You are currently viewing අකාබනික පොහොර තහනම – සාගතයකට අතවැනීමක්!

අකාබනික පොහොර තහනම – සාගතයකට අතවැනීමක්!

පළමු කොටස

2021 අප්‍රේල් 27 දාතමින්,  ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරණ ලදුව, අනුමැතිය ලද කැබිනට් සංදේශය මගින් ඉදිරිපත් කළ පස සරුගැන්වීමේ ‘නව ප්‍රතිපත්තිය’ භාවිතාවට ගන්නැයි ගොවිතැන් කරණ ජනතාවට නියෝග කෙරිණි. මේ සඳහා ගොවියා ස්වේච්ඡාවෙන් පෙළඹවීම පහසු නොවන බව දන්නා බැවින් එම කැබිනට් සංදේශය සමගම මෙතෙක් පස සරු ගැන්වීම සඳහා හා වගාවන්ට ආපදා ගෙන එන කෘමීන් මර්දනයට යොදා ගැණුනු යෙදවුම් (පෝර හා කෘමිනාශක ලෙස ප්‍රචලිත) ආනයනය වහාම තහනම් කෙරිණි. මෙම තහනම අපනයන බෝග වල ඵලදාවට ද ප්‍රශ්නයක් වූ විට ඒවා සඳහා සුපුරුදු යෙදවුම් ආනයනයට ඉඩ දෙන බව කියැවිනි.  අනතුරුව ආහාර ද්‍රව්‍ය වල අස්වනු මේ ‘නව ප්‍රතිපත්තිය’ යටතේ පහත වැටෙන බව ඇස්පනාපිට පෙනී යන විට සුපුරුදු පස සරුගැන්වීමේ යෙදවුම් ආනයනයට ඉඩ හරින ලද්දේ ය. නමුත් වගා කරුවා ඒ යෙදවුම් විවෘත වෙළඳපළෙන් මිල දී ගත යුතු බව කියැවිනි. රජය තම ‘නව ප්‍රතිපත්තිය’ මත සිටින බැවින් ‘පෙර ප්‍රතිපත්තියට’ (එනම් රසායනික පෝර හා කෘමි හා වල් නාශක යොදා කරන නිෂ්පදනයන්ට) අනුව කටයුතු කිරීම සදහා ‘සහනාධාර’ දෙන්නේ නැති බවත් අවධාරණය කෙරිණි.

දැන් අවසාන වශයෙන් සිදුව ඇත්තේ කුමක් ද? වගාකරුවා භුක්ති විඳි පොහොර සහනාධාර ක්‍රම අහෝසි කරනු ලැබීමයි. ඒ අනුව විවෘත වෙළඳපළ තුළින් මිලට ගැනීමට සිදුව ඇති මේ යෙදවුම් භාවිතා කිරීමට යෑමෙන් ආහාර නිෂ්පාදන සදහා වන වැය ශීර්ෂ්‍ය කිහිප ගුණයකින් ඉහල යෑමයි. නිදහස් අධ්‍යාපනය මගින් ලබා ඇති ගණිත ඥානය පෙන්වන්නේ එම නිෂ්පාදන වෙළඳ පලට එන්නේ දෙතුන් ගුණයකින් ඉහල ගිය මිල ගනන් සහිතව බවය. මේ මොහොතේ අස්වනු අඩුවීම නිසා කිලෝවක නිෂ්පාදන වියදම ඉහල යන බැවින් ඒ තත්ත්වයට මුහුණ දීම සදහා පෙර ලබාගත් ආදායම වත් ලබා ගැනීමට නම් කිලෝවක් සදහා ලැබෙන මුදල ඉහල දැමීමට සිදුවෙයි.  

දැන් ප්‍රශ්නය වන්නේ එකී මිල ගනන් වලට අත්‍යාවශ්‍ය ආහාර මිල දී ගැන්මට බහුතර ජනතාවකට නොහැකි වීමය. එයට මේ තීරකයන්ගේ ප්‍රායෝගික විසඳුම වන්නේ ඒවා ආනයනය කිරීමට කටයුතු කිරීමයි. එසෙ ආර්ථික වශයෙන් පහල සිටින මෙරට බහුතර ජනතාවකට ඉංදියාවෙන්, චිනයෙන් අත්‍යාවශ්‍ය ආහාර ආනයනය කර සතොස හා සමූපාකාර මගින් අඩු මිලට දෙන බව කියැවේ.

ලංකාවේ ආහාර නිෂ්පාදකයන්ට මේ කරන්නේ ඉවසිය නොහැකි බලහත්කාරයකි. පාලකයන් මේ ක්‍රියා පිළිවෙත මගින් කියන්නේ මෙසේ ය.

“තොපිලා රටේ ආහාර වෙළද පළෙන් පිටමංකරන්නෙමු. තොපි හා මෝල් හිමියන් එක්ව ගෙන යන සහල් ‘මාෆියාව’ බිඳින්නෙමු. ඒ සඳහා චීනය/ඉන්දියාව/බංග්ලාදේශය/ඉන්දුනීසියාව පමණක් නොව ඇමරිකාවේ ආහාර ද අපි ආනයනය කරන්නෙමු. එමඟින් ලංකාවේ ඉතිහාසයෙන් නූතන කුඹුරුකාරයා අපහරණය කරන්නෙමු. අපට අවශ්‍ය 1950 සිටි කුඹුරුකාරයා ය. එසේ නොකිරීමට නම් සහලින් මේ රට ස්වංපෝෂිතව ඇති තත්වය බිද යළිත් චීන/ලංකා හාල්/රබර් ගිවිසුම් කාලයේ තත්ත්වයට, එනම් වාර්ෂිකව  සහල් පාරිභෝජන අවශ්‍යතාවයෙන් 64% ක් ආනයනය කිරීමට සිදුවන පරිදි අස්වනු පහත හෙලීමට එකඟව අපේ ‘නව ප්‍රතිපත්තිය’ ක්‍රියාත්මක කරනු.”

දැන් මේ ආයනයනික ආහාර මොනවාද? මෙරට ආණ්ඩුවේ ‘නව ප්‍රතිපත්තිය’ අනුව නිෂ්පාදිත ආහාර ද? එයට පිළිතුරු දෙන්නට කිසිවෙක් නැත. නමුත් අපි හොඳින් ම දන්නා පරිදි ඉන්දියාවේ හෝ චීනයේ මේ ආහාර නිෂ්පාදනය වන්නේ ලංකාවේ පැවැති ‘පැරණි ප්‍රතිපත්තිය’ (රසායනික පෝර හා කෘමි/වල් නාශක යෙදා) අනුවය. මේ කියන්නේ කුමක් ද? ඉන්දියාවේ, චීනයේ නැතිනම් වෙනත් රටක වගාකරුවන් මේ යෙදවුම් භාවිතයෙන් අඩු මිලට නිෂ්පාදනය කරන ආහාර ලංකාවේ අඩු අදායම් ලාභීන්ගේ සෞඛ්‍යයට හානිකර නොවන බවද? මෙවන් වූ විකාරයක් එළි දැක්වෙනු ඇත්තේ එක්කෝ මානසික රෝහලකිනි, නැතිනම් කොමිස්කරුවන් හා නූතන දොන් ජුවන් ධර්මපාලලාගෙන් පිරුණු දේශපාලන මාෆියාවකිනි.

කෙසේ වෙතත් අපි මේ වර්තමාන කථාව මෙයට වඩා දික් නොකිරීම හොඳය. මන්ද යත් මේ ‘නව ප්‍රතිපත්ති’ කරුවන් ඉදිරිපත් කළාවූ සංදේශය තුළ, ඉදිරි දැකුම්, බලාපොරොත්තු, පැහැදිලි කිරීම් ලැයිස්තුව විමර්ෂණය කිරීම මේ අදහස් දැක්වීමේ පළමු පරමාර්ථය වන නිසාය.  

දර්ශනය වන පරිදි ජනාධිපතිට අවශ්‍ය ව තිබුණේ මෙම තීරණය දෙවසරකට පෙර තමන්ගේ “ගෝඨාභය – රට හදන සෞභාග්‍යයේ දැක්මේ” ප්‍රකාර “තිරසාර පරිසර ප්‍රතිපත්තියක් සඳහා ප්‍රතිඥා දී ඇති” බැවින් එය ඉෂ්ට කිරීමට ගන්නා වූ කල්පනාකාරී තීරණයක් බව රටටත් ලෝකයටත් පෙන්නීමට ය.  ඒ සඳහා මෙහි 1.3.1 වගන්තිය ලෙස ඉදිරිපත් කර ඇත්තේ මේ ‘සෞභාග්‍ය දැක්මේ’ 39 පිටුවේ ‘පොහොර භාවිතයේ නව පෙරලිය’ අනු මාතෘකාවෙන් ඉදිරිපත් කර ඇති ඡේද 07 කින් යුත් වැඩ පිලිවෙලේ පළමු ඡේදයයි. ඒ මෙසේයි,

“නිරෝගී සහ ඵලදායී පුරවැසියන් කිරීමට නම් රජය විසින් වස විසෙන් තොර ආහාර වේළක් සඳහා ජනතාවට ඇති අයිතිය සහතික කළ යුතු ය. ඒ සදහා ඉදිරි දශකය තුළ ලංකාවේ කෘෂිකර්මාන්තය සඳහා මුළුමනින් ම කාබනික පොහොර යොදා ගැන්මට එම නිෂ්පාදන වේගවත් කළ යුතු ය.”

දැන් මේ අදහස ක්‍රියාත්මක කිරීමේ කාල වකවානු ගැන ජනාධිපතිවරයා ට අවබෝධයක් තිබුනේදැයි පැනයකි.  මන්ද යත් 2021 මහ කන්නයේ දී මෙවැනි හිටිවන තහනමක් ගෙන එන බවක් ‘සෞභාග්‍ය දැක්ම’ නොකියන හෙයිනි.  

කෘෂිකර්ම ඇමති මහින්දානන්ද ජනාධිපතිවරයාගේ තීන්දුව අගයමින්, කාබනික පොහොරවලින් මෙරට කෘෂිකර්මාන්තය ගොඩ නැගිය හැකි බවට සහතික වී ඇත.

මේ හදිසි තීන්දුවක් නොවේ යයි කෘෂිකර්ම ඇමති පාර්ලිමේන්තුවේ දී කීවේ ‘දැක්මේ’ පමණක් නොව ඊට පෙර මහින්ද රාජපක්ෂ රට කරවන කාලයේත් මෙම ප්‍රතිපත්තියම ඉදිරිපත් කළ බැවින් මෙම තීන්දුව ‘දැක්ම’ටත් වඩා පරණ බවයි. ඔහු  කියන්නේ 2014 මාර්තු 26 දාතමින් හා “කාබනික පොහොර නිෂ්පාදනය හා භාවිතය ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය.” තේමාවෙන්  කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද ලියවිල්ල ගැන විය යුතුය ය. එහි ලංකාව කාබනික කෘෂිකර්මය කරා ගෙන යෑම වෙනුවෙන් ඉතා වැදගත් වැඩ පිළිවෙළක් ඉදිරිපත් කර තිබුණි. විෂ‍ය දැනුම හා ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති ප්‍රාමාණිකයින් විසින් සකසන ලදැයි පෙනෙන එහි යෝජනා කර තිබුණේ කෘෂිකාර්මික ප්‍රදේශයන්හි කාබනික අමුද්‍රව්‍ය පිළිබද දැනුවත් කිරීමේ හා පොහොර සැකසීමේ ප්‍රායෝගික වැඩ සටහන් තුළින් කොම්පෝස්ට් නිෂ්පාදනයට යොමු කිරීමත්, ඒ සදහා අවශ්‍ය තාක්ෂණික උපකරණ නිෂ්පාදනය කිරිමත් පළමුවෙන් කළ යුතු බවයි. විශේෂයෙන් වගා කටයුතු හා බැදුණු සත්ත්ව පාලනය පිළිබදව ද අවධාරණය කර තිබුණි.

මෙකී කාබනික පොහොර නිෂ්පාදනයට හා භාවිතාවට යොමුවීමේ ක්‍රියාමාර්ගයන් දියත්වන අතර රසායනික පොහොර තහනමක් නොව ඒවා ආනයනය 25% කින් අඩු කිරීමට එහි යෝජනා කර තිබුණේ අඩියෙන් අඩිය අත්දැකීම හරහා ගොවීන් ගෙන යෑමට යයි සිතිය හැකිය.

මේ කිසිම ලියවිල්ලක කිසිම ඉඟියක් වත් නැතිව මේ පියවර ගත්තේ ඇයි?. ඒ මදිවාට “එළඹෙන 2021/22 මහ කන්නයට මුළුමනින් ම රසායනික පොහොර හා කෘමිනාශකය භාවිතයෙන් තොරව වගා කිරීමට පියවර ගත යුතුය”(සංදේශය 2.4 වගන්තිය) හා “රටක් ලෙස එම අභියෝගයට මුහුණ දීමට ජනතා වරමක් ලැබී ඇති බැවින් ඒ සඳහා ජනතාව පෙළගැස්වීමට සමස්ත රාජ්‍ය යන්ත්‍රය මෙහෙය විය යුතුය” (සංදේශය 2.5 වගන්තිය) 

මෙහි දී පෙනී ගියේ රසායන පොහොර තහනමකට තමන්ට ජන වරමක් ඇතැයි කූට ප්‍රයෝගයක යෙදෙමින් ජනාධිපති එම ජනවරම යකඩ සපත්තුවක් ලෙස යොදා ගැන්ම මෙන්ම සන්නද්ධ බලය පාරට ගැනීමට අවශ්‍ය සමාජ මනෝභාවයන් සූදානම් කරණ බවයි.  මේ හදිසි පියවර මහත් වූ සමාජ ආර්ථික කම්පනයන්ට ගොවි ජනතාව හා පොදුවේ රටේ අඩු ආදායම් ලබන ජනතාව මුහුණ පාන බැවින් යම් කැරලිකාරී තත්ත්වයක් දුගී ජනයා අතරින් මතු වීම ජනාධිපති බලාපොරොත්තු වන බව ඉන් පෙනේ. එය මැඩ පැවැත්වීමට කොරෝනා නීති කොයිතරම් දුරට යොදා ගත හැකි ද යන්න සැක සහිතය. ඇතිවිය හැකි මේ තත්ත්වයට වඩා අඩු සරල ප්‍රශ්න මත ජනතාව පාලකයන් සමග ගැටුම් ඇති කර ගැනීම සිදුවෙමින් තිබේ.

දැන් මේ ප්‍රයෝගය, විදේශ විනිමය දැඩි ලෙස පහළ වැටෙමින් තිබෙන නිසා ආනයන කැපීමේ උවමනාව මත ගත් අනුවණ පියවරක් බව ගැන කිසිවකුට සැකයක් නැත.

”රසායනික පොහොර භාවිතයෙන් ඉහළ අස්වැන්නක් ගත හැකිය. එහෙත්, වැව්, ඇලවේලී සහ භූගත ජලය දූෂණයෙන් ජීවිතවලට වන හානිය එම ලාභයෙන් පියවිය නොහැකිය. දැනට වාර්ෂිකව පොහොර ආනයනය සදහා වැය කෙරෙන ඩොලර් මිලියන 400ක මුදල ජන ජීවිතය නගා සිටුවීමට යොදාගත හැකි බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.” යි ජනාධිපති මන්දිරයේ දී, රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවල ප්‍රධානීහු සමග පැවති හමුවකදී ජනාධිපති වරයා කී බව වාර්තා විය.

නමුත් මේ කියන “ඉහළ අස්වැන්න” කොපමණද? එසේනම් රසායන පොහොර භාවිතයෙන් තොරව ලැබෙන පහළ අස්වැන්න කොපමණ ද? ඉන් ඇතිවන ආහාර හිගයේ ප්‍රමාණය කෙතෙක් ද, එම හිගය පියවීමට ආනයනය කිරීමට වැය කොපමණද යන්න ගැන විමසුමක් කර ඇති බවක් නොපෙනේ.

2021jan26[2]_vilgamuwa

හෙක්ටයාරයකට වී ඇස්වැන්න පිලිබද සංඛ්‍යා වලින් මේ ගැන යම් අදහසක් ඇති කර ගත හැකිය. රසායන පොහොර වලට පෙර 1950 දී හෙක්ටෙයාරයකට ලබා ඇති අස්වැන්න මෙට්‍රික් ටොන්(mt) 0.90 කි. 1970 දී එය mt 2.11 ක් බවට පත් විය. ඒ රසායනික පෝර ප්‍රචලිත වීම නිසා බව ජනාධිපති තුමාගේ ප්‍රකාශය අනුව ද පෙනේ. ඊලගට 1995 දී  එය mt 3.12 ක් දක්වා ඉහල ගියේ ය. 1950 දී සහල් වලින් ස්වයංපෝෂිත අනුපාතය 36% ක් වූ අතර එය 1970 දී 68% ක් බවට පත් වී 1995 දී 92% දක්වා ඉහළ ගියේ ය.

ඊලඟ කාරණාව වන්නේ සහල් නිෂ්පාදනය හා ආනයනය අතර තත්ත්වයයි. 1950 දී සහල් නිෂ්පාදනය සඳහා යොදාගත් හෙක්ටෙයාර් 399,000 කින් mt 360,000 ක් නිෂ්පාදනය කළ අතර එය මුළු පාරිභෝජනයෙන් 36% කට පමණක් සෑහුන බැවින් හිඟය සැපිරීමට mt 649,000 ක් ආනයනය කිරීමට සිදු විය. 1970 දී හෙක්ටෙයාර් 667,000 කින් mt 1,409,000 ක අස්වැන්නක් ලැබුණු අතර එය 73% කට සෑහුණ අතර mt 523,000 ක් ආනයනය කිරීමට සිදු විය. 1995 දී හෙක්ටෙයාර් 791,000 කින් mt 2,473,000 ක් ලැබුණු අතර එය 92% කට සෑහුණ අතර mt 244,000 ක් ආනයනය කිරීමට සිදු විය.

දැන් රසායන පෝර ආනයනය නැවතීමෙන් ඉතිරි වන මුදල ගැන ජනාධිපතිවරයා කරන කතාව තාර්කික වීමට නම් ඔහු කියන අස්වනු අඩුවීම කොපමණද? එම හිඟය ආනයනය සඳහා කොපමණ විදේශ විනිමය වැය වන්නේ ද යන්න ඉදිරිපත් කළ යුතුය. 

සමහරුන් කියන්නේ අස්වනු අඩු වීම 40% ක් පමණ වන බවයි. එවැන්නවුන් කියන්නේ කාබනික පොහොර මගින් ලැබෙන අස්වැන්න අඩුය යන සාමාන්‍ය තර්කය මත සිටයි. නමුත් මේ යන ක්‍රමයට එය සත්‍ය වුවහොත්; ඉතිරි 60%  ක අස්වැන්න ලැබෙන්නේ කුමන ප්‍රමිතියකින් යුත් කාබනික පොහොර වලින් ද? එහි ප්‍රමිතිය සොයන්නේ කව්ද? අඩුම තරමින් එහි ප්‍රමිතිය මෙසේ විය යුතු යයි නිගමනය කර තිබේ ද? තිබේ නම් කුමන ආයතනයකින් ද?

දෙවන ලිපිය: ආණ්ඩුවේ සාගත මෙහෙයුම..!

.

Leave a Reply