ශ්‍රී ලංකාවට, අඩුම වශයෙන් කිසියම් පිරිසකට දේශපාලන කිරිබත් කා රතිඤ්ඤා පත්තු කිරීමට දෙවන වරටත් අවස්ථාවක් පසුගිය දා ලැබිණ. පළමු අවස්ථාව වූයේ 2009 මාර්තු මස මුල්ලිවයිකාල්හි දී එල්ටීටීඊ නායක ප්රභාකරන් සහ ඔවුගේ සටන් කණ්ඩායම සම්පුර්ණයෙන් ම විනාශ කිරීමේ ප්‍රීතියයි. පසුගිය සතියේ රතිඤ්ඤා පත්තු කොට කිරිබත් කෑමට නියෝග ලැබුණේ මාස ගණනාවක් තිස්සේ දිග් ගැස්සෙමින් තිබු සාකච්ඡා නිම කොට අවසානයේ දී අන්තර්ජාතික මූල්‍ය අරමුදල ඩොලර් බිලියන 2.9 ක් ණයට දීමට එකඟ වී එහි පළමු වාරිකය නිකුත් කිරීමේ ප්‍රීතියයි. 2009 මැයි මාසයේ තරම් ගණ සැරේට නොවුවත් රතිඤ්ඤා පත්තු විය. ඒ සැමරුවේ ණය ලබා ගැනීමේ ජයග්‍රහණයයි. සමහර විට රතිඤ්ඤා පත්තු කළ අය සහ ඔවුන්ට රතිඤ්ඤා මිලදී ගෙන දුන් අය අමතක කළ හෝ කීමට අකමැති සත්‍යය නම් ඒ සඳහා සියයට 4 – 5 ත් අතර පොලී අනුපාතයක් ගෙවිය යුතු බවය.
ලංකාවේ දැනට පවතින බැංකු පොලිය අනුව මෙම අනුපාතය පහත් එකක් සේ පෙනුණ ද මේ මුදල් ගෙවිය යුත්තේ රුපියල්වලින් නොව ඩොලර්වලිනි. ලෝකයේ ප්‍රධාන පෙළ මූල්‍ය වෙළඳ පොළ පවතින පොලී අනුපාතය අනුව එය වාණිජ මට්ටමේ ඉහළ පොලී අනුපාතයකි. දැනට ගෙවා ගත නොහැකිව පවතින විදේශ ණය බොහෝ ප්‍රමාණයක් ලබා ගෙන ඇත්තේ මෙවැනිම පොලී අනුපාත යටතේය. ඒ අනුව චීනයෙන් හම්බන්තොට වරාය තැනීමට සහ කොළඹ නෙළුම් කුලුන තැනීමට ණය නිකුත් කරන විට ද රතිඤ්ඤා පත්තු කර කිරිබත් කෑ යුතු ව තිබිණ. එම ණය ද අරගෙන ඇත්තේ මෙවැනි ම පොලි අනුපාත යටතේ නිසා ය. කෙසේ වුවත් එදා රතිඤ්ඤා පත්තු නො කිරීම අද රතිඤ්ඤා පත්තු කිරීමට බාධාවක් නොවේ.
මේ ණය ගනුදෙනුව ගැන විමසීමේ දී ඇත්තෙන්ම රතිඤ්ඤා පත්තු කළ යුතු කවුරුන්ද යන ප්රශ්නය ද මතුවේ. දැනට පළ වී ඇති වාර්තා අනුව ණය මුදලේ පළමු වාරිකය වශයෙන් ලැබුණු ඩොලර් දශ ලක්ෂ 333න් හරි අඩකට ආසන්න ප්‍රමාණයක් එනම් ඩොලර් දශ ලක්ෂ 121ක් ඉන්දියාවට ගෙවිය යුතුය. ඒ ඉන්දියාවෙන් ගෙන ඇති ණය සඳහා ය. එම නිසා ඉන්දියාවේ අගමැති නරෙන්ද්‍ර මෝඩි ඉන්දියානුවන්ගෙන් ද රතිඤ්ඤා පත්තු කිරීමට ඉල්ලීමක් කෙළේ ද යන්න තවම වාර්තා වී නැත. කපා හැරීමට නැතිනම් අපත පොතට ඇතුළත් කිරීම නියමිතව තිබු ණයක් කෙසේ හෝ ලැබීම ඉන්දියවටනම් ජයග්‍රහණයක් නොවුවත් සැනසීමට කරුණකි.
විදේශ ණය ගැන විමසිල්ලේ පසුවන අපට තවත් ආරංචියක් පසුගිය ඉරිදා ( මාර්තු 26) අයිලන්ඩ් පුවත් පතේ වාර්තා කර තිබිණ. එම වාර්තාව අනුව ශ්‍රී ලංකාව මෙම වසරේ දී එක්සත් ජනපදයට සහ යුරෝ කලාපයට එනම් යුරෝපා සංගමයට ඩොලර් දශලක්ෂ 2,533ක් ණයට දිය යුතුය. උග්‍ර විදේශ මුදල් අර්බුදයකට මුහුණ දී ඇති අපට මෙපමණ මුදලක් (කප්පමක් නොවේ) ණයට දිය යුතු යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන ණයත් සමග බල කරන්නේ ඇයි ද යන්න ඇත්තෙන්ම ගැටලුවකි. එහෙත් එය ණය ලබා දීමේ තවත් කොන්දේසියකි. එනම් අපට රතිඤ්ඤා පත්තු කර ලබා ගන්නා ණයට සමාන මුදලක් එම රටවල රාජ්‍ය බැඳුම්කර ගැනීමට නියම කිරීම ණය ආපසු ලබා ගැනිමට ඇති හැකියාව පිළිබඳ සහතිකයකි. රාජ්‍ය බැඳුම්කරවල ආයෝජනය කිරීමට නියම කරන මෙම මුදල් සඳහා අපට පොලී අනුපාතයක් ලැබෙන බව සත්‍යයකි. එහෙත් මතුවන ප්රශ්නය විදේශ ගනුදෙනු සඳහා දෛනික ව අවශ්‍ය කරන මුදල් හෝ සපයා ගත නොහැකි අප එක්සත් ජනපදයේ සහ යුරෝපා සංගමයේ රාජ්‍ය බැඳුම්කරවල මුදල් යොදවන්නේ ඇයි ද යන්නයි. රනිල් වික්‍රමසිංහ වැනි ආර්ථික ‘‘විශේෂඥයන්’’ එය හොඳ ආයෝජනයක් යැයි තර්ක කරනු ඇත. ඉන් එහාට ගොස් ලොව ධනවත් ම රටවලට පවා ණයට දීමේ හැකියාව නිසා නැවත වරක් රතිඤ්ඤා පත්තු කිරීමට නියෝග නිකුත් කරනු ඇත.
මෙසේ ඩොලර් සහ යුරෝ බැඳුම්කරවල ආයෝජනය කිරීමට නියමිත විදේශ මුදල් ලැබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගත් ණය ඵලදායි ලෙස ආයෝජනය කර උපයා ගන්නා මුදලකින් නොවේ. ඩොලර් බිලියන 2.5 ක් වන මෙම මුදල අපට ලැබෙන්නේ මැද පෙරදිගත් වෙනත් රටවලත් දහඩිය වගුරුවන සේවකයන් මේ රටේ සිටින අඹු දරුවන්ගේ යැපීම සඳහා එවන මුදලින් සහ අපනයන ආදායම්වලිනි. මින් පැහැදිලි වන තවත් සරල කාරණයක් වන්නේ අප කෙසේ හෝ උපයා ගන්නා විදෙස් මුදල් අපට කැමති ආකාරයට වියදම් කිරීමට ඉදිරියට නොහැකිවන බවය. ඩොලර් සහ යුරෝ බැඳුම්කරවල ආයෝජනය කර ඉතිරි මුදලක් වෙතොත් ඒවා ආයෝජනය කිරීමට ‘නිදහස’ ලැබෙනු ඇත. දැනට පවතින ජාත්‍යන්තර ආර්ථික ප්රවනතා අනුව අපේ අපනයන ආදායම් ඉහළ යෑමට ඇති අවස්ථා ඉතාමත් සීමිතය.
එක්සත් ජනපදයේ ප්‍රධාන පෙළ ආයෝජන බැංකු බංකොළෙත් වී එහි බලපෑම යුරෝපා රටවලට ද ව්‍යාප්තවී ක්‍රෙඩිට් සුසී වැනි ස්විස් බැංකු ද කඩා වැටෙන විට ජාත්‍යන්තර සියලු ගනුදෙනු නොසිකූ ආකාරයෙන් පහත වැටීමේ බරපතළ අවදානමක් පවතින බව ද අමතක නොකළ යුතුය.
ජාත්‍යන්තරව වර්ධනය වෙමින් පවතින අවදානම් තත්වය අමතක කළ ද අපේ රටේ රනිල් රාජපක්ෂ පාලනය ජනතාව (ගොනාට) ඇන්දවීමේ උත්සාහය වෙන කවදාටත් වඩා උත්සන්න කර ඇති බව පැහැදිලි ය. ණය ලබා ගැනීම ජනතාව තව තවත් උගුලකට සිර කිරීමේ උත්සාහයක් නොව ජය පැන් බීමේ අවස්ථාවක් කර ගැනීම එක නිදසුනක් පමණි. තමන් කරන දේ සඟවා නොකරන දෙයක් කරන්නේ යැයි පෙන්වීම මෙම දේශපාලනයේ ලකුණකි. ඩී.ඇස් ගේ කාලයේ පටන් ගත් ආර්ථික පරිහානියට යන මාර්ගය විවෘත කිරීම ‘සංවර්ධනයයි’. ඉහළ පොලී අනුපාතයට ණය ගෙන ධනවතුන්ට ඉක්මනින් ගමන් බිමන් යෑමට අධිවේගී මාර්ග තැනීම ‘සංවර්ධනය’ යි. පරිසරය විනාශ කරමින් වරාය නගර ඉදි කිරීම ‘සංවර්ධන’ යයි. ඇත්තෙන්ම ගත වූ වසර හැත්තෑපහක කාලය තුළ කර ඇති සංවර්ධනයේ ප්‍රතිඵලය ජනතාව වඩාත් දුක්ඛිත තත්වයකට පත් කිරීමය. නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවාව වැනි ජනතාවට තිබූ සහන දැන් සම්පූර්ණයෙන්ම අහෝසි වෙමින් පවතී.
අපේ රට ණය හිමියන්ගේ කොන්දේසි මත ආර්ථිකයත් ඒ හරහා දේශපාලනයත් හැසිරවීමට සිදුව ඇත්තේ මූලික වශයෙන් ම ආර්ථික කළමනාකරණයේ පැවති දුර්වලතා ය. ආර්ථිකය සම්පූර්ණයෙන්ම හසුරුවා ඇත්තේ දේශපාලකයන්ගේ වුවමනාව අනුවය. ආර්ථිකය කඩා වැටීමට මූලික හේතුව මෙම මංකොල්ලය යි. එය ලෝක බැංකුව සහ වෙනත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන පවා පිළිගෙන ඇති සත්‍යයකි. එමනිසා මෙවර ණය නිකුත් කිරීමේ දී වංචා සහ දූෂණ පිටු දැකීමේ වැඩ පිළිවෙළක් සකස් කිරීම කොන්දේසියකි. බදු අනුපාත වැඩි කිරීම, විදුලි බිල සහ අනෙකුත් සේවා ගාස්තු වැඩි කිරීම මෙන්ම මෙය ද අනිවාර්ය කොන්දේසියකි. මේ නිසා ජනාධිපති රනිල් ලෝකයේ බලවත්ම දූෂණ සහ වංචා පිටුදැකීමේ නීතියක් සම්පාදනය කරන බවත් එය ඉක්මණින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගන්නා බවත් පැවසුවේය. එය පාර්ලිමේන්තුවේ දී පවසන විට පොහොට්ටුවේ මංත්‍රීන් රතිඤ්ඤා පත්තු නොකළත් මේසයට තට්ටුකරමින් ප්‍රීති ඝොෂා කළහ. ඇත්තෙන්ම එවැනි පනතක් ඉක්මණින්ම සම්මත කර ගැනීමට හැකි වන බවට සැකයක් නැත. එහෙත් වැදගත් ම ප්රශ්නය වන්නේ එවැනි හොඳම පනතක් ක්‍රියාත්මකවීමට ඇති හැකියාව සහ කැපවීමයි.
රනිල් පවසන ආකාරයට හොඳම නොවුවත් වංචා දූෂණ සහ අක්‍රමිකතා වැළැක්වීමට ප්‍රමාණවත් නීති රීති දැනටමත් පවතී. අල්ලස් සහ දූෂණ පිළිබඳ කොමිෂන් සභාව ඉන් එකකි. එම කොමිසම පිහිටුවා දැනට දශක ගණනාවක් ගතව ඇත. විමර්ශන ගණනාවක් කර ඇත. එහෙත් රෝහලක සුළු සේවකයෙකු ලබා ගන්නා මුදලක් සම්බන්ධයෙන් පවරා දඬුවම් ලබා දීම හැරෙන්න මහා පරිමාණයේ වංචා සහ දූෂණ ගැන නඩු කීයක් පවරා වැරදිකරුවන්ට දඬුවම් කර ඇත්ද? විමර්ශන කටයුතු නිම කර දූවිලි බැඳෙමින් ඇති ලිපි ගොණු කොපමණ ද? විමර්ශන අතර මග නවතා ඇති ලිපි ගොණු කොපමණ ද? මහබැංකු බැඳුම්කර පිළිබඳව නඩු පවරා දඬුවම් ලබා දීමට නොහැකිව ඇත්තෙ ඇයි? ඒවා අධිකරණයට ඉදිරිපත් කර නිසි දඬුවම් ලබා දීම දක්වා කාර්ය පටිපාටිය පවත්වා ගැනීමට නොහැකි වූයේ නීතියේ ඇති දුර්වලකම් නිසාද?
ඇත්තෙන්ම නැත. මෙම සිද්ධීන් ගැන නඩු පැවරීමට සහ අධිකරණ ක්‍රියාපටිපාටිය පවත්වා ගැනීමට පවතින නීති හොඳටම ප්රමාණවත්ය. ඒවා කි‍්‍රයාත්මක කිරීම වැළකී ඇත්තේ දේශපාලන මැදිහත්වීම් නිසාය. මහා පරිමාණ දූෂණ සහ වංචා සියල්ලක් ම පසුපස අදෘශ්‍යමාන දේශපාලන හස්තයක් පවතී. ලංකාව සහ අසල්වැසි රටවල් කැළඹීමට පත් කළ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය තැන තවමත් සුලමුල හෙළිදරවු නොවන්නේ අදිසි දේශපාලන හස්තයක් නිසා බව ජනතාවගේ පිළිගැනීමයි. පළාත් පාලන ඡන්ද විමසීමක් හෝ පැවැත්වීමට නොහැකිව ඇත්තේ මෙම දේශපාලන මැදිහත්වීම නිසාය.
එමනිසා දූෂණ සහ වංචා සහ තවත් එවැනි දේ තුරන් කිරීමට ගත යුතු එකම පියවර වන්නේ රටේ පවතින නිතිය ක්‍රියාත්මක කිරීමට බාධකයක්ව පවතින දේශපාලනය තුරන් කිරීමය. නීතිය සහ සාමය රැකීමට ඇති ආයතන සහ ව්‍යුහයන් ස්වාධීනව සහ අපක්ෂපාතීව කටයුතු කිරීමට අවශ්‍ය වාතාවරණය සැකසීම සහ ඊට ගරු කිරීම ය. එහෙත් ජනාධිපති රනිල්ට එවැනි හැකියාවක් හෝ ඕනෑකමක් නැති බව ඔහුගේ මෑත මෙන්ම ඈත ඉතිහාසයෙන් පෙන්නුම් කර ඇත. එහෙත් දැන් ඉතිහාසයේ කෙළවරට පැමිණ ඇති බව නිසැකය.
- හසරක් නැතිව අඳුරේ අත පත ගාන ජාතික ජන බලවේගය.. - December 18, 2024
- කබරගොයා තලගොයා කර ගන්නා ඇමරිකානු නීතිය පදනම් ජාත්‍යන්තර සමය.. - December 13, 2024
- නව පාලනයේ අභියෝගය ප්‍රතිකාර කිරීමට පෙර ලෙඩේ හඳුනා ගැනීමයි.. - December 4, 2024