තනතුර හැර දා රටින් පලා ගිය ගෝඨාභය රාජපක්ෂ වැඩ බලන ජනාධිපති තනතුරට නම් කළ රනිල් වික‍්‍රමසිංහ පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් අනුප්‍රාප්තික ජනාධිපති තනතුරට පත් වුව ද ඔහුත් ඉවත්ව යන තෙක් තම අරගලය නොනවත්වාම ඉදිරියට ගෙන යන බවට ගාලු මුවදොර අරගලකරුවෝ සපථ කරති. මාස ගණනාවක් තිස්සේ ගෝඨාභය රාජපක්ෂ සහ රාජපක්ෂ පාලනය ඉවත් කිරීමේ අප්‍රතිහත අරගලයක යෙදී සිටින ඔවුන්ගේ ධෛර්යත් කැපවීමත් සැබැවින්ම අගය කළ යුතුය. ඔවුන්ගේ එම අරගලයෙන් අරමුණු කර ගත්තේ සැතපුම් ගණන් දිගට දික් වූ ඉන්ධන පෝලිම්වලින් සංකේතවත් කළ අදූරදර්ශී අකාර්යක්ෂම පාලනය වෙනස් කොට ජනමතයට හිස නමන ජනතාවාදී පාලනයක් ඇති කරන ක්‍රමයකි. නැතිනම් සිස්ටම් චේන්ජ් එකකි.
ලංකා ඉතිහාසයේ කිසි දිනක නොවු ආකාරයට වසර දෙක හමාරක නිල කාලය යාන්තමින් නිම කළ විධායක ජනාධිපතිවරයෙකු රටින් ද පලා යෑමට සැලැස් වූ සාමකාමී අරගලයකට නායකත්වය දීමට ඔවුන් සමත් වුවද ක්‍රමයේ වෙනසක් සිදු වූයේ නැත. ලංකාවේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අනුප්‍රාප්තික ජනාධිපති තේරීමේ බලය හිමි වන්නේ පාර්ලිමේන්තුවට නිසා එහි බහුතරය පොහොට්ටුව සතුව පවතින තාක් අනුප්‍රාප්තික ජනාධිපති පත් වන්නේ ඔවුන්ගේ කැමැත්තෙනි. එම කැමැත්ත කුමන ආකාරයෙන් ලබා ගන්නේ ද යන්න මෙහි දී වැදගත් නොවේ. පාර්ලිමේන්තුවේ බලය පොහොට්ටුවට පවතින තාක් රනිල් ඉවත් වුවද නැවත බලයට පැමිණෙන්නේ පොහොට්ටුවේ කැමැත්ත ඇති කෙනෙකි. එම නිසා ගෝටා ගෝ හෝම් වෙනුවට රනිල් ගෝ හෝම් සටන් පාඨය ආදේශ කිරීම ප්‍රමාණවත් නොවේ. විය යුත්තේ ක්‍රමයේ වෙනසකි.
ඇත්තෙන්ම ගෝඨා ගෝ හොම් සටන් පාඨයෙන් අදහස් වූයේ ගෝටා ඉවත් කිරීම පමණක් නොව දූෂිත පාලන ක්‍රමයේ වෙනසකි. පගාව දූෂණය නැති කොට ජනතාවගෙන් කොල්ල කෑ සම්පත් ආපසු ලබා ගැනීමකි. එහෙත් අරගලය ඉදිරියට යන විට ජනප්‍රිය වූ සටන් පාඨවලින් කියවුනේ රාජපක්ෂ පාලනය ඉවත් කිරීමය. ඇත්තෙන්ම එය විය යුතු දෙයක් වුවද එය අරගලයේ කොටසක් පමණි. ජනාධිපති කාර්යාලය සහ ජනාධිපති මන්දිරය අත්පත් කර ගැනීමෙන් රාජපක්ෂ පාලනය තුරන් වුවද ක්‍රමයේ වෙනසක් සිදු නොවන බව තේරුම් ගැනීමට අරගලකරුවෝ සමත් නොවුහ. ගෝඨා ගෝ හෝම් වෙනුවට රනිල් ගෝ හෝම් සටන් පාඨය ඉදිරිපත් ව ඇත්තේ එම නිසා ය.
නිදහස ලබා හැත්තෑ හතර වසරක් ගත වූ ආර්ථිකය බංකොළාත් වී ජනතාවට යන එන මං නැති වූ තත්වයක් ඇති වූ විට වෙනස් විය යුත්තේ පුද්ගලයන් පමණක් නොවේ. ඔවුන් නායකත්වය දුන් සහ ඔවුන්ට නායකත්වයට පැමිණීමට අවකාශයක් වූ ක්‍රමය ද වෙනස් විය යුතුය. පවතින ක්‍රමය යටතේ මහජන නියෝජිතයන් ලෙස තේරී පත්වන්නේ ස්ත‍්‍රී පුරුෂ විශේෂතාවයක් නැතිව එකම කුලකයකට අයත් පුද්ගලයන් ය. මහජන කැමැත්ත දිනා ගැනීමට අසීමිතව මුදල් වියදම් කර ලබා ගන්නා තනතුරු ඔවුන් යොදා ගන්නේ ආයෝජනයක් සේය. එම ධුරයට හිමි සියලු වරප්‍රසාද එහි ප‍්‍රතිලාභයන් ය. එය පුද්ගලයා හෝ වයස් අනුව වෙනස් නොවේ.
මෙම මහජන නියෝජිතයන් ද දූෂණ හා වංචාවලට විරුද්ධව හඬ නගන්නේ ඒවා සිදුවීම වැළැක්වීමට හෝ එවැනි වැරදි කරන පුද්ගලයන් නීතිය ඉදිරියට පමුණුවා යුක්තිය ඉටු කිරීමට නොව තම වෘත්තීයමය කාර්යක් සේය. මෙම කාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි පසුගිය දිනක සිත් ගන්නා ආකාරයෙන් ඉදිරිපත් කෙළේය. සෝභිත හිමි දැක් වූ ආකාරයට පසුගිය පාර්ලිමේන්තුවේ දී මහ බැංකුවේ බැඳුම්කර වංචාව පිළිබඳ ව එවකට විපක්ෂයේ සිටි දිනේෂ් ගුණවර්ධන ඉතාමත් ආවේගශීලී ව කරුණු ඉදිරිපත් කෙළේ පාර්ලිමේන්තු සභා ගර්භය දෙදරා යන තරම් උස් හඬිනි. එය ඔහුටත්, ඔහු දැක් වූ ආකාරයට රටටත් දරා ගත නොහැකි වහාම දඬුවම් කළ යුතු අපරාධයකි. එහි ප්‍රධාන චූදිතයා එවකට අගමැති වූ රනිල් වික‍්‍රමසිංහ ය. දිනේෂ් ගුණවර්ධන නියෝජනය කළ කණ්ඩායම බලයට පත් වහාම වැරදිකරුවන්ට දඬුවම් දෙන බව පැවසුවේ ද එවැනි ම උච්ච ස්වරයෙනි. එහෙත් බලයට පත් වු විට බැඳුම්කරය ගැන කතාවක් හෝ නැත. උත්ප‍්‍රාසය වන්නේ බැඳුම්කර සිද්ධිය ගැන ප්‍රධාන චෝදනාව එල්ල වූ රනිල් වික‍්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපති තරතුරට සුදුසු යැයි දිනේෂ් ගුණවර්ධන ම යෝජනා කිරීම ය. බැඳුම්කර හොරා යැයි ඔහු හැඳින් වූ පුද්ගලයා ජනාධිපති තනතුරට සුදුසු ය. ව්‍යංගයෙන් එය වරදක් නොවේ යන්නය.
ඒ දශක ගණනාවක් පාර්ලිමේන්තුවේ සිටි මංත‍්‍රීවරයෙකි. නවක තරුණ මංත‍්‍රීවරුන් එසේ නොවන බවට ද සමාජයේ පිළිගැනීමක් තිබිණ. දූෂිත දේශපාලනය නිවැරදි කිරීමට තරුණයන් දේශපාලනයට එක්විය යුතුයැයි ද ඉල්ලීමක් තිබිණ.
මනුෂ නානායක්කාර සහ හරේන් ප‍්‍රනාන්දු එවැනි තරුණ මංත‍්‍රී දෙපොළකි. මීට මාස කීපයකට පෙර ඔවුන් දෙදෙනාම ගෝඨාභය රාජපක්ෂ පාලනය දැඩි සේ විවේචනය කළහ. ගෝටා ෆේල්, සර් ෆේල් ඔවුන් දෙදෙනාම පාර්ලිමේන්තුවේ දී නිතර නැගූ හඬ ය. පාස්කු ප‍්‍රහාරය යටපත් කිරීම ගැන ක්‍රිස්තියානි ආගමිකයෙකු වූ හරේන් ප‍්‍රනාන්දු දෙවියන්ගේ නාමයෙන් ගෝඨාභය රාජපක්ෂට සහ ආණ්ඩුවට චෝදනා කෙළේය. ගෝඨාභය රාජපක්ෂ විසින් රනිල් අගමැති තනතුරට පත් කළ විට මේ දෙදෙනාම දූෂිත පුද්ගලයෙකු සේ හැඳින් වූ ගෝඨාභය රාජපක්ෂ අතින් ඇමති තනතුරු භාර ගැනීමට පැකිළුණේ නැත.
මෙම ස්වභාවය එම චරිතවල පවතින දුර්වලතාවයක් පමණක් නොවේ. පවතින ක්‍රමය තුළින් හොඳ පුද්ගලයන් පවා යොමු කරන්නේ එවැනි තැනකට ය. එම නිසා වහාම පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා දූෂණො, වංචා දැඩිව විවේචනය කරන වෙනත් පිරිසක් පත් කිරීමෙන් ක්‍රමයේ වෙනසක් වන්නේ නැත. ජනප්‍රිය කියමනක් වූ අලුත් බෝතලකට දැමූ පැරණි වයින් ය.
එවැනි තත්වයක් යටතේ දූෂිත පුද්ගලයන් සහ දූෂිත දේශපාලනය වෙනස් කළ හැකි වන්නේ සමාජයේ මහජන පිබිදීමක් ඇති වුවහොත් පමණ ය. පසුගිය නමවැනිදා කෝටි සංඛ්‍යාත ජනතාවක් කොළඹට එක් වූයේ එවැනි පිබිදීමකිනි. එහෙත් ඉන් සිදු වූයේ දූෂිත තවත් පුද්ගලයෙකු තනතුරෙන් සහ රටෙන් පලවා හැරීම පමණි. එය ප්‍රමාණවත් නැති බව අසාර්ථක පුද්ගලයෙකු වන සහ දිනේෂ් ගුණවර්ධන විසින් ප්‍රකාශ කළ ආකාරයට දූෂිත අතීතයක් ඇති රනිල් වික‍්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවීමෙන් පෙනේ. එමනිසා ගාලු මුවදොර අරගලකරුවන්ගේ සහ වෙනසක් අපේක්ෂා කරන සුවහසක් ජනතාවගේ අරමුණු සාර්ථක කර ගැනීමට උපාය උපක්‍රමවල වෙනසක් සිදු විය යුතුය. වෙනසක් සිදු කිරීමට ගාලු මුවදොර විරෝධතා දැක්වීම ආශ්වාදයක් වුවද ප්‍රමාණවත් නැත. ගාලු මුවදොර විරෝධතා සංකේතාත්මකව වැදගත් වුවද වෙනසක් ඇති කිරීමට ප්‍රමාණවත් නොවන බව පැහැදිලි ය.
පවතින ක්‍රමය අතිශයෙන් දූෂිත බවත් ඉන් මිදී සැබැවින් ම සෞභාග්‍යය අත්පත් කර ගත හැකි වන්නේ ජනතාව වඩාත් නිර්මාණශීලී ව දේශපාලනයට එක්වීමෙන් බවත් තහවුරු කළ යුතුය. මෙය පෙර කවදාටත් වඩා අද පහසු කටයුත්තක් වන්නේ ජනතාවට ජීවිතය පවත්වා ගත නොහැකි තරමට ජීවන බර පැටවී ඇති නිසා ය. ඉන්ධන හිඟය, ආහාර නොමැතිවීම රෝහල්වල ඖෂධ නොමැතිකම දිනපතාම ජනතාව අත්විඳිති. එම අසීමිත බර ජනතාව මත පැටවී ඇත්තේ දූෂිත දේශපාලනය නිසා බවද දැන් හොඳින් පැහැදිලි ය. දූෂිත දේශපාලකයන් සංවර්ධනය සහ සෞභාග්‍යය වැනි පැණි තැවරු වදන්වලින් රටේ සම්පත් සූරා කෑමට දේශීය සහ විදේශීය ජාවාරම්කරුවන්ට ඉඩ සලසා ඇති බවද අමුතුවෙන් කිව යුතු නොවේ. ගෝටා ගෝ හෝම් වැනි සටන් පාඨ ඔස්සේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අවදි වූයේ එම නිසා ය.
එම දැනුම අවබෝධයක් බවට පත් කිරීම සහ නිවැරදි කිරීමේ ක්‍රියා මාර්ගයක් බවට පත් කිරීමේ අභියෝගය ජය ගැනීමට ඇත. එය අභියෝගයන් වන්නේ සෑම දේශපාලන පක්ෂයක්ම සහ එකතුවක්ම තමන් නිවැරදියැයි අවංකවම විශ්වාස කරන ප‍්‍රතිපත්ති ක්‍රියා මාර්ග අපමණ ඉදිරිපත් කළ ද ක්‍රියාවෙන් වෙනකක් කර ඇති නිසා සැබැවින්ම නිවැරදි කුමක් දැයි තෝරා ගැනීම අපහසු නිසාය. ඇත්තෙන්ම එවැනි ආදර්ශයක් ඉතිහාසයෙන් හෝ ලබා ගත නොහැකි ය. සදා නිම කළ විසඳුම් සියල්ල අසාර්ථක බව ඉතිහාසයෙන් පෙන්නුම් කරයි.
එමනිසා අරගලය සැබැවින්ම ජයග‍්‍රහණය කළ හැකි වන්නේ මෙම අභියෝගය දිනා ගැනීමෙන් පමණි. මෙහිදී වැදගත් වන මූලික කරුණු කීපයක් අපට දැනටමත් හඳුනා ගත හැකිය. ඉන් මූලික වන්නේ විවිධත්වයට ගරු කරන අතරම එකමුතුව වැඩ කිරීම සඳහා සාකච්ඡාව සංවාදය තුළින් එකඟතා ඇති කර ගැනීමේ දේශපාලන සම්ප්‍රදායක් ගොඩ නැගීම ය. ගාලු මුවදොර අරගලකරුවන් තුළ මෙම සම්ප‍්‍රදාය ගොඩ නැගීමේ උත්සාහයක් තිබුණ ද අරගලයේ ඉලක්ක තෝරා ගැනීමේ පැවති සීමාවන් නිසා එය මුල් බැසගත් බවක් දකින්නට නැත. ගෝඨාභය රාජපක්ෂ පලවා හැරීමෙන් පසුව ගාලු මුවදොර අරගල භූමියේ පැවති මහජන රැස්වීමේ දී සමහර වෘත්තීය සමිති නායකයන්ට කතා කිරීමට ඉඩ නොදීම එම සම්ප්‍රදාය බිඳ දැමු එක් අවස්ථාවකි.
අරගලය ජයග්‍රහණය කරා ගෙන යෑමට විවිධත්වයට ගරු කරන ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡා සහ සංවාද තුළින් එකමුතුවක් ඇති කර ගැනීමේ සම්ප‍්‍රදාය වඩාත් ශක්තිමත් කොට ඊට ගැලපෙන සංවිධාන රටාවක් රට පුරා බිහි කිරීම අත්‍යවශ්‍ය සාධකයකි. එම සම්ප්‍රදාය ගාලු මුවදොරත් රටේ වෙනත් අරගල භූමිවලත් ජනතාව අතරත් සම්ප්‍රදාය බවට පත් කළ යුතුය. ගෝ හෝම් සටන් පාඨය සැබැවින් ම අර්ථවත් වන්නේ එවිට ය.
- රටේ අනාගතය තීරණය වන දේශපාලන හැරවුම් ලක්ෂ්‍යය කොතැන ද? - November 19, 2024
- සමාජ පෙරළිය හිසරදයට කොට්ට මාරු කිරීමක් නොවිය යුතුය.. - November 4, 2024
- කැනඩා ඉන්දියානු තානාපති අර්බූදය ලෝක ආධිපත්‍යය සඳහා කරන අරගලයේම කොටසක්.. - October 24, 2024