You are currently viewing වැට් බද්දෙන් ජනතාව නට්ටම් කිරීමට වෙර දරන රනිල්..

වැට් බද්දෙන් ජනතාව නට්ටම් කිරීමට වෙර දරන රනිල්..

නව වසරේ ආරම්භයත් සමග ගුවන් හමුදාවේ නව මූලස්ථානය විවෘත කළ අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැට් බද්ද වැඩි කිරීම ගැන දුක්මුසුව කතා කෙළේය. වැට් බදු වැඩි කිරීම ජනතාවට බරක් නමුත් එය කෙළේ රට සංවර්ධනය කිරීමට ඇති වුවමනාව නිසා බවද සඳහන් කෙළේය. මෙහි දී ජනතාව යනුවෙන් ඔහු සඳහන් කෙළේ ඔහු නියෝජනය කරන සුපිරි ජනතාව නොව දුප්පත්කමින් සහ දරිද්‍රතාවයෙන් පෙළෙන දශ ලක්ෂ 12.3 ක් නැතිනම් මුළු ජන සංඛ්‍යාවෙන් සියයට 55.7ක් වන ජනතාව බව නිසැකය. ඔහු නියෝජනය කරන සියයට 10ක්වන ඉහළම ආදායම් ලබන ජන කොටසට වැට් බදු බර දැනෙන්නේ නැත. ඔවුන්ට පහසුවෙන්ම එම බදු බර පහළ ආදායම් ලබන අයට පැවරිය හැකි නිසා ය.  ඔහු ඉදිරියේ අසුන් ගෙන සිටි ගුවන් හමුදාවේ සමහර අයට ද බදු බර දැනෙනු ඇත.

රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ අනුගාමිකයන් නිතර පවසන ආකාරයට රට සංවර්ධනය කිරීමට නම් ජනතාව මත බදු පැනවීම හැර වෙනත් විකල්පයක් නැත. රටේ ආර්ථිකය බංකොළොත් වී රට පුරා තෙල් පෝලිම් ගෑස් පෝලිම් දිග හැරුණේ බදු නොගැසීම නිසාය. නැවතත් එවැනි කාලකන්නි යුගයකට නොවැටී සිටීමට නම් බදු බර දැරීම හැර වෙනත් විකල්පයක් සියයට 56 ක් වන ජනතාවට නැත. බදු පනවන්නේ රනිල් වික්‍රමසිංහ දෙසන ආකාරයට රට දියුණු කිරීමට ඇති වුවමනාව නිසාය..

සංවර්ධනය කිරීමට වුවමනානම් ජනාධිපති ඇතුළත් ඇමති මණ්ඩලයේ වියදම් ද කපා හැරිය යුතුය. 2024 අයවැය ලේඛනයෙන් ජනාධිපති කාර්යාලය සඳහා පමණක් රු. බිලියන 66ක් වෙන් කර ඇත. ඊට අමතරව ජනාධිපති යටතේම ඇති මුදල් අමාත්‍යංශය සඳහා රු. බිලියන 723ක් අංශීය වශයෙන් වැඩිම ප්‍රතිපාදනයක් වෙන් කර ඇත. මෙම වියදම්වලට අමතරව ජනාධිපතිට අවශ්‍ය පුද්ගලයන්ට විවිධ තනතුරු නාම ලබා දී දීමනා සහ නොයෙකුත් ගෙවීම් කිරීමට ද බාධාවක් නැත. අධිකරණ තීන්දුවක් අනුව මුස්ලිම් කොංග්‍රසයේ මංත්‍රී ධුරය අහිමි වූ පුද්ගලයාටද ජනාධිපති වහාම තනතුරක් සහ විවිධ වරප්‍රසාද පිරි නැමීමට මුදල් ප්‍රතිපාදන ඇත. මේ අනුව සංවර්ධනය කිරීමට සහ ආණ්ඩුව පවත්වා ගැනීමට ප්‍රමාණවත් ආදායමක් නොමැති වුවද වියදම් කිරීමේ සීමාවක් නැත. පාලකයා වන රනිල් වික්‍රමසිංහට අවශ්‍ය විට පත්වීම් ලබා දීමටත් ( පත්වීම්වලින් ඉවත් කිරීමටත්) හැකියාව පවතී. මෙවැනි තත්වයක් යටතේ සංවර්ධනය කිරීමේ වුවමනාවට ජනතාව බදු බර පැටවීම හැර වෙනත් විකල්පයක් නැතැයි කියන්නේ කෙසේද?

රට සංවර්ධනය කිරීමට වියදම් කපා හැරීමට අමතරව නාස්තිය සහ දූෂණය තුරන් කිරීම අත්‍යවශ්‍ය ය. ඒ සඳහා දූෂණය, වංචා සහ අල්ලස් වැළැක්වීමට ආසියාවේ හොඳම නීතිය සම්මත කිරීම ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා වූ කොමිසම අවසානයේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ නිර්දේශය ඇතිව ජනාධිපති විසින් පත් කිරීම කිසිසේත් සෑහීමට පත්විය හැකි කරුණක් නොවේ. ස්වාධීන කොමිසම් පත් කිරීම ලංකාවේ කලක සිට සිදු වන්නක් වුවද ප්‍රතිපත්ති ක්‍රියා මාර්ග ගැනීමේ දී පාලකයාට අවශ්‍ය ආකාරයට සිදු නොවන්නේ නම් ඒවා නිෂ්ප්‍රභ කිරීමේ හැකියාවක් ඔහුට හෝ ඇයට පවතී.

මේ පිළිබඳව හොඳම නිදර්ශනයක් ප්‍රජාතන්ත්‍රවාදී රටක මූලස්ථම්භයක් වන මැතිවරණ කොමිසමෙන් පැහැදිලි කළ හැකිය. පළමුවෙන්ම ස්වාධීන මැතිවරණ කොමිසමක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් නිර්දේශ කළ නමුත් එය එවකට ජනාධිපති තනතුරේ සිටි චන්ද්‍රිකා කුමාරතුංග ගෙන් ස්වාධීන නිසා ඇය එම පත්වීම කෙළේ නැත. ඊට පසුව රනිල් වික්‍රමසිංහ මැතිවරණ කොමිසම හීලෑ කෙළේ ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම පැවැත්වීමට අයවැය ප්‍රතිපාදනවලින් වෙන් කර තිබු මුදල් පවා ලබා නොදීමෙනි. ඒ පිළිබඳ අධිකරණ තින්දු ඔහු නොසලකා හැරියේය. දැන් මෙම වසරේ පැවැත්වීමට නියමිත ඡන්ද විමසීම් ද අවසාන වශයෙන් පාලකයාගේ කැමැත්ත අනුව තීරණය වුවහොත් පුදුමයක් නොවේ.

මෙවැනි පසුබිමක වැට් බද්ද හෝ වෙනත් කවර හෝ බද්දක් පැනවීමෙන් රටේ සාමාන්‍ය ජනතාව තව තවත් අපහසු අසීරු තත්වයට පත් කිරීම හැර සංවර්ධනයක් වන්නේයැයි සිතිය නොහැකිය. රාජපක්ෂ යුගයේ සංවර්ධනය කිරීම සඳහායැයි ගත් ණය දල්වලින් කොපමණ ප්‍රමාණයක් ඇත්ත වශයෙන්ම රටට ගෙන ආවේද යන්න පවා තවමත් පැහැදිලි නැත. ඒවායින් සැලකිය යුතු ප්‍රමාණයක් කළු සල්ලි පිළිගන්නා විදෙස් මූල්‍ය ආයතනවලට නිසැකවම ගලා යන්නට ඇත. පැනමා පේපර්ස් සහ පැන්ඩෝරා හෙළිදරවුවලින් එළි දක්වා ඇත්තේ හොරකම් කරන ලද මුදල්වලින් සොච්චමකි. හෙළිදරවු වූ ගනුදෙනු පිළිබඳව විමර්ශනය කොට අයථා ලෙස උපයන ලද එම මුදල් ආපසු මෙරටට ගෙන්වා ගැනීමේ උත්සාහයක් නැත. ඒවා කිසි දින නිම නොවන විමර්ශනවලට සීමා වි පවතී.

ඇතැම් රටවල එවැනි ජාවාරම් ගැන නීතිය ක්‍රියාත්මක වී අදාල පුද්ගලයන්ට දඩ මුදල් නියම කොට සිර ගත කළද ලංකාවේ පාලකයන්ට ඒ ගැන නීතිමය පියවර ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි නැත. වොෂින්ටන් නගරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේ දී සිදු වූ දූෂණ හා වංචා සම්බන්ධයෙන් අදාල පුද්ගලයන්ට එරෙහිව නිතිමය පියවර ගත් නමුත් ලංකාවේ පාලකයෝ තවමත් නිහඬව සිටිති.

පසුගිය අරගල සමයේ දී ජනාධිපති මන්දිරයේ ලාච්චුවක තිබී රු. දශ ලක්ෂ 17.8 ක් විරෝධතාකරුවන් සොයා ගැනීමෙන් පසුව පොලිසියට භාර දුන් නමුත් මෙතෙක් නීතිමය පියවර ගෙන නැත. ඊට හේතු වී ඇත්තේ ද ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම ය.

එමනිසා වැට් බද්ද හෝ වෙනත් බද්දක් පැනවීමෙන් ආණ්ඩුවේ නාස්තිකාර වියදම් සීමා කිරීමට හෝ රට සංවර්ධනය කිරීමට හැකි වන්නේ නැත. රට නිසි මගට යොමු කිරීමට අවශ්‍ය මූලික කාරණය වන්නේ නීතිය නිසි ආකාරයට වෙනසක් නැතිව ක්‍රියාත්මක කිරීමය. වෙනත් වචනයකින් නීතියේ ආධිපත්‍යය පවත්වා ගැනීමෙනි. අපේ රටේ සියලු පාලකයන් උත්සාහ ගෙන ඇත්තේ නීතිය තමන්ට අවශ්‍ය ආකාරයට හැරවීමට විනා සාධාරණය සහ යුක්තිය ඉටු කිරීමට නොවේ. හොරුන් සහ ජාවාරම්කරුවන්ට රැකවරණය ලැබෙන්නේ පාලකයන්ගෙනි. රටක් ගොඩ නැගීමට නම් මෙම සම්බන්ධතාවය කැඩීම හැර වෙනත් විකල්පයක් නැත. දුප්පතුන් මත බදු පැනවීමෙන් සිදු වන්නේ දුප්පත්කම සංවර්ධනය කිරීමේ වුවමනාවයි.

Leave a Reply