You are currently viewing බැටළු සම පොරවා ගත් අතිගරු ඉවත් කළ කට්අවුට් දේශපාලකයා..

බැටළු සම පොරවා ගත් අතිගරු ඉවත් කළ කට්අවුට් දේශපාලකයා..

රනිල් වික්‍රමසිංහ මේ දිනවල පරිණාමය වෙමින් සිටින හෝ පරිනාමය වූ දේශපාලකයෙකු බව පෙන්විමට උත්සාහ ගනිමින් සිටී. දින කිපයකට පෙර ඔහු ද ඇතුළත් බොහෝ සිංහල දේශපාලන නායකයන් අමතක කර දමා තිබුණ මඩකලපුවේ පැවති උත්සවයකට ගොස් ඔහු වෙනුවෙන් නගරයේ ඉදි කර තිබු දැවැන්ත කට්අවුට් පින්තූරයක් ඉවත් කරන ලෙස කීවේය. ඉදිරියට තමා වෙනුවෙන් කිසි දිනක කටුඅවුට් පින්තූර ඉදි නොකරන ලෙස පාක්ෂිකයන්ට දැන් වු ඔහු අනෙකුත් දේශපාලන නායකයන්ට ද එම පිළිවෙත අනුගමනය කරන්නැයි ඉල්ලීමක් ද කෙළේය..

ඊට පෙර සතියේ ජර්මනියට ගොස් ගෝලීය සංවාද මණ්ඩපයක්යැයි හඳුන්වා ගත් රැස්වීමකට සහභාගි වූ ඔහු තමාට අතිගරු (His Excellency) යනුවෙන් ගෞරව සම්ප්‍රයුක්ත ආමන්ත්‍රණයක් යොදා නොගන්නා ලෙස දැනුම් දුන් බව එම වැඩ සටහන ඉදිරිපත් කළ සංවිධායිකාව කීවාය. මැති ඇමතිකම් අහිමි වු පසු ද එම ගරු නාම වලින් දේශපාලකයන් හඳුන්වන අපේ රටේ බොහෝ අයට මෙය මහත් පුදුමයක් වන්නට ඇත. බටහිර ලෝකයේ මහජන ඡන්දයෙන් තේරී ආණ්ඩුවේ උසස් තනතුරුවලට පත්වන පුද්ගලයන් ආමන්ත්‍රණය කිරීමේ දී රාජාණ්ඩු කාලයේ පැවති ගරු නම්බු නාම යොදා ගන්නේ නැත. එම සංවිධායිකාව ද ඒ බව හොඳින් දන්නා කෙනෙකු බවට කිසිදු සැකයක් නැත. කෙසේ වුවත් රනිල් වික්‍රමසිංහ තමාට එවැනි නම්බු නාම යොදා නොගන්නා ලෙස කීවේ නම් එය අපට අලුත් විස්මය ජනක දෙයකි.

කෙසේ වුවත් මඩකලපුවේ දී කට්අවුට් ඉවත් කිරීමට නියෝග කිරීමත් ජර්මනියේ දී අතිගරු ඉවත් කිරීමට ඉල්ලා සිටීමත් රනිල් ගේ දේශපාලනයේ පරිණාමයක් සිදු වෙමින් පවතින බවට ඉඟියක් ලෙස කෙනෙකුට සිතිය හැකිය. ඡන්ද විමසීමක් ආසන්න වන විට කටුඅවුට්වලින් පිරී ඉතිරී යන අපේ රටේ මෙවැනි ප්‍රකාශයක් කිරීම පවා රැඩිකල් දේශපාලනයේ සලකුණක් සේ හැඳින්විය හැකිය..

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නම් ලබන වසරේ අග භාගයේ දී ජනාධිපති තනතුර සඳහා ඡන්ද විමසීමක් පැවැත්විය යුතු නිසා නව මුහුණුවරක දේශපාලන හැඩ රුවක දැඩි අවශ්‍යතාවයක් පවතී. ගාළු මුවදොර අරගලකරුවන්ගේ සටන් පාඨයක් වූ ‘225 ම එපා’ යන්න ජන සමාජයේ කිඳා බැස ඇති යථාර්ථයයි. සමහර මංත්‍රීන් පවා මෙම යෙදුම යොදා ගන්නා අවස්ථා අපට දැනිය හැකිය. එම නිසා ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට මෙතෙක් පැවති ඡන්දවලදී මෙන් කටුඅවුට් යොදා ගැනීම කිසිසේත් බුද්ධිගෝවර නොවේ. දශක හතට අධික කාලයක් මෙම දේශපාලකයන් රට සංවර්ධනය කිරීමේ ප්‍රතිඵල ජනතාව කුස ගින්නේ රැය පහන් කරන දින ගණනින් කිව හැකිය. ආණ්ඩුවේ ගණන් හිලවු අනුව උද්ධමනය පහත වැටුණ ද ජීවන බර කිසිසේත් සැහැල්ලු වී නැත. මේ ගැන ආණ්ඩුවේම සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කළ හැකි වුවත් එය පුනරුච්චාරණයකි. සරලව ජනතාවගේ ආර්ථික දැක්මේ පමණක් නොව දේශපාලන වුවමනාවේ ද වෙනසක් සිදු වෙමින් පවතී. බලය කිසියම් දේශපාලන පක්ෂයකට හෝ කණ්ඩායමකට ලබා දීමෙන් පමණක් තමන්ට සුගතියක් අත්නොවන බව ජනතාව අත්දැකිමෙන් ඉගෙන ඇත.

ශූර කපටි දේශපාලකයෙකුවන රනිල් මෙම තත්වය හොඳින් අවබෝධ කර ගෙන ඇති බව කට්අවුට් දේශපාලනය ඉවත් කිරීමට සිය දේශපාලන අනුගාමීන්ට උපදෙස් දීමෙන් පෙනේ. ඊට අමතරව ලොකු කුඩා සියලු ආකාරයේ මහජන උත්සවවලට සහභාගිවීමෙන් තමා ජනතාව සමග සිටින, ජන හද ගැස්ම හඳුනන නායකයෙකු බව පෙන්විමට උත්සාහ ගනී.

එහෙත් මසුරන් වටිනා ප්‍රශ්නය වන්නේ කපටි දේශපාලකයෙකුගේ නූල් සූත්තරවලින් තමා තුළ නැති ගුණ ධර්මයක් ඇති බව ජනතාවට පෙන්විය හැකිද, නැතිනම් බැටළු හමක් පොරවා ගත් පමණින් වෘකයා වෙනස් වන්නේ ද යන්නයි.

අලුත් දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට වරම් ලබා ගත් ගෝඨාභය රාජපක්ෂ ව්‍යවස්ථාදායකය හා විධායකය මෙන්ම අධිකරණයත් නතු කර ගැනීමේ දේශපාලනයකට පිවිසිය ද බුර බුරා නැගි ජනතා විරෝධය හමුවේ තනතුරු අතහැර පස්සා දොරින් රට හැර ගිය නිසා විධායක ජනාධිපති පදවියට පත් රනිල් වික්‍රමසිංහට දේශපාලන සංස්කෘතියේ වෙනසක් කිරීමට සැබෑ වුවමනාවක් තිබුණේ නම් එය කිරීමට අවස්ථාවක් තිබිණ. ඒ ජනතාවගේ වුවමනාවන් නියෝජනය නොවු ව්‍යවස්ථාදායතය සහ විධායකය වෙනස් කිරීමට ජනතාවට අවස්ථාවක් ලබා දීමෙනි. එවැනි පියවරක් වන්නේ විධායක ජනාධිපති කෙනෙකු නැවත තෝරා පත් කර ගැනීමට අවස්ථාවක් ලබා දීමෙන් පමණක් නොවේ. අත්තනෝමතික පාලකයෙකු වීමට ඉඩ ප්‍රස්ථාව සැලසෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට සැබෑවටම ජනතාවට ප්‍රතිපත්ති තීරණ ගැනිමටත් ජනතා විශ්වාසය අහිමි කර ගත් දේශපාලකයන් ඉවත් කිරීමටත් ඉඩ සැලසෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ජනතා සහභාගිත්වයෙන් කෙටුම්පත් කර සම්මත කර ගැනීමට අවස්ථාව සැලසීමෙනි. 

ජනතා නැගිටීමකින් පාලනයේ විප්ලවීය නොවන නමුත් රැඩිකල් වෙනසක් ඇති වූ විට පැවති පාලන ක්‍රමය ඉවත් කොට නව පාලන ක්‍රමයක් ඇති කර ගැනීම ජනතා අපේක්ෂාවට සවන් දීමකි. එහෙත් රනිල් වික්‍රමසිංහ උත්සාහ ගත්තේත් දැනට උත්සාහ ගනිමින් සිටින්නේත් ජනතාව ප්‍රතික්ෂේප කළ ජරා ජීර්ණ ක්‍රමය තමාට වාසි සහගත ආකාරයට පවත්වා ගැනීමට ය. ඔහු එය සාධාරණීය කිරීමට උත්සාහ කරන්නේ රට හැදීමට සියලු දෙනාම භේද දුරැරලා එක්විය යුතුය යන හම්පඩ වූ පාඨය නැවත ඔප දමා පෙරට දැමීමෙනි. ඔහුට අඩුම තරමින් ජනතා විශ්වාසය දිනා ගත හැකි කැබිනට් මණ්ඩලයක් හෝ පත් කර ගැනීමට වුවමනාවක් තිබුණේ නැත. දූෂණ චෝදනා එල්ල වූ, අපරාධ සම්බන්ධයෙන් අධිකරණයෙන් දඬුවම් නියම වූ අයට පවා ඔහු නැවතත් කැබිනට් දොර විවෘත කෙළේය. ඉන් කියවෙන්නේ ඔහුට රට ප්‍රපාතයට ඇද දැමු දේශපාලනය වෙනස් කිරීමට කිසිදු වුවමනාවක් නැත යන්නය.

අනුග්‍රාහක දේශපාලනය තවත් ඉදිරියට ගෙන යමින් ජනාධිපති කාර්යාලයේ අනවශ්‍ය තනතුරු රැසක් ඇති කර තම දේශපාලන පැවැත්ම ශක්තිමත් කර ගැනීමට උත්සාහ කෙළේය. බංකොළොත් රට ගොඩ නැගිමට සියලු දෙනාට අත වනන ඔහුට රට ගොඩ නැගීමේ පියවරක් වහයෙන් රාජ්‍ය වියදම් අඩු කිරීමට වුවමනාවක් නැත. දැනට ගණන් බලා ඇති ආකාරයට මංත්‍රි කෙනෙකු නඩත්තු කිරීමට මසකට රුපියල් දශලක්ෂයක් පමණ වැය වන අතර ඇමතිවරයෙකු නඩත්තු කිරීමට රුපියල් දශලක්ෂ දා හතරක් වැය වේ. ජනාධිපති කාර්යාලයේ මාසික වැය රුපියල් බිලියනය ද ඉක්මවා යයි. අවවාදයට වඩා ආදර්ශය වටිනා නිසා රට ගොඩ නැගීමේ පළමු පියවර ආරම්භ කිරීමට තිබුණේ ජනාධිපති කාර්යාලයෙන් සහ ඇමති මණ්ඩලයෙනි. අඩුම වශයෙන් රනිල් වික්‍රමසිංහට ගෝඨාභය පලා යන විට මේස ලාච්චුවක දමා ගිය රුපියල් දශලක්ෂ 17.8 ක මුදල එතැනට ආවේ කෙසේද, කුමක් සඳහා ද, ඒ ගැන ගිනුම් තිබුණේ ද යන සරල කරුනු හෝ පැහැදිලි කර ගැනීමට අවශ්‍ය නැත. පාස්තු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරු සෙවීමට වඩා මෙය පහසු කාර්යකි. එය දැන් සම්පූර්ණයෙන්ම අතහැර දමා ඇති තවත් කාරණයක් පමණි.

මේ සියලු කරුනුවලින් පැහැදිලි වන්නේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදි බැටළු සම පාරවා ගන්නා රනිල් වික්‍රමසිංහ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කිසිම විශ්වාසයක් නැති අත්තනෝමතිකත්වය කර පින්නා ගත් පාලකයෙකි යන්නයි. ඔහුට අවශ්‍ය වන්නේ ප්‍රපාතයට ඇද දැමු රාජ්‍යය ගොඩ ගැනීමේ මුවාවෙන් බලයේ හැකිතාක් කල් රැඳී සිටීම යි. ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපත්ිවරණය හෝ නිසි කලට පවත්වන්නේ ද යන්න ඇත්තෙන්ම බරපතළ සැකයකි. යෝජිත අයවැය යෝජනාවලින් ඒ සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති නමුත් එය ජනාධිපතිවරණයක් පැවැත්වීමේ සහතිකයක් නොවේ. පළාත් පාලන ඡන්දයට අයවැයෙන් මුදල් ප්‍රතිපාදන වෙන් කර තිබු නමුත් එය භාණ්ඩාගාරයෙන් නිකුත් කෙළේ නැත. රටේ පවතින ආර්ථික තත්වය නිසා ප්‍රතිපාදනය කළ මුදල් පවා නිකුත් කිරීම මුදල් ඇමති වශයෙන් නතර කෙළේ රනිල් වික්‍රමසිංහ ය. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ද එවැනිම පියවරක් ගතහොත් එය වැළැක්වීමට නීතිමය ප්‍රතිපාදන ප්‍රමාණවත් වන්නේ නැත.

ජනාධිපතිවරණය නිසි කලට නොපැවැත්වුවහොත් පවතින දේශපාලන තත්වය මත ගත හැකි එකම පියවර වන්නේ අධිකරණයට යෑම පමණි. එවැනි තත්වයක දී අධිකරණ තීන්දුව පවා නොසලකා සිටීමට පාර්ලිමේන්තුව යොදා ගැනීමට ඔහුට හැකියාව පවතී. පළාත් පාලන ඡන්ද විමසීමට අදාල මුදල් ප්‍රතිපාදන නිකුත් කිරීම සම්බන්ධයෙන් අධිකරණයෙන් නිකුත් කළ නියෝගයට පාර්ලිමේන්තුව ප්‍රතිවාර දැක් වූයේ පාර්ලිමේන්තුවේ බලයට අභියෝග කිරීමට අධිකරණයට බලයක් නැත යන්නෙනි. පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලයට අභියෝග කළ හිටපු අග්‍රවිනිශ්චයකාරවරිය ෂිරාණි බණ්ඩාරනායක සම්බන්ධයෙන් ගත් සම්මතයටත් සම්ප්‍රදායටත් එරෙහි පියවර ජනතාවට තවම අමතක නැත. එවැන්නක් නැවත සිදු නොවන බවට ද කිසිදු සහතිකයක් නැත.

එමනිසා අතිගරු සහ කට්අවුට් ඉවත් කිරීම ජනතාව මුළා කිරීමේ තවත් අසාර්ථක උත්සාහයකි. බලය සහ බලහත්කාරය යොදවා ජනතා නැගිටීම් පාලනය කිරීම තාවකාලික පියවරක් පමණි. අයුක්තිය සහ අසාධාරණය සමග එක් වූ සා ගින්න ජල ප්‍රහාර සහ කඳුළු ගෑස්වලින් මැඩ පැවැත්වීමේ හැකියාව සීමිත බව පාලකයන් තේරුම් ගත යුතුය. ඒ පාලකයන්ගේ අසාර්ථකත්වය වෙන කවදාටත් වඩා අද නිරුවත්ව ඇති නිසාය. බැටළු සම ගැල වුවද වෘකයාට පැරණි ජවය නැවත ලබා ගැනීමට නොහැකි තරම් ජරාජීර්ණව ඇති බවද යථාර්ථයකි.

Leave a Reply