You are currently viewing විහිළු සපයන අගමැතිට රට ගොඩ ගැනීමේ සැලසුම් සැකසිය නොහැක..

විහිළු සපයන අගමැතිට රට ගොඩ ගැනීමේ සැලසුම් සැකසිය නොහැක..

හයවැනි වරටත් අගමැති තනතුරට පත් රනිල් වික‍්‍රමසිංහ මහතා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝජනය කරන පොදුජන එක්සත් පෙරමුණේ තවත් මුහුණුවරක් පමණක් බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක පත් කර ගැනීමේ දී ප්‍රදර්ශනය විය. ඔහුට අගමැති තනතුරේ රැඳී සිටීමට හැකි වන්නේ පොදුජන එක්සත් පෙරමුණේ සහාය ලැබෙන තාක් පමණි. එහි  ඕනෑ එපාකම්වලට එරෙහිව යන විට පැදුරු කොට්ට අකුළා ගෙන නැවත විපක්ෂයට යෑමට සිදු වනු ඇත.

පළමුවෙන්ම ගෝඨා ගෝ හෝම් සටන් පාඨය දිවයිනේ නන් දෙසින් නැගෙන විට සහ ආර්ථිකය පතුළක් නොපෙනෙන අගාධයකට පත් වන විට විසඳුමක් වශයෙන් ඉදිරිපත් වූයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ ඇතුළත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවිය යුතුය යන්නයි. එහෙත් විපක්ෂයේ සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තනතුරේ සිටින තාක් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාවට එකඟ නොවන බව ප්‍රකාශ කළහ. තනතුර අත්හැර යෑමට කිසිදු කැමැත්තක් නොදක්වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ උත්සාහය වූයේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට වඩා තමා තෝරා ගන්නා පුද්ගලයෙකු අගමැති තනතුරට පත් කිරීමට ය.

ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අගමැති තනතුර භාර ගැනීමට ආරාධනය කළේ සර්ව පාක්ෂික යෝජනාව ඔහුට අහිතකර නිසා ය. සමහර කොන්දේසි යටතේ අගමැති තනතුර භාර ගැනීමට කැමැත්ත ප්‍රකාශ කළත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට ආරාධනය නොකිරීමට ගෝඨාභය රාජපක්ෂ ප‍්‍රවේශම් වූයේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයට පාර්ලිමේන්තුවේ බහුතරයක් ලබා ගත හැකි මංත්‍රීවරයෙකුට අගමැති තනතුර භාර ගැනීමට ආරාධනය කිරීමට ජනාධිපතිවරයාට හැකි වුවත් රනිල් වික‍්‍රමසිංහ මහතා නියම අර්ථයෙන් මහජන නියෝජිතයෙකු වන්නේ නැත. ඒ ඔහු පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී තරග කොට පරාජය වූ නිසාය. ඔහුට පාර්ලිමේන්තුවට පිවිසිය හැකි වූයේ මහජන කැමැත්ත අනුව තීරණය නොවන ජාතිකයැයි හැඳින්වෙන ලැයිස්තු ක්‍රමය නිසා ය. ජනතාවගේ කැමැත්ත වූයේ ඔහුත් ඔහුගේ පක්ෂයත් පාර්ලිමේන්තුවෙන් සම්පූර්ණයෙන්ම තුරන් කිරීම ය. ඒ අනුව වික‍්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට ජනතාවගේ පරමාධිපති බලයක් ලැබී නැත. එවැනි පුද්ගලයෙකුට වර්තමාන දේශපාලන සහ ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමට නායකත්වය දීමේ සදාචාරමය අයිතියක් ඇත්ද?

2022may21[2]_mp_ranil

ඡන්ද විමසීමක දී මංත‍්‍රීවරයෙකුට ජනතා පරමාධිපති බලය පැවරෙන්නේ සීමිත කාර්යන් සඳහා පමණි. ඉන් මූලික වන්නේ ජනතා අවශ්‍යතා නියෝජනය යි. ජනතාවගේ මූලික අවශ්‍යතා හෝ ඉටු කිරීමට නොහැකි ආණ්ඩුවකට පරමාධිපති බලයට හිමි කමක් නැත. පාලකයන් ඊට සවන් නොදෙන්නේ නම් ඔවුන්ට විරෝධය දැක්වීමට සහ බලයෙන් ඉවත් කිරීමට ජනතාවට ඇති අයිතිය අනුලංඝනීය වේ. ජනතාව පාලකයන්ට විරුද්ධව තම හඬ නගන්නේ සාමකාමී විරෝධතා තුළිනි. මාස ගණනාවක් ගාලු මුවදොරත්, දිවයිනේ වෙනත් ප්‍රදේශවලත් සාමකාමී උද්ඝෝෂණයට ව්‍යවස්ථාමය අයිතියක් ලැබෙන්නේ ඒ ආකාරයෙනි.

සෘජුවම ජනතා පරමාධිපති බලය නියෝජනය කිරීමේ වරමක් නොලත් රනිල් වික‍්‍රමසිංහ මහතාට ජනතාවගේ අවශ්‍යතා තේරුම් ගැනීමේ හැකියාවක් හෝ  ඕනෑකමක් නැති බව අගමැති තනතුරට පත් වූ දින කීපය තුළම ප‍්‍රදර්ශනය කෙළේය. එය හොඳින්ම දක්නට ලැබුණේ ඔහු ජාතිය අමතා කළ කෙටි කතාවෙනි. ඔහු ගාලු මුවදොර විරෝධතා දක්වන පිරිස්වලට එය පවත්වා ගෙන යෑමට ආරක්ෂාව ලබා දෙන බව කීවේය. සාමකාමී අරගලයට මහින්ද රාජපක්ෂගේ ආශීර්වාදය ලත් මැර කණ්ඩායම් එල්ල කළ ප්‍රහාරයේ අශ්ලීල අත්දැකීම් අමතක කිරීමට එවැනි ප්‍රකාශයක් කළා විය හැකිය. එහෙත් මතක තබා ගත යුතු වැදගත් ම කරුණ වන්නේ ගාලු මුවදොරත් අරලියගහ මන්දිරය ඉදිරියේත්, දිවයිනේ සෙසු ප‍්‍රදේශවලත් තරුණ තරුණියන් අව් වැසි නොතකා සති ගණන් විරෝධය දක්වන්නේ ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ කරුණක් නිසා නොවේ. ඔවුන් සහ ඔවුන් නියෝජනය කරන අනාගතයත් සැබැවින්ම ආරක්ෂා කළ හැකි වන්නේ ඔවුන්ගේ ඉල්ලීම් ඉටු කිරීමට සාධනීය පියවර ගැනීමෙන් පමණි. එය ඉටු වන්නේනම් ඔවුන්ට ගාලු මුවදොර පිටියේ රැඳී සිටීමේ අවශ්‍යතාවයක් නැත. ආරක්ෂාව ලබා දෙන බව පවසන්නේ දේශපාලන සට කපටකම නිසා ය.

ගාලු මුවදොර විරෝධතාවය දක්වන පිරිස්වලට ආරක්ෂාව සැපයීමේ සැබෑ වුවමනාවක් ඇත්නම් කළ යුතු වන්නේ ඔවුන්ට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ පුද්ගලයන් අත් අඩංගුවට ගෙන නීති පියවර ගැනීමට අදාළ ආයතන වෙත යොමු කිරීම ය. මෙම අවනීතික ප‍්‍රහාරය පොදුජන පෙරමුණේ ඉහළ නායකත්වය සැලසුම් කළ ආකාරය ගැන බුද්ධි අංශ වාර්තාවක් අරලියගහ මන්දිරයේ 9 වැනිදා පැවති රැස්වීමට පෙර ආරක්ෂක අංශ වෙත යොමු කර තිබු බව සන්ඩේ ටයිම්ස් පුවත් පතේ දේශපාලන ලියුම්කරු මැයි 15 සන්ඩේ ටයිම්ස් හි පළ වූ ඔහුගේ ලිපියේ සඳහන් කර ඇත. එම බුද්ධි තොරතුරු අනුව ආරක්ෂක අංශ ක්‍රියාත්මක වූයේනම් ගාලු මුවදොර පිටියේ ප‍්‍රහාරය සිදු නොවන්නට තිබිණ. එමෙන්ම නවම් මාවතේ නවතා තිබූ වාහනවලට අලාභ හානි සිදු වන්නේ ද නැත. අතුකෝරළ මංත‍්‍රීවරයාගේ ජීවිතය නැති වන්නේ ද නැත. බොහෝවිට මහින්ද රාජපක්ෂ මහතාට අගමැති තනතුර හැර දා ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ රැකවරණය ලබා ගැනීමේ අවශ්‍යතාවයක් උදා වන්නේ ද නැත. එමනිසා ගාලු මුවදොර විරෝධතාකරුවන්ගේ ආරක්ෂාව සහ පොදුවේ රටේ ජනතාවගේ සහ දෙපොළ ආරක්ෂාව ගැන කිසියම් හැඟීමක් ඇත්නම් කළ යුත්තේ එම බුද්ධි තොරතුරු අනුව ක්‍රියාත්මක නොවුයේ ඇයිද යන්න පූර්ණ විමර්ශනයකට ලක් කිරීමය.

ඇත්තෙන්ම සිදුව ඇත්තේ පාස්කු ඉරිදා ප‍්‍රහාරයට පෙර ලැබුණු බුද්ධි තොරතුරු නොසලකා සිටි ආකාරයට ම මෙම ප්‍රහාරය ගැන තොරතුරු ද නොසලකා සිටීම ය. එහිදී ද වික‍්‍රමසිංහ මහතා නැවත වරක් සිය නිදන්ගත දුර්වලතාවය ප්‍රදර්ශනය කෙළේය.

ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය ගැන ද ඔහුට අවබෝධයක් හෝ හැඟීමක් නැති බවද ජාතිය අමතා කළ ප්‍රකාශයෙන් පැහැදිලි ය. ඔහු පැවසූ ආකාරයට ඉන්ධන ආනයනය කිරීමට විදෙස් මුදල් නොමැතිකම නිසා ඉදිරියේ දී දිනකට පැය 15ක් දක්වා විදුලිය කප්පාදු කිරීමට සිදු විය හැකිය. දිනකට පැය 15ක් විදුලිය කප්පාදු කරන්නේ නම් ජනතාවට විදුලි බලයේ අවශ්‍යතාවයක් නැත. ජනතාවට තම දෛනික කටයුතු පවත්වා ගැනීමට නොලැබෙන විදුලිය යුද්දෙට නැති කඩුවකි.

නව අගමැතිවරයා මෙම ප්‍රකාශය කරන විට විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ප්‍රකාශයක් නිකුත් කරමින් ජල විදුලි බලාගාර ප්‍රදේශවලට වර්ෂාව ලැබෙන නිසා ඉදිරියේ දී විදුලිය කප්පාදුව පැය පහකට සීමා කිරීමට හැකිවන බව සඳහන් කෙළේය. එම ප්‍රකාශය අගමැතිවරයාගේ හෙළිදරව්වට හාත් පසින්ම වෙනස් ය. මේ දිනවල ලංකාවේ බොහෝ ප්‍රදේශවලට ලැබෙන වර්ෂාපතනය සැලකිල්ලට ගැනීමේ දි ඉංජිනේරු සංගමයේ ප්‍රකාශය නිවැරදි බව පැහැදිලි ය. වික‍්‍රමසිංහ මහතා දත්ත ඉදිරිපත් කිරීමේ දී අදාළ අංශවලින් කිසිදු විමසීමක් කර නැති බව මින් තහවුරු වේ. මෙවැනි නායකයෙකුට ආර්ථිකය ගොඩ නැගීමට ඔහුම පවසන ආකාරයට කෙටි කාලීන මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන සැලසුම් සකස් කළ හැකි ද යන්න තේරුම් ගැනීමට බුද්ධිමත් ජනතාවට අපහසු නොවේ.

2022may21[2]_fuel_crisis

පාරිභෝගිකයාට ඉන්ධන සැපයීමේ දී ඛනිජ තෙල් සංස්ථාව ලබන පාඩු ගැන ද ඔහු සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කෙළේය. ඔහුගේ තර්කය වූයේ දැනට පිරිවැයට වඩා අඩු මුදලකට ඉන්ධන සපයන නිසා එය තවදුරටත් ආණ්ඩුවට දරා ගත නොහැකි බරකි යන්නය. මෙම පිරිවැය ගණන් බලන ආකාරය ඔහු පැහැදිලි නොකළත් තෙල් සංස්ථාව ඛනිජ තෙල් ආනයනය කිරීමේ දී සහ ඊට අදාලව මෙරට තුළ සිදු කරන කොමිස් ගැසීම් ඇතුළු නාස්තිකාර සියලු වියදම් ඊට අයත් වන බවට සැකයක් නැත. ඛනිජ තෙල් මිලදී ගැනීමේදී සිදුවන අක්‍රමිකතා කොපමණ ද යන්න කිසි විටෙක පැහැදිලිව ගණන් බලා නැතත් වැරදි කළමනාකරණය නිසා වරායේ නවතා ඇති ඉන්ධන පිරවූ නැව්වලට ගෙවීමට සිදුවන ප්‍රමාද ගාස්තු ක්ෂේත්‍රයේ වෘත්තිය සමිති නිතර පෙන්වා දෙන කාරණයකි. සමහර විට එක නැවකට ගෙවීමට සිදුවන ප්‍රමාද ගාස්තුව එම නැවෙන් ගොඩ බාන ඉන්ධනවල වටිනාකමටත් වඩා වැඩිය. එම නැව් වරායට පැමිණෙන විට අදාළ ගෙවීම් සිදු කිරීමට නිසි යන්ත්‍රණයක් නැතිකම නිසා එය නිස්කාරණයේ ගෙවීමට සිදුවන විදෙස් මුදලින් දරන පිරිවැයකි. එය ද පාරිභෝගිකයා දැරිය යුතුය. වික‍්‍රමසිංහ මහතාගේ තර්කය එයයි.

පරිපාලනයේ සිදුවන අක්‍රමිකතා සහ දූෂණවල බර ද දැරිය යුත්තේ රටේ සාමාන්‍ය ජනතාවයි. සාමාන්‍ය පරිපාලන නීති රීති නොසලකා හමුදාවෙන් විශ්‍රාම ගිය නිලධාරීන් සහ වෙනත් අය ඉහළ තනතුරුවලට පත් කර ඇති නමුත් ඉන් සිදුව ඇත්තේ නාස්තිය සහ දූෂණය තව තවත් පෝෂණය වීම පමණි. වර්තමාන ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුව ඉහ වසා ගිය දූෂණ සහ වංචා ය. රට ගොඩනැගීමට සැලසුම් කරන්නේ නම් එම ගැටලුව පළමු ව විසඳිය යුතුය. එහෙත් වික‍්‍රමසිංහ මහතා කරන්නේ එම දූෂිත පුද්ගලයන් ලබා දෙන තොරතුරු සහ සංඛ්‍යා ලේඛන මයිනෙකු නැතිනම් ගිරවෙකු මෙන් පුනරුච්චාරණය කිරීම පමණි. අද එය කිසිසේත් ප්‍රමාණවත් නොවේ. අවශ්‍ය වන්නේ ක්ෂේත්‍රයේ දැනුම, පරිපාලන හැකියාව සහ වඩාත් වැදගත්ව විචක්ෂණ බුද්ධිය ඇති දේශපාලන අතකොළු නොවන නිලධාරීන්ගෙන් යුත් පාලන තන්ත්‍රයකි.

Leave a Reply