You are currently viewing ලෝක බලවතුන්ගේ අවි තරගයෙන් ශ්‍රී ලංකාවටත් බැට කෑමට සිදු වේද?

ලෝක බලවතුන්ගේ අවි තරගයෙන් ශ්‍රී ලංකාවටත් බැට කෑමට සිදු වේද?

සෝවියට් සංගමය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර සීතල යුද්ධය උත්සන්න ව පැවති හැත්තෑවේ දශකයේ දී සෝවියට් සංගමයට එරෙහිව චීනය දිනා ගැනීමේ උපාය මාර්ගික අවශ්‍යතාවක් එක්සත් ජනපදයට තිබිණ. සෝවියට් සංගමය මාක්ස්-ලෙනින්වාදය අතහැර සංශෝධනවාදි මගක් ගෙන ඇතැයි චෝදනා කළ  චීනය සෝවියට් සංගමයත් සමග පැවති සියලු සම්බන්ධතා බිඳ දැමු නිසා ඇමරිකාවේ සහාය වැදගත් විය. එහෙත් ගැටලුව වූයේ ඇමරිකාවේ රැකවරණය යටතේ පැවති තායිවානයයි. මහජන විමුක්ති හමුදාවේ ප්‍රහාර හමුවේ තායිවානයට සේන්දු වු චියන් කායි-ෂෙක් ආරක්ෂා කර ගැනීම කොමියුනිස්ට්වාදය මැඩ පැවැත්වීම අරමුණු කර ගත් එක්සත් ජනපදයේ ප්‍රමුඛතම කාර්යක් විය. එහෙත් කුමන තත්වයක් යටතේ හෝ තායිවානය වෙනම රාජ්‍යයක් බවට පත්වීම පිළිගැනීමට චීන රජය සූදානම් වූයේ නැත.

කෙසේ වුවත් 1969 දී ප්‍රකාශයට පත් නික්සන් මතවාදය අනුව එක්සත් ජනපදය ඒ වන විට වියට්නාම් යුද්ධයට මැදිහත් ව සිටිය ද ආසියාවේ ඇමරිකානු යුද ශක්තිය ක්‍රම ක්‍රමයෙන් අඩු කර ගැනීමට යෝජනා විය. ඔවුන්ගේ අවධානය යොමු වූයේ සෝවියට් ආක්‍රමණයකට එරෙහිව බටහිර යුරෝපය ආරක්ෂා කර ගැනීම කෙරේ ය. මෙම ප්‍රතිපත්තිය යටතේ එක්සත් ජනපදය චීනයට අභියෝගයක් වශයෙන් තායිවාන් සමුද්‍ර සන්ධිය හරහා සෝදිසි කිරීමේ යාත්‍රා යැවීම නතර කෙරිණ. 1972 දී බීජිනයට ගිය ඇමරිකානු ජනාධිපති රිචඞ් නික්සන්, මාවෝ ඇතුළු චීන නායකයන් සමග සාකච්ඡා පවත්වා ෂැංහයි ඒකාබද්ධ ප්‍රකාශනය නිකුත් කිරීමට එකඟ වූයේ ය. ඒ අනුව තායිවානයේ රඳවා සිටි ඇමරිකානු හමුදා ඉවත් කර ගැනීමට එකඟ වූ එක්සත් ජනපදය තායිවානය චීන ජාතිකයන් තමන් විසින් ම විසඳා ගත යුතු ප්‍රශ්නයක් සේ පිළිගත්තේ ය. 1979 දී එක්සත් ජනපදය සහ චීනය අතර තානාපති සබඳතා ඇති කර ගැනීමට පදනම් වූයේ මෙම ප්‍රකාශනය යි.

චීන නායක ඩෙන්ග් ෂියාපෙන්ග් (Deng Xiaoping) සහ ඔහුගේ බිරිඳ එක්සත් ජනපද ජනාධිපති ජිමී කාටර් සහ ඔහුගේ බිරිඳ රොසලින් (Rosalynn) සමඟ 1979 ජනවාරි 31 දින වොෂින්ටන් ඩී.සී. හි සංචාරයක නිරත විය.

මාවෝගේ අභාවයෙන් පසුව චීනයේ ගමන් මග සම්පුර්ණයෙන් ම වෙනස් විය. ඩෙන්ග් ෂියාපෙන්ග් අනුගමනය කළ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය යටතේ චීනය ක්‍රම ක්‍රමයෙන් එක්සත් ජනපදයේ ප‍්‍රධාන වෙළඳ ගනුදෙනුකරුවෙකු බවට පත් විය. සමහර නිරීක්ෂකයන් හැඳින් වූ ආකාරයට චීනය ඇමරිකානු සමාගම්වල කම්හලක් බවට පත් විය. ලොව දුප්පත් ම රටවලින් එකක් වූ චීනය ලොව දෙවන විශාල ආර්ථිකය බවට පත්වීම සහ සෝවියට් සංගමය බිඳ වැටී රුසියාව දුර්වල වීමත් සමග එක්සත් ජනපදයේ උපාය මාර්ගික දැක්ම වෙනස් විය. ආර්ථික වශයෙන් ලෝක බලවතෙකු බවට පත්වෙන චීනය දේශපාලන වශයෙන් අභියෝගයක් වන බව දුටු එක්සත් ජනපදය, චීනය උපාය මාර්ගික අභියෝගයක් සේ හඳුන්වා නැවතත් ආසියානු කලාපයේ සිය හමුදා බලය තර කොට ආධිපත්‍යය පවත්වා ගැනීම අත්‍යවශ්‍ය සාධකයක් සේ හඳුනා ගැනිණ. මෙම අවශ්‍යතාවය නිල වශයෙන් ප්‍රකාශයට පත් වූයේ ඔබාමා පාලනය යටතේ පැසිෆික් කලාපයට ආපසු හැරීමේ ප්‍රතිපත්තියෙනි.

දකුණු චීන මුහුදේ නාවික ගමනාගමනයේ නිදහස ඇමරිකාව ඉදිරිපත් කළ උපාය මාර්ගයේ වැදගත් වූ සාධකයකි. එම තත්වය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වී දැන් නැවතත් තායිවාන සමුද්‍ර සන්ධියේ ඇමරිකානු සහ එහි මිත්‍ර රටවල නාවික හමුදා මුර සංචාරයේ යෙදීම දක්වා උත්සන්න වී ඇත. දකුණු චීන මුහුදේ නාවික ගමනා ගමනයේ නිදහස පවත්වා ගැනීම අරමුණු කර ගත් මෙම වැඩ පිළිවෙළ දැන් තායිවානය අත්පත් කර ගැනීමට එල්ල විය හැකි චීන ආක්‍රමණයකට මුහුණ දීම දක්වා පුළුල් ව ඇත. ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදි රටවල එකතුවක් ගොඩ නැගීමේ උත්සාහය ද එක්සත් ජනපදයේ උපාය මාර්ගික වැඩ පිළිවෙළේ ම කොටසකි. එක්සත් ජනපදය, ජපානය, ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව ඇතුළත් හවුලක් චතුර පාර්ශ්වය නමින් ගොඩ නගා ආසියානු පැසිෆික් කලාපය තුළ තම ආධිපත්‍යය නැවතත් තහවුරු කර ගනිමින් සිටී. මෑතක දී ඔස්ට්‍රේලියාවට න්‍යෂ්ටික අවි ගෙන යා හැකි සබ්මැරීන සහ එම තාක්ෂණය පවරා දීමට ඇති කර ගත් ඔකුස් ගිවිසුම එහි අලූත්ම පියවරයි.

2021Nov01[1]_china-proposed-belt-road-initiative

මේ තත්වය හොඳින් වටහා ගෙන සිටින චීනය ඊට මුහුණ දීමට හමුදා ශක්තිය වැඩි කිරීමටත් සිය වෙළඳ කටයුතු බාධාවකින් පවත්වා ගැනීමටත් විවිධ උපාය මාර්ගික වැඩ සටහන් හඳුන්වා දී ඇත. නාවික ගමනාගමනය තහවුරු කිරීමට දියත් කළ මුහුදු සේද මාවත එක් පියවරකි. චීනයත් යුරෝපයත් අතර වෙළඳ කටයුතු සඳහා පුරාණයේ පැවති සේද මාවත නැවත නව මුහුණුවරකින් කලාපය සහ මාවත මුලපිරුම (Belt and the Road Initiative )  යනුවෙන් චීනයේ නව ආර්ථික ජවය මධ්‍යම ආසියානු රටවලට පමණක් නොව අරාබිය හරහා අප්‍රිකානු රටවල් දක්වා ම ව්‍යාප්ත කිරීමේ සැලසුමක් පවතී.

මේ සියල්ල දැන් නැවතත් ලෝකය පිල්වලට බෙදීමේ සීතල යුද්ධයක් දක්වා වර්ධනය වීමක් බව නිසැක ය. සිය ආර්ථික ශක්තිය පවත්වා ගැනීමට අවශ්‍ය විද්‍යාත්මක සහ තාක්ෂණ දැනුම පුළුල් කිරීම සහ ඒ පදනම් ව නව නිපැයුම් සඳහා පර්යේෂණ කිරීම වැදගත් ම කාර්ය වී ඇත. ඇමරිකානු රුසියානු ඒකාබද්ධ ව්‍යාපෘතියක් වශයෙන් පවතින අන්තර් ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ඉඩ පහසුකම් චීනයට ලබා දීමට ඇමරිකාව ප්‍රතික්ෂේප කළ නිසා චීනය දැන් තමන්ගේ ම අභ්‍යාවකාශ මධ්‍යස්ථානයක් පිහිටුවීමට සූදානම් ය. චීනයේ විද්‍යාත්මක සහ තාක්ෂණ දැනුම සමහර අංශවලින් ඇමරිකාව ඉක්මවා යන තත්වයකට ආසන්න ව ඇති නිසා ඇමරිකාව නැවතත් පැරණි සීතල යුද සමය සිහි ගන්වන අවි තරගයකට සූදානම් වන බව පෙනේ.

එය වඩාත් ම කුළුගැන් වූයේ පසුගිය දා චීනය න්‍යෂ්ටික අවි ගෙන යා හැකි අභ්‍යවකාශ යානයක් අත්හදා බැලූවේයැයි එක්සත් ජනපද ආරක්ෂක අංශ වාර්තා කිරීමත් සමග ය. එම වාර්තාවල සඳහන් වන ආකාරයට චීනය විසින් අත්හදා බලන ලද මෙම අභ්‍යාවකාශ යානයට ශබ්දයේ වේගය මෙන් විසි ගුණයක වේගයෙන් යා හැකි අතර අභ්‍යාවකාශයේ සිට අවශ්‍ය කරන  ඕනෑම ඉලක්කයකට ප‍්‍රහාර එල්ල කිරීමට ද හැකිය. ඇමරිකානු ආරක්ෂක අංශ පෙන්වා දෙන ආකාරයට මෙම අවියට මුහුණ දීමට හැකියාවක් ඇමරිකාවට දැනට නැත. එම නිසා එවැනි තත්වයකට මුහුණ දිය හැකි අවි නිපදවීම හදිසි අශ්‍යතාවයකි. මෙම තත්වය පැහැදිලි කළ ඇමරිකාවේ ඒකාබද්ධ කාර්ය මණ්ඩල සභාපති මාර්ක් මිලි,

..එය සැබැවින් ම ස්පුට්නික් මොහොතක්දැයි මම නොදනිමි. එහෙත් ඊට සමීප අවස්ථාවකි. එම අවියට වඩාත් වේගවත් ව, වඩාත් නිවැරදිව ඉල්ලකයට යා හැකිය, හඳුනා ගැනීමට අපහසු එකකි..

යැයි පැවසුවේය. එමනිසා ඊට පහරදීම කළ නොහැකි දෙයක් බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

ස්පුට්නික් මොහොත යනුවෙන් අදහස් කළේ සෝවියට් සංගමය ඇමරිකාවට පෙර අභ්‍යාවකාශ යානයක් ගුවන් ගත කිරීමෙන් ලබා ගත් පිම්මයි. ඉන් පසුව ඇමරිකාව සිය උපරිම ශක්තිය යෙද වූයේ අභ්‍යාවකාශයේ සෝවියට් බලය අභිබවා යන වැඩ සටහනක් කෙරේ ය. දැන් තරගය ඇත්තේ වඩාත් ප‍්‍රබල අභ්‍යාවශකාශ අවියක් නිපදවීම සඳහා ය.

මෙම වාර්තා ප්‍රතික්ෂේප කරන චීනය තමන් අත්හදා බැලුවේ සාමාන්‍ය අභ්‍යවකාශ යානයක් යැයි ද එය කිසිසේත් න්‍යෂ්ටික අවි අත්හදා බැලීමක් නොවන බවද අවධාරණය කෙළේය. එහි සත්‍යාසත්‍ය භාවය කුමක් වුවත් චීනයෙන් එල්ල විය හැකි හදිසි න්‍යෂ්ටික ප්‍රහාරයකින් ආරක්ෂා වීමට ඇමරිකාව සිය තාක්ෂණය නැවතත් ඔප මට්ටම් කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නා බව පැහැදිලි ය. ජනාධිපති ජෝ බයිඩන් ආරක්ෂක ප්‍රතිපාදන වැඩි කිරීමට පියවර ගෙන ඇති අතර ඊට රිපබ්ලිකන් පක්ෂයේ ද සහාය ලැබෙනු ඇත.

නැවතත් ලෝකය වඩාත් අනාරක්ෂිත තත්වයකට පත් කෙරෙන මෙම අවි තරගය න්‍යෂ්ටික යුද්ධයක අවදානම වඩාත් වැඩි කරන අතර සිදුවිය හැකි සම්පත් විනාශය ද ඉමහත් ය. චීනය විසින් සිදු කළේ යැයි කියන අත්හදා බැලීමෙන් දින කීපයකට පසුව ඉන්දියාව ද කි.මී. 5000 ක් දුර ඉලක්කයකට එල්ල කළ හැකි අන්තර්මහද්වීප බැලිස්ටික් මිසයිලයක් (ICBM) අත්හදා බැලුවේ ය. ඉන්දියාව සහ චීනය අතර දීර්ග කාලයක් තිස්සේ නොවිසිඳුන දේශ සීමා ප්‍රශ්නයත් පවතින නිසා මෙම අත්හදා බැලීම චීනය ඉලක්ක කර ගෙන සිදු කරන්නට ඇතැයි බටහිර ජනමාධ්‍ය වාර්තා කළේ ය.

න්‍යෂ්ටික අවි තරගය සහ එහි ප්‍රතිඵලයක් වශයෙන් න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවීම කිසිවකුට ජයග්‍රහණයක් අත් නොවන විනාශයක් බව විද්‍යාඥයන් කලක සිටීම අවධාරණය කරන අදහසකි. ඔවුන් එය හඳුන්වන්නේ අන්‍යොන්‍යව ඇති කර ගන්නා විනාශයක් ( Mutually Assured Destruction, MAD )  සේය. බල කඳවුරු ගොඩ නගා ගැනීමේ උත්සාහයේ අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ ද එයයි.

චීනය විසින් අත්හදා බලන ලදැයි කියන ශබ්දයේ වේගයට වඩා වැඩි වේගයකින් ගමන් කරන හයිපොසොනික් මිසයිලයේ ප්‍රහාරක ශක්තිය ඇමරිකානු ආරක්ෂක අංශ අවධාරණය කරන්නේ ඊටත් වඩා ප‍්‍රබල අවි නිපදවීමට අවස්ථාව සලසා ගැනීමට ය. න්‍යෂ්ටික අවි නිපදවීම සහ අවි තරගයට එරෙහි උනන්දුවක් දක්වන විද්‍යාඥයන්ගේ සංගමයේ කැමරන් ට්‍රේසි පවසන ආකාරයට,

..හයිපොසොනික් මිසයිලයක් හා අන්තර්මහද්වීප බැලිස්ටික් මිසයිලයක් අතර ඇත්තේ සුළු වෙනසකි. එම මිසයිල ද වේගයෙන් සහ රහසිගත භාවයෙන් එක සමානය. අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිලයකට ද ශබ්දයේ වේගය මෙන් විසි ගුණ වේගයකින් ගමන් කළහැකිය.. 

එම නිසා චීන හයිපසොනික් මිසයිලය ගැන ඇමරිකාවේත් එහි මිතුරු රටවලත් අවධානය යොමුව ඇත්තේ චීනය යටපත් කිරීමට හෝ විනාශ කිරීමට අවශ්‍ය අවි ශක්තිය වඩාත් දියුණු කිරීම ය. එහෙත් ඉහත සඳහන් විද්‍යඥයන් පෙන්වා දෙන ආකාරයට චීනයට න්‍යෂ්ටික මිසයිල 100ක් ඇමරිකාවේ ප්‍රධාන නගරවලට එල්ල කොට විනාශ කිරීමට හැකි වුවද යුද්ධයකින් ජය ගත නොහැකිය. හේතුව සබ්මැරීන් යාත්‍රාවල ඇති න්‍යෂ්ටික අවි යොදා ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීමේ ශක්තිය ඇමරිකාවට පවතින නිසාය. එම තර්කය චීනය සම්බන්ධයෙන් ද යෙදිය හැකිය. අවසාන ප්‍රතිඵලය වන්නේ දෙපාර්ශ්වය ම විනාශ වීම ය. අනිත් අතට ඇමරිකාව විනාශ වුවහොත් චීනයේ ප්‍රධාන අපනයන වෙළඳ පොළ විනාශ වන නිසා චීන ආර්ථිකය ද කඩා වැටෙනු ඇත.

මෙවන් පසුබිමක ශ‍්‍රී ලංකාව වැනි රටවල උපාය මාර්ගය විය යුත්තේ ලෝක බල අරගලයේ කිසියම් පාර්ශ්වයකට හෝ නතු නොවී සැබැවින් ම නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ය. එවැනි වැඩ පිළිවෙළකට නායකත්වය දිය හැක්කේ බුද්ධිමත් දේශපාලන දැක්මක් ඇති විට පමණ ය.

Leave a Reply