මම මෑතකදී උතුරු යාපනයේ කරෙයිනගර් දූපතේ කලපු පැත්තේ පිහිටි පීඩිත කුල ගම්මානයක ප්‍රාථමික පාසලකට ගියෙමි. අබලන් තත්ත්වයේ පවතින මාර්ගය නිසා මෙම වෙරළබඩ ගම්මානයට ළඟා වීම දුෂ්කර ය. පාසලේ සිටින සිසුන් එකසිය ගණනක් පා ගමනින් යා හැකි දුරින් ජීවත් වෙති. දරුවන්ගේ අධ්‍යාපනය සහ සෞඛ්‍යය පිළිබඳව මම විදුහල්පතිවරයා සමඟ සාකච්ඡාව කරන විට, පාසලේ සහ සිසුන්ගේ අවශ්‍යතා පමණක් නොව, පාසල පිහිටි ප්‍රජාව මුහුණ දෙන සමාජ-ආර්ථික අභියෝග පිළිබඳව ද විදුහල්පතිවරයාට පැහැදිලි අවබෝධයක් ඇති බව පෙනිණ. ගම්මානයට ප්‍රවාහන පහසුකම් නොමැති වීමෙන් මෙම ප්‍රජාව සමාජයෙන් කොන් වී තිබීම, පවුල් සඳහා ජීවනෝපා අවස්ථා නොමැතිකම සහ එහි තරුණ පරපුරේ අඳුරු අනාගතය යන කරුණ්නු නිසා ඔහු දැඩි ලෙස කනස්සල්ලට පත් පත්ව සිටියේය.
මම පසුගිය වසර දොළහ පුරා වරින් වර මෙම ගම්මානයට ගියෙමි. එය ආරම්භ වූයේ 2010 දශකයේ මුල් භාගයේදී යුද්ධය අවසන් වීමෙන් පසු නැවත පදිංචි කිරීමත් සමඟ ආරම්භ කරන ලද, පල්ලිය විසින් පවත්වාගෙන යන පස්වරු පාසල් වැඩසටහනක් බැලීමට අප කිහිප දෙනෙකුට පැමිණෙන ලෙස පූජකවරයකු කළ ආරාධනාවකිනි. එහි පැවති පහත් කුල පදනම් කරගත් ගතිකත්වයන් ඒ වන විටත් පැහැදිලිව තිබුණි. ළමයින්ට ද්විතීයික පාසලට යාමට තිබූ බස් රථ සේවාව අඩාල වී තිබූ අතර, නිවාස යෝජනාක්‍රම අඩුපාඩු සහිත විය. එමෙන්ම ගම්මානයට අවශ්‍ය රාජ්‍ය සේවාවන් ලබා දීමට ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්ගෙන් සාධනීය සහයක් ලැබුණේ නැත. දිළිඳුකම කැපී පෙනෙන ලෙස ඉහළ මට්ටමක පැවති අතර, වයසින් වැඩි ළමයි කුලී වැඩ සෙවීමට යොමු වී සිටියහ. මම විදුහල්පතිවරයාගෙන් එම පස්වරු පාසල් වැඩසටහන ගැන විමසූ විට, ඔහු පැවසුවේ එය තවදුරටත් ක්‍රියාත්මක නොවන බවත්, පූජකවරයා මාරු කර යැවීමෙන් පසු එය ඇනහිටි බවත්ය.
මෙම ගම්මානයේ පවතින අභාග්‍යසම්පන්න තත්ත්වය, යාපනය තුළ කුල සබඳතා තවදුරටත් පවත්නා ආකාරය පිළිබඳ වඩාත් පුළුල් ප්රශ්නය මගේ මතකයට නැංවීය. සැබවින්ම, අනෙකුත් සමාජ ව්‍යුහයන් මෙන්ම කුලය ද කාලයත් සමඟ විවිධ ස්වරූප ගත්තද, එය තවදුරටත් පීඩනයේ සහ කොන් කිරීමේ මූලාශ්‍රයක් ලෙස පවතියි. 2009 යුද්ධය අවසන් වූ පසු වසරවලදී කුල සබඳතා රහසිගතව පවත්වාගෙන යනු ලැබූ අතර, මෑත කාලයේදී වරින් වර ප්‍රචණ්ඩකාරී සිදුවීම් ද වාර්තා වී ඇත. එය වඩාත්ම පැහැදිලිව පෙනෙන්නට තිබෙන්නේ පීඩිත කුල ගම්මානවල පවතින ආර්ථික දුෂ්කරතා සහ සමාජ ආයතන තුළ සිදු වන වෙනස්කම් තුළිනි.
මීට වසර හැටකට පෙර, 1966 ඔක්තෝබර් මාසයේදී යාපනය තුළ ඇති වූ දැවැන්ත ව්‍යාපාරයක් මගින් ස්පර්ශ නොකිරීම ඉවත් (අස්පෘශ්‍ය කුල භේදය)පරාජය කරන ලදී. එම බලගතු කුල විරෝධී අරගලය සහ එහි ජනතාව සංවිධානය කිරීමේ උරුමය, මෙන්ම පීඩිත කුලයේ රා මැදින්නන් සඳහා සමූපකාර සමිති අවසානයේ බිහිවීම තුළ, තරුණ පරපුරේ කාර්යභාරය සහ සමාජ වෙනස පිළිබඳව බොහෝ පාඩම් අන්තර්ගත ව ඇත. දශක තුනකට ආසන්න කාලයක් පුරා පැවති සන්නද්ධ ගැටුම්වලින් විනාශ වී, දශක එකහමාරකට වැඩි කාලයක් පුරා පැවති බලාපොරොත්තු රහිත යථා තත්ත්වයට පත්වීමේ ක්‍රියාවලියක් හමුවේ, අද වන විට යාපනය තුළ සමාජ පරිවර්තනයක් සඳහා ඇති හැකියාවන් මොනවාද? ආර්ථික හා දේශපාලන වෙනස්කම් මගින් කුල සබඳතාවල විශාල වෙනසක් සිදු කළේ කෙසේද යන්න ගැන සිතා බැලීමටත්, වර්තමාන යාපන සමාජයේ පවතින කුල පීඩනය සහ කොන් කිරීම්වලට පිළියම් යෙදීමේ උපායමාර්ග ගැන සලකා බැලීමටත් මම 1960 දශකයේ එම සන්ධිස්ථානය වෙත නැවත අවධානය යොමු කරමි.
ග්‍රාමීය ධනය ඒකරාශිවීම සහ ප්‍රතිරෝධය
ඓතිහාසික වශයෙන්, යාපනය තුළ ප්රමුඛ වෙල්ලාළ කුලය සංඛ්‍යාත්මකව බහුතරය වූ අතර, අධික ජනගහනයකින් යුත් කුඩා බිම් කඩවල සිදු කළ කෘෂිකර්මාන්තය සහිත සුවිශේෂී සමාජීය හා ආර්ථික ලක්ෂණ පැවතිණි. මෙයින් පීඩිත කුලයන්ට ප්‍රතිරෝධය දැක්වීම සඳහා පැවතියේ ඉතා අල්ප ඉඩකඩකි. 1950 ගණන්වල අගභාගයේදී ආනයන ආදේශන ප්‍රතිපත්ති සමඟ ඇති වූ ග්‍රාමීය ධන ඒක රාශිවීම), යාපනයේ කුඩා බිම් කැබලිවල වෙළඳ බෝග සඳහා වන කෘෂිකර්මාන්තය තවදුරටත් තීව්ර කිරීමට හේතු විය; බොහෝ කුඩා ගොවීන් පවසන්නේ සිමෙන්ති ගෙවල් තනා ගැනීමට ඔවුන්ට හැකි වූයේ එවැනි ධන සමුච්චයනයකින් බවයි. මෙම තත්ත්වය හමුවේ, ඉඩම් නොමැති පීඩිත කුලවල ජනතාවගෙන් කුලී ශ්‍රමය සඳහා පැවති ඉල්ලුම ඉහළ ගිය අතර, ඔවුන් ද වැඩි වේතන ඉල්ලා සිටීමට පටන් ගත් බැවින්, ඉහළ කුලවල පිරිස් තවදුරටත් මර්දනය දෙසට යොමු වූහ.
මේ අතර, නිදහසින් පසු දශක කිහිපය තුළ වමේ ව්‍යාපාරය යාපනය තුළ තම බලය වර්ධනය කරගෙන තිබුණි. 1960 දශකය වන විට සිදු වූ සමාජීය හා ආර්ථික වෙනස්කම්, එන්. ෂන්මුගදාසන්ගේ නායකත්වයෙන් යුත් කොමියුනිස්ට් පක්ෂයට විශාල අරගලයක් ගොඩනැගීමට මග පාදා දුන්නේය. නිවාස සඳහා ඉඩම් සහ සුසාන භූමිවලට ප්‍රවේශය ඇතුළු ඉඩම් සම්බන්ධ ගැටලු උග්‍ර වෙමින් පවතිද්දී, කොමියුනිස්ට් පක්ෂය මූලෝපාය පදනම් කරගනිමින් ගෞරවය පිළිබඳ ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු කිරීමටත්, කෝවිල්වලට ඇතුළු වීමට ඉඩදීම සහ තේ කඩවල සමාන අසුන් පැනවීම ඉල්ලා සිටීමටත් තීරණය කළේය.
1966 ඔක්තෝබර් මාසයේදී ආරම්භ කරන ලද මෙම අරගලය, සමහර විට ශ්‍රී ලංකාවේ පශ්චාත්-ලන්දේසි/යටත්විජිත ඉතිහාසයේ පළමු සන්නද්ධ අරගලය විය හැකිය; උග්‍ර ගැටුම් සහ ඝාතන හේතුවෙන් තිහකට ආසන්න පිරිසක් මිය ගියහ. 1971 සහ 1988 දී දකුණේ ඇති වූ සන්නද්ධ නැගී සිටීම් දෙක මෙන්ම, පසුව සිවිල් යුද්ධයක් බවට පත් වූ උතුරේ සන්නද්ධ කැරැල්ල අතිශය භයානක ලෙස ජීවිත හානිවලට මග පෑදුවද, 1960 දශකයේ අගභාගයේ පැවති කුල විරෝධී අරගලය කෙළවර වූයේ ස්පර්ශ නොකිරීම මුළුමනින්ම පාහේ තුරන් කිරීමේ (ප්‍රායෝගික) ප්‍රතිඵලය ද සමඟිනි.
මෙම තත්ත්වය හමුවේ, සමගි පෙරමුණු ආණ්ඩුවේ වාමාංශික මුදල් ඇමති එන්. එම්. පෙරේරා 1972 දී තල් සංවර්ධන සමූපකාර සමිති පිහිටුවූ අතර, රා නිෂ්පාදනය සහ අලෙවිය පිළිබඳ ඒකාධිකාරය එම සමිතිවලට වෙත ලබා දුන්නේය. වසර හතළිහකට පසුව, තරුණයන් ලෙස කුල විරෝධී ව්‍යාපාරයේ කොටස්කරුවන් වූ පුද්ගලයින් කිහිප දෙනෙකු සම්මුඛ සාකච්ඡාවට ලක් කළ අවස්ථාවේදී මට දැනගැනීමට ලැබුණේ, අරගලයෙන් පසුව ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු අලුතින් පිහිටුවන ලද මෙම තල් සංවර්ධන සමූපකාර සමිතිවල සේවකයන් බවට පත්ව වූ බවයි. කෙසේ වෙතත්, කුල පීඩනයට පිළියම් යෙදීම සඳහා වූ එම ප්රවනතාවය වාර්ගික-ජාතිකවාදී දේශපාලනය සහ දීර්ඝ කාලීන ගැටුම් හමුවේ යටපත් වී ගිය අතර, කුල විරෝධී ක්‍රියාකාරකම් පසුබිමට තල්ලු විය.
ඉඩම් සහ ශ්‍රමය
දශක පහකට පසුව, කරෙයිනගර්හි පවතින මෙම ගම්මානය වැනි ස්ථානවලට වෙනසක් උදා කරගත හැක්කේ කෙසේද සහ වැඩි ඈතක නොවන අතීතයේ එම පාසලේ දරුවන් ලෙස අධ්‍යාපනය ලැබූ තරුණ තරුණයින්ට ඇති හැකියාවන් මොනවාද? මීට වසර කිහිපයකට පෙර, කරෙයිනගර්හි තවත් පීඩිත කුල ගම්මානයක මෙන්ම ආසන්නයේ පිහිටි වඩ්ඩුකොඩ්ඩෙයිහි ගම්මානයක ද ප්‍රචණ්ඩකාරී සිදුවීම් ඇති වූ අතර, එහිදී උසස් කුලයේ පිරිස් චණ්ඩීන් යොදා ගනිමින් පීඩිත කුලවල ජනතාවට පහර දෙමින් සහ අවමානයට ලක් කරමින් තමන්ගේ බලය පෙන්වීමට උත්සාහ කළහ. අපගෙන් බොහෝ දෙනෙකු එකමුතුකම සහ සහයෝගීතාව පළ කිරීමේ පියවරක් ලෙස එම ගම්මානවල පැවැති සාකච්ඡා කිහිපයකට සහභාගී වූ නමුත්, වින්දිතයන් නඩු ආපසු ලබා ගැනීම නිසා එම නීතිමය කටයුතු ඉදිරියට ගියේ නැත.
ඉහත සඳහන් කළ පාසලේ විදුහල්පතිවරයා මට පැවසුවේ ඔහුගේ මෑත කාලීන විශාලතම අභියෝගය වී ඇත්තේ, ඔහුගේ සිසුන්ගේ මව්වරුන්ගෙන් බොහෝ දෙනෙකු ගම්මානයේ අලුතින් ආරම්භ කරන ලද මුහුදු ආහාර සැකසුම් කර්මාන්තශාලාවක දීර්ඝ වේලාවක් වැඩ කිරීමට පටන් ගැනීම බවයි මෙයින් අදහස් වන්නේ නිවස තුළදී දරුවන්ට ලැබෙන අවධානය තවත් අඩු වීම සහ සිසුන් පාසල් නොපැමිණීමේ ප්‍රවණතාව ඉහළ යාමයි. එම පවුල්වලට අතිරේක ආදායමක් අවශ්‍ය වූවා සේම, ඔවුන්ගේ දරුවන්ගේ සුභසාධනය සඳහා ද අතිරේක සහයක් අවශ්‍ය විය. පීඩිත කුල ප්‍රජාවන් මුහුණ දෙන ගැටලු එකිනෙකට බද්ධ වී ඇත්තේ ඉඩම් නොමැතිකම සහ වෙරළ සම්පත් වෙත ප්‍රවේශ වීමට නොහැකි වීම නිසා ජීවනෝපාය මාර්ග ක්ෂය වීම, කුලී වැඩට යන විට මුහුණ දීමට සිදු වන සූරාකෑමේ ස්වරූපයෙන් යුත් රැකියා කොන්දේසි, රාජ්‍ය සේවාවන් ලබා ගැනීමට නොහැකි වීම සහ බොහෝ විට සිදු වන පැහැදිලි වෙනස්කම් ය. රැකියා සපයන්නන් සහ නිලධාරීන් ඇතුළු උසස් කුලවල පිරිස් අතින් සිදු වන හිංසනයන්ට පවා ඔවුන් ගොදුරු වේ.
මේ අතරතුර, යාපනය ද සමාජීය සහ දේශපාලනික වෙනස්කම්වලට ලක්වෙමින් පවතී. කාන්තාවන් උසස් අධ්‍යාපනය සහ කාර්යාල රැකියාවල වැඩි හිමිකාරිත්වයක් ලබා ගනිමින් සමාජීය වශයෙන් ඉදිරියට යමින් සිටියද, කල්ලි ප්රචණ්ඩත්වයේ සිදුවීම් සහ කාන්තාවන්ට එරෙහි ස්ත්‍රී ද්වේෂී ප්‍රහාර ඇතුළත් හිංසන සංස්කෘතියක් ඉහළ යමින් පවතී. බොහෝ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා අල්ප වන අතර, කුලී ශ්‍රමය සඳහා ඇති ඉල්ලුම සහ ඊට ලැබෙන වේතනය පහළ මට්ටමක පවතී. මෙම තත්ත්වය හමුවේ, දෙමළ ඩයස්පෝරාවේ ඇතැම් පාර්ශ්වයන්ගේ මූල්‍ය ප්‍රතිපාදන මත දෙමළ ජාතිකවාදී දේශපාලන කතිකාව තවදුරටත් උණුසුම්ව පවත්වාගෙන යනු ලබයි. ජනතාවගේ ජීවනෝපාය පිළිබඳ ගැටලු නොසලකා හැරීම නිසා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී දෙමළ ජාතිකවාදී පක්ෂ දැඩි පසුබෑමකට ලක් වූවද, ඔවුන්ගේ කතිකාව සහ ආකල්පය වෙනස් වී නොමැත. ජනතාව මුහුණ දෙන ආර්ථික දුෂ්කරතා පිළිබඳව පැවසීමට කිසිවෙක් නැති අතර, කුල පීඩනය සහ කොන් කිරීම් හමුවේ ඔවුහු නිහඬව සිටිති; නැතහොත් ඊට අනුබල දෙති.
කළ යුත්තේ කුමක්ද?
ජාතික ජන බලවේග ආණ්ඩුවට වසර දෙකකට පෙර යාපනයෙන් ප්‍රබල ජනවරමක් ලැබුණු අතර, ඉදිරි වසරවලදී ඔවුන් යම් ප්‍රායෝගික වෙනස්කම් ඉටු කර පෙන්විය යුතුය. ප්‍රධාන වශයෙන් පීඩිත කුලවලට අයත් ඉඩම් නොමැති පිරිස් සඳහා යාපනයෙන් නිවාස සහ නිවාස ඉදිකිරීමට ඉඩම් ලබා දීම ප්‍රමුඛතාවයකි. නමුත් යාපනය අර්ධද්වීපයේ ඇති සියලුම ඉඩම් පාහේ පෞද්ගලික හිමිකාරිත්වය යටතේ පවතින බැවින්, ආණ්ඩුවට සිදු වන්නේ ඉඩම් මිලදී ගෙන නැවත බෙදා හැරීමටය.
තරුණයන් අපේක්ෂා කරන්නේ ස්ථිර රැකියා අවස්ථා සහ වැඩ කිරීමේ ඉඩප්රස්ථා වන අතර, ඒ සඳහා ආයෝජන අවශ්‍ය වේ. තවද, උචිත වැඩ සංස්කෘතියක් නිර්මාණය කිරීම ඇතුළුව කම්කරුවන්ගේ සාමූහික හෙට්ටු කිරීමේ බලය ඉතා අල්ප මට්ටමක පවතින අතර වෘත්තීය සමිති නොමැති තරම් වන බැවින්, ශ්‍රමය සංවිධානය කිරීම අත්‍යවශ්‍ය වේ. මුහුදු ආහාර සැකසුම් කර්මාන්තශාලා, රජයට අයත් ස්වල්පයක් වූ කර්මාන්තශාලා මෙන්ම සංවිධානය වී නොමැති විශාල සංඛ්‍යාවක් වූ වෙළඳසැල් සහ කුඩා ව්‍යාපාර තුළ වෘත්තීය සමිති ක්‍රියාකාරකම් පැවතීම අවශ්‍යතාවකි. දශක ගණනාවක් පුරා වෘත්තීය සමිති සංස්කෘතිය මුළුමනින්ම පාහේ අතුගා දමා ඇති සමාජයක් තුළ, කම්කරුවන් සංවිධානය කිරීමේදී සහ කම්කරු අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීමේදී ප්‍රජාවේ ක්‍රියාකාරීන්, ස්ථාපිත වෘත්තීය සමිති සහ කම්කරු දෙපාර්තමේන්තුව විශාල කාර්යභාරයක් ඉටු කළ යුතුව ඇත.
1970 දශකයේ පැවති ප්රගතිශීලී රජය තල් සංවර්ධන සමූපකාර සමිති පිහිටුවීමත් සමඟ අත්හදා බැලීමක් සිදු කළ අතර, එය රා මැදීමේ නිරත වූ පීඩිත කුල ප්‍රජාවේ සමාජීය අභිවෘද්ධිය සඳහා විශාල සාර්ථකත්වයක් අත්කර දුන්නේය. කෘෂිකාර්මික කම්කරුවන්, සත්කාරක සේවකයන්, ආපනශාලා සහ හෝටල් කාර්ය මණ්ඩල මෙන්ම තවත් දෛනික වේතන සහ කොන්ත්‍රාත් පදනමේ නියුතු රාශියක් පීඩිත කුලයේ ජනතාව වන අතර ඉන් වැඩි පිරිසක් සේවය කරන යාපනයේ විශාල නොවිධිමත්) ක්ෂේත්රය සංවිධානය කිරීමට කාලය දැන් එළඹ තිබේ. කම්කරුවන් සහ රැකියා ආයතන මධ්‍යස්ථාන ඇතුළුව, මෙවැනි කම්කරුවන් සංවිධානය කිරීම සඳහා අවශ්‍ය වන සම්පත් සම්පාදනය කිරීම ඊට හොඳ ආරම්භයක් විය හැකිය.
වෘත්තීය සමිති සහ සමූපකාර සංවිධානය කිරීමේ අතීත උරුමයෙන් ලබා ගැනීමට බොහෝ දේ ඇත. අද වන විට යාපනය තුළ පවතින කුල පීඩනයට සහ කොන් කිරීමට පිළියම් යෙදීමේ උපායමාර්ගය, 1960 දශකයේ අගභාගයේ පැවති කුල විරෝධී අරගලවලින් ආභාසය ලබා ගත යුතු අතරම, තරුණ තරුණියන්ට සහ ගැහැනුන්ට තම ජීවනෝපායන් වටා සංවිධානය වීම සඳහා අවකාශයන් නිර්මාණය කිරීමෙන්ම ආරම්භ විය යුතුය.
- යාපනයේ කුල පීඩනය සහ සමාජ අරගලය.. - November 13, 2026
- ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉදිරියට.. - August 5, 2026
- උසස් අධ්‍යාපන හා පර්යේෂණ රාජ්‍ය මූල්‍යකරණය… - December 15, 2025