You are currently viewing ඛේදවාචකයකින් අවසන් වන රාජපක්ෂ නාඩගම..

ඛේදවාචකයකින් අවසන් වන රාජපක්ෂ නාඩගම..

රාජපක්ෂ නාඩගමේ දෙවැනි ජවනිකාව දේශපාලන වේදිකාවට අවතීර්ණ වී ඇත. ඇත්තෙන්ම එය නාඩගම් සම්ප්‍රදාය අනුව නොව ග්‍රීක නාට්‍ය සම්ප්‍රදාය අනුව ඛේදාන්තයක් ලෙස හැඳින්විය යුතු ය. ඒ නාඩගම් කලාවේ ඛේදාන්තයක් නොවන නිසා ය. දැනට දේශපාලන වේදිකාවේ රඟ දැක්වෙන නාටකය ඛේදාන්තයක් වන බවට සියලු නිදසුන් ඇත. ඒ ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරණයේ දී ඔහුට ලැබුණා යැයි කියන ජනවරම අනුව තවත් වසර දෙක හමාරක් බලයේ සිටින බවට සපථ කිරීමත් සමග ය. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඔහුට තවත් වසර දෙක හමාරක් බලයේ සිටීමට නීත්‍යනුකූල බලයක් ඇති නමුත් ඔහුට එම වරම ලබා දුන් ජනතාව මුහුණ දී ඇත්තේ මහත් ඛේදවාචකයකට ය. උදා කරන බවට පොරොන්දු වූ සෞභාග්‍යය දකින්නටවත් නැත. නොමිලයේ ලබා දෙන බව කී පොහොර උඩු සුළඟට පාවි ගොසිනි. එවැනි තත්වයක් යටතේ ඔහුට ලබා දුන්නේ යැයි කියන වරම තව දුරටත් වලංගු වන්නේ කෙසේ ද? වරම ලබා දුන්නේ ජනාධිපතිකම් කිරීමට පමණක් නොවේ. ඒ සඳහා ඔහු පොරොන්දු කන්දරාවක් ලබා දුන්නේ ය. පොරොන්දු කඩ කළ විට ජනවරම ද අනිවාර්යෙන්ම අවසන් විය යුතු ය. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නම් වු සිහින් හුයෙන් එල්ලා තැබිය නොහැකිය.’ ගෝටා ගෝ හෝම්’ සටන් පාඨය ජනතාවගේ ඉල්ලීම වූයේ එම නිසා ය. පොරොන්දු කඩ කළ විට ක්‍රියා කළ යුතු ආකාරය ද භාවිත නීතියේ ම සඳහන් වන බව ඔහුට පෙන්වා දිය යුතු ය.

රටේ ජනතාව මුහුණ දී ඇති ඛේදවාචකය” සෞභාග්‍යය උදා කිරීමේ පොරොන්දුව මත ජන වරමක් ලබා ගත් ඔහුට නොපෙනෙන නමුත් රටේ ජනතාවටත් ඔවුන් ගැන උනන්දුවක් දක්වන ලෝක වාසින්ටත් හොඳින් දැකිය හැකිය. සමස්ත ලෝකවාසීන් වෙනුවෙන් පෙනි සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානය සාගින්නෙන් පෙළෙන ජනතාව සහ මන්ද පෝෂණයෙන් කෘෂවී යන ළමා පරපුර ගැන ලෝක ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත්තේ එම නිසා ය. එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිතවරිය ලෝකයාට කළ ආයාචනයක් අනුව මේ රටේ ජනතාවගෙන් දශ ලක්ෂ පහක් එනම් සෑම වැසියන් හතර දෙනකුගෙන් එක් අයෙකු කුස ගින්නෙන් පෙළෙන නිසා ආහාර ආධාර ලැබිය යුතුය. එම නියෝජිතවරියගේ ගණන් බැලීම අනුව කොළඹ නගරයේ පමණක් මෙම සංඛ්‍යාව ලක්ෂ දෙකකටත් වඩා වැඩිය.

ජාතියේ අනාගතය වන වයස අවුරුදු පහට වඩා අඩු ළමයින් අතර නිදන්ගත මන්ද පෝෂණය සියයට 50ක් වැනි ඉහළ මට්ටමක පවතී. මෙම ළමයින්ට පෝෂණයක් නොමැතිවීම නිසා, කිසියම් ආකාරයකින් දිවි රැක ගත්ත ද ඔවුන්ගේ කායික සහ මානසික තත්වය ඉතාමත් පහළ තත්වයක පවතිනු ඇත. ඔවුන් කායික වශයෙන් පමණක් නොව දේශපාලන වශයෙන් ද මන්ද බුද්ධිකයන් වනු ඇත.

නියෝජිතවරියගේ වාර්තාව අනුව ළමයින් අතර මන්ද පෝෂණය උග‍්‍රවීමට එක හේතුවක් වන්නේ එක්සත් ජාතින්ගේ සහාය ඇතිව ක්‍රියාත්මත කළ ත්‍රිපෝෂ වැඩ සටහන අත්හැර දැමීම ය. ඒ සමගම පාසල් ළමයින් සඳහා වූ දිවා ආහාර වැඩ සටහන ද අත්හැර දමා ඇත. එම වාර්තාවේ සඳහන් නොවන නමුත් රසායනික පොහොර භාවිතය හිටි අඩියේ නවතා දැමීම නිසා ග්‍රාමීය කෘෂි ආර්ථිකය කඩා වැටීම සාගින්න සහ මන්ද පෝෂණය වැඩි විමට අනිවාර්යෙන්ම හේතු වු බව සැලකිය යුතුය.

ඉතිහාසයේ පෙර කිසි දා නොවු ආකාරයට සමස්ත ලෝකයා හමුවේ ශ‍්‍රී ලංකාව ආහාර සිඟමනේ යන තත්වයට පත් කළ පුද්ගලයෙකුට හැටනම ලක්ෂයක ජනවරමක් ගැන කතා කළ හැක්කේ අවසිහියෙන් පමණි. සිහි බුද්ධියක් ඇත්නම් සහ වගකීම ගැන අල්පමාත්‍ර හෝ හැඟීමක් ඇත්නම් ඔහු කළ යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කුමක් සඳහන් වුවද තම නොහැකියාව පිළිගෙන තනතුරෙන් ඉවත්ව යෑමය. ඉවත්ව යෑම ඔහුට කිසිදු ගැටලුවක් නොවන්නේ සියලු රැකවරණ ලබා දෙන රටක් ඔහුට තිබෙන නිසාය. හැටනම ලක්ෂයටත් සෙසු ජනතාවටත් මේ රට හැර යෑමට වෙනත් තැනක් නැති බව ඔහු තේරුම් ගත යුතුය.

2022June13[1]_food_crisis

ගෝඨාභය රාජපක්ෂ මහතා තම නොහැකියාව සහ අදක්ෂතාවය වසා ගැනිමට උත්සාහ ගන්නේ රටේ පවතින තත්වය ගැන කිසිත් නොදන්නා සේ පරණ පුරුදු ආකාරයට දේශපාලන ‘ගේමක’ යෙදී මෙන්ය. පසුගිය පාර්ලිමේන්තු ඡන්ද විමසීමේ දී එකදු ආසනයක් දිනා ගත නොහැකි වූ පක්ෂයක නායකයෙකු, ජාතිකයැයි කියා ගන්නා ලැයිස්තුවකින් පාර්ලිමේන්තුවට රිංගා මංත‍්‍රිකමක් හිමි කර ගැනීම නිසා අගමැති තනතුර භාරදීම ඛේදාන්තයේ තවත් ජවනිකාවකි. ඔහුගේ දේශපාලන ජීවිතය පුරාම ප්‍රදර්ශනය කළ ආකාරයට පවතින ආර්ථික හා දේශපාලන අර්බුදයට විසඳුම් තමාට නැති බව අගමැති පුටුවේ වාඩි වූ පළමු දින කීපයේ දීම පෙන්නුම් කෙළේය.

නමින් අගමැති වුවත් ඇමතිවරුන් පත් කෙළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අවශ්‍ය ආකාරයට ය. එසේ ඇමතිකම් ප්‍රදානය කිරීමේ දී නිර්ණායකය වූයේ ආර්ථික අර්බුදයට මුහුණ දීමේ හැකියාව හෝ ඒ සඳහා වූ පුහුණුව නොව පාර්ලිමේන්තුවේ බහුතරය පවත්වා ගැනීමේ අවශ්‍යතාවයයි. සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගැන කතා වෙමින් මංත‍්‍රීන් බිලී බා ගැනීමේ නිර්ලජ්ජිත ක්‍රීඩාවේ යෙදුණේ එම නිසා ය. සාගින්නෙන් පෙළෙන ජනතාවට අඩුම වශයෙන් පෝෂ්‍යදායක ආහාර වේලක් ලබා දීම ප‍්‍රමුඛතාවය වූයේනම් කැබිනට්ටුව සකස් විය යුත්තේ අසමත් වු පුද්ගලයන්ට නැවත ඇමතිකම් ලබා දීමෙන් නොවේ. තමාට ඒ සඳහා සුදුසු වැඩ පිළිවෙළක් නිර්මාණය කිරීමට නොහැකිනම් ඒ සඳහා හැකියාව සහ දක්ෂතාවය ඇති විද්වතුන්ගේ සහාය ලබාගත යුතු ය. ඒ සඳහා උත්තරීතර යැයි හඳුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින්ම අපමණ අවස්ථා පවතින බව විද්වතුන් පෙන්වා දී ඇත. ඒවා ඔවුන්ගේ අලජ්ජී දේශපාලන වූවමනාවට නොගැලපෙන නිසා සැලකිල්ලට ගන්නේ නැත.  

තවත් වසර දෙක හමාරක් බලයේ සිටීමට ගෝඨාභය රාජපක්ෂ යොදා ගන්නේ පැරණි උපාය මාර්ග ය. එනම් තම හිතවතුන්ට දේශපාලන වරප්‍රසාද ලබා දීම ය. ඒ සඳහා අවශ්‍ය පරිදි කැබිනට්ටුව පුළුල් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බාධාවක් නැත. තමගේ අසමත් භාවය ඇස් පනා පිටම ප්‍රදර්ශනය කර ඇති ඔහු අමාත්‍යංශ 47ක් රඳවා ගෙන ඇත්තේ බිලී බා ගැනීමට යොදන ඇමක් සේය. ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිස රට මහත් අගාධයකට පත් කළ බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවෙන් ඉවත් වන බව ප්‍රකාශ කළ වහාම ඇමති තනතුරු දෙකක් නිර්මාණය කර ඇත්තේ වසර දෙකහමාරක් බලයේ සිටීමේ ව්‍යාපෘතිය යටතේය. 

එසේ නිර්මාණය කළ එක ඇමතිකමක් වන්නේ තාක්ෂණ සහ ආයෝජනය සඳහා ය. එය දැනට ව්‍යාපාරික ලෝකයේ ප්‍රබලයකු වන ධම්මික පෙරේරාට පිරි නමනු ඇතැයි ජනමාධ්‍යයේ සඳහන් වේ. පළමුවෙන්ම අද ප‍්‍රමුඛතාවය වන්නේ තාක්ෂණය සහ ආයෝජනය සඳහා කල් මැරීම නොව අඩුම වශයෙන් පවතින සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර පවත්වා ගැනීමය. එය ප‍්‍රමුඛතාවයක් වන්නේ එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිතවරිය සිය වාර්තාවෙන් පෙන්වා දී ඇති ආකාරයට එම කුඩා ව්‍යාපාර කඩා වැටීම නිසා දශ ලක්ෂ 1.7ක ජනතාවකගේ ජීවන මාර්ග, ආහාර සුරක්ෂිත භාවය සහ සෞඛ්‍ය සේවා ලබා ගත නොහැකිවීමේ අනතුරකට මුහුණ දී ඇති නිසාය.

දෙවැනිව ධම්මික පෙරේරා මෙගා ධනවතෙකු වුවද ඔහුගේ ව්‍යවසායකත්වයෙන් ගොඩ නැගූ එකදු ව්‍යාපාරයක් නැත. ඔහු කර ඇත්තේ කුමන ආකාරයකින් හෝ ( සමහර විට දේශපාලන සබඳතා හරහා ලබා ගත් බැංකු ණයවලින්) රැස් කර ගත් මුදලින් ව්‍යාපාර මිලදී ගැනීම පමණි. ව්‍යවසායකත්වයත් ඩීල් ව්‍යාපාරත් අතර ඇත්තේ විශාල පරතරයකි. ඒ අනුව ඔහුගේ ආයෝජනය රට වැටී ඇති තත්වයෙන් ගොඩ ගැනීමට ඉවහල් වන්නේ නැත. මීට පෙර ඔහු රජයේ තනතුරු දැරූ විට ද එය පෙන්නුම් කර ඇත.

ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට සිය ජීවන මාර්ග අහිමි වී ඇත්තේ ඉන්ධන, ගෑස් හිඟය සහ විදුලිය නිතර නිතර කප්පාදු කිරීම නිසා හටගත් ආර්ථික අර්බුදයෙනි. ජනතාව ජීවත් කිරීම සඳහා ගතයුතු හදිසි සහ අත්‍යාවශ්‍ය ක්‍රියා මාර්ගය වන්නේ එම සේවා යථා තත්වයට පත් කිරීමය. මෙම අර්බුදය වසරකට ආසන්න කාලයක් තිස්සේ දිග් ගැසෙන නමුත් එය විසඳීම සඳහා වැඩ පිළිවෙළක් ඉදිරිපත් කිරීමට විධායක ජනාධිපතිට හෝ ඔහුගේ ඇමතීන්ට හැකි වූයේ නැත. ඉන්දියානු ණය ක්‍රමය යටතේ ගෑස් සහ ඉන්ධන ලබා ගැනීම තාවකාලික විසඳුමක් පමණි. එම ණය ආපසු ගෙවීමේ බර දැරිය යුත්තේ ද ජනතාවය. එමනිසා සැබෑ ජනතාවාදී පාලනයක ප‍්‍රමුඛතාවය විය යුත්තේ මෙම ගැටලු විසඳීමට තිරසාර විසඳුම් ඉදිරිපත් කිරීම ය. රජයේ උසස් නිලධාරීන් රජ ගෙදරට කැඳවා උපදෙස් දීම විඳුමක් නොවන බව පසුගිය වසර දෙක හමාරක කාලය තුළ ඔප්පු කර හමාරය. 

තිරසාර විසඳුම් සොයා යෑමේ දී අනිවාර්ය සාධකය වන්නේ නව දේශපාලන ගමන් මගක් විවෘත කර ගැනීම ය. නව දේශපාලන ගමන් මගක් යනු පරණ මුහුණුවලට අලුතින් සායම් ආලේප කිරීම නොවේ. අසාර්ථක වූ ක්‍රමය වෙනුවට නව ක්‍රමයක් ඉදිරිපත් කළ හැකි පුද්ගලයන් පත් කර ගැනිමට සහ පාලන ව්‍යුහයක් සකස් කර ගැනීමට හැකියාව සහ කැපවීම තිබිය යුතුය. එය කිසිසේත් ‘ගේම්’ දේශපාලනය නොවේ. ප්‍රෝඩාකාරී දේශපාලනය බැහැර කොට ජනතාව සමග විවෘත සංවාදයක් පවත්වා ගන්නා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් විය යුතු ය. ජාත්‍යන්තර මූල්‍ය සංවිධානවල සහ ආයෝජකයන්ගේ විශ්වාසය දිනා ගත හැකි වන්නේ ඒ තුළින් පමණි.

එසේ නැතුව ගේම් දේශපාලනයෙන් සිදු වන්නේ මානව ඛේදවාචකය ඉක්මන් කර ගැනීම ය. අවශ්‍ය අයට එහි පෙර නිමිති දැනටමත් දැකිය හැකිය.

Leave a Reply