You are currently viewing අන්තෝ ජටා බහී ජටා උගුලක් බවට පත් වෙන ඡන්ද විමසීම්

අන්තෝ ජටා බහී ජටා උගුලක් බවට පත් වෙන ඡන්ද විමසීම්

පාර්ලිමේන්තුව තුළ ආණ්ඩු පක්ෂය විපක්ෂය වශයෙන් බෙදී කෑ කොස්සන් කා ගන්නා පාර්ලිමේන්තු මංත්‍රීවරු පසුගිය දා එක යෝජනාවක් ගැන පක්ෂ භේදයක් නැතිව එකඟ වූහ. ඒ රජයේ උසස් නිලධාරීන්ට ලබා දී ඇති ආකාරයට තීරු බදු සහන යටතේ ඔවුන්ට ද වාහන ගෙන්වීමට බලපත්‍ර ලබා දිය යුතුය යන ඉල්ලිමට ය. හැම දේ ගැනම ආණ්ඩුව හා විපක්ෂය වශයෙන් බෙදීම් පැවතිය ද මෙම පොදු කරුණේ දී ඒ සියල්ල අමතක කිරීම එක අත්තක සිටින කුරුල්ලන් සිහි කරවයි.

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඖෂධ ගෙන්වීමේ දී සිදු කෙළේයැයි කියන වංචා සහ දූෂණ පදනම්ව විපක්ෂයෙන් විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් වූ විට ඔහුගේ ආරක්ෂාවට ආණ්ඩු පක්ෂයේ සියලු මංත්‍රීවරු ඉදිරිපත් වූහ. එහෙත් ඔහු දූෂණ හෝ වංචා සිදු කර ඇති බවට පැහැදිලි සාක්ෂි ඇතැයි පිළිගත් අධිකරණය ගරු ඇමතිවරයා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තීරණය කෙළේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ විශ්වාස භංග යෝජනාව පරාජය කර වැඩි කලක් ගත වීමට පෙරය. එහිදි වැදගත් වූයේ යෝජනාව ඉදිරිපත් වූයේ කුමන පාර්ශ්වයෙන් ද යන්නයි. එහෙත් වාහන ආනයන බලපත්‍ර ලබා දීම සඳහා යෝජනාව ඉදිරිපත් වූ විට ඒ කුමන පාර්ශවයෙන් ද යන්න වැදගත් වූයේ නැත. ඒ එම යෝජනාව පාර්ලිමේන්තු මංත්‍රීන් සියලු දෙනාටම පල ප්‍රයෝජන අත්වන්නක් නිසාය.

ඇත්තෙන්ම වාහන ආනයනය සඳහා තීරු බදු සහන යටතේ බලපත්‍ර ලබා දීම ඒවා ලබන අයගේ ගමන් පහසුව සඳහාම නොවේ. සමහර අය වාහනයක් ආනයනය කිරීම පසෙක තබා බලපත්‍රය අමු අමුවේම විකුණා දමති. තවත් අය වාහනයක් ආනයනය කර වෙළඳ පොළ පවතින උපරිම මිලට විකුණා දමති. ඒ අනුව බොහෝ දෙනෙකුට මෙම වාහන ආනයන බලපත්‍රය තවත් අතිරේක ආදායම් මාර්ගයකි.

මෙවැනි පාලකයන්ගේ අදූරදර්ශී අමනෝඥ වැඩ නිසා රටම බංකොලොත්වී ආහාර ඖෂධ සහ ඉන්ධන වැනි අත්‍යවශ්‍ය දේ ආනයනය සඳහා විදේශ මුදල් නැති අවස්ථාවක ඒ ගැන කිඹුල් කඳුළු සලමින් මොවුන් තමන්ගේ ම අර්ථ සිද්ධිය සඳහාම කැපවීම ජනතාවට තවදුරටත් රහසක් නොවේ. පාර්ලිමේන්තුවේ 225 ම එපායැයි හඬ නගන්නේ එම නිසා ය. මෙම ව්‍යවස්ථා සම්පාදකයන්ට රටේ ආර්ථිකය වැදගත් වන්නේ වේදිකාවකට නැග ගත් පසුය. ප්‍රතිපත්ති තීරණයේ දී වැදගත් වන්නේ තම පසුම්බිය හෝ ඔවුන් ගේ බැංකු ගිනුම ය.

මේ ගැන හොඳම උදාහරණයක් වන්නේ පරිසර හිතකාමීව විදුලි බලය නිපදවීම ජාතික අවශ්‍යතාවයක්ව පැවතිය දී ඉන්දියාවේ අගමැති මෝදි ගේ හිතවක් ආයෝජකයෙකු වශයෙන් හැඳින්වෙන ගෞතම් අදානි සමග විදුලි බල මණ්ඩලය ඇති කර ගත් ගිවිසුමය. පාරිසරික බලපෑම් වාර්තා නොසලකා ඇති කර ගත් මෙම ගිවිසුම අනුව අදානි ගේ සමාගමක් මන්නාරම ප්‍රදේශයේ පිහිටුවන සූර්ය බලශක්ති ව්‍යාපෘතියෙන් මෙගාවොට් 250ක් නිෂ්පාදය කරනු ඇත. එහි නිපද වන විදුලි බලය මිලදී ගන්නේ ලංකා විදුලි බල මණ්ඩලයයි. ඒ ඒකකයක් ඇමරිකානු ඩොලර් ශත 8.26 කටය. ඒ සඳහා ඇති කර ගත් ගිවිසුම වසර 25ක් වලංගුය.

ගෞතම් අදානි

මෙහිදී පැන නගින ප්‍රශ්න දෙකක් ඇත. පළමු වැන්න සූර්ය බලශක්තිය නිපදවීම සඳහා විදේශ විනිමය ප්‍රධාන වශයෙන් වැය වන්නේ එම පැනල් සහ අනෙකුත් උපංග ආනයනය සඳහාය. නිෂ්පාදන ක්‍රියාවලියට විදේශ මුදල් වැය වන්නේ නැත. සම්පූර්ණ ආයෝජනයටම වසර ගණනාවක බදු සහන ද ලබා දී ඇත. එසේ නම් නිපදවන විදුලි බල ශක්තිය ඩොලර්වලින් මිලදී ගන්නේ ඇයි? එසේ ගෙවන ඩොලර් සඳහා වැය වන්නේ භාණ්ඩාගාරය සතු විදේශ විනිමය නොවේ ද? එවැනි තත්වයක් යටතේ සැබැවින්ම සිදු වන්නේ විදුලි බලය මිලදී ගැනීමට විදේශ විනිමය වැය කිරීමකි.

ජනතා නියෝජිතයන්යැයි හැඳින්වෙන රටේ පාලකයන් ව්‍යවස්ථා සම්පාදනය සහ විධායක ක්‍රියාවලිය ඔවුන්ගේ ඕනෑ එපාකම් අනුව හසුරුවා ගන්නා අතර ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රටේ ආර්ථිකයේ මර්මස්ථාන පාලනය කරන මහ බැංකුව සහ රටේ දේශපාලනය ද, අවසානයේ දී ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලට අවශ්‍ය වන ආකාරයට හැසිරවීමට උත්සාහ කරති.

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ

වඩාත් ගැඹුරට විමසා බැලීමේ දී මේ දෙදෙනාම කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ එය මෙහෙයවන එක්සත් ජනපදය නිර්දේශ කරන අදහස බව පැහැදිලි ය. පසුගිය සතියේ යුක්‍රේනයට ගිය එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මෙම වසරේ මාර්තු මස යුක්‍රේනයේ පැවැත්වීමට නියමිතව තිබු ජනාධිපතිවරණය කල් දැමීමේ අදහස අනුමත කෙළේය. ඔහු සඳහන් කළ ආකාරයට යුද්ධය නිම වී ජනතාව එකඟ වියහැකි දිනයක් එළඹෙන තෙක් ජනාධිපතිවරණය කල් දැමිම සුදුසු ය. පසුගිය සතියේ ම ලංකාවට පැමිණි එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ ද එවැනිම උපදෙසක් අනුප්‍රාප්තික ජනාධිපතිට සහ මහ බැංකු අධිපතිට ලබා දුන්නේදැයි අපි නොදනිමු. ලංකාවේ යුද්ධයක් නැති වුවද ආර්ථිකය කඩා වැටීම යුද තත්වයකට නොදෙවෙනි නිසා එවැනි උපදෙස් ලබා දීම ගැන පුදුම විය යුතු නැත.

පාර්ලිමේන්තු මංත්‍රීන්ට වාහන ආනයනයට බලපත්‍ර ලබා දීමට ඇති සූදානමත් ඇමරිකානු මුදල් වෙළඳ පොළේ ගනුදෙනුකරුවෙකු වන අදානිට විදුලි බල නිෂ්පාදයට බලපත්‍ර ලබා දීමත් මහ බැංකුවේ අධිපති ගේ ප්‍රකාශයත් තේරුම් ගැනීමට කෘත්‍රීම බුද්ධිය වන ඒ අයි දැනුමක් අවශ්‍ය නොවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට අවශ්‍ය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක සහාය ලබා ගැනීමේ පහසු ක්‍රම අදානි ගේ සහාය ඇතිව මහ බැංකුවේ අධිපතිට නිර්මාණය කිරීමට හැකි වනු ඇත. එවැනි පියවරකට අන්තර් ජාතික මූල්‍ය සංවිධානවල සහාය සහ ආශීර්වාදය ද ලැබෙනු ඇත.

මෙවැනි පරිසරයක් තුළ මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපතිවරණයට කල් නියම කිරීම සහ එය පැවැත්වීම සහතික කිරීමට ඉදිරිපත්වීම එළඹෙන අනතුරක සේයාවක් විය හැකිය.

Leave a Reply