You are currently viewing මැතිවරණ සහ ප්‍රජාතන්‍ත්‍රවාදය නැවත පරිකල්පනය කිරීම

මැතිවරණ සහ ප්‍රජාතන්‍ත්‍රවාදය නැවත පරිකල්පනය කිරීම

නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය අසාර්ථක වීමත් සමග ප්‍රජාතන්ත්‍රවාදය යනු නැවත පරිකල්පනය කළයුතු දෙයක් බවට පත්වී තිබේ. “NPP එකට මේ කෝල් එක ආන්සර් කරන්නම වෙනවා” යන සිරස්තලයෙන් ගිය සතියේ එළි දැක්වූ නිර්මාල් රංජිත් සමග පැවැති යූටියුබ් සාකච්ඡාවේදී මහාචාර්ය ජයදේව උයන්ගොඩ ද ඒ බව යුක්ති සහගත ලෙස අවධාරණය කළේය.

නියෝජන ප්‍රජාත්න්ත්‍රවාදයේ එකී අසාර්ථකත්වය සහ ඊට මුහුණ දිය හැකි ආකාරය පිළිබඳ ව මම මගේ “සංවිචාරණිය සමාජයක්” කෘතියේ ‘දේශපාලනයට නව දැක්මක්’ නම් මුල් කොටසින් වෙසෙසින් සාකච්ඡා කළෙමි. ඉදිරියේ  පැවැත්වෙන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණය අරභයා ප්‍රකට බ්‍රිතාන්‍ය ගත්කතුවරයෙකු හා සමාජ විචාරකයෙකු වන ජෝර්ජ මොන්බියට් “මහ මැතිවරණ යනු ප්‍රජාතන්ත්‍රවාදයේ විගඩමකි – මහජනතාවට නියම හඬක් දෙමු” ලිපියෙන් පෙන්වා දුන්නේ ද නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ එකී අසාර්ථකත්වය සහ ඊට යෙදිය හැකි පිළියම් ගැනය.

George Monbiot

යනුවෙන් මොන්බියොට් සඳහන් කළේය. බ්‍රිතාන්‍යයේ ඊනියා නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයට පමණක් නොව මැතිවරණ වටා ජනතාව ඇන්දවෙන අපේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයට ද ඔහුගේ ඒ විවේචනය අදාළය.

මාධ්‍ය වාර්තා සහ පොදු කතාබහ ද  මැතිවරණ වටා බිහිවන කෝපභරිත පොරකෑම් වලින් හා වියරු අනුමානවලින් පිරීතිරී ගොස් තිබේ. එහෙත් වැඩදායක ප්‍රතිපත්ති සම්පාදනය, වැසියන් මුහුණ දෙන ප්‍රශ්න නිරවුල් කොට විසඳා ගැනීම සහ සංකීර්ණ ප්‍රශ්න සම්බන්ධයෙන් කරුණු කාරණා ඒත්තු යන ලෙස හේතු යුක්ති දැක්වීම මුලුමනින්ම පාහේ ඇනහිට තිබේ. මේ මහා කළබැගෑනිය නිම වූ විට අවසානයේදී අප අපේ කිසිදු ගැටළුවක් විසඳා ගෙන නැති බව සොයා ගැනීම බව මොන්බියට් පෙන්වා දෙයි.

මැතිවරණයක් යනු ගැටුම් අතිශයින් තීව්‍ර කරන සහ ප්‍රජාතන්ත්‍රවාදය අතිශයින් අවම කරණ සංසිද්ධියකි. මැතිවරණයක දී දේශපාලන පක්ෂ සිය ප්‍රතිරූපය තහවුරු කර ගැනීමට බොහෝවිට තැත්කරන්නේ වැඩකට නැති දේවල් තම වාසියට යොදාගනිමින් භේදය සහ ක්‍රොධය වැපිරීමෙනි. ඡන්දය ඉල්ලන බොහෝ දෙනෙක් කරන්නේ ඇත්ත ප්‍රශ්නවලින් අපේ අවධානය වෙනතකට යොමු කිරීම, ජනතාව ඇන්දවීම සහ බොරු පොරොන්දු දීමයි.

තාර්තිතව බැලූවිට ධනවාදය යනු ඇත්තටම වෙළඳපොළවල් යන්නෙහි විරුද්ධාර්ථ පදය ලෙස ගිනිය හැකිය. එමෙන්ම අප දැන් මුහුණ දෙන ආකාරයේ මැතිවරණ ද ප්‍රජාතන්ත්‍රවාදයේ විරුද්ධාර්ථපදය ලෙස සැලකිය හැකිය. අපේ සමාජ ජීවිතයේ අනෙකුත් බොහෝ කරුණු මෙන් ම මුලුමනින්ම වෙනස් අදහස් ගෙන ඒමට​ යොදාගත් එවැනි බොහෝ සංකල්ප දැන් අප බලාපොරොත්තු නොවූ ආකාරයේ මුලා කිරීම් වලට පරිවර්තනය වී තිබේ.

මැතිවරණ හරහා බිහිවන්නේ අතලොස්සක් අත බලය රැඳෙන වරප්‍රසාදලත් කල්ලියක ආණ්ඩුවක් බව ඇරිස්ටෝටල් සහ මොන්තෙස්කියු පවසා තිබුණි. අවංක ඥානවන්ත වංසක්කාර ගතිගුණ මැතිවරණයෙන් පත්වෙන නියෝජිතයන් තුළ අනිවාර්යයෙන් ම ඇති නොවන බව අපි දැන් අත්දැකීමෙන් දනිමු යනුවෙන් මොන්බියට් පවසයි.

ලංකාව කොපිකරගත් බ්‍රිතාන්‍යෙය් සම්ප්‍රදායික දේශපාලන මොඩලය මොන්බියට් පෙනවා දෙන පරිදි ප්‍රජාතන්‍ත්‍රවාදය යනු කැත වචනයක් ලෙස සැලකුණු මහජනතාව යනු නින්දිත සැහැසි ජනසන්නිපාතයක් ලෙස හුවා දැක්වුණු 18වැනි සියවසේ දී පිහිටුවන ලද එකකි. සර්වජන ඡන්දය හඳුන්වා දුන් පසුව වුවද එම මොඩලය කිසිදු හානියකින් තොරව සුරැකුණි.

පැරණි ග්‍රීසියේ මෙන්ම මධ්‍යකාලීන ව වැනීසිය හා ෆ්ලොරන්ස් වැනි පෞර රාජ්‍ය වල ද දේශපාලන තීන්දු ගැනීමේ පුරවැසි සභා සංයුක්ත වූයේ මැතිවරණ වලින් නොව ලොතරැයි මගින් තෝරාගත් පුරවැසි නියැදියකින් බව මොන්බියට් මතක් කරයි. සමාජයක සංයුතිය නියම ආකාරයෙන් පිළිබිඹුවන අන්දමට ඇල්ගොතරිම යොදා පරිගණනය කිරීමෙන් ලොතරැයි ක්‍රමයට තොරාගත් මහජන මණත්‍රණ සභාවක සංයුතිය කාර්යක්ෂම ව තීරණය කළ හැකිය

ලොතැරැයි ඇදීමෙන් මණ්ත්‍රණ සභාවල බහුතරය තෝරා ගැනීම ගැන ඇති බොහෝ විවේචන පංති බෙදීම මත පදනම් වූ ඒවා මිස අන්තර්ජාලගත සංනිවෙදනය, තොරතුරු ලබා ගැනීම හා අධ්‍යාපනික අවස්ථා පුළුල්වීම ආදීය හේතු කොට 19 හා 20වැනි සියවස්වල පැවතියාට වඩා අවබෝධය වැඩිකර ගැනීමට සාමාන්‍ය මිනිසුන්ට හැකිවීම සැලකිල්ලකට ගත් ඒවා නොවේ.

James S. Fishkin

ෆිෂ්කින් අධ්‍යනයේ නිරීක්ෂණවලට අනුව සහභාගී වූ බොහෝ අය තුළ තමන් සහභාගි වන්නේ පොදු මෙහෙවරක් සඳහා ය යන හැඟීම, අන්‍යෝන්‍ය ගරුත්වය සහ ප්‍රසාද ජනක බව තිබුණු අතර පරස්පර මත ඉතා ඉවසිල්ලෙන් සහ සාවධාන ව සාකච්ඡා කිරීමට තරම් සුදුසු වාතාවරණයක් නිරන්තරයෙන් පවත්වා ගෙන යෑමට ද ඔවුහු සමත් වූහ.

පිෂ්කින්ගේ අධ්‍යනවලට අනුව සංවිචාරණයට පෙර සහ පසු තත්වය සසඳන විට සහභාගි වන්නන්ගේ අදහස්වල ඇතිවී තිබූ වෙනස් වීම විස්මය දනවන සුලු විය. දේශපාලන තීරණ ගැනීමේ සංකීර්ණ භාවය පිළිබඳ වඩා දැනුවත් වීම සිය අදහස් වෙනස් කර ගැනීමට සහභාගි වන්නන්ට සැලකිය යුතු ලෙස බලපා තිබුණි . සහභාගිත්ව සංවිචාරණය දේශපාලන තීන්දු ගැනීමෙහි ලා සහභාගී වූවන්ගේ හැකියාව සහ විදග්ධ බව බෙහෙවින් මුවහත් කළ බව නිසැක ලෙස පෙනී ගියේ ය. අවශ්‍ය මෙවලම්, විශේෂඥ උපදෙස්  හා තොරතුරු සැපයූ විට සාමාන්‍ය ජනතාවට ද  නිපුණ පුරවැසියන් බවට පත් විය හැකි බව පළමු වරට විද්‍යාත්මක ව තහවුරු කළ අවස්ථාව එය බව ෆිෂ්කින්ගේ ප්‍රයත්නය ගැන විවරණයක් කරමින් රේබෲක් පවසයි.

බරපතළ ලෙස රෝගාතුර ව ඇති නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයට නව ජීවන හුස්මක් පිඹීමට සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදයට ඇති හැකියාව තව දුරටත් සැක කිරීමට කිසිදු දැනුවත් විද්‍යාර්ථීයෙකුට හේතුවක් නැති බව සංවිචාරණීය සභා පිළිබඳ ෆිෂ්කින්ගේ නියාමක ව්‍යාපෘති විමසුමට ලක් කරන රේබෲක් පවසයි.  පුරවැසි සහභාගිත්වය යනු හුදෙක් පෙළපාලි යෑමට, වැඩ වර්ජනය කිරීමට, පෙත්සම් අත්සන් කිරීමට හෝ පොදු තැන්වල එක් රැස්ව ජන ඝෝෂා පැවැත්වීමට ඉඩ ලබා දීම පමණක් නො වේ. පුරවැසි සහභාගිත්වය යනු ආණ්ඩුකරණය තුළ නිතිපතා ආයතනික ව තහවුරු කළ යුතු දෙයකි. ලොතරැයි ක්‍රමයට තෝරාගත් බහුතරයකින් සමන්විත මහජන සභා හරහා ක්‍රියාත්මක වන සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය (Deliberative Democracy) එයට මඟ සලසයි. එය සැබවින්ම ප්‍රජාතන්ත්‍රවාදය නැවත පරිකල්පනය කිරීමකි

සාර්ථකත්වය පිළිබඳ විශ්වශනීය සාක්ෂි වලින් තොරව පවතින දේශපාලන ක්‍රමය වෙනස් කළ යුතු නැති බව සැබවක් නමුත්‍ සම්ප්‍රදායික ක්‍රම වලින් ආමණ්ත්‍රණය කළ නොහැකි තරම් භේදකාරී සහ සංකීර්ණ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා ආණ්ඩු විසින් සාර්ථක පුරවැසි සභා සහ මහජන ආණ්ඩුක්‍රම සම්පාදන සභා පිහිටුවීම පිළිබඳ ඇති සාක්ෂි අනුක්‍රමයෙන් වැඩි වෙමින් පවතින බව මොන්බියට් පෙන්වා දෙයි. බහුතරය කතෝලිකයන් වන අයර්ලන්තය සම ලිංගික විවාහ සහ ගබ්සා කිරීම පිළිබඳ පුරවැසියන් අතර තිබූ මතබේද සහ වාද විවාද විසඳා ගත්තේ අහඹුලෙස තෝරාගත් පුරවැසියන් බහුතරයක් සහිත කණ්ඩායම් යොදා ගනිමින් සංවිධානය කළ සංවිචාරණිය සභා මගිනි. ස්වකැමැත්තෙන් මරණය ළඟාකර ගැනීමට නීතියෙන් අවසර දීම පිළිබඳ සංකීර්ණ ප්‍රශ්නය විසඳා ගැනීමට ප්‍රංශය එවැනිම පුරවැසිසභා බාවිතා කළ බව මොන්බියට් පෙන්වා දෙයි. ඒ හැර විවිධ අසීරු ප්‍රශ්න විසඳා ගැනීම සඳහා 2021 සිට 2023 දක්වා කාලපරිච්ඡේදය තුළ ලොතරැයි ක්‍රමයට තෝරාගත් බහුතරයක් සහිත නව පුරවැසි සභා 160ක් යුරොපය තුළ පිහිටුවා ගත් බවත් ඉන් හතලිහක් ස්ථිර සංවිචාරණිය සභා බවට පරිවර්තනය වී ඇති බවත් මොන්බියට් පෙන්වා දෙයි. පැරිසියේ  වීදිවාසීන්ගේ නිවාස ප්‍රශ්නය විසඳීමට පැරිසියේත්, නව නාගරික සැලසුම මහජන සංවිචාරණයට ලක් කිරීමට ලිස්බනයේත් දේශගුණ විපර්යාසය ආමන්ත්‍රණය කිරීමේ ප්‍රතිපත්ති සංවිචාරණයට ලක් කිරීමට බ්‍රසල්ස් නගරයෙත් පැවැති ජනසභා ඉන් ඇතැම් ඒවාය. ඒ හැර විශේෂයෙන් සඳහන් කළ යුතු උදාහරණයක් වන්නේ බෙල්ජියමේ ජර්ම්න බස කතා කරන කොටසේ ඡන්දයෙන් පත්වන පළාත් පාර්ලිමේන්තුවට අතිරේකව දෙවැනි මණ්ත්‍රණ සභාවක් ලෙස ලොතරැයි ක්‍රමයට තෝරාගත් බහුතරයකින් යුතු මහජන කවුන්සිලයක් පිහිටු වීමයි.

රජය හෝ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් විසින් යෝජනා කරන අණපනත් ප්‍රථමයෙන් සංවිචාරණයට ලක් කොට අනතුරුව සලකා බැලීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිප්ත කළ යුතු සුදුසු සංශෝධන තීරණය කළ යුත්තේ ලෙතරැයි ක්‍රමයට තෝරාගත් බහුතරයකින් සමන්විත මෙකී මහජන මන්ත්‍රණ සභාවේ දීය. එමගින් රාජ්‍ය ප්‍රතිපත්ති හා අදාල නීතිරීති සැකසීමේදී දැනුවත් මහජන සහභාගිත්වය තහවුරු කරගත හැකි අතර ම නියම මහජන මතය කුමක්ද යන්න වටහා ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද ඉඩ සැලසේ. මහජන කවුන්සිලය යොජනා කරන සංශෝධන වලට රජය හෝ යෝජක මන්ත්‍රීවරයා එකඟ නොවන අවස්ථා වලදී රජය වෙනුවෙන් විෂය බාර ඇමති වරයා හෝ යොජක මන්ත්‍රීවරයා මහජන මණ්ත්‍රණ සභාව අමතා කරුණු පැහැදිලි කළ යුතු අතර ඒ සම්බන්ධයෙන් මණ්ත්‍රණ සභා සාමාජිකයන්ගෙන් සහ ඔවුන් විසින් තෝරා ගනු ලබන විෂය විශේෂඥයන්ගේ විමසීම් වලට පිළිතුරු සැපයයි යුතුය. විෂය භාර ඇමතිවරයා හෝ යෝජක මන්ත්‍රීවරයාගේ මතය කවුන්සිල සාමාජිකයන් අතර සංවිචාරණයට ලක් කොට අමාත්‍යවරයා හෝ යෝජක මන්ත්‍රීවරයා හා එකඟත්වයකට පැමිනිය නොහැකි අණපනත් හෝ වගන්ති ඇතිනම් ඒවා පාර්ලිමේන්තුව විසින් අනුමත කළ යුත්තේ මන්ත්‍රීන් හතරෙන් තුනක වැඩි ඡන්දයකින් පමණි.

ඉහත කී විධිවිධාන වලට අතිරේකව පුරවැසියන් 50,000 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අත්සන් කොට ඉදිරිපත් කරන ඕනෑම පනත් කෙටුම්පතක් සංවිචාරණයට ලක් කොට සිය නිර්දේශ සමග විවාද කොට අනුමත කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ද එකී මහජන කවුන්සිලයේ වගකීමක් කිරීම තුළින් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය විසින් නොතකා හරින වැදගත් කරුණු සම්බන්ධයෙන් සෘජු මහජන මැදිහත්වීම සහතික කළ හැකිය.

නියෝජන ක්‍රමයේ පිරිහීම පිලිබිඹුවන්නේ පාර්ලිමෙන්තුවෙන් පමණක් නොවේ. මැතිවරණ මගින් තෝරාපත්වන පක්ෂ නායකත්වයේ අන්තේවාසික ‘ගල්වැලිපස් කල්ලිකාරයන්‘ ලෙස ඇතැම් විචාරකයින් හඳුන්වන කප්පම්කාර සභිකයන් විසින් මෙහෙයවන පළාත් සභා හා ප්‍රාදේශීය සභා මගින්ද පවතින දුෂිත නියෝජන ක්‍රමය ප්‍රාදේශිය දේශපාලනය, ග්‍රාමීය ආර්ථිකය පමණක් නොව ප්‍රාදේශීය සංවර්ධනයද අවතැන් කොට තිබේ. පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මුළුමනින් ම අවලංගු කොට ඒ වෙනුවට ලොතරැයි ක්‍රමයට පත්කරගත් බහුතරයක් සහිත මහජන කවුන්සිල පදනම් කොට පළාත් පාලනය ප්‍රතිසංවිධානය කිරීම ප්‍රජාතන්ත්‍රවාදය යළි පරිකල්පනය කිරීමේ ලා තීරණාත්මක පියවරකි.

Leave a Reply