පසුගිය දා හායිටියේ වර්තමාන ඛේදනීය තත්වය පිළිබඳ ව එහි වසර හතරක් ගත කළ මානව අයිතිවාසිකම් ක්‍රියාකාරිණියක වන පූජා භාතියා ගාඩියන් පුවත් පතට ලිපියක් සපයා තිබිණ. එය කියවූ මට ශ්‍රී ලංකාවට අත්වෙමින් පවතින්නේ එම ඉරණම දැයි සැකයක් මතු විය. විකිපීඩියා හි සඳහන් වන ආකාරයට 1677 දී ලොව ධනවත් ම රටක් වූ හායිටි ය අද උග්‍ර දිරිද්රතාවයේ ගිලුනු නිරන්තරයෙන් ම වසංගත රෝගවලින් පෙළෙන රටකි. සංවිධානය වූ වහල්ලු ප්‍රංශ යටත් විජිත පාලකයන්ට එරෙහිව කැරලි ගසා 1804 දී ස්වාධීනත්වය ප්‍රකාශ කළහ. එතැන් පටන් නොයෙකුත් අධිරාජ්‍ය බලවතුන්ගේ ආක්රමණයටත්, තහංචිවලටත් ලක් වූ හායිටිය අද පත්ව ඇති දුක්ඛිත තත්වයේ ඉතිහාසය සඳහන් කිරීම අනවශ්‍යය. අසල්වැසි ප්‍රබලයා වූ ඇමරිකා එක්සත් ජනපදය හායිටියේ ‘ප්රජාතන්ත්රවාදය සහ මානව අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට’ මැදිහත්වීම එරට ජනතාවට මහත්ම ව්‍යසනයක් වී ඇති ආකාරය පූජා භාතියා විචිත්‍ර ව ඉදිරිපත් කරයි.
දේශපාලන සහ ආර්ථික වශයෙන් බංකොලොත් භාවයට පැමිණ ඇති ඉන්දියන් සාගරයේ මුතු ඇටය එක්සත් ජනපද හමුදාව විසින් ආක්‍රමණය කර ඇමරිකාවට අවශ්‍ය ‘ප්රජාතන්ත්රවාදය සහ මානව අයිතිවාසිකම්’ ආරක්ෂා කිරීමේ අවදානමක් තවම නැත. නමුත් ශ්‍රී ලංකාව සදහටම ණයගැති භාවයට පත් කොට බෙලහීන රටක් බවට පත් කිරීමට වෙනත් මාර්ග යොදා ගෙන ඇති බව සිහි බුද්ධිය ඇති කෙනකුට අවබෝධ කර ගැනීම අපහසු නොවේ. හායිටියට පළමුව ඇමරිකානු හමුදා යවා මහජන ඡන්දයෙන් තේරිපත් ජනාධිපති පැහැර ගෙන ගොස් අප්‍රිකානු රටකදී මුදා ගැරි ආකාරයට ලංකාවේ ජනාධිපති පැහැර ගෙන යෑමට එක්සත් ජනපදයට අවශ්‍ය නොවනු ඇත. ඒ අපේ රටේ ඇති හමුදාවේ ශක්තිය නිසා නොව මෙහි සිටින පාලකයන් කැමැත්තෙන් ම වස කෝප්පය ජනතාවට පෙවීමට සැදි පැහැදී සිටින නිසාය.
හායිටියේ දී යොදා ගත් වෙඩි උණ්ඩ වෙනුවට අපේ රටේ යොදා ගන්නේ ඩොලර් හා යුරෝ ය. මදි පාඩුවට යෙන් යොදා ගැනීමේ අවකාශය ද පවතී. පැරිස් සමාජය අටවා ගෙන ඇත්තේ ඒ සඳහා ය. මෙම ආක්‍රමණය සඳහා යොදවා ගෙන ඇත්තේ ලෝක බැංකුව සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදල් නමින් හඳුන්වන කුලී හේවායින් දෙදෙනාය. ඔවුන්ගේ කාර්යයට ඔවුන් විසින් ම පුරුදු පුහුණු කළ කුලී හේවායෝ මහ බැංකුව නමින් හඳුන්වන කඳවුරේ සිටිති. ඔවුහු ජාත්‍යන්තර කුලී හේවායින් දෙදෙනාගේ කාර්ය පහසු කරනු සඳහා බැඳුම්කර, විදෙස් විනිමය හා විවිධ බදු වර්ග වැනි ආයුධ යොදා ගනිති. රට කරවන ඇත්තන්ට ද සැඟව කරන මෙම ප්‍රහාරවලින් වාසි සැලසෙන නිසා කලබල වන්නේ ද නැත. කුලී හේවායින්ගේ පැමිණීම ත්‍රස්තවාදයෙන් රට මුදා ගැනීමේ ප්රයත්නයට දක්වන සහායක් සේ සලකති.
කෙනෙකුට අප්රභංසයක් සේ පෙනුන ද අපේ රටේ සිදුවෙමින් පවතින්නේ එයයි. ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවේ ක්‍රියාකිරීමට සැලසුම් කරන්නේ ඇමරිකානු හමුදා එක්සත් ජාතීන්ගේ ‘සාම සාධක’ හමුදාවේ සහාය ඇතිව හායිටියේ කළ දේම ය. අවසාන ප්‍රතිඵලය සාගින්න සහ ලෙඩ රෝගවලින් පිරුණු රටක් බවට පත්වීම ය. ජනතාව මුහුණ දෙන අභාග්‍යය සංවර්ධනය හෝ සෞභාග්‍යය යනුවෙන් හඳුන්වනු ඇත. අතලොස්සකට දැනටමත් සෞභාග්‍යය උදාවි ඇති නිසා සාගින්නෙන් පෙළෙනවුන්ට එය කැරට් අලයකි.
ආර්ථික ඝාතකයන් නමින් ද හැඳින්වෙන මෙම ආයතන ලංකාව බිම දැමීමට යොදා ගත්තේ පහසු බොහෝ යුක්ති සහගත යැයි පෙනෙන පියවරකි. ඒ පසුගිය අප්‍රේල් මාසයේ දී ලංකාව එතෙක් ලබා ගෙන සිටි ණය මුදල් වෙනුවෙන් වාරික සහ පොලී ගෙවීමට නොහැකි බව ප්‍රකාශ කිරීමෙන් බංකොලොත් භාවයට පත් කිරීමෙනි. බංකොලොත් ලේබලය අලවා ගත්විට කිසියම් මූල්‍ය ආයතනයකින් හෝ ද්වි පාර්ශ්ව ආකාරයෙන් ණය හෝ සහන ලබා ගැනීමට හැකියාවක් නැත. සහන ලබා ගත හැකි වන්නේ ඉහතින් සඳහන් කළ කුලී හේවායින්ගෙන් පමණි. මෙම උපක්‍රමය පාවිච්චි කෙළේ අපේ රටට පමණක් නොවේ. ආර්ජෙන්ටිනාව සහ චිලිය ඇතුළත් ලතින් ඇමරිකානු රටවල් ගණනාවක් දරිද්‍රතාවයේ බැඳ තැබීමට යොදා ගෙන ඇත්තේ ද මෙවැනි උපක්‍රම ය.
වැදගත් ම කාරණය අප්‍රේල් මාසයේ බංකොළොත් භාවය ප්‍රකාශ නොකර ණය සහ පොලි මුදල් ගෙවීමට ඒ වන විට මහ බැංකුව සතු විදේශ මුදල් කළමනාකරණය කිරීමේ හැකියාවක් තිබුණ බව ස්වාධීන ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා තිබීම ය. මෙවැනි පියවරක් ගැනීමට මුල් වූයේ කවුරුන්ද යන්න බොහෝ විට පාස්කු ප්‍රහාරයේ මහ මොළ කාරයා සොයා ගැනීමටත් වඩා අපහසු වනු ඇත. බංකොලොත් භාවය ප්‍රකාශ කිරීමත් සමග ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමේ කොන්ත්‍රාත්තුව ද ණය හිමියන්ගේ කුළුපග මිතුරෙකු වන බ්ලැක්රොක් සමාගමට ලබා දී ඇත. මෙම සමාගම ආර්ජෙන්ටිනාවේ ණය ප්‍රතිව්‍යුහ කිරීමෙන් ලාභ ඉපැයු අයුරු අපි මීට පෙර ලිපියකින් පෙන්වා දුන්නෙමු.
රජය සතු, ජන ජීවිතයට ඉමහත් බලපෑමක් කරන ව්‍යාපාර, පුද්ගලික බොහෝ විට විදේශීය ව්‍යවසායකයන්ට ලබා දීම ද ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කොන්දේසියකි. මෙම ආයතන විකිණීමෙන් විදෙස් විනිමය ගලා එන්නේ නැත. නිදසුනක් වශයෙන් ඛනිජ තෙල් සංස්ථාව විදේශීය බහුජාතික සමාගමකට විකිණීමෙන් තෙල් ආනයනය පහසු වන්නේ නැත. ඒ කවරෙකු වුවත් තෙල් මිලදී ගත යුත්තේ ඩොලර් ගෙවීමෙනි. එම සමාගම් මෙරට කරන ගනුදෙනුවලින් උපදවන ලාභ තම මවුරටට ගෙන යන්නේ ද ඩොලර්වලිනි. එවිට අඩු වන්නේ ලංකාවේ විදෙස් මුදල් සංචිත යි. ඛනිජ තෙල් සංස්ථාව ( නිසි කළමනාකාරිත්වයක් නැති නිසා) මෙහෙයුම් කටයුතුවල දී පාඩු ලැබුවත් එය පියවන්නේ දේශීය මුදලෙනි. ඩොලර් වැය වන්නේ තෙල් මිලදී ගැනීමේ දී පමණය.
මෙම ගනුදෙනු පාරද්‍රශ්‍ය ආකාරයට කිරීමේ අදහසක් නැති බව පසුගිය දා පාර්ලිමේන්තුවෙන් වැඩි කලබලයක් නැතිව සම්මත කළ පැට්රෝලියම් නිෂ්පාදන විශේෂ ප්‍රතිපාදන පනතින් දැකිය හැකිය. මෙම පනත මුලින් ම ඉදිරිපත් කළ විට එක් ප්රතිපාදනයක් වූයේ එම ගනුදෙනු රජයේ විගණනයට ලක් නොවිය යුතු ය යන්නයි. මෙම ප්රතිපාදනය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයක් අනුව ඉවත් වුවද වැදගත් වන්නේ මෙවැනි ප්රතිපාදනයක් ඇතුළත් කෙළේ ඇයි ද යන්නයි. රාජ්‍ය අංශයේ සෑම මට්ටමකම මහා පරිමාණයේ වංචා දූෂණ සිදු වන බවට චෝදනා මතුව ඇති නිසා රාජ්‍ය ආයතන මගින් සිදු වන සියලු කටයුතු වඩාත් තියුණු ආකාරයෙන් පරික්ෂාවට ලක්විය යුතුව ඇත. එවැනි තත්වයක් යටතේ විගණනය බැහැර කිරීමට උත්සාහ කරන්නේ තම සුපුරුදු ක්‍රියා මාර්ග බාධාවකින් තොරව පවත්වා ගැනීමට බවට සැකයක් නැත. ණය අර්බුදයෙන් ගලවා ගැනීමට ඉදිරිපත් වන ආයතනවලට වැදගත් වන්නේ ණය සහ පොලිය ලබා ගැනීම විනා වඩාත් විවෘත ජනතාවට සෘජු ව වගකියන පාලන තන්ත්රයක් නොවේ.
රට ණය උගුලට හසු කර ගැනීම මෙම මූල්‍ය ආයතනවල අවශ්‍යතාවය බවට තවත් නිදසුනක් දැක්විය හැකිය. ඒ ලෝක බැංකුව 2019 වසරේ ජුලි මාසයේ දී ලංකාව මධ්‍යම මට්ටමේ ආදායම් ලබන රටක තත්වයට ‘උසස්’ කිරීමය. පාස්කු ප්‍රහාරයෙන් පසුව මූලික වශයෙන් ම සංචාරක කර්මාන්තය බිඳ වැටී රටේ ආර්ථිකය කඩා වැටීමට ආසන්න ව තිබිය දී කරන ලද මෙම ශ්‍රේණිගත කිරීම පහසු මිලකට ණය සහ ආධාර ලබා ගැනීමේ අවස්ථාව අහිමි කිරීමකි. ඉන් සිදු වූයේ ආර්ථිකය වඩාත් වේගයෙන් කඩා වැටීමට මග පෑදීමයි.
පසුගිය ජුනි මාසයේ එයරොෆ්ලොට් ගුවන් යානය කටුනායක ගුවන් තොටු පොළේ දී අත් අඩංගුවට ගැනීමත් සමග එල්ල වූයේ ද තවත් ආර්ථික ප්රහාරයකි. මෙම සිද්ධිය ඇතැම් විචාරකයින් හඳුන්වන ආකාරයට සාමාන්‍ය නෛතික කටයුත්තකට අමතරව රුසියාව සමග පවතින ගුවන් ප්‍රවාහන කටයුතු මෙන්ම වාණිජ සබඳතා බිඳ දැමීමේ අරමුණෙන් කරන ලද්දකි. රුසියාවට එරෙහිව ඇමරිකාව ප්රමුඛ බටහිර රටවල් පැන වූ සම්බාධකවලට ලංකාව ඇතුළත් කර ගැනීමේ උත්සාහයේ කොටසකි. මූල්‍ය නිෂ්කාශන කටයුතුවල දී රුසියාවට එරෙහිව පැන වූ සම්බාධක ජය ගැනීමට රුසියානු පෙඩරල් බැංකුව සකස් කළ මීර් මූල්‍ය හුවමාරු ක්‍රමය ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතික්ෂේප කර ඇත්තේ ද එවැනිම පදනමකිනි.
දරුණු විදේශ මුදල් අර්බුදයකට මුහුණ දී ඇති ශ්‍රී ලංකාවට රුසියාව සමග රූබල්වලින් ගනුදෙනු කිරීමට හැකියාවක් ඇති කර ගැනීම මහත් අස්වැසුමක් වුවද එක්සත් ජනපදය ප්රමුඛ බටහිර රටවල් ඊට ඉඩ දීමට සූදානම් නැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ අපේ රට ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි මූල්‍ය ආයතනවල ග්‍රහණය යටතේ පවත්වා ගැනීම ය. ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඊට හොඳ අවස්ථාවකි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසන ආකාරයට ප්‍රතිව්‍යුහගත කිරීම දේශීය බැංකු දක්වා ද දීර්ඝ කළ යුතු ය. ඉන් දේශීය බැංකු පද්ධතියට වන හානිය ඔහුට වැදගත් සාධකයක් නොවේ.
ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මත සම්පූර්ණයෙන් යැපෙන කිසිම රටකට තම ආර්ථිකය ශක්තිමත් පදනමකට ගෙන ඒමට මෙතෙක් නොහැකි විය. මෙම ප්‍රතිව්‍යුහගත කිරීම් සහ අනෙකුත් විසඳුම්වලින් සිදුව ඇත්තේ රට ආර්ථික සහ දේශපාලන වශයෙන් සදාකාලිකව ම එම ආයතනවලට ගැතිව සිටීමය. ලංකාවේ වත්මන් පාලකයන් උත්සාහ කරන්නේ ද රට එවැනි ගමන් මගක දක්කා ගෙන යෑම ය. එමනිසා ජනතා වගකීම වන්නේ ජනතාවට වගකියන සියලු දෙනාගේ අයිතිවාසිකම් ගරු කරන දේශපාලනයකට මුල පිරීමය. සිස්ටම් චේන්ජ් වන්නේ එවිටය.
- රටේ අනාගතය තීරණය වන දේශපාලන හැරවුම් ලක්ෂ්‍යය කොතැන ද? - November 19, 2024
- සමාජ පෙරළිය හිසරදයට කොට්ට මාරු කිරීමක් නොවිය යුතුය.. - November 4, 2024
- කැනඩා ඉන්දියානු තානාපති අර්බූදය ලෝක ආධිපත්‍යය සඳහා කරන අරගලයේම කොටසක්.. - October 24, 2024