බංකොලොත් භාවයට පත්ව සිටින ලංකාවේ ආර්ථිකය ගොඩ ගැනීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් අනුමත කර ඇති ඩොලර් බිලියන 2.9ක ණය මුදලේ දෙවැනි කොටස ගෙවීමට පෙර ණය මුදල නිකුත් කිරීමේ දී ඇති කර ගත් එකඟතා කොපමණ ප්‍රමාණයක් ඉටු කර ඇත්දැයි එම අරමුදලේ නියෝජිත කණ්ඩායමක් මේ දිනවල සොයා බලමින් සිටී. මෙම ඇගයීම ලංකාවට තීරණාත්මක වන්නේ ඊළඟ ණය වාරිකය නිදහස් කිරීම ඒ මත රඳා පවතින නිසාය. ඉන් මුලික කාරණයක් වන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම නැතිනම්, වඩාත් වංචාකාරී ආකාරයට දේශීය ණය ප්රශස්ත කිරීමේ කිරීමේ සාර්ථකත්වය මතයි.
ඇත්තෙන්ම දේශීය ණය ප්‍රශස්තකරණය නමින් හැඳින්වෙන ක්‍රියාවලියේ තීරණාත්මක සාධකය වන්නේ සේවක අර්ථ සාධක අරමුදලෙන් ලබා ගත් ණය මත අතිරේක කොන්දේසි පැනවීමේ සාර්ථකත්වයයි. රජයේ විශ්‍රාම වැටුප් හිමි නොවන සේවක සේවිකාවන්ගේ වැටුපෙන් සහ ඊට සේව්යාගෙන් දායක වන මුදලින් පෝෂණය වන සේවක අර්ථ සාධක අරමුදල එක්තරා ආකාරයක සමාජ ආරක්ෂණ ක්රමයකි. එම අරමුදල සම්පූර්ණයෙන්ම එහි සාමාජිකයන්ගේ වැටුපෙන් කපා ගන්නා මුදල් නිසා එහි සැබෑ හිමිකරුවන් වන්නේ දායක මුදල් ගෙවන සාමාජිකයන් ය. මහ බැංකුව එහි භාරකරු විනා අයිතිකරු නොවේ.
මෙම අරමුදලේ පවතින සමාජයීය වැදගත්කම නිසා 1958 අංක 15 දරන සේවක භාරකාර අරමුදල පිහිටුවීමේ පනතින් ඊට සමහර රැකවරණ ලබා දී ඇත. ඉන් මූලික වන්නේ මෙම අරමුදලෙන් රජය බදු අය නොකළ යුතුය යන්නයි. අරමුදල කළමනාකරණයට වැය වන මුදලක් අඩු කිරීම හැර වෙනත් බදු පැනවීමෙන් නිදහස් කර ඇත්තේ විශ්‍රාම වැටුපක් නොලබා සේවයෙන් ඉවත්වන සේවකයන් ගේ අනාගත සුභ සිද්ධිය සඳහා ය. සේවයෙන් ඉවත්වීමෙන් පසුව මෙම අරමුදලට දායක වන සේවකයන් බොහෝ දෙනෙකුගේ එකම ආදායම් මාර්ගය වන්නේ එම ප්‍රතිලාභයයි. එහෙත් අරමුදලේ භාරකරුවන රජය ඉන් බදු මුදල් අය කිරීමට පටන් ගෙන ඇත. එසේ බදු පැනවීම සේවක භාරකාර අරමුදල් පනතට පටහැනි වුවද කිසිවෙකු එය මෙතෙක් අභියෝග කර නැත. මෙවර ණය ප්රශස්ත කරණය නම් වැඩ පිළිවෙළින් යෝජනා කරන්නේ එම බදු මුදල තවත් වැඩි කිරීම සහ නීතිගත කිරීම ය.
2002 සිට 2015 දක්වා සේවක අර්ථ සාධක අරමුදලේ ගනුදෙනු සහ බැඳුම්කර ගනුදෙනු ගැන පරික්ෂා කිරීමට පත් කරන ලද වොහාරික විගණන වාර්තාව සඳහන් කරන ආකාරයට 2018 වන විට මෙම අරමුදලේ සාමාජික සංඛ්‍යාව දශ ලක්ෂ 2.96 වන අතර අරමුදල සතු වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 2289 කි. මෙහි විශේෂත්වය වන්නේ මෙම සාමාජිකයන්ගෙන් සියයට අසූවකටත් වැඩි ප්‍රමාණයක දායක මුදල රුපියල් ලක්ෂයකට වඩා අඩු අයවීමය. ඉන් බහුතරයක් රටේ පහළම ජීවන තත්වයක සිටින වතු කම්කරුවන් ය. ඉන් පැහැදිලි වන්නේ අරමුදල සතු වත්කම් ප්‍රමාණය අනුව රටේ ඇති විශාලතම අරමුදල වුවත් එහි හිමිකරුවන් අන්ත දුගී තත්වයේ සිටින ජනතාව යන්නයි. එමනිසා එම අරමුදලට බලපාන තීරණ ගැනීමේ දී එහි හිමිකරුවන් වන කම්කරු ජනතාවට ඒ ගැන අදහස් පල කිරීමට සහ ඒවා ලබා ගැනීමට පිළිගත් විනිවිද පෙනෙන ක්‍රියා මාර්ගයක් අනුගමනය කිරීම ජනතාවට වගකියන ප්රජාතන්ත්රවාදී රජයක මූලික වගකීමකි. රටේ ව්‍යවස්ථාදායකයන් පත් කරන්නේ මෙම ජනතාව නිසා එම නියෝජිතයන් ඒ ගැන විමසිලිමත්වීම ජනතාවට ඇති වගවීමකි. එහෙත් පනතේ ඇති වගන්තිවලට පටහැනි ආකාරයෙන් බදු අය කිරීමට මෙම ජනතා නියෝජිතයන් කැමැත්ත ලබා දී ඇත.
සේවක අර්ථ සාධක අරමුදල් පනතින් සලසා ඇති තවත් ප්රතිපාදනයක් වන්නේ එහි 5 වැනි වගන්තිය අනුව වාර්ෂික වාර්තාවක් එහි සාමාජිකයන්ගේ දැක ගැනීම සඳහා නිකුත් කිරීම ය. එම වාර්තාව සෑම වසරකම දෙසැම්බර් 31 වැනි දින සිට මාස තුනක් ඇතුළත නිකුත් කළ යුතුය. එම වාර්තාවට අරමුදල් ආයෝජනය කළ ආකාරය සහ ඉන් ලැබෙන ප්රතිලාභ ඇතුළත් වන නිසා අරමුදලේ කළමනාකරණය ගැන ජනතාවට විමසිලිමත් විය හැකිය. සමාගම් පනත යටතේ ලියා පදිංචි වී ඇති සමාගමක් වාර්ෂික වාර්තාවකින් එහි කොටස්කරුවන්ට විස්තර ලබා දෙන ආකාරයෙනි.
එහෙත් මහ බැංකුව මෙම වාර්තාව සාමාජිකයන්ට ලබා දී නැත. වෙරිටේ රිසර්ච් ආයතනය මෙම තොරතුරු ඉල්ලා අයැදුම් පතක් 2017 දී ඉදිරිපත් කළ විට එවැනි වාර්තාවක් 2016 වසර සඳහා එළි දක්වා ඇත. ඉන් පසු වසර සඳහා වාර්තා තවම ප්‍රසිද්ධ කර නැත. එම ආයතනය සේවක අර්ථ සාධක අරමුදගේ කළමනාකරණය සහ ආයෝජන ගැන ඉල්ලා ඇති තොරතුරු ලබා දීම මහ බැංකුව ප්‍රතික්ෂේප කිරීම නිසා දැන් එය අධිකරණයේ විභාගවෙමින් පවතින නඩු නිමිත්තකි.
සේවක අර්ථ සාධක අරමුදල් පනතේ 5 වැනි වගන්තිය අනුව සවිස්තරාත්මක විස්තරයක් වාර්ෂිකව ලබා දිය යුතු වුවද එවැන්නක් තවම නිකුත් කර නැත. ඇත්තෙන්ම වෙරිටේ රිසර්ච් ආයතනයෙන් ඉල්ලා ඇත්තේ ද එම තොරතුරුය.
මින් පැහැදිලි වන්නේ සමාජයේ පහළම ස්ථරය සුරැකීම සඳහා ඔවුන්ගෙන්ම ලබා ගන්නා මුදල් පාලනය කරන ආකාරය ගැන ඔවුන් දැනුවත් කිරීම ඕනෑකමින්ම මහ බැංකුවත් එය පාලනය කරන මුදල් ඇමතිත් පැහැර හැර ඇති බව ය. (මුදල් ඇමතිකම බොහෝ විට ජනාධිපති සතු කර ගෙන ඇති නිසා ජනාධිපතිගේ වගකීමකි.) අරමුදලේ සාමාජිකයන්ට බොහෝ කල් පසුවී ලබා දෙන දායක අරමුදල පිළිබඳ තුණ්ඩුව පනතේ දක්වා ඇති විස්තරවලට කිසිසේත් ප්‍රමාණවත් නැත. ඇත්තෙන්ම එම අරමුදලේ සාමාජිකයන් සහ ඔවුන් වෙනුවෙන් පෙනි සිටින වෘත්තීය සමිති කළ යුතු වැදගත්ම කාර්යක් වන්නේ පනත අනුව සේවකයන්ට ලබා දිය යුතු විස්තර ඉල්ලා ප්‍රබල ජනමතයක් ඇති කිරීම ය. මෙම අරමුදල රැක ගැනීම එවැනි ප්‍රබල ජනමතයක් නැතිව කිසිසේත් කළ හැකි කාර්යක් නොවේ. එය ඇරඹිය යුත්තේ කොටුවේ දුම්රිය ස්ථානය ඉදිරියේ පිකට් කිරීමෙන් නොව වැඩ පොළ සහ කාර්යාලවල සේවකයන් ඔවුන්ගේ මුදල් ආණ්ඩුව කොල්ල කන ආකාරය අවබෝධ කරවීමෙනි.
මෙම අරමුදලේ පාලනය ගැන කලින් සඳහන් කළ වොහාරික විගණන වාර්තාවේ සඳහන් වන්නේ මෙසේය. “සේවක අර්ථ සාධක අරමුදලේ ඉහළ කළමනාකාරිත්වය වෙළඳ පොළ තත්වය ගැන එක්කෝ සලකන්නේ නැත. නැතිනම් දන්නේ නැත.” එහෙත් බැදුම්කරත් වෙනත් ගනුදෙනුත් ගැන මෙතෙක් හෙළි වී ඇති කරුණු අනුව ඒ දෙකටම වඩා විවිධ තරාතිරම්වල පුද්ගලයන් මෙම අරමුදල තම මඩිය තර කර ගැනීමට යොදා ගෙන ඇතැයි පැහැදිලිවම කිව හැකිය.
වෙරිටේ රිසර්ච් ආයතනය කර ඇති අධ්‍යයන අනුව 1998 සිට 2017 දක්වා රාජ්‍ය ණය බැදුම්කරවල ආයෝජනයෙන් පමණක් අරමුදලට සිදුව ඇති පාඩුව රුපියල් දශ ලක්ෂ 9470 කි. මෙම පාඩුව 2019 අවසන් වන විට රු, දශලක්ෂ 24144 දක්වා ඉහළ ගොස් ඇත. මීට අමතරව අරමුදලේ මුදල් කොටස් වෙළඳ පොළ ආයොජනයෙන් ද සිදුව ඇත්තේ පාඩුවකි. එය එම වසර සඳහා රු. දශලක්ෂ 500 ඉක්මවා යයි.
ඇත්තෙන්ම මෙම අරමුදලේ ආයෝජන යොදවා ඇත්තේ ලාභ ලැබීම වෙනුවට පාඩු ලැබීමට ය. ලාෆ් සමාගමේ කොටස් අරමුදල මිලදී ගෙන ඇත්තේ එහි අගය කොටස් වෙළඳ පොළ ඉහළටම එනම් රු. 48 දක්වා ඉහළ ගොස් ඇති අවස්ථාවකය. අරමුදල කොටස් දශ ලක්ෂයක් කොටසකට රු. 48 බැගින් ගෙවා මිලදී ගෙන ඇත. පුදුමය වන්නේ මෙම ගනුදෙනුව සිදු වී දින කීපයකින් එහි මිල රු. 8 දක්වා පහත වැටීමය. කොටස් මිල ඉහළ යෑමත් අරමුදල කොටස් මිලට ගැනීමට තීරණය කිරීමත් අතර කිසියම් සම්බන්ධතාවයක් තිබුණේ ද යන්න සොයා බැලීමට කිසිවෙකුත් නැත. මේ ආකාරයටම එයාර් ලංකා ගුවන් සේවයේ කොටස් වෙළඳ පොළ හරහා මිලදී ගැනීමෙන් සිදුව ඇති පාඩුව රු. දශ ලක්ෂ 500කි.
ආරම්භයේ දී අරමුදල භාණ්ඩාගාර බිල්පත් සහ බැුදුම් කර සෘජු ගනුදෙනුවලින් ලබා ගත් නමුත් පසුව මහ බැංකුවේ අධිපතිගේ නියමයක් අනුව මිලදී ගැනීම් සිදු කළ යුතු වූයේ ද්වීතීය වෙළඳ පොළෙනි. එනම් බ්‍රෝකර් සමාගම් හරහාය. බොහෝ විට සිදු වන්නේ අඩු පොලී අනුපාතයකට මෙම බ්‍රොකර් සමාගම් ලබා ගන්නා භාණ්ඩාගාර බිල්පත් හෝ බැදුම්කර වැඩි මුදලකට අරමුදලට විකිණීමයි. එවැනි ගනුදෙනු නිසා බැදුම්කර වංචාව ගැන කුප්‍රකට නමක් ඇති පර්පෙචුවල් ට්රෙිෂරිස් සමාගම සමග කළ ගනුදෙනුවලින් අරමුදලට සිදුව ඇති පාඩුව රු. දශ ලක්ෂ 6400ක් සේ ගණන් බලා ඇත.
ණය ප්‍රශස්තකරණය පිළිබඳව ඇති වු මහජන විවාදයේ දී ආණ්ඩුවේ බලධාරීන්ගේ සහතිකය වූයේ අරමුදලේ සාමාජිකයන්ට සියයට 9ක පොලී අනුපාතයක් ස්ථිරවම ලබා දෙන්නේය යන්නයි. අරමුදලෙන් ඉපයිය හැකි ලාභය අනුව සියයට 9ක පොලී අනුපාතය ඇත්තෙන්ම සොච්චම් මුදලකි.
එහෙත් වැදගත්ම කාරණය රටේ දුප්පත්ම ජන කොටස සතු, එහි ආරක්ෂාව සඳහා රජය ලබා ගෙන ඇති මුදල් පාලනය කිරීම පිළිබඳව ජනතාවට, අරමුදලේ සාමාජිකයන්ට බලධාරීන් ගේ වගකිමක් හෝ වගවීමක් නොමැති කමය. එම අරමුදල කොල්ල කා ඇත්තේ එහි සැබෑ අයිතිකරුවන් වන සාමාජිකයන්ගේ ඇස් බැඳ තබා ය. ඔවුන් ගේ මුදල් පාලනය කරන ආකාරය නැතිනම් විනාශ කරන ආකාරය සඟවා තබා ගෙනය.
සේවක අර්ථ සාධක අරමුදල සම්බන්ධයෙන් ක්‍රියා කර ඇති ආකාරය සමස්ත පාලන තන්ත්රයේම පවතින අකාර්යක්ෂම දූෂිත තත්වයට එක් නිදසුනකි. දේශපාලකයන් ඇතළු මහ ධනපතියන් ගේ සුඛ විහරණය සඳහා දුප්පත් ජනතාව සූරා කෑමට එක් නිදසුනකි. අර්ථ සාධකයේත් වෙනත් ආයතනවලත් ඇති වංචා දූෂණ තුරන් කරන තෙක් ජනතාවට කිසිදු අස්වැසිල්ලක් නොලැබෙනු ඇත.
- රටේ අනාගතය තීරණය වන දේශපාලන හැරවුම් ලක්ෂ්‍යය කොතැන ද? - November 19, 2024
- සමාජ පෙරළිය හිසරදයට කොට්ට මාරු කිරීමක් නොවිය යුතුය.. - November 4, 2024
- කැනඩා ඉන්දියානු තානාපති අර්බූදය ලෝක ආධිපත්‍යය සඳහා කරන අරගලයේම කොටසක්.. - October 24, 2024