අනුප්‍රාප්තික ජනාධිපති තනතුරට පත්වීමත් සමග මුදල් ඇමතිකම ද පවරා ගත් රනිල් වික්‍රමසිංහ බංකොලොත් භාවයට පත් වූ ආර්ථිකය යළි නගා සිටුවීමේ පදනමක් යැයි හැඳින්වෙන අයවැය ලේඛනයක් පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙළේය. සුපුරුදු පරිදි සරුව පිත්තල වචනවලින් සැරසූ මෙම අයවැය ලේඛනය කලින් ඉදිරිපත් කළ අයවැය ලේඛනවලින් වෙනස් වන්නේ ඉලක්කම්වලින් පමණි. ඉදිරිපත් කළ කරුණු සහ යොමුව අනුව රට බංකොලොත් භාවයට පත් කළ ගමන් මග යෑම හැර මෙම දේශපාලකයන්ට වෙනත් මගක් නැති බව හොඳින් ම ඔප්පු කර ඇත.
රජයේ ආදායම එදිනෙදා වියදම් හෝ පියවා ගැනීමට නොහැකි තත්වයක් යටතේ අඩුම වශයෙන් අනවශ්‍ය වියදම් අඩු කර දරිද්‍රතාවයට පත් ජනතාව මත තවත් බදු බර පටවන්නේ නැතිව ආදායම් වැඩි කරන මගක් අයවැයෙන් ඉදිරිපත් කළ යුතුය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මග පෙන්වීම් අනුව සකස් කෙළේයැයි කියන අයවැය ලේඛනයෙන් රාජ්‍ය වියදම්වල අඩුවක් සිදුව නැත. නිදසුනක් වශයෙන් ආරක්ෂක වියදම් සිවිල් යුද්ධය තිබුණ සමයටත් වඩා වැඩි කර ඇත. ආරක්ෂාව සඳහා වෙන් කර ඇති මුදල රාජ්‍ය වියදමෙන් සියයට දහයක් වන අතර එය අධ්‍යාපනය සහ සෞඛ්‍යය යන අංශ දෙක සඳහා වෙන් කර ඇති මුදලටත් වඩා වැඩිය.
රාජ්‍ය සේවයේ සිටින සේවක සංඛ්‍යාව ආර්ථිකයට දරා ගත නොහැකි බරක් යැයි පවසන රනිල් වික්‍රමසිංහ ආරක්ෂාව සඳහා පෙර වසරටත් වඩා වැඩි මුදලක් වැය කිරීමට සැලසුම් කරන්නේ ඇයි? ආර්ථිකය කඩා වැටීමත් ජීවිතය පවත්වා ගත නොහැකි තරම් ජීවන වියදම ඉහළ යෑමත් නිසා නැගෙන ජනතා විරෝධය මැඩලීමට ආරක්ෂාව තර කර ගැනීම පාලකයන්ට අත්‍යවශ්‍ය කාරණයක් විය හැකිය. සිවිල් යුද සමයේ මෙන් නොව කඳුළු ගෑස් ජල ප්‍රහාරක යන්ත්‍ර සහ බැටන් පොළු වැඩි වැඩියෙන් අවශ්‍ය වනු ඇතැයි ගණන් බලන්නට ඇත. ආරක්ෂක අංශවලට ප්‍රාග්ධන වියදම් වශයෙන් රුපියල් බිලියන 50ක් වෙන් කර ඇත්තේ ඒ සඳහා විය හැකිය. අධ්‍යාපනය සහ සෞඛ්‍යයට වඩා වැදගත් වන්නේ තම ආණ්ඩුව පවත්වා ගැනීම නිසා මෙවැනි පියවරක් ගැනීම තේරුම් ගත හැකිය.
ජාතික ආරක්ෂාව යනුවෙන් අදහස් කරන්නේ රටේ ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාවය සුරක්ෂිත කිරීමට නම් හමුදාවේ භට සංඛ්‍යාව වැඩි කිරීමෙන් පමණක් එය කළ නොහැකි බව අවබෝධ කර ගත යුතුය. ඒ සඳහා නිසි උපාය මාර්ගයක් නොමැති පාලකයන් දකින්නේ සන්නද්ධ හමුදාවල සංඛ්‍යාව වැඩි කිරීමෙන් පමණක් ආරක්ෂාව තහවුරු කිරීමට ය. එහිදී ඔවුන්ට ලිබරල් ආර්ථික ක්‍රමය පවතින්නේ යැයි කියන රටවලින් හෝ ආදර්ශයක් ගැනීමට හැකියාවක් නැත. නිදසුනක් වශයෙන් කලක් හිරු නොබසින අධිරාජ්‍යය යනුවෙන් විරුදාවලී ලත් එක්සත් රාජධානියේ වත්මන් ජන සංඛ්‍යාව දශ ලක්ෂ 70ක් වන අතර එහි ආරක්ෂක අංශවල සාමාජික සංඛ්‍යාව 164,390කි. එහෙත් දශලක්ෂ 22ක ජන සංඛ්‍යාවක් සිටින ලංකාවේ ආරක්ෂක අංශවල සංඛ්‍යාව 255,000කි. තවදුරටත් ප්‍රංශයේ ආරක්ෂක අංශවල සංඛ්‍යාව 203,910කි. විදෙස් රටවලින් ලබා ගත් ණය සහ පොලී ගෙවා ගත නොහැකිව බංකොලොත් වූ අපට මේසා විශාල භට සංඛ්‍යාවක් අවශ්‍ය වන්නේ ඇයි?
අනෙක් සියල්ල අමතක කළ ද පැහැදිලි වන්නේ රනිල් වික්‍රමසිංහ ඇතුළත් වත්මන් පාලක නඩයට අලුතින් සිතීමේ හැකියාවක් නැති බවයි. රට අගාධයකට වැටී ඇති බව ඔවුන්ට පෙනෙන්නේ නම් කළ යුතුවන්නේ ආරක්ෂාව සඳහායැයි කියමින් මෙවැනි විශාල මුදලක් වෙන් කිරීම අඩු කිරීමට පියවර ගැනීම ය. එසේ ඉතුරු කර ගන්නා මුදල් ආර්ථිකය නගා සිටුවීමේ වැඩ පිළිවෙළකට යෙදවීම ය.
රටක අභ්‍යන්තර සාමය පවත්වා ගැනීමටත් ආර්ථිකය ශක්තිමත් කිරීමටත් අවශ්‍ය මූලික කොන්දේසියක් වන්නේ උගත් සෞඛ්‍ය සම්පන්න ජනතාවක් ඇති කිරීමය. සෞඛ්‍යය පවත්වා ගැනීමට ජනතාවගේ අධ්‍යපනය ඉහළ මට්ටමක පවත්වා ගත යුතු නිසා ප්‍රමුඛත්වය හිමි විය යුතු වන්නේ එම අංශවලට ය. රටක් ගොඩ නැගීමේ සැබෑ වුවමනාවක් තිබෙන්නේ නම් කළ යුත්තේ එයයි. ආසියානු කලාපයේ ශක්තිමත්ම ආර්ථිකයකට හිමිකම් කියන සිංගප්පූරුව වැනි රටවල් අනුගමනය කෙළේ එවැනි ක්‍රියා මාර්ගයකි. බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ගැනීමෙන් පසු මුල් වසරවල සිංගප්පූරුව සිය අයවැයෙන් සියයට 24ක් වෙන් කෙළේ අධ්‍යාපනය සඳහායි. ආර්ථික සංවර්ධනයට පදනම සකස් වූයේ ඒ ආකාරයෙනි. තවත් වසර කීපයකින් ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත් කරන්නේය යන කීම මුසාවාදයක් වන්නේ අධ්‍යාපනය වැනි ආර්ථිකයේ මර්මස්ථාන නොසලකා හැරීම නිසා ය.
මහා බුද්ධිමතෙකු යැයි ඉහළ පංතියේ අතලොස්සක් අතර පිළිගැනීමක් පවතින රනිල් වික්‍රමසිංහට බුද්ධියක් හෝ මතයක් නැති බවට තවත් නිදසුනක් ඔහුගේ අයවැය ලේඛනයෙන් ම දක්වා ඇත. රටේ අධ්‍යාපනයට වැය කරන මුදල අඩු කරන අතර දේශගුණ විපර්යාසය ගැන හැදෑරීමට සහ පර්යේෂණ කිරීමට අන්තර්ජාතික විශ්ව විද්‍යාලයක් පිහිටුවීමේ යෝජනාව ද එවැන්නකි. ඩෙංගු රෝගී තත්වයකැයි සැක කරන රෝගියෙකුගේ රුධිර සාම්පලයක් පරීක්ෂා කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීමට නොහැකි රෝහල් පද්ධතියක් පවත්වා ගෙන යන රටක දේශගුණ විපර්යාසය ගැන අධ්‍යයනය කිරීමට විශ්ව විද්‍යාලයක් පිහිටුවීමට සැලසුම් කරන අයගේ මානසික තත්වය පරීක්ෂා කිරීමට අඩුම වශයෙන් පෞද්ගලික රෝහල් පද්ධතියේ හෝ සහාය ලබා ගත යුතුය.
දේශගුණික විපර්යාසය පිළිබඳ විශ්ව විද්‍යාලයක් පිහිටුවීමට පෙර පවතින විශ්ව විද්‍යාලවල පවතින අඩුපාඩු සම්පූර්ණ කිරීමට පියවර ගන්නේ නම් එය අධ්‍යාපනයේත් රටේත් අභිවෘද්ධියට හේතු වන්නකි. අනිත් අතට කාලගුණ විපර්යාසය ගැන අධ්‍යයනය කිරීම ජාතික ප්‍රමුඛතාවය ලෙස දකින්නේනම් එවැනි පීඨයක්, පවතින විශ්ව විද්‍යාලයක පහසුවෙන් ඇති කළ හැකිය. එසේ නොකර අන්තර්ජාතික විශ්ව විද්‍යාලයක් පිහිටුවීමට යෝජනා කරන්නේ අන්තර්ජාතික ප්රජාවත් මෙම රටේ ජනතාවත් මුළා කිරීමට ය.
මෙවැනිම තවත් මුග්ධ යෝජනාවක් වන්නේ කුරුඳු වගව නගා සිටුවීම සඳහා කරන්දෙණියේ ඒ සඳහාම වූ දෙපාර්තමේන්තුවක් පිහිටුවීම ය. අනාදිමත් කාලයක සිට කුරුඳු වගාව කෙරෙන මෙම රටට අවශය වන්නේ තවත් දෙපාර්තමේන්තුවක් නොව වැඩ පිළිවෙළකි. දෙපාර්තමේන්තුවක් පිහිටුවීමට අදහස් කරන්නේ බටර් ගෑමේ කලාව ප්‍රගුණ කිරීමට ය.
රට ඉතිහාසයේ නොවුවිරු ප්‍රපාතයකට ඇද දැමු ආර්ථික සහ දේශපාලන වැඩ පිළිවෙළ වෙනස් කොට නව මගකට රට යොමු කිරීමට කැපවීමක් ඇතිනම් පළමුවෙන්ම කළ යුත්තේ මෙතෙක් අනුගමනය කළ අදූරදර්ශී ගමන් මග දෙස විවේචනාත්මතව ආපසු හැරී බැලීමය. රට මෙම අභාග්‍යයට වැටී ඇත්තේ මූලික වශයෙන්ම වංචාව, හොරකම සහ දූෂණය නිසා බව ගැඹුරු දේශපාලන හෝ ආර්ථික දැනුමක් නැතියෙකුට පවා තේරුම් ගත හැකි සරල කාරණයකි. පසුගිය සතියේ විගණකාධිපතිගේ 2021 වසරේ වාර්තාවක් පදනම් කර ගෙන ලංකාදීප පුවත් පතේ පළ වූ වාර්තාවක් අනුව ගිං ගඟ, නිල්වලා ගඟ, උමා ගඟ, තල්පිටිගල යන වාර්මාර්ග ව්‍යපාර හතර සඳහා වසර 14ක් තුළ රජයෙන් වැය කර ඇති මුදල කෝටි 9029කි. මෙම ව්‍යාපෘති හතරම නිම කර නොමැති නිසා යොදවා ඇති මුදලෙන් කිසිම ප්‍රයෝජනයක් අත්ව නැත. වෙනත් වචනයකින් කෝටි 9000කට වැඩි මුදලක් නාස්ති කිරීමකි.
ඒ විගණකාධිපති වාර්තා කර ඇති එන සිද්ධියක් පමණි. විගණකාධිපතිගේ වාර්ෂික වාර්තාව පරික්ෂා කරන්නේ නම් එවැනි සිද්ධීන් අපමණ සංඛ්‍යාවක් සොයා ගත හැකිය. දූෂණය සහ නාස්තිය අහම්බෙන් සිදු වන්නක් නොව ආණ්ඩුවේ සාමාන්‍ය ක්‍රියා පටිපාටියයි. මහින්ද රාජපක්ෂ සමයේ මත්තල ගුවන් තොටුපොළ, හම්බන්තොට වරාය නෙළුම් කුලුන වැනි ව්‍යාපෘති ඉදි කිරීම මුදල් නාස්තියට අමතරව රටම ණය කන්දකට යට කිරීමකි. මෙවැනි අකටයුතු ගැන පරික්ෂා නොකර නැවත එවැනි දේ සිදු නොකිරීමට අවශ්‍ය විධි විධාන යොදන්නේ නැතිව රට පෙරට ගෙන යෑමට කරන යෝජනා ජනතාව මුළා කිරීමටත් නොමග යැවීමටත් ගන්නා උත්සාහයකි.
ජාත්‍යන්තර වෙළඳාම සියයට සියයකින් වැඩි කිරීමට සහ ඩොලර් බිලියන තුනක සෘජු විදේශ ආයෝජන ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බව පැවසීම ද හුදු අපේක්ෂාවක්ම පමණක් වන බවට කිසිදු සැකයක් නැත. ජාත්‍යන්තර වෙළඳාම සියයට සියකින් වැඩි කිරීමටනම් අපනයන නිෂ්පාදනය ද එවැනිම අනුපාතයකින් වර්ධනය විය යුතුය. සියයට තිස් හතරක පොලී අනුපාතයක් සහ සියයට එකසිය පහළොවක උද්ධමන අනුපාතයක් ඇති රටක දේශීය වශයෙන් ආයෝජනය වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කිරීම දවල් සිහිනයකි. ඉහළ යන උද්ධමනය නිසා සැබැවින් ම සිදු වන්නේ සුළු සහ මධ්‍යම ප්‍රමාණයේ නිෂ්පාදකයන් සහ ව්‍යවසායකයන්ට තම ව්‍යාපාර පවත්වා ගත නොහැකිවීමය. එම ව්‍යාපාර වසා දැමීමෙන් රැකියා හිඟය තවත් තියුණු වනු ඇත. ව්‍යාපාර කඩා වැටීම හා විරැකියාව ඉහළ යෑම දේශීය හෝ විදේශීය ආයෝජකයන්ට කිසිම ආකාරයෙන් ආකර්ෂණයක් නොවේ. ආකර්ෂණයක් විය හැක්කේ ගංජා වවන්නන්ට සහ ජාවාරම්කරුවන්ට පමණි.
2023 අයවැයෙන් ප්‍රදර්ශනය වන්නේ රනිල් වික්‍රමසිංහගේ නොහැකියාව සහ ජනතාව නැවත වරක් මුළා කිරීමේ උත්සාහයකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ වෙනත් මූල්‍ය ආයතනවල අවශ්‍යතාවය ඉටු කරමින් දේශපාලන බලය කැටි කර ගැනීමේ උත්සාහයකි. එහෙත් රනිල් වික්‍රමසිංහ ප්රමුඛ පාලන නඩය අමතක කරන වැදගත්ම කාරණය වන්නේ ඔවුන්ගේ ප්‍රතිපත්තිමය දරිද්‍රතාවය සහ දේශපාලන නිරුවත සඟවා ගත නොහැකි තරමට හෙළිදරව් වීම ය. සොච්චම් සහනාධාර නමින් හැඳින්වෙන වේදනා නාශකවලින් ජනතාව සැනසිය නොහැකිය. ඒ අවධිය දැන් ආපසු හැරී බැලීමටත් නොහැකි ආකාරයට පසු කර ඇත. ජනතාවට ජීවිතයට වඩා මරණය සැනසීමක්ය යන්න පසක්වෙමින් පවතී. පාලකයන් එය තේරුම් ගන්නේ අහසේ ඉදි කර ඇති සිහින මාලිගා ඔවුන් හිස මත කඩා වැටුණ විට පමණි.
- හසරක් නැතිව අඳුරේ අත පත ගාන ජාතික ජන බලවේගය.. - December 18, 2024
- කබරගොයා තලගොයා කර ගන්නා ඇමරිකානු නීතිය පදනම් ජාත්‍යන්තර සමය.. - December 13, 2024
- නව පාලනයේ අභියෝගය ප්‍රතිකාර කිරීමට පෙර ලෙඩේ හඳුනා ගැනීමයි.. - December 4, 2024