You are currently viewing බලකාමයෙන් උමතු වූ ලෝකයක ජනතාවට අත් වන්නේ විනාශය පමණි..
යුක්රේනයේ, සර්හිරිව්කා දිස්ත්‍රික්කයේ මිසයිල ප්‍රහාරයකින් පසු ගලවා ගැනීමේ සේවකයින්.. [2022 ජූලි 01]

බලකාමයෙන් උමතු වූ ලෝකයක ජනතාවට අත් වන්නේ විනාශය පමණි..

දැනට මාස නමයකට ආසන්න කාලයක් ගෙවී ඇති යුක්‍රේන-රුසියන් යුද්ධය තවත් භයානක පියවරකට තල්ලූ වෙමින් පවතී. පසුගිය සතියේ ප‍්‍රකාශයක් කළ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ‘රුසියාවේ දේශසීමා සහ භෞමික අඛන්ඩතාවය පවත්වා ගැනීමටත් රුසියාව සහ එහි ජනතාව ආරක්ෂා කිරීමටත් අප සතු සියලූම අවි යොදා ගනු ඇතැ’යි කීවේය. ඒ සමගම අතිරේක භටයන් 300,000ක් සේවයට කැඳවන බව ද ප‍්‍රකාශ කෙළේය.

රුසියානු ජනාධිපති මෙම ප‍්‍රකාශය කෙළේ නේටෝ යුද සන්ධානයට අයත් රටවලින් සපයන ලද නවීන අවි සහ අලූතින් පුහුණු කරන ලද හමුදාව යොදා යුක්‍රේනය එල්ල කළ ප‍්‍රහාර හමුවේ උතුරු යුක්‍රේනයේ ප‍්‍රදේශ කීපයකින් රුසියානු හමුදාව ඉවත් කර ගත් පසුබිමකය. මෙම ජයග‍්‍රහණවලින් උදම් වූ යුක්‍රේන ජනාධිපති සෙලන්ස්කි රුසියාව අත්පත් කර ගෙන ඇති ක‍්‍රිමියාව ඇතුළත් සියලූ ප‍්‍රදේශවලික්  ‘‘ආක‍්‍රමණිකයා’‘ පලවා හැරීමේ දිනය වැඩි ඈතක නොවන බවට පාරම් බෑවේය. ඒ සමගම රුසියානු ආණ්ඩුව පෙරළා දමා පෙඩරේෂනය කැබලිවලට කඩා වෙන් කිරීමක් ගැන ද නේටෝ රටවල කතා බහට ලක්විය. පැරණි සෝවියට් සංගමයෙන් බෙදී වෙන් වූ රටවල එක්සත් ජනපදයේ සහාය ලත් කණ්ඩායම් බටහිරට ගැති පාලන පිහිටුවීමට සමාන තත්වයක් ලොව විශාලතම භූමි ප‍්‍රදේශයක් ඇති රුසියාවේ ද ඇති කිරීමේ සූදානමකි.

රුසියානු ටැංකි.

1991 දී සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසුව බටහිර රටවලට රුසියාව කැබලි කිරීමේ අවශ්‍යතාවයක් තිබුණ බව සඳහන් කරන ජනාධිපති පූටින් එක්සත් ජනපදයේ සහ යුරෝපා සංගමයේ රටවල පූර්ණ සහයෝගය ඇතිව යුක්‍රේනයේ කෙරෙන යුද්ධය එහි තවත් පියවරක් බව ද පෙන්වා දුන්නේය. යුක්‍රේනය යුරෝපා සංගමයටත් ඉන් පසුව නේටෝ යුද හවුලටත් ඇතුළත් කර ගැනීමට සැලසුම් කළ එක්සත් ජනපදය යුක්‍රේනයේ තමන්ට හිතවත් රජයක් පිහිටුවීමට 2014 සිටම උත්සාහ ගනිමින් සිටී. එවැනි තත්වයක දී යුක්‍රේනයේ සිටින රුසියානු සම්භවයක් ඇති ජන කොටසේ ආරක්ෂාව ගැන රුසියාව දැඩි උනන්දුවක් දැක්වීය. ක්‍රිමියාවේත් ඩොන්බාස්ක් සහ ලූහාන්ස් ප‍්‍රදේශවලත් සිටින රුසියානු බස කතා  කරන ජනතාව කීෆ් පාලකයට එරෙහිව නැගී සිටියේ එවැනි පසුබිමක ය. දැන් එම ප‍්‍රදේශ නැවත අත්පත් කර ගැනීමට යුක්‍රේනය ගෙන යන යුද්ධය ඇත්තෙන්ම එක්සත් ජනපදය සහ යුරෝපා සංගමයේ යුද්ධයකි. 2014 දී මෙන් නොව මෙවර රුසියාව එම ප‍්‍රදේශ ආරක්ෂා කර ගැනීමට විශේෂ හමුදා මෙහෙයුමක් දියත් කර තිබීමෙන් යුද්ධය යුක්‍රේනයෙන් පිටතටත් ව්‍යාප්තවීමේ පැහැදිලි අනතුරක් පවතී.

මෙම යුද්ධය සියල්ලන් විනාශ වන න්‍යෂ්ටික අවි ගැටුමක් දක්වා පුළුල් වීමේ අනතුරක් තිබුණ ද යුරෝපා සංගමය සහ එක්සත් ජනපදය ඒ ගැන තැකීමක් කෙළේ නැත. රුසියවේ අනතුරු හැඟවීම් නොසලකා හැරිණ. ඉහතින් දැක් වූ ප‍්‍රකාශයෙන් රුසියානු ජනාධිපති පුටින් තමන් සතු සියලූ අවි යනුවෙන් අදහස් කෙළේ න්‍යෂ්ටික අවි යොදා ගැනීම බව පැහැදිලි වුවත් එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය එය නොසලකා යුක්‍රේනයට අවි සැපයීමත් වෙනත් පහසුකම් සැපයීමත් අඛණ්ඩව කර ගෙන යෑමට සූදානම් ය. එක්සත් ජනපදය සහ ජර්මනිය මෙතෙක් යුක්‍රේනයට නොදුන් නවීනතම අවි ලබා දීමට සැලසුම් කර ඇත. ඔවුන්ගේ ස්ථාවරය වී ඇත්තේ න්‍යෂ්ටික අවි යොදා ගන්නා යුද්ධයක දී වුවද තමන්ට හානියක් නැතිව ජයග‍්‍රහණය කළ හැකිය යන්නයි. 

බොහෝ විචාරකයන් පෙන්වා දෙන ආකාරයට ලොව නැවතත් 1962 ඔක්තෝබර් මස කියුබානු මිසයිල පිළිබඳව සෝවියට් සංගමය සහ එක්සත් ජනපදය අතර අවි ගැටුමක් ඇතිවීමේ අනතුරක් ආසන්නව පැවති තත්වයට සමාන තත්වයකට ළඟා වෙමින් පවතී. කියුබාවේ ඇති රුසියානු මිසයිල ඉවත් නොකරන්නේ නම් රුසියානු නැව්වලට කියුබාවට පිවිසීමට ඉඩ නොදෙන බවට ජනාධිපති කෙනඩි තර්ජනය කෙළේය. එමනිසා න්‍යෂ්ටික බලවතුන් දෙදෙනා අතර ගැටුමකට ආසන්න තත්වයක් ඇති වුවද අවසාන මොහොතේදී සෝවියට් සංගමය මිසයිල ඉවත් කර ගැනීමට එකඟ වූ අතර එක්සත් ජනදය තුර්කියේ ස්ථාන ගත කර තිබු න්‍යෂ්ටික අවි ඉවත් කර ගැනීමට රහසිගත එකඟතාවයක් ඇති කර ගැනීමෙන් යුද අවදානම පහවිය.

එක්සත් ජනපද හමුදා බල කේන්ද්‍රය වූ පෙන්ටගනයේ විරෝධය නොතකා මෙවැනි ගිවිසුමක් ඇති කර ගැනීම නිසා ජනාධිපති කෙනඩිට සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු විය. විනාඩි 60ක් වැනි කාලයක් තුළ විකිරණවලින් විනාශ වන ලෝකයක් උරුම කර දීමට තමාට අවශ්‍ය නැතැයි කෙනඩි කීවේය. අද ඊටත් වඩා විනාශකාරී අවි දෙපසම සතුව පවතින නමුත් න්‍යෂ්ටික යුද්ධයකින් ඇතිවන විනාශය ගැන කිසිවෙකු තැකීමක් කරන බවක් දක්නට නැත.

ඒ වෙනුවට එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය කටයුතු කරන්නේ න්‍යෂ්ටික යුද්ධයකින් ජය ගත හැකිය යය මූඨ විශ්වාසයෙනි. මීට මාස කීපයකට පෙර න්‍යෂ්ටික ප‍්‍රහාරයක දී ජනතාව ගත යුතු ආරක්ෂක උපක‍්‍රම ගැන පෙරහුරුවක් නිව්යෝර්ක් නගරයේ පැවැත්වින. පසුගිය සතියේ පූටින්ගේ ප‍්‍රකාශයත් සමග න්‍යෂ්ටික ප‍්‍රහාරයක දී ඇමරිකානු ජනාධිපතිට සහ උප ජනාධිපතිට ආරක්ෂාව සැලසිය යුතු ආකාරය සෙනෙට් සභිකයෙකු විමසුවේය. ඇමරිකාවේ ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය  අවධානය යොමු කරන්නේ ද ප‍්‍රති ප‍්‍රහාර එල්ල කිරීමේ අවස්ථාවකට ඉඩක් නැතිව න්‍යෂ්ටික ප‍්‍රහාරයක් එල්ල කරන තත්වයක් ගැනය. යුක්‍රෙනයේ දේශ සීමාවේ ඇති පෝලන්තය න්‍යෂ්ටික ප‍්‍රහාරයක් වැනි හදිසි තත්වයක දී භාවිතා කිරීමට අයොඩින් ප‍්‍රති-විකිරණ පෙති පාසල් ළමයින්ට ලබා දීමේ වැඩ පිළිවෙළක් ගැන සාකච්ඡා කරමින් සිටී.

වත්මන් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් කිසිසේත් ජොන් කෙනඩි කෙනකු නොවේ. ඔහු මෙතෙක් පියවර ගෙන ඇත්තේ න්‍යෂ්ටික යුද්ධයකින් ජයගත හැකිය යන අන්ධ විශ්වාසයෙන් යුතු හමුදා ග‍්‍රහණය තුළ ය. න්‍යෂ්ටික අවි ගැටුමක දී වැඩියෙන්ම හානි සිදුවිය හැකි යුරෝපීය රටවල නායකත්වය ද ඊට වෙනස් නොවේ. රුසියාව මැත දොඩවන නමුත් න්‍යෂ්ටික අවි යොදා ගන්නා සටනකට අවතීර්ණ නොවනු ඇතැයි හෝ එවැනි ගැටුමක් ඇති වුවත් තමන්ට හානියක් නැතිව ජයග‍්‍රහණය අත් කර ගත හැකියැයි ඔව්හු විශ්වාස කරති.

න්‍යෂ්ටික යුද්ධයක සැබෑ අවදානමක් මින් පෙර කවදාටත් වඩා අද පවතින බවට තවත් නිදසුනක් වන්නේ එක්සත් ජනපදය චීනය සම්බන්ධයෙන් අනුගමනය කරන අදූරදර්ශී ප‍්‍රතිපත්තිය යි. චීනය තායිවානය ආක‍්‍රමණය කළ හොත් එක්සත් ජනපදය තායිවානයේ සහායට සිය හමුදාව යොදවනු ඇතැයි ජනාධිපති බයිඩන් පැවසුවේය. එම ප‍්‍රකාශයට පසුව එක්සත් ජනපද සහ කැනේඩියානු යුද නැව් දෙකක් නාවික ගමනාගමනයේ නිදහස පරික්ෂාවට ලක් කිරීමට චිනයට නාවික සැතපුම් 100ක් ආසන්නයෙන් තායිවාන් සමුද්‍ර සන්ධිය හරහා යාත‍්‍රා කළහ. ඊට පෙර කොංග‍්‍රසයේ කතානායිකාව පෙලොසි චීනයේ බලවත් විරෝධය නොතකා තායිවානයට ගොස් එහි ජනාධිපති හමු වූවාය. ඒ අතර ඇමරිකානු කොංග‍්‍රසයෙන් සම්මත කළ තායිවාන් ප‍්‍රතිපත්තිය නම් පනත අනුව ඇමරිකාව තායිවානයට අවි ආයුධ මිල දී ගැනීම සඳහා ඩොලර් බිලියන 6.5ක් ලබා දෙනු ඇත. මෙය පැහැදිලිවම එක චීනයක් යන පිළිගත් ප‍්‍රතිපත්තියට පටහැනි වුවද ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන් ඒ ගැන තැකීමක් කරන්නේ නැත.

2022Sep26[2]_nuclear_war

1962 ඔක්තෝබර් මස පැවති තත්වයට වඩා 2022 ඔක්තෝබර් පවතින තත්වය භයානක වන්නේ න්‍යෂ්ටික අවි යොදා කරන යුද්ධයකින් තමන්ට ජය අත්කර ගත හැකියැයි විශ්වාසයක් එක්සත් ජනපද හමුදාව සහ එහි දේශපාලන නායකත්වය තුළ තිබීම ය. හැටේ දශකයේ දී එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය න්‍යෂ්ටික අවි වැඩ සටහන් මූලික වශයෙන් ක්‍රියාත්මක කෙළේ න්‍යෂ්ටික අවි ගැටුමක් වැළැක්වීමට ය. එනම් දෙපසටම මහත් විනාශකාරී අවි තිබෙන නිසා සහ කෙනඩි පැවසූ ආකාරයට පැයක් ඇතුළත නිමාවක් වන යුද්ධයෙන් කිසිවෙකුට ජයග‍්‍රහණයක් අත් කර ගත නොහැකියැයි තදබල විශ්වාසයක් තිබිම සහ ‘රතු ඉර’ ඉක්මවා නොයෑමේ ලේඛන ගත නොවු අන්‍යෙන්‍ය එකඟතාවයක් පවත්වා ගැනීම තුළය. උපාය මාර්ගික අවි සීමා කිරීමේ ගිවිසුමක් ( START) සෝවියට් සංගමය සහ එක්සත් ජනපදය අතර ඇති කර ගැනීමට හැකි වූයේ එම නිසාය. එහෙත් ජනාධිපති ට‍්‍රම්ප් එම ගිවිසුම්වලින් ඉවත් වූ අතර න්‍යෂ්ටික යුද්ධයකින් ජයගත හැකිය යන අදහසට අනුකූල වන ආකාරයට රාජ්‍ය ප‍්‍රතිපත්තිය සකස් කෙළේය. අලුතින් නිෂ්පාදනය කළ න්‍යෂ්ටික අවිවලට විනාඩි කීපයත් ඇතුළත රුසියානු අවි බලය සම්පූර්ණයෙන්ම විනාශ කළ හැකියැයි එක්සත් ජනපදය තක්සේරු කරයි. එවැනි තත්වයක දී යුක්‍රේනය වැදගත් වන්නේ එහි ස්ථාන ගත කරන න්‍යෂ්ටික අවි වලට විනාඩි පහක් වැනි කෙටි කාලයකදී මොස්කව් නගරයට ළඟාවිය හැකි නිසාය. රුසියාව යුක්‍රේනයේ විශේෂ හමුදා මෙහෙයුමක් දියත් කර ඇත්තේ එම හැකියාව ඉවත් කිරීම ය.

මෙම උපාය මාර්ගික ගණන් බැලීම්වලින් පැහැදිලි වන්නේ යුක්‍රේනයේ යුද්ධය ලෝක ආධිපත්‍යය තහවුරු කර ගැනීමේ පුළුල් වැඩ පිළිවෙළක පුරුකක් බවය. එක්සත් ජනපදය යුක්‍රේනයේ ලබන ජයග‍්‍රහණය සම්පූර්ණ වීමට නම් චීනය ද අඩපණ කළ යුතුය. තායිවානය ඒ සඳහා හොඳ අවස්ථාවකි.

තමන්ගේ අවි ශක්තිය ගැන අධි තක්සේරුවකින් කරන මෙවැනි ගණන් බැලීම්වලට ගැටුමේ පාර්ශවකරුවන් පමණක් නොව යුද්ධයට කිසිම සම්බන්ධයක් නැති කෝටි සංඛ්‍යාත ජනතාවට අත්වන ඛේදනීය ඉරණම ඇතුළත් වන්නේ නැත. අද අපට මුහුණ දීමට ඇති ඛේදවාචකය එයයි.     

Leave a Reply