You are currently viewing පළාත් පාලන ඡන්දය ජනතාව ඇන්දවීමේ තවත් උත්සාහයක්?

පළාත් පාලන ඡන්දය ජනතාව ඇන්දවීමේ තවත් උත්සාහයක්?

මෙම වසරේ ජනාධිපති වික‍්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය හැර පොහොට්ටුව ඇතුළත්ව අනෙක් සියලු දේශපාලන පක්ෂ බලාපොරොත්තුවෙන් සිටින්නේ පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා දින නියම කරන තෙක්ය. දෙසැම්බර් අවසන් වන තෙක් කල් මරමින් සිටි ස්වාධීන මැතිවරණ කොමිසමට ජනවාරි මුල් සතියේ නාම යෝජනා සඳහා දින නියම කිරීම හැර වෙනත් විකල්පයක් ද නැත. එසේ පවත්වන පළාත් පාලන ඡන්ද විමසීම දේශපාලන ප‍්‍රවනතාවය ගැන කිසියම් සලකුණක්  වුවද එය කිසිසේත් ලංකාව දැනට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට හෝ දේශපාලන අවුලට විසඳුමක් නොවන බව ද සහතිකය.

පවතින දේශපාලන වාතාවරණය අනුව ජනතාවට දේශපාලන පක්ෂ කෙරේ දැඩි විශ්වාසයක් හෝ බලාපොරොත්තුවක් නැති බව ද පැහැදිලි ය. අරගලය වැනි දේශපාලන පිබිදීම්වලට ජනතා සහාය ලැබුණේත් එහි උච්චතම අවස්ථාවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පස්සා දොරින් පලා යෑමට සිදු වූයේත් එම නිසා ය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් කෙතරම් දැඩි බලතල ලැබී තිබුණත් ජනතා විරෝධය හමුවේ ඒ කිසිවක් පිළිසරණ නොවන බවද අරගලයෙන් ඉස් මතු කර දැක්වින. ඇත්තෙන්ම අරගලකරුවන් හා ජනතාව අපේක්ෂා කරන්නේ සිස්ටම් චේන්ජ් එකකි. එනම් පුද්ගලයන් පමණක් නොව පවතින ක‍්‍රමයේ මූලික වෙනසකි.

පළාත් පාලන ඡන්දයෙන් ක‍්‍රමයේ වෙනසක් කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂවලට හැකියාවක් තිබේද? නැතිනම් ඒ පිළිබඳ ඉඟියක් හෝ ලබා දීමට හැකියාව තිබේ ද?

සමගි ජන බලවේගය ඇතුළත් විපක්ෂයේ දේශපාලන පක්ෂ මෙතෙක් ක‍්‍රමයේ වෙනසක් කිරීමට තමන් අදහස් කරන ආකාරය පැහැදිලිව ජනතා ඉදිරියේ තබා නැත. දෙමළ දේශපාලන පක්ෂ අරගලයට මතවාදි සහයක් (මොරාල් සපෝට්) ලබා දුන්නද ක්‍රියාත්මකව ඒ හා එක්වූයේ නැත. දෙමළ දේශපාලන ක්‍රියාකාරීන් දුටුවේ අරගලය මූලික වශයෙන්ම දකුණේ දේශපාලන බලය සඳහා කරන අරගලයක් සේය. දෙමළ සහ මුස්ලිම් තරුණ තරුණියන් එක් වුවද ඒ සම්ප‍්‍රදායිත දේශපාලන නියෝජනය සඳහා නොවේ.  එල්ටීටීඊ යුද සමයේ යාපනයේ පැවති බඩු මිල දරා සිටි දෙමළ ජනතාවට දැනට රටපුරා පවතින භාණ්ඩ මිල ඉහළ යෑම වීදි බැසීමට තරම් හේතුවක් නොවන බව සමහර දෙමළ දේශපාලන නායකයෝ පැවසූහ. අනෙක් අතට අරගලයට නායකත්වය දුන් පිරිස් ජාතිවාදී ස්ථාවරයෙන් බැහැරව ලාංකීය ජනතාවක් වෙනුවෙන් පෙනී සිටිය නමුත් දෙමළ ජනතාව ආකර්ෂණය කර ගැනීමට තරම් සටන් පාඨ ඉදිරිපත් කෙළේ ද නැත. අරගල භූමිය තුළ යුද්ධයේ දී  සහ මුල්ලිවයිකාල් සටනේ දි මිය ගිය ජනතාව සිහිපත් කිරීමට වැඩ සටහන් පැවැත් වුවද ජාතීන් දෙක අතර පවතින බෙදීම යා කිරීමට පාලමක් දැමීමට තරම් එම උත්සාහය ප‍්‍රබල වූයේ නැත.

උතුරේ දේශපාලන පක්ෂ සහ දකුණේ විරෝධතාකරුවන් අතර සහයෝගයක් පෙන්නුම් කළ එකම අවස්ථාව වූයේ දෙමළ ජාතික සන්ධානයෙන් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහිව අත්සන් එකතු කිරීමේ ව්‍යාපාරයයි. ගාලූ මුවදොර අරගලය දියකර හැරීමෙන් පසුව ආරම්භ කළ මෙම ව්‍යාපාරයට අරගලකරුවන්ගේ පමණක් නොව අරගලයේ දී එතරම් ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් නොකළ සමගි ජනබලවේගය ද සහාය දැක්වූහ. එය ද පෙත්සම අත්සන් කිරීමෙන් ඔබ්බට ගියේ නැත.

අරගලයෙන් සිදු වූ කැපී පෙනෙන වෙනස වූයේ ජනතාවට සිය ශක්තිය ගැන කිසියම් විශ්වාසයක් ඇති කිරීම පමණි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අවසාන වශයෙන් ජනතාවගේ විරෝධයෙන් සහ අධිෂ්ඨානයෙන් වෙනස් කළ හැකි බව පැහැදිලි වුවත් අලූත් දෙයක් නිර්මාණය කිරීමට එය හේතුවක් නොවන බවද පැහැදිලි වූ සත්‍යයකි. ගාලූ මුවදොර අරගලකරුවන්ගේ ප‍්‍රධාන ඉල්ලීම වූ දූෂිත දේශපාලනය වෙනස් කිරීම තවමත් සිහිනයකි. රට බංකොළොත් කිරීමට හේතු වූ ආර්ථික ඝාතකයන් තවම නිදැල්ලේය. ඔවුන් අත් අඩංගුවට ගෙන යුක්තිය ඉටු කරන බවක් දක්නට නැත. පැරණි පාලකයන් පලා ගිය පසු බලය ලබා ගත් නව පාලකයන් ට ඒ ගැන වුවමනාවක් තිබෙන බවක් ද දක්නට නැත. ඇත්තෙන්ම  නව පාලකයන් ද කලින් සිටි පාලකයන් වර්ගයේම කොටසකි. ඔවුන් බලයේ රැඳී සිටින්නේ අත්‍යන්තයෙන්ම දූෂිත වූ පිරිසකගේ අනුකම්පාව මතය.

මෙම තත්වය නිසා කිසිවක් වෙනස් වූයේ නැති තරම් ය.

ජනතාවගේ නිග‍්‍රහයටත් පිළිකුළටත් ලක් වූ පාලකයන්ට තැන් මාරු කර ගනිමින් බලයේ රැඳී සිටීමට හැකි වීම නිසා ජනතාව ප‍්‍රතික්ෂේප කළ පැරණි ක‍්‍රමයට ආපසු යෑමට හැකිවේයැයි සිතීම මහත් මුළාවකි. මෙම මුළාව කෙතරම්ද යක් පොහොට්ටුව ඉදිරියේ එළඹෙන  ඕනැම මැතිවරණයකට මුහුණ දිය හැකියැයි ආත්ම විශ්වාසයෙක් කියයි. ජනමාධ්‍යයෙන් ද අවලංගු වූ එම බලාපොරොත්තු රසකර දක්වයි. විපක්ෂයේ දේශපාලකයෝ ද පැරණි ක‍්‍රමයටම ජනතාව ඇන්දවීමට හැකියයි සිතති. සමහරු දැනටමත් අනාගතයේ ඔඩොක්කුවට වැටෙන ඇමතිකම් සහ වෙනත් වරප‍්‍රසාද ගැන සිහින මවති. නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ බලය ලැබෙන්නේ පක්ෂ මූලික කර ගත් පුද්ගලයන්ට නිසා එවැනි බලාපොරොත්තු ඇති කර ගැනීම ඔවුන්ගේ අවශ්‍යතාවයටත් දේශපාලනයේ ස්වභාවයටත් ගැලපේ.

අද ශ‍්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික සහ දේශපාලනයෙන් ජය ගැනීමට වසර හැත්තෑ හතරක් අනුගමනය කළ ප්‍රෝඩාකාරී දේශපාලනයට නොහැකි බව ඔවුන් තේරුම් ගෙන නැත. වෙනත් විකල්පයක් නැති තත්වයක් යටතේ මෙම ප්‍රෝඩාකාරී දේශපාලකයන්ට නැවත වරක් ජනතාව මුළා කිරීමට හැකි වුවද ඒ කිසිත් පවතින අර්බූදයට විසඳුම් නොවේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලැබුණත් නැතත් ආර්ථිකයේ ගැටලූ වලට විසඳුම් ලැබෙන්නේ නැත. පවතින අර්බූදයේ ස්වභාවය හෝ ගැඹුර නොදක්නා දේශපාලකයෝ නැවතත් පොරොන්දු ලබා දීමෙන් සහ පවතින දේශපාලනයේ අඩුපාඩු නිර්දය ලෙස විවෙචනය කිරීමෙන් යෝජනා කරන විසඳුම් හිස් ප‍්‍රලාප පමණක් බව තේරුම් ගැනීමට මහා ප‍්‍රාඥයන් විය යුතු නැත.

අන්ත අසරණ තත්වයට පත්ව ඇති ජනතාවට අවම අවශ්‍ය වන්නේ ඉන් මිදී පෙර පැවති තත්වයට හෝ පත්විය හැකි දේශපාලන සහ ආර්ථික ක්‍රියාමාර්ග ඇතුළත් පැහැදිලි වැඩ සටහනකි. දූෂිත දේශපාලනය නිසා ජනතාව අද මුහුණ දී ඇති බරලතළම ගැටලූව වන්නේ පණ නළ රැක ගැනීමය. ලෝක ආහාර වැඩ සටහන වරින් වර නිතුක් කරන වාර්තා අනුව සමස්ත ජන සංඛ්‍යවෙන් සියයට 80කට පමණ කිසියම් ආකාරයක සහනයක් නැතිව ජීවිතය පවත්වා ගත නොහැකිය. එම සංවිධනයේම තවත් වාර්තාවක සඳහන් වන ආකාරයට දකුණු පළාතේ සියයට 48කට ආහාර සුරක්ෂිත භාවයක් නැත. එම අනුපාතය සබරගමුවේ සියයට 45කි. නමුත් උතුර සහ නැගෙනහිර එම අනුපාතය පිළිවෙළින් සියයට 26ක් සහ 25ක් වේ. එනම් ආණ්ඩුවෙන් අඩුවෙන්ම සැලකිල්ල යොමුවන එම පළාත් දෙකේ ජනතාවට දැනෙන පීඩණය සාපෙක්ෂකව අඩුය.

ආහාර සුරක්ෂිත තාවය යනු සාටෝප වචනයෙන් හැඳින් වුවද සරලව අදහස් ජනතාව කුසගින්නේ පසුවීම ය. දවසකට අඩුම වශයෙන් වේල් දෙකක් හෝ පෝෂ්‍යදායක ආහාර වේලක් ලබා ගත නොහැකිය. ළමා මන්ද පෝෂණය ගැන ඇති සංඛ්‍යා ලේඛන මීටත් වඩා කණගාටුදායකය. ආහාර සුරක්ෂිත භාවය ජනතාව මුහුණ දී ඇති එක ගැටලුවක් පමණි. අධ්‍යාපනය සෞඛ්‍ය නිවාස වැනි ක්ෂේත‍්‍රවල තත්වය ද මීට වෙනස් නැත. මෙවැනි අභග්‍යසම්පන්න තත්වයකට හේතු වී ඇත්තේ සම්පත් හිගකම පමණක් නොවේ. ජනාධිපතිගේ සිට ඉතාමත් පහළ මට්ටම දක්වා කළමනාකරණයේ පවතින අකාර්යක්ෂමතාවය සහ දූෂණය මීට ප‍්‍රධාන හේතුව බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. යුක්තිය නිසි කලට ඉටු නොවීම නිසා හොරුන්ට ¥ෂකයන්ට නිදැල්ලේ හැසිරීමට ‘වරප‍්‍රසාදයක්’ හිමිව ඇතිවාක් පමණක් නොව ප‍්‍රතිපත්ති සම්පාදනයටත් සහභාගිවීමට අවස්ථාව සැලසී ඇත.

වර්තමාන අවශ්‍යතාවය මෙමදූෂිත ජරා ජීර්ණ ක‍්‍රමය වෙනස් කිරීමේ සැලසුම් සහ ක්‍රියා මාර්ග ය. වැරදි දූෂණ සහ හොරකම් ප‍්‍රසිද්ධියේ විවේචනය කිරීම හෙළා දැකීම ප‍්‍රමාණවත් නොවේ. එවැනි වැරදිවලට ඉඩ සැලසෙන ක‍්‍රමය වෙනස් කරන ආකාරය ද ජනතාවට ඉදිරිපත්කළ යුතුය. මේ සඳහා ආයතන පිහිටුවීම සහ පුද්ගලයන් පත් කිරීම ප‍්‍රමාණවත් නොවේ. පසුගිය යහපාලන සමයේ මහා පරිමාණයේ මූල්‍ය වංචා ගැන පරික්ෂා කිරීමට නම් කළ ආයතනයේ ප‍්‍රධානියා ද වංචා දූෂණවලට ගොදුරු වූ ආකාරය ජනතාවට තවමත් මතකයේ පවතී. හොරු අල්ලන්න කම්බහොරු පත් කිරීමෙන් ඵලක් නැත. අවශ්‍ය වන්නේ ජනතාවට සෘජුවම වගකියන සහභාගිවිය හැකි පාලන ක‍්‍රමයකි.

ඒ සඳහා ජනතා සභා පිහිටුවීම දැනට ඉදිරිපත්ව ඇති හොඳ යෝජනාවකි. එහෙත් එවැනි ආයතන පවතින පරිපාලන ව්‍යුහය තුළ දේශපාලකයන්ගේ තවත් අතකොළුවක්වීමේ අනතුරක් පවතී. ඉදිරිපත්ව ඇති තවත් සාධනීය යෝජනාවක් වන්නේ ජනතාවට තම නියෝජිතයන් ආපසු කැඳවීමට හැකිවන ආකාරයේ නීතිමය ප‍්‍රතිපාදනයි. තම නියෝජිතයා ලබා දී ඇති වරමට පටහැනිව ආත්මාර්ථය උදෙසා කටයුතු කරන විට ඔහු ආපසු කැඳවීමටත් වැරදිවලට දඬුවම් දීමටත් නීති ප‍්‍රතිපාදන සකස් කළ යුතුය. ඒ පවතින තත්වය වෙනස් කිරීමට යෝජනාවී ඇති අවම විසඳුම් ය. බලය ඉල්ලා සිටින දේශපාලන පක්ෂ අවම වශයෙන් මෙම යෝජනාවලට දක්වන ප‍්‍රතිචාරය පොරොන්දුවක් වශයෙන් ලබා දීමට එකඟතාවය පළ කළ යුතුය.

වංචා දූෂණ සහ හොරකම් පිළිබඳව කිසියම් බලපෑමක් කිරීමටත් ප‍්‍රතිපත්ති තීරණය කිරීමේ දී ජනතාවට බලපෑම් කිරීමටත් අවම මට්ටමෙන් හෝ ව්‍යුහාත්මක වෙනස්කම් කිරීමට අකමැති පක්ෂ නැවත වරක් බලයට පත් කිරීම ගැටලූවට විසඳුමක් නොවේ. ගැටලූවේ ස්වභාවය අනුව ජනතාවට දැරිය නොහැකි බරක් පැටවී ඇති නිසා ජනතාවට සෘජුව වගකීමට බැඳී ඇති පාලන ව්‍යුහයක් යෝජනා කරන්නේ නැතිව බලය ඉල්ලීම ජනතාව ඇන්දවීමට ගන්නා තවත් උත්සාහයකි. 

Leave a Reply