You are currently viewing ඇලඩින්ගේ පුදුම පහනින් එළිය බලන රනිල් වික‍්‍රමසිංහ..

ඇලඩින්ගේ පුදුම පහනින් එළිය බලන රනිල් වික‍්‍රමසිංහ..

ඇලඩින්ගේ පුදුම පහන තමන් සතුව ඇතැයි වත්මන් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ විශ්වාස කරන බව පෙනේ. අනුප‍්‍රාප්තික ජනාධිපති තනතුරට පත් විගස 2048 දී ශ‍්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත් කරන බව පැවසුවේ පුදුම පහන අතුල්ලා කරන විශ්ව කර්මයක් සේය. විශ්ව කර්මය වන්නේ වසර හැත්තෑ හතර වසරක් කළ නොහැකි වූ දෙයක් තවත් දශක කීපයක දී කරන බව පැවසීමෙන් සිහි බුද්ධියක් ඇති ජනතාව සිනහ ගැන්වීමෙනි. පසුගිය සතියේ එකතු කළ විශ්ව කර්මය වූයේ ලබන වසරේ නිදහස් දින එළඹීමට පෙර දෙමළ ජනතාවගේ ගැටලු සියල්ල විසඳන බව පැවසීමයි. මෙය රනිල් වික‍්‍රමසිංහගේ දවල් සිහිනයක් නොවන බව පෙන්වීමට මෙන් ඒ සඳහා ත‍්‍රිපුද්ගල කමිටුවක් ද පත් කෙළේය. කමිටු සාමාජිකයන්ට බංකොළොත් වූ භාණ්ඩාගාරයේ වෙනත් කාර්යන් සඳහා වෙන් කර ඇති මුදල්වලින් හෝ යාන වාහන සහ වෙනත් පහසුකම් ලබා දීම නම් සිහිනයක් නොවනු ඇත.

වසර හැත්තෑහතරක් තිස්සේ සියලු පාටවලට අයත් දේශපාලකයන් විසින් කාබාසිනියා කළ ආර්ථිකයත් ජාතික සමගියත් ගොඩ නැගීම ජාතියේ ප‍්‍රමුඛතාවය විය යුතු බවට කිසිම විවාදයක් නැත. මෙම දේශපාලකයන්ට අවශ්‍ය වූයේ සමෘද්ධිමත් රටක් නොව සිංහල බෞද්ධ රටක් නිර්මාණය කිරීම ය. නමසිය තිස් ගණන්වල කිසියම් ප‍්‍රමාණයක ස්වාධීනතාවයක් ලැබුණු රාජ්‍ය මන්ත‍්‍රණ සභා යුගයේ සිට මෙම නායකයන්ගේ උපාය මාර්ගය වූයේ සිංහල බෞද්ධ හැර අන් සියලු ජනවර්ග කොන් කරන පාලනයක් බිහි කිරීමය. ආර්ථික සහ දේශපාලන උපාය මාර්ගය සැකසුණේ ඒ අරමුණෙනි.

රාජ්‍ය මන්ත‍්‍රණ යුගයේ රටේ ‘සංවර්ධනය’ සඳහා යොමු වූ ප‍්‍රධාන ක්‍රියා මාර්ගයක් වූයේ කෘෂිකර්මාන්තය නගා සිටුවා රට ස්වයංපෝෂිත කිරීමට වියලි කලාපයේ විශේෂයෙන්ම උතුරු නැගෙනහිර ගොවි ජනපද පිහිටුවීම ය. නටඹුන්ව තිබු වැව් සහ වාරිමාර්ග ප‍්‍රතිසංස්කරණය කිරීමත් කෘෂිකර්මය විශේෂයෙන් වී ගොවිතැන විද්‍යාත්මක පදනමක් මත සංවර්ධනය කිරීමත් නිවැරදි ක්‍රියා මාර්ගයක් වුවද ගොවි ජනපද පිහිටුවීමේ මූලික අරමුණ වූයේ උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල සිංහල, වඩාත් නිවැරදිව සිංහල බෞද්ධ ජනාවාස පිහිටුවීමය. මෙම ගොවි ජනපදවල පදිංචි කිරීමේ දී නිර්ණායකය වූයේ ඉඩම් නැති ගොවීන්ට ඉඩම් ලබා දීම නොවේ. උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල ඉඩම් නැති දෙමළ හෝ මුස්ලිම් ජනතාවට නව ජනපදවල ඉඩම් ලැබුණේ නැත. ඇත්තෙන්ම මෙම ජනාවාස පිහිටුවීමේ යටි අරමුණ වූයේ එම ප‍්‍රදේශවල ජන සංයුතිය සිංහල බෞද්ධයන්ට හිතකර වන ආකාරයට වෙනස් කිරීමය. ඒ හැර බ්‍රිතාන්‍ය පාලකයන් රට හැර යාමේ දී භාණ්ඩාගාරය සතුව තිබු මුදල් සංචිත ප‍්‍රයෝජනවත් ආකාරයට නව ව්‍යාපෘතිවල ආයෝජනය කිරීමේ සැලැස්මක් හෝ තිබුණේ නැත.

නැගෙනහිර පළාතේ සිංහල බෞද්ධ ජන සංඛ්‍යාව වැඩි කිරීමේ අරමුණෙන් මහත් වියදමක් දරා නිම කරන ලද ගල්ඔය ව්‍යාපාරය මීට කදිම නිදසුනකි. කෘෂි ආර්ථික විද්‍යඥයෙකු වූ එල් සී අරුල්ප‍්‍රගාසම් 2012 දෙසැම්බර් 20 දින ‘ද අයිලඩ්’ පුවත් පතට සැපයූ ලිපියක සඳහන් කරන ආකාරයට වසර පනහකට පසුව ගල්ඔය ව්‍යාපාරයේ ආයෝජනය කරන ලද රුපියලක් වෙනුවෙන් ලැබී ඇත්තේ ශත හැටහතක ප‍්‍රතිලාභයකි. එනම් වසර පනහකට පසුව මෙම ව්‍යපෘතියට වැය කරන ලද මුදලෙන් ආපසු ලැබී ඇත්තේ තුනෙන් දෙකක් වැනි ප‍්‍රමාණයකි. ලාබයක් ගැන සිතීමටත් නොහැකිය.

2022Nov15_[1]_ds

ඉන් පැහැදිලිව පෙනෙන්නේ ගොවි ජනපද පිහිටුවීම කෘෂිකාර්මික සංවර්ධනය හෝ රට සහලින් ස්වයංපෝෂිත කිරීම අරමුණු කර ගත් ව්‍යාපෘතියක් නොව සිංහල බෞද්ධයන් උතුරු නැගෙනහිර පදිංචි කොට ජන සංයුතිය වෙනස් කිරීමේ දේශපාලන වැඩ පිළිවෙළක කොටසක් බවය. කෘෂිකාර්මික සංවර්ධනය අරමුණු කර ගත්තේ නම් අඩුම වශයෙන් රටේ ජනතාවට අවශ්‍ය සහල් නිෂ්පාදනය කිරීමට හැකියාවක් ගොඩ නගා ගත යුතුය. ගල්ඔයට අමතරව මහවැලි සංවර්ධන ව්‍යාපාරය ඇතුළත් ව්‍යපෘති සිය ගණනක් නිම කළ ද අපේක්ෂික කෘෂි කාර්මික සංවර්ධනයක් නොවු නිසා තවමත් අපි සහල් ආනයනය කරමු.

මහවැලි සංවර්ධන යෝජනා ක‍්‍රමය ආරම්භ කරන විට මෙම පාලකයන්ගේ රණ ගොස වූයේ රට බත බුලතින් ස්වයංපෝෂණය කර ඉන්දියාවටත් ජලවිදුලිය සපයන්නේය යනුවෙනි. එහෙත් යථාර්ථය වී ඇත්තේ ඉන්දියන් ඔයිල් සමාගමේ තෙල් නොලැබෙන්න රටම කළුවරේ ඉඳීමට අමතරව බර කරත්ත ප‍්‍රවාහන යුගයකට යෑමට සිදුවීමයි.

සිංහල බෞද්ධයන් මුල් කර ගත් දේශපාලන සහ ආර්ථික ව්‍යපෘතියේ අනිවාර්ය ප‍්‍රතිඵලය වූයේ සෙසු ජන කොටස් තමන්ට නිසි තැන ලබා නොදෙන නිසා රට හැර යාමය. මෙසේ රට හැර ගියේ බුද්ධිමත් කාර්ය ශූර රටේ සංවර්ධනයට විවිධාකාරයෙන් දායක විය හැකි පුද්ගලයන් ය. ශ‍්‍රී ලංකාවට පළමු වරට ලෝක ක්‍රිකට් ශූරතාවයක් දිනා දුන් කණ්ඩායම පුහුණු කෙළේ ශ‍්‍රී ලාංකික සම්භවයක් ඇති ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු වන ඩේව් වට්මෝර් ය. සිංගප්පූරු ගුවන් සේවය ලොව අංක එකේ ගුවන් සේවය බවට පත් කෙළේ යාපනයේ උපත ලද ජේ වයි ඇම් පිල්ලේ නම් අයෙකි. නව සිංගප්පූරුවේ නිර්මාපක ලී ක්වාන් යූ, පිල්ලේ ගුවන් සමාගමේ ප‍්‍රධානි තනතුරට පත් කරන විට ඔහුට ගුවන් සමාගමක් මෙහෙයවීම පිළිබඳ කිසිම අත්දැකීමක් තිබුණේ නැත. එහෙත් පැවරෙන  ඕනෑම කාර්යක් උපරිම කැපවීමෙන් ඉටු කිරීමේ ගුණාංගයක් ඔහුට තිබිණ. වසර පහක් ඇතුළත ඔහුට අංක එකේ ගුවන් සේවයක් නිර්මාණය කිරීමට හැකි වූයේ එම නිසා ය. ඒ අදූරදර්ශී පාලකයන් නිසා අපට අහිමි වූ සම්පත් ය.

අපේ දේශපාලකයන් නිර්මාණය කළ වෙනස් කොට සැලකීමේ ප‍්‍රතිපත්තිය නිසා රට හැර ගිය ශ‍්‍රී ලාංකිකයන් ලොව බොහෝ තැන්වල සිය හැකියාවන් ඔප් නංවා කීර්තිය දිනා ගත් ආකාරය ගැන අපමණ නිදසුන් ඇත. සිංගප්පූරුවට සංක‍්‍රමණය වූ දෙමළ වාර්ගිකයන් එහි ආර්ථික සමෘද්ධියට සහ සහ දේශපාලන ස්ථාවරත්වයට කළ මාහැඟි දායකත්වය අජිත් කණකසුන්දරම් රචනා කළ Tale of Two Countries කෘතියේ මැනවින් දක්වා ඇත. දෙරටක කතාන්දරය යනුවෙන් සිංහලට නගා ඇති මෙම පොත සමහර විට දුර්ලභ ගණයේ පොත් තිබුණේයැයි කියන රනිල් වික‍්‍රමසිංහගේ පුස්තකාලයේ ද තිබෙන්නට ඇත. එහෙත් ඔහු ඒ පොත කියවු බවක් නම් දැකිය නොහැකිය.

අප මෙතෙක් උත්සාහ කෙළේ මේ රටේ අඳ බාල දේශපාලකයන්ගේ අමනෝඥ දේශපාලන සහ ආර්ථික වැඩ පිළිවෙළ නිසා ජාතික සංවර්ධනයට අත්‍යවශ්‍ය සම්පත් රටට අහිමි වූ ආකාරයයි. දේශපාලන වශයෙන් ගත් අඳ බොළඳ ක්‍රියා පටිපාටිය වූයේ වෙනස් කොට සැලකීමයි. නැතිනම් සමානාත්මතාවය ඉවත දැමීමයි. භාෂාව ආගම හෝ කතා කරන භාෂාව අනුව වෙනස් කොට සැලකීම නිසා එම ජන කොටස් රට හැර ගියහ. කලින් දෙමළ හෝ මුස්ලිම් ජන කොටස්වලට සීමා වූ මේ තත්වය අද කෙතරම් උග‍්‍රවී ඇත්ද යත් සිංහල බෞද්ධ උගතුන් පවා රට හැර යන තත්වයට පත්ව ඇත. මෙම සංක‍්‍රමණිකයන් රට හැර යෑමට විවිධ හේතු පැවතියත් පොදු සාධකය වන්නේ සුදුස්සාට සුදුසු තැන නොලැබෙන්නේය යන්නයි. කලින් දෙමළ මුස්ලිම් සහ බර්ගර් ජන කොටස්වලට පොදු වූ මෙම ලක්ෂණය අද සිංහල බෞද්ධයන් කරා ද පැමිණ ඇත.

රටේ සම්පත් අපතේ යැවීමක් වූ තිස් අවුරුදු යුද්ධය ද වෙනස් කොට සැලකීමේ ප‍්‍රතිපත්තිය නිසා ඇති වූවකි. අවි බලයෙන් යුද්ධය ජය ගත් නමුත් වෙනස් කොට සැලකීමේ ප‍්‍රතිපත්තිය වෙනස් වූයේ නැත. රටක් සංවර්ධනය කිරීමේ අඩිතාලම වන්නේ විවිධ ජන කොටස් අතර අන්‍යොන්‍ය විශ්වාසය ගොඩ නැගීම ය. ඊට අවශ්‍ය වන්නේ සියලූ දෙනාට සමානව සැලකීමේ ප‍්‍රතිපත්තිය රාජ්‍ය විචාරණයේ එකම මූලධර්මය කර ගැනීම ය. එම මූලධර්මයෙන් සහතික කරන්නේ නීතියේ ආධිපත්‍යය නැතිනම් නීතිය ඉදිරියේ සියලු දෙනාම සමානය යන්නයි.

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ පවසන්නේ මාස දෙකටක් වඩා අඩු කාලයක දී මෙම අඩු පාඩු සපුරාලන බවකි. රාජ්‍ය මන්ත‍්‍රණ සභා යුගයේ සිට පැවති වෙනස් කොට සැලකීමේ ප‍්‍රතිපත්තිය සහ ඒ බැඳුණු විවිධ ක්‍රියා මාර්ග මෙවැනි කෙටි කාලයක දී විසඳීමට හැකි නම් සැබැවින්ම විශ්වකර්ම වැඩකි. ජනතාව අතර විශ්වාසය බිඳ වැටීම, අනාගතය ගැන සැක සංකා පැවතීම සහ අනාරක්ෂිත භාවය විසඳන තෙක් වාර්ගික ප‍්‍රශ්නයට විසඳුමක් ලබා ගත නොහැකිය. එම නිසාම ආර්ථික සංවර්ධනයක් ඇති කළ නොහැකිය.

විවිධ ජන කොටස්වලින් යුත් කුඩා දූපතක් වූ සිංගප්පූරුවෙන් ලබා ගත හැකි ආදර්ශය වාර්ගික සාමය ආර්ථික සංවර්ධනයේ සහ ස්ථාවරත්වයේ පදනමය යන්නයි. සිංගප්පූරුව එම තත්වය ළඟා කර ගත්තේ දැඩි කැපවීමෙනි. කැපවීම පරිපූර්ණ වන්නේ නිවැරදි දැක්මක් ඇති දේශපාලන නායකත්වයෙනි. 

රනිල් වික‍්‍රමසිංහ ට එවැනි කැපවීමක් අඩ ශතකයකට ආසන්න වූ ඔහුගේ දේශපාලන දිවියේ දී පෙන්වා නැත. අහම්බෙන් මෙන් අගමැති තනතුරත් ඉන් පසුව ජනාධිපති තනතුරත් ලැබීමෙන් පසුව වුවද ඔහු දැක් වූයේ පැරණි ජරා ජීර්ණ දේශපාලනයේ ගති පැවතුම් ය. ඔහු උත්සාහ කරන්නේ සිංහල බෞද්ධ කඩතුරාවේ මුවාවෙන් අත්තනෝමතික දේශපාලනය දිගටම පවත්වා ගැනීමට ය. ජන වර්ග අතර සාමය සංහිඳියාව ගැන කතා කරන්නේ ජාත්‍යන්තරය සැනසීමට ය. ඒ පැහැදිලිවම නැවත වරක් ජනතාව මුලා කිරීමේ උත්සාහයකි.        

Leave a Reply