යුක්රේනයත් රුසියාවත් අතර පසුගිය පෙබරවාරි මස සිට දිග් ගැසෙන යුද්ධය නිමාවන බවක් දක්නට නැත. සමහර විට එය වසරකටත් වැඩි කාලයක් පවතිනු ඇතැයි නේටෝ හමුදා නායකයෙකු ප්‍රකාශ කර කළේය.
ප්‍රංශය, ජර්මනිය සහ රුසියාව එක්ව ඇති කර ගත් මින්ස්ක් ගිවිසුම අනුව දෙරට අතර සාමය ඇති කර ගැනීමට හොඳ අවස්ථාවක් සැලසුණ නමුත් යුක්රේනයේ යුද සූදානම අඩුවක් වූයේ නැත. යුක්රේනය නේටෝ යුද ගිවිසුම් සංවිධානයට ඇතුළත් කර ගෙන රුසියානු දේශ සීමාව අසළම හමුදා කඳවුරු පිහිටුවා ගැනීමේ අරමුණෙන් ක්‍රියාත්මක වූ එක්සත් ජනපදයට සාමයට වඩා අවශ්‍ය වූයේ යුද්ධයයි. යුද්ධය සඳහා අවශ්‍ය අවි ආයුධ සැපයීම මෙන්ම හමුදා පුහුණුව දිගටම සිදු විය. රුසියානු හමුදාව යුක්රේනය ආක්‍රමණයට පොළඹවා ගැනීමට සියල්ල සූදානම් කෙරිණ.
රුසියානු හමුදා යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමග එක්සත් ජනපදය දිගු කලක් තිස්සේ සැලසුම් කළ ආකාරයට රුසියාව දුර්වල කොට පාලනය වෙනස් කිරීමේ වැඩ සටහන ක්‍රියාත්මක විය. පළමුවෙන්ම රුසියානු ආර්ථිකය බිඳ දැමීමට විවිධ ආකාරයේ සම්බාධක පනවන ලදී. ඒ අනුව බටහිර රටවල තිබුණු රුසියානු රජයේ වත්කම් මෙන්ම රුසියානු පාලනය හා සම්බන්ධයැයි සැලකෙන පුද්ගලයන්ගේ ව්‍යාපාර සහ වත්කම් ද තහනම් කෙරිණ. ඒ සඳහා යුරෝපා සංගමයේ රටවල් ද එකඟකරවා ගැනීමට ජනාධිපති බයිඩන් මහත් වෙහෙසක් ගත්තේය. මෙම සම්බාධක මූලික වශයෙන්ම යොමු වූයේ රුසියානු ගෑස් සහ ඉන්ධන මිලදී ගැනීම නතර කිරීමට ය. යුරෝපා සංගමයේ රටවල ඉන්ධන අවශ්‍යතාවලින් සියයට 40ක්ම සැපයෙන්නේ රුසියාවෙන් නිසා මෙම සම්බාධක රුසියාවට මෙන්ම යුරෝපා සංගමයේ රටවලට ද දැඩි බලපෑමක් ඇති කෙරිණ. ජර්මනිය වැනි රටවලට තෙල් සහ ගෑස් මිල පාලනය කිරීම සඳහා ආරක්ෂිත සංචිත පවා වෙළඳ පොළට නිකුත් කිරීමට සිදුව ඇත.
සෞදි අරාබියට පසුව ලෝක වෙළඳ පොළට වැඩියෙන්ම පැට්රෝලියම් සැපයුම්කරුවන රුසියාව සම්බාධකවලට ලක් වීම නිසා ලෝක වෙළඳ පොළ සැපයුම පහත වැටී තෙල් මිල ද විශාල වශයෙන් ඉහළ ගියේ ය. එක්සත් ජනපදයේ තෙල් මිල ද දෙගුණයකින් ඉහළ ගිය බව වාර්තා වේ.
තෙල් සැපයුමට අමතරව ධාන්‍ය සැපයුම ද සම්බාධකවලට ලක්වීම නිසා ලොව පුරාම ආහාර මිල ගණන් ද ඉහළ ගොසිනි. රුසියානු වාණිජ නෞකාවලට සහ ඒවායේ රක්ෂණ සමාගම්වලට සම්බාධක පැනවීම නිසා රුසියාවෙන් අපනයනය කරන තිරිඟු තොග පහත වැටුණ අතර කළු මුහුදේ යුක්රේන වරාය රුසියානු නාවික හමුදාවෙන් වටලා ගැනීම නිසා යුක්රේනයේ ධාන්‍ය අපනයනය ද සම්පූර්ණයෙන්ම නතර විය. මෙම රටවල් දෙක ලෝකයේ ධාන්‍ය අපනයනයෙන් ප්රමුඛ තැන ගන්නා නිසා ලෝක වෙළඳ පොළ මිල ගණන් ද වාර්තාගත ආකාරයෙන් ඉහළ ගියේය. මෙය වඩාත්ම බලපෑවේ ඊජිප්තුව ඇතුළු උතුරු අප්‍රිකානු රටවලට ය. මෙම තත්වය යටතේ ධාන්‍ය හිඟයක් නිර්මාණය වීමේ අනතුරක් පැවතීමෙන් ඉන්දියාව වැනි රටවල් ද තිරිඟු අපනයනය නතර කර ඇත. ලෝක ආහාර සංවිධානය පුරෝකථනය කරන ආකාරයට ලොව පුරා ආහාර හිඟයක් ඇතිවීම නිසා සංවර්ධනය වන රටවල සාගින්න වඩාත් වැඩි වනු ඇත.
මේ අනුව යුක්රේන සහ රුසියානු යුද්ධයේ බලපෑම එම රටවල් දෙකට පමණක් සීමා වන්නේ නැත. එක අතකින් එක්සත් ජනපදය රුසියාවට එරෙහිව ලොව සියලු රටවල් එකම පෙරමුණකට ගෙන ඒමට උත්සාහ කරන අතර සම්බාධක නොතකා රුසියාව සමග වාණිජ කටයුතුවල යෙදෙන රටවලට එරෙහිව අමතර සම්බාධක පැනවීමට සූදානම් ය. මෙය කෙතරම් අන්තයකට ගෙන යන්නේ ද යත් ඇමරිකානු සම්බාධක වලට ලක්ව සිටින චීනය පවා රුසියාවට එරෙහි සම්බාධකවලට ඇතුළත් කර ගැනීමට උත්සාහයක් ගෙන තිබිණ. එමෙන්ම දූෂිත මැතිවරණයකින් බලය අත් කර ගත්තේයැයි රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ද අහෝසි කර සම්බාධකවලට ලක් කළ වෙනිසුවෙලාව සමග ද ගනුදෙනු කිරීමට බයිඩන්ගේ පාලනය සූදානම් ය. ලෝක වෙළඳ පොළ තෙල් මිල පාලනය කිරීමට වෙනිසුවෙලාවේ තෙල් අපනයනයට පනවා තිබූ සම්බාධක ලිහිල් කිරීමට ද ඇමරිකාව පියවර ගෙන ඇත.
මෙවැනි පසුබිමක් යටතේ රුසියානු යුක්රේන යුද්ධයෙන් පීඩාවට පත්වන්නේ එම රටවල් දෙකේ ජනතාව පමණක් නොවේ. සමස්ත ලෝක ජනතාවම, විශේෂයෙන් සංවර්ධනය වන රටවල ජනතාව ද ඉන් පීඩාවට පත්වෙති. එම නිසා යුද්ධය ඉක්මණින්ම නතර කිරීම සමස්ත ලෝක ජනතාවගේ ම යහපතට හේතුවන බව පැහැදිලි ය. ඒ දිග් ගැසෙන යුද්ධයක් ජයග්‍රාහකයෙකු නොමැති න්‍යෂ්ටික යුද්ධයක් බවට පත්වීමේ දැඩි අනතුරක් ද පවතින නිසාය. ලොව දෙවන විශාල න්‍යෂ්ටික අවි තොගයක් ඇති රුසියාව බරපතළ තත්වයක් යටතේ ඒවා යොදා ගැනීමේ හැකියාව යුද කටයුතු පිළිබඳ විශ්ලේෂකයන් බැහැර කරන්නේ නැත.
එක්සත් ජනපදය සහ එහි පාලනය යටතේ පවතින නේටෝ යුද සංවිධානය පවසන ආකාරයට ආක්රමණික රුසියාව පරාජය කිරීම යුරෝපයේත් ලෝකයේත් සාමය තහවුරු කිරීමේ මූලික අවශ්‍යතාවයකි. එහෙත් යථාර්ථය වන්නේ සාමය තහවුරු කිරීම පසෙක ලා එක්සත් ජනපදය ලොව පුරා තම ආධිපත්‍යය පවත්වා ගැනීමට යුද සූදානම හැම විටම උත්සන්න කිරීම ය. ලොව සියලු සත්වයන් මෙන්ම පරිසරය ද විනාශ කරන න්‍යෂ්ටික අවි නිපදවීම සහ වැඩි දියුණු කිරීම සඳහා එක්සත් ජනපදය 2021 වසරේ දී පමණක් ඩොලර් බිලියන 44.2ක් වැය කර ඇත. මෙම ප්‍රමාණය කෙතරම් ඉහළ ද යන්න චීනය වැය කළ ඩොලර් බිලියන 11.7 සහ රුසියාව වැය කළ ඩොලර් බිලියන 8.6 සමග සැසඳීමේ දී පැහැදිලි ය. න්‍යෂ්ටික අවි තුරන් කිරීමේ අන්තර්ජාතික ව්‍යාපාරය වාර්තා කරන ආකාරය එක්සත් ජනපදය සෑම මිනිත්තුවකම ඩොලර් 80,000ට වැඩි ප්‍රමාණයක් න්‍යෂ්ටික අවි සඳහා වැය කරයි. මෙම මුදල ඇමරිකානු ෆෙඩරල් ආණ්ඩුව ප්‍රාථමික සහ ද්වීතීක අධ්‍යාපනය සඳහා වැය කරන මුදලට වඩා වැඩිය. ඉන් නැවත වරක් තහවුරු වන්නේ එක්සත් ජනපදයට අන් සියල්ලට වඩා වැදගත් වන්නේ යුද්ධය සඳහා සූදානම්වීම සහ යුද අනතුරක අවදානම පවත්වා ගැනීමය. එය ඇමරිකානු රාජ්‍ය ප්‍රතිපත්තිය බව නිල වශයෙන් ම ප්‍රකාශයට පත්වූයේ ඔබාමා පාලනය යටතෙ පැසිෆික් කලාපයේ යුද සූදානම උත්සන්න කිරීමෙනි.
මෙම යුද්ධයෙන් පැහැදිලි වන තවත් කරුණක් වන්නේ රුසියානු විරෝධය ලෝක ජන මතය බවට පත් කිරීමේ උත්සාහයයි. රුසියානු සංස්කෘතිය සහ සාහිත්‍යය පමණක් නොව ක්‍රීඩා ක්ෂේත්රයේ පවා රුසියාව පිටු දැකීමේ උත්සාහයක් පවතී. ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් සටන් කරන රටක් යැයි හඳුන්වන යුක්රේනයේ රුසියානු බස පාවිච්චි කිරීම පවා තහනම් කර ඇත්තේ එහි මුළු ජන සංඛ්‍යාවෙන් සියයට විස්සකට වැඩි ප්‍රමාණයක් රුසියානු බස කතා කරන තත්වයක් තුළ ය. රුසියානු විරෝධය නාසිවාදයට සමාන වන්නේ සම්භාව්‍ය රුසියන් ලේඛකයන් වන ලියෝ ටෝල්ස්ටෝයි, ඩෙස්ටොව්ස්කි, පුෂ්කින් වැනි අයගේ කෘතීන් පවා යුක්රේනයේ තහනම් කිරීමෙනි. ඇත්තෙන්ම මෙය යුක්රේනයට පමණක් සීමා වූයේ නැත. එක්සත් රාජධානියේ පවා ඩෙස්ටොව්ස්කිගේ කෘතියක් ඇගයීම නතර කිරීමේ උත්සාහයක් පැවති බව වාර්තා විය.
එමෙන්ම රුසියානු ක්‍රීඩකයන්ට බටහිර රටවල පැවැත්වෙන ක්‍රීඩා තරගවලට සහභාගිවීම වළක්වා ඇත්තේ ඔවුන්ට ආරාධනය නොකිරීමෙනි. සමහර ක්‍රීඩා පාලක මණ්ඩල රුසියානු ක්‍රීඩකයන්ට ආරාධනය නොකිරීම නිල වශයෙන් ම ප්‍රකාශයට පත් කර ඇත.
මේ ආකාරයට විවිධ ක්ෂේත්රවල සම්බාධක පැනවීමත් යුක්රේනයට නවීනතම ප්‍රබල අවි සැපයීමත් ප්‍රමුඛතාවය වුවද සාමය ඇති කර ගැනිමට කිසිදු උත්සාහයක් නොගැනීම එක්සත් ජනපදයේ දේශපාලන වුවමනාව පිළිබිඹු කරයි.
මෙවැනි පියවර සෑම ආක්රමණික රටක් සම්බන්ධයෙන් නොගැනීම ද කැපී පෙනෙන ලක්ෂණයකි. එක්සත් ජනපදය ඇෆ්ගනිස්ථානය, ඉරාකය, ලිබියාව මෙන්ම පැරණි යුගොස්ලාවියාව වැනි රටවල් ආක්‍රමණය කළ ද මෙවැනි තහනමක් හෝ සම්බාධක පැනවීමක් සිදු වූයේ නැත. ඒවා හැඳින්වූයේ ත්රස්තවාදයට එරෙහි යුද්ධ වශයෙනි. කුමන නාමයකින් හැඳින්වුව ද ඒ ප්‍රහාරවලින් සිදු වූයේ ජීවිත සහ දේපොළ විනාශ වීමකි. මෙම හිතුවක්කාර ප්‍රහාර නිසා කලින් සංවර්ධිත රටවලට සමාන ජීවන තත්වයක් පැවති ඉරාකය සහ ලිබියාව අද ඉතාම අසරණ තත්වයට පත්ව ඇත. මෙම රටවලින් යුරෝපයට පලා යන සරණාගතයන් සිය ගණනින් මධ්‍යධරණි මුහුදට බිලි වේ. එමෙන්ම මෙම කුරිරු යුද අපරාධ හෙළි කිරීම සම්බන්ධයෙන් විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ් දඩයම් කිරීම නොකඩවා සිදු වේ.
එහෙත් යුක්රේන රුසියානු යුද්ධය ඒ සියල්ලට වඩා වෙනස් ය. ඒ අන් කිසිත් නිසා නොව යුද්ධයේ ප්‍රතිඵල ලොව සියලු දෙනාටම බලපාන නිසාය. තෙල් සහ ධාන්‍ය මිලත් රසායනික පොහොර සැපයුම අඩාල වීමත් ලොව සියලූ රටවලට එකසේ බලපෑම් කරයි. එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය වැනි රටවල ජීවන වියදම පෙර නොවු ආකාරයෙන් ඉහළ යන්නේ ද යුද්ධය නිසා ය. හාස්‍යය වන්නේ එම රටවල පවතින මිල උද්ධමනයේ වගකීම ද රුසියානු ජනාධිපති පුටීන් මත පැවරීම ය.
පසුගිය සිය වසේ අවසන් භාගයේ දීත් මෙම සියවසේ මුල් දශක දෙක තුළත් ලොව විවිධ ප්‍රදේශවල හටගත් තවමත් නිමක් නැතිව පවතින යුද ගැටුම්වලින් කියවෙන පැහැදිලි සත්‍යය මූලික වශයෙන් ම එක්සත් ජනපදයේ පාලන බලය මෙහෙයවන අවි නිෂ්පාදන සමාගම් නිහඬ කරන තෙක් අවි ගැටුම් සහ සාගතය ලෝක උරුමයක් වීම ය. මෙම සැලසුම්කරුවන්ට ශ්‍රී ලංකාව වැනි රටවල් මුහුණ දෙන ආර්ථික අභියෝග තම උපාය මාර්ගික අවශ්‍යතා පුළුල් කිරීමට සහ තහවුරු කර ගැනීමට අවස්ථාවකි. එක්සත් ජනපදය චීනයට එරෙහිව ආසියාවේ ගොඩ නගා ඇති එකතුවක් වන ක්වොඩ් ( QUOD ) සංවිධානයෙන් ශ්‍රී ලංකාවට ආධාර සැපයීමට ඉදිරිපත් වීම එවැනි පියවරකි. එම නිසා යුද්ධයේ සැබෑ මුහුණුවර සහ එහි යටි අරමුණු තේරුම් ගැනීම වැදගත් ය.
- රටේ අනාගතය තීරණය වන දේශපාලන හැරවුම් ලක්ෂ්‍යය කොතැන ද? - November 19, 2024
- සමාජ පෙරළිය හිසරදයට කොට්ට මාරු කිරීමක් නොවිය යුතුය.. - November 4, 2024
- කැනඩා ඉන්දියානු තානාපති අර්බූදය ලෝක ආධිපත්‍යය සඳහා කරන අරගලයේම කොටසක්.. - October 24, 2024