You are currently viewing දේශපාලන පක්ෂ ලියා පදිංචි කිරීමේ වෙනසක්..

දේශපාලන පක්ෂ ලියා පදිංචි කිරීමේ වෙනසක්..

අලුතින් දේශපාලන  පක්ෂයක් ලියාපදිංචි කිරීමේ දී වසර හයකට වරක් හෝ මැතිවරණයකට ඉදිරිපත් ව අවම වශයෙන් සියයට දෙකක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත යුතු යැයි මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණ නීති සංශෝධනය සඳහා පත් කරන ලද විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට  (2021) යෝජනා කර ඇත. ඊට අමතරව මැතිවරණ කොමිෂන් සභාව යෝජනා කර ඇති යෝජනා කර ඇති යෝජනා කීපයක් මෙසේ ය.

  1. ප්‍රාදේශීය වශයෙන් දේශපාලන කටයුතුවල යෙදීමේ අරමුණින් කටයුතු කරන දේශපාලන සංවිධානවලට ප්‍රදේශීය දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචියට ඉල්ලුම් කළ හැකිය.  එවැනි ඉල්ලීමක් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව සෑහීමට පත් වන්නේ නම් එම දේශපාලන පක්ෂවලට මැතිවරණවල දී තරඟ කරනු ලැබිය හැක්කේ එකී පළාත තුළ හෝ දිස්ත්‍රික්ක තුළ නියෝජනය  සඳහා පමණකි. එම ප්‍රාදේශීය දේශපාලන පක්ෂ ලෙස හැඳින්විය හැක.
  2. සමානුපාතික නියෝජනය සඳහා පක්ෂයට ඡන්දයකුත්, කොට්ඨාශයේ නියෝජිතයා තෝරා ගැනීම සඳහා යම් අපේක්ෂකයකුට ඡන්ද ප්‍රකාශ කිරීමටත් හැකිවන පරිදි එක් ඡන්ද දායකයකුට ඡන්ද පත්‍රිකා ද්විත්වයක් ලබා දීම මඟින් සමානුපාතික නියෝජනය ද ආරක්ෂා කර ගත හැකි අතර, තම ප්‍රදේශය නැතහොත් කොට්ඨාසය වෙනුවෙන් නියෝජිතයකු පත්කර ගැනීමේ දී තම අභිමතය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ද ඡන්ද දායකයාට හිමිවේ. මෙවැනි ද්විත්ව ක්‍රමයකට උදාහරණයක් ලෙස ජර්මනියේ ‘බ්‍රන්ඩස්ටාග්’ මන්ත්‍රී මණ්ඩලය හැඳින්විය හැකිය.
  3. අත්‍යවශ්‍ය සේවා නියුක්තිකයන් අතරින් ඡන්ද විමසීමේ දී සක්‍රීය රාජකාරියේ නිරත වීමේ හේතුවෙන් සෘජු ව ඡන්ද මධ්‍යස්ථානයට ගොස් ඡන්දය පාවිච්චි  කිරීමට අවස්ථාව නො ලැබෙන බව පෙනීයන ඡන්ද දායකයන් සඳහා ඡන්ද විමසීම් දිනට පූර්වයෙන් ඡන්ද ප්‍රකාශ කිරීමට (Advance Voting) අවස්ථාව සැලසීම හෝ ඡන්ද විමසීම දින, විශේෂ ඡන්ද පොළවල් පිහිටුවා එම ඡන්ද පොළක දී හෝ ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසා දීම සඳහා පවත්නා නීති රීති සංශෝධනය කිරීම කළ යුතුව තිබේ.
  4. සියලුම දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂකයන්, ඇප මුදල් තැන්පත් කිරීමේ අවශ්‍යතාව මෙන්ම තත්කාලයේ පවත්නා ඇප මුදල් ප්‍රමාණය ඉහළ අගයකින් සංශෝධනය කිරීම පිළිබඳව සලකා බැලිය යුතුව ඇත.
  5. නාමයෝජනා පත්‍රය සමඟ අපේක්ෂකයන් නුසුදුසුකමකට යටත් නොවන බවට වූ දිවුරුම් සහතිකයක් ලබාගැනීමටත්, එම දිවුරුම් සහතිකය අනුව නුසුදුසුකමකට යටත් වේ නම් එම නාමයෝජනාව (අදාළ තැනැත්තාගේ පමණක්) ප්‍රතික්ෂේප කිරීමටත්, දිවුරුම් සහතිකයේ අසත්‍ය තොරතුරු ඇතුළත් වන්නේ නම් අදාළ තැනැත්තාට විරුද්ධව නීතිමය පියවර ගැනීමට හා මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් වී  තිබේ නම්, ධුරය අහිමි වන බවට නීති සම්පාදනය කිරීම තුළින් වඩාත් සුදුසු තැනැත්තන් පාර්ලිමේන්තුවට තෝරා පත්කර ගැනීමේ ඉඩකඩ පුළුල් වන බවට ද නිරීක්ෂණය කරමි.
  6. අවසන් මොහොතේ ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙන බහුතරය වූ කලී තමාගේ පාලනයෙන් බැහැර යම් යම් ප්‍රායෝගික අපහසුතා මත පැමිණෙන්නෝ වෙති. එබැවින්  එම ප්‍රතිපාදන පුළුල් කරමින් නියමිත අවසන් වෙලාවේ පෝළිමේ සිටින සියලුදෙනාට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව සැලසීම සඳහා  නීති සංශෝධනය කළ යුතුව පවතී.
  7. මැතිවරණ වියදම් පාලනය පිණිස නීතිරීති ඇතුළත් කෙටුම්පතක් මැතිවරණ කොමිෂන් සභාව විසින් සකස් කොට දැනටමත් ඉදිරිපත් කර ඇත. එම කෙටුම්පත නීතිගත කිරීම මේ සඳහා ප්‍රශස්ත ක්‍රියාමාර්ගයක් බව මැතිවරණ කොමිෂන් සභාවේ අදහසය. එම කෙටුම්පත නීතිගත කිරීමේ දුෂ්කරතා පවතී නම් අවම වශයෙන් 1978 පෙර පැවති වියදම් පාලන ක්‍රමය හෝ හඳුන්වා දීම අත්‍යවශ්‍යව පවතී. මැතිවරණ වියදම් පිලිබඳව දැනට පවතින තත්වය ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව අහිතකර ගැටළුවක් මෙන්ම, අපේක්ෂකයනට සම බිමක් නිර්මාණය කිරීම කළ නොහැකිවා පමණක් නොව දේශීය ආර්ථිකය කෙරෙහි ද බලපෑමක් සිදු කරන සංසිද්ධියක් බවද මැතිවරණ කොමිෂන් සභාවේ නිගමනයයි. එම නිසා මේ සම්බන්ධ නීති ප්‍රතිපාදනය සැලසීම අත්‍යවශ්‍ය බවට යොජනා කර සිටී.
  8. සාධාරණ මැතිවරණ ක්‍රියාවලියක් සඳහා නියම කරනු ලබන ‘විධානවලට’ අනුගත වීම සියලු රාජ්‍ය නිලධාරීන්, දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන් විසින් කළ යුතු අතර, ඒවා උල්ලංඝණය කිරීම මැතිවරණ වරදක් ලෙසට ද ඇතුළත් කිරීම සුදුසු බවට යෝජනා කෙරේ. ඒ අනුව උපමාන උල්ලංඝණය කරන පෞද්ගලික අංශයට එරෙහිව ක්‍රියා කිරීමේ නීතිමය ඉඩකඩක් නොමැති නිසා එය මැතිවරණ වරදක් ලෙස සලකා මැතිවරණ නීතිය යටතේ වගකීමට යටත් කිරීම වඩා උචිත ය.
  9. මැතිවරණ වැරදි හා වෙනත් දේශපාලන පක්ෂ තුළ හෝ පක්ෂ අතර ආරවුල් නාම යෝජනා සම්බන්ධ ගැට‍ළු කඩිනමින් විසඳීමට මැතිවරණ විනිශ්චය අධිකාරියක් පිහිටුවීම වඩා යෝග්‍ය බව මැතිවරණ කොමිෂන් සභාව යෝජනා කර සිටී.
  10. දැනට ක්‍රියාත්මක වන පළාත් සභා සඳහා වසර ගණනාවක් තිස්සේ මහජන නියෝජිතයන් තෝරාපත් කර  ගැනීමට අවස්ථාව ලැබී නැත. මේ නිසා පළාත් සභා ඡන්ද විමසීම කඩිනමින් පැවැත්වීය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ ස්ථාවරය වේ. ඒ සඳහා සුදුසු ඕනෑම ඡන්ද ක්‍රමයක් යටතේ එය පැවැත්වීම සඳහා නීතිමය සංශෝධනය කඩිනම් කර ඡන්ද විමසීම පැවැත්වීමට අවස්ථාව  සලසන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ගරු කාරක සභාවේ අවධානයට ලක් කරමින් ඉල්ලා සිටී.
  11. වෙනත් රටවල මහජන නියෝජිතයන් නැවත කැඳවීමේ හෝ ඔවුන්ගේ නියෝජනය අහිමි වන ආකාරයේ ක්‍රමවේදයක් මෙම රටවල ක්‍රමවේද අධ්‍යනය කොට ශ්‍රී ලංකාවට ගැළපෙන පරිදි සැකසීම කළ යුතු යැයි මැතිවරණ කොමිෂන් සභාව යෝජනා කර සිටී. එය කොට්ඨාස මට්ටමේ දී ජනතාවගේ යම් ප්‍රතිශතයක් විසින් කරනු ලබන ඉල්ලීමක් මත හෝ යම් අවම ප්‍රතිශතයක ඉල්ලීම මත එම කරුණු  පරීක්ෂා  කිරීමට බලයලත් විනිසුරු මඩුල්ලක් පත්කොට, එහි තීරණය පරිදි ධුරයෙන් ඉවත් කිරීමට හැකි වන ආකාරයේ සුදුසු යැයි සලකන නීතිමය විධි විධාන සම්මත කිරීම හෝ පාර්ලිමේන්තුව විසින් සිදු කිරීම සුදුසු බව ද මැතිවරණ කොමිෂන් සභාව විසින් යෝජනා කරයි.
  12. පාර්ලිමේන්තුවට තේරී පත් වූ යම් මන්ත්‍රීවරයකු ස්වකීය ධුර කාලයේ පළමු වර්ෂ 02 තුළ යම් රෝගී තත්ත්වයක් හෝ වෙන යම් සුවිශේෂී හේතුවකින් තොරව එම කාලය තුළ පවත්වන ලද පාර්ලිමේන්තු සභා රැස්වීම්වලින් අවම වශයෙන් 1/3 කටවත් සහභාගී නොවුවහොත් එම  මන්ත්‍රීවරයාගේ ඉදිරි ධුර කාලය අහෝසි කිරීම සඳහා නීතිමය ප්‍රතිපාදන සකස් කිරීම.

Leave a Reply