රසායනික පොහොර භාවිතය නතර කිරීමෙන් වස විස නැති ආහාර සුලබ කොට කාබනික පොහොර භාවිතා කරන ලොව ප්‍රථම රට බවට පත්වීමට අමතරව සෞඛ්‍යමත් ජාතියක් ගොඩ නැගීමට හැකි වනු ඇතැයි සෞභාගයයේ දැක්ම පෙරටු කර ගත් ආණ්ඩුවේ ප්‍රධාන තර්කය වී ඇත. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති, තහවුරු කර ඇති විද්‍යාත්මක සාක්ෂි ඉවත දමා වකුගඩු රෝගයට හේතු වන රසායනික පොහොර ආනයනය නතර කිරීම ගැන ජනාධිපතිවරයාට ස්තුති කෙළේ ද සෞඛ්‍යමත් ජනතාවක් ගැන දක්වන උනන්දුව නිසාය.
රසායනික පොහොර භාවිතයේ ගුණ අගුණ ගැන කතා කිරීමට පෙර පවතින තත්වය යටතේ ශ්‍රී ලංකාවේ ජනතාවට පෝෂණ තත්ත්වය නො සලකා බඩ පිරෙන ආහාර වේලක් ලබා ගැනීමේ සමාජ ආර්ථික තත්වයක් පවතින්නේ ද යන්න මෙම උපදේශකයන් සහ ප්‍රතිපත්ති සැලසුම්කරුවන් විමසා බලන්නේ නම් ප්‍රයෝජනවත් ය. පසුගිය වසරේ පළ වූ යුනිසෙෆ් වාර්තාවක් අනුව ලංකාවේ වයස අවුරුදු පහට අඩු ළමයින්ගෙන් සියයට 15ක්ම කෘෂවීමේ රෝග තත්වයට ගොදුරු වී සිටිති. එම වාර්තාවේ ම සඳහන් වන ආකාරයට ලංකාව ලොව ළමයින් කෘෂවීමේ තත්වයට ලක්ව ඇති නරක ම රටවල් දහයෙන් එකකි.
වයස අවුරුදු පහට අඩු ළමයෙකු කෘෂවීමට ලක්වීම නිසා කායික සහ මානසික වර්ධනයට ඇති කරන හානිය ළමා රෝග විශේෂඥයෙකු වන වෛද්‍ය පාදෙණිය මහතා හොඳින් ම දන්නවා ඇත. එම නිසා ඒ මහතා ජාතියේ සෞඛ්‍යමත් භාවය ගැන සැබැවින් ම උනන්දු වන්නේ නම් කළ යුතු වන්නේ ජාතියේ ළමා පරපුරට පෝෂණයෙන් පිරි ආහාර වේලක් ලබා දීම ගැනය. එම වාර්තාවේ ම සඳහන් වන ආකාරයට ලංකාවේ ළමයින්ගෙන් සියයට 36ක්ම සිටින්නේ දිනකට ආහාර සඳහා රුපියල් 278කටත් අඩුවෙන් වැය කරන පවුල්වල ය. සමස්තයක් වශයෙන් ගත් කල පවුල්වලින් සියයට 74ක්ම ආහාර සඳහා දිනකට වැය කරන්නේ රුපියල් 506කි. අනිත් අතට ශ්‍රී ලංකාවේ පවුල්වලින් සියයට 70ක්ම තම ආදායමෙන් සියයට 40ක්ම වැය කරන්නේ ආහාර සඳහා ය. නිවාස, ඇඳුම් පැලඳුම් ළමයින්ගේ අධ්‍යාපනය සහ ගමන් බිමන් සඳහා වැය කිරීමට සිදු වන්නේ ඉතිරි සියයට 60ක මුදලය. මෙය කිසිසේත්ම යහපත් තත්වයක් නොවේ.
මෙවැනි තත්වයක් යටතේ වගකිව යුතු රජයක කාර්ය විය යුත්තේ ජනතාවට බඩ පිරීමට සෑහෙන ආහාර වේලක් ගැනීමට හැකි තත්වයක් නිර්මාණය කිරීමය. එනම් ආහාර සුරක්ෂිත භාවයක් පවත්වා ගැනීමය. රසායනික පොහොර භාවිතය නතර කිරීමෙන් පහසු මිලට ආහාර ලබා ගැනීමට හැකි තත්වයක් නිර්මාණය වන්නේ ද?
ආණ්ඩුවේ ඇමතිවරුන් ප්‍රකාශ කරන ( මෙය සාවද්‍ය ප්‍රකාශයකි) ලංකාව ආසියාවේ වැඩිම රසායනික පොහොර භාවිතා කළත් ලංකාවට අවශ්‍ය සහල් ප්‍රමාණය හෝ තවම නිෂ්පාදනය කිරීමේ හැකියාවක් නැත. මීට හොඳම නිදසුන මේ දිනවල අහස උසට ඉහළ ගොස් ඇති සහල් මිල පාලනය සඳහා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට පියවර ගත් බවට වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා කළ ඇති ප්‍රකාශයයි.
මෙවැනි තත්වයක් තුළ කළ යුතු ප්රමුඛ කාර්ය වන්නේ සහල් නිෂ්පාදනය ඉහළ නැංවීමය.
එහෙත් ලෝකයේ සෙසු රටවල් දෙස බලන විට පසුගිය වසර හැත්තෑවක කාලය මුළුල්ලේ ම කරන ලද ‘‘සංවර්ධනයෙන්’’ වී නිෂ්පාදනයේ සැලකිය යුතු ප්‍රගතියක් අත් කර ගැනීමට අප අපොහොසත් වූ බව පැහැදිලි ය. ශ්‍රී ලංකාව 1950 ගණන් වලදී හෙක්ටෙයාරයකට වී කිලෝ ග්‍රෑම් 1000ක අස්වැන්නක් ලැබූ අතර 2020 වන විට එය කිලෝග්‍රෑම් 2500 දක්වා ඉහළ ගොස් ඇත. බැලූ බැල්මට මෙය සැලකිය යුතු වර්ධනයකි. එහෙත් අප සිටින තැන තේරුම් ගැනීමට ලොව වෙනත් රටවල සහල් නිෂ්පාදනය සමග සැසඳිය යුතුය. පසුගිය වසරේ චිනයේ හෙක්ටෙයාරයකට සහල් කිලොග්‍රෑම් 7100ක අස්වැන්නක් ලැබූ අතර වී නිෂ්පාදනයට අලූතින්ම එකතු වූ රටක් වන ඔස්ට්‍රේලියාව හෙක්ටෙයාරයකට කිලොග්‍රෑම් 8771ක අස්වැන්නක් ලබයි. ලෝකයේ සාමාන්‍ය සහල් නිෂ්පාදනය හෙක්ටෙයාරයකට කිලෝග්‍රෑම් 5400ක් වන අතර වසර දෙදහස් පනසියයක් තිස්සේ වී ගොවිතැනේ යෙදෙන අපේ අස්වැන්න ඊටත් වඩා බෙහෙවින් අඩුය. මෙයින් කියවෙන්නේ වැවයි දාගැබයි ගැන පුරසාරම් දොඩන නමුත් අපේ වී ගොවිතැන ලෝක මට්ටමෙන් බලන විට ඉතාමත් නොදියුණු තත්වයක පවතින්නේ ය යන්නයි.
මෙම නොදියුණු පසුගාමි තත්වය අනෙකුත් කෘෂිකාර්මික නිෂ්පාදන සම්බන්ධයෙන් ද පවතින නමුත් අපි දැනට වී ගොවිතැන ට පමණක් සීමා වන්නෙමු.
බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබා ගත් පසුවත් ඊට පෙර රාජ්‍ය මන්ත්‍රණ සභා කාලයේ දීත් අපේ රටේ සියලු පාලකයන්ගේ ප්‍රමුඛතාවය වූයේ කෘෂිකර්මය නගා සිටුවීම ය. ජනපද ව්‍යාපාර පටන් ගැනීමේ දී වගා බිම් ලබා දීමට අමතරව උතුරු නැගෙනහිර පළාත්වල ජන සංයුතිය වෙනස් කිරීමේ අරමුණක් ද තිබිණ. මෙම ජනපද පිහිටුවීමේ ව්‍යාපාරය නිසා නැගෙනහිර පළාතේ ජන සංයුතියේ වෙනසක් ඇති කිරීමට හැකි වුවද එය කෘෂිකාර්මික නිෂ්පාදනයේ ප්‍රගතියකට හේතු වූයේ නැත. කීර්තිමත් සිවිල් සේවකයෙකු වූ එල් සී අරුල්ප්‍රගාසම් මහතා 2012 දෙසැම්බර් 29 දින දි අයිලන්ඩ් පුවත් පතට සැපයු ලිපියක් අනුව වසර පනහක් තිස්සේ වාරිමාර්ග පදනම් කෘෂි ජනාවාස පිහිටුවීමෙන් රුපියලකට ලැබුණු ප්‍රතිලාභය ශත 62කි. එනම් රුපියලක් ආයෝජනය කිරීමෙන් වසර පනහකටත් පසුව අපට ලැබී ඇත්තේ වියදම් කළ මුදලෙන් තුනෙන් දෙකකට සමාන මුදලකි. අඩුම ගණනේ ආයෝජනය කළ මුදල හෝ ලැබී නැත. ඒ මහතා පෙන්වා දෙන ආකාරයට ලංකාවේ සහල් කිලෝග්‍රෑමයක් නිෂ්පාදනය කිරීමට වැය වෙන මුදලෙන් අඩකට සහල් මියන්මාරයෙන් ආනයනය කළ හැකිය.
ඉන් ලංකාවේ වී නිෂ්පාදනය අතහැර දමා මියන්මාරයෙන් සහල් ආනයනය කළ යුතු යැයි අදහස් වන්නේ නැති වුවද අපගේ කෘෂිකර්මයේ රසායනික පොහොර භාවිතයට අමතරව ඊටත් වඩා බරපතළ ගැටලූ පවතින බව පිළිගත යුතුය.
කෘෂිකර්මයට අදාළ සම්පත් භාවිතා කිරීමේ දී ලංකාව පසු වන්නේ ඉතාමත් පසුගාමි තත්වයක බව තවත් සාධකයකින් පෙන්වා දිය හැකිය.
ලංකාවේ භාවිතා කෙරෙන වගා ක්‍රමය අනුව වී නිෂ්පාදනයේ වැදගත් ම සාධකය වන්නේ වතුර යි. පුරාණ වැව් ප්‍රතිසංස්කරණයට අමතරව ගල්ඔය, මහවැලි, උඩවලවේ වැනි මහා ව්‍යාපෘතිවල අරමුණ වන්නේ ගොවියාට අඛණ්ඩ ජල සැපයුමක් ලබා දී එමගින් ඉහළ අස්වැන්නක් ලබා ගැනිම ය. එසේ වුවත් දීර්ඝ නියං කාලයක් පැවතිය හොත් ගොවිතැනට නොව බීමට හෝ ජලය සපයා ගැනීම දුෂ්කර ය. එහෙත් වඩාත් වැදගත් වන්නේ වගා කටයුතුවල දී ජලය යොදා ගැනීමේ දී අප ඉතාමත් පසුගාමී තැනක පසුවීම ය.
පිලිපීනයේ පිහිටුවා ඇති අන්තර්ජාතික සහල් පර්යේෂණ ආයතනය ගණන් බලා ඇති ආකාරයට සහල් කිලෝග්‍රෑමයක් නිෂ්පාදනය කිරීමට වතුර ලීටර් 2500ක් අවශ්‍ය ය. එහෙත් වඩාත් දියුණු වගා ක්‍රම භාවිතය නිසා ඔස්ට්‍රේලියානු ගොවීන් වී කිලෝග්රම් එකක් නිෂ්පාදනය කිරීමට වැය කරන්නේ වතුර ලීටර් 1200ක් පමණි. එහි විශේෂත්වය වන්නේ එම වතුර ප්‍රමාණය පවා ඔවුන්ට ලබා ගැනීමට සිදු වන්නේ මුදල් ගෙවීමෙනි. එවැනි තත්වයක් යටතේ වුවද ඔස්ට්‍රේලියාවේ වී ගොවිතැන ආර්ථික වශයෙන් ඵලදායී ය. ඔවුන්ගේ සහල් නිෂ්පාදන රටවල් 60කට අධික සංඛ්‍යාවකට අපනයනය කරන බව සඳහන් ය. ශ්‍රී ලංකාවේ ගොවීන් නිර්දේශිත වතුර ප්‍රමාණය මෙන් දෙගුණයක් භාවිතා කළත් ජල සැපයුම නොමිලයේ ලැබුනත් වී ගොවිතැන ආර්ථික වශයෙන් ලාභදායී නැත. තෙත් කලාපයේ කුඹුරු විශාල ප්‍රමාණයක් වගා නො කරන්නේ එම නිසාය.
පොහොර නොමිලයේ ලබා දිම ජනප්‍රිය ඡන්ද පොරොන්දුවක් වූයේ ද වී වගාවේ පවතින අකාර්යක්ෂම තත්වය නිසා ය.
ශ්‍රී ලංකාවේ මන්ද පෝෂණය තුරන් කිරීමටත් ආහාර සුරක්ෂිත භාවය තහවුරු කිරීමටත් වී ඇතුළු සියලු ආහාර වර්ග නිෂ්පාදනය අනිවාර්යයෙන් වැඩි කළ යුතු ය. එහෙත් එය රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර යෙදීමෙන් පමණක් කළ නොහැකිය. නාථ දෙවියන් ගැන විශ්වාස කිරීමෙන් ද එය කළ නොහැකිය. ඒ සඳහා ඇති එකම මග වන්නේ නූතන කෘෂි විද්‍යාත්මක දැනුම උපයෝගී කර ගැනීම ය.
අපේ රටේ වී වගාව ගැනත් අනෙකුත් භෝග ගැනත් කළ ඉතා උසස් පර්යේෂණ අපමණ පවතී. පර්යේෂණ ආයතන ගණනාවක් ද ඇත. ඒ සියල්ලටත් වඩා කෘෂි ක්ෂේත්රයේ දැනුම ගැන ජාත්‍යන්තර කීර්තියට පත් විශේෂඥයන්ගේ සංඛ්‍යාව ද අගනා සම්පතකි. එහෙත් ඒ සම්පත් කිසිවක් උපයෝගී කර ගැනීමේ දේශපාලන භාවිතයක් අපට නැත. කෘෂිකර්මාන්තය රටේ අනෙකුත් අංශ මෙන් ම දේශපාලන අතකොළුවක් බවට පත්ව ඇත. විද්‍යාත්මක දැනුම පදනම් කර ගත් කෘෂිකර්මයක් තුළ කාබනික පොහොර භාවිතය හෝ කාෂිරසායන භාවිතය මනා සේ කළමනාකරණය කළ හැකිය. ඒ ගැන ආදර්ශ අපට අවට ලෝකයෙන් අපමණ ලබා ගත හැකිය. ඒ කිසිත් නැතිව දේශපාලන අවශ්‍යතාවය සහ නො දැනුවත් කම නිසා කාබනික පොහොර භාවිතයට යෑමෙන් කෘෂිකර්මයත් රටත් විනාශ මුඛයට යනු ඇත.
- ඇත්ත තිත්ත වීමට ඉස්සර,. වස කනවද? පලිබෝධ නාශක පාලනය කරනවද? - December 10, 2024
- යුද්ධයෙන් මිය ගිය අය සැමරීමට ඉඩ දෙන්න.. - November 27, 2024
- මහාචාර්ය කුමාර් ඩේවිඩ් සහෝදරයා ජාත්‍යන්තර බුද්ධිමතෙකි.. - October 21, 2024