දකින දෙයට ඔබ්බෙන් බැලිමට උත්සාහයක් නොගන්නා බොහෝ දෙනකුට අගමැති නරේන්ද්‍ර මෝදි ඉන්දියාව සමහර විට චීනය ද අභිබවා ආසියානු කලාපයේ දේශපාලන සහ ආර්ථික වශයෙන් ප‍්‍රබලම රට බවට පත් කිරීමේ අභියෝගයට මුහුණ දී ඇති සාර්ථක ම නායකයෙකි. භාරතීය ජනතා පක්ෂය පිට පිට දෙවතාවක් ම ලෝක් සභාවේ ජයග්‍රහණය කරා මෙහෙය වූ ඔහු සමහර විට තුන්වැනි වරටත් ජයග්‍රහණය කරනු ඇත. ලෝක් සභාවෙන් මෙන්ම ප්‍රාන්ත සභා මැතිවරණ වලින් පැරදුණ කොංග්‍රස් පක්ෂයට තවම අභ්‍යන්තර ආරවුල් විසඳා ගැනීමට නොහැකිව අවුලෙන් අවුලට පත්ව සිටී. මහා ගිරි කුළක් මෙන් නරේන්ද්‍ර මෝදි සියලු අභියෝග කුඩු පට්ටම් කරමින් ඉදිරියට ම යයි.
ඒ ජනමාධ්‍යයෙන් හුවා දක්වන මෙන් ම අපට දැකිය හැකි චිත්‍රය යි.
එහෙත් ප්‍රවීණ ජනමාධ්‍යවේදියෙකු මෙන්ම ඉන්දියාවේ ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් ආයතනයේ මෙහෙයුම්කරුවෙකු වන ආකාර් පතේල් සිය Price of Modi Years නම් කෘතියෙන් පෙන්වා දෙන ආකාරයට බැලිය හැකි යථාර්ථය දකින නැතිනම් හුවා දක්වන දෙයට වඩා බෙහෙවින් වෙනස් ය. පතෙල් පෙන්වා දෙන ආකාරයට 2014 දී නරේන්ද්‍ර මෝදි පළමු වරට අගමැති තනතුරට පත්වන විට බොහෝ දර්ශකවලින් ඉන්දියාව අත්කර ගෙන සිටි ස්ථානය ඔහුගේ පාලන සමයේ දී ක්‍රම ක්‍රමයෙන් පහත වැටී ඇත. ආහාර සුරක්ෂිත භාවය, තිරසාර සංවර්ධනය සහ Economic Forum ආයතනයේ මානව ප්‍රාග්ධනය ඇතුළත් දර්ශක 53කින් ඉන්දියාව 2014 ට වඩා පහත වැටී ඇත. මෙම කාල සීමාව තුළ ඉන්දියාව අත් කර ගෙන ඇති ‘‘ජයග්‍රහණයක්’’ වන්නේ ලොව කාන්තාවන්ට වඩාත් ම අනතුරුදායක රටවලින් අංක එක බවට පත්වීමයි.
රටක සංවර්ධනය මැනීමට යොදා ගැනෙන ප්‍රමුඛතම දර්ශකයක් වන්නේ ජනතාවට පහසු මිලට ආහාර පාන ලබා ගැනීමට ඇති හැකියාව ය. තම මූලික ආහාර අවශ්‍යතා පහසු මිලට ලබා ගත හැකිනම් ජනතාවගේ ආහාර සුරක්ෂිත භාවය තහවුරු වන අතර එය සමෘද්ධියේ ලක්ෂණය කි. ආණ්ඩුවෙන් ප්‍රකාශයට පත් කර ඇති සංඛ්‍යා ලේඛන උපුටා දක්වන පතේල් 2018 වසර වන විට, එනම් කොරෝනා වසංගතය කඩා වැදීමට පෙර, ඉන්දියාවේ දුප්පත් ම ජන කොටස්වල ආහාර පරිභෝජනය 2011-12 හා සසඳන විට පහත වැටී ඇති බව පෙන්වා දේ. එනම් මෝදි පාලනය යටතේ සංවර්ධනය වී ඇත්තේ සාගින්න යි. මෙම තත්වයට පාදක වන තවත් සාධකයක් වන්නේ විරැකියාව යි. කුමන ආකාරයේ හෝ රැකියාවක යෙදුණ ඉන්දියානුවන්ගේ සංඛ්‍යාව 2013 දී කෝටි 44ක් වූ අතර 2016 දී එම සංඛ්‍යාව කෝටි 41 දක්වා පහත වැටිණ. එය 2017 දී කෝටි 40ක් වී 2021 දී කෝටි 38 දක්වා ද පහත වැටුණේ ශ්‍රම බලකාය කෝටි 78 සිට 106 දක්වා වැඩි වූ පසුබිමක් තුළ ය. මෝදි පාලනය යටතේ සාගින්න මෙන් විරැකියාව ද ‘‘සංවර්ධනය’’ වී ඇත.
ලෝක බැංකු වාර්තාවක් උපුටා දක්වන පතේල් ශ‍්‍රම බලකා සහභාගිත්වය 2014 දී සියයට 51.4ක් වූ අතර 2020 දී 46.2 දක්වා පහත වැටී ඇතැයි පවසයි. කොරෝනා වසංගත තත්වය නිසා අහිමි වූ රැකියා ප‍්‍රමාණය සැලකිල්ලට ගත් විට මෙම අනුපාතය 40.7 දක්වා පහත වැටී ඇතැයි ඔහු පෙන්වා දේ.
විශේෂඥ මතය නොසලකා තමන්ට රිසි ප්‍රතිපත්ති තීරණ ගැනීම ද මෝදි පාලනයේ ලක්ෂණයකි. සංවර්ධනය වන බොහෝ රටවල මෙන් ඉන්දියාවේ ද ඉහ වහා ගොස් ඇති දූෂණය සහ ත්‍රස්තවාදය මර්දනය කිරීම සඳහා ඔහුගේ යෝජනාවක් වූයේ ඉහළ වටිනාකමක් ඇති මුදල් නෝට්ටු අවලංගු කිරීම ය. ඒ අනුව රුපියල් 500 සහ 1000 නෝට්ටු එකවරම අවලංගු කිරීමට ඔහු තීරණය කෙළේය. පතේල් පෙන්වා දෙන ආකාරයට ඉන්දියාව තුළ සංසරණය වන මුදල් නෝට්ටුවලින් සියයට 85 – 90 ක් අතර ප‍්‍රමාණයක් වන්නේ මෙම නෝට්ටු දෙක ය. මොදි තර්ක කළ ආකාරයට මෙම මුදල් යොදවන්නේ දූෂණ සහ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා ය. උත්ප‍්‍රාසය වන්නේ එම රුපියල් 500 සහ 1000 මුදල් නෝට්ටු අවලංගු කිරීමෙන් පසුව රුපියල් 2000 නෝට්ටුවක් නිකුත් කිරීම ය. රුපියල් 2000 නෝට්ටු ත්‍රස්තවාදි කටයුතුවලට හෝ දූෂණවලට යොදා ගත නොහැකිදැයි පැහැදිලි කිරීමක් නැත.
මෝදි තම දේශපාලන ප‍්‍රතිරූපය ගොඩ නගා ගැනීමට ඉතිහාසය පමණක් නොව සංඛ්‍යා ලේඛන පවා සාවද්‍ය ලෙස යොදා ගැනීමට පසුබට වන්නේ නැත. මේ බව හොඳින් ම පැහැදිලි කරන්නේ ඉන්දියාවේ මහ බැංකුව වන ඉන්දියානු ෆෙඩරල් සංචිත බැංකුවේ හිටපු ප්‍රධානි වයි වී රෙඩ්ඩි ය. ඔහු පවසන ආකාරයට
‘..ලොව සැම තැනකම අනාගතය අවිනිශ්චිත ය.. එහෙත් ඉන්දියාවේ අතිතය පවා අවිනිශ්චිත ය..’
ඉන් අදහස් වන්නේ මෝදි තම වුවමනාව අනුව අතීතයේ තොරතුරු සහ දත්ත පවා වෙනස් කිරීමට සූදානම් ය යන්නයි.
මෝදි ගේ ආණ්ඩුවෙන් ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන අනුව 2015-17 කාල පරිච්ඡේදයේ දී ඉන්දියාවේ දළ ජාතික නිෂ්පාදිතය සියයට 7.5කින් වැඩි වී ඇත. එය එම වසරවල චීනයේ දළ ජාතික නිෂ්පාදිතයේ වර්ධන වේගය ඉක්මවා යෑමකි. තවත් වසර කීපයකින් මෝදිගේ පාලනය යටතේ ඉන්දියාව ආර්ථික වශයෙන් චීනය අභිබවා යනු ඇතැයි බටහිර රටවල් උද්ධාමයට පත් වූයේ මෙවැනි සංඛ්‍යා ලේඛන අනුව ය. එහෙත් ආර්ථික වර්ධනයට පදනම් වන සංඛ්‍යා ලේඛන සහ දත්ත උපයෝගී කර ගන්නා පතේල් සියයට 7.5ක වර්ධන වේගය මිථ්‍යාවක් බව පෙන්නුම් කරයි. ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛන අනුව මෙම කාල සීමාව ඇතුළත ආයෝජන වර්ධනය සියයට 4.5කි. අපනයන වර්ධනය සියයට 2කි. දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂකව ණය නිකුත් කිරීම සියයට 2කින් පහත වැටී ඇත. ඉන්දියාවේ සුප්‍රකට ආර්ථික විද්‍යඥයකු වන සුබ්‍රමනියම් ගේ විශ්ලේෂණයක් අනුව 1991- 2015 අතර කාලයේ දී සියයට 7.5ක වර්ධන වේගයක් අත් කර ගත් වෙනත් රටවල් සමග සැසඳීමේ දී මෙවැනි ආයෝජන සහ අපනයන මට්ටමක දී ආර්ථික වර්ධනය බින්දුවට වඩා වැඩි නොවේ. ඔහුගේ ගණන් බැලීම අනුව ඉන්දියවේ ආර්ථික වර්ධන වේගය සියයට 5ට වඩා වැඩි විය නොහැකිය.
අගමැති මෝදි ප්‍රචලිත කරන තවත් මිථ්‍යා මතයක් වන්නේ ඔහුගේ පෞද්ගලික සම්බන්ධතා මත බරපතළ එමෙන්ම සංකීර්ණ රාජ්‍ය තාන්ත්‍රික ගැටලු පවා විසඳා ගැනීමට හැකිය යන්නයි. නිදසුනක් වශයෙන් මෝදි ගුජරාටයේ මහ ඇමතිව සිටිය දී සිවු වරක් ද, අගමැති තනතුරට පත්වීමෙන් පසුව පස් වරක් ද චීනයේ සංචාරය කෙළේය. මෙවැනි සමීප සම්බන්ධතා තුළින් චීනය සමග පවතින දේශසීමා ප්‍රශ්නය විසඳා ගත හැකිවනු ඇතැයි ඔහු උදම් ඇනුවේ ය. එහෙත් දෙරට අතර මත භේදයට තුඩු දී ඇති ලඩාක් ප‍්‍රදේශයේ නැවත වරක් අවි ගැටුම් ඇතිවීම වැළැක්වීමට එය ප්‍රමාණවත් වූයේ නැත.
පාකිස්ථානය සමග ඇති ගැටුම් ද පෞද්ගලික සම්බන්ධතා මත විසඳා ගත හැකියැයි ඔහු විශ්වාස කෙළේය. ඔහු එවකට පකිස්ථානයේ අගමැති වූ නවාස් ෂරීප්ගේ මිනිපිරියකගේ විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගි වූයේ ද පෞද්ගලික සම්බන්ධතා තර කර ගැනීමට ය. එහෙත් ඊට මාස කීපයකට පසුව පතන්කොට් යුරි සහ පුල්වනා දේශසීමා ප‍්‍රදේශවල පකිස්ථානය පදනම් වූ ත්‍රස්තවාදි කණ්ඩායම් ප‍්‍රහාර එල්ල කිරීම ඔහු කිසිවිටෙක බලාපොරොත්තු නොවු තත්වයකි.
විවිධ ජාතීන්, භාෂා සහ ආගම් පවතින ඉන්දියාවට ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී රටක් වශයෙන් ඉදිරියට යෑමට නම් විවිධත්වයට ගරු කරන ජාතින් සහ වාර්ගික කණ්ඩායම් අතර අවබෝධය සහ විශ්වාසය තහවුරු කරන පාලන ක්‍රමයක් ස්ථාපිත කිරීම අනිවාර්ය ය. එහෙත් හින්දූත්වය පදනම් කර ගත් භාරතීය ජනතා පක්ෂයේ නායකත්වය යටතේ මෝදි සුළු ජාතීන්ට සහ වාර්ගික කණ්ඩායම්වලට යුක්තිය සහ සාධාරණත්වය ඉටු කිරීමට සූදානම් නැත. එය හොඳින් ම දැක්වෙන්නේ ඉන්දියාවේ විශාලතම සුළු වාර්ගික, ආගමික කණ්ඩායම වන මුස්ලිම් ජන කොටසට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන ආකාරයෙනි. ගව ඝාතනයට එරෙහි ව්‍යාපාරය මූලික වශයෙන් ම මුස්ලිම් ජන කොටස ඉලක්ක කර ගත් එකකි. ගවයන් මැරීම පමණක් නොව මළ ගවයෙකු ගේ සම ගැනීමට මස් කිරීම පවා වරදකි. මළ ගව සිරුරු සම ගැසීමේ යෙදී සිටි මුස්ලිම් සහ දලිත් පිරිස්වලට පහර දී මරා දැමීම නීතියෙන් පවා සහනයක් ලබා ගත නොහැකි කරුණකි. මෙම තත්වයට ප්‍රතිචාර දැක්වීමට ජනතාව ද නව උපාය මාර්ග යොදා ගත් ආකාරය ද පතේල් විස්තර කරයි.
මළ ගවයන්ගේ සම ඉවත් කිරීම අපරාධයක් යැයි දඬුවම් කිරීම නිසා කෝපයට පත් ගුජරාට් ප්‍රාන්තයේ සුරේන්ද්‍රනගර් හි දලිත් කණ්ඩායමක් මළ ගවයන්ගේ සිරුරු පිරවූ ට‍්‍රක් 15ක් ප‍්‍රදේශයේ ආදායම් පාලකගේ කාර්යාලය ඉදිරියට ගෙන ගොස් ගොඩ ගැසුවේ ‘ මේ ඔබගේ අම්මාය. ඇය රැකබලා ගන්න’ යනුවෙන් පවසමිනි. අවසානයේ එම ගව කුණු ආණ්ඩුවේ වියදමින් පුළුස්සා දැමීමට සිදු විය.
ආකාර් පතෙල් මෙම කෘතියෙන් පැහැදිලි කරන තවත් වැදගත් ම කාරණයක් වන්නේ මෝදිගේ ආගම්වාදී වර්ගවාදී පාලනය පසු බැස්සවිය හැක්කේ ඔහු යොදා ගන්නා ප්‍රචණ්ඩත්වයට එරෙහිව සාමකාමී අරගලය තුළින් ය යන්නයි. ඊට නිදසුන් දෙකක් දක්වා ඇත. එකක් බහුජන සංවිධානවල විරෝධය මධ්‍යයේ සම්මත කර ගත් නව පුරවැසි පනතයි. අනෙක වගා කටයුතු ප්‍රතිසංස්කරණ පිළිබඳ ව සම්මත කර ගත් පනත් තුනයි. මෙම අවස්ථා දෙකේ දීම ඇති වූ මහජන විරෝධතා නිසා මෝදිට ඒවා ඉවත් කර ගැනීමට සිදු විය. පුරවැසි පනතට එරෙහි අරගලයට නායකත්වය දුන්නේ නව දිල්ලියේ මුස්ලිම් කාන්තාවන් ය. වගා කටයුතු පිළිබඳ පනත් ඉවත් කර ගැනීමට පංජාබයේ ගොවීන් ගෙන ගිය දිර්ඝ වූ දුෂ්කර සටන ඉන්දියාවේ මෑත ඉතිහාසයේ කැපී පෙනෙන ජන අරගලයකි.
මෝදි ගේ පාලනය යටතේ අධ්‍යාපනය, නීතිය සහ අධිකරණය මෙන්ම පරිපාලනය යන ක්ෂේත්‍රවල ඇති වූ පරිහානිය මැනැවින් විස්තර කෙරෙන මෙම කෘතිය ඉන්දියානු දේශපාලනය පිළිබඳ කදිම පිළිබිඹුවකි.
- නෙතන්යාහු අත් අඩංගුවට ගැනීමේ නියෝගය තවත් පුස් වෙඩිල්ලක්? - November 25, 2024
- රටේ අනාගතය තීරණය වන දේශපාලන හැරවුම් ලක්ෂ්‍යය කොතැන ද? - November 19, 2024
- සමාජ පෙරළිය හිසරදයට කොට්ට මාරු කිරීමක් නොවිය යුතුය.. - November 4, 2024