දැනට මැදපෙරදිග දිගහැරමින් පවතින ඉරාන-ඊශ්‍රායල් හා ඇමරිකානු යුද්ධය හෙළා දකිමින් ගෝලීය යුක්තිය සදහා වූ ජනමාධ්‍යවේදීන් නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

ගෝලීය යුක්තිය සඳහා වූ ශ්‍රී ලංකා ජනමාධ්‍යවේදීන් ඉරානයේ න්‍යෂ්ටික වැඩ පිළිවෙළ පිළිබඳව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් විසඳුමක් සොයා ගැනීමට සාකච්ඡා පවත්වන අතර එක්සත් ජනපදය සහ ඊශ්‍රායෙලය විසින් ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා අලි කමේනි සාහසික ලෙස ඝාතනය කිරීම තරයේ හෙළා දකියි.
අයතොල්ලා අලි කමේනි ඉරානයේ ආගමික නායකයා පමණක් නොවේ. සයන්වාදී අධිරාජ්‍යවාදයට සහ ආධිපත්‍යයට එරෙහිව නොසැලී පෙනි සිටි ලෝක නායකයෙකි. එක්සත් ජාතීන්ගේ ප්රඥප්තිය සහ ශිෂ්ට ගති පැවතුම් කඩ කරමින් එල්ල කළ මෙම නිවට ප්‍රහාරය දැනට ගාසා කෙරෙන නීති විරෝධී යුද්ධයේම දිගුවකි. ප්‍රෞඪ ඉතිහාසයකට සහ ශිෂ්ටාචාරයකට උරුමකම් කියන රටක ගෞරවනීය නායකයා ඝාතනය කරන්නේ වෙනිසුවෙලාවේ ප්රජාතන්ත්රීයව තේරී පත් වූ නායකයා සහ ඔහුගේ බිරිඳ පැහැර ගෙන යෑමේ පසුබිමකය. වෙනිසුවෙලාවේ ස්වෛරීත්වය නොසලකා හැරීම සහ ඉරානයේ උත්තරීතර නායකයා ඝාතනය කිරීම ශක්තිය යුක්තියයැයි කියන මිලේච්ඡත්වය නැවත තහවුරු කිරීමකි. සිද්ධිය හෙළා දැකින හිස් වදන් වලට සීමා කිරීමේ අන්තර්ජාතික ප්‍රතිචාරයද පිළිකුල් සහගතය.
දුෂ්කර අසීරු අවස්ථාවලදී ශ්‍රී ලංකාවට යුදමය සහ ආර්ථික වශයෙන්ද රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන්ද සහාය ලබා දුන් රටක් වන ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා සහ ඔහුගේ පවුලේ ඥාතින් මෙන්ම ප්‍රාථමික පාසලක ශිෂ්‍යාවන් 100ක් ප්‍රහාරයේ පළමු දිනයේ දීම කුරිරු බෝම්බ ප්‍රහාරවලින් මරා දැමීම හෙළා දකින ලෙස අපි රජයෙන් උදක්ම ඉල්ලා සිටිමු.
අවසාන වශයෙන් සැබෑ සමාජවාදීන් සේ වහාම සාමය තහවුරු කරන ලෙසත් ගැටුමට එක්සත් ජාතින් ගේ යාන්ත්‍රණය තුළින් විසඳුම් සෙවිමටත් බල කරන සේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමු.
මහින්ද හත්තක අමින් ඉසදීන්
කැඳවුම්කරු කැදවුම්කරු
- අයතොල්ලා කමේනි ඝාතනය හෙළා දකිමු..! - March 4, 2026
- තවත් “සිංහලේ” යුගයක උදාවක්? - March 1, 2026
- තිරසාර විසඳුමතට පොදු එකඟතාවයක් අවශ්‍යයි.. - February 25, 2026