You are currently viewing නීතිය නමට පමණක් නිසා උන්හිටිතැන් අහිමිවෙන්න යන බතලගොඩ වත්තේ මලෛයහ ප්‍රජාව..

නීතිය නමට පමණක් නිසා උන්හිටිතැන් අහිමිවෙන්න යන බතලගොඩ වත්තේ මලෛයහ ප්‍රජාව..

මලෛයහ ප්‍රජාව මුහුණ දෙන ප්‍රශ්න ගැන ජූලි 28 වැනිදා සිට අගෝස්තු 14 වැනිදා දක්වා සමාජයේ ලොකු කතා බහක් ඇති වූයේ තලෛමන්නාරමේ සිට මාතලේ දක්වා පැමිණි පාගමන නිසාය. ඒ පාගමනේ උණුසුම නැතිවෙන්නටත් පෙරම මලෛයහ ප්‍රජාවගෙන් කොටසක් මුහුණ දෙන ගැටලුවක් ගැන අසන්නට ලැබිණි. මේ ලිපිය ඒ ගැනයි.

මලෛයහ ප්‍රජාව

කෝපි කෙටීම – ඡයාරෑප lankapura.com

ශ්‍රී ලංකාවට මීට වසර 200කට පමණ පෙර මලෛයහ ප්‍රජාවගේ පළමු කණ්ඩායම තලෛමන්නාරමේ සිට මාතලේට වන දුර්ග, ජල දුර්ග, ගිරි දුර්ග මැදින් ආ භයානයක ගමනෙන් පසු තවත් විශාල පිරිසක් වරින් වර ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබූහ. සමාජ ක්‍රියාකාරිකයකු මෙන්ම මේ පිළිබඳ වරින් වර සොයා බැලූ පුද්ගලයකු ද වන එස් බාලක්‍රිෂ්නන් මහතා ප්‍රකාශ කළේ මුලින්ම මලෛයහ ප්‍රජාව ශ්‍රී ලංකාවට ගෙන ආවේ පාරවල වැඩට සහ කෝපි වගාව සඳහා බවයි. දිලීර රෝගයකින් කෝපි වගාව විනාස වෙත්ම තෙල් වර්ගයක් ලබා ගත හැකි ශාඛයක් වගා කළ බවත්, ඒ සඳහා ද මලෛයහ ප්‍රජාව යොදා ගත් බවත්, ඉන් ප්‍රමාණවත් ලාභයක් නොලද තැන තේ වගාව ආරම්භ කිරීමෙන් පසු මලෛයහ ප්‍රජාව විශාල වශයෙන් මෙරටට ගෙන්වූ බවත් බාලක්‍රිෂ්නන් මහතා පැවසීය. දකුණු ඉන්දියාවේ සිට මුලින් රැගෙන ආ පිරිසෙන් කොටසක් නැවත ඉන්දියාවට යැවූ බවත්, කෝපි කර්මාන්තයේදී තේ කර්මාන්තයට මෙන් විශාල පිරිසක් අවශ්‍ය නොවූ බවත්, වසරේ සෑම කාලයකම කෝපි නැති නිසා කම්කරුවන්ගේ අවශ්‍යතාව තිබුණේ වැඩිපුරම එක් කාලයකට පමණක් බවත් ඒ මහතා සඳහන් කළේය.

කුරුණෑගල තත්ත්වය

කෝපි සහ තේ වගාවෙන් එහා ගොස් රබර් වැනි වගාවන් සඳහා ද මලෛයහ  ප්‍රජාව යොදා ගැණිනි.  එලෙස මෛලයහ ප්‍රජාව යොදා ගැනුණේ මධ්‍යම කඳුකරය ආශ්‍රිත ප්‍රදේශවල පමණක් නොවේ.   කුරුණෑගල ඇතුළු තවත් දිස්ත්‍රික්කවල වැවිලි කර්මාන්තය සඳහා ඔවුන්ගේ ශ්‍රමය යොදා ගැණිනි.  ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්මේන්තුවේ 2012 සංගණන වාර්තාවලට අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජීවත් වන මලෛයහ ජාතිකයන් ගණන 2594 දෙනෙකි.  එම පිරිසෙන් නාගරිකව ජීවත් වන ගණන 147 දෙනකු වන අතර ග්‍රාමීය ගණන 1274කි. වතු  ආශ්‍රිතව ජීවත්වන මෛලයහ ප්‍රජාවගේ ගණන 1173කි. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සංගණන වාර්තා ඇත්තේ 2012 වසරට අදාලව පමණි. ඉන් පසුව ජන හා නිවාස සංගණනයක් කර නැත.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇති බතලගොඩ ග්‍රාමය ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ බතලගොඩ වැව නිසාය. අලංකාර පරිසරයකින් සමන්විත බතලගොඩ ප්‍රදේශයේ එම අලංකාරයෙන් සැඟවී ගිය කටුක දිවියක් ගත කරන පිරිසක් ද වෙති. ඔවුනු බතලගොඩ රබර් වතුයායේ ලයිමක වසර ගණනාවක් තිස්සේ ජීවත්වන්නෝ වෙති.

ඉන්දියාවෙන් බතලගොඩවත්තට

කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ඉබ්බාගමුව හෙළබොජුන් අවන්හල අසලින් රණවිරුගම මාර්ගය ඔස්සේ කිලෝමීටර දෙක හමාරක් පමණ ගිය විට බතලගොඩ රබර් වතුයාය හමුවෙයි. මෙය අයත්වන්නේ ඉබ්බාගමුව ප්‍රදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ අංක 525 හේනෙගෙදර  ග්‍රාමනිලධාරී වසමටය. එම ග්‍රාමනිලධාරී වසම ගම්මාන තුනකින් සමන්විතය. ඒ හේනේගෙදර, සිංහල දේතිලිඅංග සහ බතලගොඩ වත්ත යන ගම්මානය.

ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නිකුත් කළ 2018 සම්පත් පැතිකඩ ප්‍රකාශයනයට අනුව හේනේගෙදර ග්‍රාම සේවා වසමේ මුළු පදිංචිකරුවන් ගණන 1808කි. ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේම සිටින ජනගහනය ජාතීන් අතර වෙන් කර දක්වන කොටසේ දමිළ ජාතිකයන් ලෙස සඳහන් කර තිබුණද ඉන්දියානු දෙමළ හෝ වෙනත් ආකාරයකට හෝ මලෛයහ ප්‍රජාව වෙන් කර නැති නිසා මලෛයහ ජාතිකයන් කොපමණක් සිටින්නේදැයි සොයා ගැනීමට නොහැකි විය. කෙසේ වෙතත් ප්‍රදේශයේ නිවාස හිමිකමක් නැතිව ජීවිකාව ගත කරන පවුල් ගණන 1385ක් බව සඳහන් වන අතර බතලගොඩ වත්තේ පදිංචි පවුල් අයත් වන්නේ ද මෙම සංඛ්‍යාවට බව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ප්‍රකාශකයෙක් සඳහන් කළේය. බතලගොඩ වත්තේ පදිංචි පවුල් ගණන 41ක් බව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහන් කරයි.

වසර 200කට පෙර සිට ශ්‍රී ලංකාවට පැමිණි මලෛයහ ප්‍රජාවගෙන් කොටසක් බතලගොඩ වත්තේ වැඩ සඳහා යොදාගෙන ඇති අතර එයින් පවුල් 41ක් තවමත් බතලගොඩ වත්තේ  ජීවත් වෙති. තේ වතුවල මෙන්ම මෙම රබර් වත්තේ ද සාමාන්‍ය ව්‍යවහාරයෙන් ලැයිම ලෙස හඳුන් වන එක පෙළට ඇති කුඩා කාමර කිහිපයක් වත්තේ වැඩ කරන ප්‍රජාව වෙනුවෙන් වසර ගණනාවකට පෙර සකස් කර ඇති අතර දැනට සිටින පවුල්වල උදවිය ජීවත් වන්නේ එම නිවාසවලය. මෙම වතු නිවාස එසේ නැතිනම් ලැයිම් සමහරක් ඉතා අබලන් තත්ත්වයේ තිබෙන අතර සමහර තැන්වල වහල කඩා වැටී ජීවත්වීමට නොහැකි තත්ත්වයක් ඇති බව දැකගත හැකි විය.

වත්තෙන් එළියට

කාලයක් තිස්සේ මුහුණ දෙමින් තිබෙන ගැටලුව අලුත් මුහුණවරකින් පටං ගන්නේ පසුගිය සෙනසුරාදා වත්තේ හිමිකරුවන්යැයි කියමින් පැමිණි පිරිසක් විසින් කළ දැනුම්දීමක් සමගිනි. වත්තේ ජීවත් වෙන පිරිසට ඉඩම් හෝ නිවාස හිමිකමක් නොමැති අතර වරින් වර පොරොන්දු වලට පමණක් ඉඩම් හිමිකම සීමා විය. ඒ හේතුවෙන් වත්තේ අත්හැර දැමූ කොටසක් නිවාස ඉදි කිරීම සහ වගා කටයුතු සඳහා මෙම පිරිස වෙන් කර ගත් අතර පසුගිය සෙනසුරාදා වත්තට පැමිණි පිරිසක් දින තුනක් ඇතුළත එම මායිම් ඉවත් කරන ලෙසත්, ඉවත් නොකළහොත් ඔවුන් රස්සාවලින්ද ඉවත් කර වත්තෙන් එලියට දමන බවටත් තර්ජනය කළ බව එහි පදිංචිකරුවෝ කියති. මෙලෙස පවුල් 41ක් පාරට ඇද දමන්නට යන්නේ පරම්පරා කිහිපයක් ජීවත්වූ, තම දහඩිය කඳුළු වැගිරූ වත්තෙනි.

85 තාත්තාගේ දෙමාපියොත් වත්තේ

ආර් රාමුගම්

1938 වසරේ මැයි මස 22 වැනිදා උපත ලද ආර් රාමුගම් මේ වන විට ජීවිතයේ සැඳෑ සමය ගතකරමින් සිටියද නිවාස ඉඩම් අහිමි තම දරු මුනුබුරන් ගැන සිතමින්  ඔහු නිතරම ජීවත් වෙන්නේ ඇඬූ කඳුලිනි.

‘..මගේ වයස අවුරුදු 85ක්. මම ඉපදුණේ මේ වත්තෙම තමයි. ඉස්කෝලේ ගියේ දෙක වසරට විතරයි. වයස අවුරුදු 10දි විතර වත්තේ රස්සාව කරන්න පටං ගත්තා. මට දරුවෝ හතර දෙනෙක් ඉන්නවා. මට වයස අවුරුදු 65 වෙනකං මම කිරිකැපුවා. 83 කළු ජූලිය කාලේ වත්තෙන් ගිහින් කැලේ හැංගිලත් හිටියා. අවුරුදු ගණනක ඉඳන් අපට ඉඩම් දෙන්නම් දෙන්නම් කිය කිය හිටියට තවම ඉඩම් දුන්නේ නෑ. අපේ ගෙදර පස් දෙනෙක් ඉන්නවා අඩි 12 දිග 12ක් පළල කාමරයක. දැන් අපට වත්තෙන් යන්න කියලා තර්ජනය කරනවා. අපි කොහේ කියලා යන්නද? මගේ දරු මුණුබුරන්ට යන්න එන්න තැනක් නැතිව යනවා.මගේ දෙමාපියොත් හිටියේ ඉපදුනේ රස්සා කළේ මේ වත්තේ..’

යැයි රාමුගම් හඬමින් ප්‍රකාශ කළේය.

73 හැවිරිදි ඒ කන්දයියා වයස අවුරුදු 12දී රබර් වත්තේ රස්සාව ආරම්භ කර ඇත්තේ දිනකට රුපියල් 1.50ක වැටුපකටය.

කන්දයියා

..මම ඉස්කෝලේ ගියේ නෑ. අවුරුදු 12දි රබර් වත්තේ රස්සාව කරන්න ගත්තා. අම්මයි තාත්තයි දෙන්නම වත්තේ වැඩ කළේ. තවමත් උදේ ඉඳන් දවල් වෙනකං වත්තේ වැඩ කරනවා. දැන් දවසකට රුපියල් 1000ක් දෙනවා. ඒක ලැබුණෙත් කුරුණෑගල කම්කරු එකෙන් මැදිහත්වුණාට පස්සේ..’

කන්දයියා කීවේය.  වසර 73ක් තිස්සේ වත්තේ ජීවත් වුවද තවමත් තමන්ටම කියා ඉඩමක් නිවසක් නැති බව ඔහු සඳහන් කළේය.

වත්තෙ ප්‍රශ්න එළියටත් දැනෙයි

ඉඩම් හිමිකමක් පමණක් නොව මූලික අවශ්‍යතා පවා සපුරා ගැනීමට නොහැකි වීම නිසා දුක් විඳින්නේ මේ වත්තේ ඉපැදී හැදී වැඩුණු අය පමණක්ම නොවේ. එම් ගුණසෙල්මි බතලගොඩ වත්තට පැමිණෙන්නේ මීට වසර 07කට පෙරය. ඒ බතලගොඩ වත්තේ පදිංචි පාක්‍යනාදන් සමග අතිනත ගැනීමෙන් පසුවය. ගුණසෙල්මි දැන් 35 වැනි වියේ පසුවන අතර පාක්‍යනාදන් 37 වැනි වියේ පසුවෙයි. ඔවුන් දෙදෙනා දරුවන් දෙදෙනකුගේ දෙමාපියෝ වෙති.

‘..අපට දරුවො දෙන්නෙක් ඉන්නවා. පොඩි එක්කෙනාට දැන් අවුරුදු එක හමාරයි. මහත්තයාගේ වත්තේ වැඩවල ආදායමෙන් විතරක් ජීවත් වෙන්න අමාරුයි. දරුවන්ගේ වැඩකටයුතුවලට, දරුවන්ට ඕන දේවල් අරං දෙන්න ලොකු මුදලක් වැය වෙනවා. ඒ නිසා මමත් ගාර්මන්ට් එකක රස්සාවට යනවා. අපිට දරුවො එක්ක මෙහේ ජීවත් වෙන්න පහසුකම් ගොඩක් අඩුයි. අමාරුවෙන් ජීවත් වෙන්නේ. බබාට ත්‍රිපෝෂ හම්බුණෙත් එක පාරක් විතරයි. විෂබීජත් තියනවා. වත්තේ සත්තු ඉන්නවා. වත්තෙ වැඩ කරද්දි සතෙක් වගේ කෑවොත් රෝහලට යන්න වෙනවා. දවසක් දෙකක් පඩිය දීලා නවතිනවා. වෙන කිසිම සහනයක් දෙන්නේ නෑ..’

ඇය කීවාය.

ඇගේ සැමියා ඉන් අනතුරුව කතාව ආරම්භ කළේය.

පාක්‍යනාදන්

..මම මේ වත්තේ. තාත්තා පොඩි කාලේ නැතිවෙලා. අම්මා බොහොම අමාරුවෙන් මාව හදාගත්තා. ඒ නිසා පොඩිකාලෙම මමත් වැඩ පටං ගත්තා. දවසට දැන් රුපියල් 1000ක් හම්බෙනවා. 1000ක් ලැබෙනවා කිව්වම ගොඩක් අය හිතනවා ලොකු ගණනක් කියලා. හැබැයි එහෙම නෑ. හැමදාම වත්තේ වැඩ නෑ. වැස්සොත් කිරිනැති නිසා අපිට වැඩ නෑ. ගිය මාසේ මගේ පඩිය තිබ්බේ 12,000යි. ඒකෙන් ජීවත් වෙන්න අමාරු හින්දා බිරිඳත් ළමයි දෙන්නා දාලා රස්සාවකට යනවා..’

යැයි පාක්‍යනාදන් කීවේය.

බතලගොඩවත්තේ තත්ත්වය එසේ වුවද 1912 අංක 09 දරණ වෛද්‍ය අවශ්‍යතා ආඥා පනතේ අංක 12 වගන්තිය අනුව සනීපාරක්ෂක ලෙස වතු නිවාස පවත්වාගෙන යෑමත්, වෛද්‍ය අවශ්‍යතා සැපයීමත්, අවුරුදු එකට අඩු දරුවන්ට සුදුසුකම් ඇති වෛද්‍යවරයකුගේ නිර්දේශ මත කිරි ආදිය සැපයීමත්, වත්තේ පදිංචිව සිටින වයස අවුරුදු එකට අඩු සියලුම දරුවන්ට නිසි රැකවරණය සහ පෝෂණය ලැබෙන බව සහතික කිරීම ඇතුළු වගකීම් රැසක් වතු අධිකාරීවරයාට පැවරී ඇත. එම වගකීම පැහැර හැරීම වරදක් බව එම ආඥාපනතේ සඳහන් වේ. එසේම අසනීප ගැන සොයා බැලීම සහ අවශ්‍ය පරිදි රෝහල් ගත කිරීම ද ඔහුට පැවරී ඇති වගකීමකි. නමුත් එම නීති ඇත්තේ නමට පමණි.

අතරමඟ නතරවෙන ඉගෙනීම

මේ ගමේ පොදු ලක්ෂණයක් වූයේ තිබෙන අඟහිඟකම් ඇතුළු ප්‍රශ්න හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපනය අතරමග නතරවීමයි. මෙතරම් කාලයකට මෙම වත්තෙන් උසස් පෙළ විභාගයට වාඩිවූ ළමයින් සිටින්නේ එක් අයකු පමණක් බව ඔවුහු කීහ. ඇය එස් ස්නේහා ය. ස්නේහා 19 වැනි වියේ පසුවන අතර ඇය මෙම වසරේ උසස්පෙළ විභාගයට මුහුණ දී ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින්නීය.

..මගේ අම්මා විතරයි ඉන්නේ. අම්මා උදේ පාන්දර පහට වත්තේ රස්සාවට යනවා. දවල් ඇවිත් පැයක් එක හමාරක් නිදාගෙන හවස එළියේ රස්සාවකට යනවා. ඒකෙ වැඩ පාන්දර ඉවර වෙලා ගෙදර ආපු ගමන් ආයේ වත්තට යනවා. ඉගෙන ගන්න ලොකු වියදමක් යන නිසා ගොඩක් අය ඉගෙන ගන්නේ නෑ. මට ලොකු ආසාවක් තිබ්බා ඉගෙන ගන්න. ඒ නිසා අම්මා මහන්සි වෙලා සල්ලි හෙව්වා. මම උසස් පෙළ ලිව්වේ දේශපාලන විද්‍යාවයි, භූගෝලයයි, දෙමළ භාෂාවයි. හොඳ ප්‍රතිඵලයක් එයි කියලා බලාපොරොත්තු වෙනවා. මට ඉංග්‍රීසි කතා කරන්න ආසයි. ඒ නිසා ඉංග්‍රීසි ඩිප්ලෝමා එකක් කළා කුරුණෑගලින්..’

යැයි ස්නේහා ප්‍රකාශ කළාය.

ස්නේහාගේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ මෙම වතුහිමියන් විසින් ලංකාවේ නීතිය කඩ කර ඇති බවයි. එනම් 1927 අංක 27 දරණ අවම වැටුප් (ඉන්දියානු කම්කරු) ආඥාපනතේ 11 වැනි වගන්තිය අනුව වැන්දඹු කාන්තාවන්ට සහ ඔවුන්ගේ වයස අවුරුදු 14ට අඩු දරුවන්ට සෑම මසකම නොමිලයේ සහල් ප්‍රමාණයක් ලබා දිය යුතුය. මෙම වයස 2021 වසරේ දී අවුරුදු 16 දක්වා වැඩි කර තිබේ. නමුත් එය පොතට සීමා වී තිබුණද ප්‍රායෝගිකව ක්‍රියාත්මක වී නැත. ස්නේහාගේ පවුලට එවැනි සහල් සහනාධාරයක් ලැබී නැත.

සාමාන්‍ය පෙළ විභාගය ලියා ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින මෙම වත්තේ ජීවත් වන වයස අවුරුදු 16ක් වූ තරුණයෙක් ප්‍රකාශ කළේ ලැයිමේ එකළඟ නිවාස තිබෙන නිසා එක් නිවසක කතා කරන ශබ්දය දෙපැත්තේ නිවාසවලට ඇසෙන බැවින් පාඩම් කිරීමට පවා අපහසු බවයි. තමන් බොහෝවිට පාඩම් වැඩ කළේ රාත්‍රියට පොඩි ළමයින් නිදා ගත් පසු බවත්, තමන්ගේ ලැයිමට වැසිකිළි පහසුමක් පවා හරිහැටි නොමැති බවත් ඔහු කීවේය.

1927 අංක 27 දරණ අවම වැටුප් (ඉන්දියානු කම්කරු) ආඥාපනතේ හතර වැනි වගන්තියේ සඳහන්ව ඇත්තේ වයස අවුරුදු 14ට අඩු ළමයකු දැන දැනම වත්තේ වැඩට යොදා නොගත යුතු බවයි. මෙම පනත 2021දී සංශෝධනය කරමින් එම වයස අවුරුදු 16 දක්වා වැඩි කළේය. අඟහිඟකම් සහ දෙමාපියන්ට ලැබෙන අඩු වැටුප් නිසාම දරුවන් ද අධ්‍යාපනය අතරමඟ නවතා වත්තේ හෝ වත්තෙන් පිට රස්සාවක් කිරීමට පෙළෙඹීම බතලගොඩ වත්ත හොඳම උදාහරණයකි. බතලගොඩ වත්තේ බොහෝ දෙනෙක් වත්තේ රස්සාවට සම්බන්ධ වී ඇත්තේ වයස අවුරුදු 14ට ඉක්මවීමට පෙරය. නමුත් වතුහිමියන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී නැත.

වැසිකිළිත් අබලං ; වතුරත් නෑ

පවුල් 41ක් සඳහා තිබෙන්නේ අබලන්වූ වැසිකිළි 8කට ආසන්න සංඛ්‍යාවකි. ළිඳ ඇත්තේ වැසිකිළි තිබෙන තැන සිට මීටර 150කටත් වැඩි දුරකිනි. රාත්‍රියට වැසිකිළි යද්දී තමන් දැඩි අපහසුතාවන්ට මුහුණ දෙන බව ප්‍රදේශවාසීහු කියති. වත්තේ ජීවත්වන තරුණයෙක් ප්‍රකාශ කළේ වැසිකිළි කෙතරම් අබලන්දැයි කියතොත් වැසි දිනවල වැසිකිළි යා යුත්තේ කුඩයක්ද ඉහළගෙන බවයි.

මෙම රබර් වත්තේ කොටසක් මේ වන විට අත්හැර දමා එහි විශාල ගස් පවා හැදී ඇති අයුරු නිරීක්ෂණය වූ අතර ඉන් කොටසක් තමන්ගේ පරිහණය සඳහා වෙන් කර ගැනීම නිසා වත්තේ අයිතිකරුවන් නඩුවක් පවා පවරා ඇතැයි ඔවුහු පැවසූහ. කෙසේ වෙතත් මෙම ලිපියට අදාලව වතුහිමියන්ගේ පැත්තේ කතාව දැන ගැනීමට සහ ඔවුන්ගේ පාර්ශ්වයෙන් කරුණු විමසීමට අවශ්‍ය අංකයක් සොයා ගැනීමට නොහැකි විය. සම්පූර්ණ වත්ත 10 දෙනකුට අයිති බවත් ඔවුන්ගේ අංක තමන් සතුව නොමැති බවත් වත්තේ සිටින පිරිස් පැවසූහ.

ඉඩම් නිවාස පමණක් නොව මූලික අවශ්‍යතාවත් සපුරා ගැනීමට අපහසු තත්ත්වයක ජීවත්වන බතලගොඩවත්තේ මලෛයහ ප්‍රජාවටම කියා ලියාපදිංචි කර දී ඇත්තේ වත්තේ ඇති කෝවිල පමණි. මෙම වත්ත ගැන තවමත් බලධාරීන්ගේ අවධානය යොමු වී නැත. හෙට අනිද්දා වත්තෙන් එළියට ඇද දැමුවහොත් පවුල් පිටින් යන එනමං නැතිව අසරණ වෙතියි බියෙන් මේ දිනවල වත්තේ පදිංචිකරුවෝ පසුවෙති.

මේ ගැන කළ විමසීමේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහන් කළේ මෙය පෞද්ලික වත්තක් නිසා තමන්ට මැදිහත්වීමට ඇති පරාසය සීමිත බවයි. සමෘද්ධිය ඇතුළු කාරණා සම්බන්ධයෙන් ග්‍රාමනිලධාරී මැදිහත්වන බව ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහන් කළේය.

කම්කරු දෙපාර්තමේන්තුවේ වගකීම

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට සංක්‍රමණය වූ (වැවිලි කර්මාන්තය සඳහා ගෙන ආ) කම්කරුවන් ගැන සොයා බැලීම සඳහාත්, ඔවුන්ගේ සුබසාදනය ගැන සොයා බැලීම සඳහාත් 1923 දී ශ්‍රී ලංකාවේ අලුත් නීතියක් හඳුන්වා දුන්නේය. ඒ 1923 අංක 01 දරණ ඉන්දියානු සංක්‍රමණික කම්කරු ආඥාපනතයි. එමගින් ඉන්දියානු සංක්‍රමණික කම්කරු දෙපාර්තමේන්තුව  නමින් ආයතනයක් පිහිටුවීය. ඉන් පසු ඉන්දියානු සංක්‍රමණික කම්කරුවන්ගේ මෙන්ම දේශීය කම්කරුවන්ගේ ද සුබසාදනය ගැන සොයා බැලීම සඳහා වරින්වර මෙම ආඳාපනත සංශෝධනය වූ අතර 2000 වසරේදී කළ සංශෝධනය ද සමග අවසානයේ එය වර්තමානයේ ඇති කම්කරු කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව දක්වා වර්ධනය විය.

ආයතනය සහ විෂය පතය වර්ධනය වුවද විෂයපතය පුළුල්වෙද්දී ඉන්දියාවෙන් පැමිණි දස දහස් ගණනක් වූ කම්කරුවන්ගේ එසේත් නැතිනම් මලෛයහ ප්‍රජාවගේ සුබසාධනය කම්කරු කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් ගිලිහී ගිය බවක් පෙනෙන්නට තිබේ. එනම් ප්‍රායෝගික තත්ත්වය බැලූ විට පෙනෙනුයේ මුලින්ම පනත ගෙන ඒමේ අරමුණෙන් දැන් කම්කරු දෙපාර්තමේන්තුව බැහැරව ගොස් ඇති බවයි.

ඉන්දියාවේ සිට මෙරට වැවිලි කර්මාන්ත සඳහා ගෙන ආ කම්කරුවන්ට ලබා දෙන අවම වැටුප තීරණය කිරීම සඳහා 1927 දී 1927 අංක 27 දරණ අවම වැටුප් (ඉන්දියානු කම්කරු) ආඥාපනත හඳුන්වා දුන්නේය.  එම ආඥා පනතේ තුන්වැනි වගන්තිය අනුව වත්තක වැඩ කරන පුද්ගලයකුට දිනකට පැය නමයකට වඩා වැඩ කරන්නේ නම් අතිකාල දීමනාවක් පවා ගෙවිය යුතුය. පනතේ පස්වැනි වගන්තිය අනුව අමාත්‍යවරයාට ගැසට් පත්‍රයක් මගින් ඕනෑම පරිපාලන දිස්ත්‍රික්කයක් සඳහා පස් දෙනකුගෙන් සමන්විත වතු වැටුප් මණ්ඩලයක් පත් කළ හැකිය. මණ්ඩලයේ දෙදෙනකු සේවායෝජකයන් විය යුතු අතර තවත් දෙදෙනකු කම්කරුවන් නියෝජනය කරන දෙදෙනකු විය යුතුය. අවශ්‍ය නම් පරිපාලන දිස්ත්‍රික්ක කියිපයක් සඳහා එක් වතු වැටුප් මණ්ඩලයක් පිහිටුවීමට අමාත්‍යවරයාට හැකියාව තිබේ. එම මණ්ඩලයට අවම වැටුප්තල තීරණය කළ හැකි අතර එය ඉන්දියානු සංකමණික කම්කරු මණ්ඩලයට යොමු කිරීමෙන් පසු අනුමත කර ගැසට් කළ හැකිය.

එසේම 1971 අංක 2 දරණ වතු නිවාස විශේෂ විධිවිධාන පනත අනුව වතු හිමියන්ට හිතුමතේ එයි වාසය කරන පිරිස් ඉවත් කිරීමට හැකියාවක් නැත.

බතලගොඩවත්තේ ප්‍රජාවගේ ආරක්ෂාවට ඇති තරම් නීති තිබුණ ද ඒවා පොතට පමණක් සීමා වීම නිසා ඔවුහු දුක් විඳිති. නීතිය ක්‍රියාත්මක කරන ආයතන තවමත් මුණිවත රැකීමෙන් පෙනෙන්නේ නොහැකියාවද? අත්හැර දැමීමද?

තරිඳු ජයවර්ධන.

[පසුබිම් වාර්තා: තරුෂි දිෂාරා, චානක කරුණාරත්න, අනූ පියසේන]

Medialk.com වෙතින් උපුටා ගන්නා ලදී.

Leave a Reply