You are currently viewing සිස්ටම් චේන්ජ් නොවන සර්ව පාක්ෂික ආණ්ඩු තවත් අට මගලකි.

සිස්ටම් චේන්ජ් නොවන සර්ව පාක්ෂික ආණ්ඩු තවත් අට මගලකි.

අනුප්‍රාප්තික ජනාධිපති තනතුරට පත් රනිල් වික‍්‍රමසිංහ සර්ව පාක්ෂික, වඩාත් නිවැරදිව පාර්ලිමේන්තුවේ එකතු කර ගත හැකි මංත්‍රීන් සියල්ල එකතු කර ගෙන මෙගා කැබිනට්ටුවක් පත් කර ගැනීමට දිවා ? නොබලා වෙහෙසෙමින් සිටී. ඊට සුජාත භාවයක් ලබා ගැනීමට අටමස්ථානය වන්දනා මාන කරයි.

රට වැටී ඇති ආර්ථික සහ දේශපාලන අගාධයෙන් ගොඩ ඒමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල එකතුවෙන් ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවට විවිධ ක්ෂේත්‍රවලින් ඉල්ලීමක් තිබුණ නමුත් එවැන්නක් සාර්ථක කර ගැනීමේ හැකියාවක් නැති නිසා වඩාත් ගැලපෙන්න්නේ දිනා ගත හැකි මංත‍්‍රීන්ගේ එකතුවෙන් ආණ්ඩුවක් පිහිටුවා ගැනීම ය. අවශ්‍ය වන්නේ තවත් වසර දෙකහමාරක් කෙසේ හෝ බලයේ රැඳී සිටීම ය. ඒ සඳහා දිගු කරන සීනි බෝලය වසර 2048 දී එනම් බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා වසර සියයකට පසු ලංකාව ලොව දියුණු රාජ්‍යයක් බවට පත් කිරීමේ පොරොන්දුවයි.

2022Aug22[1]_privatisation

ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය සංවිධානය වැනි අරමුදල් සපයන ආයතන උනන්දු වන්නේ තමන් ලබා දෙන ණය පොලීත් සමග ආපසු ලබා ගැනීමේ හැකියාව ගැන ය. ණය ප‍්‍රතිව්‍යුහගත කළ යුතු වන්නේ ඒ සඳහා ය. ඒ සඳහා මූල්‍ය විශේෂඥයන් ගේ සහාය ද ලබා දීමට සූදානම් ය. එම කොන්දේසි සම්පූර්ණ වූ විට නැවත වරක් ණය පහසුකම් ලබා ගත හැකිය. ඊට අමතරව රජයේ ණය බර අඩු කිරීමට පාඩු ලබන්නේ යැයි කියන රාජ්‍ය ව්‍යවසායන් දේශීය හෝ විදේශීය පුද්ගලික ආයතනවලට විකිණීම පහසුකිරීම ද එම මූල්‍ය ආයතන විසින් සිදු කරනු ඇත.

එහෙත් රාජ්‍ය ව්‍යවසායන් විකුණා දැමීමෙන් රට පත්ව ඇති ආර්ථික ප්‍රපාතයෙන් ගොඩ ඒමට හැකිද යන්න බරපතළ ගැටලුවකි. දැනට පාඩු ලබන්නේ යැයි කියන රාජ්‍ය ව්‍යවසායන් කිසිත් පාඩු ලබන්නේ එම ව්‍යවසායේ ඇති දැඩි අවදානම් බව නිසා හෝ ඉන් මහජනයාට සහන මිලට සේවා සපයන නිසා නොවේ. විදුලිය සැපයීම හෝ ඛනිජ තෙල් කර්මාන්තයේ යෙදීම පාඩු ලබන ව්‍යාපාර නොවේ. ලොව වැඩියෙන් ම ලාබ උපයන්නේ එවැනි ව්‍යාපාරවලිනි. ලෝක ආර්ථිකය දැඩි පසුබෑමකට ලක්ව තිබිය දී පවා තෙල් සමාගම් මෙම වසරේ ඩොලර් බිලියන 100කට අධික ලාභ ඉපයූ බව එක්සත් ජාතීන්ගේ වාර්තාවක සඳහන් වේ. ගුවන් සේවයක් පවත්වා ගැනීම පවා විශාල ලාභ උපයන ව්‍යවසායන් බවට අපමණ නිදසුන් දැක්විය හැකිය.

තේරුම් ගත යුත්තේ කැබිනට්ටුවේ සියලූ පක්ෂ නියෝජනය කරන්නේ ද නැත්ද නොව දේශපාලනයේ පවතින වැරැද්දයි. දැනට දශක දෙකකට අධික කාලයක් මාරුවෙන් මාරුවට ඇමතිකම් දැරුවේ එකම කුලකයටකට අයත් පුද්ගලයන් ය. ආණ්ඩුව බංකොළොත් වූයේත් ආර්ථිකය කඩා වැටුණේත් ඔවුන්ගේ වැරදි දේශපාලන නායකත්වය නිසා ය. නැතිනම් නිවැරදි දේශපාලන නායකත්වයක් දීමට ඔවුන්ට හැකියාව හෝ  ඕනෑකමක් නැති නිසාය. සියලූ දේශපාලන පක්ෂ අතර ඇමතිකම් බෙදා ගැනීමෙන් එම අඩුපාඩුව පිරිමසින්නේ නැත. 

වැරදි අකාර්යක්ෂම නායකත්වය නිසා ආයතන කඩා වැටීමට හොඳ නිදර්ශනයක් පසුගිය දිනවල අසන්නට ලැබිණ. පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් ආහාර පිසීමට ගන්නා ගෑස් සැපයුම කඩා වැටීමට විවිධ හේතු දක්වා තිබිණ. ලෝක වෙළඳ පොළ ගෑස් සැපයුම පහත වැටීම ප්‍රධාන හේතුවක් සේ දැක්විණ. ඊට අමතරව ගෑස් ආනයනයට විදේශ මුදල් නොමැතිවීම ද හේතුවකි. 2019 බලයට පැමිණි නව නායකත්වය ගෑස් සැපයුම වඩාත් කාර්යක්ෂම කිරීමට එහි සංයුතියේ ද වෙනස්කම් හඳුන්වා දුන්නේය. ප්‍රතිඵලය වූයේ ගෘහස්ත ගෑස් සිලින්ඩර් පුපුරා යෑමට අමතරව රට පුරාම ගෑස් හිඟයක් ඇතිවීම ය. ගෑස් බලාපොරොත්තුවෙන් ජනතාවට දින ගණන් පෝලිම්වල රැඳී සිටීමට සිදු විය. අනෙක් සියලු ප්‍රශ්නවලට මෙන් ගෑස් හිඟයට ද විසඳුමක් පෙනෙන තෙක් මානයේ නොතිබිණ.

අවසානයේ දී ලිට්ට්‍රෝ ගෑස් ආයතනයේ පරිපාලනයේ වෙනසක් සිදු විය. එහි ප්‍රධාන තැනට පත් වූයේ 2019 දේශපාලන පෙරළියත් සමග බලයෙන් ඉවත් කරන ලද පුද්ගලයා ය. අලුතින් තනතුරට පත්වීමෙන් පසුව දිනපතා පුවත් පතක් සමග පැවැත් වූ සාකච්ඡාවක් අනුව ඔහු එම සමාගමෙන් ඉවත්ව යන විට සමාගම සතුව රුපියල් බිලියන 20ක ස්ථාවර තැන්පතු තිබිණ. එහෙත් වසර දෙකකට පසු ඔහු නැවතත් එහි පැමිණෙන විට එම ස්ථාවර තැන්පතු සියල්ල අවසන් ව බිලියන 6ක් බැංකු අයිරා ලබා ගැනීමේ තත්වයට සමාගම පත්ව ඇත. වඩාත් වැදගත් වන්නේ ඔහු නැවත වැඩ භාර ගැනීමෙන් පසුව ගෑස් හිඟය තුරන් වී සැපයුම සාමාන්‍ය තත්වයට පත්වීම ය. දැන් ගෑස් ලබා ගැනීමට පෝලිම්වල දින ගණන් ගත කළ යුතු නොවේ.

මෙම කතාවේ නොකියවෙන කොටස් ද තිබිය හැකිය. එහෙත් පැහැදිලි සත්‍යය නම් නිවැරදි නායකත්වයක් සහ වැඩ පිළිවෙළක් පවතින්නේ නම් ලංකාව දැනට මුහුණ දී ඇති ප්‍රශ්නවලට විසඳුම් සෙවීම අපහසුවක් නොවන බව ය. අවශ්‍ය වන්නේ රජයේ සම්පත් මංකොල්ල කන දේශපාලන නායකත්වය වෙනස් කිරීම ය. ඒ සඳහා වැරදිකරුවන්ට දඬුවම් කිරීමේ භාවිතයක් තිබිය යුතුය. නිදහසින් පසු අපේ දේශපාලන භාවිතය වන්නේ වැරදිකරුවන් ආරක්ෂා කොට පෝෂණය කිරීම යි. වැරදිකරුවන්ට දඬුවම් දීමේ දුබල උත්සාහයක් හෝ හැඳින්වූයේ දේශපාලන පලිගැනීම් සේය. විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අය පමණක් නොව අධිකරණයෙන් දඬුවම් නියමවූවෝ පවා මැති ඇමතිකම් දරති. කප්පම් ගැනීමේ චෝදනාවක් යටතේ දීර්ඝ කාලයක් තිස්සේ පැවති නඩු විභාගයකින් දඬුවම් නියම වූ පුද්ගලයෙකු පවා ඇමතිකම් දරන්නේ කිසිම හිරිකිතයක් නැතිව ය. ඔහු දැන් ඇමතිකමට අමතරව පාර්ලිමේන්තුවේ සභානායක තනතුර ද දරයි. ඒ එක සිද්ධියක් පමණි. අධිකරණයෙන් දඬුවම් නියම වී නැති නමුත් තවත් බොහෝ දේශපාලකයන්ට එවැනිම හෝ ඊටත් වඩා දරුණු චෝදනා එල්ල වී ඇත. ඒ කිසිත් විභාග වන්නේ නැත.

මෙවැනි පසුබිමක් තුළ ව්‍යවස්ථාදායකයේ සියලු අය නියෝජනය වන ආණ්ඩුවක් පිහිටුවීමෙන් චෞර මංකොල්ලකාරී පාලන ක්‍රමයේ වෙනසක් සිදු වේ ද? විය හැකි සරලම දේ මංකොල්ල කෑම වැඩි දෙනකු අතර බෙදී යෑම පමණි. හැත්තෑහතර වසරක අත්දැකීම එයයි. වංචාව, දූෂණය සහ හොරකම ජාතික දේශපාලනයේ අඩයාලමයි. වෙනස් විය යුත්තේ එයයි. එසේ නොමැතිව මෙම අර්බුදයෙන් ගොඩ ඒමට පහසු මාර්ග නැති බව ජනතාව අවබෝධ කර ගත යුතුය.  

අවාසනාවකට මෙන් සියලු ව්‍යාධීන්ට දිව ඔසුවක් සේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගැන කතා කරන කිසිවෙකු වංචාව, හොරකම සහ දූෂණය ජාතික දේශපාලනයෙන් තුරන් කිරීම සහ වැරදිකරුවන්ට අධිකරණ ක්‍රියා මාර්ග තුළින් දඬුවම් කිරීම ප‍්‍රමුඛතාවයක් සේ දකින්නේ නැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ ලැබෙන ඇමති තනතුරුවල වපසරිය පමණ ය. ඒවා නිරවුල් කර ගත් පසු සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ ගැටලුවක් නැත.

සර්ව පාක්ෂිත ආණ්ඩුවක් ආර්ථික අර්බුදයට විසඳුම් නොවන්නා සේම මූල්‍ය සංවිධානවල නිර්දේශ අනුව ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම ද විසඳුමක් නොවන බව තේරුම් ගත යුතුය.

බ්ලැක්රොක් මූලස්ථානය, නිව් යෝර්ක්

මෑතක පළ වූ වාර්තාවක් අනුව ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ විශේෂඥයෙකුගේ උපදෙස් අනුව පසුගිය අප්‍රේල් මාසයේ දී ණය ආපසු ගෙවීම අත්හිටුවීමේ පියවර ද නොගත යුතුව තිබුණු එකකි. එම වාර්තාවල සඳහන් වන ආකාරයට ලංකාවට ලැබෙමින් තිබුණු විදේශ විනිමය ප්‍රමාණය අනුව වසර අවසාන වන තෙක් ණය ආපසු ගෙවීමේ හැකියාව තිබිණ. එහෙත් එය නොසලකා ණය ගෙවීම අත්හිටුවීම නිසා ලංකාව ණය ශ්‍රේණි ගත කිරීමේ ආයතන වල පහත්ම තැනකට පත් විය. එනම් විදේශ වෙළඳ පොළෙන් ණය ලබා ගැනීමට නොහැකි තත්වයට පත් විය.

මේ සමගම සිහිපත් කළ යුතු තවත් වැදගත් කාරණයක් වන්නේ ලංකාවේ විදේශ ණයවලින් වැඩිම ප්‍රමාණයක් අයත්වන ලොව විශාලතම ධනයක් හිමි බ්ලැක්රොක් (Black Rock ) සමාගම ලබා දෙන උපදෙස්වලින් ලොව කිසිම රටකට සුගතියක් අත්ව නොතිබීම ය. නිදසුනක් වශයෙන් දකුණු ඇමරිකාවේ තෙවන විශාල ආර්ථිකය වන ආර්ජෙන්ටිනාවේ ද විදේශ ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම සිදුව ඇත්තේ එම සමාගමේ උපදෙස් අනුව ය. වසර ගණනාවක් තිස්සේ ආර්ජෙන්ටිනා රජය එම සමාගමේ උපදෙස් අකුරට පිළිපදින නමුත් ආර්ථිකය ගොඩ ඒමේ සලකුණක් හෝ නැත. ජන ජීවිතය වඩාත් අනාරක්ෂිත තත්වයකට පත්ව ඇත. එහෙත් බ්ලැක්රොක් සමාගමේ ලාභාංශ නොකඩවා ඉහළ යමින් පවතී. පෞද්ගලීකරණය කරන ලද රාජ්‍ය ව්‍යවසායක කොටස් විකිණීමෙන් පමණක් එම සමාගම මාස හතරක් ඇතුළත සියයට 60ක ලාභයක් උපයා ගත් බව ද වාර්තාවේ.

මෙම සමාගම ලංකාවේ ඉන්දියානු ආයෝජකයෙකු වන අදානි සමාගමේ ද කොටස් හිමි කර ගෙන සිටින බව සිහිපත් කළ යුතුය.  එමනිසා ලංකාව පත්ව ඇති ව්‍යසනයෙන් ගොඩ ඒමට සර්ව පාක්ෂික ආණ්ඩු පිහිටුවීම හෝ ජාත්‍යන්තර මූල්‍ය සංවිධානවල උපදෙස් අනුව ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම ප්‍රමාණවත් වන්නේ නැත. අප වැනි අගාධයන්ට පත් සෙසු රටවලින් ලැබෙන ආදර්ශය එයයි. සැබෑ විසඳුම වන්නේ රට මෙම අගාධයට පත් කළ දේශපාලන ක්‍රමයේ වෙනසකි. සිස්ටම් චේන්ජ් යනුවෙන් ඉල්ලා සිටින්නේ දේශපාලනයේ සහ පරිපාලන ව්‍යුහයේ වෙනසකි. එම අභියෝගයට

Leave a Reply