ආර්ථික වශයෙන් රට බංකොලොත් වී රට කඩා වැටෙයි ද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් පවතින බරපතල ආර්ථික අර්බුදය කළමනාකරණය කර ගැනීමට තවමත් හැකියාව පවතී. එය ආර්ථික-දේශපාලන විශ්ලේෂකයන් පවා අවිවාදිතව පිළි ගන්නා කාරණයකි. එයින් රටේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති වේ ද? වාර්ගික අර්බුදය පවතින තාක් එය සිදු නොවේ. ජාත්‍යන්තරයට ගොස් එය කළමනා කරණය කර ගත හැකි ද? නොහැකිය. ඊට හේතුව ප්‍රභූ පාලකයන්ට බලය ලබා ගැනීම හා පවත්වා ගැනීම සඳහා ඉතිරිව ඇති එකම තුරුම්පුව, වර්ග බේදය බැවිනි.
රට පාලනය කිරීම කොපමණ දුෂ්කර වුව ද, වත්මන් පාලකයන්ට කැමැත්තෙන් බලය අතහැර යා නොහැකි තත්ත්වයක් පවතී. දේශීය වශයෙන් අධිකරණයට බලපෑම් කළ හැකි වුවත් එසේ ජාත්‍යන්තර අධිරණවලට බලපෑම් කළ නොහැකිය. දැනටමත් ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳ නඩු විභාගයක්, ජාත්‍යන්තර අපරාධ අධිකරණය පිහිටුවා තිබෙන නෙදර්ලන්තයේ හේග් නගරයේ දී පැවැත්වේ. එය සිදු වන්නේ ප්‍රබල මාධ්‍ය සංවිධාන හතරක සහයෝගීතාවයෙන් පිහිටුවන ලද මහජන විනිශ්චය සභාවක දීය. තවද මෙවැනි ම අපරාධ නඩු වෙනත් රටවල දීත් ආරම්භ වීමේ හැකියාව දැන් පවතී.
මෙවැනි තත්ත්වයක් යටතේ තමන්ට පූර්ණ ආරක්ෂාව ලබා දෙනු ඇතැයි විශ්වාස කළ හැකි කණ්ඩායමකට හැර, තාවකාලික බල මාරුවකට හෝ ඉඩ දීම, වත්මන් පාලකයන්ට බෙහෙවින් අනතුරුදායකය. එ නිසා හොඳින් හෝ නරකින් බලය අල්ලා ගෙන සිටීමට සඳහා ඔවුන්ට තද බල අවශ්‍යතාවයක් පවතී.
මර්ධනය හා බේද කිරීම
දැනට හැම පැත්තෙන් ම උග්‍ර වන ජනතා විරෝධය පාරට බැසීම දක්වා වර්ධන වෙමින් පවතී. ජනාධිපති ප්‍රකාශ කළ පරිදි හමුදාව යොදා අරගලකරුවන් මර්ධනය කිරීමට අපමණ වාරයක් සිතෙනවා ඇති. එහෙත් වර්තමානයේ පවතින්නේ ගෝලීය වශයෙන් නොසිතා, දේශීය වශයෙන් කිසිවක් කළ නොහැකි යථාර්තයකි. ජාත්‍යන්තර බලපෑම් නොසලකා පාලකයන්ට කිසිවක් කළ නොහැක. දැනටමත් පාලකයන් මානව හිමිකම් ප්‍රශ්න රැසකට මුහුණ දී සිටී. මෙම තත්ත්වය යටතේ හමුදාව යොදා ජනතා විරෝධය මර්ධනය කළ හොත් කබලෙන් ලිපට වැටේ. එ නිසා ජනතා විරෝධය කළමනාකරණය කිරීම සඳහා වෙනත් මාර්ග සොයන්නට පාලකයින්ට සිදු වී තිබේ.
දැනට පාලකයන්ට ඉතිරි වී තිබෙන එකම තුරුම්පුව වර්ග හේදයයි. එය තවමත් අළු යට ගිනි මෙන් නොනැසී පවතී. උතුරේ යුද්ධය අවසන් වන විට මුස්ලිම් විරෝධයක් ගැන සිහිනෙන් වත් සිතුවේ කවුද? පසුගිය මැතිවරණවලට පෙර වඳ පෙති, වඳ කොත්තු, වඳ සැත්කම්, වඳ බෙහෙත් ආලේප කළ යට ඇඳුම් ආදී පට්ටපල් බොරු නිර්මාණය කළ ආකාරය මතක ද? බේරුවල සහ දිගන ගැටුම් ඇවිලූ සැටි මතක ද? අවසානයේ පාස්කු ප්‍රහාරයත් සමග සමාජය බියෙන් ත්‍රස්ත වී ගියේය. වාර්ගික වශයෙන් දෙකඩ වී තිබුණු ලාංකේය සමාජය තුනකට බෙදී ගියේය. ඉතිහාසයේ පළමු වතාවට සිංහල ජනතාවගේ බහුතර ඡන්දයෙන් වත්මන් ආණ්ඩුව බලයට පත් විය.
දැන් ලංකාවේ ප්‍රධාන ජනවර්ග අතර විශ්වාසය ගොඩනැගීම තරම් දුෂ්කර වෙනත් අභියෝගයක් නැත. මෙම තත්ත්වය යටතේ අතිශය අමානුෂික වාර්ගික ගැටුම් නිර්මාණය කිරීම ඉතාමත් පහසුය. එමගින් ප්‍රභූ පාලකයන්ට බලය ලබා ගැනීමත්, පවත්වා ගෙන යාමටත් ඕනෑ තරම් අවස්ථාව තිබේ. එ නිසා ඉක්මනින් රට කඩා වැටීම කෙසේ වෙතත් ජනතාවට තව තවත් විඳවීමට නම් සිදු වනු නිසැකය.
ආණ්ඩු විරෝධය පාරට
ඉහත කී වාතාවරණය යටතේ විඳවීම දරාගත නොහැකි ජනතාව තව තවත් පාරට බසිනු ඇත. මුලින්ම ගුරු විදුහල්පතිවරු පාරට බැස්සෝය. ඊ ළඟට ගොවියෝ පාරට ආවෝය. විදුලි හා වරාය සේවකයන් ද පාරට බැස්සේය. දැන් කතෝලික ප්‍රජාව ද පාරට බැස තිබේ. මෙසේ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා ජනතාව පාරට බැසීම නිසා ඔවුන් ලබන අත්දැකීම් ප්රජාතන්ත්රවාදය ගැඹුරු කිරීමට හේතු වේ. එහෙත් මෙම සටන්වල දුර්වලතා රැසක් දැකිය හැකිය. බොහෝ විට වාර්ගික වශයෙන් තනි තනිව සටන් කිරීම බරපතල ම දුර්වලතාවය ලෙස සැලකිය හැකිය. ඊට අමතරව වැඩකරන ක්ෂේත්‍ර වශයෙන්, ප්‍රදේශ වශයෙන්, එකම වෘත්තිය තුළ පවා කණ්ඩායම් වශයෙන් තනි තනිව සටන් කිරීම ඊ ළඟ දුර්වලතාවයයි. බහුජන සහාය නොතකා සටන් උපක්‍රම තෝරා ගැනීම තවත් දුර්වලතාවයකි. තවද ජාත්‍යන්තර වශයෙන් පිළිගත් අයිතිවාසිකම් මත පදනම් ව තම ඉල්ලීම් සාධාරණීකරණය නොකිරීම විශාල අඩුපාඩුවකි.
ගුරු සටන පමණක් උතුරු නැගෙනහිර ඇතුළු දිවයින පුරා පැවති අතර දෙමාපියන් සහ සෙසු වැඩකරන ජනතාව අවම වශයෙන් හෝ ඊට සහයෝගය දැක්වූයේය. ගුරු සංගම් කණ්ඩායම් දෙකකට බෙදී සිටියේය. ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම යුනෙස්කෝ නිර්දේශවලට අනුකූලව ඉතා ශක්මත් පදනමකින් ඉදිරිපත් කළ හැකිව තිබිය දීත් එසේ නොකළේය. ගොවි සටන තවමත් උතුරු නැගෙනහිර ගොවියන් අතරට පවා ව්‍යාප්ත වී නැත. විදුලි හා වරාය සටන ඔවුන්ට පමණක් සීමා වී ඇත. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා කරන සටනට එතෙර ප්‍රජාව යම් පමණකට සම්බන්ධ වීම ඉතා වැදගත්ය. එහෙත් තවමත් දිවයිනේ සියලු ප්‍රදේශවල කතෝලිකයන් ඊට සම්බන්ධ වී නැත. මේ කිසිදු සටනකට වතුකම්කරුවන් සක්‍රිය ලෙස සම්බන්ධ වී නැත.
එසේ වූයේ ඇයි? ප්‍රධාන හා වැදගත් ම හේතුව, පාලකයින් වඩාත්ම බිය වන්නේ වාර්ගික සමගියට බව ඉහත කී අරගල කරුවන් නොදැන සිටීමයි. එසේ නැතහොත් ඔවුන්ට වර්ග බේදයෙන් තොරව පීඩිතයන් අතර එකමුතුකම හා සහයෝගය ගොඩනගා ගැනීම සඳහා ප්‍රමාණවත් සම්බන්ධතා ජාලයක් නොමැති වීමයි. එ නිසා පාරට බැස පාලකයන්ට බලපෑම් කර ජනතා අභිලාෂ ජය ගැනීම සඳහා, වර්ග බේදයෙන් තොරව සියලු පීඩිත ජනකොටස් නියෝජනය කරන සමාජ දේශපාලන ක්‍රියාකාරීන් හා කණ්ඩායම් ජාල ගත වීම පූර්ව අවශ්‍යතාවයක් නොවේ ද? එමගින් එකිනෙකා සතු දැනුම හා අත්දැකීම් බෙදාහදා ගෙන, දැනට අරගලවල පවතින සියලු දුර්වලතා ජය ගැනීමට අවස්ථාව උදා වනවා නොවේ ද?
පක්ෂවල නොහැකියාව
වාමාංශික පක්ෂ කැඳවන ලද 1953 හර්තාලයේ දී දිවයින පුරා ජනතාව පාරට බැස්සේය. එහි බලපෑම කෙතරම් විශාල වුයේ ද යත්, එදා සිටි පාලකයින් කැබිනට් රැස්වීම පැවැත්වූයේ කොළඹ වරායෙන් එපිට නවතා තිබූ HMS නිව්පවුන්ඩ්ලන්ඩ් නමැති බ්‍රිතාන්‍ය යුධ නෞකාව තුළ දීය. අනතුරුව පාලකයෝ හර්තාල්කරුවන් 9 දෙනකුට වෙඩි තබා එම බහුජන අරගලය මර්ධනය කළහ. ඉන් පසු වාමාංශික පක්ෂ බහුජන අරගල දේශපාලනය අතහැර දැමුවේය. නැතහොත් දෙවැනි තැනට දැමුවේය. පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදී දේශපාලනයට ප්‍රමුඛතාවය දුන්නේය. ප්‍රභූ දේශපාලන පක්ෂ සමග පවා සන්ධාන ගත වී ආණ්ඩුකරණයට සහභාගි විය. එ නිසා බහුජන අරගල දේශපාලනය ඉතා දුබල වී, වර්ගවාදී ප්‍රභූ දේශපාලනය ඉතා බලවත් විය. 1953 හර්තාලයෙන් හරියට ම අවුරුදු 30ට පසු 1983 කළු ජූලිය සිදු විය.
පැරණි වාමාංශික පක්ෂ, පාර්ලිමේන්තු දේශපාලනය තුළ දිය වී යන විට, ඊට විකල්පව තරුණ විප්ලවවාදී දේශපාලන කණ්ඩායම් බිහි විය. ඔවුන් සන්නද්ධ අරගල මාවත තෝරා ගත්තේය. එම සන්නද්ධ අරගල පරාජය වූ පසු ඔවුන් ද පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදී දේශපාලනයට ප්‍රමුඛතාවය දීමට පටන් ගත්තේය. එහි දී වර්ගවාදී ප්‍රභූ දේශපාලනය සමග මැතිවරණ තරග කිරීමේ දී, ඔවුන් ද වර්ගවාදයට යට විය. නැතහොත් වර්ග බේදයට එරෙහිව අධිෂ්ඨාන සහගතව පෙනී නොසිටියේය. ඔවුන්ට වාර්ගික සමගිය මත පදනම් වූ බහුජන අරගල දේශපාලනය නුහුරුය. නැතහොත් තවමත් ඒ ගැන උනන්දුවක් නැත. එහි ප්‍රතිඵලයක් වශයෙන් එක අතකින් ඔවුන්ට ද වර්ගවාදී ප්‍රභූ දේශපාලනය පරාජය කර ආණ්ඩු බලය ලබා ගැනීමට නොහැකි වී ඇත. අනික් අතට වර්ග භේදය තවදුරටත් තීව්ර වෙමින් පවතී.
බහුජන අරගල දේශපාලනය අවශ්‍ය වන්නේ හුදෙක් වර්ගවාදී ප්‍රභූ දේශපාලනය පරාජය කිරීම සඳහා පමණක් නොවේ. ඇමරිකන් ව්‍යවස්ථාවේ පියවරුන්ගෙන් කෙනෙක් වූ තෝමස් ජෙෆර්සන් පැවසූ පරිදි “ජනතාව විසින් රාජ්‍ය බලය පවරා දෙන අය කෙරෙහි ජනතාවට ප්‍රමාණවත් පාලනයක් නොතිබේ නම්; එය ජනතාවගේ ම පීඩාවට හැරී යනු ඇති අතර, තෝරා පත් කළ පුද්ගලයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල ධනය හා බලය අනිසි ලෙස පවත්වා ගෙන යෑමට හේතු වනු ඇත.” වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ලංකාවට සිදු වී තිබෙන්නේ එය ම නොවේ ද? එ නිසා ප්රජාතන්ත්රවාදයේ පවතින මෙම ‘උපන්ගෙයි දෝෂය’ වැළැක්වීම සඳහා බහුජන අරගල දේශපාලනය අත්‍යවශ්‍යය.
බහුජන අරගල දේශපාලනය වර්ධනය වන විට එක අතකින් සමාජය ප්රජාතන්ත්රීකරණය වන්නේය. අනික් අතින් පක්ෂ සහ බහු පක්ෂ පාලනය වඩා ප්රජාතන්ත්රීකරණය වන්නේය. ඊට සාපේක්ෂව වාර්ගික සමගිය ද, සක්‍රිය ප්රජාතන්ත්රවාදී පුරවැසි සමාජයක් ද ගොඩනැගෙනු ඇත. එමගින් පරිණත ප්රජාතන්ත්රවාදී රටවල සිදු වන ආකාරයට ජනතාව වඩා බලවත් වෙමින්, පක්ෂවලට හා දේශපාලන නායකයින්ට තිබෙන නොනිසි බලය අඩු වී යනු ඇත.
කළ යුත්තේ කුමක් ද?
මේ වන විට ලංකාවේ ජනතාව විශාල වශයෙන් පක්ෂ දේශපාලනයෙන් ඈත් වෙමින් සිටී. වෘත්තීය සමිතිවල සාමාජිකත්වය දරණ පිරිස පවා 5% දක්වා පහළ බැස ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් පාවෙන ඡන්ද සංඛ්‍යාව දශලක්ෂ ගණනින් වැඩි වෙමින් පවතී. ඔවුන්ගෙන් වැඩි පිරිස තරුණ පරම්පරාවට අයත් වන බව නිසැකය. මේ අනුව පක්ෂවලින් ජනතාවට කරන බලපෑමට වඩා නිර්පාක්ෂික ජනතාවගෙන් මහජන නියෝජිතයන්ටත්, රජයටත් එල්ල වන බලපෑම වැඩි වෙමින් පවතී. එය ගුරු හා ගොවි අරගලවලින් පැහැදිලිව ම දැකිය හැකි විය.
දේශපාලන පක්ෂයකට, වාර්ගික සමගිය පදනම් කර ගත් බහුජන අරගල දේශපාලනයට ප්‍රමුඛතාවය දිය නොහැකි ද? කිසියම් දේශපාලන පක්ෂයක්, නිදහසට පෙර ඉන්දීය ජාතික කොංග්‍රසය මෙන් බහුජන අරගල දේශපාලනය කෙරෙහි විශ්වාසය තබන්නේ නම්, එය බහුජන ව්‍යාපාරයක් බවට පත්වේ. අභ්‍යන්තර ප්රජාතන්ත්රවාදය, එවැනි බහුජන ව්‍යාපාරයක ආවේනික ලක්ෂණයක් වේ. එහෙත් මෙරට කිසි ම දේශපාලන පක්ෂයක අභ්‍යන්තර ප්රජාතන්ත්රවාදී භාවිතාවක් නැත. එ නිසා ලංකාවේ බහුජන ව්‍යාපාරයක් බිහි වීමේ හැකියාව පවතින්නේ දේශපාලන පක්ෂවලට පිටතිනි. පක්ෂවල පවතින ප්රජාතන්ත්ර විරෝධී ගති ලක්ෂණවලටත් ප්රතිපක්ෂවය.
මේ අනුව දැන් ලංකාවට අවශ්‍ය වන්නේ ජනතා බලයෙන් මහජන නියෝජිතයන්ට සහ රජයට බලපෑම් කර, ජනතා අභිලාෂ ඉටු කරවා ගන්නා ජනතා ව්‍යාපාරයකි. වාර්ගික, ලිංගික, තරුණ-වැඩිහිටි ආදී වශයෙන් පුළුල් වූ මහජන නියෝජනයක් සහිත ජනතා ව්‍යාපාරයකි. වාර්ෂිකව අලුත් වන සාමූහික නායකත්වයක් සහිත ජනතා ව්‍යාපාරයකි. තනි නායකයෙක් නොමැති ජනතා ව්‍යාපාරයකි. සක්‍රිය ප්රජාතන්ත්රවාදී පුද්ගලයින් හා කණ්ඩායම් ජාල ගත වන ජනතා ව්‍යාපාරයකි. කෙටියෙන් කියනවා නම් අභ්‍යන්තර ප්රජාතන්ත්රවාදී ගති ලක්ෂණ සහිත ආදර්ශවත් පුළුල් බහුජන ව්‍යාපාරයකි.
එවැන්නකට මුලපිරීමට හැකි වනු ඇත්තේ ගෝලීය හා දේශීය වශයෙන් බහුවිධ පිරිස් සහභාගි වන විවෘත සංවාදයක් තුළිනි. එමගින් පුළුල් බහුජන ව්‍යාපාරයක ස්වභාවය, පොදු අරමුණු හා ප්‍රතිපත්ති අනාවරණය කර ගත හැකි වනු ඇත. අනතුරුව වඩා විධිමත් ලෙස සාකච්ඡාවෙන් හා සම්මුතියෙන් ප්‍රධාන පොදු අරමුණු කිහිපයකට හා අවම ප්‍රතිපත්ති රාමුවකට එකඟ වන පුළුල් විවිධත්වයක් සහිත ප්රජාතන්ත්රවාදී සමාජ දේශපාලන ක්‍රියාකාරීන් හා කණ්ඩායම් දැනහඳුනා ගත හැකිය. එවැනි පුද්ගලයන් හා කණ්ඩායම් ජාල ගත වීමෙන් පුළුල් බහුජන ව්‍යාපාරයක් බිහි විය හැකිය. මෙසේ බිහි වන පුළුල් බහුජන ව්‍යාපාරයක්, නිර්මාණාත්මක ක්‍රියාකාරකම් සහ බහුජන අරගල තුළින් වර්ධනය වනු ඇත.
- ජනතාවට ආනන්දයක් වූ බටපොල නන්ද හාමුදුරුවෝ.. - August 7, 2024
- අපේ රටේ බහුජන ව්‍යාපාරවල ඉතිහාසය, බලපෑම හා අනාගතය.. - December 11, 2023
- මිතුරන් අතර ප්රතිවිරෝධතා ඇති කරන්න එපා ! - September 3, 2023