You are currently viewing අඳුරෙන් අඳුරට යන වැඩ පිළිවෙළට තිත තැබීමට කාලය යි

අඳුරෙන් අඳුරට යන වැඩ පිළිවෙළට තිත තැබීමට කාලය යි

බුලත් මඩිස්සලේට හෙණ ගැසුවා ම කිල්ලෝටේ ගැන මොන කතා දැයි කියමනක් ජන වහරේ ඇත. අද රාජ්‍යතන්ත‍්‍රයේ ඇති බිඳ වැටීම හමුවේ කාර්ය පටිපාටි ගැන කතා කිරීමත් එබඳු ය. එහෙත් සිදුව ඇති දේ සහ සිදුවන්නට යන දේ ගැන කිසියම් අදහසක් ඇති කර ගැනීමට සමස්ත චිත්‍රය මෙන්ම අංගෝපාංග ගැන විමසීම ද වැදගත් ය.

රටක මුදල් නෝට්ටුව ගනුදෙනු කිරීමේ සහ වටිනාකම් තීරණය කිරීමේ මාධ්‍යයකට අමතරව රටේ ආර්ථික ශක්තිය මෙන් ම ස්වෛරීත්වය පිළිබඳ දර්ශකයකි. ආර්ථික සහ දේශපාලන වශයෙන් ප්‍රබල රටක මුදල් නෝට්ටුව ද ප්‍රබල ය. එහි ප‍්‍රබලත්වය වන්නේ ලොව අනෙක් රටවල ඇති පිළිගැනීම ය. හිරු නොබසින අධිරාජ්‍යයක් ව පැවති සමයේ බ්‍රිතාන්‍යයේ රන් පවුමට ලොව පුරාම පැවති පිළිගැනීම ඊට හොඳ නිදසුනකි. එහි වටිනාකම සහ පිළිගැනීම රන්වලට සමානය. ඉංග්‍රී‍සියෙන් රන් පවුමට යෙදෙන Sovereign යන්නෙන් රන් පවුම යන්නට අමතරව ස්වෛරීත්වය ද යන්න අදහස් වේ. අද එක්සත් ජනපදයේ ඩොලරයට හිමිව ඇත්තේ ද එවැනි තැනකි. ස්පාඤ්ඤයේ රිදී ඩොලරයකට සමාන වටිනාකමකින් යුතුව 1792 දී පළමුවෙන් නිකුත් කළ ඩොලරය පසුව රන් ට්‍රෝයි අවුන්සයකට ඒකක 35කට සමාන මට්ටමකින් පවත්වා ගෙන එන ලදි. එහෙත් එක්සත් ජනපදයේ රන් සංචිත ඩොලරයට සමාන මට්ටමකින් පවත්වා ගෙන ඒමට නොහැකිවීම නිසා 1971 දී එම සීමාව ඉවත් කළ ද අන්තර්ජාතික වශයෙන් ඩොලරයට ඇති පිළිගැනීම බිඳ වැටුණේ නැත. ඊට මූලික හේතුව එක්සත් ජනපදයේ ආර්ථික ශක්තිය සහ දේශපාලන බලයයි. ලොව බොහෝ රටවල් තම විදේශ මුදල් සංචිත තවමත් පවත්වා ගන්නේ හුදු කඩදාසි කැබැල්ලක් පමණක් වන ඩොලරයෙනි.

2022Jan28[1]_dollar

ඉන් අදහස් වන්නේ රටක් ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක්වෙන වැදගත්ම සාධකයක් වන්නේ එහි මුදල් නෝට්ටුව යන්නයි. කලක් ජාත්‍යන්තර වශයෙන් කිසිම පිළිගැනීමක් නොතිබු චීනයේ යුවාන් මුදල් නෝට්ටුව අද හුවමාරු මුදල් ඒකකයක් ලෙස පිළිගැනීමට ලක් ව ඇත්තේ චීනයේ ආර්ථික ශක්තිය සහ දේශපාලන පිළිගැනීම නිසාය.

අනෙක් අතට කිසියම් රටක් ආර්ථික සහ දේශපාලන වශයෙන් දුර්වල වී අසමත් රාජ්‍යයක් බවට පත්වන්නේ නම් පළමුවෙන්ම එය පිළිබිඹු වන්නේ එහි මුදල් ඒකකයට ඇති පිළිගැනීම බිඳ වැටීමෙනි. ඇෆ්ගනිස්ථානය, ඇමරිකානු රැකවරණය යටතේ කිසියම් දේශපාලන ස්ථාවරත්වයක් පවත්වා ගත් සමයේ දී පවා එරට මුදල් නෝට්ටුවට රටතුළම පවා පිළිගැනීමක් තිබුණේ නැත. රටේ මුදල් ඒකකයට වඩා ඩොලරයෙන් ගනුදෙනු කිරීම වඩාත් සුරක්ෂිත විය. යේමනය සහ ලෙබනනය වැනි රටවල තත්වය ද එසේම ය.

රටක ආර්ථික ශක්තිය ප්‍රබල නොවුවත් දේශපාලන සුරක්ෂිත භාවය එනම් ස්වෛරීත්වය පිළිබඳ ගැඹුරු අදහසක් පවතින්නේ නම් ඒ රට තුළ විදේශ මුදල් ඒකකවලින් ගනුදෙනු කිරීමට ඉඩක් නැත. බොහෝ විට එවැනි ගනුදෙනුවලට නීත්‍යනුකූල පිළිගැනීමක් ද නැත. විදේශ මුදල්වලින් ගනුදෙනු කිරීම රටේ ස්වෛරීත්වය පහත් කොට සැලකීමක් වන නිසා ය.

මෙවැනි ආවර්ජනයකට හේතු වූයේ ආර්ථික පරිහානියට සහ විදෙස් සම්පත් හිඟයකට මුහුණ දී ඇති ලංකාව සංචාරක ක්ෂේත්‍රයේ ගනුදෙනු සඳහා විදෙස් මුදල් භාවිතයට ඉඩ දීමට තීරණය කිරීමත් සමග ය.  රට තුළට ගලා එන සෑම ඩොලරයක් ම හෝ වෙනත් ජාත්‍යන්තර මුදල් ඒකකයක් ම මහ බැංකුවට ලබා ගැනීමේ උත්සාහයක යෙදී සිටින අවස්ථාවක මෙවැනි නියෝගයක් නිකුත් කිරීම විදෙස් මුදල් සංචිත පවත්වා ගැනීමේ අවශ්‍යතාවය නිසා ගත් පියවරක් වශයෙන් තේරුම් ගත හැකි ය. රටට එන සංචාරකයන් අනිවාර්යයෙන් ම විදේශ මුදල් රැගෙන ඒමට බල කිරීමටත් විදේශවල දී ඔවුන්ට ලබා ගත හැකි රුපියල් මෙරට තුළ භාවිතය නතර කිරීමටත් මෙම පියවර ගැනීමේ අරමුණ විය හැකි ය.

එහෙත් ඉන් ගම්‍ය වන අනෙක් අදහස කුමක් ද?

අපේ රටේ මුදල් ඒකකයේ පිරිහීමයි. එපමණක් නොව රට තුළ විදෙස් රටක මුදල් ඒකකවලින් ගනුදෙනු කිරීමේ නීත්‍යනුකූල භාවය රජයෙන් ම පිළිගැනීමයි. සෞභාග්‍යය කරා යන ගමනේ දී අපේ මුදල් ඒකකය කුණු කූඩයට දමා රටේ ස්වෛරීත්ව සංකල්පය ඉන්දියන් සාගරයේ පා කර හැරීමකි. සංචාරක කර්මාන්තයේ නියැලී අය මෙම නියෝගය මහත් ආශ්වාදයකින් පිළිගෙන ඇත්තේ කඩා වැටෙන ආර්ථික තත්වයක් යටතේ හොඳම රැකවරණය විදෙස් මුදල් බව දන්නා නිසා ය. මහ බැංකුවේ මෙම නියෝගය එක අතකින් අතීසාරයට අමුඩ ගැසීමක් වන අතර තමන් ගේ අසමත් භාවය ලෝකයට ම ප්‍රකාශ කිරීමකි. නියාලු වීමකි.

ආර්ථිකය මෙන්ම රටේ පරිපාලන ව්‍යුහය ද කඩා බිඳ දැමීම රාජ්‍ය ප්‍රතිපත්තිය බව පැහැදිලි ය. යටත් විජිත සමයේ සිට පැවත ආ සම්මත ව්‍යුහයන් ඉවත දැමීමේ පිළිකුල් සහගත උත්සාහයක් පවතින බව ද තේරුම් ගත යුතු ය. නෙල්සන් මැන්ඩෙලාගෙන් පසුව දකුණු අප්‍රිකාවේ ද මෙවැනි ම තත්වයක් ඇති විය. එය විචාරකයන් හැඳින් වූයේ රජය ග්‍රහණයට (State Capture)  ගැනීමක් සේය. සුදු වර්ගවාදී පාලන සමයේ සිට පවත්වා ගෙන ආ පරිපාලන විධික්‍රම ඉවත දමා තමන්ගේ හිතවතුන්ට රාජ්‍ය ආදායම් ග්‍රහණය කර ගැනීමත් රජයේ සම්පත් කොල්ල කෑමට ඉඩ දීමත් ආණ්ඩුව ග්‍රහණයට ගැනීම යන්නෙන් අදහස් වේ. ඔවුන්ගේ පළමු ඉලක්කය වූයේ එරට ආදායම් බදු අංශය දුර්වල කිරීමය. ජාකොබ් සූමා සහ තාබෝ උම්බෙකි වැනි ජනාධිපතිවරුන් යටතේ දූෂණය සහ වංචාව ඉහ වහා ගියේ එවැනි තත්වයක් යටතේ ය.

2022Jan28[1]_ gst
මුදල් අමාත්‍යාංශය විසින් ඉදිරිපත්කර තිබෙන විශේෂ භාණ්ඩ හා සේවා බද්දට විරෝධය පළකරමින්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ රේගු දෙපාර්තමේන්තුව ඒකාබද්ධ විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

අපේ රටේ ද එවැනි ම උත්සාහයක් පවතින බව පෙනෙන්නේ බදු රැස් කිරීමේ කාර්ය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර භාණ්ඩාගාරය යටතට ගැනීමේ උත්සාහයෙනි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තනතුරට පත් වූ වහාම ඉවත් කළ වටිනාකම් මත අගය එකතු කිරීමේ බද්ද (වැට්) සහ උපයන විට ගෙවීමේ බද්ද (Paye) ඉවත් කිරීමෙන් රජයේ ආදායම් කඩා වැටීම නිසා නැවත ඒවා පැනවීමේ අවශ්‍යතාවය රාජපක්ෂ පාලනය පිළිගෙන ඇත. එහෙත් එම බදු රැස් කිරීම මෙතෙක් සිදු වූ ආකාරයට ආදායම් බදු දෙපාර්තමේන්තුවට හිමි වන්නේ නැත.

ආණ්ඩුව විසින් වරින් වර පනවන බදු රැස් කිරීමේ දී ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාවය ගැන විවිධ ගැටලු පවතින බව සැබවි. රජයේ විගණකාධිපති ගේ වාර්තාවලින් එය නිතර දක්වන කරුණකි. එවිට කළ යුතු වන්නේ එම වැරදි නිවැරදි කිරීමට පියවර ගැනීම සහ සිතාමතාම වැරදි කළ පුද්ගලයන්ට නිසි ක්‍රියා පටිපාටි තුළින් දඬුවම් කිරීම ය. ඒ වෙනුවට බදු රැස් කිරීමේ කාර්ය එම දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීම මෙම රජයට ප්‍රතිපත්තියක් නැති බව නැවත ප්‍රකාශ කිරීමකි. වංචා දූෂණ පිලිබඳව පවතින පිළිකුල් සහගත ඉතිහාසයෙන් පෙන්නුම් කරන්නේ වගකීම් වෙනස් කිරීම කිසි ආකාරයකින් විසඳුමක් නොවන බව ය. ඇමතිවරයා ඉවත් කිරීමත් සමග අමාත්‍යංශය ද අහෝසි කිරීම වැනිය.

ආදායම් බදු දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාවට හෝ වැරදිවලට විසඳුම් වන්නේ එම කාර්ය වෙනත් ආයතනයකට පවරා දීම නොව ඊට විසඳුම් ඉදිරිපත් කිරීම ය. එසේ නැතිව බදු රැස් කිරීම වඩාත් පහසුවෙන් දේශපාලන අවශ්‍යතාවය අනුව හැසිරවිය හැකි වෙනත් ආයතනයකට භාර දීමෙන් කියවෙන්නේ දකුණු අප්‍රිකාව අනුගමනය කිරීමකි. රාජ්‍ය සම්පත් කොල්ල කෑමට ඉඩ සැලසීමකි. මෙම දූෂණ පිළිබඳ තවත් දර්ශකයක් වන්නේ ට‍්‍රාන්ස්පෙයරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ දූෂණ සංජානනය පිළිබඳ අන්තර්ජාතික දර්ශකය යි. මෙම දර්ශකය අනුව ශ‍්‍රී ලංකාව 2020 දී රටවල් 180ක් අතරෙන් 94 වන ස්ථානය හිම කර ගත් අතර 2021 දී එය තවත් ඒකක දහයකින් 104 දක්වා පහත වැටී ඇත. එනම් ගෝඨාභය පාලනය යටතේ දූෂණ හා වංචා තවත් ඉහළ යෑම ය.

මෙවැනි පියවර වඩාත් භයානක වන්නේ ඒවා නිවැරදි කිරීමට ඊළඟට බලයට පැමිණෙන පාලකයන්ට ද වුවමනාවක් නැති වීම ය. නිදහසින් පසු බලයට පැමිණි කුමන වර්ණයකට අයත් හෝ ආණ්ඩු පෙන්නුම් කෙළේ කෙතරම් නොගැළපෙන සහ හානිකර වුවත් පෙර පැවති ආණ්ඩුව අනුගමනය කළ ප්‍රතිපත්තිය තම දේශපාලන වුවමනාවන්ට ගැලපෙන්නේ නම් පවත්වා ගැනීම ය.

ඊට හොඳම නිදසුන 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. ගැහැනියකු පිරිමියෙකු කිරීමට පමණක් නොහැකි සර්ව බලධාරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ප්‍රබුද්ධ ජන කොටස්වලින් නැගුණේ තදබල විරෝධයකි. පාර්ලිමේන්තුවේ බලතල සහ වගකීම් හෑල්ලුවට ලක් කළ විධායක ජනාධිපති ක්‍රමය සහ ඊට අනුකූලව වෙනස් කළ අනෙකුත් නීති රීති වෙනස් කිරීමට ජනතාවගෙන් ප්‍රබල ඉල්ලුමක් තිබිණ. පසුගිය ජනාධිපතිවරණයට පෙර පැවති සෑම ජනාධිපතිවරණ සහ පාර්ලිමේන්තු මැතිවරණවල දී විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කොට නැවතත් පාර්ලිමේන්තුව සහ කැබිනට් මණ්ඩලය බල ගැන්වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට යෑමට සියලූම දේශපාලන පක්ෂ අතර එකඟතාවයක් තිබිණ. 2015 ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය පවා ඊට එකඟ වූයේය. එහෙත් බලයට පත් වූ හැම විටම උත්සාහ ගත්තේ ඒවා අමතක කර දැමීටය. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිසියම් ඉදිරි පියවරක් වුවද එහි අරමුණු ව්‍යර්ථ කිරීමේ උත්සාහයක් දිගටම තිබිණ. 2018 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රණය එවැනි අවස්ථාවකි.

එමනිසා (තමන්ගේ ම) සෞභාග්‍යය හැර රටේ ආර්ථිකය සහ දේශපාලන පැවැත්ම අතිශය විනාශකාරී තැනකට තල්ලූ කරන පොහොට්ටු ආණ්ඩුවේ ප්‍රතිපත්ති ක්‍රියා මාර්ග බුද්ධිමත් විවේචනයකට ලක් කිරීම සහ නිවැරදි කාලානුරූපී මාර්ගයක් ගැන මහජන සංවාදයක් ගොඩ නැගීම ජාතික අවශ්‍යතාවයකි.

Leave a Reply