අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු වූ රනිල් වික්‍රමසිංහ නිල සංචාරයක් අතර තුර පෞද්ගලික ගමනක් සඳහා මහජන මුදල් අවභාවිතා කිරීම පිළිබඳ චෝදනාවකට අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම දේශපාලන ක්ෂේත්‍රයේ උණුසුම් මාතෘකාවක් බවට පත්ව ඇත. අපගේ අවධානය යෙමු වන්නේ එම අත් අඩංගුවට ගැනීම හෝ මුදල් අවභාවිතාවක් සිදුව ඇත්ද යන්න ගැන නොවේ. ඒ පිළිබඳ තීන්දුවක් ඉදිරිපත්වන සාක්ෂි පදනම්ව අධිකරණයෙන් ලැබෙනු ඇත. ඒ ගැන කතා කළ හැකි වන්නේ ඉන් පසුවය.

වඩාත් වැදගත් වන්නේ එම අත් අඩංගුවට ගැනීම සහ රක්ෂිත බන්ධනාගාර ගත කිරීම පදනම්ව ඔහු ගැන කෙරෙන විස්මය දනවන ගුණ කතනයි. එම ගුණ කතකයින් පවසන ආකාරයට රනිල් වික්‍රමසිංහ අග්‍ර ගණයේ ප්‍රජාතන්ත්‍රවාදියෙකි. කිසි දිනක තම නිල බලය යොදා මහජන මුදල් අවභාවිතා කර නැත. ශ්‍රේෂ්ඨ පරිත්‍යාගශීලියෙකි. රට බංකොළොත් වූ අවස්ථාවේ රට ගොඩ ගැනීමට තම බුද්ධිය සහ දුර දක්නා නුවන යොදා ගත්තේය. ඒ සඳහා ඔහුගේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ද ඉවහල් විය.
ඊට අමතරව විධායක ජනාධිපති තනතුර පැය අටක කාලයකට සහ වැඩ කරන දින පහකට සීමා නොවන නිසා ඔහු පැය විසි හතර පුරාවටම කරන කියන දේ රාජකාරි වශයෙන් ගණන් ගත යුතුය. ඒ අනුව බිරිඳට ගරු මහාචාර්ය පදවියක් පිරි නැමීමේ උත්සවයට යෑම ද රාජකාරියකි. කෙටියෙන් තනතුර දරන කාලය පුරාම ඔහු කරන කියන දේ රාජකාරියක් නිසා ඒ සියල්ලට මුක්තියක් හිමි වේ.
පළමුවෙන්ම රනිල් වික්‍රමසිංහගේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන විමසීම ප්‍රයෝජනවත් ය. ඔහු අනුප්‍රාප්තික ජනාධිපති තනකුරු දැරූ සමයේ පළාත් පාලන ඡන්ද විමසීමට නියමිතව තිබිණ. නියමිත කාලය තුළ මැතිවරණ කොමිසම නාම යෝජනා කැඳවීම සහ ඡන්ද විමසීම සඳහා අවශ්‍ය සූදානම් කටයුතු ද කෙළේය. ඒ සඳහා වාර්ෂික අයවැයෙන් ප්‍රතිපාදන ද වෙන් කර තිබිණ. එහෙත් රට බංකොළොත්ව ඇති නිසා එම අර්බූදයෙන් ගොඩ එන තෙක් ඡන්ද විමසීම් පැවැත්විය නොහැකියැයි ඔහු කීවේය. ඡන්ද විමසීම සඳහා අයවැයෙන් වෙන් කර ඇති මුදල් ලබා දෙන ලෙස අධිකරණයෙන් නියෝග කළ ද එය නොසලකා හැරියේය.

ඡන්ද විමසීම සඳහා සියලු කටයුතු සම්පාදනය කර තිබු නිසා රුපියල් දශ ලක්ෂ දහයක් ලබා දෙන්නේ නම් ඡන්ද විමසීම පැවැත්විය හැකියැයි මැතිවරණ කොමිසම කී නමුත් භාණ්ඩාගාරයේ මුදල් තත්වය අනුව එය කිසිසේත්ම ඉටු කළ නොහැකියැයි මුදල් ඇමතිකම ද පවරා ගෙන සිටි රනිල් ගේ ස්ථාවරය විය. උත්ප්‍රාසය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පැවැත්විය යුතු ඡන්ද විමසීමට රුපියල් දශ ලක්ෂ දහයක් නැතැයි කී ඔහු බිරිඳගේ උත්සවයට යෑමට රුලියල් දශලක්ෂ 16.6ක් විදෙස් කටයුතු පිළිබඳ අමාත්‍යංශයෙන් ලබා ගැනීම ය. මෙම අසහාය ප්‍රජාතන්ත්‍රවාදියාට පළාත් පාලන ඡන්ද විමසීමට වඩා වැදගත් වන්නේ කොතැනින් හෝ මුදල් ලබා ගෙන පවුලේ යුතුකම් ඉටු කිරීමය. ඉහළ ධනපති පංතිය සහ මධ්‍යම පංතියේ කොටසක් බෙහෙවින් අගය කරන්නේ එම ‘ප්‍රජාතන්ත්‍රවාදය යි.
තවත් සමාජ ක්‍රියාකාරීන් පිරිසක ගේ සහ බලයේ සිටි දේශපාලන පක්ෂවල අනුගාමිකයන් ගේ තර්කය වන්නේ මහජන මුදලින් රුපියල් දශ ලක්ෂ 16ක් නිල සංචාරයක් අතර තුර තමාගේ පුද්ගලික ගමනක් වෙනුවෙන් යොදා ගැනීම අත් අඩංගුවට ගැනීමට තරම් බරපතළ වරදක් ද යන්නයි. ඊට වඩා බරපතල වංචා හෝ දුෂණ ක්‍රියා පිළිබඳව චෝදනා ඉදිරිපත්ව ඇති නිසා අත් අඩංගුවට ගත යුත්තේ ඒ චෝදනා මතය. රුපියල් දශ ලක්ෂ 16ක් පිළිබඳව ඇත්තේ සිල්ලර චෝදනාවකි. එම නිසා මෙය දේශපාලන පලිගැනීමකි. ප්‍රජාතන්ත්‍රවාදය වළ දැමීමකි.
දේශපාලනය වෘත්තියක් කර ගත් මැති ඇමතීන් සහ ඔවුන්ගේ අනුගාමිකයන් තර්ක කරන ආකාරයට බලයේ හිටපු දේශපාලකයන් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීම දේශපාලන පලි ගැනීමකි. පරීක්ෂණ සහ විමර්ශන කිරීමත් ඉන් පසුව අධිකරණ ක්‍රියාවලියත් ක්‍රියාත්මක වන්නේ දේශපාලනය අනුවය. කාලයේ වැලි තලාවෙන් වැසී ගිය අපරාධ සහ වංචා දූෂණ ගැන විමර්ශන සිදු වන්නේත් අධිකරණ ක්‍රියා මාර්ග ගන්නේත් දේශපාලනය අනුවය. බලයේ සිටින දේශපාලන කණ්ඩායමේ වුවමනාව අනුවය.
ඇත්තෙන්ම අධිකරණ ක්‍රියාවලිය බොහෝ දුරට දේශපාලන බලපෑමට යටත්ව තිබුණේයැයි නගන තර්කය සම්පූර්ණයෙන්ම බැහැර කළ නොහැකිය. ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම ලසන්ත වික්‍රමතුංග ඝාතනය වැනි සිද්ධීන් මෙන්ම තවත් සාපරාධී ක්‍රියා රැසක් දේශපාලන බලපෑම නිසා යටපත් වූ බව නිසැකය. එහෙත් එවැනි සිද්ධීන් ගැන නීතිය ක්‍රියාත්මක කිරීම දේශපාලන පලි ගැනීමක් සේ හැඳින්විය හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රියා මාර්ගයෙන් බැහැර වූවන්ට පමණි.
අපේ රටේ නීතිය වල් වැදුණේ දේශපාලකයන්ගේ වුවමනාව මතය යන්නට අපමණ නිදසුන් නිදහසින් පසු ඉතිහාසයෙන් දැක් විය හැකිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණය නොසලකා දේශපාලන වුවමනාව අනුව කටයුතු කිරීම නීතියේ ආධිපත්‍යය බිඳ දැමීමකි. නිදහස් ලංතාවේ පළමු පාර්ලිමේන්තුවේ සිටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොසලකා දේශපාලකයන් අතට විධායක සහ ව්‍යවස්ථා සම්පාදනයේ බලතල ගත්තේය. ජන කොටසකගේ පුරවැසි අයිතිවාසිකම් අහිමි කිරීම සහ භාෂාමය වශයෙන් වෙනස් කොට සැලකීම රාජ්‍ය ප්‍රතිපත්තිය විය. එම සම්ප්රදාය අනුව දේශපාලකයන්ට එරෙහිව ගන්නා නීති පියවර දේශපාලන පලි ගැනීම් සේ සැලකීමට පසුබිමක් ඇත. නීතියේ කුමක් සඳහන් වුවත් එම ප්‍රතිපාදන ක්‍රියාත්මක වූයේ දේශපාලන වුවමනාව මත ය. එමනිසා රනිල් මහජන මුදල් අවභාවිතා කිරීම ගැන නීතිමය පියවර ගැනීම ද දේශපාලන පලි ගැනීමක් සේ හැඳින්වීම අපගේ දේශපාලන භාවිතාවේම කොටසකි.
මෙම දේශපාලකයන් අමතක කරන හෝ අමතන කිරීමට උත්සාහ කරන වැදගත්ම කාරණය වන්නේ දේශපාලකයන්ට මහජන මුදල් සම්බන්ධව හෝ පුරවැසි ජීවිතයට බලපාන වෙනත් තීරණ ගැනීමට බලය ලැබී ඇත්තේ කෙසේද යන්නයි. විධායක ජනාධිපතිත්, පාර්ලිමේන්තුවත් පත් කෙරෙන්නේ රටේ පරමාධිපත්‍යය හිමි ජනතාව විසිනි. ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ මුල් ව්‍යවස්ථාවේම සඳහන් වන ආකාරයට ජනතාව සතු පරමාධිපත්‍යය අත්හළ නොහැක්කේය. විධායක ජනාධිපතිත් පාර්ලිමේන්තුවත් තෝරා පත් කිරීමේ දී පරමාධිපත්‍යය හිමි ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් රට පාලනය කිරීමේ බලය දේශපාලකයන්ට ලබා දෙන්නේ කොන්දේසි විරහිතව නොවේ. ඇත්තෙන්ම පාලකයන් හා ජනතාව අතර ඇති කර ගන්නා ගිවිසුමකි. එය රූසෝ හැඳින් වූයේ සමාජ ගිවිසුම යනුවෙනි.

සමාජ ගිවිසුම අනුව පාලකයාට හිතුමතයේ බලය ක්‍රියාත්මක කළ නොහැකිය. පාලකයා යනු ජනතාවගේ ඒජන්තයෙකු නැතිනම් නියෝජිතයෙකු පමණි. නියෝජිතයාට ජනතාව ලබා දුන් බලය ක්‍රියාත්මක කළ හැකි වන්නේ ඔවුන්ගේ යහපත සඳහා පමණි. එය ඉටු නොවන්නේනම් එවැනි දේශපාලකයන්ට ජනතාව සතු පරමාධිපතයය ක්‍රියාත්මක කිරීමට සදාචාරමය හෝ නිත්‍යානුකූල බලයක් ලැබෙන්නේ නැත. එම බලය යෙදවිය යුතු ආකාරය ව්‍යස්ථාවන්ගෙන් සම්මත කර ඇත. ඒවාට පටහැනි ආකාරයට කටයුතු කරන්නේ නම් ජනතාව සමග බැඳී ඇති ගිවිසුම කඩ කිරීමකි.
ඒ අනුව විධායක ජනාධිපතිට දිනයේ පැය විසිහතර තුළම මුක්තියක් ලැබෙන්නේ ජනතාව ලබා දුන් කැමැත්ත නැතිනම් වරම අනුව කටයුතු කරන්නේ නම් පමණි. එය කඩ කරන්නේ නම් මුක්තියක් හිමි කර ගැනීමට සදාචාරමය සහ නෛතික අයිතියක් නැත. එසේ කඩ කිරීමක් සිදු වන්නේ ද යන්න තීරණය කරන්නේ ජනතා පරමාධිපත්‍යය ක්‍රියාත්මක කරන අධිකරණයයි. අධිකරණය ක්‍රියාත්මක විය යුත්තේ ජනතාව වෙනුවෙනි. එහෙත් අධිකරණය දේශපාලනයට නතු කළ පාලකයෝ ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාව වෙනුවෙන් සේවය කිරීමේ දිවුරුම රජය වෙනුවෙන් සේවය කිරීම යනුවෙන් වෙනස් කළහ. මෙම දිවුරුමට වෙනත් රටවල නීතියේ සරණ පතා එන සියලු දෙනාටම අපක්ෂපාතීව යුක්තිය සහ සාධාරණය ඉටු කිරීම ද ඇතුළත්ය. එක්සත් ජනපදයේ නූතන භාවිතාව කුමක් වුවත් දුප්පතුන්ට සාධාරණය ඉටු කරන බවද අධිකරණ දිවුරුමට ඇතුළත් ය.
එමනිසා නීතිය ක්‍රියාත්මක වීම දේශපාලන පලි ගැනීමක් සේ හඳුන් වන්නේ දේශපාලකයන්ට මුක්තිය ලබා ගැනීම සඳහාය. ඒ අනුව දේශපාලකයන් ජනතා අයිතිය කඩ කළ විට ජනතාවට ගත හැකි පියවරක් නැත. රනිල් තමාගේ බිරිඳ වෙනුවෙන් පැවැත් වූ උත්සවයකට සහභාගිවීමට මහජන මුදල් වැය කිරීම යුක්ති සහගත කළ හැකි වන්නේ එවැනි තත්වයක් තුළය. මෙම තර්කය අනුව තමා විධායක බලතල හිමි කර ගෙන ඇති නිසා පළාත් පාලන ඡන්ද විමසීමකට නැති මුදල් ඔහුගේ අවශ්‍යතා යෙදවීමේ වරදක් නැත.
විධායක ජනාධිපති ඇතුළත් සියලු බලධාරීන් එම බලය ලබන්නේ ජන වරමකින් බවත් එම බලය පාවිච්චි කිරීම පිළිබඳව ඔවුන් පැය විසි හතර පුරාම ජනතාවට වගතිමට බැඳී ඇති බවත් දේශපාලකයන් තේරුම් ගත යුතුය. ඔවුන්ගේ ක්‍රියා කලාපය ප්‍රශ්න කිරීමේ අනුලංඝනීය අයිතිවාසිකමක් ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වන අධිකරණ පද්ධතියට සහ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියටත් ඇති බව දේශපාලකයන් තේරුම් ගත යුතුය. එහිදී කිසියම් පුද්ගලයෙකුගේ සමාජ තත්වය හෝ දැරූ තනතුරු වැදගත් වන්නේ නැත. තීරණාත්මක වන්නේ ජනතා සුභ සිද්ධියයි.
- මංකොල්ලකාරී අධිරාජ්‍යවාදය නැවතත් ලෝක සමය බවට පත්වේ.. - March 4, 2026
- යළි උපන් අවතාර පැරණි හොල්මන්වලින් වෙනස්වන්නේ නැත.. - February 25, 2026
- දේශපාලනයේ දරිද්‍රතාවයට විසඳුම් අවශ්‍යයි.. - February 9, 2026