොදන්වා ය.
- රටේ අනාගතය තීරණය වන දේශපාලන හැරවුම් ලක්ෂ්‍යය කොතැන ද? - November 19, 2024
- සමාජ පෙරළිය හිසරදයට කොට්ට මාරු කිරීමක් නොවිය යුතුය.. - November 4, 2024
- කැනඩා ඉන්දියානු තානාපති අර්බූදය ලෝක ආධිපත්‍යය සඳහා කරන අරගලයේම කොටසක්.. - October 24, 2024