You are currently viewing ආර්ථිකයේ කඩා වැටීම නිදොස් කොට නිදහස් කිරීමෙන් අවසන් වේද?

ආර්ථිකයේ කඩා වැටීම නිදොස් කොට නිදහස් කිරීමෙන් අවසන් වේද?

මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තිනියාවල පාලිත හිමි පවරා තිබූ නඩුවක් පසුගිය දා ඉල්ලා අස් කර ගත් නිසා අධිකරණය ඔහු නිදොස් කොට නිදහස් කළ බව පුවත්පත්වල වාර්තා විය. රටේ ආර්ථිකය බංකොළොත්වීමට ඔහු මහ බැංකුවේ අධිපතිව සිටි සමයේ ගත් අදූරදර්ශී පියවර හේතුවීම නිසා ඔහුට විරුද්ධව නඩු පැවරීමට හෝ වෙනත් ක්‍රියා මාර්ග අනිවාර්යයෙන් ගත යුතු ව තිබිණ. එසේ තිබියදීත් තිනියාවල හිමි නඩුව ඉල්ලා අස් කර ගැනීම ඔහුට නිදොස් කර නිදහස් කිරීමට හේතු වුවද ඉන් ආර්ථිකයට කළ හානිය කිසිසේත් ප්‍රතිපූරණය වන්නේ නැත.

තිනියාවල පාලිත හිමි

නිදහස් කරනු ලැබීමෙන් පසුව උසාවියෙන් පිටත පැමිණී අජිත් කබ්රාල් තමා මහ බැංකුවේ අධිපති සිටි සමයේ වැඩිම මුදල් ප්‍රමාණයක් ණයට ගැනීමට හැකිවීම ගැන ආඩම්බරයෙන් කතා කෙළේය. ඔහු ආඩම්බර වූයේ දැන් අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.9ක් ලබා ගත නොහැකිව පසුතැවෙන රනිල් වික‍්‍රමසිංහගේ ආණ්ඩුව හෑල්ලුවට ලක් කිරීමට ය. කෙසේ වුවත් ඔහු සුඛෝපභෝගී රියක නැගී පිටව යත්ම කිසියම් පිරිසක් ‘හොරා හොරා’ යනුවෙන් කෑ ගසන හඬක් ද අසන්නට ලැබිණ. අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කිරීම නිසාම ඔහුට විරුද්ධව ඇති චෝදනාවලින් මහජනයාගෙන් ගැලවීමට නොහැකි බවට එය සංඥාවකි. වගකීම කාට පැවරුණත් ඔහු මහ බැංකුවේ අධිපතිව සිටි සමයේ ගත් තීරණවල ප්‍රතිඵල දරා ගැනීමට සිදු වන්නේ මෙරට ජනතාවටය. බංකොළොත් වූ රටක වැඩියෙන්ම පීඩාවට පත් වන්නේ සුපිරි ආදායම් ලබන පංතිය නොව අන්ත අසරණයන් ය.

රට මෙම ආර්ථික අර්බුදයට සහ දේශපාලන අගාධයට පත් කිරීමට මූලික හේතුවක් වන විදේශීය බැංකුකරුවන්ගෙන් සහ මූල්‍ය ආයතනවලින් ණය ලබා ගැනීම ආරම්භ වූයේ කබ්රාල් මහ බැංකුවේ අධිපතිව සිටි සමයේ දීය. ආණ්ඩුවට විදේශීය බැංකුවලින් හෝ වෙනත් මූල්‍ය ආයතනවලින් ණය ලබා ගැනීමේ අනුමැතියක් 1997 සිටම නීති මගින් ලබා ගෙන තිබුණ නමුත් කිසිවෙකු එය භාවිතා කෙළේ නැත. පළමු වරට එම පහසුකම යොදා ගත්තේ 2007 දී ඩොලර් දශ ලක්ෂ 500ක් ලබා ගැනීමටය. එවකට මහ බැංකුවේ අධිපති වූයේ කබ්රාල් ය.

මෙහිදි සිත් ගන්නා වැදගත් ම කරුණ වන්නේ එවකට විපක්ෂ නායකව සිටි වර්තමාන මුදල් ඇමති සහ ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මෙම පියවරට තදින් විරුද්ධවීමය. අන්තර්ජාතික රාජ්‍ය බැදුම්කර නමින් හැඳින් වූ (International Sovereign Bonds) මෙම ණය ගැනීම රටේ ආර්ථිකයට බලවත් පහරක් වන නිසා එය නුසුදුසු ක්‍රියා මාර්ගයක් සේ ඔහු නිවැරදිව තදින් විවේචනය කෙළේය. එපමණක් නොව තම පක්ෂය (එවකට ඔහු එක්සත් ජාතික පක්ෂයේ නායකයාය) බලයට පත් වුවහොත් මෙම ණය සියල්ල අහෝසි කරන බවට ද ඔහු තර්ජනය කෙළේය. එහෙත් ඔහුගේ තර්ජනයෙන් කිසිවෙකු සැලූනේ නැත. අවසානයේ දී රටේ සමස්ත විදේශීය ණය ප්‍රමාණයෙන් සියයට40ක් පමණ වන තෙක් මූල්‍ය සමාගම් සහ බැංකුවලින් ණය ගැනීම දිගින් දිගටම සිදු විය.

මෙම ණය ගැනීම කරුණු දෙකක් නිසා රටට අහිතකර විය. ඉන් පළමු වැන්න සියයට 5 – 9 ත් අතර ඉහළ පොලී අනුපාතයක් යටතේ ණය ගැනීමය. කබ්රාල් මහ බැංකුවේ අධිපතිව සිටි සමයේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඩොලර් දශ ලක්ෂ 750ක් ලබා ගෙන ඇත්තේ සියයට 8.9ක පොලී අනුපාතයට ය. ( ජාතික ඉතිරි කිරීමේ බැංකුවට විදේශීය මුදල් ණයට ගැනීමට තිබු අවශ්‍යතාවය ද වෙනම සැලකිල්ලට ගත යුතු කාරණයකි) මෑතක් වන තෙක්ම එක්සත් ජනපද භාණ්ඩාගාරය පොලී අනුපාතය ඉතාම පහත් මට්ටමක එනම් සමහර විට බින්දුව වැනි අනුපාතයක පවත්වා ගෙන ආ පරිසරයක් යටතේ සියයට පහක පොලී අනුපාතය ණය හිමියන්ට මහත් ආකර්ෂණයකි. ඇත්තෙන්ම සමහර මූල්‍ය ආයතන ආයෝජන අවස්ථා සොයමින් සිටි සමයකි. ඔවුන්ට මෙම පොලී අනුපාතය දිව්‍යමය අවස්ථාවකි. ඊට අමතරව රාජ්‍යයන් අතර ණය ගනුදෙනු කිරීමේ දී වසර 20ක් හෝ ඊටත් වැඩි කාලයක් සඳහා සහන එනම් වෙළඳ පොල පවතින මට්ටමට වඩා අඩු අනුපාතයකට ණය ලබා දීම සාමාන්‍ය ප්‍රතිපත්තියක් වන තත්වයක් යටතේ මෙය කූට ගනුදෙනුවකි. එම පදනමෙන් එවකට විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහගේ විරෝධය සාධාරණ ය.

අනිත් කාරණය මෙසේ අන්තර්ජාතික මූල්‍ය ආයතනවලින් ලබා ගන්නා ණය සඳහා පොලි ගෙවීම වාර්ෂිකව කළ යුතුය. ණය ආපසු ගෙවීමේ කාල සීමාව වසර පහේ සිට දහය දක්වා කෙටි කාලයකි. මෙවැනි කෙටි කාලයක දී ණය ආපසු ගෙවීමටනම් ඒවා කෙටි කාලයක දී ප්‍රතිලාභ ලැබෙන ආයෝජනවල යෙදිය යුතු ය. නැතිනම් එම මුදල සහ පොලිය ආපසු ගෙවීමට වෙනත් විදේශීය ආදායම් මාර්ග තිබිය යුතු ය. එහෙත් එම කොන්දේසි දෙකම මහ බැංකුවේ අධිපතිව සිටි අජිත් කබ්රාල් හෝ ඔහුගේ අනග‍්‍රාහකයන් වන මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සපුරා ලීමට කිසිම උනන්දුවක් දැක් වූයේ නැත. ඇත්තෙන්ම සිදු වූයේ ගත් ණය සහ පොලි ගෙවීමට ජාතියේ අනාගතය අඳුරට පත් කරමින් තවත් ණය ගැනීම පමණි.

වාර්තා වී ඇති ආකාරයට මෙසේ අන්තර්ජාතික රාජ්‍ය බැදුම්කර වලින් ඉහළ පොලී අනුපාතයට ණය ලබා ගෙන ඇත්තේ ඵලදායි ආයෝජන සඳහා නොව දුර්වල ආර්ථික කළමනාකරණය නිසා පරිහානියට පත් රාජ්‍ය ආයතන නඩත්තු කිරීම සඳහා ය. එම ණය ලබා ගත්තේ ලංකා විදුලිබල මණ්ඩලය, ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය, එයාර් ලංකා ගුවන් සේවය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැනි ආයතන සඳහාය. එයාර් ලංකා ගුවන් සේවය විදේශ විනිමය ඉපැයීමේ හැකියාවක් පවතින ආයතනයක් වුවද එහි කළමනාකාරිත්වයේ පවතින දුර්වලතාවය නිසා දිගින් දිගටම පාඩු ලබන ආයතනයකි.

මීට අමතරව එසේ ණයට ලබා ගත් විදේශීය මුදල් යෙදවූ තවත් ආයෝජනයක් වූයේ තවත් බංකොළොත් රටක් වූ ග්‍රීක රජයේ බැදුම්කර මිලදී ගැනීම ය. ඒ පිලිබඳ වගකීම එවකට මහ බැංකුවේ අධිපති වූ කබ්රාල් භාර ගත යුතුය. මෙසේ විදේශීය මුදල් ඉහළ පොලී අනුපාතයකට ලබා ගෙන එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට නිල නිවසක් මිලදී ගැනීමටත් රාජපක්ෂ ප්‍රතිරූපය ඇමරිකාවේ නගා සිටුවීමටත් වැය කර ඇත. එම ගනුදෙනු දෙකම ප්‍රෝඩාකාරී බව එක්සත් ජනපදයේ විමර්ශනවලින් හෙලි වී ඇත. වැරදිකරුවන්ට එක්සත් ජනපද අධිකරණයෙන් දඬුවම් පමුණුවා ඇතත් ලංකාණ්ඩුවෙන් මෙතෙක් කිසිම පියවරක් ගෙන නැත. ගෙන ඇති දැනෙන එකම පියවර වන්නේ දූෂිත ගනුදෙනුවල බර අහිංසක ජනතාව මත පැටවීමය. විදුලි බිල, ජල ගාස්තු, ඉන්ධන මිල වැඩිවන්නේ මේ දූෂිත ගනුදෙනු කිසාය.

විදේශීය මූල්‍ය ආයතනවලින් ණය ලබා ගැනීමේ දී ඒවා ආපසු ගෙවීමට ඇති මාර්ග කිසිවක් ගැන මෙම දුෂ්ට පාලකයන් නිකමට හෝ සිතා නැත. ඉතාමත් සරල ආකාරයට විදේශීය ණය ගෙවීම සඳහා අපට විදේශීය ආදායම් මාර්ග තිබිය යුතුය. පවතින ආදායම් මාර්ග වඩාත් වැඩි ආදායම් ලබන තත්වයට පත් කළ යුතුය. කෙටියෙන් අපේ අපනයන වැඩි කළ යුතුය. එහෙත් ඇත්ත වශයෙන් සිදුව ඇත්තේ මෙම දුෂ්ට පාලකයන් යටතේ අපනයන ආදායම් දිගින් දිගටම පහත වැටීම ය. මහ බැංකුවේ වාර්ෂික වාර්තා අනුව 2000 වසරේ දී අපේ අපනයන ආදායම දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 39 කි. 2005 දී එය සියයට 32 දක්වා පහත වැටිණ. 2021 දි අපනයන ආදායම සියයට 17ක් පමණය. මෙම සංඛ්‍යා ලේඛනවලින් හෙළිවන සරල කාරණය වැඩි පොලියට ණය ලබා ගත් නමුත් අපේ විදේශීය ආදායම් මාර්ග එම ණය මුදල්වල පොලිය ගෙවිමට හෝ නොහැකි තත්වයකට පත්වීම ය.

මෙසේ විදේශීය ණය ලබා ගෙන ඇති නොරොච්චෝල (ඩොලර් බිලියන 1.35) හම්බන්තොට වරාය (ඩොලර් බිලියන 1.36) මාතර දක්වා අධිවේගී මාර්ගය දිර්ඝ කිරීම (ඩොලර් මිලියන 740) මත්තල ගුවන් තොටුපොළ ( ඩොලර් දශ ලක්ෂ 209) කටුනායක අධිවේගී මාර්ගය (ඩොලර් දහ ලක්ෂ 292) හා නෙළුම් පොකුණ (ඩොලර් දශලක්ෂ 67) වැනි ව්‍යාපෘති සඳහා ය. හම්බන්තොට වරාය ඉදි කිරීමට ගත් ණය මුදල් ආපසු ගෙවීමට නොහැකි වූ නිසා චීනයටම එය බදු දීමට සිදු විය.

මෙවැනි කණගාටු තත්වයකට රට පත් වීමට ප්‍රබල හේතුවක් වන්නේ මහ බැංකුව මූල්‍ය කළමනාකරණය අමතක කර, අමතරව දේශපාලකයන්ගේ වුවමනාවන් ඉටු කිරීම නිසාය. එවැනි මැදිහත්මක් පහසු වූයේ මහ බැංකුවේ අධිපති තනතුරට දේශපාලකයන්ගේ හෙංචයියලා පත් කිරීමය. බැංකු ක්‍රමය ගැන පරිචයක් නැති පොත් තබන්නෙකු වූ අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකුවේ අධිපති තනතුරට පත් වූයේ ද දේශපාලන ගැතිකම නිසා ය. එම ගැතියාව නිසා ආණ්ඩුවේ අමනෝඥ මූල්‍ය ප්‍රතිපත්තිය නිවැරදි කිරීමට ආයතනයක් හෝ පුද්ගලයෙකු වූයේ නැත. ඒ සමගම භාණ්ඩාගාරයේ ලේකම් මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයට පත් කිරීම දේශපාලන වුවමනාවන් තහවුරු කර ගැනිමට අවස්ථාවක් විය.

අන්තර්ජාතික මූල්‍ය අරමුදල ණය ලබා දීමේ කොන්දේසියක් ලෙස මහ බැංකුව ස්වාධීන ආයතනයක් කළ යුතුයැයි ඉල්ලා සිටින්නේ අමනෝඥ දේශපාලන බලපෑම්වලින් එම ආයතනය නිදහස් කිරීමට ය. එය අන්තර්ජාතික මූල්‍ය අරමුදල වැනි ආයතනවල අවශ්‍යතාවයට ගැලපෙන නමුත් ජනතාවට වැදගත් වන්නේත් අවශ්‍ය වන්නේත් ජනතාවට සෘජුවම වගකීමටත් සහ වැරදි ප‍්‍රතිපත්තිවලට දඬුවම් ලබාදීමේත් පැවරෙන පාලන ක්‍රමයකි. සරලව වැරදි තීන්දු සහ ප‍්‍රතිපත්තිවලට දඬුවම් ලබා දෙන ක්‍රමයක් ස්ථාපිත කළ යුතුය. නිදොස් කොට නිදහස් කිරීමක් ඇත්ත වශයෙන්ම අර්තවත් වන්නේ එවැනි තත්වයක් යටතේ පමණි.   

Leave a Reply