පාර්ලිමේන්තුව තුළ ආණ්ඩු පක්ෂය විපක්ෂය වශයෙන් බෙදී කෑ කොස්සන් කා ගන්නා පාර්ලිමේන්තු මංත්‍රීවරු පසුගිය දා එක යෝජනාවක් ගැන පක්ෂ භේදයක් නැතිව එකඟ වූහ. ඒ රජයේ උසස් නිලධාරීන්ට ලබා දී ඇති ආකාරයට තීරු බදු සහන යටතේ ඔවුන්ට ද වාහන ගෙන්වීමට බලපත්‍ර ලබා දිය යුතුය යන ඉල්ලිමට ය. හැම දේ ගැනම ආණ්ඩුව හා විපක්ෂය වශයෙන් බෙදීම් පැවතිය ද මෙම පොදු කරුණේ දී ඒ සියල්ල අමතක කිරීම එක අත්තක සිටින කුරුල්ලන් සිහි කරවයි.
හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඖෂධ ගෙන්වීමේ දී සිදු කෙළේයැයි කියන වංචා සහ දූෂණ පදනම්ව විපක්ෂයෙන් විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් වූ විට ඔහුගේ ආරක්ෂාවට ආණ්ඩු පක්ෂයේ සියලු මංත්‍රීවරු ඉදිරිපත් වූහ. එහෙත් ඔහු දූෂණ හෝ වංචා සිදු කර ඇති බවට පැහැදිලි සාක්ෂි ඇතැයි පිළිගත් අධිකරණය ගරු ඇමතිවරයා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තීරණය කෙළේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ විශ්වාස භංග යෝජනාව පරාජය කර වැඩි කලක් ගත වීමට පෙරය. එහිදි වැදගත් වූයේ යෝජනාව ඉදිරිපත් වූයේ කුමන පාර්ශ්වයෙන් ද යන්නයි. එහෙත් වාහන ආනයන බලපත්‍ර ලබා දීම සඳහා යෝජනාව ඉදිරිපත් වූ විට ඒ කුමන පාර්ශවයෙන් ද යන්න වැදගත් වූයේ නැත. ඒ එම යෝජනාව පාර්ලිමේන්තු මංත්‍රීන් සියලු දෙනාටම පල ප්‍රයෝජන අත්වන්නක් නිසාය.
ඇත්තෙන්ම වාහන ආනයනය සඳහා තීරු බදු සහන යටතේ බලපත්‍ර ලබා දීම ඒවා ලබන අයගේ ගමන් පහසුව සඳහාම නොවේ. සමහර අය වාහනයක් ආනයනය කිරීම පසෙක තබා බලපත්‍රය අමු අමුවේම විකුණා දමති. තවත් අය වාහනයක් ආනයනය කර වෙළඳ පොළ පවතින උපරිම මිලට විකුණා දමති. ඒ අනුව බොහෝ දෙනෙකුට මෙම වාහන ආනයන බලපත්‍රය තවත් අතිරේක ආදායම් මාර්ගයකි.
රජය විසින්ම ප්‍රකාශයට පත් කර ඇති සංඛ්‍යාලේඛන අනුව රජයේ වැඩ කටයුතුවලට එනම් රාජකාරි වැඩට වාහන හිගයන් ඇති බවක් නොපෙනේ. 2021 අගෝස්තු 25 ඩේලිමිරර් පත්‍රය අගමැති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති වාර්තාවක් උපුටා දක්වමින් රජය සතුව වාහන 82,194 ක් ඇති බව සඳහන් කෙළේය. ඉන් වාහන 76,661ක් ධාවනය කළ හැති තත්වයේ පවතී. ඒ අනුව රජයට වාහන හිගයක් නැත. මැයි 15 දින ලංකාදීප පුවත් පත පුරවැසියෙකු නොවන නිසා රාජ්‍ය ඇමතිකමත් මංත්‍රීකමත් නැති වූ ඩයනා ගමගේ භාරයේ පැවති වාහන තුනක් ආපසු භාර දුන් බව වාර්තා කර තිබිණ. සිය ගණනක් වන ඇමතීන් සහ අනෙකුත් රාජ්‍ය ඇමතීන්ද මෙවැනිම වාහන සංඛ්‍යාවක් හෝ සමහර විට ඊටත් වැඩි වාහන සංඛ්‍යාවක් තමන් භාරයේ තබා ගෙන ඇතැයි සිතිය හැකිය. ඉන් පැහැදිලි වන්නේ රාජකාරි කටයුතුවලට වාහන හිගයක් පැවතිය නොහැකි බව ය. තීරු බදු සහන යටතේ වාහන ඉල්ලා සිටින්නේ ආණ්ඩුවේ වැඩ කටයුතුවලට නොවන බව තවත් පැහැදිලි කළ යුතු නැත.
මෙවැනි පාලකයන්ගේ අදූරදර්ශී අමනෝඥ වැඩ නිසා රටම බංකොලොත්වී ආහාර ඖෂධ සහ ඉන්ධන වැනි අත්‍යවශ්‍ය දේ ආනයනය සඳහා විදේශ මුදල් නැති අවස්ථාවක ඒ ගැන කිඹුල් කඳුළු සලමින් මොවුන් තමන්ගේ ම අර්ථ සිද්ධිය සඳහාම කැපවීම ජනතාවට තවදුරටත් රහසක් නොවේ. පාර්ලිමේන්තුවේ 225 ම එපායැයි හඬ නගන්නේ එම නිසා ය. මෙම ව්‍යවස්ථා සම්පාදකයන්ට රටේ ආර්ථිකය වැදගත් වන්නේ වේදිකාවකට නැග ගත් පසුය. ප්‍රතිපත්ති තීරණයේ දී වැදගත් වන්නේ තම පසුම්බිය හෝ ඔවුන් ගේ බැංකු ගිනුම ය.
මේ ගැන හොඳම උදාහරණයක් වන්නේ පරිසර හිතකාමීව විදුලි බලය නිපදවීම ජාතික අවශ්‍යතාවයක්ව පැවතිය දී ඉන්දියාවේ අගමැති මෝදි ගේ හිතවක් ආයෝජකයෙකු වශයෙන් හැඳින්වෙන ගෞතම් අදානි සමග විදුලි බල මණ්ඩලය ඇති කර ගත් ගිවිසුමය. පාරිසරික බලපෑම් වාර්තා නොසලකා ඇති කර ගත් මෙම ගිවිසුම අනුව අදානි ගේ සමාගමක් මන්නාරම ප්‍රදේශයේ පිහිටුවන සූර්ය බලශක්ති ව්‍යාපෘතියෙන් මෙගාවොට් 250ක් නිෂ්පාදය කරනු ඇත. එහි නිපද වන විදුලි බලය මිලදී ගන්නේ ලංකා විදුලි බල මණ්ඩලයයි. ඒ ඒකකයක් ඇමරිකානු ඩොලර් ශත 8.26 කටය. ඒ සඳහා ඇති කර ගත් ගිවිසුම වසර 25ක් වලංගුය.
මෙහිදී පැන නගින ප්‍රශ්න දෙකක් ඇත. පළමු වැන්න සූර්ය බලශක්තිය නිපදවීම සඳහා විදේශ විනිමය ප්‍රධාන වශයෙන් වැය වන්නේ එම පැනල් සහ අනෙකුත් උපංග ආනයනය සඳහාය. නිෂ්පාදන ක්‍රියාවලියට විදේශ මුදල් වැය වන්නේ නැත. සම්පූර්ණ ආයෝජනයටම වසර ගණනාවක බදු සහන ද ලබා දී ඇත. එසේ නම් නිපදවන විදුලි බල ශක්තිය ඩොලර්වලින් මිලදී ගන්නේ ඇයි? එසේ ගෙවන ඩොලර් සඳහා වැය වන්නේ භාණ්ඩාගාරය සතු විදේශ විනිමය නොවේ ද? එවැනි තත්වයක් යටතේ සැබැවින්ම සිදු වන්නේ විදුලි බලය මිලදී ගැනීමට විදේශ විනිමය වැය කිරීමකි.
එය කාසියේ එක පැත්තකි. අනෙක් පැත්ත වන්නේ මෙ මුදල අදානි සමාගම ඉන්දියවේ දී විදුලි ඒකකයක් සඳහා අය කරන මුදල මෙන් සියයට 250 කින් වැඩිය. (2024 Colombo Telegraph May 12 ) ගණන් බලා ඇති ආකාරයට වසරකට ඇමරිකානු ඩොලර් දශ ලක්ෂ 36.6 කි. එය ශුද්ධ වශයෙන්ම රටින් පිටතට ගලා යන ධනයකි. වත්මන් පාලකයන් සඳහන් කරන ආකාරයට රට ‘සංවර්ධනය’ වීමකි.
ජනතා නියෝජිතයන්යැයි හැඳින්වෙන රටේ පාලකයන් ව්‍යවස්ථා සම්පාදනය සහ විධායක ක්‍රියාවලිය ඔවුන්ගේ ඕනෑ එපාකම් අනුව හසුරුවා ගන්නා අතර ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රටේ ආර්ථිකයේ මර්මස්ථාන පාලනය කරන මහ බැංකුව සහ රටේ දේශපාලනය ද, අවසානයේ දී ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලට අවශ්‍ය වන ආකාරයට හැසිරවීමට උත්සාහ කරති.
මහ බැංකුවේ අධිපති පසුගිය දා ප්‍රකාශයක් කරමින් මැතිවරණ පැවැත්වීම නිසා අන්තර්ජාතික මූල්‍ය අරමුදල යෝජනා කර ඇති ආර්ථික ප්‍රතිසංස්කරණවලට බාධක ඇතිවිය හැකියැයි ද එම නිසා ආර්ථිකය නැවතත් බංකොලොත් වනු ඇතැයි ද අනතුරු හැඟවූයේය. මේ රටේ දැනටත් බලපැවැත්වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව දැනට ජනාධිපති ධුරය දරන තැනැත්තාගේ ධුර කාලය අවසන් විමට මාසයකට නොඅඩු සහ මාස දෙකකට නොවැඩි කාලයක් ඇතුළත එම තනතුර සඳහා නැවත ඡන්ද විමසීමක් පැවැත් විය යුතුය. ඒ අනුව දැනට ධුරය දරන අනුප්‍රාප්තික ජනාධිපතිගේ නිල කාලය නොවැම්බර් මාසයෙන් අවසන් වේ. ඉන් අදහස් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් නොකරන්නේ නම් අනිවාර්යෙන්ම ජනාධිපතිවරණයක් පැවැත් විය යුතුය යන්නයි. එය ලංකාවේ පුරවැසියෙකු වන මහ බැංකු අධිපති ද දන්නවා ඇත.
ඔහු ආර්ථික සංවර්ධනයට බාධාවක් වන නිසා ඡන්ද නොපැවැත්විය යුතු බව ප්‍රසිද්ධියේම පවසන්නේ කෙසේද? අනිත් අතට ඉන් ඔහු අදහස් කරන්නේ වත්මන් පාලනය ආර්ථික ‘සංවර්ධනය’ අත්පත් කර ගන්නා තෙක් ඡන්ද විමසීම කල් දැමිිය යුතු බව නොවේ ද? වෙනත් ආකාරයට අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියන දේ පුනරුච්චාරණයකි. රනිල් දැන් සැලසුම් කරන්නේ ලංකාව 2048 දී සංවර්ධනය වූ රටක් බවට පත් වන තෙක් රටේ පාලනයේ වෙනසක් නොවිය යුතුය යන්නයි. ස්වාධීන වූ මහ බැංකුවේ අධිපති සහ අනුප්‍රාප්තික ජනාධිපති දරන්නේ එකම මතයකි.
වඩාත් ගැඹුරට විමසා බැලීමේ දී මේ දෙදෙනාම කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ එය මෙහෙයවන එක්සත් ජනපදය නිර්දේශ කරන අදහස බව පැහැදිලි ය. පසුගිය සතියේ යුක්රේනයට ගිය එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මෙම වසරේ මාර්තු මස යුක්රේනයේ පැවැත්වීමට නියමිතව තිබු ජනාධිපතිවරණය කල් දැමීමේ අදහස අනුමත කෙළේය. ඔහු සඳහන් කළ ආකාරයට යුද්ධය නිම වී ජනතාව එකඟ වියහැකි දිනයක් එළඹෙන තෙක් ජනාධිපතිවරණය කල් දැමිම සුදුසු ය. පසුගිය සතියේ ම ලංකාවට පැමිණි එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ ද එවැනිම උපදෙසක් අනුප්‍රාප්තික ජනාධිපතිට සහ මහ බැංකු අධිපතිට ලබා දුන්නේදැයි අපි නොදනිමු. ලංකාවේ යුද්ධයක් නැති වුවද ආර්ථිකය කඩා වැටීම යුද තත්වයකට නොදෙවෙනි නිසා එවැනි උපදෙස් ලබා දීම ගැන පුදුම විය යුතු නැත.
පාර්ලිමේන්තු මංත්‍රීන්ට වාහන ආනයනයට බලපත්‍ර ලබා දීමට ඇති සූදානමත් ඇමරිකානු මුදල් වෙළඳ පොළේ ගනුදෙනුකරුවෙකු වන අදානිට විදුලි බල නිෂ්පාදයට බලපත්‍ර ලබා දීමත් මහ බැංකුවේ අධිපති ගේ ප්‍රකාශයත් තේරුම් ගැනීමට කෘත්‍රීම බුද්ධිය වන ඒ අයි දැනුමක් අවශ්‍ය නොවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට අවශ්‍ය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක සහාය ලබා ගැනීමේ පහසු ක්‍රම අදානි ගේ සහාය ඇතිව මහ බැංකුවේ අධිපතිට නිර්මාණය කිරීමට හැකි වනු ඇත. එවැනි පියවරකට අන්තර් ජාතික මූල්‍ය සංවිධානවල සහාය සහ ආශීර්වාදය ද ලැබෙනු ඇත.
මෙවැනි පරිසරයක් තුළ මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපතිවරණයට කල් නියම කිරීම සහ එය පැවැත්වීම සහතික කිරීමට ඉදිරිපත්වීම එළඹෙන අනතුරක සේයාවක් විය හැකිය.
- හසරක් නැතිව වෙනසක් සොයා යන ගමනක්.. - January 8, 2025
- හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ.. - December 30, 2024
- හසරක් නැතිව අඳුරේ අත පත ගාන ජාතික ජන බලවේගය.. - December 18, 2024