එක්සත් ජාතින්ගේ තවත් පලස්තීන සහයෝගිතා දිනයක් (නොවැම්බර් 29) පසු විය. එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලය 1977 දෙසැමිබර් 02 දින පලස්තින සහයෝගිතා දිනය වශයෙන් නොවැමිබර් 29 ප්‍රකාශයට පත් කෙළේ 1947 නොවැම්බර් 29 දින සම්මත කළ යෝජනා අංක 181(1) ට ඌනපූරණයක් සේය. ඒ යෝජනා අංක 181 (1) අනුව පලස්තිනය දෙකඩ කොට යුදෙව් රාජයයක් සහ අරාබි රාජ්‍යයක් පිහිටුවීමට මහා මණ්ඩලයෙන් අනුමත කළ ද අරාබි රාජ්‍යය එනම් පලස්තීන රාජ්‍යය 1977 වන තෙක් යථාර්ථයක් නොවු නිසාය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයෙන් පලස්තිනය දෙකඩ කිරීමේ යෝජනාව සම්මත වූ වහාම යුදෙව් සයන්වාදින් පලස්තිනුවන් සිය ගම්බිම්වලින් පලවා හැර ඊශ්‍රායෙලය නමින් යුදෙව් රාජ්‍යය පිහිටුවීමට අමතරව අරාබි රාජ්‍යයක් පිහිටුවීම සෑම ආකාරයෙන්ම වැළැක් වූහ. එක්සත් ජාතින් සහයෝගිතා දිනයක් ප්‍රකාශයට පත් කෙළේ පලස්තින රාජය්‍යක් කිසියම් හෝ දිනක පිහිටුවනු ඇතැයි අපේක්ෂාවෙනි.
එහෙත් වසර හැත්තෑවකට අධික කාලයක් ගත වුවද පලස්තීන රාජ්‍යය තවමත් සිහිනයකි. සැබැවින්ම කුරිරු සිහිනයකි.
2025 නොවැමිබර් 29 පසු වූයේ පලස්තින රාජ්‍යය කිසි දා හෝ යථාර්ථයක් වන්නේ ද යන්න දැඩි අභියෝගයට ලක් කරමිනි. ජෙරුසලම අගනුවර කර ගත් පලස්තින රාජ්‍යයක් ලොව රටවල් 160ක් පිළිගෙන ඇති නමුත් එක්සත් ජනපදයේ පූර්ණ සහාය ලබන ඊශ්‍රායෙලය පලස්තීන රාජ්‍යයක් පිළිගැනිමට සූදානම් නැත.
ඔස්ලෝ සාම ගිවිසුම අනුව පලස්තීන රාජ්‍යයක් වෙනුවට පිහිටුවන ලද පලස්තින අධිකාරිය අද සම්පුර්ණයෙන්ම නිර්වින්දනය කර ඇති සැකිල්ලකි. අධිකාරියේ පාලනයට අයත්යැයි පැවසූ බටහිර ඉවුර බලහත්කාරයෙන් පිහිටුවන ලද යුදෙව් ජනාවාසවලින් පිරී ඇත. එම අධිකාරියේ අනෙක් භූමි ප්‍රදේශය වූ ගාසා තීරය අද සුන්බුන් ගොඩකි. එහි දශලක්ෂ දෙකකට අධික ජනතාව අද ජීවත් වන්නේ හිසට වහලක් නැතිව කුසට අහරක් නැතිව අව්වට වැස්සට ආවරණයක් නොවන තාවකාලික කුඩාරම්වල හෝ එළිමහනේ ය.
මෙම වසරේ සහයෝගිතා දිනය තීරණාත්මක වන්නේ එය නැවත වරක් පලස්තිනයේ යුදෙව් රාජ්‍යයක් පිහිටුවීමේ මුල්ම සැලැස්ම වන 1917 බැල්පෝර් ප්‍රකාශය කරා ආපසු යැමක් වන නිසාය. බැල්පෝර් ප්‍රකාශය තුළින් එවකට සිටි අධිරාජ්‍ය බලවතා වන මහා බ්‍රිතාන්‍යය පලස්තීනය පිළිබඳ මැන්ඩේට් බලය නිත්‍යානුකූල පසුබිමක් නැතිව පවරා ගත් ආකාරයටම අද ලොව මහා බලවතා වන ඇමරිකා එක්සත් ජනපදය ගාසා තීරයේ අධිකාරි බලය තමන් වෙත පවරා ගෙන ඇත. ඒ එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් සම්මත කර ගත් යෝජනා අංක 2803 යටතේය.
එක්සත් ජනපදය කෙටුම්පත් කළ මෙම යෝජනාවට අරාබි සහ මුස්ලිම් රටවල සහයෝගය ලැබුණ නිසා ආරක්ෂක මණ්ඩලයෙන් සම්මත විය. ඊට විරුද්ධ වූයේ ආරත්ෂක මණ්ඩලයේ නිෂේධ බලය හිමි චීනය සහ රුසියානු සමූහාණ්ඩුව පමණි. මෙම යෝජනාවෙන් පලස්තින රාජ්‍යයක් පිහිටුවීම ගැන කිසිදු සඳහනක් නොමැති නිසා ඊට එකඟ නොවන නමුත් අරාබි සහ මුස්ලිම් රටවල සහාය ඊට ලැබෙන නිසා විරුද්ධවීමෙන් වළකින්නේයැයි රුසියානු නියෝජිතයා පැවසුවේය. චිනය ද එම ස්ථාවරය අනුමත කෙළේය.
ඇමරිකානු බලපෑම යටතේ ඊශ්‍රායෙලය සහ හමාස් සංවිධානය අතර ඇති කර ගත් සටන් විරාමය අනුව ගාසා තිරයේ සාමය ස්ථාපිත කොට යළි ගොඩනැගිම සිදු වන්නේ ගාසා තිරයේ පාලනය ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ ඇති සාම මණ්ඩලයක් යටතේය. වසර දෙකක කාලයක් සඳහා වන එම සාම මණ්ඩලයේ අනෙක් සාමාජිකයන් ගැන මෙතෙක් සඳහන් නොවන නමුත් එහි ප්‍රධාන විධායකයා වන්නේ බ්‍රිතාන්‍යෙය් හිටපු අගමැති කෙනෙකු වූ ටෝනි බ්ලෙයාර් ය. බොහෝ විට ඔහු හඳුන් වන්නේ ඉරාකයේ ඝාතකයා වශයෙනි.පලස්තීන අධිකාරියේ නියෝජනයක් ගැන එහි සඳහන් වන්නේ නැත.
කරුණු 28කින් යුත් එම යෝජනාවේ මුලික අරමුණ වන්නේ හමාස් සංවිධානය නිරායුධ කොට ගාසා තීරය යුද මුක්ත කලාපයක් බවට පත් කිරීම ය. හමාස් සංවිධානය නිරායුධ කිරීමත් ඉන් පසුව එම ප්‍රදේශයේ ආරක්ෂාව පවත්වා ගැනිමටත් අන්තර්ජාතික ස්ථායිකරණ බලකායක් පිහිටුවනු ඇත. එම බලකායට දායක වන්නේ කවර රටවල් ද යන්න ද නිශ්චිත නැත. කෙසේ වුවත් එක්සත් ජනපද හමුදාව ඒ සඳහා යොදවන්නේ නැති බව පැහැදිලිය.
එහෙත් ගාසා තීරයෙන් ඊශ්‍රායෙල් හමුදාව සම්පූර්ණයෙන්ම ඉවත් කර ගන්නා තෙක් මෙම යෝජනාව පිළිනොගන්නා බව හමාස් සංවිධානය පැවසිම නිසා ගාසා තීරයේ නැවතත් ගැටුම් ඇතිවීමේ අනතුරක් පවතී. ඇත්තෙන්ම සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළ ද ඊශ්‍රායෙලය ගාසා තීරයේ කෙරෙන හමුදා මෙහෙයුම් නතර කර නැත. සටන් විරාමය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ඊශ්‍රායෙලය එල්ල කළ ප්‍රහාරවලින් 200කට අධික පිරිසක් මිය ගොස් ඇත. මොනම තත්වයක් යටතේ හෝ කිසිම භුමි ප්‍රදේශයක පලස්තීන රාජ්‍යයක් පිහිටුවීමට ඉඩ නොදෙන්නේයැයි ඊශ්‍රායෙල් අගමැති නෙතන්යාහු කර ඇති ප්‍රකාශය සැලකිල්ලට ගත යුතුය.

ඩොනල්ඩ් ට්රම්ල් ගේ මුල් ධුර කාලයේ දි ඇති කර ගත් ඒබ්‍රහම් ගිවිසුම සහ මෙම සාම ගිවිසුම පලස්තිනය ගැන එක්සත් ජාතින් සහ අන්ර්ජාතික අධිකරණය ප්‍රකාශ කර ඇති සියලු නිර්දේශ සහ තිරණ අවලංගු කරයි. ඊශ්‍රායෙලය පලස්තීන ප්‍රදේශ අත්පත් කර ගෙන සිටීම නීති විරෝධී බව ප්‍රකාශ කර තිබුණ ද ට්‍රම්ප්ගේ සාම සැලැස්ම ඒ ගැන කිසිදු තැකිමක් කර නැත. පලස්තින රාජයයක් පිහිටුවීමේ පළමු පියවර විය යුත්තේ අන්තර්ජාතික අධිකරණයේ එම තීන්දුව ක්‍රියාත්මක කිරීම ය. එය අමතක කර ට්‍රම්ප් ගේ නායකත්වයෙන් පිහිටුවන සාම මණ්ඩලයකට සුන්බුන් ගොඩක් බවට පත්ව ඇති ගාසෘ තීරයේ ප්‍රතිසංස්කරණ කටයුතු භාර දීම යුදෙව්වාදින් ගේ වුවනාව ඉටු කිරීමකි.
දෙවැනිව ඊශ්‍රායෙල් ප්‍රහාරවලින් අවතැන්ව සිටින ගාසා තීරයේ ජනතාවට සහනාධාර ලබා දුන් එක්සත් ජාතින්ගේ සහන වැඩ සටහන (UNWRA) ගැන ද මෙම සාම සැලැස්මේ කිසිත් සඳහන් වන්නේ නැත. ඊශ්‍රායෙල් සම්බාධකවලට ලක්ව සිටි ගාසාවේ සහ බටහිර ඉවුරේ ජනතාවට අවම මට්ටමෙන් හෝ ජිවිතය පවත්වා ගත හැකි වූයේමෙම සහන වැඩ සටහන යටතේය. එහෙත් ගාසා ප්‍රහාරය ආරම්භයේ දිම එම වැඩ සටහනේ කාර්ය මණ්ඩලයට ගාසා තිරයෙන් පිටවීමට නියෝග කළ ඊශ්‍රායෙල් ආරක්ෂක හමුදා සහනාධාර රැගත් ලොරි ගාසා කීරයට ඇතුලු වීමට ඉඩ දුන්නේ නැත.
ගාසා තීරයේ සියලු ජන තොටස් නිරාහාරයෙන් තැබීම අරමුණු කර ගත් මෙම තහනමට එරෙහිව ලොව පුරාම නැගුනු විරෝධයට පිළිතුරක් වශයෙන් ඇමරිකාවෙන් යෝජනා කෙළේ ගාසා මානුෂික ආධාර පදනමක් පිහිටුවීම ය. එහෙත් සැබවින්ම සිදු වූයේ ගාසා තීරයේ ජනතාව ඝාතනය කිරීමට තවත් අවස්ථාවක් නිර්මාණය කිරීමය. සහනාධාර ලබා ගැනීම සඳහා දහස් ගනන් ජනතාව එක්රෙක් වූ අතර ඊශ්‍රායෙල් ගුවන් හමුදාව ඒවා පාලනය කෙළේ ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙනි. ආරක්ෂක මණ්ඩලයෙන් සම්මත කළ ඇමරිකානු යෝජනාව යටතේ හෝ එක්සත් ජාතින්ගේ සහන වැඩ සටහන නැවත ක්‍රියාත්මක කිරීමක් ගැන සඳහන් වන්නේ නැත. ආහාර සහ වෙනත් අවශ්‍යතා රැගත් වාහන ගාසා තිරයට පිවිසීමට ඉඩ ලබා දෙන්නේ ඊශ්‍රායෙල් හමුදාවයි.
කළ යුත්තේ වසර ගණනාවක් තිස්සේ සම්බාධකවලට ලක්ව ඇති ගාසා කීරයට සහ බටහිර ඉවුරට සීමාවකින් තොර සහනාධාර ලබා දිම බව එක්සත් ජාතීන්ගේ සහන වැඩ පිළිවෙළ අවධාරණය කරයි.
මෙවැනි තත්වයක් යටතේ ආරක්ෂක මණ්ඩලයෙන් සම්මත වූ යෝජනා අංක 2803න් ගාසා තීරයට හෝ බටහිර ඉවුරට සහනයක් සැලසෙනු ඇතැයි කිව නොහැකිය. එය නැවත වරක් මහා ඊශ්රායෙලයක් ගැන සිහින මවන සයන්වාදින්ගේ දීර්ඝ කාලීන සැලැස්මේ තවත් පියවරක් පමණි.

එහෙත් සෑම කළුවළාවතම ඇති රිදී රේඛාවක් සේ බලාපොරොත්තුවක් ද ගොඩ නැගෙමින් පවතින බව පෙනේ. ඒ පලස්තීන සහයෝගිතා හඬ ලොව නන් දෙසින් නැගීම ය. බ්‍රිතානය රජයේ මර්දන නිති නොසලකා සියලු වයස් කාණ්ඩවලට අයත් ජනතාව වීදි බැස උද්ඝෝෂණය කරන අතර ලොව සෙසු නගරවලද එවැනි විරෝධතා දිනෙන් දින උත්සන්න වේ. යුදෙව් නායකයන් පිලිගන්නා ආකාරයට ඊශ්‍රායෙල් යුදෙව් විරෝධය අන් කවරදාටත් වඩා ප්රබලව නැගේ. පසුගිය දා ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ නගරාධිපති තනතුරටඡන්ද විමසීමේ දී පවා ඊශ්‍රායෙලයේ ජනඝාතන වැඩ පිළිවෙළ ප්‍රධාන මාතෘතාවක් විය.
පලස්තීන සහයෝගිතාවය සැබැවින්ම අර්ථවත් වන්නේ ගාසා තීරයේත් බටහිර ඉවුරේත් සිදු කරන ජනඝාතනයට විරෝධය දැක්වීමෙන් පමණක් නොවේ. පලස්තින ජනතාවගේ ජිවත්වීමේ අයිතිය ප්‍රතික්ෂේප කරන සයන්වාදය සහ ඊට ආධාර අනුබල ලබා දෙන ඇමරිකාව ඇතුළත් බටහිර රටවල අධිපතිවාදි දේශපාලන දැක්ම හෙළිදරව් කිරීමද තීරණාත්මක සාධකයකි. ඒ ලොව කිසියම් තැනක කරන අසාධාරණයක් ලොව සියලු දෙනාටම කරන අසාධාරණයක් වන නිසාය.
- මංකොල්ලකාරී අධිරාජ්‍යවාදය නැවතත් ලෝක සමය බවට පත්වේ.. - March 4, 2026
- යළි උපන් අවතාර පැරණි හොල්මන්වලින් වෙනස්වන්නේ නැත.. - February 25, 2026
- දේශපාලනයේ දරිද්‍රතාවයට විසඳුම් අවශ්‍යයි.. - February 9, 2026