You are currently viewing පාලන අර්බුදය විසඳීම සඳහා සම්මුතියකට ඒම..

පාලන අර්බුදය විසඳීම සඳහා සම්මුතියකට ඒම..

අද රට තුළ ඇති අර්බුදය ගැන ගමේ වචනයෙන් කිය හැක්කේ රැවුල ගිනි ගැනීමක් ලෙස ය. අප හැමගේ මුඛ්‍ය කාර්යභාරය වනුයේ ගෙවී යන සෑම තත්පරයක් පාසාම රට තවදුරටත් අගාධයට යෑමට ඉඩහැරීමෙන් හා මතු පරම්පරාව සදාකාලික ණයකාර යාචකත්වයට යෑමෙන් බේරා ගැනීමය. විශිෂ්ටතම දේ ලැබීම ඉතාම හොඳය. එනමුත් විශිෂ්ටතම දේ නොලැබෙන තුරු තියෙන දේත් විනාශ කරමින් ගින්න නිවීමට වඩා සුරුට්ටුව පත්තුකර ගැනීමට මාන බැලීම නුසුදුසුය.

රට සාමාන්‍යකරණයට පත් කරගන්නා තුරු රටේ සේවා හා ද්‍රව්‍ය නිෂ්පාදනය විශාල ලෙස කඩා වැටීම ගොඩගත නොහැක. කර්මාන්තශාලා බොහොමයක් වැසීයන්නේ කිසිදා යළි නොනැගිටින ලෙසිනි. අහිමි වන රැකියා ද, රැකියා අවස්ථාද ජන ජීවිතයටත්, ආර්ථිකයටත් මරු පහරකි. පෙරහැරක් ලෙස දිනපතා රට හැර යන ශ්‍රම බලකාය කිසිදා ආපසු නොඑනු ඇත. වාණිජ හා පරිභෝජන වගාවන් යළි ගොඩ ගැනීම සිහිනයකි. කියහැකි හානියේ අවසානයක් නැත. සුරුට්ටුව පත්තුකර ගැනීම සඳහා ගින්නට ආවැඩීම හා ඉන් වාසි ලැබීම දැන්වත් නතර කර ගත යුතුය.

නොකෙරෙන වෙදකමට ශාප කරමින් කල්මැරීම පසුවට තබා මේ මොහොතේ ඇති යථාර්ථය මත කළ යුතු, කළ හැකි හොඳම දේ නොපමාව කිරීම අවශ්‍යය. පහතින් දක්වා ඇති යෝජනාවලියට වඩා හොඳ ඒවා පාඨක ඔබ අත ඇති බව සිතමි. කිසියම් මාධ්‍යයකින් ඒවා ජනගත කිරීම ජාතික යුතුකමකි.

මෙම යෝජනාවලියෙත් අන්තර්ගතයේ සාරාංශය මෙසේ ය.

විධායක සාරාංශය

  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනයක් හෝ මැතිවරණයක් එන තුරු විසඳුම් පමා කළ නොහැක. මෙම යෝජනා පවතින රාමුව තුළ ම ක්‍රියාවට නැංවිය හැක.
  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි නොවන මෙය පාලන බලය පිළිබඳ ක්‍රමවේද වෙනසකි (System Change).
  • ක්‍රමවේද වෙනස කරනුයේ ව්‍යවස්ථාපිත බලය පැවරීමේ (Deligation of Authority) සම්මුතියකිනි
  • වංචා, දූෂණ හා රාජ්‍ය දේපළ මංකොල්ලය ආදිය මෙතෙක් කර ඇත්තේ රාජ්‍ය ප්‍රතිපත්තිය තීරණයේ දී නොව එය මෙහෙයවීමේ දී හා ක්‍රියාවට යෙදවීමේදීය. (Managing & Implementing).
  • මෙම යෝජනාව අනුව මෙහෙයවීමේ හා ක්‍රියාවට යෙදවීමේ කාර්යය දේශපාලකයන්ගෙන් ඉවත් කර, රාජ්‍ය ප්‍රතිපත්තිය තීරණය කිරීමේ කාර්යය පමණක් දේශපාලකයන්ට භාර කෙරේ.
  • විධිමත් ව අනුමත කළ රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීමේ හා ක්‍රියාවට යෙදවීමේ කාර්යය පහතින් විස්තර කර ඇති ආකාරය වැනි සුදුසු ක්‍රමවේදයකින් තෝරා ගන්නා ප්‍රවීණ නිලධාරීන්ට පැවරේ.
  • කළ යුත්තේ කුමක් ද (What to do) යන්න පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තිය ව්‍යවස්ථාදායකය වශයෙන් පාර්ලිමේන්තුව විසින් තීරණය කරනු ලබයි.
  • කළ යුත්තේ කෙසේද (How to do) යන්න පිළිබඳ රාජ්‍ය ප‍්‍රතිපත්තිය විධායකයේ ජනතා නියෝජිතයන් වශයෙන් ජනාධිපතිවරයා ප‍්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරනු ලබයි.
  • ව්‍යවස්ථාවේ හා අනිකුත් නීතිරීති අනුව විධායකය, පාර්ලිමේන්තුවට වගකීමට හා උත්තර දීමට බැඳී ඇති අතර විධායක කාර්ය පිළිබඳ ව අධීක්‍ෂණය කිරීමට, මග පෙන්වීමට හා අවශ්‍ය උපදෙස් ලබා දීමට පාර්ලිමේන්තුව දැනටත් ක්‍රියා කරයි.
  • එම ක්‍රියාවම දිගුවක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කාරක සභා ලෙස ගොනු වී අමාත්‍යවරයාගේ කාර්යභාරය සාමූහිකව ඉටු කිරීම මේ යටතේ  යෝජිත ය.
  • එය ඩොනමෝර් ක්‍රමයේ පැවති විධායක කාරක සභාවලට හා එම විධායක කාරක සභාවල සභාපතිවරයා අමාත්‍යවරයා ලෙස ක්‍රියා කිරීමට තරමක් සමාන වීමකි.
  • කාරක සභාව තුළ සියලු සාමාජිකයන් සමාන වන අතර එහි සභාපති ධුරයට පත්වන්නා අමාත්‍යවරයා ලෙස පත්කිරීමටද සම්මුතිගතවීම අවශ්‍යය.
  • එම කාරක සභාව තුළ තීරණ ගැනීමේ බලස ඇත්තේ කාරක සභාවට මිස අමාත්‍යවරයාට නොවේ.
  • අමාත්‍යවරයාගේ එක් ප්‍රධාන කාර්යයක් වනුයේ කාරක සභාවේ නියෝජිතයා හා ප්‍රධානියා ලෙස අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ ප්‍රධානියා වන අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රමුඛ නිලධාරීන් සමග සම්බන්ධ වීමය.
  • අමාත්‍යවරයාගේ අනෙක් ප්‍රධාන කාර්යභාරයන් වනුයේ කාරක සභාවේ නියෝජිතයා හා ප්‍රධානියා ලෙස අමාත්‍ය මණ්ඩලය සමගත්, පාර්ලිමේන්තුව සමගත් සම්බන්ධ වීමය. 
  • මේ ක්‍රමය යටතේ  වංචා දූෂණාදිය අවම වීම, නිලධාරීන් දේශපාලන අතකොළු නොවීම, විධායක කාරක සභාත් අමාත්‍ය මණ්ඩලයත් සර්ව පාක්‍ෂික වීම, අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අවශ්‍ය දේශපාලන සංහිඳියාව ඇති වීම වැනි වාසි ලැබෙනු ඇත.‍
  • මෙම යෝජනාවලිය යටතේ ලැබෙන සුවිශේෂීම වාසිය නම් රාජ්‍ය නිලධාරීන්ට පසු ගිය අඩ සියවස තුළ අහිමි වූ සමාජ පිළිගැනීම, ගෞරවය හා සේවා සංතෘප්තිය ප්‍රතිෂ්ඨාපනයට මෙමගින් යළි දොරටුව විවර වීමයි.

හැඳින්වීම.

  • පහතින් විස්තර කර ඇති මෙම යෝජනාවලිය සකසා ඇත්තේ පවත්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට පටහැනි නොවන ක්‍රමවේද වෙනසකින් (System Change) පාලන අර්බුදය විසඳීම සඳහා ය.
  • පාලන යන්ත්‍රයේ ඇති පාලන අර්බුදය නොවිසඳා, අද පවත්නා ආර්ථික අර්බුදය විසඳිය නොහැකි බව පෙනේ. මෙම යෝජනාවලිය ආර්ථික අර්බුදය විසඳීමට පාදක වන පාලන අර්බුදය විසඳීම සඳහා මිස ආර්ථික අර්බුදය විසඳීමට ඍජුව සැකසූවක් නොවේ.
  • පාලන යන්ත්‍රයේ සිටින පුද්ගලයන් වෙනුවට වෙනත් අය යෙදවීමෙන් පමණක් පාලන අර්බුදය විසඳීමට නොහැක්කේය. අවශ්‍ය ප්‍රමාණයට වෙනත් අය යෙදවීම ඉතා අවශ්‍ය නමුත් එයද කළ යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මෙන් ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පදනමට පටහැනි නොවන අයුරෙන් පමණකි.
  • ක්‍රමවේද වෙනසක් නොකර අර්බුදය විසඳීමට නොහැකි බව බොහෝ දෙනෙක් සිතති. අරගලකරුවන් ද, උද්ඝෝෂකයන්ද ප්‍රධාන ලෙස ම ඉල්ලන්නේ ක්‍රමවේද වෙනසකි (System Change).
  • නිත්‍ය හා නීත්‍යනුකූල ක්‍රමවේද වෙනසක් තිරසාර ව ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ද අවශ්‍ය වනු ඇත. එවැන්නක් සඳහා ද, මැතිවරණ පැවැත්වීම සඳහා ද යම් කාලයක් ගත වේ. මෙම යෝජනාවලිය පවත්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ ද නොපමාව ක්‍රියාත්මක කිරීමට හැක. එසේම සංශෝධිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක දී මෙම යෝජනාවලියේ  පදනම නීත්‍යනුකූල ව  විධිමත් කළ හැක.
  • එතෙක් මෙම යෝජනාවලියේ  පදනම සම්මුතිගතව ක්‍රියාත්මක කිරීමට හැක.
  • සම්මුතිගත වීමට එකඟ විය යුතු පාර්ශව වනුයේ ජනාධිපතිවරයා, අමාත්‍යවරු, මන්ත්‍රීවරු, පාර්ලිමේන්තු සභාව හා අදාළ නිලධාරීන් ය.

මෙම යෝජනාවලියට පදනම්වන පවත්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන.

  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 විධිවිධානය පරිදි දැක්වෙන ජනතා පරමාධිපත්‍යයේ පාලන බලතලවල ව්‍යවස්ථාදායක හා විධායක නැමැති පාලන බලතල දෙක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(අ) හා 4(ආ) විධිවිධානයන්හි පහත පරිදි දැක්වේ.
  • 4(අ) ව්‍යවස්ථාව

 ‘4(අ) ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ජනතාව විසින් තෝරා පත් කර ගනු ලබන මන්ත්‍රීවරයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව විසින් ද, ජනමත විචාරණයකදී ජනතාව විසින් ද ක්‍රියාත්මක කළ යුත්තේය.’

ලෙසින් දැක්වේ. ඒ අනුව ජනරජයේ රාජ්‍ය ප්‍රතිපත්තියට අදාළ සෑම කරුණකට ම අදාළ රාජ්‍ය ප්‍රතිපත්තිය කුමක් විය යුතුද (What to do) යන්න තීරණය කරනුයේ ජනතාව විසින් තෝරා පත් කර ගනු ලබන මන්ත්‍රීවරයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව විසින් ය. මෙය වෙස්ට්මිනිස්ටර් (Westminster Model) ආකෘතියට සැකසුණු සෑම රාජ්‍යයකම භාවිතයයි.

මෙහිදී මතුවන අතුරු කරුණක් ද වැදගත්ය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 99(අ) විධිවිධානය පරිදි ජාතික ලැයිස්තුවේ ඇතුළත් හෝ එම පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්‍ෂකයන්ට හෝ පත් කළ මන්ත්‍රී ධුර සඳහා හිමිකම ලැබෙන අතර ‘ජනතාව විසින් තෝරා පත්කර ගනු ලබන මන්ත්‍රීවරයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව’ යන්නෙන් කිසියම් කුඩා කණ්ඩායමක් විසින් යෝජනා කරන මන්ත්‍රීවරයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවක් අදහස් නොකරන බව පෙනේ. එනිසා මන්ත්‍රීවරු 225 දෙනාම පන්නා දමා නවකයන් පත්කරනුයේ කිසියම් කුඩා කණ්ඩායමක් විසින් නම් එවැන්නක් උචිතද යන්න ගැටලුවකි.

  • 4(ආ) ව්‍යවස්ථාව

4(ආ) ව්‍යවස්ථා විධිවිධානය යටතේ,

‘රටේ ආරක්‍ෂාව ඇතුළුව ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරා පත් කර ගනු ලබන ජනරජයේ ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ යුත්තේය.’

ලෙසින් දැක්වේ. ඒ අනුව ජනරජයේ රාජ්‍ය ප‍්‍රතිපත්තිය කෙසේ ක්‍රියාත්මක කළ යුත්තේ ද (What to do) යන්න තීරණය කරන අධිකාර බලය ජනරජයේ ජනාධිපතිවරයාට පැවරේ. මේ යටතේ ජනරජයේ ජනාධිපතිවරයාට තම විධායක බලය ක්‍රියාත්මක කිරීමට විධායකයේ ඉහළ ම ස්ථරයන් වන අමාත්‍ය මණ්ඩලය ද, සියලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද පත් කර ගැනීමට හිමිකම ඇත.

  • ඉහත කරුණේ දී මෙන් ම මෙහිදීද 38 ව්‍යවස්ථාව අනුව ජනාධිපතිධුරය හිස් වූ විට හෝ හිස් කළ විට 40 ව්‍යවස්ථාව අනුව ඉතිරි ධුර කාලය සඳහා අනුප්‍රාප්තිකයෙකු පත් කිරීම ව්‍යවස්ථානුකූල වුවද ඔහු හෝ ඇය ජනතාව විසින් තෝරා පත් කර ගනු ලබන්නෙක් නොවන බව අප වටහාගත යුතුය.
  • මෙම විධායක කාර්යය හා සම්බන්ධිත 43 ව්‍යවස්ථාව අනුව ‘ජනරජයේ පාලනය මෙහෙයවීම සහ ඒ පාලනය පිළිබඳ විධානය භාර අමාත්‍ය මණ්ඩලයක් වන්නේ ය. අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුවට සාමූහික ව වගකීමට සහ උත්තර දීමට බැඳී සිටින්නේ ය.’ ලෙසින් දැක් වේ.
  • මේ අනුව ජනාධිපතිවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයේ කාර්යභාරය විය යුත්තේ ‘ජනරජයේ පාලනය මෙහෙයවීම සහ ඒ පාලනය පිළිබඳ විධානය භාරව සිටීමය. එනම් පාර්ලිමේන්තුව විිසින් තීරණය කරනු ලබන කුමක් කළ යුතු ද යන රාජ්‍ය ප්‍රතිපත්තිය කෙසේ ක්‍රියාත්මක කළ යුත්තේ (What to do) යන්න තීරණය කිරීමය.
  • වෙස්ට්මින්ස්ටර් ආකෘතියට අනුව රාජ්‍ය ප‍්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමේ (Implementing Function) කාර්යභාරය ඉටු කරනුයේ රාජ්‍ය නිලධාරීන් විසිනි. රාජ්‍යයක රාජ්‍ය ප්‍රතිපත්තිය කුමක් ද හා කෙසේ කළ යුතු ද (What to do & How to do) යන්න ජනතා නියෝජිතයන් විසින් තීරණය කළ පසු එය දේශපාලන හෝ වෙනත් අයුතු බලපෑම්වලින් තොරව අපක්‍ෂපාතීයවත්, ස්වාධීනවත්, දූෂණයෙන් තොරවත් ඉටු කිරීම නිලධාරීන්ට භාර කටයුත්තකි. එසේ නොකළහොත් එවිට පීඩාවට පත් වෙන්නේ පොදු ජනතාවය.

ව්‍යවස්ථාමය විධිවිධාන පිළිබඳ ව සම්මුතිගතවීම.

  • ව්‍යවස්ථාවේ 52(2) විධිවිධාන ප‍්‍රකාරව අමාත්‍යවරුන්ට ලැඛි ඇති අත්‍යන්ත බලය නිසා අමාත්‍යවරුන්ට වංචා හා දූෂණ චෝදනා එල්ල වීමටත්, විශාල ලෙස වංචා හා දූෂණ කිරීමටත් ඉඩකඩ ලැබී ඇත. අමාත්‍යවරයාගේ විධායක බලය ව්‍යවස්ථාවේ 52(2) හි මෙසේ දැක්වේ. ‍

‘52(2) අමාත්‍යාංශයක ලේකම්වරයා ඔහුගේ අමාත්‍යවරයා භාරයේ ඇති ආණ්ඩුවේ දෙපාර්තමේන්තු ද වෙනත් ආයතන ද අමාත්‍යවරයාගේ විධානයට හා පාලනයට යටත් ව මෙහෙයවන්නේ ය.’

  • යහපත් රාජ්‍ය පාලනයක් සඳහා පිහිටුවා ඇති මුදල් රෙගුලාසි, ටෙන්ඩර් පටිපාටි, පාර්ලිමේන්තු පනත් ආදී සියලු විධිවිධාන, අමාත්‍යවරුන්ට ලැබී ඇති මෙම ව්‍යවස්ථානුකූල අත්‍යන්ත බලය මගින් නිෂ්ක්‍රීය කරයි. යටපත් කරයි. අමාත්‍යාංශ ලේකම්වරයා හා එහි සියලු නිලධාරීන් අමාත්‍යවරයාගේ විධානයට හා පාලනයට යටත් කර මෙහෙයවීමට අමාත්‍යවරුන්ට ලබා දී ඇති මෙම බලය ක්‍රියාත්මක නොකිරීමට අමාත්‍යවරුන් සමග සම්මුතියකට ඒම අත්‍යාවශ්‍යය.
  • 1978 සිටම ව්‍යවස්ථාවේ සිංහල පිටපතේ ඇති ඉහත කී ‘මෙහෙයවන්නේය.’ යන්න ඉංග්‍රීසි පිටපතේ දක්වා ඇත්තේ Exercise Supervision යනුවෙනි. එය සදොස්ය. මෙහෙයවීම යන්න අධීක්‍ෂණය යන්නට වඩා ඉතා බලගතුය. පුළුල් ය. අධීක්‍ෂකවරයා ක්‍රියාකාරී කණ්ඩායමට අයත් නැති අතර විධාන දීමේ බලයක් ඔහුට නැත. මෙහෙයවන්නා ක්‍රියාකාරී කණ්ඩායමට අයත්ය. ඔහු කණ්ඩායමට විධාන දීමේ බලය උසුලන ප්‍රධානියා ය. ව්‍යවස්ථාවේ වලංගු අර්ථකථනය වනුයේ ඉංග්‍රීසි පිටපත නොව සිංහල පිටපතය. ඉංග්‍රීසි පිටපත පමණක් කියවන්නෙකු මෙම ව්‍යවස්ථානුකූල අත්‍යන්ත බලය කෙතරම් භයානක ද, හානිකර ද යන්න නොදනී.
  • සමස්ත රාජ්‍ය සේවයම දේශපාලන ග‍්‍රහණයෙන් මුදවා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය සමග සම්මුතියකට ඒම තවත් අත්‍යාවශ්‍ය කරුණකි. වෙස්ට්මින්ස්ටර් ආකෘතිය යටතේ රාජ්‍ය නිලධාරීන් දේශපාලන ග‍්‍රහණයෙන් මුදවා ගැනීම සඳහා මෙරට පැවති රාජ්‍ය සේවා කොමිසම 1972 ජනරජ ව්‍යවස්ථාවෙන්  අහෝසි කරන ලදී. එහි 110 හා 111 ව්‍යවස්ථා යටතේ රාජ්‍ය සේවා උපදේශක මණ්ඩල හා රාජ්‍ය සේවා විනය මණ්ඩල පිහිටුවමින් රාජ්‍ය සේවා කොමිසමේ ප‍්‍රධාන කාර්යභාරය අමාත්‍ය මණ්ඩලයට පැවරිනි. 1978 ව්‍යවස්ථාවෙහි  54 ව්‍යවස්ථාව යටතේ රාජ්‍ය සේවා කොමිසම යළි පිහිටුවද 55 ව්‍යවස්ථාව යටතේ රාජ්‍ය සේවා කොමිසමට ලබා දී ඇත්තේ ඉතාමත්ම ස්වල්ප බලයකි. රාජ්‍ය සේවය පිළිබඳව තීරණ ගැනීමේදීද, විශේෂයෙන් 55(2) ව්‍යවස්ථාව යටතේ දෙපාර්තමේන්තු ප‍්‍රධානීන් පත්කිරීම ඇතුළු කටයුතු පිළිබඳව තීරණ ගැනීමේදීද ව්‍යවස්ථානුකූල බලධරයා අමාත්‍ය මණ්ඩලයයි. එහි සැබෑ බලය රාජ්‍ය සේවා කොමිසමට ලබා දී අමාත්‍ය මණ්ඩලයට නාමික බලය පමණක් රඳවා ගැනීමේ සම්මුතියකට ඒමට කිසිම ව්‍යවස්ථානුකූල බාධාවක් නැත.
  • යහපත් රාජ්‍ය පාලනයක් සඳහා ජනාධිපතිවරයා ද තම ව්‍යවස්ථානුකූල බලය නිර්පාක්‍ෂික ස්වාධීන කමිටුවක හෝ කමිටුවල නිර්දේශ මත ක්‍රියාත්මක කිරීමේ සම්මුතියකට ඒම අවශ්‍යය. මෙහිදී 52(1) ව්‍යවස්ථාව යටතේ කෙරෙන අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරීම විශේෂය. එසේම 33(4) හා 35(ඈ) (ඉ) ව්‍යවස්ථා යටතේද, එබඳු වෙනත් සමානරූපී ව්‍යවස්ථා යටතේද ක්‍රියා කිරීමේ දී ජනාධිපතිවරයා තම ව්‍යවස්ථානුකූල බලය ක්‍රියාත්මක නොකර ඉහත කී පරිදි නිර්දේශ මත ක්‍රියාත්මක කිරීමේ සම්මුතියකට ඒම සුදුසු ය.
  • ජනාධිපතිවරයා විසින් කරනු ලබන පත්කිරීම් අතුරෙන් අවම වශයෙන් යෝජිත නව අමාත්‍යාංශ ලේකම්වරුන් පත්කරන නිර්පාක්‍ෂික ස්වාධීන කමිටුවවත් ජනතා විශ්වාසය රැකිය හැකි එකක් විය යුතුය.
  • 41 ව්‍යවස්ථාව යටතේ ඇති පාර්ලිමේන්තු සභාව හෝ වර්තමාන රාජ්‍ය සේවා කොමිසම නිර්පාක්‍ෂික හෝ ස්වාධීනයයි ජනතා විශ්වාසයක් නැත. එනිසා නිර්පාක්‍ෂික ස්වාධීන යයි විශ්වාස කළ හැක. 41(ඇ) ව්‍යවස්ථාව යටතේ දැනටමත් පත්කර ඇති ඉහළ රාජ්‍ය නිලධාරීන් හත් දෙනෙකු මෙම කමිටුවට පත් කිරීම සුදුසුය. ඔවුන් ඉවත්කළ හැක්කේ ව්‍යවස්ථාව ප‍්‍රකාරව පමණක් වන නිසා ඔවුන්ගේ ස්වාධීනත්වය ව්‍යවස්ථාව යටතේ තහවුරු වී ඇත.‍ එම හත් දෙනා ලෙස,
  1. අග‍්‍ර විනිශ්චයකාරවරයා,
  2. අභියාචනාධිකරණයේ සභාපතිවරයා,
  3. නීතිපතිවරයා,
  4. විගණකාධිපතිවරයා,
  5. ඔම්බුඩ්ස්මන්වරයා,
  6. පාර්ලිමේන්තු මහ ලේකම්වරයා,
  7. පොලිස්පතිවරයා නම් කළ හැක.
  • මෙහි යම් අයෙකු පත් කර ඇත්තේ දේශපාලන හේතු මතයයි චෝදනාවක් ඒමට ඉඩ ඇති විටෙක හෝ වෙනත් ප්‍රබල හේතුවක් ඇති විටෙක ඔහුව පත් නොකිරීම හෝ ඔහු වෙනුවට එම ආයතනයේ ඊළඟ ජ්‍යේෂ්ඨතමයා පත් කිරීම සුදුසුය.
  • අමාත්‍යාංශ ලේකම්ධුර පිරි නැමිය යුතු වන්නේ හා පිරි නොනැමිය යුතු වන්නේ කාටද යන්නට පැහැදිලි නිර්ණායක තිබිය යුතුය. (සුදුසුකම් හා නුසුදුසුකම් නිශ්චිතව ප‍්‍රසිද්ධ කළ යුතුය.)
  • ඔවුන් සියලූ දෙනා දූෂණ චෝදනා නැති, පක්‍ෂ දේශපාලනයට නොගෑවුණු, ජ්‍යේෂ්ඨතාව හා කුසලතාව සහිත දැනටමත් රාජ්‍ය සේවයේ ඉහළ මාණ්ඩලික නිලධාරීන් වීම සුදුසුය.
  • සුදුසුම පුද්ගලයන්ට මෙම අමාත්‍යාංශ ලේකම්ධුර පිරි නැමීම නිශ්චිත ඉතා කෙටි කාලයක් තුළ නිම කිරීම සුදුසුය.
  • එම අමාත්‍යාංශ ලේකම්ධුර සඳහා නම් නිර්දේශ කළ හැක්කේ කාටද යන්න නිශ්චිතව ප්‍රසිද්ධ කළ යුතුය. ශ්‍රී ලංකා පරිපාලන සේවය, ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවය, ශ්‍රී ලංකා ඉංජිනේරු සේවය, වෛද්‍ය සේවය, නීතිඥ සේවය, ගුරුවරුන්ගේ, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සේවා ආදී එක් එක් වෘත්තියට, සේවාවට හෝ ක්‍ෂේත්‍රයට අදාළ ප්‍රධාන සේවා සංගමයට ඒ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසීම සුදුසු ය.
  • තවත් ඉතා වැදගත් සම්මුතිගතවීමක් අවශ්‍යය. යහපත් නිර්දේශපාලනික රාජ්‍ය පාලනයක් සඳහා 41 ව්‍යවස්ථාව ප‍්‍රකාරව පෙර පැවති ව්‍යවස්ථාදායක සභාව වෙනුවට 20 සංශෝධනය යටතේ පිහිට වූ පාර්ලිමේන්තු සභාව දැනට එසේම තිබිය දී එම පාර්ලිමේන්තු සභාවද නිර්පාක්‍ෂික ස්වාධීන කමිටුවක හෝ කමිටුවල නිර්දේශ මත ක්‍රියාත්මක වීමේ සම්මුතියකට ඒමද අවශ්‍යය.
  • ව්‍යවස්ථාපිත විධිවිධාන එසේම තිබියදී පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරිත්වයේද යම් සම්මුතීන් මගින් යහපත් රාජ්‍ය පාලනයක් සඳහා කටයුතු සැලසීම සුදුසුය
  • මෙහිදී විධායකය පාලනය කිරීමට හා අධීක්‍ෂණය කිරීමට පාර්ලිමේන්තුවේ විශේෂ අවධානය යොමු වීම සුදුසු බව පෙනේ. 4(අ), 43(අ), 75, 148-154 ආදී ව්‍යවස්ථා ප‍්‍රකාරව පාර්ලිමේන්තුවට ඇති ව්‍යවස්ථාපිත අධිකාර බලයට අමතරව ස්ථාවර නියෝග යටතේ ද විධායකය පාලනය කිරීමට හා අධීක්‍ෂණය කිරීමට වගකීමක් හා අධිකාර බලයක් පාර්ලිමේන්තුවට ඇත. මෙම යෝජිත ක්‍රියාවලිය, දැනටද ක්‍රියාත්මකව පවතින ස්ථාවර නියෝග අංක 17 සිට 75 දක්වා සභා ගර්භය (House) වශයෙනුත්, ස්ථාවර නියෝග අංක 93 සිට 135 දක්වා පාර්ලිමේන්තුවේ කාරක සභා (Committees of Parliament)  වශයෙනුත් කෙරෙන කටයුතුවල ම දිගුවකි.
  • ඩොනමෝර් ක්‍රමය යටතේ පැවති විධායක කාරක සභා ක්‍රමයේ තිබූ අයහපත් ලක්‍ෂණ ඉවත් කර යහපත් ලක්‍ෂණ යොදාගෙන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් 224 දෙනා (කථානායකවරයා හැර) එකකට 32 දෙනා බැගින් වන අමාත්‍යාංශ 07කට ගොනුවීමට ආරාධනා කිරීම සහ ඒ එක එකට තෝරා ගන්නා සභාපතිවරයා අමාත්‍යවරයා බවට පත් කිරීමට සම්මුති ගතවීම වැන්නක් එහිදී සලකා බැලිය හැක. (මන්ත්‍රීන් සංඛ්‍යාව හා අමාත්‍යාංශ සංඛ්‍යාව සුදුසු පරිදි වෙනස් කළ හැක. අමාත්‍යවරු සංඛ්‍යාව 05 දක්වා වුවද අඩු කර එක් අමාත්‍යවරයෙකුට අයත් අමාත්‍යාංශ සංඛ්‍යාව සුදුසු පරිදි වැඩි කළ හැක.)
  • මෙයද ව්‍යවස්ථාදායකයෙන් තෝරා ගන්නා මන්ත්‍රීවරුන්ට විධායකයේ අමාත්‍ය ධුර පිරිනැමීමකි. මෙහි එක් ප්‍රධාන ලක්‍ෂණයක් නම් විධායක කාරක සභාවේ විෂයට අදාල අමාත්‍යවරයා කවුරුන්ද යන්න තීරණය කරන්නේ විධායක කාරක සභාවේ සාමාජිකයන් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්මය. තවත් ප්‍රධාන ලක්‍ෂණයක් නම් ස්ථාවර නියෝග අංක 93 සිට 135 දක්වා පාර්ලිමේන්තුවේ කාරක සභා වශයෙන් කෙරෙන විධායකය අධීක්‍ෂණයට හා පාලනයට ඇති බලය යහපත් අතට දිගු වීමකි. තවත් ප්‍රධාන ලක්‍ෂණයක් නම් සැබෑ සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් මෙමගින් බිහි වීමයි.
  • විධායක කාරක සභාවේ සමානයන් අතර ප්‍රමුඛයා සහ විධායක කාරක සභාවේ නියෝජිතයා ලෙස මිස අත්‍යන්ත බලයකින් අමාත්‍යාංශය භාරයේ ඇති ආණ්ඩුවේ දෙපාර්තමේන්තු ද, වෙනත් ආයතන ද තම විධානයට හා තම පාලනයට යටත්ව මෙහෙයවීමට තනි අයෙකුට බලය නොපැවරීමට මෙම සම්මුතිය යටතේ හැකි වීම මෙහි ඇති සුවිශේෂ වාසියකි. මෙහිදී 52(2) ව්‍යවස්ථාව යටතේ අමාත්‍යාංශය මෙහෙයවීම සැබෑ ලෙසම කරනුයේ අමාත්‍යවරයා නොව විධායක කාරක සභාවය යනුවෙන් සම්මුතිගතවීම මගින් දූෂණ හා වංචා අවම වනු ඇත. දූෂණ හා වංචා පිළිබඳ ව අමාත්‍යවරයාට එල්ල වන චෝදනා ද අවම වනු ඇත.
  • පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අංක 112 යටතේ දැනටමත් බලාත්මක අමාත්‍යාංශයීය කාරක සභාවලට නව සභාපතිවරයෙකු හා නව උප සභාපතිවරයෙකු හඳුනා ගැනීමට ඉඩ සලසා එම නව සභාපතිවරයා ලෙස යෝජිතයාට අමාත්‍යධුරයත්, නව උප සභාපතිවරයා ලෙස යෝජිතයාට රාජ්‍ය හෝ නියෝජ්‍ය අමාත්‍යධුරයත්, පිරිනැමීමේද, ‘52(2)’ විධිවිධානය යටතේ අමාත්‍යවරයෙකුට පවරනු ලැබ ඇති අත්‍යන්ත බලය මුළු අමාත්‍යාංශයීය කාරක සභාවට ම ඇති උපදේශන බලය ලෙස භාරගැනීමේද සම්මුතියකට පැමිණීම බොහෝ අර්බුදවලට විසඳුමක් වනු ඇත.
  • මෙම අමාත්‍ය මණ්ඩලය අන්තර්කාලීන මෙන්ම එක් එක් විධායක කාරක සභාවේ එකඟතාව මත සර්ව පාක්‍ෂික කර ගැනීමටද විශාල ඉඩකඩක් ඇත.
  • එනිසා මෙහිදී සියලු දේශපාලකයන් ඉවත් කිරීම වෙනුවට සම්මුති කාලය තුළ අමාත්‍ය මණ්ඩලයේ සක්‍රීයභාවය අවම කර එහි සැබෑ ක්‍රියාකාරිත්වය ඉහතින් දක්වා ඇති ආරක්‍ෂිත ක්‍රමවේදය ප‍්‍රකාරව කිරීමට සම්මුතිගතවීම සුදුසුය.

Leave a Reply