You are currently viewing විරෝධය නිහඬ වුවද ප්‍රාර්ථනය යෝධ බලශක්තියක් කර ගනිමු..

විරෝධය නිහඬ වුවද ප්‍රාර්ථනය යෝධ බලශක්තියක් කර ගනිමු..

අප්‍රේල් තුන්වැනි දා ජනතා විරෝධය හඬ නැගීමට පැවැත්වීමට නිමිතව තිබූ නිහඬ විරෝධය හදිසියේ පැන වූ ඇඳිරි නීතියෙන් යටපත් කෙරිණ. කිරි පිටි ඇතුළු ආහාර හිඟය, ඉන්ධන හිඟය සහ විදුලිය නැතිව අඳුරේ සිටීමට සිදුවීමට එරෙහිව දිවයිනේ බොහෝ ප්‍රදේශවල සම්මත දේශපාලන පක්ෂවල සහාය නැතිව පැවැත් වූ නිහඬ විරෝධතාවය කුළු ගැන්වෙන ආකාරයට විහාර මහා දේවි උද්‍යානයේ පැවැත්වීමට නියමිතව තිබූ විරෝධය පාලකයන් මෙන්ම පාලනය අපේක්ෂාවෙන් සිටින බොහෝ දෙනකු තුළ බියක් මෙන්ම සැකයක් ඇති කළ සිද්ධියකි. බිය වූයේ මැතිවරණ කොමසාරිස්ගේ ලියා පදිංචිය ලබා නොගත් නමක් නැති නායකයෙක් නැති කැපී පෙනෙන සංවිධානයක් නැති පිරිසක් දේශපාලන මුලපිරීම අතට ගැනීම ඔවුන්ට සැබෑ අනතුරක් විය හැකි නිසාය. සැකය වූයේ මෙවැනි ජනතා ව්‍යාපාරයක් සැබැවින්ම මුල් බැස ගත හොත් දේශපාලනයේ ස්වරූපය කුමක් විය හැකි ද යන්නයි.

2022april05[1]_gota_go1

නමක් නැතිව, නායකයෙක් නැතිව බාහිර ව කැපී පෙනෙන සංවිධානයක් නැතිව එහෙත් ප්‍රබල පැහැදිලි ඉල්ලිම් ඇතිව විවිධ ස්ථරවලට අයත් ජනතාව, සවස් යාමයේ ගෙදර දොර වැඩ කටයුතු පසු පසට දමා පාරට බැස නිහඬව විරෝධය දැක්වීම අපේ දේශපාලන සංස්කෘතියේ අලුත්ම අත්දැකීමකි. මෙතෙක් විරෝධතා සංවිධානය කෙළේත් මෙහෙය වූයේත් දේශපාලන පක්ෂ විසින් හෝ දේශපාලන වුවමනාව ඇති සංවිධානාත්මක පිරිස් විසිනි. සටන් පාඨ සකස් කෙළේත් හඬ නගා කීවේත් ඔවුන්ගේ නායකත්වය යටතේ ය. එහෙත් නිහඬ විරෝධතාකරුවන් ප්‍රදර්ශනය කෙළේ ඔවුන් විසින්ම අත් අකුරෙන් ලියා ගත් සටන් පාඨ ය. ඇත්තෙන්ම ඒවා සටන් පාඨවලටත් වඩා ඔවුන්ගේ ඉල්ලීම් ය. එම ඉල්ලීම් එදිනෙදා ජීවිතයට බලපාන අත්‍යවශ්‍ය කරුණු ගැන වුවත් එහි ගැබ් වූ දේශපාලනයක් ද තිබිණ. ඒ පසුගිය වසර හැත්තෑව තුළම රට පාලනය කළ විවිධ පක්ෂවලට සහ පාටවලට අයත් පක්ෂ සහ කණ්ඩායම් සියල්ල අසමත්ව වීම ය.

මෙම නිහඬ විරෝධතාවයට එක් වූ බොහෝ දෙනා තුළ රටට සිදුව ඇති දේ ගැන පැහැදිලි අවබෝධයක් පවතින අතර ඊට වගකිව යුත්තේ කව්ද යන්න ගැන දැනුමක් පවතින බව දැකිය හැකිය. බලයේ සිටින දේශපාලන පක්ෂවලට සෘජු සම්බන්ධයක් නැති ඒ බොහෝ දෙනකුට තමන් වැඩ කරන ආයතන තුළ සිදු වන දේ පිළිබඳ ව මනා අවබෝධයක් පවතින බව ඔවුන්ගේ කතා බහෙන් තේරුම් ගත හැකිය. පවතින දේශපාලන ආර්ථික අර්බුදයට හේතුව රජයේ පමණක් නොව සමාජයේ සියලූම අංශ පරිපාලන වශයෙන් සහ ආචාර ධර්ම වශයෙන් කඩා වැටීම ය. රාජ්‍ය අංශයේ පවතින දූෂණ සහ වංචා පෞද්ගලික අංශයේ ද නොමදව දැකිය හැකිය. පෞද්ගලික අංශයේ සිදුවන වංචා දූෂණ නිසා පීඩාවට පත් වන්නේ පාරිභෝගික ජනතාව සහ රජයයි. රජයට සිදුවන පාඩුව හෝ හානිය වක්‍රව ජනතාව මතටම කඩා වැටේ.

මේ තත්වයට වගකිව යුත්තේ දැනට බලයේ සිටින අය පමණක් නොවේ. නිදහසින් පසුව බලයට පත් සෑම කෙනෙකුම ඊට වගකිව යුතුය. බ්‍රිතාන්‍ය පාලනය යටතේ මහා පරිමාණයෙන් වංචා දූෂණ සිදු නොවූයේ එය සෘජුවම කිරීටයේ ආදායමට බලපාන නිසා ය. එම නිසා වංචා දූෂණ වැළැක්වීමටත් ඒවාට දඬුවම් දීමටත් නීති පද්ධතියක් සහ අධිකරණයක් තිබිණ. ඒ යටතේ නිදොස් කොට නිදහස් කිරීමට ඉඩක් තිබුණේ නැත. පොලිසිය දේශපාලකයන්ගේ අතකොළුවක් කර ගැනීමට අවස්ථාවක් තිබුණේ නැත. . බ්‍රිතාන්‍ය පාලනය යටතේ අධිකරණයේ ස්වාධීනත්වයට බ්‍රේස්ගර්ඩල් නඩුව පමණක් සෑහේ. වියදම්කාරී වැඩක් වුවද අධිකරණය ඉදිරියට ගොස් යුක්තිය ඉටු කර ගත හැකියැයි විශ්වාසයක් රට වැසියන් තුළ තිබිණ.

දශක හතක කාලයක් ඇතුළත ඒ සියල්ල බිඳ වැටී නීතිය පාලකයාගේ වුවමනාව බවට පත් විය. රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා කාගේ දෝ බුලත් හැඹිල්ලක් බවට පත් විය. කුමන හෝ නීතියක් ක්‍රියාත්මක වන්නේ පාලකයාගේ අවශ්‍යතාවය අනුව ය. ඔහුට අවශ්‍ය නම් කෙතරම් බරපතළ වරදක් කළත් නෑසු කන්ව සිටිය හැකිය. මෙහිදී ඉරිදා (03) පුවත් පත්වල පළ වූ වාර්තාවක් සිහි පත් වේ. ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටනයේ දිස්ත්‍රික් උසාවියක දූෂණ ගනුදෙනුවක් සම්බන්ධයෙන් පවරා ඇති නඩුවක දී ඇමරිකාවේ ශ‍්‍රී ලංකා තානාපතිව සිටි ජාලිය වික‍්‍රමසිංහ වරද පිළිගත්තේය. ඔහුට නඩු පවරා තිබුණේ වොෂින්ටන් නගරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහා ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේ දී නියමිත මුදලට වඩා ඩොලර් 332,027ක් එම ගනුදෙනුවට කිසිම සම්බන්ධයක් නැති ව්‍යාජ සමාගමකට ගෙවීම ය. එම නඩුව විභාගයට ගත් මුල් අවස්ථාවේදී ම ඔහු වරද පිළි ගත්තේය. වරද පිළිගත්තත් ඔහුට බොහෝවිට දඩයක් සහ සිර දඬුවමක් නියම විය හැකිය.

මෙම සිද්ධිය බොහෝ කලක සිටම ජනමාධ්‍යයේ කතා බහට ලක් වුවද යහපාලන රජයෙන් හෝ සෞභාග්‍යයේ දැක්මෙන් ඔහුට විරුද්ධව නීතිමය පියවරක් ගත්තේ නැත. ඒ සමහර විට ඔහු රාජපක්ෂ පවුලේම කෙනෙකුවීම නිසා විය හැකිය. සෞභාග්‍යයේ දැක්ම බලයට පැමිණි විට ඔහුට තානාපති වරප්‍රසාද නැවත පිරි නමා ඥාතියා බේරා ගැනීමට උත්සාහ ගත් නමුත් එය ද සාර්ථක වූයේ නැත.

දිවයින පුරා නිහඬ විරෝධතාවයන්ට එකතු වී සිටින දහස් ගණන් ජනතාව මෙවැනි සිද්ධීන් බොහෝ  දනිති. අද වරායට පැමිණ ඇති ඉන්ධන නැවක් සඳහා ගෙවීමට ඩොලර් නැති වූයේ මෙවැනි ගනුදෙනු නිසා බව ඔවුහු දනිති. කිරි පිටි ගෙන්වීමට විදේශ විනිමය නැති වූයේ මෙවැනි හොරකම් නිසා බව ඔවුහු දනිති. සංවර්ධනයේ නාමයෙන් මෙතෙක් සිදු ඇත්තේ ජනතාව ණය උගුලක හසු කිරීම බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඉහත සඳහන් තානාපතියා බේරා ගැනීමට ඉදිරිපත්වීමේ දී දැක් වූ විලි ලැජ්ජා නැති කම ජනතාව නිතර අත් දකින දෙයකි. අද ශ‍්‍රී ලංකාවේ මහ බැංකුවේ අධිපති තනතුරට පත් කර ඇති පුද්ගලයා ද මේ ආකාරයෙන්ම විදෙස් මුදල් රටට අහිමි කිරීම ගැන පදක්කම් දිනා ඇති අයෙකි. 

2022april05[1]_gota_go2

මෙවැනි පසුබිමක් යටතේ වීදි බැස ප‍්‍රකාශන පුවරු රැගත් ජනතාව තමන් කිසිම පක්ෂයකට හෝ පාටකට බැඳී නැතැයි පවසන්නේ පුහු ආඩම්බරයෙන් නොවේ. පවතින දේශපාලන පක්ෂ සියල්ලක් ම පාහේ ජනතාව අමතක කර තමන්ගේ ම සෞභාග්‍ය සඳහා වැඩ කරන නරුමයන් බව අත්දැකීමෙන් ම දන්නා නිසා ය. ආණ්ඩු වෙනස් කිරීමෙන් පමණක් මෙම කරුමයෙන් ගොඩ ඒමට නොහැකි බව ඔවුහු දනිති. ආණ්ඩු සමග ක්‍රමයත් වෙනස් විය යුතුය. ක්‍රමය යන්නෙන් අදහස් කරන්නේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම පමණක් නොවේ. නිදහසින් පසුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දෙකක් ගෙනවිත් විසිවරක් සංශෝධනය කර ඇත. ඒ සියල්ලෙන් සිදුව ඇත්තේ පෙර පැවති තත්වයටත් වඩා නරක තත්වයකට රටත් ජනතාවත් පත්වීම පමණි. හේතුව, අවසානයේ දී ව්‍යවස්ථා සම්මත කරන්නේ මෙවැනි පුද්ගලයන්ගේ ඡන්දයෙන් වීමය. ජනතා අපේක්ෂාව කුමක් වුවත් ඔවුන් අකමැති, ඔවුන්ගේ ජාවාරම්වලට බාධා පැමිණෙන ව්‍යවස්ථා අවශ්‍ය ආකාරයට වෙනස් කොට සම්මත කර ගැනීමේ භාවිතාවක් ව්‍යවස්ථාදායකයේ පවතී. කෙතරම් හොඳ ව්‍යවස්ථාවක් වුවත් නරක මිනිසුන් අතට පත් වූවිට නරක ලෙස යොදා ගත හැකි වන අතර කෙතරම් නරක ව්‍යවස්ථාවක් වුවත් හොඳ පාලකයෙකුට ජනතා සුභ සෙත සඳහා යොදා ගත හැකි බව පෙන්වා දුන් ආචාර්ය අම්බෙඩ්කාර් අපට සිහිපත් වේ.

මෙම ජනතා පිබිදීම අපට සිහිපත් කරන්නේ 1986 පෙබරවාරි මස පිලිපීනයේ සිටි ඒකාධිපති පාලක මාර්කෝස්ට එරෙහිව ජනතාව නැගී සිටීම ය. ඉංග‍්‍රීසි භාෂාවට ජන බලය ( Peoples Power ) යනුවෙන් නව අරුතක් ඇති වදන් එකතුවක් හඳුන්වා දුන් ජන අරගලය ජනාධිපති මාර්කෝස්ට ඔහුගේ සුපිරි හමුදා බලයෙන් යටපත් කිරීමට නොහැකි විය. ජනතාව අවි බලය, සන්නද්ධ නොවු ජන බලයෙන් පැරද වූහ. එහෙත් ඉන් පසුව මහා මැතිවරණයකින් බලයට පත් ඇක්විනෝට ජනතා අපේක්ෂා සපුරාලීමට හැකි වූයේ නැත. මාර්කෝස් පලවා හැරීමට සහාය දුන් හමුදාව තුළින්ම ඇක්විනෝට බලපෑම් එල්ල විය. ඇය රට පාලනය කෙළේ හමුදා කුමන්ත්‍රණයක සෙවණැල්ල යටතේය. මාර්කොස් බලය අතහැර රටින් පලා ගිය ද ජනතාවගෙන් කොල්ල කෑ ධනය ආපසු ජනතාවට ලබා ගැනීමට නොහැකි වූවා පමණක් නොව ජනතාවාදි පාලනයක් ඇති කිරීමට ද හැකි වූයේ නැත. දශක තුනකට පසු මාර්කෝස්ගේ පුතෙකු නැවතත් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සූදානම් ය.

මෙයින් කියවෙන්නේ ජනබලය යටපත් කරන දේශපාලන බලයක් සැම විටම තීරණාත්මක වන බවයි. අපේ රටේ අද පවතින තත්වය 1986 දී පිලිපීනයේ පැවත් තත්වයට වඩා බෙහෙවින් වෙනස් වුද එහි ගතිකයන් බොහොමයක් පවතී. ඌරන් කැකුණ ඇට තැලූ විට හබන් කුකුලන්ට මඟුල් යැයි කියමනක් ගැමි වහරේ ඇත. ජන බලයෙන් අධර්මිෂ්ඨ පාලකයන් ඉවත් කිරීමට හැකි වුවද ජනතාවාදි පාලනයක් බිහි කිරීමට තවත් බොහෝ දේ සපුරා ගත යුතුය. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය යටතේ වංචාව සහ දූෂණයට නොනිල පිළිගැනීමක් ඇති නිසා ක්‍රමයේ වෙනස්වීමක් ද අනිවාර්යෙන්ම අවශ්‍ය ය. එය මහා මැතිවරණයක් පැවැත්වීමෙන් පමණක් ඉටු කර ගත නොහැකිය. රෝග විනිශ්චය ඵලදායි වන්නේ නිසි ප්‍රතිකාර ක්‍රමයක් හඳුන්වා දීමෙන් පමණි. පිලිපීනයේ ජන බලයෙන් උගත යුතු පාඩම එයයි.

එළඹෙන අනතුර දැක ඇති නිසාදෝ පාලකයන් දැන් අන්තර්වාර පාලනයක්, ජාතික ආණ්ඩුවක් වැනි සංකල්ප ඉදිරිපත් කරන්නේ කඳුළු ගෑස් සමග ය. රාජපක්ෂ පාලනයේ පදනම් දෙදරා යෑමට ආසන්න වුවද වීදි බැස සිටින ජනතාවගේ අපේක්ෂා ඉටු වන ආකාරය තවම පැහැදිලි නැත. වඩාත් වැදගත් වන්නේ මෙවැනි වැරදි අනාගතයේ සිදු නොවීමට ඇති සහතිකය කුමක්දැයි පැහැදිලි කර ගැනීම ය. එය ලංකාවේ පමණක් නොව ලොව පුරා විසිර සිටින ශ්‍රී ලාංකිකයන්ගේ පැතුම බව පසුගිය ඉරිදා ලොව විවිධ තැන්වල පැවති විරෝධතාවන්ගෙන් පැහැදිලිය. විරෝධය නිහඬ වුවද ප‍්‍රාර්ථනය මල් පල ගැන්වීම අනාගතය වෙනුවෙන් අප කරන කැපවීමයි. 

Leave a Reply